MN-I-5-10-මාර තජ්ජනීය සූත්‍රය

මඩිහේ පඥා සීහ මහා ස්වාමින්වහන්සේ කළ
සුත්‍රාන්ත දේශනය


§.1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගුනම් දනව්වෙහි, සුංසුමාරගිරි නම් නුවර, භෙසකලා නම් වනයෙහි වාසය කරති.

§.2.        එකල්හි මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එළිමහනෙහි සක්මන් කරමින් සිටියහ. එකල්හි පාපීවූ මාරතෙම මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ කුසට ඇතුල්වූයේ, ආමාශය ඇතුළට වැදුනේයැ.  එවිට මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුනේය. කුමක් හෙයින් මාගේ කුස උඳුබත් කෑ කලෙක මෙන් බරට දැනේද, (කියාය)

§ 3.           ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස විහාරයට වැඩ, පැණවූ අස්නෙහි,  වැඩහිඳ දියුණුකළ සතිය තම අභ්‍යන්තරයට යොදමින් පරීක්ෂා කළහ. එසේ පරීක්ෂාකරන මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සිය කුසට වැදී ආමාශයට ඇතුල්වූ, පාපීවූ මාරයා දුටහ. දැක, පාපීවූ, මාරයාට මෙසේ කීහ.

“පාපීය, නික්මෙව, පාපිය, නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයින්ට වෙහෙස නොකරව, නුඹට බොහෝ කලක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස, නොවේවා” යි කීහ.

§. 4.          එවිට  පාපීවූ මාරයා මෙසේ  සිත්විය. “මේ ශ්‍රමණයන් , මා නොදනී. නොදැනම නොදැකම  මෙසේ කීයේය. ඔහු තබා ඔහුගේ  ශාස්තෘන්ට වත් මෙපමණ ඉක්මනින් මා නොදකින්නේය.  මා දැන නොගන්නේය. මේ ශ්‍රාවකයා  කෙසේනම්  මා දක්නේද? දන්නේද”, කියායි.

§ 5.         එවිට  මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ පාපීවූ මාරයාට මෙසේ කීහ. “පාපීමාරය,  මම තා දනිමි. මා නොදනීයයි නුඹ නොසිතව. පාපිය, නුඹ මාරයා වුවෙහිය. නුඹේ සිතිවිල්ලද මම දනිමි.  නුඹ මෙසේ සිතයි. ‘මේ ශ්‍රමණයන්  මා නොදැනම, නොදැකම,… ” (කියායි.)

§ 6.           ඉක්බිති පාපීවූ, මාරයාට මෙසේ සිත්විය. “මේ ශ්‍රමණ යන්  මා දැනම, දැකම, පාපිය නික්මෙව, පාපිය නික්මෙව, තථාගතයන්ට වෙහෙස නොකරව, තථාගත ශ්‍රාවකයන්ට වෙහෙස නොකරව, ඔබට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස නොවේවා’යි කියන්නේය” (යනු වෙනි). ඉක්බිති පාපීවූ මාරතෙම ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ මුවින් නික්ම කුටියේ දොර අසල සිටගෙන සිටියේය.

§ 7.           ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුටියේ දොර  අසල සිටියාවූ, පාපීවූ, මාරයා දුටහ. දැක පාපීවූ මාරයාට මෙසේ කීහ. “මාරය ඔතනදීද මම තා දකිමි. මා නොදකීයයි නුඹ නොසිතව.  පාපිය, දැන් නුඹ දොර  අසල සිටින්නේය.

§ 8.        “පාපිය, පෙරවූවක් මම කියමි. එක් කලෙක  මම දූසීනම් මාරයෙක්වීමි.  මට කාලීනම් නැගනියක් විය. නුඹ ඇගේ පුත්‍රයා වීය.  නුඹ මාගේ බෑනා විය.

