MN-2-2-10. කීටාගිරි සූත්‍රය

pindapath


§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා පිරිවරා 
කසී ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නෝය.

§2. එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ.
“මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව ජීවත්වෙමි. රාත්‍රි භෝජනයෙන් තොරව ඉන්නා  වූ  නිසා  මම ස්වල්ප ආබාධ ඇත්තේ වෙමි. , ස්වල්ප රෝග ඇත්තේ වෙමි., පහසුවෙන් ඉරියව් පවත්වමි,  කාය බලයද, සැප විහරණයද ඇත්තේ වෙමි.  මහණෙනි, නුඹලාද රාත්‍රී ආහාරයෙන් වලකිවු. එසේ රාත්‍රීයෙහි ආහාර නොගෙන ඉන්නාවූ නුඹලා ද ස්වල්ප ආබාධ ඇත්තේ වෙයි. රෝග ස්වල්ප වූ වේ වෙයි.
, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද දන්නාහුය.”
“එසේය පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්හ.[Note: භාග්‍යවතුන් වහන්සේ විසින් විකාල හෝජන විනය නීතිය 
 පියවර දෙකකින් පැනවූ බව මින් පෙනේ. එනම් මෙහි සඳහන් අයුරු රාත්‍රී භෝජනයෙන් වැළකීම සුදුසු බවට පළමුව කල ප්‍රකාශයත්,  ඉන් පසුව විනය නීතියක් ලෙස පනවද්දී හිරු අවරට ගිය මධ්‍යාහ්නයෙන් පසු සියලු ආහාරයෙන් වැළකෙන ලෙස පැනවූ නීතිය වශයෙනි.]

§3. භාග්‍යවතුන් වහන්සේ කසී ජනපදවල පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් කීටාගිරි නම් කසී රට  නියම් ගම ට වැඩි සේක.
ඒ කාලයෙහි අස්සජී  සහ  පුනබ්බසුක නම් භික්ෂූහු දෙනමක්  කීටාගිරියෙහි ආවාසිකයෝ ලෙස එහි විසුහ.  භාග්‍යවතුන් වහන්සේ සමග චාරිකාවේ යෙදුනු 
භික්ෂූහු අස්සජී පුනබ්බසුක භික්ෂූන් හමුව ඔවුනට මේ කාරණය කීවාහුය. [විනය පිටකයේ දැක්වෙන පරිදි මේ භික්ෂුන් දෙනම ලාභ සත්කාරයෙහි ලොල් වුනු දායකයන් ගෙන් ලැබෙන සත්කාර උදෙසා පහත් පැවතුම් ඇතිව සියාවූ ය බවත ඔවුන් නිසා 13 වන සංඝාදිසේස ය පනවා සසුනෙන් නෙරපූ බවත් දැක්වේ.] 

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද රාත්‍රි භෝජනයෙන් තොරව වසති. රාත්‍රි භෝජනයෙන් තොරව ඉන්නහු ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිත්. ඇවැත්නි, තොපිද එව්. රාත්‍රි භොජනයෙන් වලකිවූ. ඇවැත්නි, රාත්‍රි භෝජනයෙන් වැලකිනු කල  යුෂ්මත්හුද, ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇතිබවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද සැප විහරණයද, ඇති බව දැනගනිත්වා.” මෙසේ කී කල්හි අස්සජී පුනබ්බසුක භික්ෂූහු ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය.
“ඇවැත්නි, අපි සවස් කාලයෙහිද අනුභව කරමු. උදේද අනුභව කරමු. දවල් කාලයෙහිද අනුභව කරමු. ඒ උදේද, සවසද, දවල්ද නොකල්හිද අනුභව කරණ අපි ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්මද, කාය බලයද, සැපවිහරණයද දනිමු. ඒ අපි අත්දුටු කරුණු හැර ඉදිරි කල පැමිණිය යුතු ප්‍රයෝජනයට කුමට දුවමුද? අපි සවසද, පෙරවරුද, දවල් නොකල්හිද අනුභව කරමු”යි කීහ.

