MN-02-01-10-අපණ්ණක සූත්‍රය

060 අවිරුද්ධ පිළිවෙත

කර්මය සහ කර්ම ඵල විස්වාස නොකරන අය ද පුනරුප්පත්තිය නොපිළිගන්නා අයද අද බොහෝ වෙති. බෞද්ධයන් යයි කියාගන්නා ලාංකිකයන් බහුතරයක් එසේය. අපායත් දිව්‍යලොකයත් තියෙන්නේ මේ ලෝකයේ යයි කියන්නෝද වෙති. මේ විශ්ව නීති නොදන්නා නොපිළිගන්නා මිනිසා දුසිරිතෙහි යෙදෙන්නට බිය නොවේ. මෙලොවත් එලොවත් දෙකම තමන් වනසා ගන්නා බව ඔහු වටහා නොගනී. මේ ඉතා වටිනා දේසනාව වටහා ගත්තොත් තමන් කුමන මතයක් දැරුවත් අමාරුවේ නොවැටී ඉන්නට හැකි අපන්නක ධර්මයක් තෝරා ගන්නට පහසු වනු ඇත.

පුජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි මෙම සුත්‍රය ඇසුරින් කල ධර්මානුසාසනාව


§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ 
බොහෝ   භික්ෂූ සංඝයා සමග, කොසොල් දනව්වල සැරිසරා වඩනා අතර තුර කොසොල් දනව්වේ ශාලානම් බමුණුගමට වැඩිසේක.

§ 2.  “ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය වංශයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ  මහත්වූ භික්ෂු සංඝයා පිරිසක් සමග සැරිසරණසේක් ශාලා ගමටද පැමිණියේය”යි  ශාලා නම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු ඇසුහ. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ඝෝෂාවක් දඹදිව පුරා පැතිර ඇත්තේය.

කෙබඳු කීර්ති රාවයක් ද යත්.  

ඉතිපි සෝ භගවා අරහං ‐ සම්මාසම්බුද්ධෝ ‐ විජ්ජාචරණසම්පන්නෝ ‐ සුගතෝ ‐ ලෝකවිදූ 618 ‐ අනුත්තරෝ පුරිසදම්මසාරථී ‐ සත්ථා දේව මනුස්සානං ‐ බුද්ධෝ ‐ භගවාති.

“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධහ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය. යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. සියලු ලෝකයට ශ්‍රෙෂ්ඨය. හික්මවිය යුතු පුරුෂයන් හික්ම වීමෙහි දක්ෂය. දෙවි මිනිසුන්ට ශාස්තෘය, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබොධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව ප්‍රජාව තමන්ගේ උතුම් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම පවා යහපත්ය”618

[618: බුදුන් වඳිනා ගාථා ලෙස සියලු බෞද්ධයන් භාවිතා කරන මේ පද සියල්ල පසු කාලයක කල ප්‍රබන්ධයන් නොව භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී උන්වහන්සේගේ ගුණයන් ගැන ලෝකයා ප්‍රකාශකළ ආකාරය බව මේ සුත්‍රයේ මෙන්ම බොහෝ අනෙකුත් සුත්රවලදීද දකින්නට පිළිවන ]

§ 3 . ඉක්බිති ශාලා ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණියාහුය. පැමිණ, සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ) එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි සිට සිය නාම ගොත්‍රය පමණක් කියා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්ද වම එක පැත්තක වාඩිවී උන්හ.

§ 4. එක පැත්තක උන්නාවූ ශාලානම් ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහ පතියන් ගෙන් භාග්‍යවතුන්වහන්සේ මෙසේ අසා වදාළ සේක. 
“ගෘහපතියෙනි,  ඔහු උගන්වන ධර්මය අනුව සලකා බලා මේ යහපත් ධර්මයකැ’යි පිළිගත හැකිවූ ධර්මයක් උගන්වන ශාස්තෘවරයෙක්619 ගැන නුඹලා දන්නේද?”

[ 619: බොහෝ තීර්ථකයන් භාවනාව හෝ පුජා සඳහා නිතොර යන මහා වනාන්නරයකට ඇතුල්වන්නට සාලා ගම හරහා යා යුතුය. බොහෝ ආජීවක, තීර්තක පිරිස්, රාත්‍රී ලැගුම් ගන්නට සාලා ගම තෝරා ගනී. මේ ශ්‍රමණ බමුණන් හැම විටම සාල ගම වැසියනට ඔවුනගේ ධර්මය දේශනා කළහ. සෑම දේශකයකුම තමා පමණක් විමුක්ති මාර්ගය දන්නා බව ප්‍රකාශ කළහ. කාලාම නුවර වැස්සන් සේම සාලා ගම් වැස්සන්ද මෙසේ බොහෝ පැවිද්දන් ශාස්තෘන්ද දන්නා නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්නය දේශනාවට ආරම්භය ලෙස මතු කල බව අටුවාව කියයි.]

 “නැත ස්වාමීනි, ශ්‍රද්ධාවක් ඉපදෙන ලෙස අසන්නට කරුණු සහිතවූ ධර්මයක් දෙසු ශාස්තෘවරයෙක් අපට තවම හමුව නැත්තේය.”

“ගෘහපතියෙනි, එසේ තොපට පිළිගත හැකි, මනාපවූ ශාස්තෘවරයෙකු නොලද්දේ නම් තොපට මේ අපන්නක ධර්මය පිළිපැදීම බොහෝ යහපතට හේතුවේ යයි   මේ ඒකාන්තවූ අපන්නක  ධර්මය620 පිළිපැදිම  වටනේය. එය තොපට බොහෝ කලක් හිත සුව පිණිස පවතී. 

[620: අපන්නක යන වචනයේ අර්ථය මෙසේ සැලකිය හැක. “අවිරුද්ධ“, “නොගැටෙන”, “කිසිදා නොවරදින සුළු”, “අවිවාදී” , “ප්‍රතික්ෂේප කල නොහැකි”, “නිසැක”, “අවිවාදයෙන් පිළිගත හැකි”, “නොවරදින”… ආදි ලෙස වේ]

(i) නාස්තික වාදය   

§ 5. “ගෘහපතියෙනි, අපන්නක  ධර්මයෝ  කවරේද?
“ගෘහපතියෙනි, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ.
කෙබඳු දෘෂ්ඨිද යත්: 621

බොහෝ දෙනා මේ පද පාලි වචනයෙන්ම කියවා වචනවල තේරුම් පරිවර්තනය කරති. නත්ති දින්නං යනු දෙන දෙයක් නැත. එහි තේරුම එය යයි පරිවර්තනය කල විට අර්ථක්වතහා ගන්නට අසීරුය. ඒ පාඨවල අදහස මෙසේය.

(i)” කර්මයක් හෝ කර්ම ඵලය විපාක දීමක් නැත.
(එනම් දුන් දානයෙහි යෙහි විපාක නැත. කරන ලද පූජාවෙහි විපාක නැත. මෙහෙයීමෙන් කරනලද සත්කාරයෙහි විපාක නැත. කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත.)

(ii) නැවත උපතක් භවයක් නැත. පුනරුපත්තියක් නැත.
(මෙලොවක් නැත. පරලොවක් නැත.)

(iii) දෙමාපියනට සැලකීමෙන් විශේෂ පිනක් නැත.
( මවු නැත, පියා නැත යනු : මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත.)