§  9.        මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු ලොකයෙහි පහළව සිටියහ. [මේ භද්‍ර කල්පයෙහි පහළවූ පළමු බුදුන් වහන්සේ කකුසඳ බුදුන් වහන්සේය. ඉන්පසු කෝණාගම බුදුන් වහන්සේද ඉන් පසු   සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ ද පහළ වුහ.]
මාරය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේට  විධුරය,  සඤ්ජිවය යන නම් ඇති අග්‍රශ්‍රාවක දෙනමක් විය. මාරය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ යම් පමණ ශ්‍රාවක සමූහයා අතුරෙන් ධර්ම දෙශනා කිරීමෙහි, විධුර ස්ථවිරයන් වහන්සේ හා සමානවූ කිසිවෙක් නොවූහ. මාරය මේ කාරණයෙන් ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේට, ‘විධුරය, විධුරය”, කියාම නාමය ප්‍රසිද්ධ විය.
“මාරය ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ වනගත වුයෙහි ද, වෘක්ෂ මුලයකට  ගියේද, ඉතා පහසුවෙන් නිරොධ සමාපත්තියට සමවදියි.

§ . 10.      මාරය, වරක්  ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ එක්තරා රුකක් මුල නිරොධ සමාපත්තියට සමවැදී සිටියහ.  ගොපල්ලෝද, එඩේරුන්ද, ගොවීන්ද,  පිරිසක් එතැනින් යනවිට මෙසේ සඥා නිරෝධයට පත්ව හිඳිනා ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්වහන්සේ දුටුවාහුය. උන්වහන්සේ අපවත්ව ඇතැයි සිතා උනට මේ අදහස විය. ‘ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි, පෙරනුවූ දෙයකි. මේ ශ්‍රමණයන් වහන්සේ  හිඳගෙන සිටිනා ඉරියව්වෙන්ම කලුරිය කෙළේය. එබැවින් ඔහු සිරුර මෙහිම ආදාහනය කරමු ’යි (කියාය) මාරය, ඉක්බිති ගොපල්ලෝද, ගොවියෝද, මගියෝද, එක්ව, තණ කොළද, දරද, වියලි ගොමද, ගෙනවුත් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන්ගේ ශරීරය මතුයෙහි දමා ගිනි අවුළුවා ගියාහුය.

§ 11 .  මාරය ඉක්බිති, ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ඒ සමවතින් නැගි සිට  සිවුරු ගසා දමා පෙරවරු කාලයෙහි පාසිවුරු ගෙන ගමට පිඩු පිණිස වැඩියහ. [අටුවාව: සමාපත්තියට පත් භික්ෂුන්වහන්සේ කෙනෙකුට කිසිදු අනතුරක් නොවන බවද ඒ තබා උන්වහන්සේගේ සිවුරු පිරිකර වලට වත් අනතුරක් නොවන බවද   විසුද්ධි මාර්ගයෙහි XXIII හි සඳහන්වේ. ]

මාරය, ගවපාලකයෝද, සෙසු සිවුපාවුන් රකින්නෝද, මගියෝද, පිඩු පිණිස හැසිරෙන ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටුවාහුය. දැක ඔවුන් මෙසේ කීහ. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. ඒකාන්තයෙන් මෙය ප්‍රාතිහාර්යයකි. මේ ශ්‍රමණයන්  හිඳගෙනම, කලුරිය කෙළේය. හෙතෙම නැවත ජීවත්වෙයි, (කියාය) මාරය, මේ කාරණයෙන් ආයුෂ්මත් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේට, ‘සඤ්ජීව, සඤ්ජීව, කියන  නාමය ඇති විය. [සංජීව ; නැවත උපන්නා].

§  12.     එවිට  දූසී නම් මාරයාට මෙසේ අදහසක් ඇති වීය.  “මේ සිල්වත්වූ යහ පත් ස්වභාව ඇති මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ [මියගිය බව හෝ නැවත ජීවිතය ලැබූ බවක්] මම නොදනිමි. එහෙයින් එවැනි සිල්වත් භික්ෂුන් තුල ක්ලේශයක් ඇති කරන්නේ නම් මට එවන් අවස්ථාවක් ලැබිය හැක. එසේ කරන්නට බ්‍රාහ්මණ ගෘහපතීන් මා වසඟයට ගෙන ඔවුන් ලවා මේ භික්ෂුන්ට දසවිධ බැණුම් වලින් බණිව් වචනයෙන් නින්දා කරන්නේ නම් , ගටන්නේ නම්, වෙහෙස කරන්නේ නම්, එසේ  බණිනු ලබන්නාවූ, නින්දාකරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ වෙහෙසනු ලබන්නාවූ, සිල්වත් භික්ෂුන්  සිතෙහි  මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක්, ඇති වන්නේ නම් මැනවි” කියායි. 

