MN 02-02-02. මහා රාහුලොවාද සූත්‍රය

සුත්‍රය ජීවිතයට ගලපමින් පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප නායක හිමියන් කල ධර්ම දේශනාව


§1. මා විසින් මෙසේ අසන ලදී.
640
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ.

§ 2 .එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුලයන්ද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය.

§ 3 . එවිට භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.

[640: රාහුල සාමනේරයන්ට අවුරුදු දහ අටක් හවුරුදු වූ පසු දිනෙක මේ සිද්ධිය වූ බවත්, භාග්‍යවතුන් වහන්සෙහෙ ශරීර ලක්ෂණ හා අනුපම රුඋප සම්පත්තිය දෙස බලමින් පසුපසින් එන්නාවූ රාහුල, තමා ඒ පියාගේ පුතා වෙම් මමද එබන්දුව රුව ඇති අයෙකු නොවෙම්දයි යන සිතුවිල්ලක් ඇති කල විගස ඔහු සිත ඇතිවූ සුගතයන් වහන්සේ රාහුලයන් ට රුපයේ ඇති විපාක මතක් කරන්නට මේ ධර්මය දෙසු බව ද , ගිහි ජීවිතයේ කාම සම්පත් ගැන යෞවනයෙකුගේ සිතේ ස්වභාවයෙන් ඇතිවිය හැකි කැමැත්ත පහ කරන්නටත් ඉතා හදිසියෙන් මේ ධර්මය දෙසු බව අටුවාව කියයි.]

“රාහුලය , අතීතයෙහු වූද, අනාගතයේ ඇති වන්නාවූද, වර්තමානයෙහි පවතින්නාවූද
තමා තුළ පිහිටියාවූ හෝ බාහිරව ඇත්තාවූ හෝ
ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ
රූපයක් වේද,
ඈතක ඇති හෝ සමීපයෙහිවූ හෝ රූපයක් වේද
ඒ සියලු රූපයන්
මම නොවෙමි, මාගේ නොවේය. ඒ මාගේ ආත්මය නොවේයයි, 641
මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

[641:- සුත්‍ර ධර්මයන් සිය ගණනක් දැක්වෙන මේ වාක්‍යය ගිරවුන් මෙන් කීමෙන් හො පොතේ ඇති නිසා කියවීමෙන් වෙන ඵලයක් නැත. මනුෂ්‍යයෙකුට වීමුක්ති සාධනය පිණිස සිතිය යුතු විදර්ශනා කලයුතු වටිනාම ධර්මය මේ වාක්‍යයේ ඇත. මමක් ඉන්නේය යන් මිච්චා දිට්ඨිය අත් හැර ගන්නට මේ කමටහන වේ. මේ වාක්‍ය හොඳින් විස්තර කෙරෙන තැනක් හො දේශනාවක් ගැන දන්නේ නම් අප කෙරෙහි අනුකම්පාවෙන් ලියා එවන සේ ඉල්ලමි.]

“භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?
“රාහුල,
රූපයද;
වේදනාවද;
සංඥාවද;
සංස්කාරයෝද;
විඥානය
ද (එසේය.)”

§ 4 . එවිට ආයුෂ්මත් රාහුල සාමණේරයන් ට මෙසේ සිතුනි, “භාග්‍යවතුන් වහන්සේගෙන් මෙබඳු විශේෂවූ අවවාදයක් ලැබූ කවරෙක් පිඬු පිණිස ගමට ගොස් කාලය අපතේ හරින්නේද ”යි (සිතා) එහිම නැවතී එක් රුකක් මුල එරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සතිය ඉදිරි කොට සිහිය උපදවා හුන්නේය.

§ 5 . ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ රුක් මුල එරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල සාමනේරයන් දැක, ආයුෂ්මත් රාහුලයන්හට මෙසේ කීහ. 642
“රාහුල, ආණාපාණ සතිය වඩව.
රාහුල, ආණාපාණසතිය වඩව.
රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, එය මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”

[642:- රාහුල සාමනේරයන් වහන්සේගේ උපාධ්‍යයයන්වූ සාරිපුත්ත මහා ස්වාමින්වහන්සේ ඔහු හිඳ හුන් ආකාරය දැක රාහුලයන් ආනාපාන සතිය වදන්නේයැයි සිතා මේ කියූ බවත්ම් භාග්‍යවතුන් වහන්සේ ඔහුට කමටහන් දුන් බව නොදැන මෙසේ කී බවත් අටුවාව කියයි.]

