MN 01-04-09. මහා අස්සපුර සූත්‍රය

නියම වශයෙන් සාසන ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවක තුල තිබිය යුතු ගුණ ධර්ම ගැන භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාද පෙළක් මෙම සුත්‍රයෙන් විස්තර වේ.
හිරි ඔත්තප්ප
කාය, වචී හා මනෝ සංවරය, ඇතිකරගන්න
ඉන්ද්‍රිය සංවරය , ඇතිකරගන්න
සම්මා ආජීවය රකින්න
ජාගරානු යෝගී වන්න,
සැම විට සතියෙන් හා අවබෝධයෙන් යුක්ත වන්න,
නීවරණ දුරු කරන්න.
සමාධිය වඩන්න , ධ්‍යාන වඩන්න.
ත්‍රි විද්‍යා ඇති කරගන්න.
නියම ශ්‍රමණබව ලබන්න.

භක්ෂුන්
සුත්‍ර විවරණය අසන්න

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟු දනව් වැසියන්ගේ අස්සපුර නම් නියම්ගමෙහි වාසය කරති. එකල්හි දිනක්  භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. 

§2. ‘මහණෙනි, මහජනයා තොපට  ශ්‍රමණයෝය, ශ්‍රමණයෝය’ කියා හඳුන්වයි. තොපිදු ‘තෙපි කවරහුදැ’යි  අසන ලද විට  , ‘අපි ශ්‍රමණයෝ යි ’යි පිළිතුරු දෙන්නෝය.

මහණෙනි, මෙසේ හඳුන්වනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ  තොපගේ ශ්‍රමණ බව ඇතිකරන්නාවූද, බ්‍රාහ්මණ බව ඇතිකරන්නාවූද  කිසියම් ධර්මයන් වෙද්ද, ඒ ධර්මයන්හි තොප  සමාදන්ව සිටින්නේ නම් මෙසේ හැඳින්වීම සත්‍යවන්නේය. අපගේ පිළිතුරු දීමද ඇත්තක් වන්නේය. අපි යම් කෙණෙකු පුජා කල සිව්රු, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමුද, අප සඳහාම කරන්නාවූ ඔවුන්ගේ ඒ සත්කාර, දානය, මහත් ඵල, මහත් අනුසස් වන්නාහ. අපගේද මේ මහණකම හිස් නොවූ, ඵල සහිතවූ, වැඩීම් සහිතවූ එකක් වන්නේය’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

§ 3. “මහණෙනි, ශ්‍රමණ බව ස්ථාපිත කරන්නාවූද, බ්‍රාහ්මණ බව ගෙන දෙන්නාවූ  ධර්ම  කවරේද?

හිරි ඔත්තප්ප LINK

හිරි ඔතප් (ලජ්ජා, භය)416 දෙකින් යුක්ත වන්නෙමු’යි   තොප විසින් හික්මිය යුතුයි.
මහණෙනි, එසේ හික්මුණු තොපට මෙබඳු අදහසක් විය හැක්කේය.

[416: හිරි නොහොත් ලජ්ජාවය ඔත්තප්ප නොහොත් භය’ය යනු ලෝකය පවත්වන්නාවූ ධම්යන් දෙක ලෙස භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ AN 07-07-01  හිරොත්තප්පවින්න සූත්‍රහි දක්වා ඇත. වැරැද්දක් කරන්නට ලැජ්ජාවීම වැරැද්දේ ප්‍රතිඵල ගැන බියවීම ලෙස ඉහත දැක්වූ LINK ලිපියේ විස්තර සඳහන් වේ.]

‘අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. මේ හිරි ඔත්තප්පය අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය. “

“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි. 
සාමන්ඥඵලය පතන තොප කළ යුතු බොහෝ දේ417 තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ තොපගේ උත්සාහය ලිහිල් නොකල යුතුය. “

[417:- සාමඥඥ නොහොත් ශ්‍රමණ සීලය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස අටුවාව දක්වයි. ශ්‍රමණ බවේ අභිමතය රාග දෝස මෝහ දුරු කිරීම බවද අටුවාව දක්වයි.]

කාය සංවරය

§ 4. “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද?