§ 4.  ඒ භික්ෂූහු අස්සජී  සහ පුනබ්බසුක භික්ෂූන්ට ඒ කරුණ අවබෝධ කරවන්ට නොහැකි වූයෙන්  භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ,  මේ කරුණ කීවාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ එහි කැඳවා මේ ඔවුනගේ කථාව එසේ කෙළෙහිදැයි විමසීය.
“එසේය, ස්වාමීනි” යි ඔවුහු පිළිගත්හ. එවිට  වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, ‘පුද්ගලයෙක්  සැපක් හෝ දුකක් හෝ සැප දුක් නොවූවක් හෝ විඳීද, ඔහුගේ අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්ය’යි මා විසින් දේසනා කල බවක් නුඹලා 
දනිව්ද?
[අටුවාව: රාත්‍රී භෝජන අනුභවයෙන්  විඳින සතුටක් වේනම් එය භික්ෂුවකගේ මුල අභිප්‍රාය හා  එකඟ නොවන බව මේ ප්‍රශ්නයෙන් දැක්වේ.]
“ස්වාමීනි, එසේ නොදනිමු.”
“මහණෙනි, 

  • මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්,
  • මේ ලෝකයෙහි මෙබඳු සැපවේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්.
  • මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්,
  • මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.
  • මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනාව විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්,
  • මේ ලෝකයෙහි මෙබඳු සැප දුක් නොවූ වේදනා විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය”යි

මා විසින් දෙසනලද ධර්මයක් තොපි දන්නාහු නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි,”
[Note: ලෞකිය සැප, පළමු පෙලින්ද  ධ්‍යාන සැපයට පත් නෛෂ්ක්‍රම නිකයන් දෙවෙනි පෙලියෙන්ද, ලෞකිය දුක් තෙවෙනි පේලියෙන්ද  නෛෂ්ක්‍රම නිකයන් සිවු වෙනි පෙලියෙන්ද ආදී වශයෙන් වටහා ගත යුතුය.]

§ 5. “මහණෙනි, යහපති, මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේනම් එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවක් දුරුකරව්යයි කියත් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”
[§ 5 සිට § 8 තෙක්දැ ක්වෙන්නේ ලෞකිය වේදනාවන් ඉක්මවා ලෝකෝත්තර ආරම්මණ සඳහා සිත් එළවීමට භාග්‍යවතුන් වහන්සේ කර ඇති ඇගයිමය.]
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු සැප වේදනාවක් දුරුකරව් යයි කියමි.

“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු සැප වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”

“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි යම්බඳු සැප වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු සැපවේදනාවකට එළඹ වසව්ය’යි කියමි.

§ 6. “මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම්  පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශලධර්මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ වන්නේ නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්ය’යි කියන්නෙම් නම්, එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”

“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් වේදනාවක් දුරුකරව් යයි කියමි.

“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”

“මහණෙනි, යම් හේතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්ය’යි එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක් වේදනාවකට එළඹ වසව්ය’යි කියමි.

§ 7. “මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්යයි මා විසින් එය නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳිනා ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ වන්නෙම් නම්, මෙසේ මම නොදන්නේ මෙබඳු දුක් වේදනාවක් දුරුකරව්යයි’ කියන්නෙම් නම් එය මට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය”.

“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි, එය මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳින ලද්දේද, ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, එහෙයින් මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් දුරුකරව් යයි කියමි.

“මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය’යි එය මා විසින් නොදන්නා ලද්දේ, නොදක්නා ලද්දේ, නොවිඳින ලද්දේ, ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දේ, නුවණින් ස්පර්ශ නොකරන ලද්දේ, වන්නේ නම්, එසේ මම නොදන්නේ මෙබඳු දුක් නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්ය’යි කියම් නම්, මහණෙනි, මට එය සුදුසු වන්නේද?”
“ස්වාමීනි, සුදුසු නොවේය.”