මහා ධාතු 643

[643:- බොහෝ විට මහා ධාතු සතරක් දන්වෙතත් සමහර තැනෙක පහක් ලෙසද සමහර තැනෙක සයක් ලෙසද දැක්වේ. මෙගි ආකාස ධාතුව පස් වන්න ලෙස අන්තර්ගත කර ඇත. සමහර විටෙක් විග්නානයද විඥාන ධාතුව ලෙස අඩංගු කොට සයක් මහා ධාතු දැක්වේ. මහා ධාතුව ලෙස නම් කර ඇති හේතුව සලකා මේ සුළු වෙනස ඇති වූ බව පෙනේ.]

§6 . මෙසේ භාවනා කරමින් සිට ආයුෂ්මත් රාහුල සාමනේරයන්  සවස් කාලයෙහි භාවනාවේන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, වැඳ, එක් පැත්තක හිඳ මෙසේ ඇසීය. 

§ 7 ” ස්වාමිනි ,
ආණාපාණසතිය මහත්ඵල වීම පිණිස, මහානිශංස වීම පිණිස කෙසේ වැඩිය් යුතුද? ”

“රාහුලය සසර දුක් දුරු කිරීමට වෑයම් කරන්නෙක් පළමුව රූප වේදනා සඥා සංස්කාර ප්‍රඥාවෙන් දත යුත්තේය. රුපය මහා භූතයන් නිසා ඉපදුනේය.644 මහා ධාතු වලින් නිර්මිතය. මහා ධාතු නම් පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය, ආකාශ ධාතුවය

“රාහුලය පඨවි ධාතුව දත යුත්තේය.

[644:- ධාතු මනසිකාරයෙන් භාවනාව පටන් ගන්නට භාග්‍යවතු වහන්සේ උපදෙස් දුන්නේ රාහුල සාමණේරයන්ගේ කය නොහොත් රූපය පිළිබඳව වූ මානය, කාමය, විපල්ලසය ඉවත් කිරීමට , මම, මාගේය යන සඥාව නැති කිරීම නොහොත් කය උපාදානය දුරු කිරීම එහි අදහසබැව් අටුවාව කියයි. උපාදානය යනුවෙන් මෙහි දැක්වෙන්නේ නුතන අභිධර්ම පිටකයේ බුද්ධගෝෂ හිමියන් කියන උපාදානය නොව ශරීරය මමය ලෙස ගැනීම් බව ඥාණමොලි මහා ස්වාමින් වහන්සේ දක්වයි.]

§ 8. “රාහුල, පඨවි ධාතුව කවරීද,

අධ්‍යාත්ම පඨවි ධාතුවක් වන්නේය. බාහිර පඨවි ධාතුවක් ද වන්නේය.

“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද,
එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මේවා යි.

තමා කොට ගන්නා එම පඨවි ධාතුවෙන් අන්‍යවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් තද බවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ.

තමා තුළ පවත්නා පෘථිවි ධාතුවක් වේද, ඉන් බාහිර වූ පෘථිවි ධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.

මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.

§9 . “රාහුල, ආපෝ ධාතුව කවරීද,

අධ්‍යාත්ම ආපෝ ධාතුවක් වන්නේය. බාහිර ආපෝ ධාතුවක් ද වන්නේය.

රාහුල, අධ්‍යාත්මික වූ ආපෝ ධාතුව කවරීද,
තමා තුළ පවත්නා වූ දියාරු බව ඇති , වැගිරෙන සුළු දෙයක්වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇට සන්ධිවල ඇති -) සඳ මිඳුලු, මුත්‍ර යන මේවායි.,

මෙයින් අන්‍ය වූ බාහිර වූ, තොප කයෙන් වෙන්ව ඇත්තාවූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ බාහිර ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික වේද, බාහිර ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ’

“රාහුලය, එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’
මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි.
මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි.
ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.