‘අප කාය සංවරයෙන් සම්පුර්ණය. අපගේ කයින් හැසිරීම පිරිසිදුය. ප්‍රකටය. නොවැසුනේය. සිදුරු නැත්තේය. කයෙන්  සංවර වූයේය. අප එසේ  කයින් පිරිසුදු වූ  නිසා අප උසස්කොට නොදකින්නෙමු, අනුන් පහත් කොට නොදකින්නෙමු’යි මහණෙනි, තොප විසින් හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.

අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද  පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, අපගේ සාමන්ඥතාවට නොහොත්  ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ  කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත්  කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.

‘මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි. 
සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “.

වචී සංවරය

§ 5. “මහණෙනි, මත්තෙහි කටයුතු නම් කුමක්ද?
අපගේ වචන පාවිච්චිය පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය. සිදුරු නැත්තේය සංවර වූයේය. අප පිරිසිදු වචන ඇති බැවින්, වචී සංවරය ඇති බැවින් අපව උසස්කොට නොදක්නෙමු, අනුන් පහත් කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, එවිට තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය. වචනයේ පැවැත්ම පිරිසිදුය. මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, වචී සංවරය අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.

මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

මනෝ සංවරය

§ 6. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?
‘අපගේ සිතුවිලි පිරිසිදුය, ප්‍රකටය, නොවැසුනේය, සිදුරු නැත්තේය, මනෝ සංවරය. සංවරවූයේය. ඒ පිරිසිදු සිතේ පැවැත්ම ඇති බැවින් තමන් උසස්කොට නොදකින්නෙමු. අනුන් පහත්කොට නොදකින්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, වචී සංවරය , මනෝ සංවරය
අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.

මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

සම්මා ආජීවය

§ 7. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?

‘අපගේ ජීවිකාව පිරිසිදු ලෙස අප පවත් වන්නෙමු. , ප්‍රකට ලෙස පවත් වන්නෙමු, නොවැසුණ ලෙස පවත් වන්නෙමු, සිදුරු නැතිව පවත් වන්නෙමු. සංවර කර පවත් වන්නෙමු . ඒ පිරිසිදු ජීවිකාව ඇති බැවින් අප උසස් කොට නොදක්නෙමු. අනුන් පහත්කොට නොදක්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි. 418

[418:- ගිහියන්ගේ ජීවිකාව සඳහා කරන කර්මාන්තවලින් ලෝභ දොස මෝහ සිදු නොවන රැකියා කල යුතු බව හා ස්ප්රාන ඝාතය සිදුවන මස් මාංශ වෙළඳාම, වස විෂ වෙළඳාම, අවි ආයුධ වෙළඳාම ආදී කටයුතු නොකළ යුතු බවත් ඔබ දනී. ජීවිකාව පිණිස රැකියාවක් කර්මාන්තයක් නොකරන ශ්‍රමණයන් කෙසේ ජීවිකාව පිණිස නොතරම් දේ කරත් දැයි මෙසේ සැලකිය යුතුය. දායකයන් පුජා කර බතින්, සිවුරෙන්, සෙනසුනෙන් රැකෙන ශ්‍රමනයන්, තමා හට වැඩි ප්‍රත්‍ය ලබාගන්නට යයි සිතා නැති ගුණ කියමින් දායකයන් වර්ණනා කිරීම්, දායකයන් ගේ කුඩා දරුවන්ට සීනි බෝල රස කැවිලි දෙමින් සුරතල් කරමින් දායකයා ගේ සිත පහදවා ගන්නට තැත් කිරීම්, විහාර ගෙය දාන ශාලාව ඝන්ටාර කුලුන හදන්නට මුදල් ඉල්ලීම, මුදල් එකතු කිරීම, ගීත පරංග, නාට්‍ය චිත්‍රපට පෙන්නීම්, ආහාර විකිණීමට සැණකෙළි පැවැත්වීම්, ගමක් ගමක් ගානේ ත්‍රි වීල් රථවල ශබ්ද විකාසන සවිකරගෙන් යමින් ආධාර ඉල්ලීම් භික්ෂුවකගේ මිච්චා ආජීවය ලෙස දැකිය හැක.]

. ‘“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද  පිරිසිදුය මේ හිරි ඔත්තප්පය  කාය සංවරතාව, හා මනෝ සංවරය  ජීවිකාව පිරිසිදුය. අපගේ සාමන්ඥතාවට නොහොත්  ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ  කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත්  කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.

මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

ඉන්ද්‍රිය සංවරය

§ 8. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?

