MN-2-5-9. සුභ සූත්‍රය


සුත්රාන්ත දේශනාව පුජ්‍යය පරගම්මන අමරකිත්ති හිමි 

 


§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු සිටුහු විසින් කරවූ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සේක.

§ 2.එකල්හි  තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් මානවකයා කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවරට පැමිණ එහි  එක්තරා ගෘහපතියෙකුගේ ගෙදර නතර වුනේය. එදා තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා  ඒ ගෘහපතියාට මෙසේ කීය.
“ගෘහපති මිත්‍රය, සැවැත් නුවර රහතුන්ගෙන් හිස් නුවූයේයයි මා විසින් අසනලදී. අද අපට කිනම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහමණයෙකු හෝ දැක කතා කරන්නට පුළුවන් වේදැයි”ඇසීය.

“ස්වාමිනි,  භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවූ දෙවුරම් වෙහෙර වාසය කරණ සේක. ස්වාමිනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනු මැනව”

§ 3. ඉක්බිති තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා  දෙව්රම් වෙහෙරට  පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග  සතුට විය යුතුවූ සිහි කටයුතුවු කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන් සුභ මානවකයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

§ 4. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයන් මෙසේ කියනු මා අසා ඇත. එනම්” ගිහි ගෙයි සිට නිවරදිවු කුශල මාර්ගය සම්පුර්ණ කල හැක. පැවිදි වීම්  කුසල මාර්ගය ට ඇතුළු වීම නොවේ.” (කියායි)” ඔබ වහන්සේ මේ ගැන කුමන අදහසක් දරන්නේද?”

 “මානවකය, මම මේ කරුණෙහිදී විභජ්ජවාදියෙක් (කරුණු බෙදා කියන්නෙක්) වෙමි. [Note: ථෙරවාද බුද්ධාගම “විභජ්ජ වාදය” ලෙස පසු කලෙක දැක්වෙන්නේ මේ වැනි ප්‍රකාශයන් මතය. විභජ්ජ යනු කොටස් වලට බෙදමින් විශ්ලේෂණය කිරීමයි. මේ සද්ධර්මය සියල්ලේම මුලයන් සොයා  ඒ මුලයන් මත ගොඩනැගී ඇත්තේය.]  මම එක් පැත්තක් පමණක් සලකා, කියන්නෙක් නොවෙමි. මානවකය, මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ හෝ වැරදි පිළිපැදීම හරි යැයි පිලි නොගනිමි. වර්ණනා නොකරමි. මානවකය, වැරදි මාර්ගයෙහි පිළිපන් ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි මාර්ගයෙහි පිළිපැදීම හෙතුකොට ගෙන නිවැරදි කුශල මාර්ගය සම්පූර්ණ කරන්නෙක් නොවේ. මානවකය, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මානවකය, හරි මාර්ගයෙහි පිළිපන් ගිහියා හෝ වේවා  පැවිද්දා හෝ වේවා හරිමාර්ගයෙහි පිළිපැදීම හෙතු කොට ගෙන නිවැරදි කුශල මාර්ගය සම්පූර්ණ කරන්නෙක්වේ”.

§ 5. “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහමණයන්  මෙසේද කීහ.
“බොහෝ කලයුතු කාරනා වතාවත් ඇති නිසා,  සහභාගී විය යුතු  (නම් තබන මඩ්ගල්‍යාදී),  මහත් උත්සව බඳු කටයුතු ඇති නිසා, මෙය අද කළ යුතුය, සෙට කළයුතුයයි ආදී ලෙස මෙසේ අධික කටයුතු ඇති බොහෝ දෙනා කර්මාන්තයන්හි යෙදීම් යෙදවීම් ආදී කටයුතු නිසා, ගිහිගෙයි කටයුතු මහත් ඵල ඇත්තේ වෙයි. එවැනි කටයුතු නැති, බොහෝ අල්ප කටයුතු ඇති 
 ස්වල්ප වැඩ ඇති ස්වල්ප යෙදවීම් ඇති අඩු කරුණු ඇති පැවිදිකම අල්ප ඵල ඇත්තේය’කියාය. භවත් ගෞතමයන් වහන්සේ මෙකරුණෙහිදී කුමක් කියන සේක්ද?”

”මානවකය, මම මෙහිද කරුණු බෙදා කියන්නෙමි.. එක් පැත්තක් පමණක් බලා කරුණු නොකියමි.

  • මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද වරදවා කරන ලද්දේ නම්, ස්වල්ප ඵල ඇත්තේ වෙයි. 
  • මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයි.
  • මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද, යහපත්කොට කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ වෙයි.
  • මානවකය, මද කටයුතු ඇති, ස්වල්ප කෘත්‍ය ඇති අඩු වැඩපල ඇති අඩු යෙදවීම් ඇති, කර්මාන්තද වරදවා කරන ලද්දේ අල්ප ඵල ඇත්තේ වෙයි.
  • මඳ කටයුතු ඇති ස්වල්ප කෘත්‍ය ඇති අඩුවැඩපල ඇති අඩුයෙදවීම් ඇති කර්මාන්තද යහපත් කොට කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වෙයි.
  • මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද, යහපත්කොට කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ වෙයි.

§ 6. “මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති නමුත් ,වරදවා කරන ලද කල  අල්ප ඵල ඇති කර්මාන්තය නම් කුමක්ද?
මානවකය, කෘෂිකර්මය (ගොවිතැන) මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති වරදවා කළ කල්හි ස්වල්ප ඵල ඇති කර්මාන්තය වේ.

