MN-01-05-03. මහා වෙදල්ල සූත්‍රය

CLICK ABOVE TO ACCESS SINHALA DHAMMA DESANA ON SUTTA

§1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ [ පටිසම්බිධාලාභී භික්ෂුන් එනම් ධර්මය විච්චේදක කොට වටහා ගන්නා භික්ෂුන් අතුරින් කොට්ඨිත ස්වාමින් වහන්සේ අග්‍ර බැව් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත.] ද, සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ද එහිම වැඩ වසත්.

දිනෙක සවස් කාලයෙහි මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ පලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන්තැනට  ගොස්, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කථාකොට නිමවා එක පසෙක හිද උන්හ. එකපැත්තක උන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

ප්‍රඥාව

 §2. “ඇවැත්නි, ‘අඥානයාය, දුෂ්ප්‍රාඥයාය’යි (නුවණ නැති තැනැත්තේය, නුවණ නැති තැනැත්තේයයි) කියනු ලැබේ. ඇවැත්නි, කෙබඳු අයෙක්  දුප්පන්ඥ යයි කියනු ලැබේද,

“ඇවැත්නි, ප්‍රඥාවෙන් නොදකින නොදැනෙන, පැහැදිලිව නොපෙනෙන යන අර්ථයෙන් අඥානයැ, දුෂ්ප්‍රාඥ (නුවණ නැත්තේ) යයි කියනු ලැබේ.
කුමක් නොදනීද?
මේ දුකයයි ප්‍රඥාවෙන් නොදනීද.

මේ දුක් ඉපදීමට හේතුවයයි ප්‍රඥාවෙන් නොදනීද .
මේ දුක් නැතිකිරීමයයි ප්‍රඥාවෙන් නොදනීද,
මේ දුක් නැතිකිරීමේ මගයයි ප්‍රඥාවෙන් නොදනීද .

ඇවැත්නි,  එසේ  ප්‍රඥාවෙන් නොදනීද නොදකීද ඒ හෙයින් දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ.”

“යහපති ඇවැත්නි,’ කියා ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමොදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළහ.

§3.“ඇවැත්නි, ප්‍රාඥයයෙක,  ප්‍රාඥය (නුවණ ඇතිතැනැත්තේය, නුවණ ඇතිතැනැන්තේය) යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙබඳු  අයෙක්  ප්‍රඥාවන්තයෙකෑයි කියනු ලැබේද? කොපමණකින් ප්‍රාඥයයෙක යි කියනු ලැබේද?”
“ඇවැත්නි,  යමෙක් ප්‍රඥාවෙන් විමසා බලා මේ මනාව දනියිද මනාව දකියිද, එවැන්නා  ‘ප්‍රාඥයයා ‘ යි කියනු ලැබේ.

කුමක් දනීද?
මෙය දුකයයි දනියිද.

මේ දුක් ඉපදීමේ හේතුවයයි දනියිද.
මේ දුක් නැතිකිරීමයයි දනියිද.
මේ දුක් නැති කිරීමේ මගයයි දනියිද.
ඇවැත්නි, යමේක් එසේ දනීද දකීද එවැන්නා  ප්‍රාඥයයායි කියනු ලැබේ.

[චතුරාර්ය සත්‍යය පිලිබඳ විශේෂ වූ වටහා දැනීම මෙයින් අදහස් වෙයි. සෝවාන් මාර්ගස්ථ ගේ වැටහීම මෙහි දැක්වෙන ප්‍රඥාවේ ප්‍රාථමිකම අවස්තාව ලෙස අතිපුජ්‍ය ඥාණමොලී ස්වාමින් වහන්සේ දක්වයි.]

විඥානය

§ 4.   “ඇවැත්නි, විඤ්ඤාණය, විඤ්ඤාණය (විශෙෂයෙන් දැනීම, විශෙෂයෙන් දැකීම) යයි කියනු ලැබේ.
ඇවැත්නි, කුමක් නම් “විඥානය”යයි කියනු ලැබේද?”

“ඇවැත්නි, යම්  විශෙෂ දැනීමක් වේද , විශෙෂ  දැකීමක් වේද , එහෙයින් විඥානයයි කියනු ලැබේ.” 
[පාලි යෙන් “විජානාති” ලෙස හැඳින්වෙන පදය] 
“කුමක් දනීද?” මේ සැප වේදනාවයයි දනියිද. මේ දුක් වේදනාවයයි දනීද, මේ උපෙක්ෂා වේදනාවයයි දනීද, ඇවැත්නි, යම් හෙයකින් විශෙෂයෙන් දනීද, විශෙෂයෙන් දනීද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. [ ප්‍රඥාවන්තයෙකුගේ විඥානය රූපය පිරිසිඳ  විදර්ශනා ඥානයෙන් වේදනාව දැනගන්නා ආකාරය මහා සතිපට්ඨාන සුත්‍රයේ විස්තරාකාරව සඳහන් වේ.]