§ 10 . “රාහුල, තේජෝ ධාතුව කවරීද,

අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තේජෝ ධාතුවක්ද වන්නේය.
රාහුල, අධ්‍යාත්මික තේජෝ ධාතුව කවරීද,

තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය තුලට ගත් ආහාර දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මේ අධ්‍යාත්මික වූ තේජෝ ධාතුව වේ

මෙයින් අන්‍යවූ තමාගෙන් පිට පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය නැති, යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ බාහිර තේජෝ ධාතුව යයි කියනු ලැබේ.

රාහුල, අධ්‍යාත්මික තේජෝ ධාතුවක් වේද, බාහිරවූ යම් තේජෝ ධාතුවක් වේද, මේ දෙකම තේජෝ ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’
මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි.
තේජෝ ධාතුවෙහි සිත නොඇලෙයි.

§ 11 . “රාහුල, වායෝ ධාතුව කවරීද,

අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය.
රාහුල, අධ්‍යාත්මිකවායෝ ධාතුව කවරීද,
තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ කයෙහි යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ.

අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, ඉන් බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’
‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’
මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.
මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.

§ 12 . “රාහුල, ආකාශ ධාතුව645 කවරීද,

[645:- ආකාස ධාතුව මුලික සංඝටක ධාතුවක් නොවුවත්, උපාද රුපයක් නිසා සඳහන් කළා විය හැක.]

අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය.
“රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද,


තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත කයෙහි යම් අවකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආකාශ ධාතුයයි කියනු ලැබේ.

යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් වීද, යම් බාහිර ආකාශ ධාතුවක් වීද, ඒ දෙකම ආකාශ ධාතුවමැයි.
එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සිත නොඇලෙයි.

§ 13. . “රාහුල, පොළොව හා සමකොට භාවනාව වඩව. 646
පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල්සිත විනාශකොට නොසිටිත්.

[ 646:- §13 සිට §17 තෙක් චේද වලවල භාවනාවෙහි දී තාදී භාවය රැක ගැන්ම උගන්වයි.]

රාහුල, පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්, මුත්‍රද දමත්, කෙලද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එහෙයින් පොළොව අප්‍රිය නොකරයි. පිළිකුල් නොකරයි. පොලොව සේ භාවනාව වඩන්නේ නම් කැමති; යයි හෝ අකමැති යයි අකුසල් ඔබේ සිත නොකෙලෙසයි.

රාහුල එපරිද්දෙන්ම තොප පොළොව හා සමකොට භාවනාව වඩව්. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.

§14 . “රාහුල, ජලය හා සමකොට භාවනාව වඩව,
” රාහුල, යම්සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සෝදත්, අශුචිද සෝදත්, මුත්‍රද සෝදත්, කෙලද සෝදත්, සැරවද සෝදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි.

ජලය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොටගෙන නොසිටිත්. රාහුල, එපරිද්දෙන්ම ඔබ දිය හා සමකොට භාවනාව වඩව. රාහුල, දිය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

§15 . “රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩව.
ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවයි, මුත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි.

ගින්න හා සමකොට භාවනා වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොටගෙණ නොසිටිත්. රාහුල, එපරිද්දෙන්ම ගින්න හා සම කොට භාවනාව වඩව,
රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙණ නො සිටිත්.

§16. “රාහුල, වාතය හා සමකොට භාවනාව වඩව,
“රාහුල, වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද ගෙනයයි, අශුචිද ගෙනයයි, මුත්‍රද ගෙනයයි, කෙලද ගෙනයයි, සැරවද ගෙනයයි, ලෙහෙද ගෙනයයි. වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකෙරෙයි.”

රාහුල, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාපවූද අමනාපවූද ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල, ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.

§17 . “රාහුල, අහස හා සමකොට භාවනාව වඩව,

රාහුල, යම්සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහුල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. රාහුල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.
‘රාහුල, අහස සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.

§18 . “රාහුල, මෛත්‍රී භාවනාව වඩව.
රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ සිතේ කිසි නුරුස්නා බවක් අකමැත්තක්, අමනාපයක් , ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.

§19 .
“රාහුල, කරුණා භාවනාව වඩව.
රාහුල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ සිතේ යම් හිංසා කාරී සිතුවිල්ලක් වේද, එය නැතිවී යන්නේය.