‘ඉන්ද්‍රියයන් තුලින් ගන්නා අරමුණු ලෝභ දොස මෝහ ඇතිවෙන සේ නොගත යුතුය. බාහිර අරමුණු කෙරෙහි    වසන ලද දොරවල් ඇත්තෝ වන්න.

ʘ ඇසින් රූපය දැක සිතට නොගන්න, නැවත නැවත මතක් වනසේ සිතට නොගන්න. මේ චක්ෂුරෙන්ද්‍රිය (ඇස) අසංවරව පාවිච්චි  කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ ආදී අකුශල ධර්මයෝ රැස් වන්නාහුද, එසේ නොවන සේ  චක්ෂුරින්ද්‍රිය  සංවරව  පවත්වනු. . චක්ෂුරින්ද්‍රිය රකින්න. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙන්න.

ʘ “කණින් ශබ්දය අසා සිතට නොගන්නේ තදින් සිතට නොගන්නේ, මේ සොත ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සොත ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ සොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

ʘ “නාසයෙන් ගන්ධය දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ඝාණ ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ඝාණ ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ඝාණ ඉන්ද්‍රිය රකින්නෙමු. ඒ ඝාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

ʘ “දිවෙන් රසය විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ ජිව්හා ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන දැඩි ආසාව හා කලකිරීම ආදී අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ජිව්හා ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ ජිව්හා ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

ʘ “කයින් ස්පර්ශයක් විඳ එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ කාය ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදි අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කාය ඉන්ද්‍රියය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ කාය ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ කාය ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු.

ʘ “සිතින් යම් (ධර්ම) අරමුණක් දැන එය සිතට නොගන්නේ, තදින් සිතට නොගන්නේ, මේ මනො ඉන්ද්‍රියය අසංවරව වාසය කරන්නාහට යමක් හේතු කොට ගෙන ලොභ දොස ආදී අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ මනො ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියය රකින්නෙමු. ඒ මනො ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නෙමු’යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

“මහණෙනි, ඉදින් එසේ ඉන්ද්‍රිය සංවරය පවත්වන තොපට මෙබඳු අදහසක් විය හැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, වචනයේ පැවැත්ම පිරිසිදුය. සිතේ පැවැත්ම පිරිසිදුය. ජීවිකාව පිරිසිදුය. ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු. අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

පමණ දැන ආහාර ගන්න

§ 9. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?
භොජනයෙහි පමණ දන්නෝ වන්න.419
නුවණින් සලකා බලා ප්‍රමාණය දැන ආහාර අනුභව කරන්න.

[419:- අනිකුත් සියලු කාම අරමුනු දුරු කොට පිළිවෙත් පුරන භික්ෂුව බොහෝ විට මේ ආහාර පමණ නොදැන ගැනීම නිසා අනතුරට පත් වේ. දායකයන් දානය බෙදන නිසා බොහෝ සුප ආහාර වර්ග ඇති නිසා ඒ වයේ රසයට ඇති කැමැත්ත ගැන සතිමත් නොවී, දානය පමණක් ටිකක් වැඩි පුර ගත්තාට වරදක් නැතැයි සිතා ගැනීමෙන් ප්‍රතිපත්ති පිරීමට ඇති බාධා පමණක් නොව ශරීර සෞඛ්‍යටද හානි වන බව භික්ෂුව සිත් දරා ගත යුතු වෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත.]

  • මේ ආහාරය ක්‍රීඩා කිරීම පිණිස නොවෙයි. මද වැඩීම කය ශක්තිය පිණිස නොවෙයි. කයේ හැඩ ගැන්වීම් පිණිස නොවෙයි, අලංකාරය පිණිස නොවෙයි.
  • යම්තම් මේ ශරීරය පැවැත්ම පිණිස යැපීම පිණිස, හිංසා දුරලීම පිණිස, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසය.
  • මෙසේ පැරණි වේදනාවන් නසන්නෙමි. අලුත් වේදනාවන් නො උපදවන්නෙමි, මාගේ දිවි පැවැත්ම මෙසේ වන්නේය. නිවරැදි ජීවිතය පිණිසද, සැප විහරණයද ඒ නිසා වන්නේය’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, වචනයේ පැවැත්ම පිරිසිදුය, සිතේ පැවැත්ම පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසනලද දොරවල් ඇත්තෙමු, භොජනයෙහි පමණ දැන වළඳන්නෙමු
. අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