 § 5.  ඇවැත්නි, ප්‍රඥාව සහ   විඥානය යන මේ ධර්මයෝ ඔවුනොවුන් එක්ව පවත්නාහුද? නැතහොත් වෙන් වෙන්ව පවත්නාහුද, මේ ධර්මයන් ඔවුනොවුන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට හැකිද?”
“ඇවැත්නි, ප්‍රඥාව සහ විඥානය  එක්ව පවත්නා 
ධර්මයෝ වෙති.  වෙන් වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට වෙනස දක්වන්නට නොහැකිය. ඇවැත්නි, යමක් ප්‍රඥාවෙන් දනීද, විඥානයෙන් එය දනියි. විඥානයෙන් යමක් දනීද, ප්‍රඥාවෙන්ද එය දනියි. එහෙයින් මේ ධර්මයෝ එක්ව පවත්නාහුය වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් ඔවුනොවුන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස දක්වන්නට බැරිය.”

[ අටුවාවෙහි දැක්වෙන පරිදි විදර්ශක යෝගී අවස්ථාවේ සහ මාර්ගඵලස්ථ අවස්තාවන්හිදී එක් එක් ඉන්ද්‍රිය තලයක් මත,ම විඥානය හා ප්‍රඥාව එක්ව නැගෙන සහ එකාවරම නැතිවෙන සැටිත් මින් අදහස් වෙයි.]

§ 6. “ඇවැත්නි, එක්ව පවත්නාවූ වෙන්ව නොපවත්නාවූ  ප්‍රඥාව සහ විඥානය යන මේ ධර්මයන්ගේ වෙනස කවරේද?”

“ඇවැත්නි, එක්ව පවත්නාවූ වෙන්ව නොපවත්නාවූ  ප්‍රඥාව සහ විඥානය  අතුරෙන් ප්‍රඥාව වැඩිය යුතුය. විඥානය පිරිසිඳ දතයුතුය. මෙය ඔවුන්ගේ වෙනසයි.”

[ ප්‍රඥාව සම්මා දිට්ඨියේ අංගයක් ලෙස වඩාගත යුතු ධර්මය වන අතර විඥානය දුක්ඛ ආර්ය සත්‍යට අදාළ ව අනිච්ච් අනාත්ම ලෙස වටහා ගත යුතුය.]

වේදනා (විඳීම)

§ 7. “ඇවැත්නි, වේදනාවය, වේදනාවයයි කියනු ලැබේ. (වින්දනය)
ඇවැත්නි, කොපමණකින් වේදනාවයයි කියනු ලැබේද?”

“ඇවැත්නි, යම්ම වූ විඳීමක් වෙයිද , යමක්  විඳීද එහෙයින් වේදනාවයයි කියනු ලැබේ.”

“කුමක් විඳීද” සැපද විඳියි, දුකද විඳියි, උපෙක්ෂාවද විඳියි. ඇවැත්නි, යම් හෙයකින් විඳීද, විඳීද එහෙයින් වේදනාවයයි කියනු ලැබේ.”

[බෝතලයක සීනි ඇතිවිට සිනි බෝතලයයි කීවද බෝතලය සාදා ඇත්තේ සීනි වලින් නොවේ.  වේදනාව විඳින්නෙකුගෙන් වෙන් කොට වේදනාව පමණක් දැකීම වේදනාව දැකීම ලෙස සැලකේ.]

Colors
සඥාව

§ 8. “ඇවැත්නි, සංඥාවය, සංඥාවයයි කියනු ලැබේ.
ඇවැත්නි, කොපමණකින් සංඥාවයයි කියනු ලැබේද?”
“යම් හෙයකින් හඳුනයිද, හඳුනයිද, ඇවැත්නි, එහෙයින් සංඥාවයයි කියනු ලැබේ.”

[ප්‍රශ්නය සහ පිළිතුර ලෞකීය අර්ථය පිලිබඳවය.]

“කුමක් හඳුනයිද?”
නිල් පාටයයි හඳුනයි. කහපාටයයි හඳුනයි. රතු පාටයයි හඳුනයි. සුදු පාටයයි හඳුනයි. ඇවැත්නි, යම් හෙයකින් හඳුනයිද, හඳුනයිද එහෙයින් ඒ හැඳිනීම  සංඥාවයයි කියනු ලැබේ.”

