MN-02-01-04- පොතලිය සූත්‍රය


සුත්‍රාන්ත දේශනාව අසන්න klik ඊ තල සලකුණ 

සුත්‍ර විවරණ දේශනාව i කොටස
සුත්‍ර විවරණ දේශනාව 2 කොටස


§ 1.මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප නම් දනව් වැස්සන්ගේ ආපණ නම් නියම් ගමෙහි වැඩ වාසය කරති.

§ 2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳපෙරවා පාසිවුරු ගෙන ආපන නම් නියම් ගමට පිඩු පිණිස වැඩියහ. ආපණ නම් නියම් ගමෙහි පිඩු පිණිස හැසිර බතින් පසු කාලයෙහි  එක්තරා වන ලැහැබක   දිවා විහරණය (දවල් විවේකය) පිණිස වැඩියහ.

§ 3. භාග්‍යවතුන් වහන්සේ ඒ වන ලැහැබට ඇතුල්ව එක්තරා ගසක්මුල දිවා විහරණය සඳහා වැඩහුන්හ. එකල්හි  පොතලිය නම් ගෘහපතියෙක් ද හොඳින් සියළු වස්ත්‍රයන් හැඳ උඩු කය පෙරවීම් ඇතිව,   කුඩයක් ඉහලා ගෙන  පාවහන් යුවලක් පැළඳ, සක්මන් කරන්නේ ඒ වනලැහැබට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට  පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග  සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය.

එක් පැත්තක සිටියාවූ  පෝතලිය ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිය, අසුන් ගන්නට සුදුසු තැන්  ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. මෙසේ කී කල්හි පොතලිය ගෘහපති කිපුනේ “මට ශ්‍රමණ ගෞතමයන් ගෘහපති වාදයෙන් (ගෘහපතියාය කීමෙන්) කථා කරයි” කියා  නොසතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය.

දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, අසුන් ගන්නට සුදුසු තැන්  ඇත්තාහ. ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව”යි කීහ. දෙවනුවද පොතලිය ගෘහපතිතෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථාකරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේය.

තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ පොතලිය නම් ගෘහපතියාට මෙසේ කීහ. “ගෘහපතිය, අසුන් ගන්නට සුදුසු තැන්  ඇත්තාහ, ඉදින් කැමැත්තෙහි නම් ඉඳ ගනුව” මෙසේ කීකල්හි පොතලිය නම් ගෘහපති තෙම මට ශ්‍රමණ ගෞතම තෙම ගෘහපති වාදයෙන් කථා කරන්නේය”යි කිපුනේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මට ගෘහපති වාදයෙන් කථා කිරීම  නුසුදුසුය, ඒ  කාරණය නොගැලපේ”යයි කීය.

“ගෘහපතිය, තොපගේ ආකාරයද, සටහණද ලකුණුද ගෘහපතියෙකුගේ මෙනි.”
“භවත් ගෞතමයන් වහන්ස, එසේද වුවත් මා විසින් මා කල සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) සිඳ දමන ලද්දාහ.”

“ගෘහපතිය, නුඹ කෙසේ  සියළු කර්මාන්තයෝ අත්හරින ලද්දාහුද?
සියලු ව්‍යවහාරයෝ (වෙළහෙළඳාම්) සිඳ දමන ලද්දාහුද?”
“භවත් ගෞතමයන් වහන්ස,  මාගේ ධනයක් හෝ ධාන්‍යයක් හෝ රිදීවූවක් හෝ රත්‍රන් වූවක් හෝ යමක් ඇද්ද ඒ සියල්ල මගේ දරුවන්ට දායාද කොට පවරා  දෙන ලදී.  ඒ මතුදු  මෙසේ කරවයි, මෙසේ නොකරවයි ‘යැයි ඔවුනට 
අවවාද නොකරන්නෙම්. මට ලැබෙන සුළු කෑම ඇඳීම පමණක් ලබා  වාසය කරමි.
භවත් ගෞතමයන් වහන්ස,  මා විසින් සියළු කර්මාන්තයෝ අත්හැරීම  එසේ කරන ලද්දාහ. සියළු ව්‍යවහාරයෝ (වෙළ හෙළඳාම්) එසේ සිඳ දමන ලද්දාහ”යි කීයේය.