මානවකය, යහපත් කොට කරනලද කල්හි මහත්ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්මාන්තය කුමක්ද?
“මානවකය, කෘෂිකර්මයම  (ගොවිතැනම ) යහපත් කොට කළ කල්හි මහත්ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්මාන්තය වේ.

“මානවකය, ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු මෙහෙයීම් ඇති, වරදවා කළ කල්හි අල්ප ඵල ඇති, කර්මාන්තය නම් කුමක්ද?
“මානවකය, වෙළඳාම අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති වරදවා කළ කල්හි අල්ප ඵල ඇති කර්මාන්තය වෙයි.

“මානවකය, යහපත් කොට කරනලද කල්හි මහත් ඵල ඇති, අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩුයෙදවීම් ඇති කර්මාන්තය නම් කුමක්ද?
“මානවකය, වෙළඳාම යහපත් කොට කරනලද කල්හි මහත්ඵල ඇති, අඩුකටයුතු ඇති, අඩුවැඩපල ඇති, අඩු යෙදවීම් ඇති කර්මාන්තය වෙයි.

§ 7. “මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්මය වරදවා කරනලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයිද, මානවකය, එසේම මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති, ගිහිකමද වරදවා කරන ලද්දේ නම් ස්වල්ප ඵල ඇත්තේ වෙයි.

 “මානවකය, යම්සේ මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්මයම යහපත් කොට කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වෙයිද, එසේම මහත් කටයුතු බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, ගිහි ජීවිතයද  යහපත් කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි.

“මානවකය, යම්සේ ස්වල්ප කටයුතු ඇති ස්වල්ප වැඩ පල ඇති, අඩු කටයුතු, අඩු යෙදවීම් ඇති, වෙළඳාම වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේද? එමෙන් ස්වල්ප කටයුතු ඇති ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, ශ්‍රමණකමද වරදවා කරන ලද්දේ, ස්වල්ප ඵල ඇත්තේ වෙයි.

මානවකය, යම්සේ ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, වෙළඳාම යහපත් කොට කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වේද, එමෙන් ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු යෙදවීම් ඇති, ශ්‍රමණ කමද යහපත්කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි”

§  8 .“භවත් ගෞතමයන් වහන්ස,
බ්‍රාහ්මණයෝ  කුසල් කිරීම පිණිස, කුසල් පිරීම පිණිස, ධර්ම පසක් පනවත්.”
“මානවකය, බ්‍රාහ්මණයෝ කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස, යම් ඒ ධර්ම පසක් පනවත්ද, ඉදින් තොපට බරක් නොවේ නම් ඒ ධර්ම පස මේ පිරිසෙහි කියව.”

“භවත් ගෞතමයන් වහන්ස, පින්වතුන් වහන්සේ හෝ පින්වතුන් වහන්සේට සමාන වූවෝ හෝ යම් තෙනක සිටිත් නම් එහිදී ප්‍රකාශ කිරීම මට බරක් නොවේ.”
“මානවකය, එසේ නම් කියව.”

§  9 .“භවත් ගෞතමයන් වහන්ස, 

  • සත්‍යයවාදී වීම  කුසල් කරනු පිණිස, කුසල් පුරනු පිණිස, පළමුවැනි ධර්මය කොට බ්‍රාහ්මණයෝ පනවත්.
  • තපස කුසල් කරනු පිණිස කුසල් පුරනු පිණිස දෙවැනි ධර්මය කොට පණවත්.
  • බ්‍රහ්මචර්‍ය්‍යාව කුසල් කරනු පිණිස කුසල් පුරනු පිණිස තුන්වැනි ධර්මය කොට බ්‍රාහ්මණයෝ පණවත්.
  • වේද ශ්ලෝක ඉගෙනීම හා  සජ්ඣායනා කිරීම කුසල් කරනු පිණිස කුසල් පුරනු පිණිස සතර වැනි ධර්මය කොට  බ්‍රාහ්මණයෝ පණවත්.
  • දානය  කුසල් කරනු පිණිස කුසල් පුරනු පිණිස ත්‍යාගය (දීම) පස්වැනි ධර්මය කොට  බ්‍රාහ්මණයෝ පණවත්.

භවත් ගෞතමයන් වහන්ස කුසල් කරන්නට මේ ධර්ම පහ අවශ්‍යබව බ්‍රාහ්මණ ඉගැන්වීම වේ. ඔබ වහන්සේ මේ කාරණය ගැන කුමක් කියන සේක්ද?”