§ 9   “ඇවැත්නි, වේදනාව , සංඥාව, විඥානය, මේ ධර්මයෝ එක්ව පවත්නාහුද?
නොහොත් වෙන් වෙන්ව පවත්නාහුද?
මේ ධර්මයන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස පෙන්වන්නට හැකිද?

“ඇවැත්නි, යම් වේදනාවක් වේද, යම් සංඥාවක් වේද, යම් විඤ්ඤාණයක් වේද මේ ධර්මයෝ එක්වමැ පවත්නාහුය. වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස පෙන්වන්නට නොහැකිය. ඇවැත්නි, යමක විඳීමක් ඇත්ද,   එය හඳුනා ගැනීමක් වෙයිද,  යමක් හඳුනාද එය විශෙෂයෙන් දනියි. . එහෙයින් මේ ධර්මයෝ එක්ව පවත්නාහුය. වෙන්ව නොපවත්නාහුය. මේ ධර්මයන් වෙන් වෙන් කොට ඔවුන්ගේ වෙනස පෙන්වන්ට නොහැකිය.”

[Note: ප්‍රඥාව මේ ලැයිස්තුවේ අඩංගු නොවන්නේ විඥානයේ සෑම අවස්ථාවකම එකතුවම ඇතිවන ධර්මතා පමණක් මෙහි අඩංගු කරනු පිණිසය.] 

§ 10  “ඇවැත්නි, පඤ්චෙන්ද්‍රියයන්ගෙන් නිදහස් කර ගත්, (උපකේලශ රහිත) පිරිසිදුවූ මනො විඤ්ඤාණයෙන් (රූපාවචර චතුර්ථද්ධ්‍යාන සිතින්) කුමක් දතයුතුද?”

“ඇවැත්නි, පඤ්චෙන්ද්‍රියයන්ගෙන් තොරවූ පිරිසිදුවූ මනොවිඤ්ඤාණයෙන් [පාරිසුද්ධ මනෝ විඥානයෙන්: එය සතරවන  ධ්‍යානයෙන් උපදින ලෝකෝත්තර  ඵල දැකීම ලෙස සඳහන් වේ.]  , ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනය දතයුතුයි. විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනය දතයුතුයි. කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය දතයුතුයි.”

§ 11 “ඇවැත්නි, නෙය ධර්මය (දතයුතු ධර්මය) කුමකින් දනීද”
“ඇවැත්නි, දතයුතු ධර්මය ප්‍රඥා ඇසින් දනියි.

[ප්‍රඥා ඇස  (පඥාචක්කු) යනු  ප්‍රඥාවම වුවත් ලෝකෝත්තර දර්ශනය වෙත යොමුකරවන හෙයින් එසේ දැක්වේ.]

§ 12 , ඇවැත්නි, ප්‍රඥාව කුමක් ප්‍රයෝජන කොට ඇත්තීද?”

“ඇවැත්නි, ප්‍රඥාව වනාහි දතයුතු ධර්මයන් දැනීම සඳහාද පිරිසිඳිය යුතු ධර්මයන් පිරිසිඳීම (අභිඥා)  පිණිසද පහකළ යුතු ධර්මයන් (පරිඥා)  පහකිරීම සඳහාද පවතියි.” [ අභිඥා හා පරිඥා අතර වෙනස § 23 න් කියවන්න.]

සම්මා දිට්ඨිය

§ 13. “ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය (විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව) ඉපදීමට කෙතෙක් ප්‍රත්‍යයෝ වෙත්ද?”

“ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය (විදර්ශනා ප්‍රඥාව හා මාර්ග ප්‍රඥාව) ඉපදීමට ප්‍රත්‍යය දෙකක් වෙති.
පරතො ඝොෂය 
(අන්‍යයන් ගෙන් බණ ඇසීම) හා
යොනිසොමනසිකාරය  ( නුවණින් කල්පනා කිරීම)
යන දෙකයි. ඇවැත්නි, මේ ප්‍රත්‍යය දෙක සම්‍යක් දෘෂ්ටිය (විදර්ශනා ප්‍රඥාව හා මාර්ගප්‍රඥාව) ඉපදීම පිණිස වෙති.

[ මේ දෙකරුනෙන් පළමුවැන්න වන  පරතෝඝෝෂය  පච්චේක බුද්ධ සහ සම්මා සම්බුද්ධයන් වහන්සේලාට අදාළ නොවේ.]