ජාගරානුයෝගී වන්න

[420:- විසි හවුරුදු වයසින් පැවිදි වූවකු අසු වන වසරේදී මියයන්නේ නම් ඔහුට හැට වසරක් ප්‍රතිපත්ති පිරීමට පිළිවන. ඉන් දිනකට පැය 12ක් නින්දට ගත කළහොත් ඔහුට පිළිවෙත් පුරන්නට ඇත්තේ තිස් වසරකි. මනුෂ්‍යයාට නින්ද අවශ්‍යවන්නේ ඔහුගේ ශරීරයට විවේකයක් දීම පිණිසය. මේ විවේකය මිනිස් සිරුරේ ඇති නොයෙක් සංකීර්ණ පද්ධතීන් අලුත් වැඩියා කර ගන්නට ශරීරයට කාලය දෙයි. වෛද්‍ය විද්‍යාවට අනුව වැඩිහිටි මනුෂ්‍යයෙකුට දිනකට පැය හතක් නිදා ගැනීම සෑහේ. භාග්‍යවතුන් වහන්සේ දිනකට සැතපුනේ එක පැයක් පමණක් බව සඳහන් වේ. අනවශ්‍ය ලෙස නින්දට කාලය ගෙවුවොත් භාවනාවට සතිය වැඩීමට ඇති කාලය අඩුවෙන නිසා මෙම ජාගර යෝගය ඉතා වැදගත් බව සලකන්න.]

§ 10. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?
‘නිදි වැරීමෙහි යෙදුනෝ වන්න. ජාගර වන්න.
දවල් කාලය මුලුල්ලෙහි සක්මන් කරමින්, පර්යන්කයෙහි හිඳ භාවනාවෙහි යෙදෙමින්

ඳීමෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණු ඇලයෙන් දකුණු පයෙහි වම් පය මදක් ඇද තබා සිහියෙන් යුක්තව, හොඳ ප්‍රඥාව ඇතිව, නැගිටිමි යන සංඥාව සිත්හි තබාගෙන සිංහසෙය්‍යාවෙන් සැතපෙන්නෙමු. රාත්‍රියෙහි අන්තිම යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.
අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු. ‘අපගේ කායසමාචාරය පිරිසිදුය, වචීසමාචාරය පිරිසිදුය, මනොසමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබන ලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැත’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

සති සම්පජන්න වන්න

§ 11. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?
‘සිහියෙන් හා යහපත් ප්‍රඥාවෙන් යුක්තවූවෝ වන්න.

  • ඉදිරියට ගමන් කරන විටද , ආපසු ගමන් කරන විටද, සතියෙන් යුතුව ඒ කරන්න.
  • ඉදිරිය බැලීමෙහිද, වට පිට බැලීමෙහිද සතියෙන් එසේ බලන්න.
  • අත්පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා සතියෙන් යුක්තව එසේ කරන්න.
  • දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද, මනා සතියෙන් දැන එසේ කරන්න.
  • අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන ක්‍රියා ද සතිය පවත්වමින් කරන්න.
  • මල මුත්‍ර පහකිරීම පවා සතියෙන් නුවණින් සලකා කරන්නේය.
  • යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන එසේ කරන්න’

යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය.

“මහණෙනි, තොපට මෙබඳු අදහසක් විය හැකිය,
“මහණෙනි, තොපට මෙබඳු අදහසක් වියහැකිය.
අපි හිරි ඔතප් දෙකින්යුක්ත වෙමු. අපගේ කයින් හැසිරීමද පිරිසිදුය මේ හිරි ඔත්තප්පය හා කාය සංවරතාව, අපගේ සාමන්ඥතාවට නොහොත් ශ්‍රමණ බවට  ප්‍රමාණවත්ය. මෙපමණකින් අපි ශ්‍රමණ භාවයේ කටයුතු කෙළෙමු. අප විසින් මහණකමෙහි පල ලබනලදී. මින්පසු තවත් කළ යුත්තක් නැතැ’යි තෙපි සෑහීමට පත් විය හැක. මේ පමණකින්ම සතුටට පැමිණිය හැකිය.
අපි හිරි ඔතප් දෙකින් යුක්තවූවෝ වෙමු, අපගේ කාය සමාචාරය පිරිසිදුය, වචී සමාචාරය පිරිසිදුය, මනො සමාචාරය පිරිසිදුය, ජීවිකාව පිරිසිදුය, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තෝ වෙමු. භොජනයෙහි පමණ දැන වළඳන්නෝ වෙමු. නිදි තොර කිරීමෙහි යෙදුනෝ වෙමු. සිහියෙන් හා යහපත් නුවණින් යුක්තවූවෝ වෙමු. මෙපමණක් ඇත. මෙපමණකින් කටයුතු කරනලදී. අප විසින් මහණකමෙහි පල ලබනලදී. අපට මත්තෙහි කළයුතු කිසිවක් නැතැ’යි මෙපමණකින් සතුටට පැමිණිය හැකිය.
“මහණෙනි, තොපට කියමි. මහණෙනි, තොපට අවධාරණය කරමි.  සාමන්ඥඵලය පතන තොප කළ යුතු දේ තවත් ඉතිරිව ඇති කල්හි මෙසේ උත්සාහය ලිහිල් නොකරත්වා “

