MN-2-5-10. සඩ්ගාරව සූත්‍රය

473


මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසල ජනපදයෙහි මහත්වූ භික්ෂු සඩ්ඝයා සමග චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ධානඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සඩ්ඝයා කෙරෙහිද, ප්‍රසන්න වූවා මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. එකල්හි ධානඤ්ජානි බැමිණිය ඇඳිරෙදි කොණේ පැටලී වැටෙන්නී ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමියි’ තුන්වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළාය.
එකල්හි වනාහි නිඝණ්ඩු ශාස්ත්‍රය කෙටුභ ශාස්ත්‍රය ශික්ෂා නිරුක්ති යන ප්‍රභේදයන් ඇති ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ පද හා ව්‍යාකරණ හදාරන්නාවූ, ලොකායත ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් සම්පූර්ණවූ සඩ්ගාරව නම් තරුණයෙක් මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. සඩ්ගාරව මානවකයා ධානඤ්ජානි බැමිණිය විසින් මෙසේ කියනු ලැබු වචනය ඇසීය. අසා ධානඤ්ජානි බැමිණියට මෙසේ කීය. ‘බ්‍රාහ්මණයන් සිටිද්දී මේ ධානඤ්ජානි පිරිහුනීය. මේ ධානඤ්ජානි බැමිණිය විනාශයට පැමිණියාය. එසේ වුවත් ඒ මුඩු ශ්‍රමණයාගේ ගුණ කියයි” යනුයි.
“යහපත් මුහුණක් ඇති පුත්‍රය, නුඹ වනාහි භාග්‍යවත්හුගේ සීලයත් ප්‍රඥාවත් නොදන්නෙහිය. ඉදින් යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලයත්, ප්‍රඥාවත්, දන්නෙහි නම්, යහපත් මුහුණක් ඇති දරුව, නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේට ආක්‍රොශ කළයුතුයයි, නින්දා කළයුතු යයි නොහඟින්නෙහිය”. “එසේ නම් පින්වතිය, යම් කලෙක ශ්‍රමණ ගෞතමයෝ මණ්ඩල කප්ප ගමට පැමිණෙත්ද, එකල මට කියවයි” කීය. “යහපත් මුහුණක් ඇත්ත, එසේයයි” ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයාට පිළිතුරු දින.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන සේක් මණ්ඩල කප්ප ගම යම් තැනකද, එහි පැමිණියහ. එහි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩල කප්ප ගමෙහි තොදය්‍ය බ්‍රාහ්මණයාගේ අඹවනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි මණ්ඩල කප්ප ගමට පැමිණ තොදෙය්‍ය බමුණන්ගේ අඹ වනයෙහි වසන සේකැයි ධානඤ්ජානි බැමිණිය ඇසීය. එකල්හි ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයා යම්තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සඩ්ගාරව මානවකයාට මෙසේ කීය.
“යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මණ්ඩල කප්ප ගමට පැමිණ මණ්ඩල කප්ප ගමෙහි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. යහපත් මුහුණක් ඇති දරුව, ඊට දැන් නුඹ කල් දනුවයි” කීය.
474
“එසේය, පින්වතියයි” සඩ්ගාරව තරුණයා ධානඤ්ජානි බැමිනියට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූත්, සිහිකටවූත් කථාවකොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ සඩ්ගාරව මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ආත්මයෙහිම දැනීමේ කෙළවරට පැමිණ නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචර්යාවේ, ආදි කර්තෘවරයෝයයි කියන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිත්.
“භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, බ්‍රහ්මචර්යාවේ, ආදි කර්තෘවරයෝයයි කියන ඔවුන් අතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරෙක්ද?” “භාරද්වාජය, මම වනාහි මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි කියන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද වෙනස කියමි. භාරද්වාජය, අසන්නාවූ සමහර මහණ බමුණෝ වෙති. ඔවුහු ඇසීමෙන් ඉහාත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරත්. ඔව්හු නම් ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයන් වැනි වූවෝය.