(iv) දේව ලෝක, බ්‍රහ්ම ලෝක, ආදී මිනිස් ලොවෙන් ඔබ්බෙහි ලෝක නැත. (ඔපපාතික සත්වයෝ නැත.)

(v) අරහත් ආදී උතුම් ඵල කියා දෙයක් නැත.

( ” මෙලොවද පරලොවද තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කල හැකි යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට පිළිපදින්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත” කියන්නේ මිනිසුන්ට සෝවාන් ආදී මාර්ග ඵල ලබමින් යාහැකි විමුක්ති මාර්ගයක් නැත. මනස වෙනස් කරගෙන හෝ අන් ක්‍රමයකින් උතුම් බවක් ලබන්නට නොහැකිය.)


[621 :: § 5. (i)සිට § 5.(v) . දක්වා චෙද වල සඳහන් වන්නේ “නියත මිච්චා දිට්ඨි ” යට හේතුවන ඉතා දැඩි දරුණු ප්‍රතිඵල එනම් සුගතියක ඉපදීම හෝ ආර්ය ඵලයක් ලැබීම වලක්වන දිෂ්ටි වේ. සාමන්ඥඵල සුත්‍රයේ මේ ගැන විස්තරව සඳහන් වේ බුද්ධ කාලින හා ඊට පෙර ඉන්දියාවේ බොහෝ දෙනා මේ දෘෂ්ඨීන් ගෙන උන්හ. අදද නුතන සමාජයේ බහුතරයක් දෙනා මේ ගනයට අයත් වේ.]

§ 6. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ගේ පිළිගැනීම එසේ වුවත් තවත් සමහර මහණ බමුණෝ කෙළින්ම මුලින් කී මතයන්ට ප්‍රති විරුද්ධ වූ මත ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කියත්.

(i) දුන් දෙයෙහි විපාක ඇත. කරන ලද පූජාවෙහි විපාක ඇත මෙහෙයීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත. කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත.
(ii) පුනරුත්පත්තියක් ඇත. මැරෙන සත්වයා නැවත වෙනත් භවයක උපදී.
(iii) මවට උපකාර, අපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත.
(iv) දෙව් ලොව, බඹ ලොව, ප්‍රේත භව ආදීයෙහි උපදනා ඔපපාතික සත්වයෝ ඇත.
(v) මෙලොවද පරලොවද තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන , එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව ශ්‍රමණ පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ’යි. කියායි.

ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ මහණ බමුණෝ දෙකොටස ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වූ මත වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි.”

§ 7 . “ගෘහපතියෙනි,
එහිදී ඒ පළමු පිලට අයත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්ද එනම්
(i): ‘දුන් දෙයෙහි විපාක නැත. කුසලා කුසලා කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත.
(ii) පුනරුත්පත්තියක් නැත.
(iii) මවට සංග්‍රහ කිරීමේ විපාක නැත. පියාට සංග්‍රහ කිරීමේ විපාක නැත.
(iv) දේව , බ්‍රහ්ම සුර අසුර, ප්‍රේත ආදී ලෝක නැත.
(v) රහතුන් හෝ උතුම් ඵල ලත් මහණ බමුණන් නැත.
යන ලෙස විස්වාස කර ගෙන ඉන්නා මනුෂ්‍යයා ,
වචනයෙන් මනාව හැසිරීමය,
සිතින් මනාව හැසිරීමය,
යන මේ කුසල ධර්ම තුන නොකොට කයින් නොමනා හැසිරීමය, වචනයෙන් නොමනා හැසිරීමය, සිතින් නොමනා හැසිරීමය, යන මේ අකුසල ධර්ම තුන කරමින් ඒ අකුසල් සහිත චර්යාවේ යෙදෙමින් ජීවත්වන්නට පෙළඹෙනු ඇත.621

[621: නැවත උපතක් නැති කළ කරනා අකුසලයන්හි විපාක විඳින්නට කෙනෙක් නැත. කර්මය හා එහි ඵල නැති කළ, කරන කිසිම ක්‍රියාවක හොඳ හො නරක ඵලයක්ද නැත. එහෙයින් ඕනෑම ක්‍රියාවක් කර සොරකමින්, මං පහරීමෙන් සිය ජීවනෝපාය කර ගත හැක. ආදී ලෙස ඔවුන් සිතනු ඇත.]

ඊට හේතු කවරේද?

ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන් නිසා මතුවට වන්නා වූ අහිතකර බියකරු විපාකයන් නොදන්නේය. මේ ජීවිතයේදී සමාජයේ ගැරහුම් අපකීර්තිය ලබන බව සිහි නොකරන්නවුන් වෙයි.

යහපත් ලෙස වචනයෙන් සිතෙන් යහ ක්‍රියා කරන්නාට ලැබෙන යහපත් ආනිශංසය නොදන්නා ඔවුහු උන් සිත කෙලෙස් වලින් කිලිටි කර ගන්නෝය. සිත් කෙලෙසීම නිසා මෙලොව ආතතියෙන් දුක් පීඩාවෙන් ගෙවයි., කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහි, (අත්හැර දැමීම) මනාවූ ආනිසංස නොදන්නෝ නිසාමද ඔවුහු මෙසේ කිලිටිව ජීවත් වෙති.

පණ්ඩිතයන් විසින් ඇත්තාවූ බව කියනා පුරුත්පත්තියක් නැතැයි යන්න ඔහුගේ දෘෂ්ටිය වෙයි.
එය මොහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ.
ඇත්තාවූම පරලොව ගැණ පරලොවක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථ්‍යා කල්පනාව වේ.
ඇත්තාවූම පරලොව ගැන පරලොවෙක් නැත යන වචනය කියයි. එය මොහුගේ මිථ්‍යා වචනයවේ.

ඒ පරලොව දන්නාවූ රහත්හු වෙත්ද ඔවුන්ට මොහු විරුද්ධ වෙයි. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්‍ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද ඔහු තමන් උසස් බව අනෙකාට වඩා ඥාණවන්ත බව පෙන්නන්නට උත්සාහ කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේ සිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි.

මේ මිථ්‍යා දෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.

(ii) “ගෘහපතියෙනි, එහිදී නුවණැති පුරුෂයා මෙසේ කල්පනා කරයි.

§  9. ඉදින්  පරලොවෙක් නැත්නම් මේ පින්වත් පුද්ගලයා  මරණයෙන් මතු වෙන අවැඩක් ගැන නොතැතැවිය යුත්තේය.624

[624: භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කරන විස්තරය පසුව සඳහන් වේ.]

පරලොවෙක් ඇත්නම් මේ පින්වත් පුරුෂයා සිය මරණින් මත්තෙහි බොහෝ දුක් ලබන්නාවූ, අහයපත් වූ දුක්ඛිත භවයක උපදින්නේය. නැතිනම් නරකයෙහි උපදින්නේය.

ඉතින් යලි උපතක් තිබුනත් නැතත් මේ මිනිසා ඔහුගේ නාස්තිකවාද625 මතය හෝ දිට්ඨිය නිසා මේ ජීවිතයේදී අයහපත් දුර්ජනයෙක්යැයි ලොව වසන පණ්ඩිත සුදනෝ ඔහු ගරහනු ඇත. මේ දුස්සීලයෙක යැයි සමාජය ඔහු නොසලකනු ඇත.

