MN 02-01-06 උපාලි සූත්‍රය

පුජ්‍ය බෝපිටියේ ඥාණවාස නායක හිමි කල සුත්‍ර දේසනාව
english-version-icon


§
1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නම් නුවර පාවාරික නම් සිටුහුගේ අඹ උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කළහ.

§ 2. එකල්හි නිගණ්ඨනාත පුත්‍ර මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවරම වාසය කලේය. එකල්හි දිනක් නාථ පුත්ත සාස්ත්රුන්ගේ අනුගාමික දීඝතපස්සී නම් නිගණ්ඨ තෙමේ නාලන්දා නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් පසු, භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් පාවාරික අඹ උයනට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිහිකට යුතුවූ කථා කොට නිමවා එක්පැත්තක සිටියේය.

එක පැත්තක සිටියාවූම දීඝතපස්සී ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “තපස්සීය, ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳ ගනුවයි” (කීහ.)

§  3. මෙසේ කී කල්හි දීඝතපස්සී එක් මිටි අස්නක් ගෙණ එක් පැත්තක වාඩිවිය. එක් පැත්තක උන්නාවූ දීඝතපස්සීට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“තපස්සීය, තොපගේ ශාස්තෘ නිගණ්ඨනාත පුත්‍රයන් ගේ ඉගැන්පාවීමට අනුව අකුසල කර්මයක් සිදුකළහැකි ආකාර කොපමණක් තිබේදැයි ඇසූහ. ”
“ඇවැත්නි 579., ගෞතමයන් වහන්ස, කර්මය කර්මයයි අපේ නායක තුමා භාවිතා නොකරයි. නිගණ්ඨනාත පුත්‍ර තුමා භාවිතා කරන්නේ “දණ්ඩ” යන යෙදුමැයි.” කීය.

[579: දීඝ තපස්සු විසින් භාග්‍යවතුන් වහන්සේ අමතන්නේ ගරු කල යුතෙකුට අමතන ආකාරයට නොව තමන් හා සමාන කෙනෙකුට අක්මථංඅ ආයුසෝ වාදයෙනි.]

“තපස්සිය, එසේ නම් නිගණ්ඨනාත පුත්‍රයන් අකුසල කිරීමට පාපයක් වීමට කෙතෙක් නම් දණ්ඩයන් අවශ්‍ය දැයි පනවාද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, නිගණ්ඨනාත පුත්‍රයන්ද අකුසලයක් වීමට දණ්ඩ තුනක් පනවයි. එනම් කාය දණ්ඩය, වචී දණ්ඩය, මනො දණ්ඩය යන දණ්ඩ තුනයි.”
“තපස්සිය, කිමෙක්ද? කාය දණ්ඩය අනිකක්මද? වචී දණ්ඩය අනිකක්මද? මනො දණ්ඩය අනිකක්මද”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය අනිකක්මය, වචී දණ්ඩය අනිකක්මය, මනො දණ්ඩය අනිකක්මය.”
580

[580: නාථපුත්ත ගේ ඉගැන්වීම නම් මනෝ දණ්ඩයේ කිසි බලපෑමක් නැතිව කය දණ්ඩය හා වචී දණ්ඩය අකුසල් කරන බවයි. “අචිත්තක” දණ්ඩ.සිතේ කිසි ආධාරයක් උපකාරයක් නැතිව අකුසල සම්පුර්ණ වේ. කෙසේද යත් සුළඟ හමද්දී අතු පැද්දෙයි. කොළ සලිත වෙන ලෙසටය. ].

“තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කවර නම් දණ්ඩයක් නිගණ්ඨනාත පුත්‍රයන් විසින් පාපයන් කිරීමට පාප ක්‍රියාවේ පැවැත්මට වඩාමත් මහත් ලෙස බලපාන්නේ කවර දන්ඩයක්ද? ඉදින් කාය දණ්ඩය ද ? වචී දණ්ඩයද? මනො දණ්ඩයද?

“ඇවැත්නි, භවත් ගෞතමයනි, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ දණ්ඩ තුන අතුරෙන් කාය දණ්ඩය පාපයක් කිරීමට පාපයාගේ පැවැත්මට ඉතා මහත් ලෙස බලපාන බව නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ උගන්වයි. වචී දණ්ඩය එසේ නොදක්වයි. මනො දණ්ඩය ද එසේ නොදක්වයි.”

“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි” කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කාය දණ්ඩය”යි කියමි.
“තපස්සිය, කාය දණ්ඩයයි කියන්නෙහිද?”
“ඇවැත්නි ගෞතමයන් වහන්ස, කාය දණ්ඩයයි කියමි.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නිඝණ්ඨයා මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවූහ.581

[581: යම් කෙනෙකුගේ ප්‍රකාශයක් තෙවරක් විමසා සනාථ කර ගැන්ම පෙර කල පිළිගත් නීතිමය සමාජමය පිළිගන්නා ක්‍රමය විය. දීඝ තපස්සි කල ප්‍රකාශය පසුව එසේ නොවේ යයි කියන්නට නොහැකි වන සේ මෙසේ තෙවරක් අසා පිළිගත් බව සනාථ කර ගනු ලැබීය.]

§ 4 .මෙසේ වදාළ කල්හි දීඝතපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඇවැත්නි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ පාපයක් කිරීමට පාපයාගේ පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවන්නෙහිද?”
“තපස්සීය, තථාගතයන්ට දණ්ඩය, දණ්ඩයයි භාවිතා කර පුරුද්දක් නැත. තපස්සිය, කර්මය කර්මයයිම භාවිත කිරීම තථාගතයන්ගේ පුරුද්දවේ.”

“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, එසේ නම් ඔබ වහන්සේ පාප කර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කෙතෙක් කර්මයන් පනවන්නෙහිද?”
“තපස්සිය, මම පාපකර්මය කිරීමට පාපකර්මයාගේ පැවැත්මට කර්ම තුනක් දක්වමි. එනම් කාය කර්මය, වචී කර්මය, මනො කර්මය යන තුනයි.”


“ඇවැත්නි, ගෞතමයන් වහන්ස, කිම?

කායකර්මය, අනිකක්මද? වචී කර්මය අනිකක්මද? මනොකර්මය අනිකක්මද?”
[ ඒ ඒ කර්ම වෙන වෙනම සිදු වේද? එකවර දෙකක් හො තුනම සිදුවේද?]
“තපස්සිය, කායකර්මය අනිකක්මය, වචීකර්මය අනිකක්මය. මනො කර්මය අනිකක්මය.”


