MN 02-03-03. මහා වච්ඡගොත්ත සූත්‍රය

ධර්ම මාර්ගයට බසින්නට පෙර මේ මාර්ගයේ යන අය බලාපොරොත්තුවන ඵලය ලබන්නේදැයි සැකයක් විචිකිච්චාවක් ඇතිවීම සිදු විය හැක. වච්චගොත්තට මේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරෙන් ඔහුගේ ඒ සැකය දුරුව ගියේය. අද බොහෝ භික්ෂුන් වහන්සේ පවා “අද නිවන් දකින්නට බැරිය” කියන බව ඇසේ. ප්‍රසිද්ධයේ නොකීවත් අද රහත්වූ උතුමන් මෙන්ම මාර්ග ඵල අවබෝධ කල ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෝකය පුරා විවිධ භාෂා කතාකරන රටවල සිටී. මේ අයහපත් විචිකිච්චාව දුරලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව උන් වහන්සේ එළිකර දුන් මේ විමුක්ති මාර්ගයේ යාමට අපේ බෞද්ධ පිරිසට මේ සුත්‍රය කියවා නුවණ පහල වේවා. විරිය වැඩේවා. ආත්ම ධෛර්ය ඇතිකර ගනිත්වා.

පුජ්‍ පුහුල්වැල්ලේ සාරද හිමි කල සුත්‍ර විවරණ දේසනාව ඉහතින් වේ.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නමින්ද ප්‍රසිද්ධ වේළුවනාරාමයෙහි වාසය කළහ.

§ 2. එකල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජකයා, භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තේ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග පිළිසඳර කතා කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, වච්ඡගොත්ත පරිව්‍රාජකයා තමන් හඳුන්වාදෙනු පිණිස හා තමාගේ මේ පැමිණීමේ අදහසද මෙසේ කීය.

[වච්චහොත්ත මෙසේ කලින් පැමිණි අවස්ථා දෙකක තොරතුරු මජ්ජිම නිකායේම MN 02-03-01 තේවිජ්ජ වච්චගොත්ත සුත්‍රය MN 02-03-02 අග්ගි වච්චගොත්ත සුත්‍රය ලෙස අඩංගු වේ. ඒ හැරෙන්නට අංගුත්තර නිකායේ AN 03-06-07 වච්චගොත්ත සුත්‍රය ද සංයුක්ත නිකායේ SN වච්චගොත්ත සංයුක්තයේ සුත්‍ර 15 කම ඔහු භාග්‍යවතුන් වහන්සේ හා කල සාකච්චා ලියවී ඇත.]

§ 3. “මම භවත් ගෞතමයන් වහන්සේ බොහෝ කලක් ඇසුරු කර ඇත්තෙක්මි.

.”භවත් ගෞතමයන් මට කොටින් කුසල් හා අකුසල් මොනවාදැයි කෙටියෙන් දෙශනා කරත්වා.”
“වච්ඡය, මම තොපට කොටින්ද කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. වච්ඡය, මම තොපට විස්තර වශයෙන්ද කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. වච්ඡය, එතකුදු වුවත් මම තොපට කොටින් කුසල් අකුසල් දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට අවබෝධ කරව, කියන්නෙමියි” වදාළේය.
“එසේය පින්වතුන් වහන්සැ”යි වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 4. වච්ඡය, ලෝභය අකුසල්ය, අලෝභය කුසල්ය,
දෝෂය අකුසල්ය, අදෝෂය කුසල්ය
මෝහය අකුසල්ය, අමෝහය කුසල්ය.
වච්ඡය මෙසේ මේ ධර්ම තුන අකුසල් වෙත්. මේ ධර්ම තුන කුසල් වෙත්.