[625: නාස්තිකවාදය:-: කර්මයක් එහි ඵලයක් වෙතැයි නොඇදහීම සහ පුනරුප්පත්තියක් විශ්වාස නොකිරීම නාස්තිකවාදයේ පදනමය. සියලු දේ අහම්බෙන් ඔහේ නිකම්ම සිදුවෙන්නේය., ඔබ කොතරම් හොඳ කලත් හොඳ ඵලයක් නොලැබෙන්නේය. කොතරම් නරක කලත් ඉන් නරකක් ඔබට නොවන්නේය.” යන්න මේ දිට්ඨිය වේ.]

ඉදින් යලි උපතක් වේ නම් නැතිනම් පුනරුත්පත්තිය සැබෑ නම් ඔහු බොහෝ අනර්ථකාරී මතයක් දැරුවේ වෙයි. මේ ආත්මයෙහිම ඔහු කිලිටි හැසිරීම් නිසා නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වන්නේය. මරණින් මත්තෙහි සැපක් නැත්තාවූ මහා දුක්ම වන්නාවූ විනාසයට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, මෙසේ මේ පින්වත් පුද්ගලයා දෙලොවම පරාජයට පත්වේ . මෙසේ මොහුගේ මේ එකාන්ත දිට්ඨිය ඔහුගේම නපුරට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ එක් පැත්තකට පමණක් පැතිර සිටියි. කුසල්වූ කාරණය හිස්වෙයි.

§ 10 . “ගෘහපතියෙනි, එසේ වීමුත් තවත් සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්. කෙබඳු වාද ද යත්:

  • එනම් දුන් දෙයෙහි විපාක ඇත. කරනලද පූජාවෙහි විපාක ඇත. හොඳ හිතින් කළ සත්කාරයෙහි විපාක ඇත.
  • මනාව කළ හො නොමනාව කළ කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත.
  • මියැදෙන සත්වයා නැවතත් උපදියි.
  • මවට උපකාර කිරීමේ යහ විපාක ඇත. පියාට උපකාර කිරීමේ යහ විපාක ඇත.
  • ඔපපාතික සත්වයෝ ඉන්නා ජන්ම තල හා භව ඇත්තාහ.
  • මෙලොවද පරලොවද සිය විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන , එබඳුවූ යහපත් මගට පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ,

§  11 . එබඳු වූ දෘෂ්ඨි දරන්නාවූ ඔවුන් කය, වචනය හා සිත යන තිදොරින් වන අකුසලයන් නොකොට, තිදොරින් කුසල කර්මයෝ කරන්නේද ඔහු ගේ ඒ පැවැත්ම නිසා ..

ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව නිසා වන සිත කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහිද ආනිසංසය පිරිසිදු පක්ෂය දකිත්මය. ඇත්තාවූම පරලොව පුනරුත්පත්තිය ඇතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. මේ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වේ.

ඇත්තාවූම පරලොව ගැණ, පරලොවක් ඇතැයි කල්පනා කරයි. මේ මොහුගේ සම්‍යක් කල්පනාව වේ.

ඇත්තාවූම පරලොව ගැණ පරලොවක් ඇත යන වචනය කියයි. එය මොහුගේ සම්‍යක් වාචාව වේ.

ඇත්තාවූම පරලොව ගැණ පරලොවක් ඇතැයි කීයේද පරලොව දන්නාවූ යම් රහත්හු වෙත්ද, ඔවුන්ට ඔහු විරුද්ධ නොවෙයි. “

සැබෑමවූ පුනර්භවය ඇත්තය, මරණින් මතු සත්වයා නැවත කොහි හෝ උපදින්නේය’යි අනුන්ට හඟවාද එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද ඔහු තමා උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවයට එළඹ සිටියේ වෙයි.

මේ සම්‍යක් දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් නොකිරීමද, අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.

§  12 . “ගෘහපතියෙනි, නුවණැති පුරුෂයා මෙසේ කල්පනා කරයි.
” ඉදින් පරලොවක් ඇත්නම් මේ පුද්ගලයා මරණින් මත්තෙහි යහපත් සැප ඇති දිව්‍ය ලොකයෙහි උපදින්නේය. පරලොවක් නැතිනම් , මේ පින්වත් පුරුෂයා මේ ආත්මයෙහි නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සඛවාද පරවාද සංඛ්‍යාත උභයාන්තය බැස සිල්වත්වූ ඔහු අස්තීකවාද627 ඇත්තේ, සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙයි,

[627: අස්ථික වාදය :- යනු කර්ම ඵල හා පුනරුත්පත්තිය විස්වාස කිරීමය. මිච්චා දිට්ඨියෙන් තොර වීමය. ]

මේ ඔහුගේ දෙලොව ජය ගැණීම වේ. මෙසේ මොහුගේ අපන්නක ධර්මය ඔහු මනාව වටහා ගන්නා ලද්දේ සමාදන් වන ලද්දේ දෙපසම628 පැතිර සිටියි. ඔහු අතින් අකුසලයක් සිදු නොවේ.

[628:-යලි උපතක් වෙතත්, නැතත් මේ අපන්නක පිළිවෙතේ යහපත් ප්‍රතිඵල ඔහු දෙආකාරයටම ලබයි.]

(ii) අකිරිය වාද

§ 13 . “ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ වෙත්. එනම්629 ..

[629: දීඝ නිකායේ සාමඥඥ ඵල සුත්‍රයේ අකිරියවාදය ගැනද සමකාලින අනෙක් මත ගැනද විස්තරාත්මකව සඳහන් වේ. පුරාන කස්සපයන් මේ අකිරියවාදය උගැන්වූ බව කියෑවේ. See Basham, History and Doctrines of the Ājı̄vikas, p. 84.]

‘නපුරු දේ කරන්නාහට, කරවන්නාහට, සතුන්ට හිංසා කරන්නාහට , කරවන්නාහට, දඬු මුගුරෙන් තලන්නාහට, තලවන්නාහට, අනුනට සෝක ඇති කරවන්නාහට, කරවන්නාහට, කම්පනය කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගම් පහරන්නාහට, මං පහරන්නාහට, මංකොල කන්නාහට, පැහැර ගන්නාහට, මංකොල්ල කෑමෙහි සිටින්නාහට, අනුන්ගේ අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, පාපයක් සිදුවන්නේ නැත.

මිනිසුන් දහසක් යටකොට තලා මරා දමන සේ මිනිසුන් මතින් යුද්ධ ටැංකියක් පදවා ගියත් පවක් නැත. ගංගා ගඟේ දකුණු ඉවුර දිගේ යාග හෝම කරන මිනිසුන් යටකොට මස් කොට මැරෙන සේ රෝදවල පිහි සවිකළ රථයක් පදවාගෙන ගියත් මස් ගොඩක් එකතු වනු මිස පාපයක් නොසිදු වේ.

වම් ඉවුර දිගේ ඉන්නා මිනුසුන්ට, ශ්‍රමණ බමුණන්ට දානය දීමෙන් පිනක් සිදුවන්නේ නැත. ඉන්ද්‍රිය දමනයෙන් පිනක් නැත…සීලය ආරක්ෂා කරන්ටනා පිනක් නැත..යාග හෝම කරමින් උන් අයට ඒ නිසා පිනක් නැත. ’ කියායි.

“ගෘහපතියෙනි, එසේ කියන මහණ බමුණන්ට ප්‍රති විරුද්ධ කතා කරන ඇතැම් මහණ බමුණෝද වෙත්. ඔව්හු මෙසේ කීයන්නෝය.