§ 10. “මානවකය, මා කරුණක් අසමි.
‘මම මේ ධර්ම පස මමම  නුවණින් දැන එහි විපාක ප්‍රකාශ කරමියි’ කියන  එක් බ්‍රාහ්මණයෙක්වත් බ්‍රාහ්මණයන් අතුරෙහි ඉන්නේද? ”
“භවත් ගෞතමයන් වහන්ස, එසේ නොවේය”.
“මානවකය, කිමෙක්ද? බ්‍රාහ්මණයන්ගේ එක් ගුරුවරයෙක් හෝ ගුරුවරයන්ගේ ගුරුවරයෙක් හෝ සත්වැනි පරම්පරාව දක්වා ‘මම මේ ධර්ම පස තෙමේම ප්‍රත්‍යක්ෂ කොට නුවණින් දැන විපාක ප්‍රකාශ කරමියි’ කියන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේය.”
“මානවකය, කිමෙක්ද? මන්ත්‍ර කර්තෘවූ මන්ත්‍ර පවත්වන්නාවූ බමුණන්ගේ පූර්වවූ යම් ඒ ඍෂිහු වෙත්ද? ඔවුන් විසින් ගායනා කරනලද කියනලද, යහපත්සේ එක්කොට තැබූ පුරාණවූ මන්ත්‍රවිදි මෙකල බමුණෝ අනුව ගායනාකරත්ද? ඒ අනුව කියත්ද, කියූදෙය අනුව කියත්ද, ඔවුහු කවරේද? අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඩ්ගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය (යන මොවුහුය). ඔවුහුද අපි මේ ධර්ම පස තෙමේම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කරමුයි කීවාහුද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙය එසේ නොවේ”.
“මානවකය, මෙසේ බමුණන් අතුරෙන් ‘මම මේ ධර්ම පස ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කෙළෙමියි’ කී එකද බ්‍රාහ්මණයෙක් නැත. බමුණන්ගේ සත්වැනි ඇදුරු පරපුර දක්වා ‘මම මේ ධර්ම පස ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කරමියි’ කී එක් ගුරුවරයෙක් හෝ ගුරුවරයන්ගේ ගුරුවරයෙක් හෝ නැත. බමුණන්ගේ මන්ත්‍ර කරන්නාවූ මන්ත්‍ර පවත්වන්නාවූ යම් ඒ පූර්ව ඍෂිහු වෙත්ද, ඔවුන් විසින් ගායනා කරණලද, කියන ලද, යහපත්සේ එක්කොට තැබූ පුරාණවූ මන්ත්‍ර පද අනුව ගයත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, ඔවුහු කවරේද? අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අඩ්ගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය, (යන මොවුහුය) ඔවුහුද අපි මේ පඤ්චධර්මයන් තෙමේම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන විපාක ප්‍රකාශ කරමුයයි නොකීහ.

Image result for Blind men walking behind each other

“මානවකය, යම්සේ උරෙන් උරය ගැවී ඉන්නා අන්ධ මිනිසුන්  සමුහයක පළමුවැනියා ද නොදකියි. මැදසිටින්නාද නොදකියි. අන්තිමයාද නොදකියි. මානවකය, එපරිද්දෙන් බ්‍රාහ්මණයන්ගේ කීමද මේ අන්ධයන්ගේ උපමාව හා සමාන බවට පැමිණෙයි. පළමුවැනියාද නොදකියි. මැදින් යන්නාද නොදකියි. අන්තිමට යන්නාද  නොදකියි.”

§ 11. මෙසේ කී කල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ මානවකයා භාග්‍යවතුන් විසින් කියනු ලැබු අන්ධ උපමාව නිසා කුපිතව නොසතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේටම ගටා බණමින් භාග්‍යවතුන් වහන්සේටම පහත්කොට කථා කරමින් භාග්‍යවතුන් වහන්සේටම උපවාද කියමින් “ශ්‍රමණ ගෞතමයන්  පාපියෙක් වන්නේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“භවත් ගෞතමය, උපමඤ්ඤ ගොත්‍රයෙහිවූ සුභග වනයට අධිපතිවූ පොක්ඛරසාති බ්‍රාහ්මණ උතුමන්* [මේ සිද්ධිය පොක්කරසාති බ්‍රාහ්මණයා බුද්ධ ශ්‍රාවකයෙක් වීමට කලින් වුවක් බව මෙයින් පෙනේ.]   මෙසේ කීය. ‘ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍යවූ විශෙෂ ඥානයෙන් දැකීමක් ප්‍රකාශ කරත් නම්  ඔවුන්ගේ ඒ කීම සිනාවක් බවට පැමිණේ. නාම මාත්‍රයක් බවට පැමිණේ. හිස්බවට පැමිණේ. බොරු බවට පැමිණේ. මනුෂ්‍යයෙක් කෙසේ නම් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ ආර්‍ය්‍යවූ විශෙෂ ඥානයක් දැන ගන්නේද දක්නේද ප්‍රත්‍යක්ෂ කරන්නේද? ඊට කරුණූ නැත, කියායි”.

“කිමෙක්ද? මානවකය, උපමඤ්ඤගොත්‍රයෙහිවූ සුභග වනයට අධිපතිවූ පොක්ඛරසාති බ්‍රාහ්මණයන් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනීද?”
“භවත් ගෞතමය, උපමඤ්ඤ ගොත්‍රයෙහිවූ සුභග වනයට අධිපතිවූ පොක්ඛරසාති බමුණුතෙම ස්වකීය පුණ්ණක නම් දාසියගේ සිතද තම සිතින් පිරිසිඳ නොදනියි. කෙසේ නම් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නේද?”

§ 12 . “මානවකය,  උත්පත්තියෙන් අන්ධ පුරුෂයා කළු සුදු රූපයන් නොදක්නේය , නිල් රූප නොදක්නේය , රන්වන් රූප නොදක්නේය , ලෙහෙවන් රූප නොදක්නේය , මදටිය පැහැති රූප නොදක්නේය , සම විසම දෙක නොදක්නේය , තරු නොදක්නේය , සඳ හිරු නොදක්නේය , එසේ නොදක්නා හෙතෙම මෙසේ කියන්නේය. ‘කළු සුදු රූපයෝ නැත. කළු සුදු රූපයන් දකින්නෙක් නැත. නිල් රූප නැත. නිල් රූපයන් දක්නෙක් නැත. රන්වන් රූප නැත. රන්වන් රූප දක්නෙක් නැත. ලෙහෙවන් රූප නැත. ලෙහෙවන් රූප දක්නෙක් නැත. මදටිය පැහැති රූප නැත. මදටිය වන් රූපයන් දක්නෙක් නැත. සම විසම දෙකක් නැත. සම විසම දෙක දක්නෙක් නැත. තරු නැත. තරු දක්නෙක් නැත. සඳ හිරු නැත. සඳ හිරු දක්නෙක් නැත. මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් ඒ දේ නැතැයි කියමි, යනුයි”.
“මානවකය, හෙතෙම මනාකොට කියනු ලබන්නෙක් වන්නේද?