“භාරද්වාජය, තනිකර ඇදහීමෙන් පමණක් මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචර්යාවේ ආදි කර්තෘවරයෝයයි ප්‍රකාශ කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්. එනම් තර්කයෙන් විමසීමෙන් දැන ගන්නාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝය. භාරද්වාජය, පෙර නොඅසනලද ධර්මයන් තමන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, භාරද්වාජය, බ්‍රහ්මචර්යාවේ ආදි කර්තෘවරයෝ යයි ප්‍රකාශ කරන්නාවූ, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.
“භාරද්වාජය, පෙර නොඇසූ ධර්මයන් තමන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන ගනී. කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි ප්‍රකාශ කරන යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, මම ඔවුන් අතුරෙන් කෙනෙක් වෙමි.
“භාරද්වාජය, යම් ආකාරයකින් පෙර නොඇසූ ධර්මයන් තමන්ම ප්‍රත්‍යක්ෂව දැන මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්‍රහ්මචරියාවේ ආදි කර්තෘවරයෝයයි කියත්ද, මම ඔවුන් අතුරෙන් කෙනෙක් වෙම්ද, භාරද්වාජය, ඒ කාරණය මේ ආකාරයෙන් දැනගත යුතුය.
475
“භාරද්වාජය, බුද්ධත්වයට පළමුමෙන්ම බුදුනොවූ බෝසත්වූම මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවු සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවන ලද සකක් බදුවූ මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය). භාරද්වාජය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණභාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬත්දී, හිසකෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳ ගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.
“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ, ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනක්හිද එතැනට ගියෙමි. ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි”යි (කීවෙමි) භාරද්වාජය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ‘යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා’ (කියායි.)
“භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. භාරද්වාජය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින් (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙරවාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද, දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. භාරද්වාජය, ඒ මට මේ සිත විය. ‘ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි’ නොකියයි.
“ආළාරකාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි’ (කියායි). භාරද්වාජය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස් ආළාරකාලාමහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ’යි (කියායි.)
“භාරද්වාජය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය. භාරද්වාජය, ඒමට මේ සිත විය. ‘ආළාරකාළාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීර්යය ඇත්තේ නොවෙයි, මටද වීර්යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත, ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය’ (කියායි.)
“භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි භාරද්වාජය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද, එතැනට ගියෙමි. ගොස්, ඇවැත්නි, කාලාමයෙනි, ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමියී (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් යම් ධර්මයක් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය, යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි, මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව, දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු’යි (කීවේය) භාරද්වාජය, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.
“භාරද්වාජය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නො ඇල්ම පිණිස නො පවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි (දත යුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්ය සත්‍යය) අවබොධය පිණිස නොපවතියි. නිර්වාණය පිණිස නොපවතියි. ආකිඤ්චාඤ්ඤයතන බ්‍රහ්මලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. භාරද්වාජය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
476
“භාරද්වාජය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්ත තෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්යාව රකින්ට මම කැමැත්තෙමි (කීවෙමි.) භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මය එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා”(කියායි)
“භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. භාරද්වාජය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. භාරද්වාජය, ඒ මට මේ සිත විය. උද්දකරාමපුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසයකරමියි නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයයි (මට කල්පනා විය.) භාරද්වාජය, ඉන්පසු මම උද්දකාරාමපුත්ත යම්තැනකද, එතැනට ගියෙමි. ගොස් උද්දකාරාම පුත්තහට මෙසේ කීවෙමි. ‘ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙදැයි, (කියායි.)
“භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. භාරද්වාජය, ඒ මට මේ සිත විය. රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්යය ඇත්තේ නොවෙයි. මටද වීර්යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්ත තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයිනම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැණීම පිණිස වීර්යය කරන්නෙම් නම් යහපත්ය, (කියායි.)
“භාරද්වාජය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉන් පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.
“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමි”යි (කීවෙමි)
“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද, ඔබද ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මය දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම්බඳු ද ඔබත් එබඳුය. ඔබ මේ බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමුයි, (කීවේය). භාරද්වාජය, මෙසේ මාගේ ආචාර්යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබිය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.
“භාරද්වාජය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවති. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. (දතයුතුධර්මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාර්ය සත්‍යය) අවබොධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. භාරද්වාජය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.
