MN-02-01-08. අභය (රාජකුමාර) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.

§2.   එකල්හි නිගණ්ඨනාත පුත්‍ර සාස්ත්රුවරයාගේ  ශ්‍රාවකයෙකු වූ    අභය නම් රාජකුමාරයා නිගණ්ඨනාත පුත්‍ර හුන් තැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ  අභය නම් රාජකුමාරයාට නිගණ්ඨනාත පුත්‍රයන්  මෙසේ කීයේය.
[අභය කුමරු මගධ දේශයේ කිරීටය දැරූ බිම්බිසාර මහා රජුගේ පුත්‍රයෙක් මුත් රජ කමට සුදුස්සෙක් ලෙස නම් කොට නොතිබුනේය. ඔහු නිගන්ට නාථ පුත්‍ර නොහොත් මහා වීර තුමාගේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් ව සිටියේය.]
“රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ‘අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන ලද්දේයයි’ මෙසේ තොප ගැන යහපත් ගුණ ඝොෂණයක් ජනතාව අතර පැන නගින්නේය.”
“ස්වාමීනි, මම  කෙසේ නම් මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන් හට වාදාරෝපනය කරන්නෙම්ද?”
“රාජකුමාරය, එව. නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක්හිද එතැනට යව. ගොස්  ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව.
‘ස්වාමීනි, යම්  වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගතයන්  එබඳු වචනයක් කියන්නේදැයි,” (අසව)
ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම තෙම මෙසේ විචාරණ ලද්දේ
‘රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගතතෙම එබඳු වචනයක් කියන්නේයයි’ගෞතමයන්   ප්‍රකාශ කෙරේ නම්, ඔහුට නුඹ මෙසේ කියව.
“ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ ඇති වෙනස කවරේද?
පෘථග්ජනයා ද  යම්  වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද එබඳු වචන පවා  කියන්නේය”යි කියව.”
“ඉදින් තොප විසින් මෙසේ විචාරණ ලද්දාවූ පැනයට ශ්‍රමණ ගෞතම තෙම,
‘රාජකුමාරය, යම්  වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගතයන්  එබඳු වචනය නොකියන්නේය’යි
ගෞතමයන් මෙසේ ප්‍රකාශ කෙරේ නම් ඔහුට නුඹ මෙසේ කියව.
‘ස්වාමීනි, එසේ ඇති කල්හි නුඹ වහන්සේ විසින්, “දෙවදත්තයන් අපායෙහි උපදින්නෙක, දෙවදත්තයන් නිරයෙහි උපදින්නෙක, දෙවදත්තයන් කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙවදත්තයන් පිළියම් කළ නොහැක්කෙකැයි’ කුමට ප්‍රකාශ කරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් දෙවදත්තයන්  කිපි නොසතුටු සිත් ඇත්තේ වීය’යි (කියව.)

“රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය විචාරණ කල විට  ශ්‍රමණ ගෞතමයන්ට  වමාරන්ට නොහැකිවෙයි. ගිලගන්ට නොහැකිවෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ උගුරෙහි ඇණුනු යකඩ කොක්කක් ගිලුනහොත් ඔහුට එය වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලින්ටත් නොහැකි වන්නේද, රාජ කුමාරය, එපරිද්දෙන්ම තොප විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූ කල , ශ්‍රමණ ගෞතමයන් හට  වමාරන්ටත් නොහැකිවේ, ගිලගන්ටත් නොහැකි වේය”යි (කීයේය.)

§ 4 . “ස්වාමීනි, එසේය” කියා අභය රාජ කුමාරයා නිගණ්ඨනාත පුත්‍රට උත්තර දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ, භාග්‍යවතුන් වහන්සේ  යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය.  එක් පැත්තක හුන්නාවූම අභය රාජකුමාරයා බැස යන   හිරු දෙස බලා මෙබඳු සිතක් වූයේය.
‘අද  භාග්‍යවතුන් වහන්සේට වාදාරොපනය කරන්ට කල් නොවේ. හෙට මම මගේ ගෘහයෙහිදී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපනය කරන්නෙමි’යි සිතා
භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීයේය.
“ස්වාමීනි, සෙට දවස පිණිස භාග්‍යවතුන් වහන්සේ තමා සතර වෙනි කොට ඇත්තේ* මාගේ බත ඉවසන සේක්වා.”
[*තවත් සංඝයා වහන්සේලා තිදෙනෙක් සමග]

§ 5  . භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් එම ආරාධනාව  ඉවසූසේක. ඉක්බිති අභය රාජකුමාරයාද  භාග්‍යවතුන් වහන්සේ  සිය ආරාධනාව ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පිටව ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගතවීමෙන් පසු පෙරවරු වේලෙහි හැඳපොරවා පාත්‍රා සිවුරුගෙණ අභයරාජ කුමාරයාගේ ගෘහය වෙත පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඉක්බිති අභයරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීතවූ කෑයුතු දෙයින් කටයුතු දෙයින් සියතින් වැළඳ වූයේය. සම්පවාරණය කරවූයේය. ඉක්බිති වළඳා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කරණලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ (වෙත ලංව) එක් මිටි ආසනයක් ගෙණ එක පැත්තක හිඳ හුන්නේය.

