MN-02-01-01. කන්දරක සූත්‍රය

පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ සුත්‍රාන්ත දේශනය

Desana=2


§  1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “චම්පා” නුවර ගග්ගරා නම් පොකුණු ඉවුරෙහි මහත්වූ භික්ෂු සංඝයා සමග වැඩ වාසය කරති.

එකල්හි හස්ත්‍යාරොහක පුත්‍ර (ඇතුන් බලන්නෙකුගේ පුත්‍ර) යෙකු වූ පෙස්ස ද  පරිබ්‍රාජකයෙක් වූ  කන්දරකද   භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහුය. පැමිණ පෙස්ස නම් ඇතරුපුත්  භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට  එක පැත්තක හුන්නේය. කන්දරක නම් පිරිවැජියාද භාග්‍යවතුන් වහන්සේ සමග  සතුටු විය යුතු වූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක සිටියේය. [මේ පිළිගැනීමේ දෙආකාරය මගින් පෙස්ස බුද්ධාගම වැළඳ ගත් කෙනෙක් බවත් කන්දාරක බෞද්ධ ඉගැන්වීම ගැන නොදන්නා හෝ නොපිලිගන්නා කෙනෙක් බවත් දැකිය හැක.]

එසේ එක පැත්තක සිටියාවූ කන්දරක පරිබ්රාජිකයා නිශ්ශබ්දව හිදින්නාවූ  භික්ෂු සංඝ සමුහයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක,  භවත් ගෞතමයන් වහන්ස, මේ පෙර  නුදුටු  විරූ දැක්මක්ය. භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉතා හොඳින් ,මේ භික්ෂු සංඝයා හික්මවන ලද්දේය. යහපත් සේ ධර්මය හදාරන්නට යොමු කරන ලද්දේය.

“භවත් ගෞතමයෙනි, අතීත කාලයෙහි යම්  සම්බුද්ධයන වහන්සේ කෙනෙක් වූවාහුද ඒ භාග්‍යවත්හුද මෙසේම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි භවත් ගෞතමයන් විසින් භික්ෂු සංඝතෙම මනාකොට පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනී) භවත් ගෞතමයෙනි, මතු කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්‍යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝතෙම හොඳින් පිළියෙල කෙළේ යම්සේද (එමෙනැ’යි” කීයේය) [ කන්දාරක පරිබ්රාජිකයන් ට පෙර විසු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා හෝ මතුවට පහළවන සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගැන නිත්‍ය ස්ථිර අවබෝධයක් නැතිව සිටියද මෙසේ කීවේ ඒ සංඝ සභාවේ මනා පැවැත්මේ ස්වභාවය දැකීමෙන් ඇතිවූ පැහැදීම නිසාය. එසේ වුවද භාග්‍යවතුන් වහන්සේ  මොහුගේ කීම සිය සර්වඥ ඥානයෙන් දැකම ස්ථිර කල සේක.]  

§3.  “කන්දරකය, ඒ කාරණය එසේමය, කන්දරකය, ඒ කාරණය එසේමය.
පෙර යම් අර්හත් සම්‍යක් සම්බුද්ධකෙනෙක් වූවාහුද, ඒ භාග්‍යවත්හුද මේ අන්දමටම  හොඳින් භික්ෂු සංඝයා හික්මවා නිර්වාන මාර්ගයෙහි යෙදවුහ. 
එමෙන්මැ, කන්දරකය, මතු කාලයෙහි යම්  අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්‍යවත්හුද මේ අන්දමටම  හොඳින් භික්ෂු සංඝයා හික්මවා නිර්වාන මාර්ගයෙහි යොදවන්නාහුය. 

“කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර ආශ්‍රව ක්ෂයකළ , වැස නිමවන ලද මාර්ග බ්‍රහ්මචරියාව ඇති, මෙලොව කල යුතු සියළු කටයුතු අවසාන කරනලද ,   කෙලෙස් බර බහා තබන ලද, පිළිවෙලින් අර්හත් මගට පැමිණියාවූ ,  භව සංයෝජන ක්ෂය කළාවූ, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ රහත් භික්ෂූහුද ඇත්තාහුය.

කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර සැමවිට සිල් ආරක්ෂා කරන්නාවූ ,  සියළු කල්හි යහපත් පැවතුම් ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, නුවණින් කරන පැවතුම් ඇත්තාවූ, සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇති, භික්ෂූහුද වාසය කරත්.