§  13.   “ඉක්බිති දූසී මාරයා   බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ විය. ඉක්බිති දූසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට බණිති, නින්දා කරති, ගටති, වෙහෙසති (කෙසේදයත්) [ : මාරයා මේ බ්‍රාහ්මණයන්ගේ මේ ක්‍රියාවන් ගැන  පුර්ණ පාලනය  නොලබන බවත් එසේ කලේ නම් එම කර්මයන්ගේ විපාක  බ්‍රාහ්මණයන්ට නොව මාරයාටම අත් වෙන බවත් අටුවාවේ අවධාරණය වෙයි. එනිසා භික්ෂුන් වහන්සේ ලා විෂම ක්‍රියා කරනු අනිසි කථා කරනු යැයි බ්‍රාහ්මණයන් උසි ගන්වා ඔවුන් අතර සංඝයා ගැන කලකිරීමක් ඇති කොට භික්ෂුන් වහන්සේලාට මෙසේ දෝශාරෝපනය කරවන්නට දුසී මාරයා ක්‍රියා කලේ ඒ මගින් භික්ෂුන් තරහ ගස්වා සාසනයෙහි කලකිරවීමටය.]
‘මොහු වනාහි මුඩුවූවෝය. ශ්‍රමණ ප්‍රතිරූපකයෝය. දාසයෝය. පව් කාරයෝය. මහා බ්‍රහ්මයාගේ යටි පතුලෙන් උපන්නෝය. ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’ යයි කියමින් බිම බලා ගත්තාහු, යටිකුරු කළ මුහුණ ඇත්තාහු, කම්මැලි වූවාහු, සිත සිතා සිටිත්. කල්පනා කරමින් සිටිත්.

“යම්සේ වනාහි බකමූණා ගසක අත්තටවී ගොදුරු පිණිස මීයෙකු පරීක්ෂා කරමින්, සිටිද එපරිද්දෙන්ම, මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකයන්වූ, දාසයන් වැනිවූ, පව්කාරවූ, මහා බ්‍රහ්මයාගේ යටිපතුළෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු අපි ධ්‍යාන ඇත්තෙමු’යි කියමින් බිම බලා ගෙන යටිකුරු කළ මුහුණ ඇතිව කම්මැලි කමින් සිත සිතා සිටිත්. [ ගෝපක මොග්ගල්ලාන සුත්‍රයෙහි ගෙන හැර දක්වා ඇත්තේ පංච නීවරණයන් ගෙන් සිත් කළඹා ගත් ලෙසක් මේ අපවාද වලින් දක්වන බවය.]

“යම්සේ බස්සෙකු අත්තක් උඩ හිඳ ගොදුරට ගන්නට සුදුසු මීයෙක් එන තුරු  සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවූහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලස වූවාහු සිත සිතා සිටිත්.English Version

යම්සේ  බළලා ගෙයි මුලුවලද වැසිකිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සැඟවී මීයෙකු එනතෙක් නිසොල්මන්ව සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්ම පාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි බෙල්ල නමා ගත්තාහු යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේ යෙදී සිටිත්.

“උසුලාගෙන ආ බරින් නිදහස්වූ කොටළුවෙක් තෙම, යම්සේ ගෙයි බිත්ති අයිනේද, වැසි කිළි අසල හෝ රොඩු ගොඩක් අසලද සිතිවිල්ලේ යෙදී සිටීද, එපරිද්දෙන් මුඩුවූ, ශ්‍රමණ ප්‍රතිරූපකවූ, දාසයන් වැනිවූ, පවිටුවූ, බ්‍රහ්මපාදයෙන් උපන්නාවූ මොවුහු ‘අපි ධ්‍යාන ඇත්තෙමු. අපි ධ්‍යාන ඇත්තෙමු’යි, බෙල්ල නමා ගත්තාහු, යටට හෙලු මුහුණු ඇත්තාහු, අලසවූවාහු, සිතිවිල්ලේයෙදී සිටිත්. විශෙෂයෙන් සිත සිතා සිටිත්. (කියායි)

“මාරය එකල්හි  එසේ ඒ සිල්වත් භික්ෂුන්ට අපවාද නැගු ඒ පවිටු මනුෂ්‍යයෝ කලුරිය කර  සැපයෙන් පහවූ දුක් ඇති නරකයෙහි උපදිති.