§ 14.  “ඇවැත්නි, කෙතෙක් අංගයකින් ලබනලද උපකාර ඇති අර්හත්මාර්ග සම්‍යක් දෘෂ්ටිය චිත්ත විමුක්තිය (කෙලෙසුන් කෙරෙන් මිදීම) ඵලය කොට ඇත්තී වේද? චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීද? ප්‍රඥා විමුක්තිය ඵලය කොට ඇත්තීද? ප්‍රඥා විමුක්ති ඵලය අනුසස්කොට ඇත්තීද?”

“ඇවැත්නි, අංගපසකින් උපකාර ලද්දාවූ සම්‍යක් දෘෂ්ටිය චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තීය. චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීය. ප්‍රඥා විමුක්ති ඵලය කොට ඇත්තීය. ප්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තීය. ඇවැත්නි, මේ ශාසනයෙහි සම්‍යක් දෘෂ්ටිය [ ලෝකෝත්තර සම්මා දිට්ඨිය]

  • ශීලයෙන් ලබන ලද උපකාර ඇත්තී වේද,
  • බහුශ්‍රැත බවෙන් ලබනලද උපකාර ඇත්තී වේද,
  • සාකච්ඡාවෙන් ලබනලද උපකාර ඇත්තී වේද,
  • සමථයෙන් ලබනලද උපකාර ඇත්තී වේද,
  • විදර්ශනාවෙන් ලබනලද උපකාර ඇත්තී වේද,
    ඇවැත්නි, මේ ධර්ම පසකින් උපකාර ලද සම්‍යක් දෘෂ්ටිය චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තීද වේ. චිත්ත විමුක්ති ඵලය ප්‍රයෝජන කොට ඇත්තීද වේ. ප්‍රඥාවිමුක්තිය ඵලය කොට ඇත්තීද වේ. ප්‍රඥාවිමුක්ති ඵලය ප්‍රයෝජනය කොට ඇත්තීද වේ.
භවය

§ 15.“ඇවැත්නි , භවයෝ කී දෙනෙක්ද?”

“ඇවැත්නි, කාමභවය රූපභවය, අරූප භවයයයි මේ භව තුනකි.”

§ 16.   “ඇවැත්නි,කෙසේ නම් නැවත නැවත ඉපදීම වේද?”
“ඇවැත්නි, අවිද්‍යාවෙන් වැසුනාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සත්ත්වයින්ගේ ඒ ඒ භවයෙහි ඇලීම ඇතිවෙයි. මෙසේ නැවත නැවත භවයෙහි ඉපදීම ඇති වෙයි.”

[ ආයතීම් පුනබ්භවාභින්නිති යනු පුනර් භවයයි.  නැවත කැරකීමට එක් වීමයි. මේ ප්‍රශ්නය සහ ඊ ළඟ ප්‍රශ්නය දොළොස් ආකාර පටිච්ච සමුප්පාදය දෙස බැලීමකි.]

§ 17. “ඇවැත්නි , කෙසේ නම් නැවත නැවත භවයෙහි ඉපදීම නොවේද?”
“ඇවැත්නි, අවිද්‍යාව නැති කිරීමෙන් අර්හත් මාර්ග විද්‍යාව පහළවීමෙන් තෘෂ්ණාව නැති කිරීමෙන් මෙසේ නැවත නැවත භවයෙහි ඉපදීම සිදු නොවේ.”

ප්‍රථම ධ්‍යානය

§ 18. “ඇවැත්නි , ප්‍රථම ධ්යා‍නය නම් කවරේද?”

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කරයි, ඇවැත්නි, මේ ප්‍රථම ධ්‍යානයයි කියනු ලැබේ.”

§ 19 . “ඇවැත්නි , ප්‍රථම ධ්‍යානය කොපමණ අංගයකින් යුක්තද?”
“ඇවැත්නි, ප්‍රථමධ්‍යානය අංග පසකින් යුක්තය. ඇවැත්නි, මේ ශාසනයෙහි ප්‍රථමධ්‍යානයට සමවදින්නාවූ මහණහට විතර්කයද විචාරයද, ප්‍රීතියද, සැපයද සිත එකඟබවද පවතියි ඇවැත්නි, ප්‍රථමධ්‍යානය මෙසේ අංග පසක් ඇත්තේ වෙයි.”

§ 20. “ඇවැත්නි , ප්‍රථමධ්‍යානය කෙතෙක් අංගයකින් තොර වේද, කෙතෙක් අංගයකින් යුක්ත වේද?”
“ඇවැත්නි, ප්‍රථම ධ්‍යානය අංගපසකින් තොර වේ.