කවර සතිට්ඨාන සතරක ද යත්?

  • කන්දරකය, මේ ශාසනයෙහි මහණහු  කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ පැවැත්වූ සතිය ඇත්තේ, ස්කන්ධ ලොකයෙහි ලොභය (ආසාව= කැමැත්ත) දොසයන් (අකැමැත්ත = අසහනය ) දුරුකොට කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ, පැවැත්වූ සිහිය  ඇත්තේ වේදනා නම්  වීඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන වේදනා (විඳීම්) කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ පැවැත්වූ සතිය ඇත්තේ, ඇතිවන්නාවූ පවතින්නාවූ බිදෙන්නාවූ සිත් පෙරහැර දෙස මනා අවබෝධයෙන්  බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ සිත්හි උපන්නාවූ ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන ඒ ඒ ධර්මයන් ලෙස දකිමින් ඒ ඒ  ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.” (යන සතර සතිපට්ඨානයන්හිය.)


§4.  මෙසේ වදාළ කල්හි 
ඇතරුපුත් පෙස්ස, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අපුරුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානයෝ සත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශොක පරිදෙවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දෙදෙනාගේ නැසීම පිණිස, මාර්ගඥාන ලැබීම පිණිස නිවණ අවබොධ කිරීම පිණිස ඉතා හොඳින් පනවන ලද්දාහුමය.

ස්වාමීනි, සුදුවත් අඳනා, ගිහියන්වු අපිදු,  කලින් කල මේ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇත්තෝව වාසය කරමු. ස්වාමීනි, මෙහි අපි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව මනා නුවණ ඇතිව සිහි ඇතිව ලොකයෙහි ලොභය හා දොම්නස දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව විඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇත්තාහු සිත් සමූහයෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමු.

ස්වාමීනි ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි අපුරුය , ස්වාමීනි  ඔබ වහන්සේ මෙසේ මේ කිලිටි අදහස් ඇති කෛරාටික කපටි සිත් ඇති මිනිස් ප්‍රජාව අතර සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව මැනවීන් දන්නා සේක්මය. ස්වාමීනි, මින්සුන්ගේ සිත්වල ස්වභාවයන් දැන ගැනීම දුෂ්කරය.  එහෙත් සතුන්ගේ ස්වභාවයෙන් උන්ගේ සිත් දැනගන්නට පහසුය. ස්වාමීනි, මම  හස්ති ධර්මය (ඇතුන්ගේ ස්වභාව දැන ගැන්මේ ශාස්ත්‍රය )  දන්නෙමි.  මා චම්පා නුවරට ගොස් ආපසු එන්නට යම් කාලයක් ගත වේද , ඒ කාලය තුළ ඇතෙක් උහුට කල හැකි සියළු කපට කම් සැඩ කම් කරන්නේය, 

[ මේ ප්‍රකාශයෙන් ඔහු අදහස් කරන්නේ ඇතෙකු ගේ අසංවර කපටි හැසිරීම හීලෑ වන තෙක් වූ  සුළු කලකට සීමාවන බවත් මිනිසුන්ගේ අසංවර බව එසේ සීමිත කාලයකට අඩංගු නොවන බවත්ය.]    

හස්තියා කැමති කලක්  සිටිනු කැමති කල්හි සිටින්නේය. පිට සිටින්නා බිම  හෙළනු කැමති කල්හි එසේ ඔහු බිම  හෙළන්නේය. ඉදිරියට යාමට මෙහෙයවූ කල උහුට ආපසු යනු කැමති කල ආපසු යන්නේය. වමින් හෝ දකුණින් හෝ කෙලින් හෝ යනු කැමති කල එසේ යන්නේය. මලමුත්‍ර කරනු කැමති කල එතනම මලමුත්‍ර කරන්නේය. ඇත්හුගේ සිත් හා ක්‍රියා එබඳුය.