§ 5 “වච්ඡය, සතුන් මැරීම අකුසල්ය, සතුන් මැරීමෙන් වැලකීම කුසල්ය.
සොරකම් කිරීම අකුසල්ය, සොරකම් කිරීමෙන් වැළකීම කුසල්ය.
කාමයන්හි වරදවා හැසිරීම අකුසල්ය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම කුසල්ය.
බොරුකීම අකුසල්ය; බොරු කීමෙන් වැළකීම කුසල්ය.
කේලාම් කීම අකුසල්ය; කේලාම් කීමෙන් වැළකීම කුසල්ය.
ඵරුෂ වචන කීම අකුසල්ය, ඵරුෂ වචන කීමෙන් වැළකීම කුසල්ය.
හිස්බස් දෙඩීම අකුසල්ය, හිස්බස් දෙඩුමෙන් වැළකීම කුසල්ය.
අභිජ්ජා ලෝභය අකුසල්ය; අභිජ්ජාවෙන් තොරවීම කුසල්ය.
අනුන් නැසෙත්වායි සිතීම අකුසල්ය, අනුන් නැසෙත්වායි නොසිතීම කුසල්ය.
මිථ්‍යා දෘෂ්ටිය අකුසල්ය, සම්‍යක් දෘෂ්ටිය කුසල්ය.
වච්ඡය, මේ ධර්ම දසය අකුසල්723 වෙත්. මේ ධර්ම දසය කුසල් වෙත්.

[723: අභිජ්ජාව යන පාලි වචනය “දැඩි ලෝභය / විෂම ලෝභය ” ලෙස බොහෝ විට පරිවර්තනය කලත් ඒ නියම අර්ථය නොදක්වන බව පෙනේ. ලෝභය යන සිංහල වචනය ලෝභ යන පාලි වචනයම නොවේ. පාලියෙන් ලෝභ දෝස මෝහ කියද්දී ලෝභ කියන්නේ, කැමැත්ත, ආසාව, ඕනෑකම ආදී මනෝ භාවයන්ටය. සිංහලෙන් ලෝභ යනු තමා සතු දේ ගැන ඇති මසුරුකමයි.
අභිජ්ජාව යනු තමන්ගේ නොවන අනුන්ගේ දේ තමනට ඇත්නම් හොඳයයි සිතේ ඇතිවෙන ආසාවය. අල්ලපු ගෙදර ඇති මල් ගසක් දෙස බලා අපේ ගෙදරත් එහෙම එකක් ඇතැම් හොඳය කියා සිතීම්, පාරේ යන වාහනයක් දැක මටත් එහෙම වාහනයක් තියේ නම් හොඳය’ සිතීම අභිජ්ජාව වේ.]

§ 6 . යම් භික්ෂූවක් තමාගේ සන්තානයේ වූ තෘෂ්ණාව ප්‍රහීණ කලේ නම් වා සිඳිනලද මුල් ඇත්තී මුදුන මුල කපා සුන්කළ තල්ගස මෙන් කරණ ලද්දී, සම්පුර්ණයෙන්ම විනාශ කරණ ලද්දී මත්තෙහි උපදින්නට කිසි හැකියාවක් නැති කලේද, සියලු ආශ්‍රව ක්ෂය කල, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද, කටයුතු කරණ ලද, ස්කන්ධභාරය බහා තබනලද, අර්හත්වයට පිළිවෙළින් පැමිණියාවූ , භවසංයොජනය නැතිකළාවූ, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ, ඒ භික්ෂුව රහත්වූයේ වෙයි.”

§ 7. භවත් ගෞතමයන් වහන්ස! ඔබ වහන්සේ හැර භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකවූ එක භික්ෂුවකු වත් ඒ කිවූ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ලබන ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා ප්‍රඥාව මේ ආත්මයෙහිම තමා ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කෙරේද?”724

[724: අරහත් භාවය බුදුන් වහන්සේට පමණක් ලබත හැකි උතුම් ඵලයක් බවත් අන් ශ්‍රාවකයන්ට ඒ ලැබිය නොහැකි බවත් වච්චගොත්තයන් සිතුබව අටුවාව කියයි.]

“වච්ඡය ! සියලු ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට පැමිණ මේ ආත්මයෙහිම තම මනා නුවණින් දැන විමුක්තිය ප්‍රත්‍යක්ෂකොට වසන මාගේ ශ්‍රාවක භික්ෂූන් ගේ ගණන එක්සියයක්ද නොවෙයි. දෙසියයක්ද නොවෙයි. තුන්සියයක්ද නොවෙයි. හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි. ගණනින් ඉතා බොහෝ වූවාහුම වෙත්.”