‘නපුරු දේ කරන්නාහට, කරවන්නාහට, සතුන්ට හිංසා කරන්නාහට , කරවන්නාහට, දඬු මුගුරෙන් තලන්නාහට, තලවන්නාහට, අනුනට සෝක ඇති කරවන්නාහට, කරවන්නාහට, කම්පනය කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට ………………………. පාපයක්ම හිමි වේ.

දානයන්, සිල් රැකීමෙන්, ……. පින් සිදු වේ. , (කියායි.)
“ගෘහපතියෙනි, ඒ ගැන කුමකැයි හඟිව්ද,
මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින් විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?
“එසේය ස්වාමීනි”

§15 . ගෘහපතියෙනි, ඔවුන් අතුරෙහි නපුර කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, තළන්නාහට, තළවන්නාහට, ශොක ඇති කරන්නාහට, ශොකය ඇති කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට,……. පවු නැත. ආදී ලෙස උගන්වන මහණ බමුණන් ගේ වාදයට දර්ශනයට අනුව ක්‍රියා කරන්නවුන් කාය සුචරිතයේ නොදෙයි. වාග් සුචරිතයේ නොදෙයි. මනෝ සුචරිතයේ නොදෙයි. මේ වාදය පිළිගත්තෝ තිදොරින් කල හැකි සියලු අකුසල ක්‍රියාම කරති.

“කයින් , වචනයෙන්, සිතින් මනා හැසිරීම, යන මේ කුශල ධර්ම තුන දුරු කොට , කයින් නොමනා සේ හැසිරේද, වචනයෙන් අසංවර සේ දොඩයිද, සිතින් නොමනා දේ සිතයි ද, ඔහු මේ අකුශල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය.

ඊට හේතු කවරේද?
ඒ මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය, ආදීනවය ලාමකබව, කෙලෙසීමද කුසල ධර්මයන්ගේද කම් සැප අත්හැරීමෙහිද ආනිසංසය, පිරිසිදු බව නොදැකීමය.

§16 . “ගෘහපතියෙනි,

  • “කරන්නාවූ කර්මයන්ට අනුකුලව ලැබෙන පව් පින් නැත යනු මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ.
  • කිසි කර්මයකට ඵලයක් නැතැයි කල්පනා කරයි. එය මොහුගේ මිථ්‍යා කල්පනාව වෙයි.
  • ඇත්තාවූම “පව් පින් නැතය” යන වචනය කියයි. මෙය මොහුගේ මිථ්‍යා වචනය වෙයි. ඇත්තාවූම කර්මය ඇතැයි කියන්නාවූ රහත් උතුමන්ට හෙතෙම විරුද්ධ වෙයි. කර්මයෙහි ඵලයක් නැතැයි අනුන්ට හඟවයි. මෙය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීම වේ.
  • ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි.

මේ මිථ්‍යාදෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් හටගනිත්.

§ 17 .“ගෘහපතියෙනි, මෙහිදී නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් කර්මයෙහි ඵලයක් නැත්නම් මේ පින්වත් පුද්ගලයාට මරණින් මතු කිසිවක් නොවේ. මන්දයත් ඔහු මරණයෙන් පසු නැති බැවිනි.

එනමුත් කර්මයන්හි ඵල ඇත්නම් මෙසේ මේ පුද්ගලයා මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක්ම වන්නාවූ බොහෝ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය.

ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා, අසත්‍ය වේවා, පරලොව උපතක් ඇතත් නැතත්, මේ පින්වත් පුද්ගලයා මේ ජීවිතයේදීම නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වේ. දුශ්ශීලවූ පුරුෂයෙක! අකිරීයවාද ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටිකයෙක!!” කියායි.

එනිසා ඔහු දෙලොවම පරාජයට පත් වන්නේ වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය ඔහුටම නපුරක් ගෙන දෙන සේ නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ, අකුසල් වඩමින් ඔහුගේ විනාසය පිණිස පැතිර සිටී, කුසලස්ථානය හිස්වේ.

§ 18. “ගෘහපතියෙනි,
නපුරු ක්‍රියා කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳවන්නාහට,….., ඒ හේතුවෙන් පාපයක් ඇත. … දන් දෙමින් දෙවමින් පුදමින්,…… ඒ හේතුවෙන් පිනක් ඇත. කියා වාද ඇත්තාවූ මහණ බ්‍රාහ්මණයන් තුන් දොර සංවරයේ ඇති යහපත් ආනිසංස හා අසංවර කය, වාග්, මනෝ ක්‍රියා වන්හි ඇති නපුරු ආදීනව දන්නා නිසා ක්ලේශ දුරු කරමින් , අකුසල ධර්මයන්ගේ දොෂය, ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද කාමයන්ගේ වෙන්වීමෙහිද, ආනිසංසය, පිරිසිදු බවද දකිත්.

§ 19  “ගෘහපතියෙනි,

  • “ඇත්තාවූම කර්මයට ඵලයක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වේ. මෙය මොහුගේ (යහපත් ඇදහීම) සම්‍යක්දෘෂ්ටිය වේ.
  • ඇත්තාවූමකර්මයට ඵලයක් ඇතැයි ඇතැයි කල්පනා කරයි. මේ මොහුගේ යහපත් කල්පනාව වේ.
  • ඇත්තාවූම කර්මයට ඵලයක් ඇතැයි යන වචනය කියයි. එය මොහුගේ සම්‍යක්වචනය වේ.
  • ඇත්තාවූම කර්මයට ඵලයක් ඇතැයි කියන යම් රහත්හු වෙත්ද, ඔවුන්ට මොහු විරුද්ධ නොවෙයි.
  • ඇත්තාවූම කර්මයට ඵලයක් ඇතැයි ඔහු අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ.
  • ඒ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි.

මේ සම්‍යක්දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක්දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.


§ 20. “ගෘහපතියෙනි, නුවණැති පුරුෂයා මෙසේ කල්පනා කරයි.
ඉදින් කර්මයට ඵලයක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂයා මරණින් මත්තෙහි යහපත් සැප ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය.

එකාන්තයෙන්ම කර්මයට ඵලයක් නොවේ නම් මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වේ. සිල්වත්වූ පුරුෂයා ක්‍රියා වාද ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය, මේ ඔහුගේ දෙලොවින්ම ජයගැණීම වේ.

(iii) අහේතුක වාදය630

[630: මේ මක්ඛලි ගෝසාලයන් ප්‍රධාන වූ ආජීවක ශාස්තෘන් උගැන්වූ දර්ෂණය වේ. මේ ගැන ඉතා විසාල විස්තරයක් දීඝ නිකායේ සාමන්ඥ ඵල සුත්‍රයේ සඳහන් වේ. මෑතකදී මහාචාර්ය A.L.Basham විසින් කල පර්යේෂණාත්මක පොතක් ආජීවක ධර්මය ලෙසින් එලි දක්වා ඇත.]