ස්වාමීනි, අපගේ  දාසයෝය පණිවුඩකාරයෝය කම්කරුවෝය යන පිරිස් වෙත්, ඔවුන් සිතන්නේ එකෙකි.  කියන්නේ එකෙක ,  කරන්නේ වෙනෙකකි. . ස්වාමීනි, අශ්චර්‍ය්‍යය, ස්වාමීනි අපුරුය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අදහස් අපිරිසිදු බව, මෙසේ මිනිසුන්ගේ අදහස් අප්‍රකට බව, මෙසේ මිනිසුන්ගේ අදහස් කෛරාටික බව පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව දන්නා සේක්මය. ස්වාමීනි,  මිනිස් සිත්  අප්‍රකටමය. ස්වාමීනි, යම්  සිවුපා සත්තු වෙත්ද මොවුන්ගේ  අදහස ප්‍රකටමය”යි කීයේය.

§5  “පෙස්සය, ඒ සැබෑවකි. ඒ එසේය.  පෙස්සය  මිනිසුන්ගේ  අදහස අප්‍රකටය. පෙස්සය,  සත්තුන්ගේ අදහස පැහැදිලිය.”
“පෙස්සය, ලෝකයෙහි  පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්?

  • මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවෙන්නේ තමා හට තැවීම ඇතිවන්නාවූ  පිළිවෙතෙහිමැ  යෙදුනේ වෙයි.
  • ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහිමැ යෙදුනේ වෙයි.
  • පෙස්සය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවෙන්නේ, තමා තවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළි වෙතෙහි යෙදුනේද වෙයි,
  • ඇතැම් පුද්ගලයෙක් තමා නොතැවෙන්නේ තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේද වෙයි. තමාද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගලයා  මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවුනේද සිහිල්වූයේ (ධ්‍යාන, මාර්ග, ඵල, නිර්වාණ ආදී වූ ) සැප විඳින ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි,

පෙස්සය, මේ පුද්ගලයන් සතරදෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත සතුටු කෙරේදැ”යි (ඇසූහ.)

“ස්වාමීනි, පළමු ව සඳහන් කල තුන් පුද්ගලයන් නොව සතර වැන්නට කී එනම් තමා නොතැවෙන්නේ තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේ, අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේ,   තමාද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගලයා මට ප්‍රිය ය. ”යි කීයේය. 

§6  “පෙස්සය, කුමක් නිසා  මේ පළමු  පුද්ගලයෝ තුන්දෙන තොපගේ සිත සතුටු නොකරද්ද”යි (ඇසූසේක)

  • “ස්වාමීනි, යම්  පුද්ගලයෙක්  තමා තැවෙන්නේ තමා  තවන පිළිවෙතෙහිමැ  යෙදුනේවේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලයා  මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේ වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ අන්‍යයා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලයා  මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේත් වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමාද අනුන්ද තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් තමා නොතවන්නේ තමා තවන පිළිවෙතෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේ වේද, තමා නොතවන්නාවූ අනුන් නොතවන්නාවූ හෙතෙම මේ ආත්මයෙහි තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් මිදුනේ සිහිල්වූයේ ධ්‍යානාදි සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයිද, මේ කාරණයෙන් මේ පුද්ගලයා මැ  මාගේ සිත සතුටු කරයි.” යි කීය.

එසේ කියා යලිදු  කියන්නේ “ස්වාමීනි, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු. එබැවින් දැන් අපි යමු”යි කීයේය.
“පෙස්සය, එසේ පිටව යෑමට සුදුසු කාලය  නුඹම දන්නේය. රිසි සේ කරව.” යි භාග්‍යවතුන් වහන්සේ පෙස්ස ට පිටව යන්නට අවසර දුන් සේක.

ඉක්බිති පෙස්ස නම් ඇතරු පුත්තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ පැදකුණුකොට ගියේය.

§7.   ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස නම් හස්ත්‍යා රොහක පුත්‍රයා පිටව ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට කථා කළහ.

