MN 02-02-01. අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය

බොරු කීම අනෙක් පව්කම්වලට පදනම වන දෙයකි. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව, “එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනො; විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං” යනුවෙන් වදාරා තිබේ.
“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යනු එහි තේරුමයි.
මේ රාහුලෝවාද සුත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දහ හතර වියට පත් රාහුල සාමනේරයන් වහන්සේට බොරු කීමෙන් වැළකීම ශ්‍රමණ ප්‍රතිපදාවේ පදනම ලෙස දක්වා තිදොරෙන් කරනා සෑම ක්‍රියාවක්ම කිරීමට පෙර ඉන් තමනට, අනුනට හෝ දෙපක්ෂයටම අනර්ථයක් වේදැයි ප්‍රත්‍යවේක්ෂා කර එසේ නොවේ නම් පමණක් එය කල යුතු බව දක්වා ඇත. තිදොරින් කරනා සෑම ක්‍රියාවක්ම නැවත නැවත තුන් කාලය සඳහාම ප්‍රත්‍යවේක්ෂා කරමින් අකුසල දුරු කොට කුසල් වැඩීමට උපදෙස් මෙහි වේ.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කලන්දකනිවාප නම් වෙළුවන විහාරයෙහි වැඩ වාසය කළහ.

§ 2 .එකල්හි ආයුෂ්මත් රාහුල සාමනේරයන් 637 වේළුවනාරාමය අසල පිහිටි වඩා විවෙක ඇති අම්බලට්ඨිකා ආවාසයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගීසිට අම්බලට්ඨිකාවට වැඩියහ.

ආයුෂ්මත් රාහුල සාමනේරයෝ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක ආසනයක් පැනවීය. පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පැමිණ පැනවූ අසුනෙහි වැඩහුන්හ. හිඳ පාදයන් සේදූහ. ආයුෂ්මත් රාහුල සාමනේරයන්ද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක හුන්නේය.

[637: ඔබ කවුරුත් දන්නා පරිදි රාහුල සාමනේරයන් වහන්සේ සිද්ධාර්ථ කුමරුන්ගේ එකම පුත්‍රයා විය. කිඹුල්වත් නුවරට භාග්‍යවතුන් වහන්සේ වැඩි පළමු ධර්ම චාරිකාවෙදීම රාහුල කුමරුන් සත් හවුරුදු වයසේ සිටියදී පැවිදි කරනු ලැබීය. මේ චුල රාහුලෝවාද සුත්‍රයේ සඳහන් සිද්ධිය එසේ පැවිදි කොට ඉතා සුළු කාලයකින් එනම් රාහුල සාමනේරයන් වයස හවුරුදු 8 වීමට පෙර වුවක් බව අටුවාව කියයි. MN 147 චුල රාහුලෝවාද සුත්‍රයේ රාහුල සාමණේරයන්ගේ අරහත්බව ප්‍රත්‍යක්ෂ කිරීම සඳහන් වේ.. රාහුල හිමියන් ශික්ෂාකාමී භික්ෂුන් අහුරෙන් අග්‍ර යැයි අහ තනතුරු ලැබූ සේක. උන් වහන්සේගේ චරිත කතාව මෙහි කියවන්න.]

දිය බඳුනෙහි උපමාව


§
3 . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුරවා තිබු දිය බඳුනෙන්, පා සෝදා, දිය ස්වල්පයක් දිය බඳුනෙහි ඉතිරිකොට තබා ආයුෂ්මත් රාහුල සාමණේරයන්ගෙන් මෙසේ ඇසූහ.
“රාහුලය, දිය බඳුනෙහි ඉතිරිවූ මේ දිය ස්වල්පය ඔබට පෙනෙන්නෙහිද?”
“එසේය, ස්වාමීනි”
“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුගේ මහණකමද මෙසේ සුලුය.”

§ 4 .ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ඉතිරිව තුබූ දිය විසි කොට රාහුල සාමණේරයන්ගෙන් මෙසේ ඇසූහ.
“රාහුල, ඔබ ඒ විසිකළ දිය ස්වල්පය දැක්කෙහිද?”
“එසේය, ස්වාමීනි.”
“රාහුලය, යම් භික්ෂුවක් ලජ්ජාවක් නැතිව දැන දැන බොරු කීයයි නම්, ඔවුන්
තම මහණකම්ද මෙසේ විසි කරන ලද්දේය.”