§ 12. “මහණෙනි, මත්තෙහි කටයුතු කුමක්ද?
මේ ශාසනයෙහි භික්ෂුව , ආරණ්‍ය සෙනාසනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඈත වන මැද සෙනාසනය, එළිමහනය, පිදුරු බිස්සය යන විවේක සෙනසුනක් සේවනය කල යුතුය.

§ 13 නීවරණ දුරු කිරීම

  • පිණ්ඩපාතයෙන් පසු පර්‍ය්‍යංකය බැඳ ශරීරය කෙලින් තබා සතිය ඉදිරිකොට තබා හිඳ.
  • හෙතෙම ශරීර නමැති ලොකයෙහි අභිජ්ජාව (විෂම ආශාව) දුරුකොට , අභිජ්ජාව නැත්තේ අභිද්‍යාවෙන් හිත පිරිසිදු කරයි,
  • ව්‍යාපාදය (ක්‍රොධය) හැර ව්‍යාපාද රහිත සිත් ඇත්තේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පා ඇත්තේ වාසය කරයි. ව්‍යාපාදයෙන් හිත පිරිසිදු කරයි.
  • ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥා ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි,
  • උද්ධච්චකුක්කුච්චය හැර විසිරනොගිය සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි.
  • විචිකිච්ඡාව දුරලා පහකළ විචිකිච්ඡා ඇත්තේ, කුසල ධර්මයන්හි, කෙසේ කෙසේදැයි, පැවති සැකනැතිව වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

§ 14 . ʘ “මහණෙනි, යම්සේ පුරුෂයෙක් ණයට මුදල් ගෙන කර්මාන්තයන්හි යොදවයිද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වෙත්ද, හෙතෙම ඒ පැරණි ණයත් ගෙවන්නේය. , අඹු දරුවන් පොෂණය පිණිසද යම් මුදලක් ඉතිරිවන්නේය, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම පෙර ණයක් ගෙන කර්මාන්තයන්හි යෙදූයෙමි. මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. මම පැරණි ණය මුදල්ද ගෙව්වෙමි. අඹු දරුවන් පොෂණයටද මුදල් ඉතිරිවීය’යි හෙතෙම ඒ හේතු කොට ගෙන සතුටක් ලබයිද, සොම්නසටද පැමිණෙයි.

ʘ
“මහණෙනි, යම් පුරුෂයෙක් යම් ශාරීරික ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් වේදනා ඇත්තේ, දැඩි ගිලන් වෙයිද, ඔහුට ආහාරයද, රුචි නොවන්නේය. ඔහුගේ ශරීරයෙහි ශක්තියද නැත්තේය. ටික කලකින් හෙතෙම ඒ රොගයෙන් මිදුනේ, ඔහුට බත රුචි වන්නේය. ඔහුගේ ශරීරයෙහි බලයද යලි ඇති වන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක් වේදනා ඇත්තේ වීමි. දැඩි ගිලන්වීමි. මට බතද රුචි නොවීය. මාගේ ශරීරයෙහි ශක්තියද නැතිවිය. ඒ මම දැන් ඒ රොගයෙන් මිදුනෙමි. මට බතද රුචිය. මාගේ කයෙහි ශක්තිය ඇත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුටට පත්වෙයිද, සොම්නසටද පැමිණෙයි.