“භවත් ගෞතමයන් වහන්ස, එය එසේ නොවේය. කළු සුදු රූප ඇත. කළු සුදු රූපයන් දක්නෙක් ඇත. නිල් රූප ඇත. නිල් රූප දක්නෙක් ඇත. රන්වන් රූප ඇත. රන්වන් රූප දක්නෙක් ඇත. ලෙහෙවන් රූප ඇත. ලෙහෙවන් රූප දක්නෙක් ඇත. මදටිය පැහැති රූප ඇත. මදටිය පැහැති රූප දක්නෙක් ඇත. සම විසම ඇත. සම විසම දක්නෙක් ඇත. තරු ඇත. තරු දක්නෙක් ඇත. සඳ හිරු ඇත. සඳහිරු දක්නෙක් ඇත. ‘මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් නැතැයි කියන්නේ නම්’ භවත් ගෞතමයන් වහන්ස, ඔහු ඇත්තක්  කියන්නෙක් නොවේ”.

§ 13.‘මානවකය, එලෙසම  ඕපමඤ්ඤ ගොත්‍රයෙහි සුභග වනයට අධිපතිවූ පොක්ඛරසාති බ්‍රාහ්මණයා  ජාති   අන්ධයෙකි. ඇස් නැත්තෙකි. හෙතෙම ඒකාන්තයෙන් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ආර්‍ය්‍යවූ ඥානදර්ශනය දැනගන්නේය, දක්නේය, ප්‍රත්‍යක්ෂ කරන්නේය, කියන්නට  හේතුවක් කරුණක් නැත්තේය.

 “මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද,
කොසල ජනපදයෙහි  මහාසාර බ්‍රාහ්මණයෝ වෙත්, ඔවුහු කවරහුද? චඩ්කී බ්‍රාහ්මණයාය, තාරුක්ඛ බ්‍රාහ්මණයාය, පොක්ඛරසාතී බ්‍රාහ්මණයාය, ජානුස්සොනි බ්‍රාහ්මණයාය, තොපගේ පියාවූ තොදෙය්‍ය බ්‍රාහ්මණයාය යන මොව්හුය”.
“ඔව්හු සමහරවිට ලොක ව්‍යවහාරයට අනුකූල වචනයක් කියත්, සමහරවිට අනුකූල නොවූ වචනයක් කියත්, එදෙකින් කවරක් උතුම් වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ලොක ව්‍යවහාරයට අනුව කියන වචනය උතුම්ය”.
“ඔව්හු යම් වචනයක් විමසා බලා කියත්, යම් වචනයක් විමසා නොබලා කියත්, ඒ දෙකින් කවරක් උතුම්ද,?”
“භවත් ගෞතමයන් වහන්ස, විමසා බලා කියන වචනය උතුම්ය”.
“ඔව්හු යම් වචනයක් දැනගෙන කියත්, යම් වචනයක් නොදැන කියත්, ඒ දෙකින් කවරක් උතුම්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, දැනගෙන කීම උතුමි වේ ”.
“ඔව්හු සමහරවිට අර්ථයෙන් යුක්තවූ  වචනයක් කියත්, සමහරවිට අර්ථ රහිතවූ  වචන  කියත්, ඒ දෙකින් කවරක් උතුම්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, අර්ථයෙන් යුක්ත කොට කියන වචනය උතුම්ය”.

§ 14.  “මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද?
“ඉදින් මෙසේ ඇතිකල්හි  පොක්ඛරසාති බමුණා විසින් ලොක ව්‍යවහාරයට අනුකූල වචනයක් කියන ලද්දේද? අනුකූල නොවූවක් කියන ලද්දේද?”
“භවත් ගෞතමයන් වහන්ස, අනුකූල නොවූවක් කියන ලදී,
“විමසා බලා කියන ලද්දේද? විමසා නොබලා කියන ලද්දේද?”
“භවත් ගෞතමයන් වහන්ස, විමසා නොබලා කියන ලද්දේය”.
“දැන ගෙන කියන ලද්දේද? නොදැන කියන ලද්දේද?”
“භවත් ගෞතමයන් වහන්ස, නොදැන කියන ලද්දේය”.
“අර්ථ සහිතව කියන ලද්දේද, අර්ථ රහිතව කියන ලද්දේද?”
“භවත් ගෞතමයන් වහන්ස, අර්ථ රහිතව කියන ලද්දේය”.

§ 15. “මානවකය,  නීවරණයෝ පස් වැදෑරුම් වේ.  කවර පසෙක්ද?

  • කාමච්ජන්ද නීවරණය,
  • ව්‍යාපාද නීවරණය,
  • ථීනමිද්ධ නීවරණය,
  • උද්ධච්චකුක්කුච්ච නීවරණය,
  • විචිකිච්ඡා නීවරණය යනුයි.