§ 6 . එක පැත්තක හුන්නාවූ අභයරාජ කුමාරයා  භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීයේය.
“ස්වාමීනි, යම්  වචනයක් අනුන්ට අප්‍රියද අනුන්ගේ සිත 
අමනාප උපදවන්නේද,  තථාගතයන්  එබඳු වචන කියන්නේද?”
“රාජ කුමාරය, එය ඒකාන්ත නොවේ”යයි (වදාළේය) (එයට එසේය නොඑසේය යනුවෙන් එක් පිළිතුරක් දිය නොහැක්කේය.)
“ස්වාමීනි, මේ ප්‍රශ්නයෙහිදී නිගණ්ඨයෝ නැසුනාහුය”යි (රාජ කුමාරයන්  කීයේය)

[උභතෝ කොටික ප්‍රශ්නයක් යනු උත්තර දෙකකින් එකක් උත්තරය සේ පිලිගනේනා ප්‍රශ්නයකි. උභතෝ යනු දෙකින් .. යනුයි. ඔව් නැහැ යන පිළිතුරු දෙකම ප්‍රතික්ෂේප වන ප්‍රශ්නය උභතෝකෝටික නොවේ.]

“රාජකුමාරය, කුමට  නුඹ, ‘ස්වාමීනි, මෙහි නිගණ්ඨයෝ නැසුනාහුය”යි කියන්නෙහිද?
“ස්වාමීනි,  මම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි….. (
§ 2 චේදයෙහි ඇති කොටස …………එපරිද්දෙන්ම නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වේ. ගිලගන්ටත් නොහැකි වේයයි” (කීයේය).

§ 7 . එකල්හි  බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු කුමාරයෙක් අභය රාජ කුමාරයාගේ ඇකයෙහි (උකුලෙහි) හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අභය රාජ කුමාරයා ගෙන්ට මෙසේ  විචාල සේක. 
“රාජකුමාරය, මේ ප්‍රශ්නයට නුඹ පිළිතුරු දෙව ?
ඉදින් මේ නුඹගේ ළදරු 
කුමරුවා නුඹගේ ප්‍රමාදයක් නිසා හෝ කිරි මවගේ ප්‍රමාදයක් නිසා හෝ ලී කැබැල්ලක් හෝ කැබිලිති කටුවක් හෝ මුඛයෙහි දමා ගන්නේ නම් එවීට නුඹ කුමක් කරන්නෙහිද?”

“ස්වාමීනි, මම එය හැරගන්නෙමි. ස්වාමීනි, ඉදින් මම පළමුවරම හැරගන්ට නොහැකි වන්නෙම් නම් වම් අතින් හිස අල්වාගෙණ දකුණු අතින් ඇඟිල්ල වක් කොට ugur උගුර සීරී ලේ ගලතත්  හැරගන්නෙමි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, කුමරු කෙරෙහි මාගේ අනුකම්පාව ඇති නිසා ” යයි (කීයේය.)

§ 8  .“රාජකුමාරය, එපරිද්දෙන්ම

(1)   යමක්  සිදුනොවූවක් සිදුවූ බව කියවෙන , සත්‍ය නොවූවක් යයිද,  අසන්නහුට   අවැඩ ගෙන දෙන්නක්යයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගතයන්  එබඳු දේ  නොකියයි.

(2) යම්  වූ දෙයක්ය සත්‍යයක්ය,  සිදුවූවක්ය  බව දනිතත් ඒ කීමෙන් අසන්නහුට  යහපතක් නොවන්නේ නම් අසන්නාට අකැමැත්ත අමනාපය ඇති කරන්නේ නම් තථාගත යන් එබඳු දේ  නොකියයි.

(3)  යම්  වූ දෙයක් සත්‍යයක්ය සිදුවූවක්යයි  දනිත් නම්ද ඒ කීමෙන්ය අසන්නාට  යහපතක් වන බව තථාගතයන් දනී නම් අසන්නාට අකැමැත්ත අමනාපය ඇති කරන්නේ වුවද ,  තථාගතයන් සුදුසු කල්හි සුදුසු තන්හි  එබඳු වචනය  ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි

(4) යම් වචනයක් නොවූ දෙයක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වුවද , අසන්නා කැමති වුවද,  තථාගතයන්  එබඳු වචනද නොකියයි.

(5)  යම් වචනයක් වූ දෙයක්ය, සත්‍යයක්ය, එනමුත් ඒ කථාව අසන්නාට  අවැඩ ගෙණදෙන්නක්යයි තථාගතයන්  දනියිද, ඒ වචනය අනුන්ට ප්‍රිය මනාප වුවද අසන්වේනට කැමති වුවද , තථාගතයන්  එබඳු වචනද නොකියයි.