§  14,                    “මාරය ඉක්බිති අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. ‘මහණෙනි, දූසී මාරයා ‘එව්, තොප සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට බණිව්, නින්දා කරව්, ගටව්, වෙහෙසව්, තොප විසින් බණිනු ලබන්නාවූ, නින්දා කරනු ලබන්නාවූ, ගටනු ලබන්නාවූ, වෙහෙසනු ලබන්නාවූ, ඔවුන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් මැනව’යි බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවී සිටියි. මහණෙනි, එව් තෙපි, මෛත්‍රී සහගත සිත් එක් දිසාවක පැතිරවමින්  වාසය කරව්, එසේම දෙවෙනි දිශාවටද, එසේ තුන්වෙනි දිශාවටද, එසේම සතර වෙනි දිශාවටමෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිත්  පතුරුවා වාසය කරව්.

“කරුණා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද එසේම සතර වෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරව්.

“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන් වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරව්.

“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරව්ය’යි (වදාළහ) [ මෙත්තා කරුණා මුදිතා උපෙක්කා යන සතර බ්‍රහ්ම විහරණයන් අන්‍යන්ගේ අපවාදයන් ගර්හා කිරීම් වලක්වන්නට සේම තමන් තුල ඇති විය හැකි අමනාපය, තරහව , නොසන්සුන්කම ඇති නොකිරීමටත් මහෝපකාරී වේ.]

§  15.    “මාරය, ඉදින්  ඒ භික්ෂූහු, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු, ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයට ගියාහුද, ශුන්‍යාගාරයට ගියාහුද මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළහ. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වෙනි දිශාවද, එසේම සතරවෙනි දිශාවද මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කළහ.
“කරුණා සහගත සිතින් ……………..එක් දිශාවක් පතුරුවා වාසය කළහ. ………………, ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”
“මුදිතා සහගත සිතින් එක්දිශාවක් ………………………….ව්‍යාපාද රහිතවූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කළහ.”

පුජ්‍ය රිදියගම උන්දානන්ද හිමි කල සුත්‍ර විවරණය

§  16. “මාරය ඉක්බිති දුසීමාරයාට මේ අදහස ඇති විය. ‘මම මෙසේ කරන්නාවූද සිල්වත්වූ යහපත් ස්වභාව ඇති, මේ භික්ෂූන්ගේ ඊමක් හෝ යාමක් හෝ නොදනිමි. එනිසා මම යලිත්ය  බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවෙශ වී මෙවර සිල්වත් භික්ශුන්ට අපවාද කරනු නොව ප්‍රසංසා කරන්නේ නම් යෙහෙක. එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දුසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක, (කියාය) [මෙවර දුසි මාරයා තැත් කලේ භික්ෂුන් තුල උඩඟු බව,  අසතිය සහ මන්දෝත්සාහය ඇති කරවීමෙන් සිය බලය පැතිරීමය.] 

“මාරය, ඉක්බිති ඒ දූසී මාරයා වූ මා  බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවෙශවිමි.  ‘එව්, තොපි සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්, තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඒ භික්ෂූන්ගේ සිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇතිවන්නේනම් යෙහෙක’ (කියාය)

§   17.                    “මාරය, ඉක්බිති දුසී මාරයා ආවෙශවූ ඒ බ්‍රාහ්මණ ගෘහපතියෝ සිල්වත්වූ, යහපත් ස්වභාව ඇති භික්ෂූන්ට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්, පුදත්. මාරය, එකල්හි යම් ඒ මනුෂ්‍ය කෙනෙක් කලුරිය කරත්ද, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි බොහෝ සෙයින් උපදිත්.

