MN -02-03-01. තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය

ත්‍රිවිද්‍යාවන් ගැන වච්චගොත්තට


§ 1 . “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි  වච්ඡගොත්ත නම් පරිව්‍රාජකතුමා එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. දිනක්  භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.

ඉදින් එදා   භාග්‍යවතුන් වහන්සේට ‘විසාලා මහනුවර පිඬු සිඟීමට තවම උදෑසන වැඩිය. මම එකපුණ්ඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය ට ගොස් , වච්ඡගොත්ත  පරිව්‍රාජකතුමා දැක හමුව යන්නේ නම් යහපතැයි’ අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකපුණ්ඩරීක පරිව්‍රාජකාරාමය දෙසට  පැමිණියෝය.
වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම, වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ මෙහි වැඩීම යහපති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩියහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා. මේ ආසනය ඔබවහන්සේ සඳහාම පනවන ලදැයි” කීයේය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩඋන්හ. වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙමේද, එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක උන්නේය.

§  2. එක් පැත්තක උන්නාවූම වච්ඡගොත්ත  පරිව්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසුහ. 

“ස්වාමීනි, භවත් ගෞතමයාණෙනි,
‘ශ්‍රමණ ගෞතමයන්  සර්වඥය සියල්ල දක්නේය, සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කරයි. ඇවිද යන්නාවූද, හිඳ සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, යන සිව් ඉරියව්වේදීම සර්වඥතා ඥානය පවත්නේයැයි මා විසින් අසා ඇත. ඔබ වහන්සේට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේය’ කියා මා විසින් අසන ලදී.

ස්වාමීනි, කෙනෙක් එසේ කියන්නේ නම් එය සත්‍යයක්ද, නොඑසේ නම් ඔබ තුමා නොකීවක් කියත්ද, ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.713
[713:- ජෛන ශාස්තෘ මහා වීර (නිඝන්ට නාථ පුත්ත) සර්වඥය “සැම විටම” එනම් සතර ඉරියව්වේදීම මේ සියල්ල දන්නා බලය ඇත්තේ යයි ඔහුගේ ශ්‍රාවකයෝ නිතර කීහ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ සමහරෙකුද අපේ ගෞතම බුදුන් වහන්සේද සැම විට සර්වඥතා ඥානයෙන් ඉන්නේ යයි කියන්නට ඇති බව අනුමාන කල හැක. ]

“වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙමේ සර්වඥය, සියල්ල දක්නේය,. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, සැම කල්හි [සතර ඉරියව් පවත්වත්දීම= එනම් සෑම නිමේශයකදීම ] සියල්ල දක්නා සර්වඥතා නුවණක් ඇතැයි” ප්‍රකාශ කරයි යයි’ යම් කෙනෙක් කීවාහු නම් ඔව්හු මා නොකියන ලද්දක් කියන්නෝ වෙත්. ඔව්හු මට අසත්‍යයෙන් චොදනා කරත්.”
[අදද බොහෝ දෙනා භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥතා ඥානය සැම කල්හිම උන් වහන්සේ හා තිබුන බවක් අදහයි. මේ ත්‍රිවිධ විද්‍යාවන් උන් වහන්සේ පාවිච්චි කල ආකාරය මේ සුත්‍රයේ විස්තර වෙයි.
වච්චගොත්ත ගේ ප්‍රකාශයේ කොටසක් වලංගු වුවද, කොටසක් සාවද්‍ය නිසා බුදුන් වහන්සේ සම්පූර්ණ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලද බව අටුවාව කියයි. වලංගු වන කොටස නම් බුදුරජාණන් වහන්සේ සර්වඥ බවය හා සියල්ල දකින බවය; සාවද්‍ය කොටස නම් ඒ දැනුම හා දැක්ම ඔහු වෙත අඛණ්ඩව පවතින බව ප්‍රකාශ කිරීමය. තමන්ට ඇවැසි විටෙක පමණක් ඇවැසි කෙනෙකුගේ පමණක් ඇවැසි තොරතුර භාග්‍යවතුන් වහන්සේ දකින්නේය. නිරතුරුවම විශ්වයේ වන සියල්ල දකිමින් සිටින්නට උන් වහන්සේ ට අනවශ්‍ය විය.]

§ 3. “ස්වාමීනි, අපි කෙසේ ප්‍රකාශ කරන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කියන්නෝ වන්නෙමුද, භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියන්නෙමුද, ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නෙමුද, කරුණු සහිතවූ නුවණැත්තන් විසින් පිළිගන්නා කිසියම් කීමක් වන්නේද?
“වච්ඡය, ‘ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය’යි ප්‍රකාශ කරණු ලබන්නේ, නම් මම කියන ලද්ද කියන්නේ වන්නේය. මට බොරුවෙන් දොස් නොකියන්නේය. ධර්මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නේය. නුවණැත්තන්ගේ ගැරහිමට නොපැමිණෙන්නේය.