“ගෘහපතිය, නුඹ කියන ව්‍යවහාර සිඳීම වෙන එකකි ,
ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වෙන ආකාරයකින් වේ.”
“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද?
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි ව්‍යවහාරයන්ගේ සිඳීම වේද,
මට එසේ ධර්මය දෙශනා කරත්වා”යි (ඉල්ලාසිටියේය.)

“ගෘහපතිය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමි”යි, වදාළහ.
“ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.

§ 4. “ගෘහපතිය,  ධර්ම අටක් ආර්‍ය්‍ය විනයෙහි,  ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්, කවර අටක්ද යත්:

  • සතුන් මැරීමෙන් වැළකී,  සතුන් මැරීම දුරුකටයුතුය,
  • දුන්දෙය ගැනීම පමණක් කරමින්, නුදුන්දෙය ගැනීම දුරුකටයුතුය,
  • ඇත්ත කීම නිසා බොරු කීම දුරුකටයුතුය,
  • කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරු කටයුතුය,
  • ගිජුවීමයයි කියන ලද ලොභය නොකිරීම නිසා ගිජුවීමයයි කියන ලද ලොභය දුරුකටයුතුය,
  • නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරු කටයුතුය,
  • ක්‍රොධයවූ දැඩි වෙහෙස නොකිරීම නිසා ක්‍රොධය වූ දැඩි වෙහෙස දුරු කටයුතුය,
  • අධික මානය නොකිරීම නිසා අධික මානය දුරු කටයුතුය.

ගෘහපතිය, සංක්ෂෙපයෙන් මෙසේ  කියන ලද, විස්තර වසයෙන් විභාග නොකරන ලද මේ ධර්ම අට ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සිඳීම පිණිස පවතිත්” යයි වදාළහ.

§  5. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින්   සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ මේ ධර්ම අට  මට අනුකම්පා පිණිස විස්තර වසයෙන් දේශනා කෙරෙත්වා”යි කීයේය. 

“ගෘහපතිය, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ.
“ස්වාමීනි, එසේය”යි කියා පොතලිය ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

§  6. “ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතු යයි,  කියන ලදී.
කුමක් සඳහා මෙසේ කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා  මෙසේ සලකයි.
“යම් සංයෝජනයක් හේතුවෙන්  කෙනෙකුන්ගේ සසර පැවැත්ම පවතීද, ඒ වන්  සංයෝජන ධර්මයන් සිඳලීම පිණිස ප්‍රාණඝාතයෙන්  වෙන්වෙමි.

[මේ ප්‍රාණඝාතය සහ ඊළඟට දක්වන ක්‍රියා “දස සංයෝජනා” වලට අයත් නොවුවත් සසරට බැඳ තබනා වූ ධර්ම සංයෝජනාය යන අර්ථයෙන් මේවා සංයෝජනා ලෙස සැලකේ.]

 මමද  ප්‍රාණඝාත කරන්නෙක් වන්නෙම් නම් මම ම, මා හට ප්‍රාණඝාත කිරීම නිසා ගරහන්නේය. දැන මුතු නුවණැත්තෝද, ප්‍රාණඝාතය නිසා මට ගරහන්නාහුය. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි ප්‍රාණඝාත හේතුවෙන් දුර්ගතියකටම යන්නේය.. මේ ප්‍රාණඝාතය ම සසරට හේතු වේ. සංයෝජනය වෙයි, එයම නීවරණයද වෙයි, දුක්වූ දැවිලි ඇති ආශ්‍රවත් ප්‍රාණඝාතය හේතුවෙන් උපදින්නාහුය. ප්‍රාණඝාතයෙන් වැළකුනාවූ අයට මෙසේ ඒ දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නොවෙත්. ප්‍රාණඝාත නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකටයුතු”යි  කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§  7. “දුන්දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකට යුතුයයි කියනලදී.
කුමක් සඳහා මෙය කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ සලකන්නේය. යම් සංයෝජනයක් හේතුවෙන් මම නුදුන් දෙය ගන්නෙක් වන්නෙම්ද මම ඒ සංයෝජනයන් දුරුකිරීම පිණිසවූ, නැසීම පිණිසවූ මගට පිළිපන්නෙක් වෙමි. මමද  නුදුන් දෙය ගන්නෙක් වීනම් තමාද මා මටම නුදුන් දෙය ගැනීම නිසා ගරහන්නේය. නුදුන් දෙය ගැනීම නිසා නුවණැත්තෝද ඒ දැන ගෙන මා ගරහන්නාහුය. නුදුන් දෙය ගැනීම නිසා මේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, දුර්ගතියක උපදින්නේය.