§  18.                   “මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. මහණෙනි, බ්‍රාහ්මණ ගෘහපතීන්ට දූසී මාරයා ආවෙශවිය. එව් තොපි, සිල්වත්වූ යහපත් ගුණධර්ම ඇති භික්ෂූන්ට සත්කාර කරව්, ගරු කරව්, බුහුමන් කරව්, පුදව්. තොප විසින් සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ, ඔවුන්ගේ හිතෙහි දූසී මාරයාට ඉඩක් ලැබෙන පරිදි පෙරළීමක් ඇති වන්නේ නම් යෙහෙක කියාය. මහණෙනි, මෙහි එව්, තෙපි ශරීරයෙහි අශුභය අනුව දකිමින් වාසය කරව්, ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරව්, සියලු ලොකයෙහි නොඇලීම් සංඥා ඇතිව වාසය කරව්. සියලු සංස්කාරයන්හි, අනිත්‍යය අනුව දකිමින් වාසය කරව්.” (කියාය).  [ මේ සතර ආකාර භාවනා කර්මස්තානයන්, පිලිවෙලින් කාම රාගයෙන් වෙන් වීමට, රස තෘෂ්ණාව දුරු කර දැනීමට, ලෝකය කෙරෙහි ඇලීම නැති කරගන්නට, ලාභ , කීර්ති, ප්‍රශංසා කෙරෙහි ආසාව නැති කිරීමට නිර්දේශ වෙන බව අංගුත්තර නිකායේ දුතීය සඥා සුත්‍රයේ සඳහන් වේ.]

§  19.    “මාරය ඉක්බිති, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ මෙසේ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ භික්ෂූහු ආරණ්‍යයට ගියාහුද, වෘක්ෂ මූලයකට ගියාහුද, ශුන්‍යාගාරයකට ගියාහුද, කයෙහි අශුභය අනුව දකිමින් විසූහ. ආහාරයෙහි, පිළිකුල් සංඥා ඇතිව සියලු ලොකයෙහි, නොඇලීම් සංඥාව ඇතිව සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව දකිමින් වාසය කළහ.

§  20 .                 “මාරය, එකල්හි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙණ පිටුපසින් ගමන්කරන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ සමග පිඬු පිණිස ගමට පිවිසියහ.

§  21    .මාරය, ඉක්බිති දූසී මාරයා වූ මා, එක් ළමයෙකුට ආවෙශවී ගල්කැටක් ගෙන ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේගේ හිසට පහර දුන්නේය. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ  හිස පැලුනේය. මාරය, එසේ ආයුෂ්මත් විධුර ස්ථවිරයන් වහන්සේ පැළුණ හිසින් යුක්තව ගලන්නාවූ ලෙයින් යුක්තව අර්හත්වූ, සම්‍යක්සම්බුද්ධවූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස්සේම ගියහ. මාරය, ඉක්බිති අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ මේ දූසී මාරයා පමණ දැන නොගන්නේයැයි කියමින් නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) කළහ. මාරය ඒ බැලීම සමගම, දූසී මාරයා වූ මම, ඒ ස්ථානයෙන් චුතව මහ නිරයෙහි උපන්නේය. [ නාගාපලොකනය (ඇතෙකු මෙන් මුළු ශරීරයෙන් ආපසු හැරී පිටුපස බැලීම) බුදුන් වහන්සේට පමණක් කළ හැක්කැකි. දුසි මාරයා මැරුණෙත් බුදුන් වහන්සේ නාගාපලෝකනය කළ නිසා නොව රහතුන් වහන්සේ කෙනෙකුගේ ලේ සෙලවීම යන මහා ආනන්තරිය කර්මය කළ හෙයිනි.],  

 § 22  . ඒ මහ නිරයට නම් තුනක් වෙත්. ඊට “ජඵස්සායතනික” යයිද, “සංකුසමාහත” යයිද, “පච්චත්ත වෙදනීය” යයිද කියනු ලැබේ. ඉක්බිති මාරය, දුසි මාරැ වූ මා  කරා නිරය පාලයෝ පැමිණ මෙසේ කීහ. ‘යම් කලෙක නුඹගේ පපුවෙහි අනින්නාවූ යහුලින් යහුල එක්වන්නේද, එකල්හි නරකයෙහි පැසෙනු ලබන්නාවූ තට, අවුරුදු දහසක් සම්පූර්ණයයි දැනගනුව.” 