“මහණෙනි, යම් හෙතුවකින් මේ ලෝකයෙහි මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින ඇතැම් පුද්ගලයෙකුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි මා විසින් දන්නා ලද්දේද, දක්නා ලද්දේද, විඳිනා ලද්දේද, එහෙයින් මම මෙබඳු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවකට එළඹ වාසය කරව්යයි කියමි.

§ 8. “මහණෙනි, මම සියලුම භික්ෂූන්ට ‘නොපමාවෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි. මහණෙනි, මම සියලුම භික්ෂූන්ට නොපමා නොවීමෙන් (කටයුතු) කළයුතුය’යි නොකියමි.

  • මහණෙනි, රහත්වූ ආශ්‍රවයන් ක්ෂයකළ, වැස නිමවූ බඹසර ඇති, කළ යුතු දේ කළ, බහා තැබූ ස්කන්ධාදී බර ඇති, පැමිණි ස්වකියාර්ථය (-රහත් බව) ඇති, භව බන්ධනය නැතිකළ, මනාව දැන සසරින් මිදුනු, යම් ඒ භික්ෂූහු වෙත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි නොකියමි, ඊට හේතු කවරේද? ඔවුන් නොපමාවෙන් (කටයුතු) කරන ලද්දාහ. ඔවුහු පමාවන්ට නුසුදුස්සෝය.
  • මහණෙනි, සෙඛ (-නිවන් ලැබීමට හික්මෙන) රහත් බවට නොපැමිණි, උතුම් නිවන් පතමින් යම් ඒ භික්ෂූහු වසත්ද, මහණෙනි, මම එවැනි භික්ෂූන්ට නොපමාවෙන් (කටයුතු) කළ යුතුය’යි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත්හු, සුදුසු සෙනසුන් සෙවනය කරමින්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති, ඒ උතුම් නිර්වාණය මේ අත්බැව්හි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට (රහත් බවට) පැමිණ වාසය කරන්නාහුනම්, යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂූන්ගේ මේ අප්‍රමාද ඵලය බලමින් නොපමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

§ 9. “මහණෙනි, මේ ලෝකයෙහි මේ නම් පුද්ගලයෝ සත්දෙනෙක් වෙත්.
ඒ සත්දෙන කවරහුද?
(i) උභතොභාග විමුත්තය,
(ii) පඤ්ඤාවිමුත්තය,
(iii’) කායසක්ඛිය,
(iv) දිට්ඨප්පත්තය,

(v) සද්ධාවිමුත්තිය,
(vi)  ධම්මානුසාරීය,
(vii) සද්ධානුසාරිය
(යන සත්දෙනයි.)

§9.1. “මහණෙනි, උභතොභාග විමුක්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්  ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ වෙත්ද, රූප ධ්‍යානයන් ඉක්මවා ඒ අරූප ධ්‍යානයන් කයින් ස්පර්ශ කොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ පුද්ගලයා උභතොභාග විමුක්ත පුද්ගලයායයි, කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි නොකියමි. ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලද්දාහ. ඔහු කිසිදා ප්‍රමාද වීමට නොපැමිණේ. 

§ 9.2 “මහණෙනි, පඤ්ඤාවිමුත්ත පුද්ගලයා නම් කවරේද,

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්තවූ  විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ කයින් ස්පර්ශ නොකොට වාසය කෙරේද, ඔහුගේ විදර්ශනා නුවණින් දැන ආශ්‍රවයෝ ක්ෂය වූවාහුද, මහණෙනි, මේ  පඤ්ඤාවිමුත්ත පුද්ගලයා යයි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි නොකියමි.
ඊට හේතු කවරේද, ඔහු අප්‍රමාදයෙන් (කටයුතු) කරණ ලදහ. ඔහු ප්‍රමාදයට නොපැමිනෙන්නේය.  