“මහණෙනි, ඇතරුපුත් පෙස්ස  පණ්ඩිතය. මහණෙනි, ඇතරුපුත් පෙස්ස  මහත් නුවණ ඇත්තේය. මහණෙනි, ඉදින් පෙස්ස   මේ පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් විභාගකොට මා කියන තුරු ඔහු  තවත් ස්වල්ප වෙලාවක් මෙහි සිටියේ වී නම් ඔහුට ඉමහත් අර්ථයක් සැලසෙන්නේය.
[අටුවාව: මේ දේශනාව නිමවෙන තුරු සිටියේ වී නම් පෙස්ස සෝවාන් ඵලයට පැමිණෙන්නේය] මහණෙනි, එසේ  වුවත් මෙතෙකිනුත් පෙස්සට මහත් ලාභයක් විය. [මේ ලාභ දෙක නම්:  සංඝ රත්නය කෙරෙහි වූ පෙස්සගේ ශ්‍රද්ධාව මහත්සේ දැඩිවීම සහ සතිය පැවැත්වීමේ ක්‍රම සතර ගැන අවබෝධය පුළුල් වීම යන්නය.] යැ” යි වදාළහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මේ  පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් බෙදා වදාරන්නේ නම් ඊට මේ සුදුසු කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ (විස්තර දෙශනාව) අසා භික්ෂූහු දරන්නාහුය,  සුගතයන් වහන්ස, මේ දෙශනාවට සුදුසු කාලය වේ.” “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහිකරව් කියන්නෙමි” “ස්වාමීනි, එසේය”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§8  “මහණෙනි, තමන්  තැවෙන්නාවූ ද තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලයා  කවරහුද ?

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්  වස්ත්‍ර නොහඳින්නේ වෙයි. හොඳ පැවතුම් නැත්තේ වෙයි. මලපහ කොට අතින් පිස දමන්නේ වෙයි. එව ස්වාමීනි”යි කී විට නොඑන්නේ වෙයි. සිටිනු ස්වාමීනියි කී විට නොසිටින්නේ වෙයි. පළමු කොට ගෙනෙනලද ආහාරය නොපිළිගණියි. උන්උදෙසා කරන ලද්ද නොපිළිගණියි.  ආරාධනා කොට දුන් බත නොඉවසයි. වලඳක පිස  දුන් දෙය නොපිළිගණියි. එළිපත මත  සිට පිදු දානය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මෙහොලක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. වළඳන්නාවූ දෙදෙනෙකු අතුරෙන් කෙනෙක් දුන් දෙය නොපිළිගණියි. දරුවෙකු ලැබෙන්නට ඉන්නා ස්ත්‍රියකගෙන් දානය නොපිළිගණියි. සමාදන් කොට දුන් කල්හි නොපිළිගණියි. යම් තැනක සුනඛයෙක් සිටියේ වේද එතන්හි දුන් දෙය නොපිළිගණියි. යම් තැනක මැස්සෝ  ගැවසෙත්ද එතන්හි නොපිළිගණියි. පිසූ මාළු සහිත දානය නොපිළිගණියි.  පිසූ ගොඩමස් සහිත දානය  නොපිළිගණියි.  සුරා නොපිළිගණියි. මෙරය (මල්යුසින් කළ මත්පැන්) නොපිළිගණියි. කාඩිදිය නොබොයි. හෙතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එකම කුඩාවූ ආහාර භාජනයකින් යැපෙයි. කුඩා ආහාර බඳුන් දෙකකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතකින්ද යැපෙයි. එක් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. දෙදවසක් හැර දවසක්ද ආහාර ගණියි. සත් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. මෙසේ මෙබඳු අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරයි. හෙතෙම අමු පලා කන්නේ හෝ වෙයි. බඩ හමු අනුභව කරන්නේ හෝ වෙයි. හුරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි. සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි. මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි. තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි. තණකොල අනුභව කරන්නේ හෝ වෙයි. ගොම අනුභව කරන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇතිව වැටුණු ගෙඩි අනුභව කරමින් එයින් යැපෙයි. හෙතෙම හන වැහැරිද දරයි. මිශ්‍රක වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි. පංසුකූල වස්ත්‍රද දරයි. ගස් සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි. අඳුන් දිවි සම්ද දරයි. කුර සහිත අදුන් දිවිසම්ද දරයි. කුසතණ වැහැරිද දරයි. කෙඳිවලින් කළ වැහැරිද දරයි. පතුරුවලින් කළ වැහැරිද දරයි. මිනිස් කෙසින් කළ කම්බිලිද දරයි. අස්ලොම් ආදියෙන් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි. හිසකේ රැවුල් උදුරන්නේ, ඉසකේ රැවුල් උදුරන පිළිවෙතෙහි යෙදුනේ වෙයි. ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි. උක්කුටිකව වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනේ උක්කුටිකවූයේද වෙයි. කටු යහනෙහි සයනය කරයි. කටු ඇතිරියෙහි සයනය කරයි. සවස තෙවැනි කොට (දවසට තුන් වරක්) දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. [ඉහත දැක්වූ සියළු වෘත ඒ කාලයේ නොයෙක් ධර්මයන් අනුගමනය කල ආජීවක පරිබ්‍රාජකයන් කල දේවල්ය.]