නුදුන් දෙය ගැණීම ම සංයෝජනයද වේ මෙයම නීවරණයද වේ. නුදුන් දෙය ගැනීම නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද නුදුන් දෙය ගැනීමෙන් වැලකුණාවූ අයට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නො වෙත්. දුන් දෙය ගැනීම නිසා නුදුන් දෙය ගැනීම දුරුකටයුතුයයි මෙසේ  කියන ලදද, එය මේ සඳහා කියනලදී.

§  8.  “සත්‍යවූ වචනය නිසා බොරු කීම දුරුකටයුතු”යයි මෙසේ  කියනලදී.
කුමක් සඳහා මෙසේ  කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ සලකන්නේය. මම  යම් සංයොජනයක්  හේතුවෙන් බොරු කියන්නෙම්ද, මම ඒ සංයොජනයන් දුරු කිරීම පිණිස, නැසීම පිණිසවූ මගට  පිළිපන්නේ වෙමි. මමද බොරු කියන්නෙම් නම් මම ම , මගේ බොරුකීම නිසා මාහටම ගරහන්නේය. නුවණැත්තෝද ඒ දැනගෙන බොරු කියන්නාවූ මා හට ගරහන්නාහුය. මේ ශරීරයාගේ බිඳීමෙන් පසු, මරණින් මතු,  මෙසේ  බොරු කීම හේතු කොට දූගතියක උපත ලබන්නේය.
මේ මුසාවාදයම සසරට සංයොජනය වේ. එයම නීවරණයද වේ. මුසාවාද හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව උපදින්නාහුද මුසාවාදයෙන් වැලකුනාවූවහු ට මෙසේ  දුක්වූ දැවිලි ඇති ආශ්‍රවයෝද නො වෙත්. සත්‍යවූ වචනය නිසා මුසාවාදය දුරුකට යුතුයයි, කියන ලදද, එය මේ සඳහා කියන ලදි.

§  9.  “කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකට යුතුයයි  කියන ලදී.
කුමක් සඳහා මෙය කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකන්නේය.
මම යම් සංයොජනයන් හේතුවෙන් කේලාම් කියන්නෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිසවූ මගට පිළිපන්නේ වෙමි. මම  කේලාම් කියන්නෙම් නම් මම ම මගේ  කේලාම් කීම හේතු කොට මටම ගරහන්නේය. නුවණැත්තෝද ඒ  දැන ගෙණ කේලාම් කීම හේතු කොට මට ගරහන්නා හුය. ශරීරයාගේ බිඳීමෙන් පසු, මරණින් මත්තෙහි කේලාම් කීම හේතු කොට දුගතියකම උපදින්නේවෙයි.  මේ කේලාම් කීම ම  සංයොජනය වෙයි. එයම නීවරණයද වේ. කේලාම් කීම හේතු කොට දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව උපදින්නාහුද කේලාම් කීමෙන් වැලකුනාවූ වහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත් කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකටයුතුයයි  කියන ලදද, එය මේ සඳහා කියනලදී.

§  10. “විෂම ලෝභයෙන් වෙන්වීමෙන්ම විෂම  ලොභයෙහි හා තෘෂ්ණාවේ ගිජුවීම දුරු කටයුතු යයි,  කියනලදී.
කුමක් සඳහා මෙය කියන ලදද?