§ 8 “භවත් ගෞතමයන්ද හැර, මෙසේ වදාලා වූ භික්ෂූන්ද හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවූ එක භික්ෂුණියකු වත් ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් අනාශ්‍රවවූ අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තම මනා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද?”

“වච්ඡය, සියලු ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියට හා ප්‍රඥාවට මේ ආත්මයෙහිම තම මනා නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට වසන්නේ මාගේ ශ්‍රාවිකා භික්ෂූනීන් ගේ ගණන එක්සියයක්ද නොවෙයි. දෙසියයක්ද නොවෙයි. තුන්සියයක්ද නොවෙයි. හාරසියයක්ද නොවෙයි. පන්සියයක්ද නොවෙයි. ගණනින් ඉතා බොහෝ වූවාහුම වෙත්.”

§ 9 . “භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, බ්‍රහ්මචාරීවූ ඔරම්භාගිය සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතික ඉපදීම ක් ලබා ශුද්ධාවාසයක උපත ලබා එහිදී සියලු කෙලෙස් දුරු කොට යලි උපදීමක් නැතිවනසේ පිරිනිවිය හැකි ගෘහස්ථවූ සුදු වස්ත්‍ර හඳනාවූ යම් ගිහි උපාසකයෙකුත් ඔබ වහන්සේට සිටීද? 725

[725: අනාගාමි ඵලය ලබා මිය යන මනුෂ්‍යයන් ගැන මේ ප්‍රශ්ණයේ සඳහන් වේ. පැවිදි නොවී ගෘහස්ත ජීවිතයක් ගෙවුවත් අනාගාමි ඵල ලාභියා සියළු කාම සංයෝජන සිඳ ලා ඇති හෙයින් බ්‍රහ්මචාරී ජීවිතයක්ම මරණය තෙක් ගෙවයි.ඔහු ශුද්ධාවාසයක යලි පහල වී එහිදී ඉතිරි සංයෝජනා සිඳ සියලු ආශ්‍රව සුන් කොට පරිනිර්වාණය ලබයි.]

“වච්ඡය, බ්‍රහ්මචාරීවූ ඔරම්භාගිය සංයොජන පස නැතිකිරීමෙන් ඔපපාතික ඉපදීම ක් ලබා ශුද්ධාවාසයක උපත ලබා එහිදී සියලු කෙලෙස් දුරු කොට යලි උපදීමක් නැතිවනසේ පිරිනිවිය හැකි ගෘහස්ථවූ සුදු වස්ත්‍ර හඳනාවූ උපාසකයෝ එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවේ. තුන්සියයක් නොවේ. හාරසියයක් නොවේ. පන්සියයක් නොවේ. බොහෝ වූවාහුම වෙත්.”

§ 10 . “භවත් ගෞතමයන් මෙසේ නම් කළාවූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හැරෙන්නට, ගිහි ගෙයි වසන්නාවූ’ සුදු වස්ත්‍ර හඳනාවූ, කම්සැප අනුභවකරන්නාවූ, ඔබගේ අනුශාසනාව ලබන්නාවූ, ඒ අවවාදයට අනුව පිළිපදින්නාවූ, විචිකිච්ඡාව දුරුකළාවූ, සැකය පහකලාවූ , විසාරද බවට පැමිණියාවූ භවත් ගෞතමයන් වහන්සේගේ ශාස්තෘශාසනයෙහි හැර අන්‍ය ශාස්තෘවරයන්ගේ පිහිට නොසොයන එක උපාසකයෙකුත් ඇත්ද?”726

[726: මේ ප්‍රශනය සෝතාපන්න හෝ සකෘදාගාමි ගිහි ශ්‍රාවකයෙක් ගැන ඇසු එකකි. තව දුරටත් ගිහිව සිටීනම් මේ ඵල ලාභීන් කාම සැප විඳිමින් ඉන්නේ නම් ඔව්හු නොපිරිහේද? අන් සසුන් සොයා නොයාද ලෙස මේ ප්‍රශ්නය තේරුම් ගත හැක.]