මානවකය, මේ පඤ්ච නීවරණයෝය. මානවකය, ඕපමඤ්ඤවූ සුභගවනික නම්වූ පොක්ඛරසාති බමුණා මේ පඤ්ච නීවරණයන්ගෙන් වැසුනේය, වටකරගන්නා ලද්දේය. වෙලුණේය. විශෙෂයෙන් වෙලුණේය. හෙතෙම එකාන්තයෙන් මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ අර්‍ය්‍යවූ ඥාන දර්ශනය දන්නේය, දකින්නේය, ප්‍රත්‍යක්ෂ කරන්නේය, යන බවට කරුණු නැත්තේය.

§ 16.  “මානවකය, මේ කාම ගුණයෝ පසෙකි. කවර පසෙක්ද,

  • ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ කැමතිවූ , මනවඩන්නාවූ ඇලීම පිණිස පවත්නාවූ රූපයෝවෙත්,
  • කණින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මනවඩන්නාවූ ඇලීම පිණිස පවත්නාවූ, ශබ්දයෝ වෙත්.
  • නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවූ, මනවඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ ගන්ධයෝ වෙත්.
  • දිවෙන් දතයුතු වූ ඉෂ්ටවූ, කැමතිවූ, මනවඩන්නාවූ, ඇලීම පිණිස පවත්නාවූ, රසයෝ වෙත්.
  • කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මනවඩන්නාවූ ඇලීම පිණිස පවත්නාවූ, ස්පර්ශයෝ වෙත්.

මාණවකය, මේ පඤ්චකාම ගුණයෝය.
මාණවකය, මේ පඤ්චකාම ගුණයන්හි ඕපඤ්ඤ සුභගවනික නම්වූ පොක්ඛරසාති බමුණා ගැළුනේ, මුසපත් වූයේ මුලාවට පැමිණියේ, ආදිනව නොදක්නේ නික්මෙන ප්‍රඥාවක් නැතිව එම පස්කම් සැප අනුභව කරයි. එකාන්තයෙන් හෙතෙම මනුෂ්‍ය ධර්මයට වඩා උසස්වූ, ආර්‍ය්‍යවූ ඥාන දර්ශන විශෙෂයක් දැන ගන්නේය කියා හෝ දක්නේය කියා හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේය කියන්නට  හේතු නැත.

§ 17.  “මාණවකය, ඒ කිමැයි සිතන්නෙහිද,
තෘණ දර නිසා යම් ගින්නක් දල්වන්නේද, තණ දර නැතිව යම් ගින්නක් දල්වන්නේද, මේ දෙකින් කිනම් ගින්නක් රශ්මිය ඇත්තේද? වර්ණවත්ද? ආලොකවත්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් තණ දර නැතිව ගිනි දැල්විය හැකි නම්, ඒ ගිනි රශ්මි ඇත්තේය. වර්ණවත්ය. ආලොකවත්ය”.
“මානවකය, තෘණ දර නැතිව ගිනි දැල්වීමට සෘද්ධිමතෙකුට හැර අනිකෙකුට නුපුළුවන. මානවකය, යම්සේ තණ දර නිසා ගිනි දල්වයිද, මානවකය, එමෙන් පස්කම් ගුණයන් නිසා යම් ප්‍රීතියක් වේද, මම ඒ ප්‍රීතිය ඒ ගින්න හා උපමා කොට කියමි. මානවකය, යම්සේ තෘණ දර නැතිව ගිනි දල්වයිද, කාමයන්ගෙන් වෙන්ව අකූශල ධර්මයන්ගෙන් වෙන්ව යම් ප්‍රීතියක් ලබයිද, ඒ ප්‍රීතිය මම ඒ තෘණ දර නැතිව උපද වන ගින්නට උපමාකර කියමි.

“මානවකය, කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතිය කවරේද?

  • මානවකය, භික්ෂුවක් කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්ව, විතක්ක විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය සහ සැපයෙන් යුක්ත ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මානවකය, මේ ප්‍රීතිය කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියයි.
  • නැවතද මානවකය, භික්ෂුව විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්, අභ්‍යන්තරය පහදවන්නා වූ, සිතේ එකඟකම ඇතිකරන්නාවූ, විතර්ක විචාර රහිතවූ සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය සහ සැපය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මානවකය, මෙයද කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ ප්‍රීතියයි.

§ 18.  “මානවකය,   බ්‍රාහ්මණ ඉගැන්වීමේ පින්කිරීමට, කුසල් කිරීමට ධර්ම පසක් පනවත්ද, මොවුන් අතුරෙන් බ්‍රාහ්මණයෝ කිනම් ධර්මයක් පින් කිරීමට කුසල් කිරීමට වඩා මහත්ඵලකොට පනවත්ද?”

“භවත් ගෞතමයන්වහන්ස, කුසල් කිරීමට පැනවූ  ධර්මයන්  අතුරෙන් “දන්දීම”, පින් කිරීම පිණිස කුසල් කිරීම පිණිස වඩාත්  මහත්ඵල වෙතැයි  පනවත්”

§ 19. “මානවකය, ඒ කිමැයි සිතන්නෙහිද?
මෙහි එක්තරා බමුණෙකුගේ මහා දානයක්වූ අවස්ථාවක  බමුණෝ දෙදෙනෙක් මෙනම් බමුණාගේ මහා යාගය අනුභව කරන්නෙමුයි එන්නාහුය. එහි එක් බමුණෙකුට මෙබඳු සිතක් වන්නේය.
‘දානයෙහි අග්‍ර ආසනය, අග්‍රජලය, අග්‍ර ආහාරය ඒකාන්තයෙන් මම ලබන්නෙම් නම් අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය අග්‍ර ආහාරය නොලබන්නේ නම් හොඳය’ කියාය. මානවකය, ඉදින් අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය ලබන්නේද, ඒ බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය නොලබන්නේද ‘අනික් බ්‍රාහ්මණයා දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය ලබයි. මම දානයෙහි අග්‍ර ආසනය, අග්‍ර ජලය, අග්‍ර ආහාරය නොලබමියි”. මෙසේ හෙතෙම කිපුණෙක් නොසතුටු වූවෙක් වෙයි. මානවකය, මොහුට බමුණෝ කුමන විපාකයක් පනවත්ද?”

