MN 02-02-07. චාතුම සූත්‍රය

සාමණේර භික්ෂු පිරිසකට කල මේ දේශනාව සියලු පෘතග්ජන භික්ෂුන් වහන්සේලාටද උපාධ්‍යයන් වහන්සේලාටද සසරින් ගැලවෙන්නට යම් අදහසක් ඇති උපාසක උපාසිකාවන්ටද ප්‍රයෝජන ගත හැකි වැදගත් කාරනා රැසක් උගන්වයි. මේ භික්ෂුවකට මුහුණ පාන්නට වන සතර ආකාර අන්තරායන් ගැන කලින්ම දැනගෙන සිටීමෙන් හා ඒ අන්තරායන්ට ලැහැස්තිව ඉඳීමෙන් මේවායින් වන අනතුරු වලක්වා ගත හැක. සිය ශිෂ්‍යයන්ට මේ අනතුරුවලින් පීඩාවීම වලක්වන්නට ගුරු ස්ථවීරයන්ටද පිළිවෙල යෙදිය හැක. උපාසක උපාසිකාවන්ද මේ සුත්‍ර ධර්මය කියවා වටහාගෙන තමන්ටද මේ අන්තරායන් ට මුහුණ පාන්නට වන බව සලකා ඉන් පීඩා නොවිදීමට පියවර ගත හැක.

පුජ්‍ය මහරගම ආනන්ද හිමි කල දේශනාව

MN67 සතර අනතුරු.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාතුමා නුවර නෙල්ලි වනයෙහි වාසය කළහ.

§ 2.එකල්හි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ උන් වහන්සේලාගේ ශිෂ්‍ය භික්ෂූහු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස චාතුමා නුවරට පැමිණියෝය.. ඒ ආ ආගන්තුක භික්ෂූහු එහි උන්නාවූ නේවාසික භික්ෂූන් සමග ආ ගිය කතා කරමින් සෙනසුන් පනවන්නාහු පාසිවුරු තැන්පත් කර තබන්නාහු බොහෝ ශබ්ද බොහෝ ගෝෂා ඇත්තෝ වූහ.

§ 3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්‍දය, මසුන් අල්ලන තැනක කෙවුලන් මෙන් මහ හඬින් කෑ මොර ගසමින් ශබ්ද කරන්නේ කවරෙක්ද?” යි ඇසුහ.

“ස්වාමීනි, මේ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ සාමනේර භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහුය. ඒ ආ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග ආ ගිය කතා කරමින් , සෙනසුන් පනවන්නාහුය., පා සිවුරු තැන්පත් කර තබන්නාහුය.,ඒ ගෝසාවක් මෙන් අසුනේ ඒ ශබ්දය විය හැකිය” යි කීය.

§ 4. “ආනන්‍දය, එසේනම් ’ මාගේ වචනයෙන් ඒ භික්‍ෂූන් කැඳවව” යි අන ලද්දෙන් ආයුෂ්මත් ආනන්ද ස්වාමින් වහන්සේ ගොස් ඒ සියළු ආගන්තුක භික්ෂුන් භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවා ගෙන ආහ.
“ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාහුය. එක් පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය.

“මහණෙනි, කුමක් හෙයින් තොපි මසුන් අල්ලන තැන කෙවුලන් මෙන් උස් ශබ්ද මහත් ශබ්ද කරන්නහුද?”
“ස්වාමීනි, අපි සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන කොට ඇති පන්සියයක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහුය. අපේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් සමග ආ ගිය කතා කරන්නෝ , සෙනසුන් පනවන්නෝ, පා සිවුරු තැන්පත් කර තබන්නෝ, ඝෝෂා කාරී වුවාහුය. ” යි (කීහ.)

§ 5. “මහණෙනි, පිටව යව්, තොප නෙරපමි. තොප මා වෙත නොවැසිය යුතුය” යි වදාළහ.
“එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සෙනසුන් අකුලා තැන්පත්කර තබා පා සිවුරු ගෙන ආරාමයෙන් පිටව ගියාහුය.