§ 9.3. “මහණෙනි, කාය සක්ඛී පුද්ගලයා නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්ත විමොක්ෂ යයි කියන ලද අරූපාවචර ධ්‍යානයෝ  කයින් ස්පර්ශ කොට වාසය නොකෙරේද, ඔහුගේ නුවණින් දැක ඇතැම් ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙත්ද, මහණෙනි, මේ පුද්ගලයා කාය සක්ඛී ය’යි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතු යයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සෙවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ඉඳුරන් සමකරමින්, යමක් නිසා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඒ මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති, අනුත්තර නිර්වාණය, මේ ආත්මයෙහි තමා නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට, (රහත් බවට) පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි’ (කියා) මහණෙනි මම මේ භික්ෂුවට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතු යයි කියමි.

§ 9.4. “මහණෙනි, දිට්ඨප්පත්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂ යයි කියනලද යම් ඒ අරූප ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතැම් ආශ්‍රවක්ෂය වූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැන ගන්නා ලද ධර්මයෝ ඔහුගේ නුවණින් මනා කොට දැන ගන්නා ලද්දාහුද, මහණෙනි, මේ තෙමේ දිට්ඨප්පත්ත පුද්ගලයාය’යි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයින්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහු නම් යෙහෙකැයි (කියායි).

මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය බලමින් නො පමාවෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

§ 9.5. “මහණෙනි, සද්ධාවිමුත්ත පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා  ශාන්තවිමොක්ෂ යයි කියනලද අරූපාවචර  ධ්‍යානයන් කයින් ස්පර් නොකොට වාසය කරයිද, ඔහුගේ විදර්ශනා නුවණින් දැක ඇතම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත්තීවේද, මුල් බැස පිහිටියාවේද, මහණෙනි, මේ තෙමේ සද්ධාවිමුත්ත පුද්ගලයායි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද, අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සම කරමින්, යමක් නිසා කුලපුත්‍රයො මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් (කටයුතු) කළ යුතුයයි කියමි.

§ 9.6. “මහණෙනි, ධම්මානුසාරී පුද්ගලයා කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර  ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ නොකොට වාසය කරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් දැනගන්නා ලද ධර්මය ඔහුගේ නුවණින් පමණකින් දැකීමට පැමිණෙත්. තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, කවරහුද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්චෙන්ද්‍රිය ය (යන මොහුයි) මහණෙනි, මේ තෙමේ ධම්මානුසාරි පුද්ගලයායයි කියනු ලැබේ.

මහණෙනි, මම මේ භික්ෂුවටද අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.
ඊට හේතු කවරේද? මේ ආයුෂ්මත් තෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියන් සමකරමින් යමක් නිසා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහි තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි). මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළයුතුයයි කියමි.

§ 9.7. “මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා නම් කවරේද?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ශාන්ත විමොක්ෂයයි කියන ලද අරූපාවචර  ධ්‍යානයන් නාම කයින් ස්පර්ශ කොට වාසය නොකරයිද, ඔහුගේ නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය නොවූවාහු වෙත්ද, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පමණක් භක්තිය පමණක් වෙයිද, තවද ඔහුට මේ ධර්මයෝ වෙත්, එනම් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය (යන මොහුයි). මහණෙනි, මේ තෙමේ සද්ධානුසාරී පුද්ගලයායි කියනු ලැබේ.

මහණෙනි. මම මේ භික්ෂුවට අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි. ඊට හේතු කවරේද? මේ ආයුෂ්මතෙමේ සුදුසු සෙනසුන් සේවනය කරමින් කළ්‍යාණ මිත්‍රයන්, ආශ්‍රය කරමින්, ඉන්ද්‍රියයන් සමකරමින්, යමක් නිසා කුල පුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ගබ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් යෙහෙකැයි (කියායි) මහණෙනි, මම මේ භික්ෂුවගේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයයි කියමි.

§ 10. “මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම සිදු වේ.

“මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේද?

මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන්වෙත එළඹෙයි, ගුරුන්වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි, කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරාගනියි, දරාගන්නේ ධර්මයන්ගේ අර්ථය සලකා බලයි, අර්ථය සලකා බලන්නේ වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි, කැමැත්ත ඇත්තේ, උත්සාහ කරයි. උත්සාහ කොට අනිත්‍ය දුඃඛ අනාත්මයයි විමසාබලයි. විමසා බලා දැන මාර්ගය ලැබීමට උත්සාහ කරයි. මාර්ගය ලැබීමට උත්සාහ කළේ නාමකයින් නිවන්සුව අවබොධ කරයි. මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි,

මහණෙනි, ඒ ශ්‍රද්ධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන්වෙත එළඹීමද, නොවීද මහණෙනි, ඒ ආශ්‍රය නොවේද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි ඒ ධර්මය දැරීමද, නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්මයාගේ අර්ථය සලකා බැලීම නොවේද, මහණෙනි, ඒ ධර්මය වටහා ගත් නුවණ නොවේ, මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ, මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්ගය ලැබීමේ උත්සාහය නොවේ. මහණෙනි, විරුද්ධව පිළිපන්නෝ වූවාහුය. මහණෙනි, වරදවා පිළිපන්නෝ වූවාහුය, මහණෙනි, මේ හිස් පුරුෂයෝ කොතරම් දුර මේ ශාසනයෙන් පහවගියාහු වෙත්ද?

§ 11. “මහණෙනි, මේ උදෙසීමක් (-කොටින් කීමක්) හේතු කොට ගෙන නුවණ ඇති පුරුෂයා  වැඩි කල් නොයවා, නුවණින් අර්ථය (-කාරණය) දනීද, ඒ සතර පද (චතුස් සත්‍ය) ප්‍රකාශයක් ඇත්තේය.
“මහණෙනි, තොපට (එය) කොටින් කියමි. එය දැනගණිව්”

“ස්වාමීනි, අපි කවුරුද, ධර්මය දැන ගන්නෝ කවුරුද” (අපි ධර්මය දැනගැනීමට තරම් නොවෙමු යන අදහසයි)

“මහණෙනි, යම් ඒ ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ, ආමිෂය දායාද කොට ඇත්තේ. ආමිෂයෙහි ඇලී වසයිද, ඔහුගේ ධර්මයෙහිද, ‘අපට මෙසේ වන්නේ නම් මෙසේ කරන්නෙමු. අපට එසේ නොවන්නේ නම් එය නොකරන්නෙමුය’යි මෙවැනි මිළ නියම කිරීමක් හා අඩුවෙන් ඉල්ලීමක් නැත.

“මහණෙනි, කිමෙක්ද? තථාගතයන් සර්වප්‍රකාරයෙන් ආමිෂයෙන් වෙන්ව වසන්නේ නොවේද? (ඒ තථාගතයන්ගේ ශාසනයෙහි එවැනි මිළ නියම කිරීමක් හෝ අඩුකර ඉල්ලීමක් කෙසේ නම් යෙදෙන්නේ?)

මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගෙණ ගන්නා සැදැහැවත් ශ්‍රාවකයාගේ මේ ස්වභාවය වෙයි. භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වෙයි. මම ශ්‍රාවක වෙමි. භාග්‍යවතුන් වහන්සේ දනී. මම නොදනිමි.

“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස්කොට ගන්නා ශ්‍රාවකයා නිසා ශාස්තෘ ශාසනය දියුණු වේ. ඕජාවත් වේ.

“මහණෙනි, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයාගේ මේ ස්වභාව වේ. ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම, නහර, ඇට, ඉතිරිවේවා මස් ලේ වියලේවා, යම් ඒ පුරුෂ ශක්තියකින් පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීර්යයාගේ නැවැත්මක් නොවන්නේය. (කියායි)
“මහණෙනි, ශාස්තෘ ශාසනයන් උසස් කොට ගන්නා සැදැහැවත් කුලපුත්‍රයා දෙවදෑරුම් ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් ලබන්නෙම වෙයි.  මේ අත්බැව්හි රහත් බව හෝ ස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ  දෙසූ සේක.
සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූහ.

දහවෙනිවූ කීටාගිරි සූත්‍රය නිමි. (2-10)
දෙවෙනි භික්ෂු වර්ගයි.

English Version  Pali Version

brahm2018

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.