“භවත් ගෞතමයන් වහන්ස,  බමුණෝ මේ දානය නිසා අනිකෙක් කුපිතවේවා නොසතුටු සිතැත්තේ වේවායි සිතා  දන් නොදෙත්.  බමුණෝ අනුකම්පා ස්වභාවයෙන්ම දන් දෙත්.”

“මානවකය, මෙසේ ඇති කල්හි බමුණන්ගේ යම් මේ අනුකම්පා ස්වභාවවූ සයවැනි පුණ්‍යක්‍රියා වස්තුවක්ද වේද?”.
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි බමුණන්ගේ යම් මේ අනුකම්පා ස්වභාවවූ සය වැනි පුණ්‍යක්‍රියා වස්තුවක් ද වෙයි”.

§ 20.“මානවකය, බමුණෝ පින්කිරීමට කුසල් කිරීමට යම් මේ පඤ්ච ධර්මයක් පනවත්ද, නුඹ මේ පඤ්ච ධර්මයන්  බහුලව දක්නේ  ගිහියන් අතරද?   ශ්‍රමණයන්  අතරද?”

“භවත් ගෞතමයන්වහන්ස, බ්‍රාහ්මණ ධර්මයේ පින් කිරීමට කුසල් කිරීමට පනවා ඇති   පඤ්ච ධර්මයන්  පැවිද්දන් අතර බහුලව දකිමි. ගිහියන් අතර දකින්නට අසීරුය.  භවත් ගෞතමයන් වහන්ස,

  • ගෘහස්ථයා (ගිහියා)ට    මහත් කටයුතු ඇත. බොහෝ වැඩපල ඇත්තේය. අධික කටයුතු ඇත්තේය. බොහෝ යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර සත්‍යවාදී නොවෙයි. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිතයා වනාහි අඩු කටයුතු ඇත්තේය. අඩු වැඩපල ඇත්තේය. අඩු යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර සත්‍යවාදී වෙයි.
  • භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්ථයාට අති මහත් කටයුතු ඇත්තේය. බොහෝ වැඩපල අධික කටයුතු ඇත්තේය. බොහෝ යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර තපස් කම් නොකරයි.
    බ්‍රහ්මචාරි නොවේ.
    සජ්ඣායනා බහුල නොවේ (නිතර වේද ස්ත්‍රෝත්‍ර නොගයයි.).
    දන්දීම් බහුල කොට නොකරයි. .
  • භවත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිතයා (පැවිද්දා)ට   ස්වල්ප කටයුතු ඇත්තේය. ස්වල්ප යෙදවීම් ඇත්තේය. එහෙයින් නිතර තපස් කම් කරයි. බ්‍රහ්මචාරී වෙයි. සජ්ඣායනා බහුල වෙයි. දන්දීම් බහුල වෙයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට කුසල් කිරීමට යම් මේ පඤ්චධර්මයන් පනවත්ද, මම මේ පඤ්ච ධර්මයන් පැවිද්දන් කෙරෙහි බහුලව දකිමි. ගෘහස්ථයන් කෙරෙහි ස්වල්පය”.

§ 21.. “මානවකය, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් කිරීමට පනවන  ධර්ම පස  , මම ඒ ධර්ම චිත්තයාගේ පිරිවර ධර්මයයි කියමි. වෛර නැත්තාවූ, දෝස නැත්තාවූ යම්  සිතක් වේද ඒ විත්තයාගේ වැඩීම පිණිස වෙයි.

මානවකය, මෙහි භික්ෂු තෙම සත්‍යවාදී වෙමියි අර්ථය දැනීමෙන් සතුට ලබයි. පාළිය දැනීමෙන් සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි. කුසලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වේද, ඒ ප්‍රීතිය චිත්තයාගේ පිරිවර යයි කියමි. වෛර නැත්තාවූ දෝස නැත්තාවූ, යම්  සිතක් වේද, ඒ සිත වැඩීම පිණිස වෙයි.

මානවකය,  භික්ෂුතෙම තපස් රක්නේද හෙතෙම ‘මම තපස් කරන්නෙක් වෙමියි’ අර්ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්මය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. කුශලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වේද, යම් ඒ වෛර නැත්තාවූ සිතක් වේද, ‘මම ඒ වැඩීම සඳහා තපස් රැකීම ඒ චිත්තයාගේ පිරිවර යයි’ කියමි. හෙතෙම ‘මම බ්‍රහ්මචාරී වෙමියි’ අර්ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. යම් මේ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ සිතක් වේද, හෙතෙම ‘මම සජ්ඣායන බහුල වෙමියි’ අර්ථය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්මයද දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්මය දැනීමෙන් ප්‍රීතිය ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි.
“යම්  වෛර නැත්තාවූ දෝස නැත්තාවූ සිතක් වේද, මම එය ඒ චිත්තයාගේ වැඩීම පිණිස පිරිවරයයි කියමි.