“ඇවැත්නි, ගෞතමයන් වහන්ස මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් කවර නම් කර්මයක් පාප කර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරදයයි දක්වන්නෙහිද? ඉදින් කායකර්මය හෝ වේද? ඉදින් වාක් කර්මය හෝ වේද? මනොකර්මය හෝ වේද?”
“තපස්සිය, මෙසේ බෙදන ලද්දාවූ මෙසේ වෙන් කරන ලද්දාවූ මේ කර්ම තුන අතුරෙන් මනො කර්මය අකුසල කර්මයක් කිරීමට, අකුසල කර්මයාගේ පැවැත්මට බලපාන්නාවූ ප්‍රධානතම කර්මයයි මා දක්වමි. කාය කර්මය එසේ නොවේ, වාක් කර්මය එසේ නොවේ.”


“ඇවැත්නි, ගෞතමයනි , මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”582
“ඇවැත්නි, ගෞතමයනි , මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනොකර්මයයි කියමි.”
ගෞතමයනි , මනො කර්මයයි කියන්නෙහිද?”
“තපස්සිය, මනො කර්මයයි කියමි.”
මෙසේ දීඝතපස්සි නිගණ්ඨක ද භාග්‍යවතුන් වහන්සේ මේ කීමෙහි තුන්වෙනි වර දක්වා පිහිටුවා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍ර හුන් ඔහුගේ ආරාමයට ගියේය.

[582: ” චේතනා හං භික්කවේ කම්මං වදාමි ” ලෙස වදාළ අයුරු සෑම කර්මයක්ම චේතනාවක් නිසා හට ගැනෙන් නිසාත්, කයෙන් හෝ වචනයෙන් අනපේක්ෂිතව විය හැකි කර්මයන් (නොදැක කුහුඹුවෙකු පෑගී ඒ සතා මරණයට පත් වීම ආදී ක්‍රියා ) අකුසල ඝනයට අයත් නොවේ. කෙසේ වෙතත් මිච්චා දිට්ඨිය ගත් කල නියත මිච්චා දිට්ඨිය තරම් භයානක අකුසලයක් නැති බව අංගුත්තර නිකායේ සුත්‍ර කිහිපයකමද මජ්ජිම නිකායේ අපන්නක සුත්‍රයේද දක්වා ඇත.]

§ 5. එවිට නිගණ්ඨනාත පුත්‍රයන් උපාලි ගෘහපතියා ප්‍රධාන කොට ඇති බාලක නම් ගම් වැසි මහත්වූ ගිහි ශ්‍රාවක පිරිසක් සමග කතා කරමින් සිටියේය. නිගණ්ඨනාත පුත්‍ර එන්නාවූ දීඝතපස්සී දුරදීම දැක මෙසේ ඇසීය.
“තපස්සිය, නුඹ මේ මද්දහනේ කොහි සිට එන්නෙහිද?”

“ස්වාමීනි, මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“තපස්සිය, ශ්‍රමණ ගෞතමයන් හා සමග තොපගේ කිසි යම් කථාබහෙක් වූයේද?”

“එසේය, ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් හා සමග මාගේ කථා බහෙක් වූයේය.”
“තපස්සිය, ශ්‍රමණගෞතමයන් හා සමග තොප කුමක් ගැන කථා බහ කෙලේද?”


එකල්හි දීඝතපස්සී නිගණ්ඨයා භාග්‍යවතුන් වහන්සේ සමග පැවැත්වූ කථා සල්ලාපය සම්පුර්ණයෙන්ම , නිගණ්ඨනාත පුත්‍රයාට කීයේය. මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්ත දීඝ තපස්සි
නිගණ්ඨයාට මෙය කීයේය.

“තපස්සිය, යහපත, යහපත, මනා කොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේම දීඝතපස්සී නම් නිගණ්ඨයා විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරණලදී. මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සසඳන විට අල්පවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්ම කිරීමට පාප කර්මයාගේ පැවැත්මට ඉතා දැඩිවම බල පාන්නේය. වාක් දණ්ඩය එසේ නොවේ. මනෝ දණ්ඩය එසේ නොවේයයි” කීයේය.

§ 7. 
මෙසේ කී කල්හි උපාලි ගෘහපතියා නිගණ්ඨනාත පුතතට මෙසේ කීයේය.
“ස්වාමීනි, තපස්සී කල දේ ඉතා යහපත, යහපත, මනාකොටම ශාස්තෘහුගේ ශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකු විසින් කිව යුතු පරිදි පින්වත් තපස්සී විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලදී.

මේ මෙසේ මහත්වූ මේ කාය දණ්ඩය හා සසඳනවිට, ලාමකවූ මනො දණ්ඩය කුමක්ද? කාය දණ්ඩයම පාපකර්මය කිරීමට, පාප කර්මයාගේ පැවැත්මට ඉතා මහත් වරද වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩය එසේ නොවේ.

ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය ආරෝපනය කරන්නෙමි. ඉදින් මට ශ්‍රමණ ගෞතම තෙමේ පින්වත් තපස්සී විසින් යම්සේ (ඒ කීමෙහි) පිහිටුවන ලදද, එසේ පිහිටන්නේ නම් යම්සේ බලවත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවෙකු ලොම් වලින් ගෙන මෙහාට අදින්නේද, තල්ලු කරන්නේද, එහාමෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට අදින්නෙමි. තල්ලු කරන්නෙමි. එහාට මෙහාට අදින්නෙමි. යම්සේ නම් බලවත්වූ හණ වැහැරි සෝදන්නෙක් මහත්වූ සොණ්ඩිකා කළාලයක් (හණමිටියක්) ගැඹුරුවූ දියවිලෙහි බහා කොන්ගෙණ අදින්නේද, එහාට අදින්නේද මෙහාට අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අදින්නෙමි. එහාට අදින්නෙමි. මෙහාට අදින්නෙමි. එහා මෙහා අදින්නෙමි.

“යම්සේ නම්බලවත් වූ සුරා ධූර්තයෙක් රා පෙරන මටුලු කස්ස කොන් අල්වාගෙණ යටට පිඹින්නේද, ඉවතට පිඹින්නේද, නැවත නැවත ගසාදමන්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදකොට පාතට පිඹින්නෙමි. බැහැරට පිඹින්නෙමි. ගසාදමන්නෙමි.

යම්සේ හැට අවුරුදු වයස්වූ හස්තියෙක් ගැඹුරුවූ පොකුණකට බැස හණ දොවීම නම් ක්‍රීඩාව කෙරේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් හණ දොවීම ක්‍රීඩා කරවන්නෙමි. ස්වාමීනි, එබැවින් මමද යමි. ශ්‍රමණ ගෞතමයන්හට මේ කාරණයෙන් වාදය නගන්නෙමියි” කීයේය.

“ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨයා හෝ නුඹ හෝ (වාද කරන්නේයයි ” කීය.