“වච්ඡය, මාගේ ශ්‍රාවකවූ සුදුපිළි සඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ මුත් මගේ අනුශාසනාව, අවවාදය පිළිපදින්නාවූ, විචිකිච්ඡාව නැති කළ, සැකය පහකළ , විසාරද බවට පැමිණියාවූ ශාස්තෘශාසනයෙහි හැර අන් පිහිට නොසොයන්නාවූ උපාසකයෝ එක්සියයක් නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වූවාහුමැයි.”

§ 11. “භවත් ගෞතමයන්ද හැර භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ, ගිහි උපාසක වරුන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවිකාවූ සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරිවූ, ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඔපපාතිකවූ භවයකට පත්ව, එහි පිරිනිවන්පාන සුළුවූ ස්වභාව ඇති උපාසිකාවකුත් ඇත්තේද?”

“වච්ඡය, මාගේ ශ්‍රාවිකාවූ ගෘහස්ථ සුදු පිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ඔරම්භාගිය සංයොජන පස නැසීමෙන් ඔපපාතිකවූ එහි පිරිනිවෙන සුළුවූ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තාවූ උපාසිකාවරු එක්සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. සාරසියයක් නොවෙයි. පන්සියයක් නොවෙයි. බොහෝ වෙත්.”

§ 12 “භවත් ගෞතමයන්ද හැර, භික්ෂූන්ද හැර, භික්ෂුණීන්ද හැර, සුදුවත් සඳහා බඹසර රක්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුන්ද හැර, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසිකාවන්ද හැර, භවත් ගෞතමයන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවූ සුදුවත් හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ, ඔබ වහන්සේගේ අනුශාසනාව අවවාදය පිළිපදින්නාවූ, විචිකිච්ඡාව දුරුකළ, විසාරද වූ, මේ ශාස්තෘ ශාසනයෙහි හැර අන් පිහිටක් නොසොයන එක උපාසිකාවකුත් ඇත්තේද?”

“වච්ඡය, මාගේ ගිහි ශ්‍රාවිකවූ සුදු පිළි හඳනාවූ කම්සැප අනුභව කරන්නාවූ අනුශාසනය කරන්නාවූ අවවාදය පිළිපදින්නාවූ දුරුකළ විචිකිච්ඡා ඇත්තාවූ, පහවූ සැකය ඇත්තාවූ විශාරද බවට පැමිණියාවූ ශාස්තෘ ශාසනයෙහි හැර අන් පිහිටක් නොසොයන උපාසිකාවෝ එක් සියයක්ම නොවෙයි. දෙසියයක් නොවෙයි. තුන්සියයක් නොවෙයි. හාරසියයක් නොවෙයි. පන්සියක් නොවෙයි. බොහෝ වෙත්.

§ 13 . භවත් භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වන්සේම පමණක් මේ ධර්මය සම්පූර්ණ කෙළේ නම් භික්ෂූහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.”

“භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්මය භවත් ගෞතමයන් වහන්සේ සම්පූර්ණ කළෝය. භික්ෂූහුද සම්පූර්ණ කළහ. ඒ හේතුවෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ වූයේය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.“

“භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”

“භවත් ගෞතමයන් වහන්ස ඉඳින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද ගෘහස්ථ සුදු වස්ත්‍ර හඳනාවූ බ්‍රහ්මචාරිවූ උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය.“

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකිනුත් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළිහඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසක වරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනාවූ කම් සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරු සම්පූර්ණ නොකළාහු නම්, මෙසේ ඒ කාරණයෙන් මේ ශාසනය සම්පූර්ණ නොවන්නේය.“

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරී ගිහි උපාසකවරුන් සම්පූර්ණ කළාහුය, සුදුවත් හඳනා කම් සැප අනුභව කරන්නා වූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය’ ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.“

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමෙත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහුත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා කම්සැප අනුභව කරන්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුවත් හඳනා බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවරු සම්පූර්ණ නොකළාහු නම්, ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය.

භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදු පිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුපිළි හඳනා බඹසර රක්නා ගිහි උපාසිකාවරුත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය.”

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේද, භික්ෂූහූත් සම්පූර්ණ කළාහුද, භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුද, සුදුපිළි හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝ සම්පූර්ණ නොකළාහු නම් ඒ කාරණයෙන් මෙසේ මේ ශාසනය අසම්පූර්ණ වන්නේය.

භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මේ ධර්මය භවත් ගෞතම තෙමේත් සම්පූර්ණ කෙළේය. භික්ෂූහුත් සම්පූර්ණ කළාහුය. භික්ෂුණීහුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා බ්‍රහ්මචාරීවූ ගිහි උපාසකවරුත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ බ්‍රහ්මචාරිනීවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. සුදුවත් හඳනා කම්සැප විඳින්නාවූ ගිහි උපාසිකාවෝත් සම්පූර්ණ කළාහුය. ඒ කාරණයෙන්ද මෙසේ මේ ශාසනය සම්පූර්ණ විය

§ 14 . “භවත් ගෞතමයන් වහන්ස, යම්සේ ගංගානම් නදිය සමුද්‍රය වෙත නැමී, සමුද්‍රයට යාමට ම හැරී, සමුද්‍රයට ඇතුල් වන තුරු නොනැවතී ගොස් , සමුද්‍රයට වැද සිටීද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ ගිහියන් ද පැවිද්දන්ද සහිතවූ මේ සියලු ශ්‍රාවක පිරිස නිවණට යොමුවී , නිවණම අරමුණු කොට, නිවණට බරවී නිවණට වැද සිටී.

§ 15. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි හෝ ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ ද, එපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී.

මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි” යි කීයේය.“

§ 16. වච්ඡය, පෙර අන්‍යතීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණකම කැමැති වේද, උපසම්පදාව කැමැති වේද, ඔහු විසින් සාරමසක් පිරිවෙස් සාමණේර සීලය වැසිය යුතු වේ. සාරමසක් ඇවෑමෙන් සංඝයා ඔහුගේ සීලය හා පටිපදාව ගැන සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු, භික්ෂුභාවය පිණිස මහණ කරවත්, උපසම්පදා කරවත්. එතකුදු වූවත් මෙහි මා විසින් පුද්ගලයන්ගේ වෙනස් බව දැනගන්නා පරිදි යම් වෙනසක් විය හැක.යි” කීය.

“ස්වාමීනි, ඉදින් ඒ සිරිත හෝ නීතිය අනුව සාර මසක් සාමනේරව පමණක් හිඳිය යුතු වේ නම් ස්වාමිනි සතර මසක් නොව සතර අවුරුද්දක් වුවත් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ඇවෑමෙන් සතුටුසිත් ඇත්තාහු නම් භික්ෂූහු මා භික්ෂුභාවය පිණිස පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වායි” කීය.

§ 17. වච්ඡගොත්ත පරිව්‍රාජක , භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවීම ලැබූයේය. එමතුදු නොව එක විටම උපසම්පදාවද ලැබූයේය. උපසපන්ව නොබෝ කල් ගිය පසු එනම් උපසම්පදාවී අඩ මසකින් පසුව, ආයුෂ්මත් වච්ඡගොත්තයන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළෙය.

“ස්වාමීනි, ශෛක්ෂවූ ඥානයෙන්, ශෛක්ෂවූ විද්‍යාවෙන් යම් තැනකට පැමිණිය යුතුද, මා විසින් එයට පැමිණෙන ලදී. භාග්‍යවතුන් වහන්සේ මතු ධර්මයන් උදෙසා මට ධර්මය දේශනා කරණ සේක්වා.”727

[727: සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයනට පිලිවෙලින් පත්වූ ආයුෂ්මත් වච්චගොත්ත හිමියන් මේ කමටහන් ඉල්ලා සිටින්නේ අරහත් ඵලය පිණිස ය.]

§ 18. “වච්ඡය, එසේවීනම්, නුඹ සමථයත්, විදර්ශනාවත් යන දෙක වැඩියත් වඩව. වච්ඡය, තොප විසින් වැඩියත් බොහෝ කොට වඩන ලද්දාවූ සමථයද, විදර්ශනාවද යන ධර්ම දෙක නොයෙක් ඥාන විශේෂයන් අවබෝධ කිරීම පිණිස පවත්නාහුය.