§
6. එසමයෙහි චාතුමා නුවර වැසි ශාක්‍යයෝ නගර ශාලාවෙහි රැස්ව හුන්නාහුය. ඒ ශාක්‍යයෝ දුරදීම එසේ ආපසු එන ඒ භික්‍ෂූන් දැක ඔවුන් වෙත පැමිණ ඒ භික්ෂූන්ට “ආයුෂ්මත් නුඹවහන්සේලා මේ දැන් අවුත් මේ දැන් කොහි යන්නහුදැයි?” ඇසූහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූහු සංඝයා නෙරපන ලද්දේය.” යි අසාඅ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ගෝෂා කාරී පැවැත්ම ගැන කලකිරී මේ සාමනේරයන් නෙරපූ බවත්, ඔවුන් ඒ ගැන දැඩි කනගාටුවෙන් කනස්සල්ලෙන් ඉන්නා බවත් දැන ඔවුනට මෙසේ කීහ.
“එසේ නම්, ආයුෂ්මතුන් වහන්සේලා මද වෙලාවක්
මෙහි වැඩ හිඳිනු මැනව. අපි භාග්‍යවතුන් වහන්සේ පහදවන්ට හැකි වන්නෙමු නම් යෙහෙක” කීහ. “එසේය, ඇවැත්නි”යි කියා ඒ භික්ෂූහු ශාක්‍යයන්ට පිළිතුරු දුන්නාහුය.

§ 7. ඉක්බිති චාතුමෙය්‍යක ශාක්‍යයෝ භාග්‍යවතුන් වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තරුණ භික්ෂු සංඝයාට කමා කරන සේක්වා
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට යලි අවවාද කරණ සේක්වා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එසේම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් මේ අසරණ නවක සංඝයාට අනුග්‍රහ කරණ සේක්වා.
ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු වන්නෝය.
භාග්‍යවතුන් වහන්සේ දකින්නට නොලැබෙන විට ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. ශ්‍රද්ධාවෙන් පිරිහෙන්නොය.
ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට හොඳින් පොලොවේ පැලවී වැඩීමට නොහැකි වන්නේද, මැලවී පිරිහී අභාවයට යන්නේද , ස්වාමීනි, එසේම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන විට ඒ භික්ෂූන්ට වෙනසක් වන්නේය, පිරිහීමක් වන්නේය,

ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙහෙසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නොදක්නා විට ඔවුන්ට අඩුවක් වන්නේය. පිරිහීමක් වන්නේය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කමා කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් පිළිගන්නා සේක්වා,
ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.”යි කීහ.

§ 8. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පිළිතුරු නොදී ඉන්නා විට683 සහම්පතී බ්‍රහ්මයන් තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැන යම්සේ බලවත් පුරුෂයෙක් හකුලන ලද අත දිගුකෙරේද, දිගුකළ අත හකුලුවාද, එමෙන් බඹලොවෙහි අතුරුදන්වී (නොපෙනී ගොස්) භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.

ඉක්බිති සහම්පතී බ්‍රහ්මයන් සිය උතුරු සළුව එකාංශකොට භාග්‍යවතුන් වහන්සේට ඇඟිලි එකට තබා වැඳ නමස්කාර කොට මෙසේ කීය.

[683:- පාලි සුත්‍රයේ නොදැක්වුවත් ශාක්‍යයන්ගේ ආයාචනය භාග්‍යවතුන් වහන්සේ නොපිළිගත් බවත් ඒ නිසාම සහම්පති බ්‍රහ්ම රාජයාටද පැමිණ භාග්‍යවතුන් වහන්සේට එම ආයාචනය කිරීමට සිදු වූ බවත් පෙනේ. සහම්පති බ්‍රහ්ම රාජයා මී ට පෙර මෙවැනි ආරාධනාවක් කලේ බුද්ධතව ලැබූ භාද්යවතු වහන්සේ විසින් මේ ධර්මය වටහාගන්නට ප්රුතග්ජනයාට නොහැකිවේ යැයි සිතා ධර්ම දේශනා නොකිරීමට සිතු අවස්ථාවේ, ඒ තීරණය වෙනස්කොට ධර්මය දෙසනාකර්ණ ලෙස ආරාධනා කිරීමටය. සහම්පති බ්‍රහ්මයා බුදුන්වහන්සේ සමග භික්ෂුවක් ලෙස පෙර වූ කාශ්‍යප බුද්ධ සාසනයේ මහණදම් පිරු නිසා මේ මිත්‍රත්වය පෙරටුකරගෙන සහම්පති බ්‍රහ්ම රාජයා කල ඉල්ලීම් භාග්‍යවතුන්වහන්සේ පිළිගත් සේක.]