§ 8
.මෙසේ කී කල්හි දීඝතපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්තට මෙසේ කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපතිනට ශ්‍රමණ ගෞතමයන් හා වාදයට යැවීම සුදුසු නොවේ යයි මම සිතමි. ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් මායා දන්නේය. අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකයන් තමනට හරවාගනීද, එබඳුවූ පෙරළීම කරන්නාවූ මායාවක් හෙතෙම දනීයයි” (කීය)

” තපස්සිය, උපාලි ගෘහපතිහු කිසි දාක වත් ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකයෙකු බවට පැමිණෙන්නේය යන්න කිසිදා නොවන්නේය. ඊට කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියාගේ ශ්‍රාවක බවට පැමිණෙන්නේය යන්න නම් සිදු විය හැක. , මෙයට නම් කරුණු ඇත්තේය.

ගෘහපතිය, යව. නුඹ ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ කාරණයෙන් වාදකරව. ගෘහපතිය, එක්කෝ මම හෝ ශ්‍රමණ ගෞතමයාහට වාදය නගන්නෙමි. එක්කෝ දීඝතපස්සි නිගණ්ඨතෙමේ හෝ එසේ කරන්නට යුතුව ඇත්තේය. එසේනම් උපාලිය නුඹ හෝ එසේ කෙරෙහියයි” කීයේය.

දෙවනුවද තෙවෙනුවද, දීඝ තපස්සී නිගණ්ඨතෙම නිගණ්ඨනාත පුත්‍රයාට, උපාලි ගෘහපතියා භවත් ගෞතමයන් හමුවීමට නොයවන ලෙස කීවත් නිඝන්ට නාථ පුත්ත එය පිලි නොගත්තේය. ගෘහපතිය, මම හෝ ශ්‍රමණ ගෞතමයන්හට වාදය නගන්නෙමි. දීඝ තපස්සී නිගණ්ඨ තෙම හෝ නගන්නේය. නුඹ හෝ එසේ කරන්නෙහියයි” කීයේය.

§ 9. “ස්වාමීනි, එසේයයි” කියා උපාලි ගෘහපතිතෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තරදී නමස්කාර කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් පාවාරික නම් අඹ උයන වෙත ගියේය. එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් සිට, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේද?”
“ගෘහපතිය, දීඝතපස්සී නිගණ්ඨ තෙම මෙහි ආයේයයි” වදාළහ.
“ස්වාමීනි, ඔබ වහන්සේගේ දීඝතපස්සී නිගණ්ඨයා සමග කිසියම් කථාබහෙක් වීදැයි” ඇසීය. “ගෘහපතිය, පසුගියදා දීඝතපස්සී නිගණ්ඨ සමග මාගේ කථාබහෙක් වීයයි” වදාළේය.
“ස්වාමීනි, දීඝතපස්සී නිගණ්ඨ සමග ඔබ වහන්සේ කෙබඳු කථාවක් වීදැයි” ඇසීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝතපස්සී නිගණ්ඨ සමග වූ කථාසල්ලාපය සම්පුර්ණයෙන්ම උපාලි ගෘහපති හට කීහ.

§ 10. 
මෙසේ කී කල්හි උපාලි ගෘහපතිහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, යහපත, යහපත, තපස්සී නිඝන්ටහු මනාකොටම අප ශාස්තෘහුගේ අනුශාසනය දන්නාවූ උගත් ශ්‍රාවකයෙකි. අප ශාස්තෘන් විසින් අපට ඉගැන්වූයේ යම් සේද එපරිද්දෙන්ම දීඝතපස්සී නිගණ්ඨ විසින් භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරණලදී.
“මෙසේ මහත්වූ මේ කායදණ්ඩය හා සසඳන විට ලාමකවූ මනොදණ්ඩය කුමක්ද? පාපකර්මය කිරීමට පාප කර්මයාගේ පැවැත්මට කායදණ්ඩයම ඉතා මහත් වරදවේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනොදණ්ඩය එසේ නොවේය”යි කීයේය.
“ගෘහපතිය, ඉදින් නුඹ සත්‍යයෙහි පිහිටා කථාකරන්නට කැමති නම් මේ ගැන අප හා කථා සල්ලාපය වන්නේය”යි වදාළහ.

“ස්වාමීනි, මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා”යි කීයේය.

§ 11. 
“ගෘහපතිය, මෙයට පිළිතුරු දෙව.
නාථ පුත්ත ගේ ශ්‍රාවක යම් නිගණ්ඨයෙක් කිසියම් රෝගයක් ආබාධයක් නිසා දැඩි සේ ඔත්පලව සිටියදී සිහිල් ජලය සමග යම් ඖෂධයක් ගන්නැයි වෙදුන් කියයි. ඒ රෝගී වූ නිඝන්ටයා සිසිල් දිය පී සුව වන්නට රිසි මුත්, නාථ පුත්තගේ සීලයන් අනුව ඔහු සිහිල් දිය බීමෙන් වැළකී උණු දිය පමණක් ගත යුතු වේ. හෙතෙම සිහිල්දිය නොලබන්නේ කළුරිය කරන්නේය. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍ර මොහු කොතැන්හි උපදීයැයි දක්වන්නේද?” 583

[583: සිසිල්, උණු නොකළ ජලයේ ප්‍රානි සතුන් ඉන්නා නිසා ඒ පානය කිරීම පාපයක් යයි නාථ පුත්ත උගන්වයි. සිසිල් දිය නොබීමෙන් ඔහු ගේ කය දණ්ඩය පිරිසිදුය. සිසිල් දිය එපාය කීමෙන් අචි දන්දයත් පිරිසිදුව. නමුත් සිසිල් දිය බී හො දිවි රැක ගනිමියි සිතන නිසා මනෝ දණ්ඩය අපිරිසිදුය. ඒ නිසා ඔහු මනෝසත්ත දෙවියෙක් ව උපදී.]

“ස්වාමීනි, මනොසත්ත නම් දෙවි කොටසක් ඇත්තේය. හෙතෙම එහි උපදියි.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, හෙතෙම සිසිල් දිය ගැන සිතමින් කළුරිය කල නිසාය ”යයි කීයේය.

“ගෘහපතිය, ගෘහපති, කල්පනාකොට ප්‍රකාශකරව. නුඹගේ පළමු කීම හා පසුව කීම හෝ පසුව කීම හා පළමු කීම හෝ නොගැළපේ. ගෘහපතිය, ‘ මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’ යයි තොප විසින් කියන ලද්දේය.

“ස්වාමීනි, ඔබ වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපයට හේතු වේ. පාපයෙ පැවැත්මට එයම ප්‍රධාන වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩයද එසේ නෙවේ”යයි කීයේය.

§ 12
. “ගෘහපතිය, මෙයටද පිළිතුරු දෙව.
මේ ලෝකයෙහි නිගණ්ඨයෙක් සතර ආකාර සංවරයෙන් සංවරවූයේ එනම් ,

සියලු පව්වලින් වැළකීමෙන්
වලකින ලද පව් ඇත්තේ සියලු පව්වලින් වැලකීමෙන් යුක්ත වූයේ,
සියලු පවින් වැලකීමෙන් දුරුකරන ලද පව් ඇත්තේ,
සියලු පවින් වැලකීමෙන් ස්පර්ෂ කරන ලද්දෙක් වන්නේය.