අංග පසකින් යුක්තවේ. ඇවැත්නි,

මේ ශාසනයෙහි ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනාවූ භික්ෂුවගේ

  • කාමච්ඡන්ද නීවරණය නැති වූයේ වෙයි.
  • ව්‍යාපාද නීවරණය නැති වූයේ වෙයි.
  • ථීනමිද්ධ නීවරණය නැති වූයේ වෙයි.
  • උද්ධච්චකුක්කුච්ච නීවරණය නැති වූයේ වෙයි.
  • විචිකිච්ඡා නීවරණය නැති වූයේ වෙයි.
  • විතර්කයද,
  • විචාරයද,
  • ප්‍රීතියද,
  • සැපයද
  • සිත එකඟ බවද

පවතියි.
ඇවැත්නි, මෙසේ ප්‍රථම ධ්‍යානය අංග පසකින් දුරු වූයේද, අංග පසකින් යුක්ත වූයේද වෙයි.”

පංච ඉන්ද්‍රියයන්

§ 21.  “ඇවැත්නි, නොයෙක් අරමුණු විෂය කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති,
එකිනෙකට අයත්වූ අරමුණු නොගන්නාවූ මේ ඉන්ද්‍රියයන්ගේ පිහිටීම කුමක්ද,
ඔවුන්ගේ අරමුණු රසය කවරෙක් විඳීද?”

ඇවැත්නි, නොයෙක් අරමුණු විෂය කොට ඇති, නොයෙක් අරමුණු ගොදුරු කොට ඇති,
එකිනෙකට අයත්වූ අරමුණු රසය නොගන්නාවූ මේ  ඉන්ද්‍රිය පසක් වෙත්. ඔහු කවරහුද?
චක්ෂු ඉන්ද්‍රියය, ශ්‍රොත ඉන්ද්‍රියය, ඝ්‍රාණ ඉන්ද්‍රියය, ජිව්හා ඉන්ද්‍රියය, කාය ඉන්ද්‍රියය යනුයි.
ඉන්ද්‍රියය පසට සිත පිහිටයි. සිත ඔවුන්ගේ අරමුණු රසය අනුභව කරයි.”
[ බාහිර  ආරම්මණ ලෙස රූප චක්කු ඉන්ද්රියටද ශබ්ද ශ්‍රොත ඉන්ද්රියටද ……..ලෙස වෙයි. නමුත් මනෝ ඉන්ද්‍රිය මගින් තමනට පමණක් ගෝචරවන ධම්ම ආරම්මණ වලට අමතරව අනෙක් සියළු ඉන්ද්‍රියයන් ට ගෝචර අරමුණුද  දනී. දකී. එහෙයින් මැ  සියළු ඉන්ද්‍රියයන් ” මනෝ පටිසරනම් ” ලෙස මනේන්ද්‍රිය ප්‍රධානියා කොට සිටී ]

§ 22 . “ඇවැත්නි , මේ ඉන්ද්‍රිය පස කුමක් නිසා පවතිත්ද?”
“ඇවැත්නි, මේ ඉන්ද්‍රිය පස ආයුෂ (ජීවිත ඉන්ද්‍රිය) නිසා පවතිත්.


§ 23. “ඇවැත්නි , ආයුෂය කුමක් නිසා පවතීද?
ආයුෂය උෂ්ණය (කර්මයෙන් උපන් තෙජො ධාතුව) නිසා පවතියි.”

§ 24. “ඇවැත්නි ,“ඇවැත්නි, උෂ්ණය කුමක් නිසා පවතීද?”
“උෂ්ණය ආයුෂ (ජීවිතෙන්ද්‍රිය) නිසා පවතියි.”

§ 25 . “ඇවැත්නි, ආයුෂය උෂ්ණය නිසා පවතීයයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ කීම අපි දැන් මෙසේ දනිමු.
ඇවැත්නි, කෙසේ නම් මේ කීමෙහි අර්ථය කෙසේ දත යුතුද?”
වැත්නි, එසේවී නම් තොපට උපමාවක් කියමි. මේ ලොකයෙහි ඇතැම් නුවණ ඇත්තෝ උපමාවෙන්ද කියන ලද්දෙහි අර්ථය දැන ගනිති.

ඇවැත්නි, ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි ගිනිදලුව නිසා ආලොකය පෙනේද,
ආලොකය නිසා ගිනිදලුව පෙනේද,
ඇවැත්නි, එපරිද්දෙන්ම ආයුෂය උෂ්ණය නිසා පවතියි.
උෂ්ණය ආයුෂ නිසා පවතියි.