§ 9. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ තරුණ භික්ෂු සංඝයාට කමා කරන සේක්වා
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට යලි අවවාද කරණ සේක්වා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් සේ පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එසේම භාග්‍යවතුන් වහන්සේ මෙකල්හිත් මේ අසරණ නවක සංඝයාට අනුග්‍රහ කරණ සේක්වා.
ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුත පැමිණි නවක භික්ෂූහු වන්නෝය.
භාග්‍යවතුන් වහන්සේ දකින්නට නොලැබෙන විට ඒ භික්ෂූන්ට ශ්‍රද්ධාවේ වෙනසක් වන්නේය. ශ්‍රද්ධාවෙන් පිරිහෙන්නොය.
ස්වාමීනි, යම්සේ වතුර නොලැබෙන ළපැටි බීජයන්ට හොඳින් පොලොවේ පැලවී වැඩීමට නොහැකි වන්නේද, මැලවී පිරිහී අභාවයට යන්නේද , ස්වාමීනි, එසේම ලඟදී පැවිදිවූ, මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දකින්ට නොලැබෙන විට ඒ භික්ෂූන්ට අඩුවක් වන්නේය, පිරිහීමක් වන්නේය,

ස්වාමීනි, යම්සේ මව දකින්ට නොලැබෙන වසු පැටවෙකුට වෙහෙසක් වන්නේද, පෙරළියක් වන්නේද, එමෙන්ම ස්වාමීනි, ලඟදී පැවිදිවූ මේ ශාසනයට අලුතෙන් පැමිණි නවක භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නොදක්නා විට ඔවුන්ට අඩුවක් වන්නේය. පිරිහීමක් වන්නේය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට කමා කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් පිළිගන්නා සේක්වා,
ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙර භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණ ලද්දේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරණසේක්වා.”යි කීහ.

§
10. චාතුමෙය්‍යක ශාක්‍යයෝ හා සහම්පතී බ්‍රහ්මයා බීජොපමාවෙන් හා තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ සිත නවක භික්ෂුන් කෙරෙහි අනුකම්පා කොට සමාව දීමට පොළඹවන්නට හැකිවූහ.

§11 .ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ එම නවක භික්ෂූන් කැඳවා මෙසේ කීහ.

“ඇවැත්නි, නැගිටිව්, පාසිවුරු ගනිව්, චාතුමෙය්‍යක ශාක්‍යයන් විසින්ද, සහම්පතී බ්‍රහ්මයා විසින්ද, බීජොපමාවෙන් සහ තරුණොපමාවෙන් භාග්‍යවතුන් වහන්සේ සිත තොප කෙරෙහි පහදවන ලදහ”. “එසේය ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට උත්තර දී හුන්තැනින් නැගිට පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නාහුය.

§ 12. එක් පැත්තක හුන් සැරියුත් තෙරුන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසීහ.
“ශාරීපුත්තය, මා විසින් භික්ෂූන් නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේද?’

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් ලෞකීය වැඩ කටයුතුවලින් වෙන්ව ඵල සමවත් විහරණයෙහි යෙදී වාසය කරති. අපිදු දැන් එසේ ලෞකිය කටයුතුවලින් වෙන්ව ඵලසමවත් විහරණයෙහි යෙදී වාසය කරන්නෙමු’ කියායි.684
“නැවතෙව සාරිපුත්ත, නැවතෙව, ඔබ විසින් නැවත කිසිදා එසේ නොසිතිය යුතුය.”

[684:- ධර්ම සේනාපති වුද දකුණත් අග්ග මහා ශ්‍රාවක වුද සාරිපුත්ත මහරහතුන් වහන්සේ සිය වගකීම අමතක කිරීමක් කලේ යැයි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ පිළිතුරින් දුටුවා සේය.]