ʘ
“මහණෙනි, යම් පුරුෂයෙක් සිරගෙයි ලෑවේද, හෙතෙම පසු කලෙක ඒ බන්ධනයෙන් මිදෙන්නේද, ඔහුගේ භොගයන්ට කිසි විනාශයකුත් සිදු නොවන්නේද, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම පෙර සිරගෙයි බඳනා ලද්දෙක් වීමි. මම දැන් ඒ බන්ධනයෙන් මිදුනෙමි. මාගේ භොගයන්ගේ කිසි හානියක්ද නැත. හෙතෙම ඒ හේතු කොටගෙන සතුටක් ලබයිද සොම්නසටද පැමිණෙයි.

ʘ “මහණෙනි, යම් පුරුෂයෙක් , අන්‍යයෙකුට යටත්වූ දාස භාවයේ සිටියේද , තමන් කැමතිසේ හැසිරෙන්නට ඉඩ නොලබන දාසයෙක් වීද, හෙතෙම පසු කලෙක ඒ දාසභාවයෙන් මිදී තමාට කැමති සේ ජීවත් වේද , අනුන් ස්වාමි කොට නැත්තේය, නිදහස් වූයේ කැමති සේ හැසිරෙන්නට ඉඩ ලබයි, ඔහුට මෙසේ අදහස් වන්නේය. මම පෙර ස්වාධීන නොවූ අනුන්ට යටත්වූ, කැමති තැනක යා නොහැකිවූ දාසයෙක්වීමි. නමුත් මම දැන් ඒ දාස භාවයෙන් මිදුනේ ස්වාධීනවූයේමි, පරාධීන නොවූයේ කැමති තැනකට යාහැකි වූයෙමි’යි. හෙතෙම ඒ හේතුකොටගෙන සතුටක් ලබයිද. සොම්නසටද පැමිණෙයි.

ʘ “මහණෙනි, යම් පුරුෂයෙක් තමාට හිමි ධනය , භොග තම නිවසෙහි තිබියදී , තමා කාන්තාරයක් මැදින් යන අන්තරාකාර දීර්ඝ මාර්ගයකට බැස්සේය., හෙතෙම ටික කලකට පසු ඒ කාන්තාරයෙන් එගොඩ වී සැපසේ, වියදමක් නැතිව එතර වන්නේය. ඔහුගේ සම්පත්තීන්ගේ කිසිහානියක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මම පෙර ධන සහිත වූයේ භොග සහිතවූයේ කාන්තාරයෙහි දීර්ඝ මාර්ගයට පැමිණියෙමි. ඒ මම දැන් ඒ කාන්තාරයෙන් සැපසේ, වියදමක් නැතිව එතර වූයෙමි. මාගේ සම්පත්තීන්හි කිසි හානියක්ද නැතැයි, හෙතෙම ඒ හේතුකොටගෙන සතුට ලබයිද, සොම්නසටද පැමිණෙයි,

“මහණෙනි, මිනිසාගේ ගෙවා නො දැමු ණය යම්සේද, සනීප නොවූ රෝගය යම්සේද, නිදහස් නොවූ සිරගෙය යම්සේද, නොමිදුනාවූ දාසභාවය යම්සේද, ගෙවා නිම නොකළ කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන්ම නැති නොවූ මේ පංචනීවරණ ධර්මයන් තමා කෙරෙහි ඇති බව භික්ෂුව දකියි.

නමුත් මහණෙනි, ඒ මිනිසා ණය රහිත බව යම්සේද, නිරොගි බව යම්සේද, හිරගෙයින් මිදීම යම්සේද, නිදහස් බව යම්සේද, නිර්භය ස්ථානයට ගියේ යම්සේද, එවිට ඒ මිනිසා ලබන සතුට ට වඩා වැඩි සතුටක්, මේ පංචනීවරණයන් ගෙන් තමා මිදුන බව දක්නා භික්ෂුව ලබයි.

සතර ධ්‍යාන

§ 15 . “භික්ෂුව හිත කෙලෙසන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණ ධර්මයන් දුරුකොට කාමයන්ගෙන් වෙන් වූයේ, අකුශල ධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, හෙතෙම මේ ශරීරය විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි ඔහුගේ සියලු ශරීරයෙහි කිසියම් ප්‍රදෙශයක් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ දක්ෂවූ නාවන්නෙක් හෝ නාවන්නෙකුගේ අතවැසියෙක් හෝ ලොහො තලියක ඇඟගාන සුවඳසුණු දමා දියෙන් තෙම තෙමා පිඩුකරන්නේය. ඒ නහණ සුණු පිඩ දියෙන් යුක්ත වූයේ දියෙන් වළඳනා ලද්දේ, ඇතුළත පිටත දියෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයිද, එයින් දිය නොවැගිරෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි. සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.