හෙතෙම ඉදිරියට ගමන් කරන්නේද පස්සට ගමන් කරන්නේද බොහෝවූ කුඩා සතුන් නසයි. ගෘහපතිය, නිගණ්ඨනාත පුත්‍රතෙම මොහුට කවර විපාකයක් දක්වාදැ”යි ඇසූහ.
“ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍රතෙම නොසිතා කළ කර්මය මහා සාවද්‍ය (මහත්වූ වරද) යයි නොදක්වන්නේය”යි කීයේය.
“ගෘහපතිය, ඉදින් සිතා මතාම එසේ කරයි නම්, කෙසේද?)\
“ස්වාමීනි, එවිට එය මහා සාවද්‍යවේ.”
“ගෘහපතිය, නිගණ්ඨනාත පුත්ත චෙතනාව කවර දණ්ඩයෙක්හි අඩංගු කෙරේද?”
“ස්වාමීනි, මනොදණ්ඩ කොටසෙහිය”යි (කීයේය).

“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට පිළිතුරු දෙව.
නුඹගේ පළමු වචනය හා පසුව කී වචනයද පසුව කී වචනය හා පළමු කී වචනයද නොගැළපේය. ගෘහපතිය, ‘ මම සත්‍යයෙහි පිහිටා කථා කරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි තොප විසින් කියන ලදි.”
ස්වාමීනි, ඔබ වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපයට හේතු වේ. පාපයෙ පැවැත්මට එයම ප්‍රධාන වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩයද එසේ නෙවේ”යයි කීයේය

§ 13 .“ගෘහපතිය, මෙයටද පිළිතුරු දෙව?

මේ නාලන්දාව සමෘද්ධිමත් වූ බොහෝ ජනයා ගැවසීගත්, බොහෝ වැසියන් වාසය කරන විසාල නගරයක් නොවේද ?”
“ස්වාමීනි, එසේය. මේ නාලන්දාව සමෘද්ධි වූ , ඉතා සමෘද්ධි වූ, බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් නගරයක් වේ.
“ගෘහපතිය,
ඔසවාගත් කඩුවක් අතින් ගත් පුරුෂයෙක් නගර මද්‍යයේ සිට කඩුව අමෝරා මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර ඉන්නා සියලු ප්‍රාණීහු , එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්නෙමි’යි කියන්නේය.
ගෘහපතිය, ඔබ කෙසේ සිතන්නේද? ඒ පුරුෂයාට මේ නාලන්දා නුවර සියලු ප්‍රාණීහු එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට සමර්ථ වේද?”
“ නැත. ස්වාමීනි, පුරුෂයන් දසදෙනෙකුත් විසිදෙනෙකුන් තිස් දෙනෙකුත් හතලිස් දෙනෙකුත් පණස් දෙනෙකුටත් මේ නාලන්දා නුවර ඉන්න සියල්ලෝ එක ක්ෂණයකින් එක මොහොතකින් එකම මස් ගොඩක් එකම මස් රැසක් කරන්ට අසමර්ථ වෙත්. ලාමකවූ එක් පුරුෂයෙක් කෙසේ නම් සමර්ථ වේද” “ගෘහපතිය, එසේ නම් මෙයට පිළිතුරු දෙව.

යම්සේ සිත දියුණුකළ මහා ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් ඍෂි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහි එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර එකම සිත දූෂ්‍යවීමකින් හළු කරන්නෙමි’යි කියන්නේය. ගෘහපතිය, ඔබ කුමකැයි සිතන්නේද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් එම සෘෂි වරයා මේ නාලන්දා නුවර එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථ වේද?”

ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙහි එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘මම මේ නාලන්දා නුවර එකම සිත දූෂ්‍යවීමකින් හළු කරන්නෙමි’යි (කියන්නේය). ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඍද්ධිබල ඇති, හිත වසඟ කරගත් එ මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ මේ නාලන්දා නුවර එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථ වේද?”
“ස්වාමීනි, නාලන්දාව වැනි නුවරවල් දසයකුදු විස්සකුදු තිහකුදු හතලිහකුදු පණසකුදු පවා සිත වසඟ කරගත් ඒ සෘෂි වරයා එකම සිත් දූෂ්‍යවීමකින් හළු කරන්ට සමර්ථවේ. කුඩාවූ එකම නාලන්දා නුවර ගැන කියනු කිම?”

“ගෘහපතිය, ගෘහපතිය, කල්පනා කොට කියව. නුඹගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේමය. ගෘහපතිය, ‘ මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාපය වේවා’යි මේ වචනය තොප විසින් කියන ලද මය.”
ස්වාමීනි, ඔබ වහන්සේ මෙසේ කියන නමුත් කායදණ්ඩයම පාපයට හේතු වේ. පාපයෙ පැවැත්මට එයම ප්‍රධාන වේ. වාක්දණ්ඩය එසේ නොවේ. මනො දණ්ඩයද එසේ නෙවේ”යයි කීයේය

§ 14 “ගෘහපතිය, මෙයට පිළිතුරු දෙව.”
දණ්ඩ කාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය යන තැන්වල තිබු මහා ගම නියම ගම් විනාස වී ඒ තැන්වල මහවනයන් ඇති වූ සැටි මහා වනයන් වූ සැටි නුඹ අසා තිබේද?
“ස්වාමීනි, එසේය. දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශ වී මහා වනයන්වූ සැටි මා විසින් අසන ලදී.
“ගෘහපතිය, කවර කාරණයකින් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යරණ්‍යය, මාතංගාරණ්‍යය ගම් විනාශවී මහ වන වූයේ දැයි තොප විසින් අසන ලදද?”
“ස්වාමීනි, ඍෂීන්ගේ සිත් දූෂ්‍යවීමෙන් ඒ දණ්ඩකාරණ්‍යය, කාලිංගාරණ්‍යය, මෙද්ධ්‍යාරණ්‍යය, මාතංගාරණ්‍යය, ගම් විනාශ වී ආරණ්‍යය වීයයි මෙය මා විසින් අසනලදී.”

“ගෘහපතිය, ගෘහපතිය, කල්පනාකොට කියව. තොපගේ පළමු කීම හා පසුව කීමද පසුව කීම හා පළමු කීමද නොගැළපේ. ගෘහපතිය, ‘මම සත්‍යයෙහි පිහිටා කථාකරන්නෙමි. මෙහි අපගේ කථා සල්ලාපය වේවා’යි තොප පළමුව කියන ලදියි” වදාළහ.

§ 15. “ස්වාමීනි, මම ඔබවහන්සේ දැක්වූ පළමු උපමාවෙන්ම මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සතුටු සිත් ඇත්තේ පැහැදුනෙමි. එතකුදු වුවත් මම මේ භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරුවූ ප්‍රශ්න විසඳීම් අසනු කැමැත්තේම මම භාග්‍යවතුන්වහන්සේට විරුද්ධව වාද කථා කළ යුතුයයි සිතුවෙමි.

ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ස්වාමීනි,

මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි. අද පටන් මා දිවිහිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා”යි කීයේය .

§ 16
.“ගෘහපතිය, ඉක්මන් නොවේව. තොප වැන්නෙක් හොඳින් විභාග කොට, තවත් විමර්ශනය කොට සුදුසු තීරණය ගැනීම සුදුසු වේ. සිතා බලා කිරීම නුඹ වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට සුදුසු වේ” යයි වදාළහ .

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ‘සිතා බලා සුදුස්සක් කරව, සිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වෙ යයි,” මට මෙසේ කීයේද, මේ කාරණයෙනුත් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම පැහැදුනෙමි. සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි.

ස්වාමීනි, අන්‍ය තීර්ථකයෝ වූකලී මා වැනියකු ශ්‍රාවකයෙකු වශයෙන් ලැබී නම්, “උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිණියේය”යි සියළු නාලන්දා නුවර පුරා කොඩි නංවන්නාහුය. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ. ‘ගෘහපතිය, හිතා බලා සුදුස්සක් කරව. හිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිද්ධ මිනිසුන්ට යහපත් වේ’ කියායි. ස්වාමීනි, මම දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි කීයේය

§ 1
7 .“ගෘහපතිය, නුඹ බොහෝ කලක පටන් නිගණ්ඨයන්ට උවැටන් කළෙහිය. නුඹේ නිවාස නිඝන්ටකයන් ට පිළියෙල කළ ලිඳක් (පැන්මඩුවක්) මෙන් විය. එහෙයින් ගෙට ආවාවූ ඔවුන්ට ආහාර දිය යුතුයයි හඟින්නෙහිය”යි වදාළහ.

“ස්වාමීනි මට භාග්‍යවතුන් වහන්සේ ‘ගෘහපතිය, බොහෝ කලක් තොපගේ කුලය නිගණ්ඨයන්ට පිළියෙල කළ ලිඳක් මෙන් වීද, එහෙයින් පැමිණියාවූ ඔවුන්ට ආහාරය දිය යුතු කොට හඟින්නෙහිය’යි මෙසේ වදාළේද, මෙයින්ද මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩියක්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි.

“ස්වාමීනි, මා කලින් අසා තිබුනේ ‘ශ්‍රමණ ගෞතමයන්, මටම දානය දිය යුතුයි අන්‍යයන්ට දානය දිය යුතු නොවේ. මගේම ශ්‍රාවකයන්ට දානය දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දානය දිය යුතු නොවේ. මටම දෙන ලද්ද මහත් ඵල වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල වෙයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵල නොවේය’යයි කියන්නේ’ යි කියාය. එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මා නිගණ්ඨයන් හටද දීමෙහි සමාදන් කරවයි. ස්වාමීනි, එහෙත් ඒ දීමෙහි අපි මෙහි කල් දනිමු. ස්වාමීනි, ඒ මම තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි). භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා”යි කීයේය.

§ 1
8 .ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගෘහපතියාහට පිළිවෙල කථාව වදාළේය. එනම්
(i) දානය පිළිබඳ කථාය,
(ii) සීලය පිළිබඳ කථාය,
(iii) ස්වර්ගය පිළිබඳ කථාය,
(iv) පඤ්ච කාමයන්ගේ දොෂය, ලාමක බව, කෙලෙසීම ගැන කතාය,
(v) නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසය පිලිබඳ කතා ප්‍රකාශ කළහ.

උපාලි ගෘහපතියා කෙලෙස් හීනවී, නීවරණ වලින් මිදීමට සුදුසු සේ මෘදු සිත් ඇත්තකු නීවරණයන් පහව ගිය සිත් ඇත්තකු, ඔද වැඩි සිත් ඇත්තකු, ප්‍රශන්න සිත් ඇත්තකුය, ධර්මාවබෝධය පිණිස සිත් නමන්නට හැකි මනෝ ස්වභාවයට පත්ව ඇත්තේ යයි දැනගත් කල භාග්‍යවතුන් වහන්සේ තමන් විසින්ම අවබොධ කරගන්නාලද දුකය, දුකට හේතුය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්ගය යන චතුස්සත්‍ය ධර්මයක් වේද, එය ප්‍රකාශ කළහ.

යම්සේ නම් සියලු පැල්ලම් පහව ගිය, සෝදා පිරිසිදු කල රෙද්දක් මනාකොටම රජනය සායම අල්වා ගන්නේද, එපරිද්දෙන් උපාලි ගෘහපතියාට ඒ ආසනයෙහිම හිඳ, යම් කිසිවක් හටගැණීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේය යන රාගාදී රජස් රහිතවූ පහවූ රාගාදී මළ ඇති ධර්ම චක්ෂුස (සොතාපත්ති මාර්ග ඥානය) පහල වූයේය.

ඉක්බිති උපාලි ගෘහපති තෙම දක්නා ලද ආර්‍ය්‍ය සත්‍ය ධර්ම ඇත්තේ පැමිණෙනලද සත්‍ය ධර්ම ඇත්තේ, දැන ගන්නා ලද සත්‍ය ධර්ම ඇත්තේ, බැසගත් සත්‍ය ධර්ම ඇත්තේ, තරණය කළාවූ සැක ඇත්තේ, පහවගියාවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, දැන් අපියමු. අපි බොහෝ කෘත්‍ය ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමු.”
“ගෘහපතිය, නුඹ දැන් ඊට කාලය දනුව”යි (වදාළහ.)

§ 19
. ඉක්බිත්තෙන් උපාලි ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ ස්වකීය ගෘහයට ගියේය. ගොස් දොරටු පාලයා කැඳවා,
“යහළු දොරටු පාලය, අද පටන් නිගණ්ඨයන්ට හා නිගණ්ඨීන්ට දොර වසමි. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරමි. ඉදින් කිසියම් නිගණ්ඨයෙක් ආවේ නම් මෙසේ කියව, “ස්වාමීනි, සිටුව මැනව, ඇතුල් නොවෙව, අද පටන් උපාලි සිටානෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගණ්ඨියන්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂූණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් ඔබට ආහාර අවශ්‍යය නම් මෙහි සිටුව මැනව, මෙහිම ඔබට ආහාර ගෙනෙන්නාහුය’යි කියව.
“එසේය ස්වාමීනි”යි දොරටු පාල තෙම උපාලි සිටුහට උත්තර දුන්නේය.