§ 19 . වච්ඡය, ඒ නුඹ යම්විටෙක ‘අනෙක ප්‍රකාරවූ ඍද්ධිවිධි ලබන්නට , කැමති වන්නෙහිද, ඒ නම්:

එකෙක්ව සිට බොහෝ දෙනෙකු වන්නෙම්, බොහෝ දෙනෙක්ව සිට එකෙක් වන්නෙමි.
ප්‍රකාශ බවට මුවහ වීමට බිත්තියෙන් පිටතට ප්‍රාකාරයෙන් පිටතට අහසෙහි මෙන් නොගැටෙමින් යන්නෙමි. පොලොවෙහිද දියෙහිමෙන් මතුවීම ගැලීම කරන්නෙමි, දියෙහිද පොලොවෙහිමෙන් නොබිඳිමින් යන්නෙමි. අහසෙහිද පියාපත් ඇති ලිහිණියෙකු මෙන් පර්යංකයෙන් හිඳ ගමන් කරන්නෙමි.

මෙසේ මහත් ඍද්ධි ඇත්තාවූ මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ මේ සඳ හිරු දෙදෙනද අතින් අල්වන්නෙමි. පිරිමදින්නෙමි. බඹලොව දක්වාද කයින් වසඟයෙහි පවත් වන්නෙමි’යි කැමති වන්නෙහි නම් ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි වන්නෙහිය.728

[728: සුදුසු ආයතන මම සතරවන ධ්‍යානයට නැංවූ සිතය. පංච විධ ඥාණ යන්ට හා අරහත් ඵලයට හෙතුවන්නාවූ විදර්ශනා ඥානය ට පාදක වන්නාවූ සතරවන ධ්යානයයි.]

§ 20 . “වච්ඡය, නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිස්බව ඉක්ම පවත්නාවූ දිව්‍ය ශ්‍රොත්‍රයෙන් දිව්‍යවුද, මනුෂ්‍යවූද දුරවූද ලඟ වූද, යම් ශබ්දයෝ වෙත්ද, ඒ දෙවදෑරුම් ශබ්දයන් අසන්නෙමි’යි, සිතන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණ ඇති ඇති කල්හි එසේ හැකි වන්නෙහිය.

§ 21 . “වච්ඡය, ඒ නුඹ යම්තාක්ම ‘අන්සතුන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, රාග සහිතවූ හෝ සිත රාග සහිත සිතයයි දැනගන්නෙමි රාගය නැති සිත , රාගය නැති සිතයයි දැනගන්නෙමි. දෝෂ සහිතවූ සිත , දෝෂ සහිත සිතයයි දැනගන්නෙමි. දෝෂය නැති සිත, දෝෂ නැති සිතයයි දැනගන්නෙමි. මෝහ සහිතවූ සිත හෝ මෝහ සහිත සිත යයි දැනගන්නෙමි. පහවූ මෝහය ඇති සිත හෝ පහවූ මෝහය ඇති සිතයයි දැනගන්නෙමි. හැකුළුනාවූ සිත හෝ හැකුළුනාවූ සිතයයි දැනගන්නෙමි. විසුරුනාවූ සිත හෝ විසුරුනාවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතවූ (මහත් බවට පැමිණි) සිත හෝ මහද්ගතවූ සිතයයි දැනගන්නෙමි. මහද්ගතනොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගන්නෙමි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිතවූ සිතයයි දැනගන්නෙමි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තරවූ සිතයයි දැනගන්නෙමි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගන්නෙමි. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගන්නෙමි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැන ගන්නෙමි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැන ගන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි එසේ විවිධවූ සත්ව සිත් නුඹට දකින්නට හැකි වන්නෙහිය.

§ 22 . “වච්ඡය, නුඹ යම් විටෙක මාගේ ‘අනෙකප්‍රකාරවූ පෙරවිසූ භව පිළිවෙල සිහි කරන්නෙමි’යි කැමති වන්නෙහිද, එනම්, ‘එක ජාතියක්ද, ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද ජාති පසක්ද ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්තකල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක් මෙබඳු ගොත්‍ර ඇත්තෙක් මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සුවදුක් විඳින්නෙක් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ උද්දෙස සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙරවිසූ භවපිළිවෙළ සිහිකරන්නෙමි’යි කැමති වන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