මෙසේ මෙබඳු නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලතෙම තමන් තැවෙන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

§9.  “මහණෙනි, අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලයා කවරහුද ?

මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරයි. ඌරන් මරයි. ලිහිණින් මරයි. මුවන් මරයි. රෞද්‍රවූයේ වෙයි. මසුන් මරයි. සොරකම් කරයි. සොරුන් මරයි. සිරගෙවල් පාලනය කරයි. අන්‍යවූද කිසියම් සැහැසිකම් කරන්නාහු මේ පුද්ගලයා  අනුන් තවන්නේ අනුන් තවන අනුන්ට දුක්  ගෙනදෙන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

§10  “මහණෙනි, තමන් තැවෙන්නාවූ,  තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද පුද්ගලයා කවරහුද ?

මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔටුණු පළඳිනලද රජෙක් හෝ වෙයි. මහා සාර වංශ යෙහි ඉපිද්දේ මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට නැගෙනහිර දිශාවෙහි අළුත්වූ යාග ශාලාවක් කරවා, හිසකේ රැවුල් බහවා කුර සහිත අඳුන් දිවිසමක් හැඳ ගිතෙලින් හා තලතෙලින් ශරීරය තවරා මුවඅඟින් පිට කසමින් මෙහෙසියද පොරෝහිත බමුණාද සමග යාග ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි අතුරණලද පැදුරු ආදියක් නැති ගොම පිරිබඩකළාවූ භූමියෙහි සයනය කරයි. සමාන වස්සන් ඇති එක දෙනකගේ එක තනයෙක්හි යම් කිරක්වේද එයින් රජතෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද එයින් මෙහෙසිය යැපෙයි. තුන්වන තනයෙහි යම් කිරක් වේද එයින් පුරෝහිත බමුණා යැපෙයි. සිවුවන තනයෙහි යම් කිරක්වේද එයින් ගිනි පුදත්. ඉතිරිවූවකින් වසුතෙම යැපෙයි. හෙතෙම මෙසේ කියයි. “යාගය පිණිස මෙපමණ වෘෂභයන් නසත්වා, යාගය පිණිස මෙපමණ නාඹු වස්සන් නසත්වා, යාගය පිණිස මෙපමණ නෑඹි වැස්සියන් නසත්වා, යාගය පිණිස මෙපමණ එළුවන් නසත්වා, යාගය පිණිස මෙපමණ තිරෙළුවන් නසත්වා, යාගකණු පිණිස මෙතෙක් ගස් කපත්වා, යාග භූමිය වටකිරීම හා ඇතිරීම පිණිස මෙතෙක් කුසතණ සිඳිත්වා”යි. කියයි. [තමන්ට පිං ලැබීමට යැයි කැමැත්තෙන් තමන්ට දුක් දීමත්, අසරණ සතුන් මරා පුජා කිරීමාදී කරන්නාද, සිය සුඛ විහරණය පිණිස සිය සේවකයන් පෙලන්නාද මේ කාණ්ඩයට දමා සැලකු බව පෙනේ.]

ඔහුගේ  දාසයෝය කියා හෝ පණිවුඩකාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔව්හුද දණ්ඩෙන් තැති ගත්තාහු භයින් තැති ගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬමින් වැඩකරත්. මහණෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

§11.  “මහණෙනි, තමන් නොතවන්නාවූ, තමන් තවන පිළිවෙත නොයෙදුනාවූද අනුන් නොතවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද පුද්ගලයා  කවරහුද ?

තමන්ද නොතැවෙන්නා වූ අනුන්ද නොතවන්නාවූ  පුද්ගලයා   මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි. [රහත් උතුමාණන් වහන්සේ ගැන මේ චේදයෙන් කියැවේ. එතුමාණන් තමන් නොතැවීම, අනුන් ද නොතවා මේ ශ්‍රේෂ්ඨ තත්වය ලබන්නාවූ ප්‍රතිපත්තිය විස්තර කිරීම භාග්‍යවතුන් වහන්සේ ඊ ලඟට කරයි.] 