§ 5 .ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දියබඳුන යටිකුරු කොට මුණින් නවා රාහුල සාමණේරයන්ගෙන් මෙසේ ඇසූහ. “රාහුලය, ඔබ යටිකුරු කළ මේ දියබඳුන දක්නහුද?”
“එසේය, ස්වාමීනි.”
“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකම මෙසේ මුණින් නමන ලද්දකි..”

§ 6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන උඩුකුරු කොට රාහුල සාමණේරයන්ගෙන් මෙසේ ඇසූහ
“රාහුලය, ඔබට මේ හිස් දිය බඳුන පෙනෙන්නෙහිද?”
“එසේය, ස්වාමීනි.”
“රාහුලය, යම් භික්ෂුවකට දැන දැන බොරු කීමෙහි ලජ්ජාවක් නැද්ද ඔහුගේ මහණකමත් මෙසේ හිස්ය.
මහණකමට අයත් ගුණ කිසිවක් ඔහු තුල නැත.

රාජකීය ඇතා ගේ උපමාව


§ 7
. “රාහුලය, රජු ට අයත් , රිය කඳක් පමණ මහත් දළ ඇති, මනා උස මහත ඇති ජාතිසම්පන්න, යුදයට පුහුණු කල ඇතෙක් යුදයට වන් කල , ඒ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ ගනියි . පසු පාදවලින්ද වැඩ ගනියි. ඉදිරි කයින්ද වැඩ ගනියි. පසු කයින්ද වැඩ ගනියි. හිසින්ද වැඩ ගනියි. කණින්ද වැඩ ගනියි. දත්වලින්ද වැඩ ගනියි. වලිගයෙන්ද වැඩ ගනියි. (නමුත්) සොඬ පාවිචි නොකර ඒ රකී.

එහිදී ඇතුන් බලන්නාට මෙවැනි අදහසක් වෙයි. ” මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදයෙන්ද වැඩ කරයි. පසු පාදයෙන්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. නමුත් සොඬ රකී. රජුගේ ඇතා ජීවිත පරිත්‍යාගයයෙන් රජුට සේවය නොකරන්නේය.” යනුයි.

“රාහුලය, ඒ මහ දළ ඇති උස මහත ඇති ජාතිසම්පන්න යුදයට බැසගත් රජුගේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි. පසු පාදවලින්ද වැඩ කරයි. ඉදිරි කයින්ද වැඩ කරයි. පසු කයින්ද වැඩ කරයි. හිසින්ද වැඩ කරයි. කණින්ද වැඩ කරයි. දත්වලින්ද වැඩ කරයි. වලිගයෙන්ද වැඩ කරයි. සොඬ වැලෙන්ද වැඩ කරයිද . එවිට ඇතුන් බලන්නාට මෙසේ සිතෙයි.

මහ දළ ඇති උස මහත ඇති මේ ඇතා යුදයට ගොස් ඉදිරි පාදවලින්ද වැඩ කරයි…… වලිගයෙන්ද වැඩ කරයි. සොඬවැලෙන්ද වැඩ කරයි. රජුගේ ඇතා ජීවිත පරිත්‍යාගයයෙන් සිය කාර්යය කෙළේය යනුයි. දැන් රජුගේ ඇතා විසින් කළ යුතු අන්දෙයක් නැත.” කියායි.

රාහුල, එපරිද්දෙන් යමෙක් විහිළුවකට හෝ, දැන දැන බොරුවක් කීමෙහි ලජ්ජාවක් නැද්ද, ඔහුට නොකළ හැකි කිසි පාපයක් නැත’යි මම කියමි . රාහුලය, එහෙයින් විහිලුවටවත් ඉතා සුළු බොරුවක්වත් නොකියන්නෙමි”යි ඔබ හික්මිය යුතුයි.

කැඩපත් උපමාව – ප්‍රත්යාවෙක්ෂය

§ 8. “රාහුලය, මෙයට පිළිතුරු දෙව.? කැඩපතකින් කවර ප්‍රයොජනයක් ඇත්තේද?”
“ස්වාමීනි, මුහුණ බැලීම පිණිසයි.”