  • පුබ්බේ නිවාසානුස්සති ඥානය
  • සත්තානං චුතුපපාත ඥානය
  • ආසවක්ඛය ඥානය
(i) පුබ්බේ නිවාසානුස්සති ඥානය

§ 4. වච්ඡය, මම යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) අනෙක ප්‍රකාරවූ පෙරවිසූ භව සිහිකරමි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවු පෙරවිසුම් සිහිකරමි.

(ii) සත්තානං චුතුපපාත ඥානය

§ 5. වච්ඡය, මම යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, අයහපත් වර්ණ ඇත්තාවූද, සුගතිවල උපන්නාවූද දුර්ගතිවල උපන්නාවූද සත්වයන් දකිමි.

‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්.

නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකිමි, මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.

(iii) ආසවක්ඛය ඥානය

§ 6. “වච්ඡය, මම ආශ්‍රවයන් (කෙළෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධිය කරණකොට මිදීමත්, ප්‍රඥාව කරණකොට මිදීමත්, මේ ආත්මයෙහිම තමන්ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරමි.

වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි, ප්‍රකාශ කරණු ලබන්නේ, මම කියන ලද්දක් කියන්නේ වන්නේය. මට අසත්‍යයෙන් නින්දා නොකරන්නේය. ධර්මයටද අනුකූල වූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැතියන් විසින් හැරගිය යුතු තැනටද නොපැමිණෙන්නේයයි” වදාළේය.

[භාග්‍යවතුන් වහන්සේ තමන්ට ඇවැසි විටෙක පමණක් ඇවැසි කෙනෙකුගේ පමණක් ඇවැසි තොරතුර භාග්‍යවතුන් වහන්සේ දකින්නේය. නිරතුරුවම විශ්වයේ වන සියල්ල දකිමින් සිටින්නට උන් වහන්සේ ට අනවශ්‍ය විය]

§ 7 . මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙම තවත් ප්‍රශ්නයක් ඇසීය
“භවත් ගෞතමයන් වහන්ස, ගිහිබන්ධනය (ගිහියන් විසින් පරිහරණය කරන දෙයෙහි ආශාව) දුරු නොකොට කිසියම් ගිහියෙක් ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කෙරේදැ”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“වච්ඡය, කිසිම ගිහියෙක් ගිහි සංයොජන දුරු නොකොට මරණින් මතු දුක් කෙළවර කර නැත්යතේය”යි වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ගිහියෙක් ගිහි සංයොජනය දුරු නොකොට ශරීරයාගේ බිඳීමෙන් පසු දෙව්ලොවට ගොස් ඇත්තේදැ”යි ඇසීය.
“වච්ඡය, ගිහිසංයෝජන දුරු නොකොට මරණින් පසු ස්වර්ගයට ගියාහු සියයක්ද නොවෙයි, දෙසියක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි, සාරසියයක්ද නොවෙයි, පන්සියයක්ද නොවෙයි, ඉතා බොහෝය”යි වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කර ගත්න්තාවූ කිසියම ආජීවකයෙක් ඇත්තේද”
“වච්ඡය, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නාවූ කිසිම ආජීවකයෙක් නැත්තේය.”

“භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ආජීවකයෙක් ශරීරයාගේ බිඳීමෙන් පසු දෙව්ලොව ගියේද, එබන්දෙක් ඇත්තේද?”
“වච්ඡය, මම යම් කල්පයක් සිහිකරම්ද, ඒ මෙයින් ඒකානූවන කල්පයයි. එකෙකු හැර දෙව්ලොව ගියාවූ කිසියම් ආජීවකයෙකු නොදනිමි. හෙතෙමේද කර්මවාද ඇත්තාවූ ක්‍රියාවද ඇත්තාවූ (ආජීවකයෙක්) වූයේයයි” වදාළේය.

“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි මේ තීර්ථායතනය යටත් පිරිසෙයින් ස්වර්ගයට යන්නෙකුගෙනුත් සූන්‍යයයි”
“වච්ඡය, මෙසේ ඇති කල්හි මේ තීර්ථායතනය, යටත් පිරිසෙයින් දෙව්ලොව යන්නෙකුගෙන් පවා හිස්යයි” වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ වච්ඡගොත්ත නම් පරිව්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේසනාව සතුටින් පිළිගත්තේය.

පළමුවෙනිවූ තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය නිමි. (3-1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.