477
“භාරද්වාජය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ නිර්වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන් කරන්නේ. උරුවෙල් දනව්වෙහි සේනානී නම් නියම්ගම යම් තැනකද, එහි පැමිණියෙමී. එහි සුදුවැලි තලා ඇත්තාවූද, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. භාරද්වාජය, ඒ මට මේ සිත පහළවිය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය, සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්යය කරන කුලපුත්‍රයෙකුට වීර්යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. භාරද්වාජය, ඒ මම මේ ස්ථානය වීර්යය කිරීමට සුදුසුයයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි.
“භාරද්වාජය, මට ආශ්චර්යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය, භාරද්වාජය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. භාරද්වාජය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි, දිඹුල් ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදු වන්නේය”. “භාරද්වාජය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝමය. භාරද්වාජය, ආශ්චර්යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.
478
“භාරද්වාජය, ආශ්චර්යවූ පෙර නොඇසූවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. භාරද්වාජය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපදවන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි, කියා එන්නේය. භාරද්වාජය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ, දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදුනොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය”. භාරද්වාජය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්යඥාන දර්ශනයටද, නිරුත්තර අවබොධයටද නුසුදුස්සෝමය. ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුව, කටුකවූ වෙදනාවන් ඉදින් නොවිඳින්නා හූද, ඥානදර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝමය. භාරද්වාජය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.
479
“භාරද්වාජය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. භාරද්වාජය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. භාරද්වාජය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේ වෙයි. දියෙන්
ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි”. භාරද්වාජය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාම වස්තූන් කෙරෙහි යම් ඇල්මක් වෙද, කාම ආසාවක්වේද කාම මුර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආසාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීන වූයේ වෙද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ගඥානදර්ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සුදුස්සෝමැයි.
“භාරද්වාජය, ආශ්චර්යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.
480
භාරද්වාජය, එ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළෙන්නෙම් නම් යෙහෙක (කියායි.) භාරද්වාජය, ඒ මම දත් මිටි කාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. භාරද්වාජය, දත්මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.
“භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන. බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, භාරද්වාජය, එපරිද්දෙන්ම දත් මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ, ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි. භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළා විය. ප්‍රධාන වීර්යයෙන්ම මඬන ලද්දාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
481
“භාරද්වාජය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම ආශ්වාස කිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියාය.) භාරද්වාජය, ඒ මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයිනහමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම භාරද්වාජය, මාගේ මුඛයෙන්ද, නාසයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුර වලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.
“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක (කියායි) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි. භාරද්වාජය යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කඩුවකින් හිස් මුදුන විදින්නේද, එපරිද්දෙන්ම භාරද්වාජය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාසේ වෙයි.
“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රාශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. භාරද්වාජය, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇතිවෙයි”.
“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.
“භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස ප්‍රශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.
“භාරද්වාජය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.
“භාරද්වාජය, මා විසින් නොහැකුළුණු වීර්යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවිය. ප්‍රධාන වීර්යයෙන් වීර්ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාස නොකරයි.
භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනා විය. ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) භාරද්වාජය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. භාරද්වාජය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත්දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, භාරද්වාජය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.
“භාරද්වාජය, මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්යයෙන් වීර්යකරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. භාරද්වාජය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.
“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි). අතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)
“භාරද්වාජය, ඒ මට මෙසේ කල්පනාවිය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි.) භාරද්වාජය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ භාරද්වාජය ඒ මට මෙසේ කල්පනා විය. ‘මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය’. (කියායි.) භාරද්වාජය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.
“භාරද්වාජය, ඒ මට මේ සිත පහළ විය. ‘යම් හෙයකින් මම පතක් පතක් පමණවූ මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි’ (කියායි.)
“භාරද්වාජය, ඒ මම පතක් පමණවූ, මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. භාරද්වාජය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාර භාවය නිසාම එබඳුවිය. ඔටු පියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැනක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත් තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුනේද, මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.
“භාරද්වාජය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිටකටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. භාරද්වාජය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි, හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. භාරද්වාජය, එසේ ශරීරයේ අවයව අත ගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.
“භාරද්වාජය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.’ භාරද්වාජය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.