” රාහුලය , යමෙක් කරන්නාවූ ක්‍රියා තෙවදෑරුම් වේ. (කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම) කයින් ක්‍රියා කෙරේ, වචන පාවිච්චි කෙරේ, සිතින් සිතයි. කන්නාඩියෙන් මුහුණේ අඩු පාඩු බලන්නාක් මෙන්, මේ තුන් ආකාරයෙ, කාය, වාචා, මනෝ යන තුන් ආකාරයේදීම ඒ කරන ක්‍රියා ගැන ප්‍රත්‍ය වෙක්ෂා කල යුතු වේ.

කාය කර්ම ප්‍රත්යවෙක්ශාව

“රාහුලය,
(a) යමක් කයින් කරන්නට පෙර සිතා බලව.
කිරීමට පෙර ඒ කරන දෙය ප්‍රත්‍යවේක්ෂා කොට නුවණින් බලා කයින් කටයුතු දේ කළ යුතුය.
(b) කීමට පෙර ප්‍රත්‍යවේක්ෂා කොට කතා කරව.
කතාකිරීමට පෙර ඒ වචනය ගැන ප්‍රත්‍යවේක්ෂා කොට, නුවණින් කතා කළ යුතුය.
(c)සිතීමට පෙර ප්‍රත්‍යවේක්ෂා කොට සිත සුරකිව.
සිතීමට පෙර ඒ සිතුවිලි ගැන ප්‍රත්‍යවේක්ෂා කොට, නුවණින් සිත රැක ගනුව.

§ .9 . “රාහුල, තොප කායිකව යම් කටයුත්තක් කරන්ට යන්නෙහිද , තොප විසින් ඒ කාය ක්‍රියාව ගැන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කල යුතුය. “මම කරන්නට යන මේ ක්‍රියාව නිසා තමන්ට පීඩා වන්නේද?, අන්‍යයන්ට පීඩාවක් වන්නේද, දෙකොටසටම පීඩා වන්නේද?

මා ඉදිරියේදී කරන්නට යන කටයුත්ත අකුසල් ඇතිකරන, දුක් රැස්කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද, රාහුලය, එසේ සලකා බලන්නාවූ ඔබ , ‘මම මේ කයින් කරන්නට යන කටයුත්ත නිසා මා හට පීඩා වන්නේය. අනුන්ට පීඩා වන්නේය. තමන්ට හා අනුන්ට පීඩා වන්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇතිකරන්නේය.” යැයි දැනගන්නෙහිද; රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්තක් ඒකාන්තයෙන් නොකළ යුතුය.

මා ඉදිරියේදී කරන්නට යන කටයුත්ත නිසා මා හට පීඩා නොවන්නේය. අනුන්ටද පීඩා නොවන්නේය. තමන්ට හා අනුන්ට පීඩා නොවන්නේය. මේ කයින් කරන කටයුත්ත කුසල්ය. දුක් රැස් කරන්නේ නැත.. දුක් විපාක ඇති නොකරන්නේය ‘යි දන්නේ නම් පමණක් ඒ ක්‍රියාව කල මනාය.

§ 10 . රාහුල, තොප දැන් කායිකව යම් කටයුත්තක් කරන්නේද , තොප විසින් ඒ කරන්නාවූ කාය ක්‍රියාව ගැන මෙසේ ප්‍රත්‍යවේක්ෂා කල යුතුය. “මම මේ කරන ක්‍රියාව නිසා මාහට පීඩාවක් වන්නේද?, අන්‍යයන්ට පීඩාවක් වන්නේද, දෙකොටසටම පීඩා වන්නේද?

රාහුලය, එසේ සලකා බලන්නාවූ ඔබ , ‘මම මේ කයින් කරන කටයුත්ත නිසා මා හට පීඩා වන්නේය. අනුන්ට පීඩා වන්නේය. තමන්ට හා අනුන්ට පීඩා වන්නේය. මේ කයින් කරන කටයුත්ත අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇතිකරන්නේය.” යැයි දැනගන්නෙහිද; රාහුලය, තොප විසින් එබඳු කයින් කරන කටයුත්ත වහා නැවැත්විය යුතුය. නොකළ යුතුය.

§ 11 “රාහුල, යමක් කළ පසුද, ඔබගේ එම කයෙන් කළ කටයුත්ත ප්‍රත්‍යවේක්ෂා කල යුතුය ‘මම කල ක්රියාව නිසා මාහට පීඩා පිණිසද පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද, මේ කළ ක්‍රියාව අකුසල් ඇතිකරවූ ක්‍රියාවක් ය. දුක් ඇති කල ක්රියාවක්ය. දුක් විපාක ඇති කරන ක්‍රියාවක් ය.