(6) යම් වචනයක්  වූ දෙයක්ය සත්‍යයක්ය, අසන්නාට  අර්ථ පිණිස පවතින්නක්යයි දනියිද, ඒ වචනයද අසන්නහුට  ප්‍රිය හා මනාප වේද,  තථාගතයන්  ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි.;

[සිය ශ්‍රාවකයන් ට සැරෙන් කතා කිරීමට හෝ දෝෂයට ලක් කිරීමෙන් ඒ ශ්‍රාවකයන්ගේ යහපත සැලසෙන බව දුටු විට භාග්‍යවතුන් වහන්සේ එසේ කතා කිරීමට නොපැ කිළුන බව  බව පෙනේ.]

ඊට හේතු කවරේද? 
රාජකුමාරයා තථාගතයන් සත්වයා කෙරෙහි අනුකම්පාව ඇති නිසාය. “යි වදාළ සේක. 

§ 9 . “ස්වාමීනි, යම්  ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, ප්‍රශ්නයක් සකස්කොට තථාගතයන් වහන්සේ කරා එළඹ විචාරත්ද, ස්වාමීනි, යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ විචාරන්නාහුද, ඔවුන්ට මම මෙසේ විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නෙමියි පළමුකොටම භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පනා කරන ලද්දේ වේද, නොහොත්  එවෙලේම  සුදුසු පරිද්දෙන්ම පිළිතුරු දීමට   තථාගතයන් වහන්සේට ප්‍රශ්නය  වැටහේද?”

§ 10 .“රාජකුමාරය, එසේ නම් නුඹගෙන්ම මේ කාරණය අසන්නෙමි. යම්සේ නුඹට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව.
රාජකුමාරය, නුඹ රාජකීය අශ්ව රථයෙහි ලොකු කුඩා කොටස්  මැනවින්ව දන්නේද?”

“ස්වාමීනි, එසේය. මම රථයෙහි  මහත්  මෙන්ම   කුඩාද කොටස් මැනවින් දන්නෙමි යි” කීය.
“රාජකුමාරය, ඒ කුමකැයි හඟින්නෙහිද?
යම් කෙනෙක් නුඹ වෙත පැමිණ රථයේ  මේ කිනම් අවයවයක්දැයි කුමන  කොටසක්  දැයි මෙසේ අසන්නාහුද? යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ අසන්නේ නම් එවිට
, ඔවුන්ට මම මෙසේ  කියන්නෙමියි’ පළමුකොටම නුඹ විසින් මෙය කල්පනා කරන ලද්දක් වන්නේද? නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙම පිළිතුර  නුඹට වැටහෙන්නේද?
“ස්වාමීනි, මම  රථයේ සියලු කොටස්  අවයව ගැන දන්නා  දක්ෂවූ රථ පදවන්නෙකැයි ප්‍රසිද්ධ වෙමි. මා විසින් රථයේ සියලු කොටස් හා 
අවයව දැනගන්නා ලදහ. තැනට සුදුසු පරිද්දෙන්ම පිළිතුර නිරායාසයෙන්ම කීමට  මට වැටහෙන්නේයයි” (කීයේය).

“රාජකුමාරය, එපරිද්දෙන්ම යම්  ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ප්‍රශ්නයක් සකස්කොට තථාගතයන් වෙත එළඹ විචාරත්ද, තැනට සුදුසු පරිද්දෙන්ම පිළිතුරු දීමට  තථාගතයන්ට වැටහේ.

§ 11  ඊට හේතු කවරේද?
රාජකුමාරය, යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබොධ කිරීම හෙතුකොටගෙන ස්ථානොචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද, ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබොධ කරන ලද්දේයයි” වදාළේය.

[ධම්මධාතු යන පාලි පදය දහ අටක් මුල ධාතු අතර ඇති මනෝ රුපයක් හා පටලවා නොගත යුතුය.  මහායාන පොත්වල ඇති විශ්ව ශක්තිය ලෙසද මේ ගනු නොහොබී. මේ සර්වඥතා ඥානය බුද්ධ ඥානයේම කොටසක් බව අටුවාව කියයි.]

§ 12 . මෙසේ වදාළ කල්හි අභය රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීයේය.
“ස්වාමීනි, ඉතා යහපත,
ස්වාමීනි, ඉතා යහපත,
ස්වාමීනි, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද,
වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද,
මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද,
අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද,
මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය.

ස්වාමීනි, අද සිට  මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංඝයාද (සරණකොට යමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණ සේක්වා” (කීය.)

අටවෙනිවූ අභය (රාජකුමාර) සූත්‍රය නිමි. (1-8)

ධර්ම දෙසනාවලදී අපේ ස්වාමින් වහන්සේලා සමාජයෙහි වෙන වුන දේ උන්වහන්සේලා ඇසු දුටු දේ ගැන කියයි. මේ ගැන මීට වඩා සැලකිල්ලක් දක්වන්නේ නම් සුදුසු බව අප හඟිමු. තථාගතයන් වහන්සේ මේ දෙසනාවේ දී කතා කල යුතු දේ ගැනත් කතා නොකළ යුතු දේ ගැනත් දක්වයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.