 ආයු සංස්කාර

§ 26 . “ඇවැත්නි , ආයුසංස්කාරයෝත් වෙදනා ධර්මයෝත් එකක්මද?
නැතහොත් ආයුසංස්කාරයෝ වෙනමද? වෙදනා ධර්මයෝ වෙනමද?”

“ඇවැත්නි, ආයුසංස්කාරයෝත් වෙදනා ධර්මයෝත් එකක්ම නොවෙති.
ඇවැත්නි, ආයුසංස්කාරයෝත් වෙදනාධර්මයෝත් එකක්ම වූවාහු නම් නිරොධ සමාපත්තියට පැමිණියාවූ භික්ෂුවගේ නැගී සිටීම නොපෙණෙයි. ඇවැත්නි, යම් හෙයකින් ආයුසංස්කාරයෝ අන්‍යයෝද, වෙදනාධර්මයෝ අන්‍යයෝද එහෙයින් නිරොධ සමාපත්තියට පැමිණියාවූ භික්ෂුවගේ නැගීසිටීම පෙණෙයි”

§ 27 . “ඇවැත්නි ,  යම් විටෙක මේ ශරීරය හරණලද, ඉවත දමනලද, සිත් නැති දඬුකඩක් මෙන් පවතීද, එවිට මේ ශරීරය කෙතෙක් ධර්ම අත්හරියිද?”

“ඇවැත්නි, යම්විටෙක ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය යන ධර්මතුන මේ ශරීරය අත්හරිද්ද, එකල මේ ශරීරය හරනලද, ඉවත දමනලද, සිත්නැති දඬු කඩක් මෙන් පවතියි.”

§ 28 . “ඇවැත්නි, යම් මේ සත්ත්වයෙක්  මළේද, කලුරිය කෙළේද, යම්  භික්ෂුවක්  නිරොධ සමාපත්තියට පැමිණියේද, මොවුන් දෙදෙනාගේ වෙනස කුමක්ද?”

“ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක්  මළේද, කලුරිය කෙළේද, ඔහුගේ කායසංස්කාරය (ආශ්වාස ප්‍රශ්වාස) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි. වාක්සංස්කාරය (විතර්ක විචාර) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි. චිත්ත සංස්කාරය (සංඥා වේදනා) නැතිවුණේ වෙයි, සංසිඳුනේ වෙයි, ආයුෂය ගෙවුනේය. උෂ්ණය (කර්මජ තෙජස) සංසිඳුනේය. ඉන්ද්‍රියයෝ බිඳුනාහ.

යම් භික්ෂුවක්  නිරොධසමාපත්තියට පැමිණියේද ඔහුගේද කායසංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) නැතිවුණේ වෙයි, සංසිඳුණේ වෙයි. වචී සංස්කාරය (විතර්ක විචාර) නැතිවුණේ වෙයි, සංසිඳුණේ වෙයි. චිත්ත සංස්කාර (සංඥා වේදනා) නැතිවුනේ වෙයි, සංසිඳුණේ වෙයි. එහෙත් ආයුෂය නොගෙවුනේය. උෂ්ණය නොසන්සිඳුනේය. ඇස් ආදී ඉන්ද්‍රියයෝ විශෙෂයෙන් පැහැදිලියහ. ඇවැත්නි, යම් මේ සත්වයෙක් මළේද, කළුරිය කළේද, යම් මේ භික්ෂුවක් නිරොධ සමාපත්තියට සම වැදුනේද මොවුන් දෙදෙනාගේ මේ වෙනසයි.”

චිත්ත විමුක්තිය


§ 29 . “ඇවැත්නි , අදුක්ඛම සුඛ (දුක්ද නොවූ සැපද නොවූ) චිත්තවිමුක්තියට පැමිණීමෙහි ප්‍රත්‍යයෝ කෙතෙක්ද?”

“ඇවැත්නි, අදුක්ඛම සුඛ (දුක්ද නොවූ සැපද නොවූ) චෙතො විමුක්තියට පැමිණීමෙහි ප්‍රත්‍යය සතරක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැපය නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරලීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ වනාහි අදුක්ඛමසුඛ (දුක්ද නොවූ සැපද නොවූ) චිත්ත විමුක්තියට පැමිණීමේ ප්‍රත්‍යය සතරයි.”