රාහුල ඉදින් ඔබ එසේ ප්‍රත්‍යවේක්ෂා කරන විට මෙසේ දන්නෙහිද? ‘මම කල ක්‍රියාව , මාගේ මේ කයින් කළ කටයුත්ත මට පීඩා පිණිසද පවත්නේය. අනුනට පීඩා ගෙන දුන්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කතාව අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේයයි දන්නෙහිද?

රාහුල, තොප විසින් එබඳු වූ කළ ක්‍රියාව ගැන, ශාස්තෲන් වහන්සේ වෙත හෝ ප්‍රඥාවන්ත සබ්‍රහ්මචාරින් වහන්සේ වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා විවෘත කොට ප්‍රකට කොට නැවත සංවරයට පැමිණිය යුතුයි.

ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද ‘මම යම් ක්‍රියාවක් කෙළෙම්ද, මාගේ මේ කළ කටයුත්ත මට පීඩා පිණිසද නොපවතී. අනුන්ට පීඩා පිණිසද නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මා කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි.’

රාහුල, එසේ වූ කල තමන් කල කුශල ධර්මයන්හි රෑ දාවල් දෙකේ හික්මෙමින් එම ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් ඔබ වාසය කරන්නෙහිය.

වචී කර්ම ප්‍රත්යවෙක්ශාව

§12 . “රාහුලය, කතා කරන කල්හිද තොප විසින් ඒ කරන කතාව ගැන සලකා බැලිය යුතුය. මම මෙසේ කතා කිරීමෙන් මා හට පීඩාවක් වේද, අන්‍යයන්ට පීඩාවක් වේද, දෙපිරිසටම පීඩා වන්නේද යනලෙස ප්‍රත්‍යවේක්ෂා කල යුතුය.

§ 13. මා කතාකරන්නට යන දේ දේ නිසා අකුසල් සිදුවන්නේද? දුක් රැස්කරන්නේද? දුක් විපාක ඇතිකරන්නේද? යනුවෙනි. රාහුලය, ඉදින් මෙසේ සලකන්නාවූ ඔබ මෙසේ දන්නෙහිද. ‘මම මෙසේ ඉදිරියේදී කතා කරම්ද, මාගේ මේ වචනය මට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිසද පවතින්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිසද පවත්නේය, මේ කතාව අකුසල්ය. දුක් රැස් කරන්නේය, දුක් විපාක ඇති කරන්නේය.’ රාහුලය, ඔබ එබඳු කතා නොකල යුතුය. වැළකිය යුතුය.

§ 14. රාහුලය, ඉදින් ඔබ ප්‍රත්‍යවේක්ෂා කරත්දී මෙසේ දන්නෙහිද, මම යම් කතාවක් දැන් කරම්ද, මාගේ මේ වචනය මා හට පීඩා පිණිස නොවන්නේය , අනුන්ට පීඩා නොවන්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිස නොවන්නේය, මේ වචනය කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇතිකරන්නේයයි දන්නෙහිද, රාහුල, ඔබ එබඳු කතා නොනැවත්විය යුතුය.’ නැවත නැවත කල යුතුය.

රාහුලය, ඉදින් ඔබ ප්‍රත්‍යවේක්ෂා කරත්දී මෙසේ දන්නෙහිද,
මම යම් කතාවක් දැන් කරම්ද, මාගේ මේ වචනය මා හට පීඩා පිණිස වන්නේය , අනුන්ට පීඩා වන්නේය, තමාට හා අනුන්ට පීඩා පිණිස වන්නේය, මේ වචනය අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇතිකරන්නේයයි දන්නෙහිද, රාහුල, ඔබ එබඳු කතා නැවත්විය යුතුය.’ නැවත නොකල යුතුය.

§ 15 . “රාහුල, යමක් කතා කළ පසුද, ඔබගේ එම වචනයෙන් කළ කටයුත්ත සලකා බැලිය යුතුය ‘මම කල කතාව නිසා මාහට පීඩා පිණිසද පවත්නේද, අනුන්ට පීඩා පිණිස පවත්නේද, තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද, මේ කළ කතාව අකුසල් ඇතිකරවූ කතාවක්ද, දුක් රැස් කරන්නේද, දුක් විපාක ඇති කරන්නේද කියායි.