482
“භාරද්වාජය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණූවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ, දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශෙෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය)
“භාරද්වාජය, ඒ මට මේ අදහස විය. ‘මම පියවූ ශුද්‍ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්ගය මාර්ග ඥාන අවබොධය පිණිස වන්නේයි’ (අදහස් විය.) භාරද්වාජය, ඒ මට අවබොධය පිණිස මේ මාර්ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. භාරද්වාජය, ඒ මට මේ අදහස විය. ‘කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද’ (කියාය.) භාරද්වාජය ඒ මම මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි’ (කියාය).
483
“භාරද්වාජය, ඒ මම මේ කල්පනාව ඇති විය. ‘මෙතරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොම පිඩු ආදි ඖදාරික ආහාරයක් ගන්නෙම්නම් හොඳය’ (කියාය.)
“භාරද්වාජය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. භාරද්වාජය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස් දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. භාරද්වාජය, යම් කලක පටන් මම බත් හා කොමපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂූහු ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරුහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.
“භාරද්වාජය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ, මෙබඳුවුද, සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“විතක්ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකග බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල්සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද, මෙගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මෙගේ කුසල් හිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහි කරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාතිසතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි. එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.
“භාරද්වාජය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.
484
“ඒ මම මෙසේ (හිත සාමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අඩ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූ ද, ලාමකවූ ද, ප්‍රණීතවූ ද, මනා වර්ණ ඇත්තාවූ ද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ, සත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වුවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වුවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට මෙසේ නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මිය ගියාවූ සත්වයන් දනිමි.
“භාරද්වාජය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම්, දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. භාරද්වාජය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවු කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ග’යයි. තතුසේ දත්තෙමි. මේ දුක නැති කිරීම තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ‘ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගය’යි තතුසේ දැන ගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන් ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.
“භාරද්වාජය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනිවිද්‍යාව (ආශ්‍රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදි. විද්‍යාව උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”.
485
“මෙසේ කීකල්හි සඩ්ගාරව මානවකතෙමේ භාග්‍යවතුන් වහන්සේට “අර්හත් සම්‍යක්සම්බුදු කෙනෙකුගේ වීර්ය යම්සේද භවත් ගෞතමයන් වහන්සේගේ වීර්ය එසේ නොනවත්වා වීර්යයක් විය. භවත් ගෞතමයන් වහන්සේගේ වීර්ය උත්තම පුරුෂයන්ගේ වීර්යයක් වීයයි” කීය.
“භවත් ගෞතමයන් වහන්ස, දෙවියෝ ඇත්තාහුද? භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී”.
“භවත් ගෞතමයන් වහන්ස, දෙවියන් නැද්දැයි අසන ලද්දේ, ‘භාරද්වාජය, මා විසින් දෙවියන් ඇද්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදැයි කීයෙහිය’. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඒ කීම හිස්වූ බොරු කථාවක් නො වන්නේ ද?”
“භාරද්වාජය, දෙවියෝ ඇද්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක් කියන්නේ ද දෙවියෝ ඇතැයි කාරණයන්ට අනුව මා විසින් දැනගන්නා ලදැයි යමෙක් කියන්නේ ද, එකල්හි නුවණැති පුරුෂයා විසින් දෙවියෝ ඇතැයි ඒකාන්තයෙන් විනිශ්චයට පැමිණිය යුතුයි”. ‘භවත් ගෞතමයන් වහන්සේ පළමුකොටම මට එසේ නොකීයේ මන්ද?” “භාරද්වාජය, දෙවියෝ ඇත යනු ලොකයෙහි ඉතා ප්‍රකට වශයෙන් සම්මතව පවත්නා දෙයකියි වදාළේය”.
486
මෙසේ වදාළ කල්හි සංගාරව මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසූ දෙයක් වැසුම් අරින්නේ ද, මං මුළා වූවෙකුට මාර්ගය කියන්නේ ද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදී. මම භවත් ගෞතමයන් ද ධර්මය ද සඩ්ඝයා ද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිම්ව සරණගිය උපාසකයකු කොට දරණසේක්වා”
දසවැනිවූ සඩ්ගාරව සූත්‍රය නිමි. (5-10)
පස්වැනිවූ බ්‍රහ්මණ වර්ගයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.