මානවකය, මෙහි භික්ෂුතෙම දන්දීම බහුල කොට ඇත්තේද හෙතෙම ත්‍යාග බහුල වූයෙමියි අර්ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයි. කුසලයෙන් යුක්තවූ යම් ඒ ප්‍රීතියක් වෙයිද එය ලබයි. මම එය චිත්තයාගේ පිරිවරයයි කියමි. රෛ නැත්තාවූ, ක්‍රොධ නැත්තාවූ, යම් සිතක් වේද ඒ චිත්තයාගේ වැඩීම පිණිසය.
“මානවකය, බ්‍රාහ්මණයෙක් පින් කිරීමට කුසල් කිරීමට ධර්ම පසක් පනවත්ද, මම ඒ, ධර්ම වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ යම් සිතක් වේද, චිත්තයාගේ වැඩීම පිණිස පිරිවර යයි කියමි.”

§ 22.  මෙසේ කීකල්හි තොදෙයිය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයෝ බ්‍රහ්මයා හා එක්වීමට යා යුතු  මාර්ගය දනීයයි මා විසින් අසනලදී.”
[බ්‍රාහ්මණ ධර්මයේ අන්තිම අරමුණවන්නේ මරණයෙන් පසු  මහා බ්‍රහ්මයා හා එක්වීමයි]
“මානවකය, මේ කුමකැයි සිතන්නෙහිද?
මෙතැන සිට නළකාර ගම ළඟද ඉතා නුදුරෙහිද?”
“එසේය, පින්වත, නළකාර ගම ආසන්නය. මෙහි සිට නළකාර ගම ඉතා දුර නොවේ.”
“මානවකය,  කුමකැයි සිතන්නෙහිද, යම් පුරුෂයෙක් නළකාර ගමෙහි ඉපදී එහිම වැඩුනේ වේද, නළකාර ගම සොයා යන මිනිසෙක්  ඒ පුරුෂයාගෙන් නළකාර ගමට යන මාර්ගය අසන්නේ නම් ගමට යන මග කියන්නට ඔහුගේ 
 පමාවීමක් හෝ ගල්  ගැසුනක්මෙන් සිටීමක් හෝ වේද ?”

“භවත් ගෞතමයන් වහන්ස, එසේ නොවේ. ඊට හේතු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ඒ පුරුෂයා නළකාර ගමෙහි ඉපදී එහිම වැඩුනෙකු වන හෙයින් ඔහු විසින් නළකාර ගමේ සියලුම පාරවල් මනාකොට දන්නා හෙයිනි.”

“මානවකය,නළකාරගමෙහි ඉපදී වැඩුණාවූ ඒ පුරුෂයාට නළකාර ගමට යන මාර්ගය කීමට පමාවීමක් හෝ ගල් ගැසුණාක් මෙන් සිටීමක් හෝ වෙතත් යමෙක්  බඹලොව හෝ බඹලොවට පැමිණෙන ප්‍රතිපදාව හෝ අසනලද කල  තථාගතයන්ගේ පිළිතුරු දීමෙහි පමාවීමක් හෝ ගල් ගැසුණක් මෙන් සිටීමක් හෝ නොවේමය.

මානවකය, මම බ්‍රහ්මයන්ද දනිමි. බඹලොවද දනිමි. කවරෙක් බඹලොව උපන්නේද, ඔහුද දනිමියි” වදාලේය.

§ 23.  “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීමට යන මාර්ගය දෙසනා කරත්යයි මා විසින් අසනලදී. භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන් හා එක්වීමට යන මාර්ගය දෙශනා කරන්නේ නම් මැනවි.”

“එසේ නම් මානවකය, අසව.  මනාව සිත්හි කරව. කියන්නෙමි.”
“එසේය පින්වතුන් වහන්සැයි”තොදෙය්‍යපුත්‍රවූ සුභ මානවකයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 24.  “මානවකය, බ්‍රහ්මයන් හා එක්වීමට යන මාර්ගය කවරේද?
මානවකය, මේ ශාසනයෙහි භික්ෂුව මෛත්‍රී සහගත සිතින් සිතුවිලි  එක් දිසාවකට  පතුරුවා වාසය කරන්නේය. එසේම  දෙවැනි දිසාවට ද, තුන් වැනි දිසාවට ද, සතරවැනි දිසාවට ද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියල්ල සහිත ලොකය මහත්වූ උසස් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ, මෛත්‍රී සහගත සිතිවිලි  පතුරුවා වාසය කරන්නේය.

“මානවකය, මෙසේ මෛත්‍රි සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ කාමාවචර කර්මය පවා, ප්‍රමාණ කළ නොහැකි ඒ රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය, නොසිටින්නේය.
මානවකය, යම්සේ මනාලෙස පුහුණු කල සක්පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිශාවට ඇසෙන්නට මහා හඩින් ඒ සක පිඹින්නේද, මානවකය, එසේම වඩන ලද මෛත්‍රී සහගත සමාධිය ඇති කල්හි ප්‍රමාණ කළ හැකි යම් කාමාවචර කර්මයක් ඇත්තේද, එම කාමාවචර කර්මය එම රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය, නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට මාර්ගය වේ.

§ 25. “මානවකය, නැවතද භික්ෂුව කරුණා සහගත සිතින් සිතුවිලි  එක් දිසාවකට  පතුරුවා වාසය කරන්නේය. එසේම  දෙවැනි දිසාවට ද, තුන් වැනි දිසාවට ද, සතරවැනි දිසාවට ද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියල්ල ලොකය කරුණා සහගතවූ මහත්වූ මහග්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ, සිතින් පතුරුවා වසයිද, මානවකය, මෙසේ කරුණා සහගත සමාධිය වැඩුකල්හි යම් ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් සිව් දිසාවනට හඟවන්නේද, මානවකය, මෙපරිද්දෙන් මෙසේ මඩන ලද, කරුණා සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට මාර්ගයයි.