§ 16. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, භික්ෂුව, විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ මනා පැහැදීම ඇතිකරන්නාවූ සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීතිසැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරයම ද්විතීය ධ්‍යාන සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරවයි, පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය. මහණෙනි, උල්පතින් ජලය ලැබෙන දිය විලක් යම්සේ වේද, ඒ විලට නැගෙනහිරින්ද, ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. බටහිර දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. උතුරු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. දකුණු දිගින්ද ජලය ඇතුළුවන මාර්ගයක් නැත්තේය. වැස්සද කලින් කල ඊට හොඳින් නොවසින්නේය. එහෙත් ඒ දිය විලෙන්ම සිසිල්වූ ජලධාරාවෝ උඩට නැඟී ඒ දිය විල මුළුල්ලම සිසිල් ජලයෙන් තෙමන්නේය. හාත්පසින් තෙමන්නේය, සම්පූර්ණයෙන් පුරවන්නේය, ඒ මුළු දිය විලෙහි කිසියම් පෙදෙසක් සිසිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයිද,
“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි සමාධියෙන් හටගත් ප්‍රිති සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත.

§ 17 . “මහණෙනි, නැවත අනෙකක් ද කියමි. භික්ෂුව ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත් බව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා (මැදහත්) විඳීම ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මේ ශරීරය ප්‍රීති රහිතවූ සැපයෙන් හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සෑම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත. මහණෙනි, යම්සේ උපුල් විලක හෝ පියුම් විලක හෝ හෙළපියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු, දියෙහි වැඩුනාහු, දිය අනුව ගියාහු, ඇතුළත වැද වැඩෙන්නාහු, අගදක්වාද, මුලදක්වාද, සිහිල් දියෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, පිරුණාහු දියෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙත්ද, ඒ උපුල් අතුරෙන් හෝ පියුම් අතුරෙන් හෝ හෙළ පියුම් අතුරෙන් හෝ කිසිවක් මුළුමනින් සිහිල් දියෙන් ස්පර්ශ නොකරන ලද්දේ නොවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව ප්‍රීති රහිත සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැම තන්හි පතුරුවයි, ඔහුගේ සියලු ශරීරයෙහි ප්‍රීති රහිත සැපයෙන් ස්පර්ශ නොකරනලද තැනක් නැත්තේය.

§ 18 . “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂාසති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් පතුරුවා උන්නේවෙයි, ඔහුගේ සියලු අවයව ඇති ශරීරයාගේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදුවූ පැහැදිලිවූ සිතින් ස්පර්ශ නොකරණ ලද්දේ නොවෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම සුදු වස්ත්‍රයකින් හිස සහිතව පොරවා හුන්නේද, ඔහුගේ මුළු ශරීරයේ කිසියම් ප්‍රදෙශයක් පිරිසිදු සුදුවස්ත්‍රයෙන් නොවැසුණේ නොවෙයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මේ ශරීරයම පිරිසුදුවූ පැහැදිලිවූ සිතින් පැතිර වාසය කරයි. ඔහුගේ මුළු ශරීරයේ කොතැනක්වත් පිරිසුදුවූ පැහැදිලිවූ හිතින් ස්පර්ශ නොකරන ලද්දේ නොවෙයි.

ත්‍රිවිද්‍යා

§ 19 . “හෙතෙමේ මෙසේ සිත එඟකවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි. මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට (ඊට) නමයි.

හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක් ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක්දහසක්ද, නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කරයි.
“මහණෙනි, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවටපැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ (පුබ්බේ නිවාස) ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කරයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද නොයෙක් විනාශවෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් හෝ විනාශවෙමින් හෝ පවතින කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල්තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කරයි.

§ 20. “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි.

හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) දුශ්චරිතයෙන් යුක්තය, වාග් (වචනය) දුශ්චරිතයෙන් යුක්තය, මනො (හිතේ) දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යා දෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නිරයට පැමිණෙත්.

නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය (ශරීර) සුචරිතයෙන් යුක්තය, වාග් (වචන) සුචරිතයෙන් යුක්තය, මනො (හිතේ) සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ ස්වර්ගලොකයෙහි උපන්නාවූ මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණ වූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

“මහණෙනි, දොරවල් සහිතවූ ගෙවල් දෙකක් යම්සේ වන්නාහුද, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙම මධ්‍යයෙහි සිටියේ ඒ දෙගෙවලට පිවිසෙන්නාවූද, නික්මෙන්නාවූද, සක්මන් කරන්නාවූද, මනුෂ්‍යයන් දක්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, කර්මය ලෙස උපන් සත්වයන් දකී.

“මහණෙනි, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙස්පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කරයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද, උසස්වූද, ලක්ෂණවූද, අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනි. මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනො දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, ‘මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනො සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ඔවුහු ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතියවූ, ස්වර්ගලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී, පහත්වූද උස්සවූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මයලෙස පැමිණි සත්වයන් දනී.

§ 21 . “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය (ආශ්‍රව ක්ෂයකර ඥානය) පිණිස සිත ඉදිරිපත් කරයි, ඉදිරිපත් කොට නමයි.

  • ඔහු මේ දුකයයි තතුලෙස දැනගනී,
  • මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගනී,
  • මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී,
  • මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී,
  • මේ පැසවන කෙලෙස් (ආශ්‍රව) යයි තතු ලෙස දැනගනී,
  • මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී,
  • මේ ඒ කෙළෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී,
  • මේ ඒ කෙළෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.

“මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මින්පසු වෙනත් කළයුත්තක් නැතැ’යිද දැනගනී.

මහණෙනි, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුණු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දියපිරි පොකුණ පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුණේය. එහි මේ සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබලිතිද, නැවතී තිබේ. මසුන් තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි.

මහණෙනි, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම සිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කරයි. ඉදිරිපත්කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්, යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවයන් කෙරෙන්ද මිදේ. අවිද්‍යා ආශ්‍රවයන් කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි.  ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණලදී. මින් පසු අනික් කළයුත්තක් නැතැ’යිද දැනගනී.

§ 22 . “මහණෙනි, මේ භික්ෂුවක්, ‘සමණ’ යයිද, ‘බ්‍රාහ්මණ’ යයිද, ‘නහාතක’ යයිද, ‘වෙදගූ’ යයිද, ‘සොත්තිය’ යයිද, ‘ආර්‍ය්‍ය’ යයිද, ‘අර්හත්’ යයිද, කියනු ලැබේ.

  • “මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “ශ්‍රමණ” නම් වේද?
    ලාමකවූ කෙලසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ, අකුශල ධර්මයෝ යමෙක් විසින් සංසිඳුවන ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක්
    ශ්‍රමණ නම් වෙයි. 
  • “මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “බ්‍රාහ්මණ” නම් වේද?
    කෙලෙසීම කරන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් බැහැර කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් බ්‍රාහ්මණ නම් වෙයි. 
  • “මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “නහාතක” නම් වේද?
    කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමකවූ අකුසල ධර්මයෝ යමෙකු විසින් සෝදා හරින ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් “නහාතක” නම් වේ.
  • “මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “වෙදගූ” නම් වේද?
    කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇතිකරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් (සතර මාර්ගඥානයෙන්) දන්නා ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් ‘වෙදගූ’ නම් වේ. 
  • මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “සොත්තිය” නම් වේද?
    කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඉවත් කරන ලබත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් “සොත්තිය” නම් වේ. 
  • මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “අරිය” නම් වේද?
    කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති-ජරා-මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් දුරු කරන ලබත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් “අරිය” නම් වේ. 
  • මහණෙනි, කෙසේ නම් භික්ෂුවක් “අර්හත්” නම් වේද?
    කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරන්නාවූ ලාමක අකුසල ධර්මයෝ යමෙකු විසින් ඈත්කරන ලබත්ද, මහණෙනි, මෙසේ භික්ෂුවක් ‘අර්හත්’ නම් වෙයි.”
    භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ.

සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.


නවවෙනිවූ මහා අස්සපුර සූත්‍රය නිමි. (4-9)
BuddhaTaught

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.