[විෂම ලෝභය , අභිජ්ජාව ආදී ලෙස සලකන තෘෂ්ණාවේ මුල් ප්‍රබෙධය:-  තමනට නැති සම්පත් , අනුන් සතු සම්පත් මටත් ඇත්නම් යේහෙකියි ඇතිවන සිතිවිල්ල. සහ යම් කිසිවක ආශ්වාදය පමණක් දකිමින් ආදීනවය නොදකිමින් හෝ නොසලකක්මින් ඒ කාම අරමුණෙහි සිත ඇලවීම , සතුටින් එහි බැඳීම වන තෘෂ්ණාව]

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකන්නේය.
මම  යම් සංයොජනයන්  හේතුවෙන් විෂම 
ලොභයෙන් යු ත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන් දුරු කිරීම පිණිස, නැසීම පිණිස වූ මගට පිළිපන්නේ වෙමි. මම ලොභයෙන් යුක්ත  වන්නෙම් නම් මා මටම මේ ලොභයෙන් ගිජුවීම නිසා ගරහන්නේය. නුවණැත්තෝද මේ  දැන ගෙන ලොභයෙන් ගිජුවීම නිසා මා ගරහන්නාහුය. මේ ශරීරයාගේ භෙදයෙන්, මගේ මරණින් මත්තෙහි ලොභයෙන් ගිජුවීම නිසා දුර්ගතියටම පත් වන්නේය. යම් විෂම ලොභයක්  ගිජුවීමක් වේද, එයම සංයොජනයද වේ, එයම නීවරණයද වේ, විෂම ලොභයෙන් ගිජුවීම නිසා දුක් වූ දැවිම් ඇති  ආශ්‍රව  උපදින්නාහුද ලොභයෙන් ගිජුවීම නැත්තාවූ අයට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. ලොභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලොභය දුරු කටයුතු”යයි, මෙසේ  කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§  11 . “නින්දා නොකිරීම හා නොකිපීම නිසා නින්දා කිරීම හා කිපීම දුරුකට යුතුයයි, කියනලදී. කුමක් සඳහා මෙය කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ සලකයි. මම  යම් සංයොජනයක්  හේතුවෙන් අනුනට  නින්දා කිරීම හා අනුන් නිසා  කිපීම ඇත්තෙක් වන්නෙම්ද මම ඒ සංයොජනයන්ගේ දුරු කිරීම පිණිස, නැසීම පිණිස වූ ප්‍රතිපත්තියට  පිළිපන්නේ වෙමි. මමද එවන් නින්දා  කිරීම හා කිපීම ඇත්තෙක් වන්නෙම් නම් ඒනිසා  මම මාවම  ගරහන්නේය. නුවණැත්තෝද ඒ දැනගෙන මාගේ  නින්දා කිරීම හා කිපීම නිසා මා  ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් පසු,  මරණින් මත්තෙහි නින්දා කිරීම හා කිපීම නිසා දුගතියක උපත කැමති විය යුත්තීය.  මේ නින්දා කිරීම හා කිපීමම සංයොජනය වේ. මෙයම නීවරණයද වේ. නින්දා කිරීම හා කිපීම නිසා දුක්වූ, දැවිලි,  ඇති  ආශ්‍රව  උපදින්නාහුද, නින්දා කිරීම හා කිපීම නැත්තාවූ අයට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරු කට යුතු” යයි, කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§  12. “දැඩිසේ තරහ ඇති කර නොගැනීමෙන්ද,  ක්‍රොධ නොකිරීමෙන් දැඩි ක්‍රොධ කිරීම දුරුකට යුතු” යයි,  කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා  මෙසේ සලකයි.
‘මම  යම් සංයොජනයක් හේතුවෙන් දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම් මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිසවූ මාර්ගයට 
පිළිපන්නේ වෙමි. මම  දැඩි ක්‍රොධ ඇත්තෙක් වන්නෙම් නම්  මා මටම මේ ක්‍රෝධ ස්වභාවය  නිසා ගරහන්නේය. නුවණැත්තෝද ඒ බව  දැන ගෙන දැඩි ක්‍රොධය නිසාමට ගර්හා කරන්නාහුය. මේ ශරීරය බිදී ගිය පසු,   මරණින් මත්තෙහි දැඩි ක්‍රොධය නිසා මා  දුර්ගතිය කැමති විය යුත්තීය. මේ දැඩි ක්‍රොධයම සංයොජනය වේ මෙයම නිවරණයද වේ. දැඩිවූ ක්‍රොධය නිසා දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, දැඩි ක්‍රොධය නැත්තාවූ අයට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝද නොවෙත්. දැඩි කොධය නොකිරීම නිසා දැඩි ක්‍රොධය දුරු කටයුතුයයි මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.