§ 21. “ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්.
කෙබඳු දෘෂ්ඨි ද යත්:

  • සත්වයන්ගේ සිත් වල කෙලෙස් ඇතිවීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයන්ගේ කෙලෙස් ඇතිවන්නාහුය.
  • සත්වයන්ගේ සිත් පිරිසිදුවීමට නිකෙලෙස් වීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ පිරිසිදු වෙත්. .
  • බලයක් නැත, සත්වයනට තම ඉරණම වෙනස් කිරීම කල නොහැක. කොපමණ වෙර දැරුවත්, උත්සාහ කලත්, සත්වයාට ලැබෙන දුක සැප අහෙතුකවම ලබෙන්නේමය. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ අවසඟන වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය, සංගමය, ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාරයට පැමිණියාහු සවැදෑරුම්වූම ජාතිවල සැප දුක් විඳිත්යයි, දෘෂ්ටි ඇත්තෝ වෙත්.

§ 22 .ගෘහපතියෙනි, සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත්
ඔව්හු මෙසේ කීහ.

  • ‘සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ කිළුටුවන්නාහ.
  • සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ පිරිසිදු වෙත්.
  • බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ වසඟ වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍යයක් නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නානාප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැප දුක් නොවිඳිත්යයි’ ගනිත්,631

[631: මක්ඛලි ගෝසාල ගේ මේ අහේතුක වාදය සය ආකාරවූ උප්පත්තින් නොහොත් “අභිජාති” ගැන උගන්වයි. ඒ ඒ අභි ජාතිය නියමවන්නේ පුද්ගලයාගේ අධ්‍යාත්මික ශක්තිය අනුව වේ යයි පහු උගන්වයි.]

ගෘහපතියනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි.”

§ 23 . “ගෘහපතියෙනි, ඔවුන්ගෙන් පළමුව කී අහේතුක දෘෂ්ඨිය දෙසන්නන් එනම් සත්වයාගේ මන කෙලෙසීමට, පිරිසිදු වීමට හේතු ප්‍රත්‍ය නැත ….. ආදී මෙබඳු දෘෂ්ටි ඇත්තෝ තෙවැදෑරුම් කුසල කර්මයන් නොව තිදොරින්ම අකුසල් කර ගැන්මට මැලි නොවනු ඇත. මන්ද යත්:-,

ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය, ලාමක බව, කෙලෙසීමද, කුසල ධර්මයන්ගේ ආනිසංස ද, කාමයන්ගෙන් වෙන්වීමෙහිද ආනිශංසය, පිරිසිදු බව නොදැකීමයි.

§ 24. ගෘහපතියනි,

  • ඇත්තාවූම හේතුව නැතැයි මොහුගේ දෘෂ්ටියවෙයි. මෙය මොහුගේ මිථ්‍යා දෘෂ්ටියවේ.
  • ඇත්තාවූම හේතුව නැතැයි කල්පනා කරයි. මේ මොහුගේ මිථ්‍යා කල්පනා වේ.
  • ඇත්තාවූම හේතුව තිබියදී “හේතුවක් නැත” යන වචනය කියයි. ඒ මොහුගේ මිථ්‍යා වචනයවේ.
  • ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි ඔහු හේතු ඵල වාද ඇත්තා වූ රහත්හුන්ට මොහු විරුද්ධ වෙයි.
  • ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි අනුන්ට හඟවයි එය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීමවේ.
  • ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා උසස් කරයි. අනුන් පහත් කරයි.
  • මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි.

මේ මිථ්‍යා දෘෂ්ටියද මිථ්‍යා කල්පනාවද මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමන් උසස් කිරීමද අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.

§ 25  “ගෘහපතිවරුනි,

ඔවුන් අතර නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් ඵලයක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂයා මරණින් මතු සිදුවන කුමකට හෝ තමාගේ බලපෑමක් නොම වේ යැයි තමා ආරක්‍ෂිත යැයි සිතයි.

ඉදින් හේතුවක් ඇත්නම් මේ පින්වත් පුරුෂයා කල අකුසල හේතුවෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය.

ඒකාන්තයෙන්ම හේතුවක් ඵලයක් නොවී මුත්ද , මේ පින්වත් පුරුෂයා තමන් කරන්නාවූ දුස්ශීල අකුසල් ක්‍රියා නිසා මෙ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට පත්වේ . “දුශ්ශීලවූ පුරුෂ පුද්ගලයෙක, අහේතුවාද ඇත්තාවූ මිථ්‍යා දෘෂ්ටිකයෙක” කියායි.

ඉදින් හේතුවක් ඵලයක් ඇත්තේ නම් මේ පින්වත් පුරුෂයා මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට පත්ව, මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ දුකටම පමුණුවන්නා වූ නරකයෙහි උපදින්නේය. මේසේ ඔහු දෙලොවෙන්ම පරාජය වේ. මෙසේ මොහු මේ එකාන්තවූ ධර්මය තමාගේ අයහපත පිණිස සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ එක්පැත්තක පැතිර සිටියි. කුසල පක්ෂය හිස් වෙයි.

§ 26 . “ගෘහපතියෙනි, යම් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්.
කිනම් මත වාද ද යත්:-

  • සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ කිළුටු වන්නාහ.
  • සත්වයන්ගේ මනස පිරිසිදුවීමට හේතුවක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ පිරිසිදුවෙත්.
  • බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත.
  • සියළු සත්වයෝ සියළු ප්‍රාණය ඇත්තෝ සියළු හටගැණීම ඇත්තෝ සියළු ජීවය ඇත්තෝ වසඟ නොවන්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැපදුක් නොවිඳිත්ය කියායි.

ඔවුන් කයින් අයහපත් හැසිරීමක් නොකරන්නේ වචනයෙන් අයහපත් දෙඩීමක් නොකරන්නේ, සිතින් අයහපත් සිතුවිලි නොසිතන්නේ, මේ අකුසල ධර්මතුන දුරුකොට සිටී. කයින් යහපත් හැසිරීමක් වේද වචනයෙන් යහපත් දෙඩීමක් වේද, සිතින් යහපත් සිතීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය.

ඊට හේතු කවරේද?
ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීම , හානියද, කුසල ධර්මයන්ගේ, කාමයන්ගෙන් වෙන් වීමෙහිද ආනිසංසය පිරිසිදු බව දැකීමයි.

§ 27. “ගෘහපතියෙනි,

  • ඇත්තා වූම හේතුවගේ හේතුවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය මොහුගේ සම්‍යක් දෘෂ්ටියවේ.
  • ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි කල්පනා කරයි. එය මොහුගේ සම්‍යක් සංකල්පය වේ.
  • ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි යන වචනය කියයි. ඒ මොහුගේ සම්‍යක් වචනයවේ.
  • ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි කියන්නාවූ හේතු වාද ඇති රහත්හු හා ඔහු විරුද්ධ නොවෙයි.
  • ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීමවේ.
  • ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද ඔහු තමන් උසස් නොකරයි. අනුන් පහත් නොකරයි.
  • මෙසේ පළමුකොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි.

මේ සම්‍යක් දෘෂ්ටියද සම්‍යක් සංකල්පයද සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හට ගණිත්.


§ 28 . ගෘහපතියෙනි, මේ ගැන නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂයා මරණින් මතු යහපත් සැප ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදින්නේය.

ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නම්. එනම් කිසිවකට හේතුවක් නොවේ නම්, මේ පින්වත් පුරුෂයා මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාව ලබන්නේය. සමාජයේ පිළිගැනීම ලබන්නේය. “සිල්වත්වූ පුරුෂයෙක! හේතු ඵල වාද ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටිකයෙක!!” කියායි.