මහණෙනි, මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලෝකය දන්නාවූ, නිරුත්තර වූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළාවූ, සියලු ක්ලේශයන් නැති කළාවූ තථාගතයන් වහන්සේ පහලවෙති. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේලොකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මුල යහපත්වූ මැදයහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ ධර්මය දෙශනා කරනසේක. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නාහ.

ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කිසියම්  කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුණාවූ හෙතෙම මෙසේ සලකයි. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම අහස  මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදු කොට ලියවනලද සකක් වැනි මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකෙස් දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. හෙතෙම පසු කාලයෙක්හි ස්වල්පවූ හෝ , මහත්වූ හෝ සම්පත් හැර ස්වල්පවූ හෝ , මහත්වූ හෝ නෑදෑ පිරිස් හැර හිසකේ දැළි රැවුල් කපාදමා සිවුරු පොරොවා හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

§12.හෙතෙම මෙසේ පැවිදිවූයෙ  භික්ෂු සීලයෙන් යුක්ත වූයේ

  • ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි.  දඬු  ආයුධ ඉවත ලා සිටියි. පව් කිරීමට ලජ්ජා ඇත්තේ කරුණාවෙන් යුක්ත වූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි.
  • නුදුන් දෙය ගැණීම හැර දා නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කරයි.
  • අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරිවේ.
  • මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ සත්‍යවචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගැළපීම් ඇත්තේ ස්ථීර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි.
  • කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතන්හි නොකියන්නේවෙයි. එතනින් හෝ අසා ඔවුන්ගේ බිඳීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි.
  • පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි යම් ඒ වචනයක් නිර්දෝෂද, කණට මිහිරිද, ප්‍රේමණීයද, සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද එබඳු වචන කියන්නේ වෙයි.
  • සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සිමා සහිත අර්ථයෙන් යුක්තවූ සිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.
  • “හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි.
  • එක්වේලෙහි වළඳන බත් ඇත්තේ, රාත්‍රිභොජනයෙන් තොරවූයේ, විකල් බොජුනෙන් වැලකුනේ වෙයි.
  • මල් ගඳවිලවුන් දැරීම් සැරසීම් ගැල්වීම් යන මෙයින් වැලකුනේ වෙයි.
  • උස්ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි.
  • රන් රිදී මසු කහවනු පිළි ගැන්මෙන් වැලකුනේ වෙයි.
  • අමු ධාන්‍ය පිළිගැන් මෙන් වැලකුනේ වෙයි.
  • අමු මස් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • ස්ත්‍රීන් හා කුමරියන් පිලිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • එළුවන් හා තිරළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • කුකුලන් හා ඌරන් පිළිගැන් මෙන් වැලකුනේ වෙයි.
  • ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැණීමෙන් වැලකුනේ වෙයි.
  • කුඹුරු හා ඉඩම් පිළිගැණීමෙන් වැලකුනේ වෙයි.
  • දූත මෙහෙවර හා පණිවුඩ පනත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි.
  • බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට කිරීමය, තඹ ලෝහාදියෙන් කළ දෙය රත්‍රන්යයි රැවටීමය, හොරට වඤ්චා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි.
  • අල්ලස් ගැණීමය රැවටීමය කෛරාටික කම් කිරීමය යන මෙයින් වැළකුනේ වෙයි.
  • අත් පා ආදිය කැපීම මැරීම රැහැන් ආදියෙන් බැඳීම සැඟවීසිට මංපැහැරීම ගම් ආදියට පැන කොල්ලකෑම බලහත් කාරකම් කිරීම යන ආදියෙන් වැලකුනේ වෙයි.

§15.හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනෙක්හි යන්නේද (ස්වකීය අටපිරිකර පමනක්) හැරගෙනම යයි. යම්සේ නම් පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැන කට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද එපරිද්දෙන්ම මහණ තෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද (අට පිරිකර පමණක්) හැරගෙණම යෙයි. 