රාහුල ඉදින් ඔබ එසේ ප්‍රත්‍යවේක්ෂා කරන විට මෙසේ දන්නෙහිද? ‘මම කල ක්‍රියාව , මාගේ මේ කයින් කළ කටයුත්ත මට පීඩා පිණිසද පවත්නේය. අනුනට පීඩා ගෙන දුන්නේය. තමන්ට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ කතාව අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේයයි දන්නෙහිද?

රාහුල, තොප විසින්ද කල එබඳු වචී දුක්කටතාව ගැන, ශාස්තෲන් වහන්සේ වෙත හෝ ප්‍රඥාවන්ත සබ්‍රහ්මචාරින් වහන්සේ වෙත හෝ පැමිණ කිය යුතුයි. එය විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි. (එසේ) කියා විවෘත කොට ප්‍රකට කොට නැවත එය නොකරන්නට සංවරයට පැමිණිය යුතුයි.

ඉදින් ඔබ ප්‍රත්‍යවේක්ෂා කරත්දී මෙසේ දන්නෙහිද ‘මම යම් කතාවක් කෙළෙම්ද, මාගේ මේ වචනයෙන් කළ කටයුත්ත මට පීඩා පිණිසද නොපවතී. අනුන්ට පීඩා පිණිසද නොපවතී. තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ වචනයෙන් කළ කටයුත්ත කුසල්ය. සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි.’

රාහුල, එසේ වූ කල තමන් කතාවෙන් කල කුශල ධර්මයන්හි රෑ දාවල් දෙකේ හික්මෙමින් එම ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් ඔබ වාසය කරන්නෙහිය.

මනෝ කර්ම ප්‍රත්යවෙක්ශාව

§ 16 “රාහුල, ඔබ සිතින් යම් දෙයක් සිතන්නට කැමැත්ත ඇත්තේද ?
ඔබගේ එම කැමැත්ත ගැන තමන් නැවත ප්‍රත්‍යවේක්ෂා කල යුතුය, ‘මම යම් සේ සිතන්නට, මේ, මේ දේ ගැන සිතන්නට කැමැත්තෙම්ද, මාගේ මේ සිතිම නිසා මා හට පීඩා පිණිස පවත්නේද. අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? මේ සිතිම අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ යනුවෙනි,

රාහුලය, එසේ ප්‍රත්‍යවේක්ෂා කරන්නාවූ ඔබ මෙසේ දැනගන්නේද, ‘මම මෙසේ සිතීමට කැමැත්තෙම්. එසේ සිතීමෙන් ඒ සිතුවිලි ඉදිරියෙහිදී, මාගේ පීඩාව පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. මේ සිතින් කරන කටයුත්ත අකුසල්ය. දුක් විපාක ඇති කරන්නේය.’ රාහුලය, තා විසින් එබඳු සිතුවිලි නොසිතන්නට අධිෂ්ඨාන කල යුතුය. එකාන්තයෙන් නොකළ යුතුයි. අන්‍යවූ කුසලයක් ගැන සිත නැමිය යුතුය.

“රාහුල ඉදින් ප්‍රත්‍යවේක්ෂා කරන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද? ‘මම මේසේ දැන් කරනා සිතීම මාහට පීඩා පිණිස නොපවත්නේය. අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස නොපවත්නේය. මේ සිතින් කරන කටයුත්ත කුසල්ය. සැප රැස් කරන්නේය. සැප විපාක ඇති කරන්නේය’ කියායි. රාහුල, ඔබ විසින් එබඳු සිතින් කරන සිතීම කල යුතුය.

§ 17. රාහුල, ඔබ පෙරදී, සිතින් යම් දෙයක් ගැන පෙර සිතුවේද ? ඔබගේ එම සිතුවිල්ල ගැන තමන් නැවත ප්‍රත්‍යවේක්ෂා කල යුතුය, ‘මම එසේ සිතිම නිසා මා හට පීඩා පිණිස පවත්නේද. අනුන්ට පීඩා පිණිස පවත්නේද? තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේද? එසේ සිතිම අකුසල්ද? දුක් රැස් කරන්නේද? දුක් විපාක ඇති කරන්නේද?’ යනුවෙනි

“රාහුල ඉදින් ප්‍රත්‍යවේක්ෂා කරන්නාවූ ඔබ මෙසේ දැනගන්නෙහිද? ‘මම ඒසේ කල සිතීම මාහට පීඩා පිණිස පවත්නේය. අනුන්ට පීඩා පිණිස පවත්නේය. තමහට හා අනුන්ට පීඩා පිණිස පවත්නේය. එසේ සිතින් කරන සිය්හීම අකුසල්ය. දුක් රැස් කරන්නේය. දුක් විපාක ඇති කරන්නේය’ කියායි. රාහුල, ඔබ විසින් එබඳු සිතින් කරන සිතීම ගැන තමාම තමනට නින්දා කළ යුතුය.