§  13. “අධික මානය නැතිව ජීවත්වීම නිසා 
අධික මානය දුරු කටයුත්තේයයි, කියනලදී.  කුමක් සඳහා මෙය කියන ලදද?

ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ සලකයි. මම  යම් සංයෝජනයක්  හේතුවෙන් අධික මානය ඇත්තෙක් වන්නෙම්ද. මම ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස, නැසීම පිණිසවූ මගට පිළිපන්නේ වෙමි. මමද වනාහි අධික මානය ඇත්තෙක් වන්නෙම් නම් තෙමේද තමහට අධික මාන හේතුවෙන් ගරහන්නේය. නුවණැත්තෝද දැනගෙන අධික මාන හේතුවෙන් ගරහන්නාහුය. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අධික මාන හේතුවෙන් දුර්ගතිය කැමති විය යුත්තීය. යම් මේ අධික මානයක් වේද, එයම සංයෝජනයවේ, එයම නීවරණයදවේ, අධික මාන හේතුවෙන් දුක්වූ දැවිලි ඇති යම් ආශ්‍රව කෙනෙකුත් උපදින්නාහුද, අධික මානය නැත්තාවූ මොහුට මෙසේ දුක්වූ දැවිලි ඇති ඒ ආශ්‍රවයෝ නොවෙත්. අධික මානය නොකිරීම නිසා අධික මානය දුරුකටයුතුයයි, මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

§  14.  “ගෘහපතිය, ආර්‍ය්‍ය විනයෙහි   ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවතින්නාවූ , සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ මේ ධර්ම අට විස්තර වසයෙන් විභාග කරන ලදහ. එපමණකින්ම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියල්ල සියලු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම නොවේමය”යි වදාළහ.

“ස්වාමීනි, කෙසේ නම් ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීම වේද, ස්වාමීනි, යම්සේ ආර්‍ය්‍ය විනයයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ ධර්මය දෙශනා කෙරේවා”යි කීය. “ගෘහපතිය, එසේවී නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළහ. “ස්වාමීනි, එසේය”යි පොතලිය ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

කාමාදීනව කතා


§  15. “ගෘහපතිය, බොහෝ දිනක් ආහාර නොලබා  දුබල බැවින් පෙළුනාවූ බල්ලෙක්, ගවයන් මස් විකුණන මස් වෙළෙන්දෙකුගේ  මස් ලොඹුවක් ලඟට ගොස් සිටින විට  මස් වෙළෙන්දා ඒ දුබල බල්ලා දැක. මස් නැති, ලේ තැවරුණු ඇට කැබැල්ලක් ඌ  ලඟට දමන්නේය,
ගෘහපතිය, ඒ කුමකැයි හඟන්නෙහිද?

ඒ බල්ලා  මස් නැති, ලේ තැවරුණු ඒ ඇට කටුව සපන්නේ ලෙවකන්නේ බඩ ගින්නෙන්වූ දුර්වලකම දුරු කරගන්නේ  දැ”යි? ඇසූහ
“ස්වාමීනි, එය නොවේමය.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ඇටකටුව  මස්නැති ලේ තැවරුණක් වෙයි. ඒ බල්ලා ඒ මස් නැති කටුව සපා  වැඩියක්ම වෙහෙසීමට දුකට පත් වන්නේය”යි කීය.

“ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ සලකයි.
කාමයෝ ඇටකැබැල්ලකට  බඳු උපමා ඇත්තාහුය. බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි ආදීනව බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක, නා නා ස්වභාව ඇත්තාවූ, නා නා ස්වභාව ඇසුරු කළාවූ  මේ (පඤ්චකාම ගුණයන්හිවූ) උපෙක්ෂාවක් වේද, එය දුරු කොට ඒක ස්වභාව ඇත්තාවූ ඒකත්වය ඇසුරු කළාවූ යම් මේ (චතුර්ථ ධ්‍යානයෙන් උපදින්නාවූ,) උපෙක්ෂාවක් වේද,ඒ   වඩයි. 