§  23.  මාරය, එසේ  මම බොහෝ අවුරුදු ගණන්, බොහෝ අවුරුදු සිය ගණන් බොහෝ අවුරුදු දහස් ගණන්, මහ නරකයෙහි පැසුනෙමි, ඒ දස දහසක් අවුරුදු ඒ මහනිරය පිළිබඳවූ, ඔසුපත් නිරයෙහි, (කර්ම විපාකයෙන් හටගත් වෙදනා හෙයින්) “චූට්ඨානිම” නම්වූ වෙදනාව විඳිමින් පැසුණෙමි. මාරය  මාගේ ශරීරය මිනිසෙකුගේ මෙන් විය. හිස මාළුවෙකුගේ මෙන් විය.

§  24.  “විධුර නම් අග්‍රශ්‍රාවකයින් වහන්සේද,
කකුසඳ භාග්‍යවතුන් වහන්සේද,
ගටා යම් තැනෙක, දූසී නම් මාරයා පැසුනේද,
ඒ නරකය, කෙබඳු වීද?

“විධුර අග්‍ර ශ්‍රාවකයින් වහන්සේද, කකුසඳ බුදුන්ද ගටා
යම් තැනක දුසීනම් මාරයා පැසුනේද,
එය සියල්ල තෙමේම වෙදනා උපදවන්නාවූ,
යවුල් සියයක් ඇති මෙබඳු නරකයක් විය.

“සර්වඥ ශ්‍රාවකවූ,  මොග්ගල්ලාන නම් භික්ෂුව තෙම,
මේ නිරයෙහි දුක් විභාගය දනීද,
මාරය, එබඳු භික්ෂුවක් ගටා
නුඹ දුකට පැමිණෙන්නෙහිය.

§  25. “මහාසමුද්‍රය මැද දියමතුපිට පිහිටියාවූ,
කල්පයක් පවතින්නාවූ
වෛඩූර්‍ය්‍ය වර්ණ ඇත්තාවූ,
සිත්කලුවූ, පර්වත මුදුනෙහි බබලන ගිනි කඳක්සේ රශ්මියෙන් යුක්තවූ,
දිලිසෙන දිව්‍ය විමානයෝ වෙති.
එහි බොහෝවූ, නොයෙක් පාට ඇති දිව්‍යප්සරාවෝ (දිව්‍යාංගනාවෝ) නටත්.

“තථාගත ශ්‍රාවකවූ, යම් භික්ෂුවක් තෙම,
මේ විමාන වස්තු විස්තරය, දනීද,
මාරය, එබඳු භික්ෂුවක් ගටා තා දුකට පැමිණෙන්නෙහිය.

§  26 .“යම් භික්ෂුවක් සර්වඥයන් වහන්සේ විසින් නියම කරන ලද්දේ,
භික්ෂු සංඝයා බලා සිටිද්දී,
මිගාරමාතා ප්‍රාසාදය පය මාපටැඟිල්ලෙන් (ගසා) කම්පා කෙළේද,

“සර්වඥ ශ්‍රාවකවූ, යම් මහා මොග්ගල්ලාන නම් භික්ෂුවක් මේ ඍද්ධිය දනීද,
මාරය, එබඳු භික්ෂුවක් ගටා තා දුකට පැමිණෙන්නෙහිය.

§  27. “යමෙක් තම, ඍද්ධි බලයෙන් උපකාර ලද්දේ
විජයොත් පහය, පය මාපටඟිල්ලෙන් ගසා කම්පා කෙළේද,
දෙවියන් සංවේගයට පැමිණවූයේද,
“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද,
මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

§  28. “යම් ඒ මොග්ගල්ලාන නම් භික්ෂුවක්
“ඇවැත්නි, තෘෂ්ණා ක්ෂය විමුක්තිය දන්නෙහිදැ’යි,
විජයොත් පහයේදී ශක්‍රයාගෙන් ප්‍රශ්න කෙළේද,
ප්‍රශ්න විචාරණ ලද්දාවූ, ශක්‍රතෙම උන් වහන්සේට
සර්වඥයන් වහන්සේ වදාළ පරිදි ප්‍රකාශ කෙළේය.