රාහුල, ඔබ විසින් එබඳු සිතින් කළ සිතීම ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණ ඇති සමානව ඇසුරුකරන්නන් වෙත හෝ පැමිණ කිය යුතුයි. විවෘත කළ යුතුයි. ප්‍රකට කළ යුතුයි, කියා විවෘත කොට, ප්‍රකට කොට නැවත සංචරයට පැමිණිය යුතුයි.

“රාහුල, ඉදින් ඔබ සලකා බලන්නේ මෙසේ දන්නෙහිද, ‘මම සිතින් යම් මේ කටයුත්තක් කෙළෙම්ද, මාගේ මේ සිතින් කළ කටයුත්ත තමාට පීඩා පිණිස නොපවතී, අනුන්ට පීඩා පිණිස නොපවතී, තමාට හා අනුන්ට පීඩා පිණිස නොපවතී. මේ සිතින් කළ කටයුත්ත කුසල්ය, සැප රැස් කරයි. සැප විපාක ඇති කරයි’ යනුවෙනි.
“රාහුල, ඔබ එම ප්‍රීතියෙන් හා සන්තොෂයෙන් කුශල ධර්මයන්හි දාවල් රෑ දෙකේ හික්මෙමින් වාසය කරන්නෙහිය

§ 18 . “රාහුල, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන කටයුතු පිරිසිදු කළාහුද, වචනයෙන් කරන කටයුතු පිරිසිදු කළාහුද, සිතින් කරන කටයුතු පිරිසිදු කළාහුද, ඒ සියල්ලෝ එපරිද්දෙන්ම සලක සලකා කයින් කරන කටයුතු පිරිසිදු කළාහුය. සලක සලකා වචනයෙන් කරන කටයුතු පිරිසුදු කළාහුය. සලක සලකා සිතින් කරන කටයුතු පිරිසුදු කළාහුය.
“රාහුල, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන ක්‍රියා පිරිසිදු කරන්නාහුද, වචනයෙන් කියා දේ පිරිසුදු කරන්නාහුද, සිතින් කරන සිතුවිලි පිරිසුදු කරන්නාහුද, ඒ සියල්ලෝද එපරිද්දෙන්ම සලකා සලකා කයින් කරන කටයුතු පිරිසුදු කරන්නාහුය. ප්‍රත්‍යාවේක්ෂ කරමින් වචනයෙන් කරන කතා පිරිසුදු කරන්නාහුය. ප්‍රත්‍යාවේක්ෂ කරමින් සිතින් කරන සිතිවිලි පිරිසුදු කරන්නාහුය.

රාහුල, මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කරන ක්‍රියා පිරිසුදු කරත්ද, වචනයෙන් කරන කතා පිරිසුදු කරත්ද, සිතින් කරන සිතිවිලි පිරිසුදු කරත්ද, ඒ සියල්ලෝ ප්‍රත්‍යාවේක්ෂ කරමින් කයින් කරන ක්‍රියා පිරිසුදු කරත්. ප්‍රත්‍යාවේක්ෂ කරමින් වචනයෙන් කරන කතා පිරිසුදු කරත්. ප්‍රත්‍යාවේක්ෂ කරමින් සිතින් කරන සිතිවිලි පිරිසිදු කරත්.

“රාහුල, එබැවින්
‘ප්‍රත්‍යාවේක්ෂ කරමින් කයින් කරන ක්‍රියා පිරිසුදු කරව.
ප්‍රත්‍යාවේක්ෂ කරමින් වචනයෙන් කතා පිරිසුදු කරව.
ප්‍රත්‍යාවේක්ෂ කරමින් සිතින් කරන සිතිවිලි පිරිසුදු කරව’යි
ඔබ මෙසේ හික්මිය යුතුයි.”


භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
සතුටුවූ ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය

.
පළමුවෙනිවූ අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය නිමි. (2-1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.