එනම් යම් තැනෙක්හි සියළු ආකාරයෙන් ලොකාමිසයයි කියනලද පඤ්ච කාම ගුණයන් දැඩිව අල්වා ගැනීම් ඉතිරි නැතිව නැති වෙත්ද, ඒ උපෙක්ෂාවම වඩයි.


§  16.  “ගෘහපතිය, යම්සේ ගිජුලිහිණියෙක් හෝ ලෝ තුඩුවෙක් හෝ උකුස්සෙක් හෝ මස් පිඩක්ගෙන පියාඹන්නේද, ඒ දක්නා අනෙක් 
  ගිජු ලිහිණියෝද ලෝ තුඩුවෝද උකුස්සෝද ඒ පක්ෂියා ලුහුබඳිමින් මුව තුඩින් ඇන ඇන යන්නාහුද, මස් පිඩ ඇද බිම හෙලන්නාහුද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද? ඉදින් ඒ ගිජුලිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්පිඩ වහාම නොදමන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේද? මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේ දැ”යි? (ඇසූහ.)
“ස්වාමීනි, එසේය”
“ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ  සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මස් පිඩකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි ආදීනව බොහෝයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරුකළාවූ උපෙක්ෂාවක් වේද එය දුරුකොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියළු ආකාරයෙන් ලොකාමිසයන් දැඩිකොට ගැනීම ඉතිරි නැතිව නැති වේද ඒ උපෙක්ෂාවම වඩයි.


§  17.  “ගෘහපතිය, යම්  පුරුෂයෙක්  ඇවුලුනාවූ තණසුලක් ( හුළු අත්තක්)  ගෙණ උඩුසුලඟ පැත්තට යන්නේද, ගෘහපතිය, එය කුමකැයි හඟින්නෙහිද?

ඉදින් ඒ පුරුෂයා ගේ අතැති  ඒ ඇවිලගත් තණ සුල ඔහුගේ අත දවන්නේය. බාහුව හෝ දවන්නේය. වෙනයම් අවයවයක් හෝ දවන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය.”


“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයාෙ මෙසේ සලකයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් තණ සුලකටඋපමා කොට වදාලාවූ  කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති නා නාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළ වූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකමිසයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වෙත්ද, ඒ උපෙක්ෂාවම වඩයි.

§  18. “ගෘහපතිය,මිනිසෙකුගේ උසට වඩා ගැඹුරුවූ  ගිනිදැල් නිවී ගිය මුත් රක්ත වර්ණ ගිණිඅඟුරු අඟුරුවලින් පිරුණාවූ, අඟුරු වළක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ, මැරෙනුනොකැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය.  ශක්තිමත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඔහු දෙඅතින් හා දෙපයින් අල්වා  ගෙන අඟුරු වළට ඇද දමන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම  ගිණි අඟුරු වලට දමනවාට බියෙන් ඒ මේ අතට ශරීරය නමන්නේද?” 
“ස්වාමීනි, එසේය.”
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, ඉදින් මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මැරෙණ තරම් දුකට හෝ පැමිණෙන්නෙමි යනු ඒ පුරුෂයාහට පැහැදිලිමය.”

“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයා  මෙසේ සලකයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අගුරු වළකට බඳුය, බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය. මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි, වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇතිසැටියෙන් මනාව නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

§  19  “ගෘහපතිය, යම්   පුරුෂයෙක් සිත් කළු වැව්ඇති මනරම් වනයක දර්ශනීය ආරාම ආදියක් සිහිනෙන් දකින්නේද, ඔහු නැවත පිබිදිය හොත් ඒ  කිසිවක් නොදක්නේය. ගෘහපතිය, එපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයා   මෙසේ සලකයි.