§ 23 .“වච්ඡය, ඒ නුඹ යම් විටක ‘පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින්,
චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද සත්වයන් දක්නෙමි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් කියන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ නපුරුගති ඇත්තාවූ යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු වෙත්. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්තවූවාහු ආර්යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකයන්ගේ කර්ම සමාදන්වූවාහු වෙත්. ඔව්හු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දිව්‍ය ලෝකයෙහි උපන්නාහු වෙත්යයි, මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද හොඳ ලොව උපන්නාවූද නරක ලොව උපන්නාවූද කර්මයවූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගන්නෙමි’යි කැමතිවන්නෙහිද ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.“

§ 24 .වච්ඡය, ඒ නුඹ යම්විටක ‘ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවූ අර්හත්ඵලය හා යෙදුන සමාධිය හා ප්‍රඥාව කරණකොට මිදීමට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරන්නෙමියි,’ කැමැති වන්නෙහිද, ඒ ඒ තන්හිම කරුණු ඇති ඇති කල්හි හැකි බවට පැමිණෙන්නෙහිය.

§ 25. ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකස්කඩ එලා වැඳ ප්‍රදක්ෂිණාකොට පිටව ගියේය.

§ 26 .ඉක්බිති ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන් තනිව, හුදෙකලාව වාසය කරන්නේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, හරිණ ලද ආත්ම ආලය ඇතිව වාසය කරමින් නොබෝ කලෙකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනා කොටම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්ම චර්යාව කෙළවරකොට ඇති අර්හත්වයට, ප්‍රතිපත්ති පුරන්නේද, ඒ විමුක්ති ඥාණය මේ ආත්මයෙහි තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එහි පැමිණ වාසය කෙළේය.

ඉපදීම නැති කරණ ලදී. මාර්ග බ්‍රහ්ම චර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි” දැන ගත්තේය. ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන්ද, මේ සම්බුද්ධ සාසනයෙහි රහතුන්ගෙන් එක් නමක් වූයේය.

§ 27 . එසමයෙහි බොහෝවූ භික්ෂූහු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ දැකීමට යත්, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන් ඒ යන්නාවූ ඒ භික්ෂූන් වෙත පැමිණ ඒ භික්ෂූන්ට මෙසේ කීයේඇසීය. “ආයුෂ්මත් නුඹ වහන්සේලා කොහි යව්ද?”
“ඇවැත්නි” අපි භාග්‍යවතුන් වහන්සේ දැකීමට යමුයි” කීහ.
“ආයුෂ්මත්නි, එසේ වීනම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි.“ස්වාමීනි, වච්ඡගොත්ත නම් භික්ෂු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි මෙසේද කියයි. මා විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරණ ලද්දේය. මා විසින් සුගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය.729 යනුයි.
“ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන්ට උත්තර දුන්හ.

[729: පරිචින්නෝ මේ භගවා ! පරිචින්නෝ මේ සුගතෝ!!” මේ තමන් අරහත් ඵලය ප්‍රත්‍යක්ෂ කල බව භාග්‍යවතුන් වහන්සේට දැන්වීමට කරන ලද ප්‍රකාශය වෙයි.]

ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය.

“ස්වාමීනි, ආයුෂ්මත් වච්ඡගොත්ත ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේද කියයි. ‘භාග්‍යවතුන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලදී. සුගතයන් වහන්සේට මා විසින් උපස්ථාන කරණ ලද්දේ” යනුයි.

§ 28. “මහණෙනි, පළමුව මා විසින් මසිතින් සිත පිරිසිඳ වච්ඡගොත්ත භික්ෂුව දන්නා ලද්දේය. වච්ඡගොත්ත භික්ෂුව ත්‍රිවිද්‍යා ඇත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහත් ආනුභාව ඇත්තෙකැයි දැනගන්නා ලදී.

දෙවි දෙවතාවෝද මට ඒ බව කීවාහුය. ‘ස්වාමීනි වච්ඡගොත්ත නම් භික්ෂුව ත්‍රිවිද්‍යා ඇත්තේය. මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය’යි මට මේ කාරණය කීවාහුය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීම සතුටින් පිළිගත්තාහුය. .

තුන්වෙනිවූ මහා වච්ඡගොත්ත සූත්‍රය නිමි. (3-3)



ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.