§ 20. “රාහුල, මුදිතා භාවනාව වඩව.
රාහුල, මුදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් අසන්තෘප්ත බවක්, කලකිරීමක් වේද, එය නැතිවී යන්නේය.

§ 21 .“රාහුල, උපෙක්ෂා භාවනාව වඩව. රාහුල, උපෙක්ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ප්‍රතිඝයක් ද්වෙෂයක් වේද, එය නැතිවී යන්නේය.

§22 . “රාහුල, අසුභ භාවනාව වඩව.
රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් යම් කැමැත්තක් කෑම අරමුණු කෙරෙහි වේද, එය නැතිවී යන්නේය.

§23 . රාහුල, අනිච්චසඤ්ඤා භාවනාව වඩව.
රාහුල, අනිච්චසඤ්ඤා (-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ‘මම වෙමි’ යන මානයක් වේද, එය නැතිවී යන්නේය.

§ 24 .. “රාහුල, ආණාපාණ සති භාවනාව වඩව.


රාහුල, ආණාපාණසති භාවනාව වඩනාලද්දී, බහුල වශයෙන් නිතර නිතර කරණලද්දී නම් , එය මහත් ඵල මහානිශංස වේ.
රාහුල, කෙසේ වඩනාලද කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපානසතිය මහත්ඵල මහානිශංස වේද,

§ 25 . රාහුල, භික්ෂුවක් වනයට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය ඍජුව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, 646

[646: ආන පාන සති භාවනාව සියලු ධ්යානයනට හා විදර්ශනාවට පාදකය වේ. මේ භාවනාව ගැන දහස් ගණන් පොත් පත් ලියවී ඇත. දහස් ගණන් ධර්ම දේශනා කෙරී ඇත.ත්‍රිපිටකයේ ආනාපාන සති භාවනාව ගැන කෙරුණා බොහෝ සුත්‍ර දෙසනා අඩංගු වේ]

නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ගැන කල දේසනාව

ඒ භික්ෂුව සිහි ඇතිවම හුස්ම ගණී,
සිහි ඇතිව හුස්ම හරී,

§ 26 . දික් හුස්ම ගන්නේ දිගට හුස්ම ගනිමියි දනියි.
දිගට හුස්ම හරින්නේ දිගට හුස්ම හරිමියි දනියි.
කොටින් හුස්ම ගන්නේ කොටින් හුස්ම ගනිමියි දනී.
කොටින් හුස්ම හරින්නේ කොටින් හුස්ම හරිමියි දනී.

හුස්ම ගැණීම මුල සිට අග තෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි. (-පුරුදු වෙයි)
හුස්ම හැරීම මුල සිට අගතෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි.

§ 27 .මහත්කොට හුස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගනිමියි හික්මෙයි.
මහත්කොට හුස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි.

ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි.
ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි.

§ 28 . චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි.
චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි.
චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම ගණිමියි හික්මෙයි.
චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම හරිමියි හික්මෙයි.

සිත දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි.
සිත දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි.
සිත විශෙෂයෙන් තුටුකරමින් හුස්ම ගණිමියි හික්මෙයි.
සිත විශෙෂයෙන් තුටු කරමින් හුස්ම හරිමියි හික්මෙයි.
සිත මනාකොට තබමින් හුස්ම ගණිමියි හික්මෙයි.
සිත මනාකොට තබමින් හුස්ම හරිමියි හික්මෙයි.

සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම ගණිමියි හික්මෙයි.
සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම හරිමියි හික්මෙයි.

§ 29 . අනිත්‍යය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි.
අනිත්‍යය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි

නොඇලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි.
නොඇලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.

නිරොධය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි.
නිරොධය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.

දුරලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි.
දුරලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.

§ 30 . “රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිශංසවේ. රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරණ ලද ආනාපාන සතිය කරණකොට ඔබගේ යම් අවසාන හුස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්. නොදැන නැතිවී නොයත්.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේගේ දෙසනාව සතුටු විය.

දෙවෙනිවූ මහා රාහුලොවාද සූත්‍රය නිමි. (2-2)



ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.