භාග්‍යවතුන් වහන්සේ විසින්, සිහිනයකට බඳුවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය, බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි වදාරණ ලද්දාහුය. මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට, යම් මේ ඒකත්වය ඇත්තාවූ ඒකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

§  20. “ගෘහපතිය, යම්  පුරුෂයෙක්  සුදුසුවූ යානාවක් හෝ උතුම් මිණි කොඬොලක් හෝ තවෙකෙකුගෙන්  නයට  ඉල්වා ගතයුතු වස්ත්‍රයක් හො වේද, හෙතෙම ඒ ඉල්ලා  ගන්නා ලද දෙයින් සැරසි කඩපිලකට පැමිණෙන්නේය. ඔහු දැක ජනයා ‘මේ පින්වත් පුරුෂයා එකාන්තයෙන් ධනවතෙක. මෙසේ  සම්පත් ඇත්තේ සම්පත් නිසා සැප විඳිත්’යයි කියන්නේය. එනමුදු ඔහුට නය දුන්  වස්තු හිමියෝ යම් යම් තැනෙක්හිම ඔහු දක්නාහුද ඒ ඒ තන්හිදීම ස්වකීය භාණ්ඩයන් හැරගන්නාහුය. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ඒ ප්‍රමාණවත් යැයි සිතන්නෙහිද?”
“ස්වාමීනි, එසේය”.
“එයට හේතු කවරේද?”
“ස්වාමීනි, බඩු හිමියෝ තම තමන්ගේ බඩු හැරගනිති.”
“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයා  මෙසේ සලකයි.

” ඉල්වා ගන්නා ලද බඩු වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහුය. බොහෝ වෙහෙස ඇත්තාහුය, මෙහි බොහෝ ආදීනව ඇත්තේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇති, නානාත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරු කොට, යම් මේ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනක සියලු ආකාරයෙන් ලොකාමිසයන් දැඩි කොට ගැනීම් ඉතිරි නැතිව නැති වේද, ඒ උපෙක්ෂාවම වඩයි.

§21. “ගෘහපතිය, යම්සේ ගමට හෝ නියම් ගමට හෝ නුදුරු තන්හි මහ වනලැහැබක් වේද, එහි මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ගසක් වන්නේද, බිම වැටුනාවූ කිසියම් පල කෙනෙකුත් නොවන්නාහුද, එකල්හි පලයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, පල සොයන්නාවූ පුරුෂයෙක් පල සොයමින් එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූ, හටගත් බොහෝ පල ඇත්තාවූ ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය.

‘මේ ගසේහි මිහිරි පල ඇත්තේද, හටගත් බොහෝ පල ඇත්තේද, වෙයි. බිම වැටුනාවූ කිසි පලයකුත් නැත්තේය. මම ගස් නගින්ට දනිමි. මම මේ ගසට නැග ඇති තාක් කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ (සිතා) හෙතෙම ඒ ගසට නැගී ඇතිතාක්ම කන්නේය. ඔඩොක්කුවද පුරවා ගන්නේය.


“ඉක්බිති පල කැමතිවූ පල සොයන්නාවූ, දෙවෙනි පුරුෂයෙක්  පල සොයමින් තියුණුවූ කෙටේරියක්ද ගෙන එන්නේය. හෙතෙම ඒ වන ලැහැබට ඇතුල්ව මිහිරි පල ඇත්තාවූද හටගත් බොහෝ පල ඇත්තාවූද ඒ ගස දක්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. ‘මේ ගස වනාහී මිහිරි පල ඇත්තේද හටගත් බොහෝ පල ඇත්තේද වේ. බිම වැටුනාවූ පලයකුත් නැත්තේය. මම වනාහි ගස් නගින්ට නොදනිමි. මම මේ ගස මුලින් කපා ඇතිතාක්ද කන්නෙම් නම් ඔඩොක්කුවද පුරවා ගන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ සිතා හෙතෙම ඒ ගස මුලින් කපන්නේය,

ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද?
යම් ඒ මේ පුරුෂයෙක් පළමුව ගසට නැගුනේද, ඉදින් හෙතෙම වහාම නොබසින්නේ නම් ඒ ගස වැටෙන විට ඔහුගේ අත හෝ බිඳෙන්නේය පය හෝ බිඳෙන්නේය. එක්තරා ශරීරාවයවයක් හෝ බිඳෙන්නේය. හෙතෙම ඒ හේතුවෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේද?”
“ස්වාමීනි, එසේය.”