§ 20
දීඝතපස්සී නිගණ්ඨ , උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන්න ඇසුවේය. ඉක්බිති දීඝතපස්සී, නිගණ්ඨනාත පුත්ත වෙත ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. “ස්වාමීනි, උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. යි මා අසන ලදී.”
“තපස්සිය, උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක කිසිදා නොයයි. තපස්සිය, නුඹ යව. උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි දැනගනුව”යි (කීයේය)

§ 2
1 . එකල්හි දීඝ තපස්සී උපාලි ගෘහපති ගේ ගෘහය වෙත ගියේය. දොරටුපාලයා එන්නාවූ දීඝ තපස්සී දුරදීම දැක දීඝ තපස්සීට මෙසේ කීයේය.
“ස්වාමීනි, සිටිනු මැනව. ඇතුල් නොවෙනු මැනව. අද පටන් උපාලි සිටානෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය…. නිගණ්ඨයන්ටද නිගණ්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් මෙහිම සිටිනු මැනව. මෙතැනට ගෙනෙනවා ඇතැ”යි කීයේය.

“ඇවැත්නි, මට ආහාරයෙන් ප්‍රයොජනයක් නැතැ”යි කියා පෙරළා නිගණ්ඨනාත පුත්ත වෙත ගොස්, මෙය කීයේය.

‘ස්වාමීනි, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය යන ආරංචිය සැබෑය.’
“ස්වාමීනි, උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපනය කරන්න ට යවන්යනට එපාය, ස්වාමීනි, ශ්‍රමණ ගෞතම මායා කාරයෙක. යම් මායාවකින් අන්‍යතීර්ථකයන්ගේ ශ්‍රාවකයන් පෙරළා ගනීද, එබඳු පෙරළාගන්නා මායාවක් දනීය”යි මා කීවිට ඔබවහන්සේගෙන් ඊට එකඟ නොවී උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් වෙත යැවූ නිසා භවත් ගෞතමයන් ආවර්තනි මායාවෙන් පෙරළා ගන්නාලද්දේමයයි” කීයේය.

“තපස්සිය,මම ඔබ කියන්නාක් විශ්වාස නොකරමි. එබැවින් මමද යමි. ඉදින් උපාලි ගෘහපතිතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේ හෝ වේද, නොපැමිණියේ හෝ වේදැයි මමම දැන ගනිමි”යි කීයා, නිගණ්ඨනාත පුත්තයන් මහත්වූ නිගණ්ඨ පිරිස හා සමග උපාලි ගෘහපතියාගේ ගෘහය වෙත ගියේය.

දොරටු පාලයා එන්නාවූ නිගණ්ඨනාත පුත්‍රයා දුර දීම දැක නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය. “ස්වාමීනි, සිටිනු මැනව ඇතුළු නොවෙනු මැනව. අද පටන් උපාලි සිටුතෙම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක බවට පැමිණියේය. නිගණ්ඨයන්ටද නිගන්ඨින්ටද දොර වසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂූන්ටද භික්ෂුණීන්ටද උපාසකයන්ටද උපාසිකාවන්ටද දොර හරිනලදී. ස්වාමීනි, ඉදින් නුඹ වහන්සේට ආහාරයෙන් ප්‍රයෝජන ඇත්තේනම් මෙහිම සිටිනු මැනව මෙතැනට ගෙනෙනවා ඇතැයි” කීය.

“යහළු දොරටු පාලය එසේවීනම්, උපාලි ගෘහපති වෙත ගොස් මෙසේ කියව. නිගණ්ඨනාත පුත්ත මහත්වූ නිගණ්ඨ පිරිස සමග දොරටුවෙන් පිටත සිටින්යේය. ඔහු නුඹ වහන්සේගේ දැකීමට කැමැත්තේයයි. කියව” යි කීහ.
“එසේය ස්වාමීනි” කියා දොරටු පාලක උපාලි ගෘහපතියා වෙත ගොස් ඒ බව දැන් වූ විට
“යහළු දොරටු පාලය, එසේ වී නම් මද්ධ්‍යම ද්වාරශාලාවෙහි ආසන පනවවයි” කීය. “එසේය ස්වාමීනි,” කියා දොරටු පාලතෙම උපාලි ගෘහපතියාට උත්තරදී, මද්ධ්‍යම ද්වාර ශාලාවෙහි අසුන් පනවා උපාලි ගෘහපති දන්වා . “ස්වාමීනි, මැදවූ දොරටු ශාලාවෙහි නුඹ වහන්සේට අසුන් පනවන ලදහ. එයට දැන් කල් දන්නෙහියයි” කීයේය.

§ 23.
ඉක්බිති උපාලි ගෘහපතිහු මැද ද්වාරශාලාවට ගොස් එහි මුල්ආසනයෙ හිඳ දොරටුපාලයාට මෙසේ කීය. “යහළු දොරටුපාලය, එසේවීනම් නිගණ්ඨනාත පුත්‍රයා කැඳවා එව”,
“එසේය ස්වාමීනි” කියා දොරටුපාල නිගණ්ඨනාත පුත්‍රයාද මහත්වූ නිගණ්ඨ පිරිසද මැද ද්වාර ශාලාව වෙත කැඳවා ගෙන පැමිණියේය. පෙරදී නිගණ්ඨනාත පුත්‍ර දුරදීම එන්නහු ඔහු දකීද, එවිට පෙර ගමන්කොට කැඳවාවුත්, එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උතුම්ද ප්‍රණීතද, එය උතුරු සළුවෙන් පිසදමා හාත්පසින් අල්වා ගෙන එහි නාථයන් හිඳුවාද, හෙතෙම දැන් එහි යම් ආසනයක් අග්‍රද, ශ්‍රෙෂ්ඨද, උත්තමද, ප්‍රණීතද, එහි තමන්ම හිඳ, නිගණ්ඨනාත පුත්‍රයාට මෙසේ කීයේය.
“ස්වාමීනි ආසන ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් හිඳගනු මැනව”යි කීය. )
මෙසේ කීකල්හි නිගණ්ඨනාත පුත්‍රතෙම උපාලි ගෘහපතියාට මෙය කීයේය.


“ගෘහපතිය, නුඹ උමතු වූයෙහිද? ගෘහපතිය, නුඹ ජඩවූ යෙහිද? ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වදාරොපනය කරන්නෙමි’යි කියා ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආවෙහිද?
ගෘහපතිය, යම්සේ අණ්ඩහාරක පුරුෂයෙක් (සතුන් කප්පාදු කරන්නෙක්) ගොස් තමාගේ අණ්ඩය උදුරා දමනු ලැබ එන්නේද, ගෘහපතිය, යම්සේ හෝ ඇස් උදුරන්නාවූ පුරුෂයෙක් ගොස් උදුරණලද ඇස් වලින් යුක්තව එන්නේද, ගෘහපතිය, එපරිද්දෙන්ම නුඹ ‘ස්වාමීනි, මම යමි. ශ්‍රමණ ගෞතමයන්ට වාදාරොපණය කරන්නෙමි’යි කියා ගොස් මහත්වූ වාද බැම්මකින් වෙළී ආයෙහිය ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන් විසින් නුඹව ආවර්තනී මායාවෙන් සිත් මායකොට පෙරළා ගත්තෙහිය”යි කීයේය.