§ 26.  “මානවකය, නැවතද භික්ෂුව මුදිතා සහගත සිතින් සිතුවිලි  එක් දිසාවකට  පතුරුවා වාසය කරන්නේය. එසේම  දෙවැනි දිසාවට ද, තුන් වැනි දිසාවට ද, සතරවැනි දිසාවට ද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියල්ලමහත්වූ, මහග්ගතවූ අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ සිතින් පතුරුවා වසයිද, මානවකය, මෙසේ වඩනලද, මුදිතා සහගත සමාධිය ඇති කල්හි යම් ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසු සිව් දිසාවනට හඟවන්නේද, මානවකය, මෙපරිද්දෙන් මෙසේ වඩනලද, මුදිතා සහගත සමාධිය ඇති කල්හී යම් ප්‍රමාණ කළහැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රාහ්මයන් හා එක්වීමට මාර්ගයයි.

§ 27.  “මානවකය, නැවතද භික්ෂුව උපෙක්ඛා සහගත සිතින් සිතුවිලි  එක් දිසාවකට  පතුරුවා වාසය කරන්නේය. එසේම  දෙවැනි දිසාවට ද, තුන් වැනි දිසාවට ද, සතරවැනි දිසාවට ද, මෙසේ උඩ යට සරස සියලු දෙය කෙරෙහි සියලු ආකාරයෙන් සියල්ල ට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ සිතින් පතුරුවා වාසය කරන්නේය. මානවකය, මෙසේ උපෙක්ඛා සහගත සමාධිය වැඩූ කල්හි යම් ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මයක් වෙයිද, ඒ ප්‍රමාණ කළ හැකි කාමාවචර කර්මය තෙමේ ප්‍රමාණ නොකළ හැකි රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. ශක්තිමත් සක් පිඹින්නෙක් පහසුවෙන් සතර දිසාවට හඟවන්නේද, මානවකය, එපරිද්දෙන් උපෙක්ඛා සහගත සමාධිය වැඩූ කල්හි යම් කාමාවචර කර්මයක් ඇත්තේද, ඒ කාමාවචර කර්මය තෙම ඒ රූපාවචර කර්මය මැඩගෙන නොපවත්නේය. නොසිටින්නේය. මානවකය, මෙයද බ්‍රහ්මයන් හා එක්වීමට පැමිණෙන මාර්ගය වේ”.

§ 28   .මෙසේ කී කල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත.
භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසූ දෙයක් වැහුම් අරින්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ තෙල් පහනක් දරන්නේද, ‘අඳුරෙහි දකිත්වායි’ එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය.

මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සඩ්ඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා. භවත් ගෞතමයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තෝ වෙමු. බොහෝ වැඩපල ඇත්තෝ වෙමු. එබැවින් දැන් අපි යන්නෙමු.”
“මානවකය, නුඹ යමක් කැමති නම් ඊට කාලය දැනගනුවයි” වදාළේය.

එකල්හි ජානුස්සොණී බ්‍රාහ්මණ තෙමේ සියල්ල සුදු අශ්වරථයෙන් දවල් කාලයෙහි සැවැත් නුවරෙහි ගමන් කරන්නේය. ජානුස්සොණී බ්‍රාහ්මණතෙමේ එන්නාවූ තොදෙය්‍ය පුත්‍ර සුභමානවකයා දුරදීම දුටුයේය. දැක තොදෙය්‍යපුත්‍ර සුභ මානවකයා ගෙන් “පින්වත් භාරද්වාජ තෙමේ මේ දවල් කාලයෙහි කොහිසිට එන්නේදැයි” ඇසීය.

“පින්වත, මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි සිට එන්නෙමැයි” කීය. “පින්වත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ දක්ෂභාවය ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිද?”
“පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවේ දක්ෂභාවය දැනගන්නෙම්ද, යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාමහිමය දනීනම් හෙතෙමේද ඒකාන්තයෙන් උන්වහන්සේ, හා සමානයෙක් විය යුත්තේය”.
“පින්වත්නි, භාරද්වාජතෙමේ ශ්‍රමණ ගෞතමයන්ට මහත් ප්‍රශංසාවක් කරන්නේය”.
“පින්වත, මම කවරෙක් වෙමිද, කවරෙක්වූ මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කෙරෙම්ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ වනාහි පසසන ලද්දන් විසින් පසසන ලද්දෙකි. දිව්‍යමනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨයෙකි”.
“පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් පින් කිරීම සඳහා කුශල් කිරීම සඳහා ධර්ම පසක් පනවත්ද, ඒ ධර්ම පස ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෛර නැත්තාවූ, ව්‍යාපාද නැත්තාවූ, සිතවැඩීම පිණිස පවත්නා සිතේ පිරිවර ධර්මයෝයයි කියන්නාහ”.

මෙසේ කී කල්හි ජානුස්සොණී බ්‍රාහ්මණ තෙමේ සියල්ල සුදුවූ අශ්වරථයෙන් බැස උතුරුසලුව එක් අංශයක කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ නමස්කාර කොට,
“යම් රජෙකුගේ රටෙහි අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ වාසය කෙරෙද්ද, ඒ පසෙනදි කොසොල් රජහට ලාභයකි. ඒ පසෙනදි කොසොල් රජහට මහත් ලාභයෙකැයි” ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.

සුභ සූත්‍රය. නිමි. (5-9)

ADM-DhammCakka

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.