සෑම ජේෂ්ඨ භික්ෂුවක්ම තමාගේ විමුක්ති සාධනය කරගැන්මට පමණක් සාසන ජීවිතය මුලුමණින්ම නොයොදා, තම ශිෂ්‍යයන්ට මෙන්ම තමනට අඩු උපසම්පදාවක් ඇතියවුන්ට අවවාද, උපදේස දීම කල යුතු බවත්, ඒ තමන්වහන්සේගේ යුතුකමක් හා වගකීමක් බව අප සාස්තෘන් වහන්සේ වදාරා ඇති බව මින් කියැවේ. අඩු පාඩුවක් දුටු කල එසේ කරන අවවාදයෙන් සංඝයා පිරිසිදු වෙයි. සාසනයේ චිරස්ථිතියට ඒ හේතු වෙයි.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මහ මුගලන් තෙරුන්ගෙන්ද .
“මොග්ගල්ලානය, මා විසින් භික්ෂු සංඝයා නෙරපූ කල්හි ඔබට කුමක් සිතුනේ ද?” යි ඇසීය.

“භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා නෙරපූ කල්හි මට මෙබඳු සිතක් විය.
“භාග්‍යවතුන් වහන්සේ දැන් මද උත්සාහ ඇත්තාහ. ඵලසමවත් සැප විහරණයෙහි යෙදී වාසය කරති. මම ත් ආයුෂ්මත් සැරියුත් තෙරනුවොත් භික්ෂු සංඝයාට උපදේස අනුග්‍රහය ඉගැන්වීම කල යුත්තේය” කියායි.
“මොග්ගල්ලානය, යහපති යහපති, මොග්ගල්ලානය,

මම භික්ෂු සංඝයාට අවවාද අනුසාසනා කල යුතු වෙමි. මා එසේ නොකරන කල, සැරියුත් මුගලන් දෙදෙනා හෝ භික්ෂු සංඝයාට අවවාද අනුසාසනා කල යුතු කරන්නාහුය.”

§ 12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ.
“මහණෙනි, ගඟට බසින්නකු විසින් අන්තරාය සතරක් ගැන කලින්ම දැනගෙන ගඟට බැසිය යුත්තේය.
ඒ අන්තරාය සතර මොනවාද යත්:-


දිය රළ නිසා වන අනතුරු,
කිඹුලන් නිසා වන අනතුරු,,
දිය සුළි නිසා වන අනතුරු,,
මිනි මෝරුන් නිසා වන අනතුරු,.
දියට බසින්නෙකු විසින් මේ අන්තරාය සතරට තමන් මුහුණ දෙන්නට වේවි යයි දැනුවත් විය යුතු වේ. .

§ 15. මහණෙනි, එමෙන්ම ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවන්නහු මේ සමාන වූ අන්තරාය සතරක් ගැන දැනුවත් විය යුතුයි.
ඒ සතර කවරහු ද?
දිය රළ නිසා වන අනතුරු,
කිඹුලන් නිසා වන අනතුරු,,
දිය සුළි නිසා වන අනතුරු,,
මිනි මෝරුන් නිසා වන අනතුරු,.

§ 16 මහණෙනි, සස්නෙහි රළ වේග අනතුර නම් කුමක් ද?

මහණෙනි, ඇතැම් කුල පුත්‍රයෙක් මෙසේ සිතයි.
‘මම ඉපදීම නිසා බොහෝ දුකට පත් වූවෙමි, ජරාවට, රෝගයනට, වෘද්ධ භාවයට, මරණයට ගොදුරු වීම ස්වභාවකොට ඇත්තෙක් වෙමි. මේ නපුරු සංසාරයෙන් මිදී ඉන්කෙළවරක් දකින්නේ නම් යෙහෙකි.” යි සිතා සාසන ජීවිතය ඒ සඳහා ම‍ග යැයි සාසනය කෙරෙහි පැහැද, ගිහි ගෙන් නික්ම හිස කෙස් රැවුල් කපා කාසාය සිවුරු හැඳ මහණ වෙයි.

එසේ පැවිදිවූම ඔහුට, එක්ව මහණදම් පුරන ඔහුට වඩා බොහෝ වයසින් බාල වුද, ගිහි කල ඔහුට වඩා අඩු කුලවල උන්නාවුද, ගිහි කල ඔහුගේ මෙහෙවර කලාවුද වැනි භික්ෂූහු අවවාද කරත්. අනුශාසනා කරත්.
ඔබ මෙසේ ඉදිරියට යා යුතුය. ඔබ මෙසේ පසු හැරී යා යුතුය. ඔබ මෙසේ ඉදිරි දෙස බැලිය යුතුය. ඔබ මෙසේ අනුදිසා බැලිය යුතුය. ඔබ මෙසේ අත් පා දිගු කළ යුතුය. ඔබ මෙසේ දෙපට සිවුර පාත්‍රය තනිපට සිවුර හැඳ පෙරවිය යුතුය. ආදී ලෙසය.

ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘පෙර ගිහිගෙයි විසූ කල අපි අනුන්ට අවවාද කෙළෙමු. අනුශාසනා කෙළෙමු. අපගේ පුත්‍රයන් පමණයි සිතිය හැකි අපගේ මුණුපුරන් පමණයයි සිතිය හැකි මොව්හු දැන් අපට අවවාද කරති. අනුශාසනා කරති. එසේ අසතුටට පත්ව ඔහු ශික්ෂාව හැර දමා, සිවුරු හැර දමා, උපැවැදී වෙයි, ගිහිවෙයි.

මහණෙනි, ‘මොහු සස්නෙහි රළ වේග අනතුරට ගොදුරුව, සිවුරු හැර දා, ගිහි වූයේ යයි’ කියනු ලැබේ. මහණෙනි, රළ වේග අනතුර යනු අසන්තෝශය, තරහව හා උපායාසට නමකි.

§17 . “මහණෙනි, කිඹුලන් නිසා වන අනතුර කුමක් ද?

මහණෙනි, ඇතැම් කුල පුත්‍රයෙක් මෙසේ සිතයි.
‘මම ඉපදීම නිසා බොහෝ දුකට පත් වූවෙමි. , ජරාවට, රෝගයනට, වෘද්ධ භාවයට, මරණයට ගොදුරු වීම ස්වභාවකොට ඇත්තෙක් වෙමි. මේ නපුරු සංසාරයෙන් මිදී ස‍‌සර කෙළවරක් දකින්නේ නම් යෙහෙකි.” යි සිතා සාසන ජීවිතය ඒ සඳහා ම‍ග යැයි පැහැද ගිහි ගෙන් නික්ම හිස කෙස් රැවුල් කපා කාසාය සිවුරු හැඳ මහණ වෙයි. .

එසේ පැවිදිවූම ඔහුට සමාන බඹසර ඇත්තාහු මෙසේ අවවාද කරත්. අනුශාසනා කරත්.
‘ඔබ මෙය පමණක් කෑ යුතුය. ඔබ මෙය නොකෑයුතුය. ඔබ මෙය අනුභව කළ යුතුය. ඔබ මෙය අනුභව නොකළ යුතුය. ඔබ මෙය රස විඳිය යුතුය. ඔබ මෙය රස නොවිඳිය යුතුය. ඔබ මෙය පානය කළ යුතුය. ඔබ මෙය පානය නොකළ යුතුය. ඔබ කැප දෙය පමණක් කෑ යුතුය. ඔබ අකැප දෙය නොකෑ යුතුය. ඔබ කැප දෙය අනුභව කළ යුතුය. ඔබ අකැප දෙය අනුභව නොකළ යුතුය. ඔබ කැප දෙය රස විඳිය යුතුය. ඔබ අකැප දෙය රස නොවිඳිය යුතුය. ඔබ කැප දෙය පානය කළ යුතුය. ඔබ අකැප දෙය පානය නොකළ යුතුය. ඔබ කාලයෙහි කෑ යුතුය. ඔබ නොකල්හි නොකෑ යුතුය. ඔබ කාලයෙහි අනුභව කළ යුතුය. ඔබ නොකල්හි අනුභව නොකළ යුතුය. ඔබ කාලයෙහි රස විඳිය යුතුය. ඔබ නොකල්හි රස නොවිඳිය යුතුය. ඔබ කාලයෙහි පානය කළ යුතුය. ඔබ නොකල්හි පානය නොකළ යුතුය, කියායි. 686

[686: කෙටියෙන් කිවහොත් කිඹුලන් ගේ අනතුර, කෑම බීම පිළිබඳව ඇති ගිජු බව අත් හැරීමට ඇති අකමැත්තයි. එක් දිනකට පමණක් පොහොයදා දස සිල් ගන්නට පවා බොහෝ බෞද්ධයන් අකමැතිවන්නේ රාත්‍රී ආහාරය ගන්නට ඇති ගිජු කම නිසාය. මහණ වූ පසු විකාල බෝජන සික්කා පදය රැකීමට ඔහු අකැමතිව උපැවිදි වන්නේ ආහාරයට ඇති ගිජු කම නිසාය. ]