§ 26 . “ස්වාමීනි, මේ ආවර්තනී මායාව නම් එය ඉතා හොඳය.590 ස්වාමීනි, ආවර්තනී මායාව යහපති. ස්වාමීනි, මාගේ ලේ නෑයෝ සියළු දෙනාම මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය මගේ ප්‍රියවූ,ලේ නෑයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.

[590: තමන් ලත් සෝතාපන්න ඵලය නිසා ලබන සුවය නිසා උපාලි ගෘහපතියා මෙසේ කීය යි අටුවාව දක්වයි.]

ස්වාමීනි, සියලු ක්ෂත්‍රියයෝ මේ ආවර්තනී මායාවෙන් පෙරළෙන්නාහු නම්, එය, ඒ සියලු ක්ෂත්‍රියයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.
ස්වාමීනි, ඉදින් සියළු බ්‍රාහ්මණයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම්, ඒ සියලු බ්‍රාහ්මණයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය,
ඉදින් සියලු වෛශ්‍යයෝද මේ ආවර්තනී මායාවෙන් පෙර ලෙන්නාහු නම්, එය සියලු වෛශ්‍යයන්ටද බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස වන්නේය.
ඉදින් සියලු ශුද්‍රයෝද මේ ආවර්තනී මායාවෙන් පෙරලෙන්නාහු නම් එය සියළු ශුද්‍රයන්ටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.
ස්වාමීනි, ඉදින් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද මේ ආවර්තනීමායාවෙන් පෙරලෙන්නේ නම්, එය දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයටද, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවටද බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.

ස්වාමීනි, එසේ වීනම් නුඹ වහන්සේට උපමාවක් කියන්නෙමි. මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන්ද කියූ දෙයෙහි අර්ථය දැනගනිත්.

§ 27
. “ස්වාමීනි, පෙරවූ දෙයක් කියමි. ජරාවට පත් වයස් ගතවූ මහළුවූ බ්‍රාහ්මණයෙකුගේ ගැබිණිවූ දරු ප්‍රසුතියට ලංවූ තරුණ අඹුවක් බමුණාට මෙසේ කීය.
‘බ්‍රාහ්මණය, නුඹ යව. මාගේ කුමාරයාට සෙල්ලම් කරනු ‘පිණිස කඩ පිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙව’ කියාය. ස්වාමීනි, මෙසේ කීකල්හි ඒ බමුණුතෙම ඒ මෙනෙවියට මෙසේ කීයේය.
‘පින්වතිය, දරුවා ඉපදුනු පසු මම ගෙන එමි. පින්වතිය, ඉදින් නුඹ කුමරෙකු වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරුවාට සෙල්ලම් කරනු පිණිස කඩ පිලෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙනෙන්නෙමි. පින්වතිය, ඉදින් නුඹ කුමරියක් වදන්නෙහි නම් නුඹගේ ඒ කුමරියට සෙල්ලම් කරන පිණිස කඩපිළෙන් වඳුරු පැටවියක් මිළදී ගෙණෙන්නෙමි’යි කීයේය.

“ස්වාමීනි, දෙවනුවද තෙවනුවද, ඔහු බිරිය
ට එමලෙසම කීවත්, ඇය යලිත් යලිත් බල කරන නිසා බමුණා කඩපිළෙන් වඳුරු පැටවෙකු මිළදී ගෙණවුත් ඇයට මෙසේ කීයේය. ‘පින්වතිය නුඹගේ දරුට සෙල්ලම් කරනු පිණිස නුඹට කඩපිළෙන් මේ වඳුරු පැටවා මිළදී ගෙන ආවෙමියි’ කීය. ස්වාමීනි, මෙසේ කීකල්හි ඇය ඒ බමුණාට මෙසේ කීය. ‘බ්‍රාහ්මණය, මේ වඳුරු පැටවා ගෙණ ගොස් රජක (සායම් ගාන්නා) වෙත ගොස් මෙසේ කියව. “යහළුව, , මම මේ වඳුරු පැටවා රන්වන් පාට සායමින් සායම් කර, නැවත නැවත සායම් පොවන ලද්දෙකු දෙපස මදින ලද්දෙකු කරනු කැමැත්තෙමියි.’ කියව.

ස්වාමීනි, ඉක්බිති ඒ බමුණා සිය බිරිය කෙරෙහි ඇලුම් ඇත්තේ ඒ වඳුරු පැටවා ගෙණ රජකයා වෙත ගොස් ඈ කී පරිදි කීවේය.. මෙසේ කීකල්හි රජකයා ඒ බමුණාට මෙසේ කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ වඳුරු පැටවා පාට කිරීමට කල හැකි මුත්, නැවත නැවත තලා පාට පෙවීමට හැකි නොවෙයි නැවත නැවත මැදීමට සුදුසු නොවේය’යි කීයේය.

“ස්වාමීනි, එපරිද්දෙන්ම අඥානවූ නිගණ්ඨයන්ගේ වාදය අඥානයන්ට පිටතින් පාට කිරීමට නම් සුදුසු මුත් නුවණැත්තන්ට එහි යෙදීමටවත් විමසීමටවත් සුදුසු නොවේ,

ස්වාමීනි, ඉක්බිති ඒ බ්‍රාහ්මණයා අළුත්වූ රෙදි දෙකක් ගෙන , රජකයා වෙත ගොස් ‘යහළුව, මේ අළුත් රෙදි දෙක රන්වන් පැහැයෙන් පාට කරව. නැවත නැවත තලා පොවන ලද්දක් දෙපස මදින්න’යි කීය. ස්වාමීනි, මෙසේ කී කල්හි රක්තපාණී නම් රජක පුත්‍රතෙම ඒ බමුණාට මෙය කීයේය. ‘ස්වාමීනි, නුඹගේ මේ අළුත් රෙදි දෙක සායම්, පෙවීමටද සුදුසුමය, නැවත තලා පඬු පෙවීමටද සුදුසුය මැදීමටද සුදුසුයයි’ කීය.

ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නුවණැත්තන්ට ප්‍රිය වේ මැයි. අඥානයන්ට ප්‍රිය නොවේ. නැවත නැවත යෙදීමටද සුදුසුවේ. විමසීමටද විමර්ශනයට ද සුදුසු වේයයි” කීයේය.

“ගෘහපතිය, මෙරට රජුන් ප්‍රධාන සියළු මහා ජනයා උපාලි ගෘහපති වූ තොප නිගණ්ඨනාත පුත්‍ර සාසනයේ ශ්‍රාවකයෙකැයි දනියි. ගෘහපතිය දැන් තොප කවරෙකුගේ ශ්‍රාවකයෙක්යි දෑ” යි ඇසීය.