§ 30 . “ඇවැත්නි , අනිමිත්ත චිත්ත විමුක්තියට (නිරොධ සමාපත්තියෙන් නැගී සිටින ඵලසමාපත්තියට) සමවැදීමෙහි ප්‍රත්‍යය කෙතෙක්ද?
“ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තියට පැමිණීමෙහි ප්‍රත්‍යය දෙකකි.
සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීම හා
නිර්වාණ ධාතුව මෙනෙහි කිරීමය.
ඇවැත්නි, අනිමිත්ත චිත්තවිමුක්තියට පැමිණීමෙහි මේ ප්‍රත්‍යය දෙක වෙයි”

§ 31  . “ඇවැත්නි ,අනිමිත්ත චිත්තවිමුක්තිහුගේ පැවැත්ම පිණිස ප්‍රත්‍යය කෙතෙක්ද?”

“ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තිහුගේ පැවැත්ම පිණිස ප්‍රත්‍යය තුනෙකි.
සියලු රූපාදී නිමිති මෙනෙහි නොකිරීමද,
නිර්වාණ ධාතුව මෙනෙහි කිරීමද,
සමවැදීමට පළමුව කාලය පිරිසිඳීමද යන (තුනයි.)
ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තිහුගේ පැවැත්මට මේ ප්‍රත්‍යය තුන වෙයි.”

§ 32 . “ඇවැත්නි ,  ඵල සමාපත්තියෙන් නැගීසිටීමට ප්‍රත්‍යය කෙතෙක්ද?”
“සියලු රූපාදි නිමිති මෙනෙහි කිරීමද,
නිර්වාණ ධාතුව මෙනෙහි නොකිරීමද යන දෙකයි,
ඇවැත්නි, අනිමිත්ත චෙතොවිමුක්තියෙන් නැගී සිටීමට මේ ප්‍රත්‍ය දෙක වෙයි.”

§ 33. “ඇවැත්නි, අප්පමාණ නම්වූ යම් චිත්ත විමුක්තියක් වේද, ආකිඤ්චඤ්ඤ නම්වූ යම් චිත්තවිමුක්තියක් වේද, යම් සුඤ්ඤත නම් චිත්ත විමුක්තියක් වේද, යම් අනිමිත්ත නම්වූ චිත්ත විමුක්තියක් වේද, මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහුද? නොයෙක් අක්ෂර ඇත්තාහුද? නොහොත් එකම අර්ථ ඇත්තෝද? අක්ෂර පමණක් වෙනස්ද.”

“ඇවැත්නි, යම් අප්පමාණ නම් චිත්තවිමුක්තියක් වේද, යම් ආකිංචඤ්ඤ නම් චිත්තවිමුක්තියක් වේද, යම් සුඤ්ඤත නම් චිත්තවිමුක්තියක් වේද, යම් අනිමිත්ත නම් චිත්තවිමුක්තියක් වේද, ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථ ඇත්තාහු නොයෙක් අක්ෂර ඇත්තාහු වෙත්ද, එබඳු ක්‍රමයක්ද ඇත. ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ එකම අර්ථ ඇත්තාහු අක්ෂරයෙන් පමණක් වෙනස්වූවාහු වෙත්ද, එබඳු ක්‍රමයක්ද ඇත.”

§ 34 . “ඇවැත්නි ,  යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ නොයෙක් අර්ථවත් වූවාහු අක්ෂරයෙන් වෙනස් වූවාහු වෙද්ද, ඒ ක්‍රමය කුමක්ද?”

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගතවූ සිතින් එක් දිසාවක් පැතිර වාසය කරයිද, එසේම දෙවන දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද, මෙසේ උඩ යට, සරස සියලු තන්හි, සියලු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්වූ, මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පැතිර වාසය කරයිද, කරුණා සහගත සිතින් එක් දිශාවක් පැතිර වාසය කරයිද, එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ, යට, සරස, සියලු තැන්හි, සියලු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පැතිර වාසය කරයිද.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක පැතිර වාසය කරයිද එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ, යට, සරස, සියලු තැන්හි, සියලු ආකාරයෙන්, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පැතිර වාසය කරයිද.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක පැතිර වාසය කරයිද එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ, යට, සරස, සියලු තැන්හි සියලු ආකාරයෙන් සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත්වූ, මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ, වෛර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහිත සිතින් පැතිර වාසය කරයි. ඇවැත්නි, මේ වනාහි අප්‍රමාණ චෙතොවිමුක්තිය යයි කියනු ලැබේ.”

§ 35. “ඇවැත්නි , ආකිඤ්චඤ්ඤායතන චිත්ත විමුක්තිය කවරීද

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද, ඇවැත්නි, මෙය ආකිචඤ්ඤ නම් චිත්ත විමුක්තියයි කියනු ලැබේ.”