ඔහුට මෙසේ සිතෙයි. “. පෙර ගිහිගෙයි විසූ සමයෙහි අපි කැමති දෙයක් කෑවෙමු. අකැමැති දෙය නොකෑවෙමු, යමක් කැමති වෙමුද, එය පානය කෙළෙමු. යමක් කැමති නොවෙමුද, එය පානය නොකෙළෙමු. කැපය අකැපයැයි තහනමක් අපට නොවීය. රිසි රිසි දෙය කෑවෙමු. බීවෙමු.

විකාලයේ ආහාර ගැන්ම කියා යමක් ගිහි ගේ උන් අපට නොවීය. අප කැමති වෙලාවක අපට රිසි දෙය කෑවෙමු. බීවෙමු. දැන් අපට අප කැමති ලෙස කන්නට බොන්නට නොපිලිවන.
කැප දෙයක් හෝ අකැප කෑම ලෙස වෙන්කිරීමක් ගිහි ගෙයි උන් අපට නොවීය. අප කැමති යමක් වී නම් අපි ඒ ආහාරයට ගත්තෙමු. කැමති බීමක් වී නම් අප එය පානයට ගත්තෙමු. කාලයේදී පමණක් ආහාර ගන්නට අපට සිදු නොවීය. දවසේ ඕනෑම වෙලාවක අපට ඕනෑ යමක් කෑමට බීමට අපිට හැකිවිය.

මේ සාසනයට ඇතුළු වූ පසු අපට අවශ්‍ය වෙලාවේ නොව හිරු මුදුනට පෙර පමණක් ආහාර ගන්නට වෙයි. සැදැහැති ගෘහපතියන් මධ්‍යහනට පසුව පුජා කරන්නට ගෙන එන කෑම බීම අපට පිළිගන්නට තහනම් කර ඇත. මේ සංඝයා අපේ කටවල් මුකවාඩම් දමා බැඳ ඇති සේය. එසේ සිතන ඔවුන් සාසනය හැරදා, ශික්ෂාව හැර දමා, සිවුරු හැර දමා, උපැවැදී වෙයි, ගිහිවෙයි.

මහණෙනි, මොහු කිඹුලන් ගේ අනතුරට පත්ව ශික්ෂාව හැරදමා ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, කිඹුලන් නිසා වන අනතුර යනු කෑදර කමට නමකි.

§
18. “මහණෙනි, දියසුලි අනතුර කවරේද?

“? මහණෙනි, ඇතැම් කුල පුත්‍රයෙක් මෙසේ සිතයි.
‘මම ඉපදීම නිසා බොහෝ දුකට පත් වූවෙමි, ජරාවට, රෝගයනට, වෘද්ධ භාවයට, මරණයට ගොදුරු වීම ස්වභාවකොට ඇත්තෙක් වෙමි. මේ නපුරු සංසාරයෙන් මිදී ස‍‌සර කෙළවරක් දකින්නේ නම් යෙහෙකි.” යි සිතා සාසන ජීවිතය ඒ සඳහා ම‍ග යැයි පැහැද, ගිහි ගෙන් නික්ම හිස කෙස් රැවුල් කපා කාසාය සිවුරු හැඳ මහණ වෙයි. .

ඔහු මෙසේ පැවිදිවූයේ, පෙරවරු කල හැඳ පොරවා පා සිවුරු ගෙණ පිණ්ඩපාතය පිණිස ගමට හෝ නියම් ගමට යයි. ඒ භික්ෂුව කාය සංවරයෙන් තොර වී නම්, වාග් සංවරයෙන් තොරවී නම්, සති සම්පජන්නය හා මනෝ සංවරයෙන් තොර වී නම් ඔහු දිය සුළි වලින් අනතුරට පත්වන්නට හැක. මේ දිය සුළි පංච කාමයන් නිසා ඇති දිය සුළි වෙ. ඔහු කෙසේ දිය සුළි වලින් අනතුරට පත් වන්නේද යත්687 :-