මෙසේ කී කල්හි උපාලි ගෘහපතිහු හුන් අස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංසකොට, භාග්‍යවතුන් වහන්සේ ඉන්නා පැත්තට හැරී ඒ දෙසට දොහොත් මුදුන්දී වැඳ නිගණ්ඨ නාත පුත්‍රයාට මෙය කීයේය. “ස්වාමීනි, එසේ වී නම් මම යමෙකුගේ ශ්‍රාවකයෙක්ද යනු අසනු මැනව.


§  29 
[1] “මම, පණ්ඩිතවූ, පහවූ මොහය ඇති විශෙෂයෙන් බිඳිනලද පඤ්චචෙතොඛිල (පස්වැදෑරුම් හිතේ උල්) ඇති මාරයන් පරදවා ලබනලද විජය ඇති, නිදුක්වූ මනා සමවූ සිත් ඇති, වැඩුනාවූ ආචාර සිල් ඇති යහපත් ප්‍රඥා ඇති රාගාදී විෂම තරණය කළාවූ රාගාදීමල රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

[2] මම, සැක නැත්තාවූ සතුටු සිත් ඇත්තාවූ වමාරණ ලද කාම ගුණ ඇති, මෘදුවූ, කරනලද මහණදම් ඇති, අසහාය මනුෂ්‍යවූ අන්තිම ශරීරය ඇති මනුෂ්‍යවූ, උපමා රහිතවූ, පහවූ රාගාදි රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. 

[3] මම, සැක රහිතවූ දක්ෂවූ සත්වයන් හික්මවන්නාවූ උතුම් සාර්ථවාහකයෙකු බඳුවූ නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇත්තාවූ සැක රහිතවූ ආලොක කරන්නාවූ සිඳින ලද මානය ඇත්තාවූ වීර්‍ය්‍ය සම්පන්නවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. 

[4] “මම, නිසභවූ (සියල්ලන්හට ශ්‍රෙෂ්ඨවූ) ප්‍රමාණ රහිතවූ ගුණයෙන් ගැඹුරුවූ, නුවණට පැමිණියාවූ නිර්භය කරන්නාවූ ඤාණය ඇත්තාවූ, ධර්මයෙහි පිහිටියාවූ සංවර කරනලද ආත්මය ඇති, රාගාදී කෙලෙස් පහකළාවූ කෙලෙසුන්ගෙන් මිදුනාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[5] “මම කරුණු සතරකින් ශ්‍රෙෂ්ඨවූ, වනසෙනසුන් ඇත්තාවූ, විනාශ කරන ලද සංයෝජන ඇත්තාවූ, මිදුනාවූ, ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවූ, සෝදාහළ කෙලෙස් ඇත්තාවූ, මානය නැති කළාවූ, පහවූ රාග ඇති, දමනයවූ, ප්‍රපඤ්ච රහිතවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[6] “මම, සත්වන ඍෂිවූ, කුහකනොවූ, ත්‍රිවිද්‍යා ඇත්තාවූ, ශ්‍රෙෂ්ඨ බවට පැමිණියාවූ, සෝදාහළ කෙලෙස් ඇති, ගාථා පදකිරීමෙහි දක්ෂවූ, සැහැල්ලුවූ, දන්නාලද නුවණ ඇති, සියල්ලන්ට පළමු ධර්මදානය දුන්නාවූ, සමර්ථවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[7] “මම, ආර්‍ය්‍යවූ, වඩනාලද සිත් ඇති, පැමිණියයුතු ගුණයන්ට පැමිණියාවූ, විස්තරකොට අර්ථ ප්‍රකාශකරන්නාවූ, සිහි ඇත්තාවූ, විශෙෂයෙන් දක්නා නුවණ ඇති, අර්හත්වූ, දුෂ්ටනොවූ, තෘෂ්ණා රහිතවූ, වසඟභාවයට පැමිණියාවූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[8] “මම, යහපත් මාර්ගයට පැමිණියාවූ, ධ්‍යාන ඇත්තාවූ, කෙලෙසුන් විසින් අනුමානය නොකරණලද සිත් ඇත්තාවූ, පිරිසිදුවූ, නොබැඳුනාවූ, ප්‍රහීණ නොවූ, උතුම් විවෙකය ඇත්තාවූ, අග්‍ර බවට පැමිණියාවූ, තෙමේ එතෙරවූ, අනුන් එතෙර කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.
[9] “මම, සාන්තවූ, පොළොවක් මෙන් පතළාවූ නුවණ ඇති, මහත්වූ ප්‍රඥා ඇති, පහව ගියාවූ ලොභ ඇති, තථාගතවූ, මනා ගමන් ඇති, සමාන පුද්ගලයන් නැත්තවූ, අසමවූ, විශාරදවූ, නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. 
[10] “මම, සිඳිනලද තෘෂ්ණා ඇති, චතුස්සත්‍යය අවබොධ කළාවූ, පහවූ කෙලෙස් දුම් ඇති, තෘෂ්ණාදෘෂ්ටි තැවරීම් වලින් නොතැවරුණාවූ, පූජා පිළිගැනීමට සුදුසු වූ, ආනුභා සම්පන්නවූ, උත්තම පුද්ගලවූ, අසමවූ, මහත් වූ, යසසින් අග පැමිණියාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි”යි (කීයේය.) 

§ 30 .“ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ගුණයෝ යොදා  තොප විසින් කවදා මේ ප්‍රබන්ධය ගොතන ලද්දේද ?” 

“ස්වාමීනි, යම්සේ නොයෙක් මල් ඇති මහත්වූ මල් රැසක් වේද, එයින් දක්ෂවූ මාලාකාරයෙක් හෝ මාලාකාරයෙකුගේ අතවැසියෙක් හෝ විසිතුරු මල් මාලාවක් ගොතන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ නොයෙක් ගුණ ඇත්තාහ. නොයෙක් සිය ගණන් ගුණ ඇත්තාහ. ස්වාමීනි, කවරෙක් වනාහි ගුණ කියයුත්තාගේ ගුණ වර්ණනා නොකරන්නේදැ?”යි කීයේය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට කරන සත්කාරය ඉවසන්නට නොහැකිවූ නිගණ්ඨනාත පුත්‍රයාගේ මුවින් උණු ලේ පිට විය.599

[599: සිය ප්‍රධාන දායකයා තම සාසනය හැර භවත් ගෞතමයන්ට එකතු වීය යන්න නිඝන්ට නාථ පුත්තට දරාගත නොහැකි වනසේ ඔහුගේ කයේ දරුණු ආබාධයක් හටගත් බවත් මේ ලේ වමනය කිරීමන් පසු ඔහුව පාවා නුවරට වෛද්‍ය ප්‍රතිකාර පිණිස ගෙන ගියත් ඔහු කළුරිය කල බව අටුවාව කියයි. නාථ පුත්තගේ ජෛන ආගම ගැන ඉංගිරිසියෙන් ලියු ලිපියක් මෙහි ඇත.]

හයවෙනිවූ උපාලි සූත්‍රය නිමි. (1-6)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.