§ 36. “ඇවැත්නි ,  සුඤ්ඤත චිත්ත විමුක්තිය කවරීද”

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම අරණ්‍යකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ ‘මෙය ආත්මයෙන් හෝ, ආත්මය පිළිබඳ වූවකින් හෝ හිස්ය’යි කල්පනා කරයිද ඇවැත්නි, මෙය සුඤ්ඤත චෙතොවිමුක්තියයයි කියනු ලැබේ.”

§  37.  “ඇවැත්නි,  අනිමිත්ත චිත්ත විමුක්තිය කවරීද”

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සියලු රූපාදි නිමිති මෙනෙහි නොකිරීමෙන් නිමිත්ත රහිතවූ චිත්ත සමාධියට පැමිණ වාසය කරයිද, ඇවැත්නි, මෝ තොම අනිමිත්ත චිත්ත විමුක්තියයයි කියනු ලැබේ. ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ වෙනස් අර්ථ ඇත්තාහු වෙත්ද, වෙනස් අක්ෂර ඇත්තාහු වෙත්ද මේ ඒ ක්‍රමයයි.

§ 38 . “ඇවැත්නි , යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ අර්ථයෙන් එකක් වූවාහුද, අක්ෂරයෙන් පමණක් වෙනස් වෙත්ද, ඒ ක්‍රමය කවරේද?”

  • “ඇවැත්නි, රාගය වනාහි ප්‍රමාණ කරණ (පුද්ගලයාගේ ප්‍රමාණය දක්වන) ධර්මයෙකි.
    ද්වෙෂය ප්‍රමාණ කරණ ධර්මයෙකි.
    මොහය ප්‍රමාණ කරණ ධර්මයෙකි.
    රහත් භික්ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. මුල් උදුරන ලද්දාහුය. අග කැපූ තල් ගසක් මෙන් කරන ලද්දහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, අප්‍රමාණ චිත්තවිමුක්තීහු යම් පමණක් වෙත්ද, ඔවුන් අතුරෙන් අර්හත්ඵල චිත්ත විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චිත්ත විමුක්තිය රාගයෙන් හිස්ය. ද්වෙෂයෙන් හිස්ය. මොහයෙන් හිස්ය. 
  • “ඇවැත්නි, රාගය වනාහි (සත්ත්වයන් මඩින හෙයින්) පළිබොධයෙකි.
    ද්වෙෂය පළිබොධයෙකි.
    මොහය පළිබොධයෙකි.
    රහත් භික්ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. මුල් උදුරන ලද්දාහුය. අග කැපූ තල් ගසක් මෙන් කරන ලද්දහ. මතු නූපදින ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, ආකිඤ්චඤ්ඤ චිත්තවිමුත්තීහු යම් පමණ වෙත්ද, ඔවුනතුරෙන් අර්හත්ඵල චිත්ත විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත් ඵල විමුක්තිය රාගයෙන් හිස්ය, ද්වෙෂයෙන් හිස්ය, මොහයෙන් හිස්ය.
  • “ඇවැත්නී, රාගය වනාහි පෘථග්ජන පුද්ගලයා හැඳින ගැණීමට ලකුණකි.
    ද්වෙෂය පෘථග්ජන පුද්ගලයා හැඳින ගැනීමට ලකුණකි.
    මොහය පෘථග්ජන පුද්ගලයා හැඳින ගැනීමට ලකුණකි.
    රහත් භික්ෂුවගේ ඒ රාගාදිය නැති වූවාහුය. සිඳිනලද මුල් ඇත්තාහ. අග කැපූ තල් ගසක් මෙන් කරන ලද්දහ. නැති කරණ ලදහ. මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තාහ. ඇවැත්නි, අනිමිත්ත චිත්ත විමුක්තීහු යම් පමණ වෙත්ද, ඔවුනතුරෙන් අර්හත්ඵල විමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අර්හත්ඵල චිත්තවිමුක්තිය රාගයෙන් හිස්ය, ද්වෙෂයෙන් හිස්ය, මොහයෙන් හිස්ය, ඇවැත්නි, යම් ක්‍රමයකට පැමිණ මේ ධර්මයෝ එකට ඇත්තාහු වෙත්ද, අක්ෂරයෙන් පමණක්වත් වෙනස් නොවෙත්ද, මේ ඒ ක්‍රමයයි.”


ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. සතුටුවූ මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

තුන්වෙනිවූ මහා වෙදල්ල සූත්‍රය නිමි. (5-3)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.