§16 

  • හෙතෙම මේ උතුම්වූ ශීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුවය විඳියි. 
  • “හෙතෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගනියි. සලකුණු වශයෙන් නොගනියි. යම් හේතුවකින් මේ ඇසෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ සංඛ්‍යාත ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ අල්ලා නොගනියි. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රියය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රියරකී. ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී, නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොටගෙන ඝ්‍රාණෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝාණ ඉන්ද්‍රිය රකියි, ඝාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • “දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජිව්හෙන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය රකී. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. 
  • “කයින් පහසක් ස්පර්ශ කොට එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන කායෙන්ද්‍රියය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය රකියි. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. 
  • “සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යම් හේතුවකින් මේ මනින්ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳියි. 

§17. “හෙතෙම ඉදිරියට යෑමෙහිද ආපසු යාමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍ර සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද බීමෙහිද රස විඳීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදා ගැනීමෙහිද, නිදි දුරු කිරීමෙහිද, කථා කිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද මනාව දැන සතියෙන්ම කරන්නේ වෙයි.

§18.හෙතෙම මේ උතුම් ශීලරාශියෙන් සන්නද්ධ වූයේ,  ඉන්ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ,  උතුම් සති සම්පජන්න  දෙකින් යුක්තවූයේ

  • විවේකයට සුදුසුවූ  වනයක් ය වෘක්ෂමූලය පර්වතය කඳුරැලිය පර්වත ගුහාය සොහොන භුමි යන විවේක සේනාසනයක් සෙවනය කරයි.
  • හෙතෙම බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුනේ ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
  • හෙතෙම ස්කන්ධ ලෝකයෙහි ලොභය දුරු කොට දුරු කරනලද ලොභය ඇති සිතින් යුක්තව වාසය කරයි, ලොභයෙන් සිත පිරිසිදු කරයි.
  • සිත විනාශ කරන්නාවූ ක්‍රොධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි, ක්‍රොධයෙන් සිත පිරිසිදු කරයි,
  • සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද චෛතසිකයන්ගේ ගිලන් බවයයි කියන ලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි, නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන් නොවූයේ අද්ධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරයි.
  • උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකරන ලද සැක ඇත්තේ කුශල ධර්මයන්හි මෙය කෙසේ කෙසේ වේදැයි පැවති සැක නැත්තේ වාසය කරයි.
  • විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිත කිළුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ
  • පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාරසහිතවූ විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කරයි,
  • විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාකෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබැව් ඇත්තාවූ අවිතර්කවූ අවිචාරවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේද වාසය කරයි. සුවයද කයින් විඳියි, යමක් උපෙක්ෂා ඇත්තේ සිහිය ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි,
  • සැපය දුරුකිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක් රහිතවූ, සැප රහිතවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇත්තාවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

§ 19. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙසුන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහි කරන නුවණ පිණිස සිත නමයී, හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කරයි, එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද අසවල් තැනවීමි මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත වූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුව දුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර ජාති සිහි කරයි.

§  20.  මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටිකල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිතනමයි  පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද අයහපත්ගති ඇත්තාවූද, චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද, සත්වයන් දකියි. ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝය. වාග්දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝය, මිථ්‍යාදෘෂ්ටික කර්ම සමාදන්වූවෝය, ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටික කර්ම සමාදන්වූවාහුය. ඔවුහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුය’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකියි, හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණවූද, දුර්වර්ණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දනියි.

§   21. “හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන් පහකිරීමේ ඤාණය පිණිස සිත නමයි,

  • හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි.
  • මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ දුක නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයන්ට හේතුවයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමයයි තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  තත්වූ පරිද්දෙන් දනියි.
  • මේ ආශ්‍රවයන් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගය’යි තත්වූ පරිද්දෙන් දනියි,

§   22.   තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි, භාවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වෙයි, ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, සතර මාර්ගයෙන් කටයුතු දෙය කරන ලද්දේය. මෙයින් මතු කළයුතු අනිකක් නැත්තේයයි දැනගණියි,

මහණෙනි, මේ පුද්ගලයා  තමන් නොතවන්නේ තමන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ. හෙතෙම තමන් නොතවන්නාවූද, අනුන් නොතවන්නාවූද මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේ”යයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පළමුවෙනිවූ කන්දරක සූත්‍රය නිමි. (1-1)

Pali Version
English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.