“ගෘහපතිය, මෙපරිද්දෙන්ම ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. භාග්‍යවතුන් වහන්සේ විසින්, ගසක ගෙඩි වැනිවූ කාමයෝ බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි බොහෝ දොෂ ඇත්තේයයි වදාරණ ලද්දාහ. මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දැක යම් මේ නොයෙක් ස්වභාව ඇත්තාවූ නොයෙක් ස්වභාව ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, එය දුරුකොට යම් මේ එක ස්වභාවය ඇත්තාවූ එකත්වය ඇසුරු කළාවූ උපෙක්ෂාවක් වේද, යම් තැනෙක්හි සියළු ආකාරයෙන් පඤ්චකාම ගුණයන් දැඩි කොට ගැනීම ඉතිරි නැතිව නැති වේද, ඒ චතුර්ථ ධ්‍යාන උපෙක්ෂාවම වඩයි.

§2
2 . “ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයා මේ උතුම්වූ උපෙක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු වීමටම පැමිණ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහි කරයි. ‘එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්’ මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේකෑම ඇත්තෙම් මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ පෙර විසූතැන් සිහිකරයි.

“ගෘහපතිය, එසේ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයා උතුම් වූ උපෙක්ෂා සිහි පිරිසිදු බවට පැමිණ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, සුවර්ණවූද, දුර්වර්ණවූද, සුගතවූද, දුර්ගතවූද කර්මයට අනුව උපදින සත්වයන් දකී. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ, මනො දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ වූහ. මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝ වූහ, ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්, නැතහොත් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූහ, වාග් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝවූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගනියි.


“ගෘහපතිය, ඒ මේ ආර්‍ය්‍ය ශ්‍රාවකයා මේ උතුම්වූ උපෙක්ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලෙසුන් නැසීමෙන් කෙලෙසුන් ගෙන් වෙන්වූ චිත්ත විමුක්තියටද ප්‍රඥා විමුක්තියටද මේ ආත්මයෙහිම තෙමේ ශ්‍රෙෂ්ඨ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරයි. ගෘහපතිය, මෙතෙකින් වනාහී ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාරයන්ගේ සිඳීමවේ.

§23
“ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද?
යම්සේ ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේද, කිමෙක්ද නුඹ මෙබඳුවූ ව්‍යවහාර සමුච්ඡෙදය තමා කෙරෙහි දක්නෙහිද?”

“ස්වාමීනි, මම කවරෙක්ද?
ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදය කවරේද?
ස්වාමීනි, මම ආර්‍ය්‍ය විනයෙහි සර්වප්‍රකාරයෙන් සියළු ආකාරයෙන් ව්‍යවහාර සමුච්ඡෙදයෙන් ඈත්වෙමි

. ස්වාමීනි, අපි වනාහී පෙර අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන්ට ගිහි ව්‍යවහාර සමුච්ඡෙදය නොදන්නවුන්ම දන්නවුන්යයි සැලකුවෙමු. නොදන්නවුන්ටම දන්නවුන් විසින් වැළඳිය යුතු භොජනය වැළඳවීමු. නොදන්නවුන්වම දන්නවුන්ගේ තන්හි තැබීමු. ස්වාමීනි, අපි දන්නාවූම භික්ෂූන් නොදන්නවුන්යයි හැඟීමු. දන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදිය යුතු භොජනය වැළඳවීමු. දන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තැබීමු. “ස්වාමීනි, දැන් අපි අන්‍ය තීර්ථකවූ පරිබ්‍රාජකයන් කරුණු නොදන්නවුන්ම නොදන්නවුන්යයයි දන්නෙමු. නොදන්නවුන්ටම නොදන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. නොදන්නවුන්ම නොදන්නවුන්ගේ තන්හි තබන්නෙමු. ස්වාමීනි, අපි, භික්ෂූන් වනාහී කරුණු දන්නවුන්ම දන්නවුන්යයි දැනගන්නෙමු. දන්නවුන්ටම දන්නවුන් විසින් වැළදියයුතු භොජනය වළඳවන්නෙමු. දන්නවුන්ම දන්නවුන්ගේ තන්හි තබන්නෙමු.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය ඉපදවූහ.

“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි ඉතා යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරුකොට තබනලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසනලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය.

ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි) භාග්‍යවතුන් වහන්සේ අදපටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වා.

හතරවෙනිවූ පොතලිය සූත්‍රය නිමි. (1-4)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.