[687:- පසිඳුරන් අරමුණට ගන්නා පස් ආකාර අරමුණු අන්තරායදායක දිය සුළි වේ.. ඇසින් ගන්නා අරමුණු ලෙස බයිස්කෝප් බලන්නට, සංදර්ශන බලන්නට ගිජුවීම, සංචාරයේ යාමට කැමැත්ත, ආදී ඇස රවටන දේ පසුපස යාම ඇස නම් දිය සුලිය හසුවීමය. ගීත අසන්නට, කතා අසන්නට, අනුන් හා කතා කර කර ඉන්නට කැමැත්ත ආදිය කණ නමැති දිය සුලිය ලෙසද, නොයෙක් සුවඳ වර්ග, ආෆ්ටර් ෂේව් වර්ග වල සුවඳ, ආදියට ලොල් වීම නාසය නිසා වන දිය සුළිය ලෙසද, සැප සනීප ඇති ඇඳ පුටු , යාන වාහන වලට ලොල්වීම කය පිලිබඳ සුළිය ලෙසද, සිතෙහි විතර්කවලට ගොදුරුවීම මනෝ සුළි ලෙසද හඳුනාගන්න.]

ඔහු දානය පිණිස වඩිනා ගෙයක ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු, පස්කම් ගුණයෙන් යුක්තව කම් සැප විඳින සැටි ඔහු දකී. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘අපි පෙර ගිහිව සිටි කාලයේ මේ ගෘහපති සේම, පස්කම් ගුණයෙන් සම්පූර්ණ වූවාහු’ යුක්ත වූවාහු කම්සැප වින්දෙමු. මගේ ගෙදර එම සම්පත්ද වෙත්. නැවත මා සිවුරු හැර ගිහිවුවොත්,එම සම්පත් අනුභව කරන්ටද පින් කරන්ටද පුළුවන’ කියායි.

එසේ පස් කම් සැපතට නැවත ආසාවන ඔහු, ශික්ෂාව හැර, සිවුරු හැරලා ගිහි වෙයි.

මොහු දියසුලි අනතුර නිසා, ශික්ෂාව හැරදමා, සිවුරු හැර ගිහිවූයේයයි කියනු ලැබේ. මහණෙනි, දියසුලි යනු පස්කම් ගුණයට නමකි.

§
19. “මහණෙනි, මිනි මෝර සැඩ මසුන්ගෙන් වන අනතුර කුමක්ද?

මහණෙනි, ‘මම ඉපදීම නිසා බොහෝ දුකට පත් වූවෙමි. , ජරාවට, රෝගයනට, වෘද්ධ භාවයට, මරණයට ගොදුරු වීම ස්වභාවකොට ඇත්තෙක් වෙමි. මේ නපුරු සංසාරයෙන් මිදී ස‍‌සර කෙළවරක් දකින්නේ නම් යෙහෙකි.” යි සිතා සාසන ජීවිතය ඒ සඳහා ම‍ග යැයි පැහැද ගිහි ගෙන් නික්ම හිස කෙස් රැවුල් කපා කාසාය සිවුරු හැඳ මහණ වෙයි.

ඔහු මෙසේ පැවිදිවූයේම, පෙරවරුකල හැඳ පොරවා පා සිවුරු ගෙණ ගමට හෝ නියම් ගමට පිඬු පිණිස හෝ, ධර්ම දේසනාවක් පිණිස හෝ වෙන යම් කටයුත්තකට යන්නේය. නොරක්නාලද කයින් නොරක්නාලද වචනයෙන්, නොඑළඹි සිහියෙන්, අසංවර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව, එසේ ගමට පිවිසෙන ඒ භික්ෂුව ඒ ගමෙහිදී අසංවරව ඇඳුම් ඇඳ ඉන්නා , අසංවරව හැසිරෙන්නාවූ, අසංවරව කතා කරන්නාවූ ස්ත්‍රියක් දකියි, ඇය හා කතාවට යයි. සංවර නොකළ ඔහුගේ සිත කාම රාගයෙන් වික්ෂිප්ත වෙයි. මේ සසරෙන් මිදීමට බ්‍රහ්මචරියාව රකිනවාට වඩා සිවුරු හැර යලි ගිහියෙක් වී මේ ස්ත්‍රිය සමග යුග ජීවිතයක් ගෙවීම හොඳ යැයි කියා ඔහු ශික්ෂාව හැර පියා උපැවිදි වෙයි. ගිහි වෙයි. 689

මහණෙනි, සැඬ මසුන් යනු මාගමට නොහොත් ස්ත්‍රියට688 නමකි.