 “බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද,
මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

§  29. “යමෙක් තෙම, බ්‍රහ්ම ලොකයෙහි සුධර්මා නම් බ්‍රහ්ම සභාවෙහිදී,
බඹුගෙන් “ඇවැත්නි, නුඹට පූර්ව කාලයෙහි යම් මිථ්‍යා දෘෂ්ටියක් වීද,
නුඹගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය අදත් ඇද්දැයි ප්‍රශ්න කෙළේද,
බඹලොව අන්‍ය බ්‍රහ්මයන්ගේ ආලොකය මැඩ පවත්වන්නාවූ,
(ශාරීපුත්‍ර ස්ථවීරාදීන් පිරිවරා තෙජො ධාතුවට සමවැද සිටි)
සර්වඥයන් වහන්සේගේ ආලොකය දක්නෙහිදැයි ඇසුවේද?

“බ්‍රහ්මයා උන්වහන්සේට, පිළිවෙලින් ඇතිසැටි යම්සේ නම් එසේ ප්‍රකාශ කෙළේය.
‘පූර්වකාලයෙහි මට යම් ශාස්වත දෘෂ්ටියක් වීද, නිදුකානෙනි, මට ඒ දෘෂ්ටිය දැන් නැත්තේය,
“බඹලොව අනිකුත් ආලොක ඉක්ම බබලන බුද්ධා ලොකය දකිමි.
“මම නිත්‍යවෙමි. සදාකාලික වෙමි”යි ඒ මම කෙසේ කියම්ද?

“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද,
මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

§  30. “යමෙක් තම, ධ්‍යාන බලයෙන් මහාමෙරු පර්වතයෙහි මුදුන ස්පර්ශ කෙළේද,
ජම්ඹුද්වීපයද, පූර්ව විදෙහීන්ගේ ද්වීපයද, අපරගොයාන ද්වීපය
හා උත්තරකුරු ද්වීපයද ස්පර්ශ කළේද.

“බුද්ධ ශ්‍රාවකවූ යම් මොග්ගල්ලාන නම් භික්ෂුවක් මෙය දනීද,
මාරය, තා එබඳු භික්ෂුවක් ගටා දුකට පැමිණෙන්නෙහිය.

§  31. “ගින්න, මම බාලයා දවමි’යි, ඒකාන්තයෙන් නොවෙළයි.
බාලයාම දිලිසෙන ගින්නට පැමිණ දවනු ලැබේ.

“මාරය එපරිද්දෙන්ම, නුඹද තථාගතයන් ගටා
ගින්න ස්පර්ශ කරන්නාවූ,
බාලයෙකු මෙන් තෙමේ දැවෙන්නෙහිය.

“මාරය නුඹ තථාගතයන් ගටා අකුසලයක් රැස් කෙළේය.
මාරය, “මාගේ පාපය විපාක නොදෙන්නේ ය”යි සිතන්නෙහිද?

“මාරය, පව්කම් කරන්නහුගේ පාපය බොහෝ කලක් මුලුල්ලෙහි රැස්වෙයි.
එහෙයින් මාරය, සර්වඥයන් වහන්සේ කෙරෙහි නොඇලී යව,
භික්ෂූන් වෙහෙසන ආසාව නොකරව.”

§  32. මෙසේ මහා මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේ, භෙසකලා නම් වනයෙහිදී මාරයා වෙහෙසූසේක, එයින් හටගත් නොසතුටු සිත්ඇති ඒ වසවර්ති මාරතෙම එහිම නොපෙණී ගියේය.

දහවෙනිවූ මාර තජ්ජනීය සූත්‍රය නිමි. (5-10)
චූල යමක වර්ගය නිමි.

Gee Pilisandara

STAMP

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.