ඉදින් හේතුව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂයා මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද මේ දෙලොවෙන්ම ජය ගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත අපන්නක ධර්මය ඔහු මනාකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසල පක්ෂය හිස් වේ.

(iv) අරූප ලෝක තල632 නැත

[632: සතර ධ්‍යාන සමාපත්තීන්ට විශයවන ඵලවන අරූපී බ්‍රහ්ම ලෝක නැතැයි යන මතය ඇතිවන්නේ සිත සමාධියට නංවා ධ්යානයනට පත් කල් නොහැකිය යන සංකල්පයෙනි.]

§ 30 . “ගෘහපතියෙනි,
සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තා වෙති. මෙබඳු දෘෂ්ටි ඇත්තා වෝ වෙත්. සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැතැයි කියායි.
“ගෘහපතියෙනි, ඇතැම් මහණ බමුණෝ කෙළින්ම ඒ මතයට ප්‍රති විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු . “අරූප බ්‍රහ්මලෝක ඇත’ කියති .

ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි”


§ 31. “ගෘහපතියෙනි, මේ ගැන නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි.

ඒ පින්වත් මහණ බමුණෝ ‘සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත” යන මත හා වාද ඇත්තෝ වෙති. ඒ මා නොදන්නා කරුණකි. තවත් සමහර මහණ බමුණෝ ” ‘සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක ඇත” යන මත හා වාද ඇත්තෝ වෙති. ඒද මා නොදන්නා කරුණකි.

මේ වාද දෙකින් කිසිවක්ම මම නොදන්නා, නොදක්නා නිසා එක මතයක් හරිය අනෙක වැරදිය කියන්නට මට නොහැකිය. එසේ කීම මට තරම් නොවේ.’

අරූප බ්‍රහ්මලොක නැත යන ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නම්, මා ඒ ධ්‍යාන සිත උපදවන්නේ නම් එහි මාගේ ඉපදීම එකාන්තය.634

[634:- මේ සඳහන් කල නුවණැති පුරුෂයාට අරූපී බ්‍රහ්ම තල ගැන සම්පුර්ණ විශ්වාසයක් නැතත් අරූපී සතරවන ධ්‍යානය ලබා ගැනීමෙන් ඔහුගේ ඊළඟ භවය අරූපී තලයක් වේ. ඔහු සතරවන් ධ්‍යානයට නොපැමිණේ නම් කාමාවචර ලෝකයක උපතක් ලබයි. එනිසා මේ ඔහුට දෙපැත්තෙන් ම වාසිදායක අවිරුද්ධ අපන්නක ධර්මයක් වේ.]

එනමුත් රූපය ඇති භවයක ඉපදීම හේතු කොට ගෙන දඬු, මුගුරු, අවි, ආයුධ ගැණීම, කලහ කිරීමය, දබර කිරීමය, විරුද්ධ වාදය, පරුස වචන බිනීමය, කේලාම් කීමය, බොරු කීමය, යන මේ අකුසල ධර්මයන් රූප ලෝකයන්හි වන්නේමුත් අරූප ලෝකයන්හි නැත්තෙ වෙයි.

එහෙයින් අරූප ලෝකයක ඉපදීම යහපත් වේ’මැයි කල්පනාකොට රූපයන්ගේම කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස වූ මාර්ගයට පිළිපන්නේ වෙයි.

(iv) භව නිරෝධය = නිර්වාණය

§ 32 . “ගෘහපතියෙනි, සමහර මහණ බමුණෝ මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූවෝ වෙත්
එනම් ‘කිසි ආකාරයෙන් භව නිරොධයක් (උත්පත්තිය නැති කිරීමක්) කල නොහැකිය යනුයි.

§ 33 . ගෘහපතියෙනි, සමහර මහණ බමුණෝ කෙළින්ම ඒ මහණ බමුණන්ට විරුද්ධ වාද ඇත්තෝ වෙත්.’
ඔවුහු “සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත” කියා කියන්නාහුය.

ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ මහණ බමුණෝ දෙපිරිස ඔවුනොවුන්ට විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය ස්වාමීනි”

§ 34 . “ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි.
මේ පින්වත් මහණ බමුණෝ ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් නැත ” යන වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය. මෙය මා විසින් නොදක්නා ලදී.’
අනිත් පාර්ශවයේ මේ මහණ බමුණෝ ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත” යන වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති . මෙය මා විසින් නොදන්නාලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම්, මෙයම සත්‍යය. අනික අසත්‍යය යයි එකාන්තයෙන් ගෙන ව්‍යවහාර කරන්නෙම් නම් මෙය මට සුදුසු නොවන්නේය.’

“භව නිරොධයක් නැත” කියනා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මේ භවයේදී ධ්‍යාන ඉපදවීමෙන් ධ්‍යාන සංඥාවෙන් උපන්නාවූ අරූපාවචර දෙවියන් අතර මම ඊළඟ භවයෙහි ඉපදෙන්නෙමි.”

“සියළු ආකාරයෙන් භව නිරොධයක් ඇත” කියනා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මම ද මේ ආත්මයෙහිම පරිනිර්වාණයට පැමිණෙන්නෙමි.

‘සියළු ආකාරයෙන් භව නිරොධයක් නැත යන මේ දෘෂ්ටිය, සත්වයා පස් කම් සැප හමුවෙහි සතුටට, ගැලීමට, නැවත ඇලීමට ( අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය තිට්ඨති) පොලොඹවයි. කාමය රාගය දෙසට, සංයෝජනයන් වැඩීම පිණිස හේතු වේ. උපාදානයන් වැඩීම පිණිස හේතු වේ.

‘සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යන දෘෂ්ටිය, කාමයෙහි නොඇලීමට නොබැඳීමට, උපාදාන නොකිරීමට, හේතු වේ.”යයි.’ හෙතෙම මෙසේ කල්පනා කොට භවයන්ගේම කලකිරීමට, නොඇලීමට, නැති කිරීමට ඇති ප්‍රතිපදාවට පිළිපදින්නේ වෙයි. 636

[636: නිර්වාණය ගැන ඔහුගේ පුර්ණ වැටහීමක්, පිළිගැනීමක් නැතත් භාවනාවෙන් අෂ්ඨ සමාපත්තීන් ලබනා ඔහු ඉන් එකක් පාදක කොටගෙන “නිරෝධයක් ඇත්නම් , මම අරහත් භාවය ලැබ නිර්වාණය සාක්ෂාත් කරමි” යි අධිෂ්ඨානයෙන් විදර්ශනා වඩයි. ඔහුගේ ව්‍යායාමය සාර්ථක වුනි නම් ඔහු සියලු ක්ලේශ සමුච්චේදනය කොට නිර්වාණගාමී වෙයි. එසේ කරගත නොහැකි වුවහොත් ඔහු අරූපි ලොවක උපත ලබයි.]

(v) සතර ආකාර පුද්ගලයෝ

§ 35 . “ගෘහපතියෙනි, සතර ආකාරයක පුද්ගලයෝ ලොකයෙහි ඇත්තාහුය.
කවර සතරදෙනෙක්දයත්?