[688: පුරුෂයෙකුට කාන්තාව තරම් ප්‍රිය අන්‍ය රුපයක්, ශබ්ධයක්, ගන්ධයක්, ස්පර්ශයක් නැති බව ත්‍රිපිටකයේ සුත්‍ර බොහො ගණනක දක්වා ඇත., කාන්තාවන් කෙරෙහි කෙසේ භික්ෂුවක් හැසිරිය යුතුදෑයි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇසු ප්‍රස්නයට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර සෑම භික්ෂුවක්ම සිතෙහි නැවත නැවත මතු කර ගත යුතු ඉතා වටිනා උපදේශයකි.]

කථාං මයං භන්තේ මාතුගාමෙ පටිපජ්ජාමා?” ති.
“අදස්සනං ආනන්දා” ති.
“දසසනේ භගවා සති කථන් පටිපජ්ජිතබ්බන්ති?”
“අනාලාපෝ ආනනදා”ති
“ආලපත්තෙන පන භන්තෙ කතං පටිපජ්ජිතබ්බන්ති?”
“සති ආනන්ද උපට්ටපෙතබ්බා”ති

{මහා පරිනිබ්බාන සුත්‍රය]

[689:- සාසන ඉතිහාසයේ ගැහැනුන් නිසා සිව්රු හැර ගිය බොහෝ භික්ෂුන් ගැන සඳහන් වෙයි. මෑත කාලයේ අපගේ ජීවිත කාලයේදීම අප දන්නා ඉතා නැණවත්, ධර්මධර භික්ෂුන් උපසම්පදාවෙන් විසි වසරකට පසුව පවා මෙම මෝර අනතුරට ගොදුරුව සිව්රු හැර ගිය බව අප දනිමි.. ඒ ආකාර වූ සිද්දීන් බොහෝ දෙනා දනිති. සෞඛ්‍ය හේතු නිසා ය, වෛද්‍ය උපදෙස නිසා සිව්යරේ ඉන්නට බැරිය කියා කීවත් ටික කලකට පසු ඔහු නැවත විවාහයක් කරගෙන ඉන්නා බව ආරංචි වෙයි.]

මේ නිසා සියළු භික්ෂුන් කාන්තාවන් හා ඇති සියළු සම්බන්ධතාවලින් ඈත්වීම නුවනට හුරුය. ඇටකටු සැකිල්ලකට මස් පිඩු අලවා සමකින් වසා හැඩ ගැන්වූ, මුත්‍රා අසුචි කැත කුණු පිරවූ අසුචි කළ වැනි වූ ස්ත්‍රී රුපය සුන්දරයැයි නොගෙන පිලිකුලම වැඩිය යුතුය. ජේෂ්ඨ ස්වාමින්වහන්සේලාද සිය තරුණ ශිෂ්‍යයන් රැක ගන්නට ඉතා පරීක්ෂාකාරී විය යුතුය. අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ කිහිප වරක්ම මහරගම වජිරඥාන භික්ෂු මධ්‍යස්ථානයේ ධර්ම දේශනා සඳහා එන අසංවර ඇඳුම් ඇඳ ඉන්නා කාන්තාවන්ට ගේට්ටුවෙන් ඇතුලට ඒම වලකා එලවා දමනු අප දුටිමු.

බෞද්ධ උපාසිකාවන්ද මේ සාසනය රැක ගන්නට භික්ෂුන් හා කතාබහ කිරීම්වලදී පවා ඉතා සංවර විය යුතුය. හික්ෂුවක් උපැවිදි වන්නට දායක වීම කල්ප ගණනක් කල් නිරා දුක් විඳින්නට සිදුවන මහා පාපයක් බව නිතර සිතිය යුතුය.


“මහණෙනි, ගිහිගෙන් නික්ම මේ සස්නෙහි පැවිදිවූ සියළු භික්ෂුන් මේ අනතුරු සතර ගැන දැනගෙන ප්‍රවේසම් විය යුත්තාහ.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙශනා කළහ.

සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

සත්වෙනිවූ චාතුම සූත්‍රය නිමි. (2-7)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.