ගෘහපතියෙනි,

  • මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමාගේ ශරීරයටම තමන් නොයෙක් වධ හිංසා කරමින් නිතර තම නොයෙක් අත්තකිලමතානු ප්‍රතිපත්තියේ යෙදෙයි.
  • ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ වෙයි.
  • ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන්ද තවන්නේ, තමන් තැවීමෙහි ප්‍රතිපත්තියේ යෙදුනේද, අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි ප්‍රතිපත්තියේ යෙදුනේද වෙයි.
  • ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් නොතවන්නේ තමන් තැවීමෙහි ප්‍රතිපත්තියේ නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි.
  • හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඔහු තෘෂ්ණා, ද්වේශ රහිතවූයේ, සිත් නිවියේ සිහිල්වූයේ සතුටින් හා සැනසීමෙන් යුක්තව වාසය කරයි.

§ 36 . “ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තැවීමෙහි ප්‍රතිපත්තියෙහි යෙදුනාවූ පුද්ගලයා කවරේද?

ගෘහපතියෙනි, 637

[637: එවකට භාරතයේ හැසිරුණු ආජීවක ආදී නොයෙක් ශ්‍රමනයන් නොයෙක් වෘක්ෂ ප්‍රතිපදා අනුගමනය කළහ. සමහර හැසිරීම් වල යටි අර්ථය සොයා ගන්නට අසීරුය. මේ දැක්වෙන්නේ එබඳු වෘක්ෂ පිළිවෙත් සමහරකි. තම්මට විඳිනට ඇති නරක කර්මයන් වහ වහා අඩු කරගන්නට තමන්ම තම ශරීරය දුකට පත් කිරීමෙන් හැක යන විශ්වාසයෙන් බොහෝ ලබ්ධිකයන් මේ අත්තකිලමතානු යෝගයෙහි යෙදුනහ.]

මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සමාජ ධර්මයන් නොතකා නිවස්ත්‍රයෙන් සිටී. කෑම කා අත නොසෝදා අත ලෙව කයි. දානයට ආරාධනය කල විට නොඒ. නතරව කෑම කන්න යැයි කී විට නොනැවතෙයි. බඳුනක බෙදු ආහාර පිලි නොගනී. එලි පත්තෙන් එහා සිට බෙදන ආහාර පිලි නොගනී. ඔහු උදෙසාම පිළියෙළ කලොත් එම දානය පිලි නොගනී. හැරමිටියක් අල්ලාගෙන බෙදන දානය පිලි නොගනී. තමන් කෑම ගනිමින් සිටියදී දුන් දානය පිලි නොගනී. ගාමිණී මවක් බෙදන දානය පිලි නොගනී. කිරි බොන දරුවෙකුගේ මවක් බෙදන දානය පිලි නොගනී. පිරිමින් සමග ඉන්න කාන්තාවක් බෙදන දානය පිලි නොගනී. දානය දෙන තැනකි ‘යි පෝස්ටර් ගසා ඇති තැනකින් දානය පිලි නොගනී. මැස්සන් ගැවසෙන තැනකදී බෙදන දානය පිලි නොගනී. බල්ලෙකු ඒ අසල සිටිනම් ඒ දානය පිලි නොගනී. මස් මාංශ ඇති දානය පිලි නොගනී.

මත්පැන් නොපිළිගනියි, කාඩිදිය නොබොයි, හෙතෙම එක ගෙයකින් ලැබුන ආහාර පමණක් පිළිගනියි , එක බත් පිඩකින් යැපෙන්නේ වෙයි, ගෙවල් දෙකකින් ලැබූ ආහාර පමණක් පිළිගනියි, බත්පිඩු දෙකකින් යැපෙන්නේ වෙයි, ගෙවල් සතකින් පමණක් දානය පිළිගනියි, පිඩු සතකින් පමණක් යැපෙන්නේ වෙයි, එකම දත්තියකින් (කුඩාවූ ආහාර භාජනයකින්) ද යැපෙයි, දත්ති දෙකකින්ද යැපෙයි, දත්ති සතකින්ද යැපෙයි, දවසක් හැර දවසක්ද ආහාරය ගනියි, දෙදවසක් හැර දවසක්ද ආහාරය ගනියි, මෙසේ මෙබඳු අඩ මසක් හැර දවසක්ද පර්‍ය්‍යාය භක්ත භොජනානුයොගයෙහි යෙදුනේ වාසය කරයි.

හෙතෙම අමු කොළ අනුභව කරන්නේ වෙයි, බඩ අමු අනුභව කරන්නේ හෝ වෙයි, ඌරු හැල් අනුභව කරන්නේ හෝ වෙයි, සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි, මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි, සහල් කුඩු අනුභව කරන්නේ හෝ වෙයි, දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි, තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි, තණකොළ අනුභව කරන්නේ හෝ වෙයි, හරකුන් හෙලු ගොම අනුභව කරන්නේ හෝ වෙයි, වනයෙහි අල වර්ග හා ගෙඩි වර්ග ආහාර කොට ඇත්තේ වැටුනු ඵල අනුභව කරයි..

“හෙතෙම හණ වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි, පාංශුකූල වස්ත්‍රද දරයි, රිටි සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි, අඳුන් දිවි සම්ද දරයි, කුර සහිත අඳුන් දිවි සම්ද දරයි, කුස තණ වැහැරිද දරයි, කෙඳිවලින් කළ වැහැරිද දරයි, පතුරු වලින් කළ වැහැරිද දරයි, මිනී කෙස්වලින් කළ කම්බිලියද දරයි, අස් ලොම් ආදියෙන් කළ කම්බිලියද දරයි, බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි,

හිසකේ රැවුලු ඉදිරීමයයි කියනලද පිළිවෙතෙහි යෙදුනේ වෙයි, ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි, උක්කුටික වූයේද වෙයි, කටු ඇතිරියෙහිද සයනය කරයි, දවසට තුන්වරක් දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු අනෙක ප්‍රකාරවූ ශරීරය තවන අතිශයින් තවන පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. ගෘහපතියෙනි, මේ පුද්ගලයා තමන් තවන්නේ, තමන් තවන පිළිවෙතෙහි යෙදුනේ යයි කියනු ලැබේ.

§ 37 .“ගෘහපතියෙනි, අනුන් තවන්නාවූ, අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලයා කවරේද?

ගෘහපතියෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් ජීවිකා වෘත්තීය ලෙස, එළුවන් මරා ජීවත් වන්නෙක්වේද, ඌරන් මරා ජීවත් වන්නෙක් වේද, ලිහිණින් මරන්නේ වෙයිද. මුවන් මරන්නේ වෙයිද, කැලෑ සතුන් දඩයම් කරන්නේ වෙයිද, මසුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, සොරකම් පිණිස මිනිසුන් මරන්නේ වෙයිද, සිරගෙවල පාලකයෝ වෙත්ද, වෙනත් යම් ක්‍රෑර කර්මාන්ත කරන්නේ වෙත්ද, ගෘහපතියෙනි, මේ පුද්ගලයා අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි ප්‍රතිපත්තියේ යෙදුනේයයි කියනු ලැබේ.

§ 38. “ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද, අනුන් තවන්නාවූ අනුන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද පුද්ගලයා කවරේද? 538

[538: තමන්ද සිය සිරුරට වධ දෙන ක්‍රියා කරමින් තවත් සතුන් හා මිනිසුන්ද වධ හිංසා කරන පිළිවෙත එදා සමහර රජවරු කලේ තමන්ට දේව හා අමනුෂ්‍ය ආධාර උපකාර බලාපොරොත්තුවෙනි. බොහෝ වර්ගවල සිය දහස් ගණන් සතුන් බිලිදීම එදා පමණක් නොව අදත් සිදුවේ. ]

ගෘහපතිවරුනි,
මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්ෂත්‍රියවූ මස්තකයෙහි අභිෂෙක කළාවූ රජෙක් හෝ වෙයි. මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට පෙරදිග අළුත්වූ යාග ශාලාවක් ඉඳි කරවා හිසකේ රැවුල් බහවා කුරසහිත අඳුන් දිවි සමක් ඇඳ ගිතෙලින් හා තල තෙලින් සිරුර තවරා, මුව අගින් පිට කසමින් මෙහෙසියද පෙරෙවි බමුණාද සමග යාග ශාලාවට පිවිසෙති. හෙතෙම එහී නොඅතුරනලද ගොම පිරිබඩ කළාවූ බිම නිදයි.

ස්වරූපයෙන් සමාන වස්සන් ඇති එක දෙනකගේ තනයෙක්හි කිරි රජ බොයි. දෙවෙනි තනයෙහි කිරි මෙහෙසිය බොයි. තෙවන තනයෙන් යම් කිරක් වේද, එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිව්වන තනයෙහි යම් කිරක් වේද එයින් ගිනි පුදත්. ඉතිරි වූවකින් වස්සා යැපෙයි.

හෙතෙම මෙසේ කියයි. යාගය පිණිස මෙපමණ ගවයෝ මරත්වා. යාගය පිණිස මෙපමණ බලවත් වස්සෝ මරත්වා යාගය පිණිස මෙපමණ කිරි වැස්සියෝ මරත්වා. යාගය පිණිස මෙපමණ එළුවෝ මරත්වා. යාගය පිණිස මෙපමණ තිරෙළුවෝ මරත්වා. යාග කණු පිණිස මෙපමණ රුක් සිඳිත්වා. යාග භූමිය වට කිරීම පිණිස හා ඇතිරීම පිණිසද මෙතෙක් කුසතණ සිඳිත්වා ඔහුගේ දාසයෝද පණිවුඩ කාරයෝද කම්කරුවෝද, දණ්ඩෙන් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇත්තාහු හඬමින් ඒ පරිකම් කරත්.

ගෘහපතියෙනි, මේ පුද්ගලයා තමාත් තවන්නේ තමන් තැවීමෙහි ප්‍රතිපත්තියෙහි යෙදුනේ අනුන්ද තවන්නේ අනුන් තැවීමෙහි ප්‍රතිපත්තියෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

§ 39 . “ගෘහපතිවරුනි, තමන් නොම තවන්නාවූද තමන් නොතැවෙන ප්‍රතිපත්තියෙහි යෙදුනාවූද අනුන් නොතවන්නාවූද අනුන් නොතැවීමෙහි ප්‍රතිපත්තියෙහි යෙදුනාවූද පුද්ගලයා කවරේද?

හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ මේ ආත්මයෙහිම ඔහු තෘෂ්ණා, ද්වේශ රහිතවූයේ, සිත් නිවියේ සිහිල්වූයේ සතුටින් හා සැනසීමෙන් යුක්තව වාසය කරයි.

§ 40 “ගෘහපතියෙනි,
එසේම මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනයකිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මොලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලොකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.

§ 41 . “ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු අකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුල කපාදමා සිවුරු හැඳ ගිහි ගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙමි නම් ඉතා යහපතැයි කියායි.

§ 42 . “ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ හෝ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ,

  • ප්‍රාණවධ හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ
  • නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ. දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදු සිතින් යුක්තව වාසය කෙරේ.
  • අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ.
  • බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිරකථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ.
  • පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා ඔවුන් බිඳීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය
  • ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ.
  • හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
  • “හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි,
  • එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් වැළකුණේ විකාල භොජනයෙන් වැළකුණේ වෙයි.
  • නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි.
  • මල්, ගඳ, විළවුන් පැළදීම, ඉන් සැරසීම අඩු තැන් පිරවීම අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි,
  • උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි.
  • රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
  • අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි.
  • ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේවෙයි,
  • එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේවෙයි. ඌරන් කුකුළන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
  • කෙත්, වත්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි.
  • ගිහීන්ගේ දුත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි.
  • විකිණීම මිළට ගැණීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොග යන මෙයින් වැළකුණේ වෙයි.
  • කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාර කමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
  • “හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ.
  • ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
  • “හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
  • “කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද ඒ ශ්‍රොතෙන්ද්‍රියන් සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතෙන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
  • “නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝ්‍රානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රානෙන්ද්‍රිය රකියි. ඝ්‍රානෙන්ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි.
  • දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජීව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂාකරයි. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • “කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි.
  • සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
  • “හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද සතියෙන් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද සතියෙන් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද සතියෙන් යුක්තවූයේ වෙයි. සඟල සිවුර සහ පාත්‍ර සිව්රු දැරීමෙහි සතියෙන් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද සතියෙන් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද සතියෙන් යුක්ත වූයේ වෙයි. යැම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද සතියෙන්යුක්ත වූයේ වෙයි.
  • “උතුම්වූ මේ සීල සමූහයෙන් යුක්තවූද උතුම්වු මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂුව කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, පිදුරු ගොඩවල්ද යන ආදී මේ විවේක සෙනාසන භජනය කෙරෙයි.
  • ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පසු , පර්‍ය්‍යංකය බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
  • “ඔහු ස්කන්ධ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
  • “හෙතෙම සිත කිලුටු කරන්නාවූද, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන් ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි,

§ 43. “ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද,

“ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විදින්නේද, ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ වාසය කරයිද,

“ගෘහපතියනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,

§ 44 .“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්?

“එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

§ 45 . “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී.

පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්වයන් දකී. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ.

ඔව්හු මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ග ලොකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද සත්වයන් දනී.

§ 46 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැන ගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයයි තතු ලෙස දැනගණී, මේ ආශ්‍රව ක්ලෙශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මම ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.

§ 47 “මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද මිදේ, අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ’යිද දැනගණී. (අරහත් භාවය ප්‍රත්‍යක්ෂ කරගනී.)

§ 48 “ගෘහපතියෙනි, මේ පුද්ගලයා තමාද නොතවන්නේ, තමන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේ, අනුන්ද නොතවන්නේ, අනුන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේයයි කියනු ලැබේ. හෙතෙම තමන්ද නොතවන්නේ, අනුන්ද නොතවන්නේ මේආත්මයෙහිම තෘෂ්ණා රහිත වූයේ, නිවියේ, සිහිල් වූයේ, සැප විඳිනසුළු වූයේ, ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කෙරේයයි” වදාළේය.

§ 49. මෙසේ වදාළ කල්හි ශාලා නම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ යම් සේද, අන්ධකාරයෙහි ඉන්නා ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ යම් සේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී.

අද පටන් අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ යමු. ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු.
භවත් ගෞතමයන් අප අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයන්යයි දරණ සේක්වා.”

දසවැනිවූ අපණ්ණක සූත්‍රය නිමි. (1-10)
පළමුවැනි ගෘහපති වර්ගයයි

CLICK ABOVE IMAGE TO READ IN ENGLISH
https://www.nilambe-deshana.net/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.