MN 0I-04-06 මහා සච්චක සුත්‍රය.

මෙම සුත්‍රයේදී ද භාග්‍යවතුන් වහන්සේ සිය බුද්ධත්වය ලබාගන්නට කල බොහෝ කෘතීන් ආවර්ජනා කරයි. අරියපරියෙසන සුත්‍රයේද, සන්ඝාරව x සුත්‍රයේද, අඩු වැඩි වශයෙන් මෙහි අඩංගු කාරනා සඳහන් වේ. සච්චක නම් බ්‍රාහ්මණයා ට සුත්‍ර දෙකක දෙසනා කල බවත්, එහෙත් ඔහු ඵල නෙලා නොගත් බවත් සමහරු කියති. අනාගතයේ ලංකාවේ කාල නමින් ඉපිද, සසුන් ගතව රහත්බව අවබෝධ කොට ගත්තේ මේ සච්චකයන්ම බවත්, ඒ සඳහා මේ ධර්මයන් ඇසීම උපකාර වූ බවත් අටුවාව කියයි

පුජ්‍ය හිඟුරේ පඥාසාර හිමි කල සුත්‍ර දේසනාව ඉහලින් අසන්න click arrow

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති.

§ 2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ.” එවිට සච්චක380 නම් පරිබ්‍රාජිකයා උදෑසන ශරීර ව්‍යායාමය පිනිස ඇවිද යන්නේ මහවනයෙහි කූටාගාර ශාලාව දෙසට ඇවිද  පැමිණියේය.

[380: සච්චක නිගණ්ඨ නාථ පුත්ත ශ්‍රාවක යෙක් ලෙස හඳුන්වා “සච්චකෝ නිඝන්ට පුත්තෝ” යැයි මේ සුත්‍රයේ ලියා තුබුණත් මේ සුත්‍රය කියවීමේදී ඔහු කිසි ශාස්තෘවරයෙකු අනුගමනය නොකළ සියළු ධර්මයන් විවේචනය කරන්නට කාලය ගත කල, අද ලංකාවේ ඉන්නා බොහොමයක් අය මෙන් “නිදහස් චින්තකයෙකු” බව පෙනේ.
සච්චක ගේ මතු ජීවිතය ගැන අටුවාවෙහි සඳහන් තොරතුරු කියවන්න ක්ලික් HERE] කලින් වූ චුල සච්චක සුත්‍රයේ සඳහන් කල ආකාරයට සච්චකට තම තර්කවලින් භාග්‍යවතුන් වහන්සේ පැරදවිය නොහැකි වූ නිසා ඔහු යලිත්, මෙසේ තනිව අවුත්, “දිවා කල බුදුන් වහන්සේ නිදන්නේය”යි කියා නිග්‍රහ කිරීම පිණිස බව සුත්‍රයේ අවසානයේ ඔහු අසන ප්‍රශ්නයෙන් පෙනේ.]

§ 3. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ නිගණ්ඨපුත්‍ර සච්චක දුරදීම එනු දැක භාග්‍යවතුන් වහන්සේට,

“ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ සච්චක පරිබ්රාජිකයා එන්නේය. ස්වාමීනි, මොහු බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා උපදවා381 මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේද පණවනලද අස්නෙහි වැඩහුන්හ.

[381:-ආනන්ද ස්වාමින් වහන්සේ මෙසේ “අනුකම්පා උපදවා” කීවේ සච්චක කෙරෙහි අනුකම්පාවෙනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය අසා ඔහු බොහෝ කලක්  සැප පිණිස වන විමුක්ති මගට එළඹේතෑයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සිතු සේය.]

නිගණ්ඨපුත්‍ සච්චකයන් භාග්‍යවතුන් වහන්සේ සිටි තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතුවූ කථා කොට නිමවා එක පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.382

[382 :- ව්‍යායාම පිණිස ඇවිදින සච්චක භාග්‍යවතුන් වහන්සේ විසු කුටාගාරය දැක එහි එන්නේ, කලින් වර වාදයක් කරන්නටවුත් ඔහුගේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසඳාලු හෙයිනි. ( MN 01-04-05 වුල සච්චක සුත්‍රය) යලිත් බුදුන් වහන්සේ සමග වාදකොට පරදවා ලමි’යි ඔහු සිතු සේය. දවල් කාලයේ නිදා ගැනීම ගැන අසා භාග්‍යවතුන් වහන්සේ පරිහාසයට පත් කිරීම ඔහුගේ අදහස් වූ මුත් ඔහු ඒ ගැන අසන්නේ මේ සුත්ර‍යේ අවසානයේ 43 චෙදයේදීය. ]

§ 4. “භවත් ගෞතමයෙනි, “කාය භාවනා383 * වෙහි යෙදී කාලය ගතකරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණුන්, බමුනන් ඇත්තාහ. භවත් ගෞතමයෙනි, ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනා විඳිත්. භවත් ගෞතමයෙනි, ශරීරයෙහි හටගත්තාවූ දුක් වේදනා විඳින්නහුගේ කලවා හිරිවැටීම වේ, ළය පැළෙන්නේය. උණුලේ වමනය කරන්නේය. හිත අවුල් බවටද, උමතු බවටද පැමිණෙන්නේය. භවත් ගෞතමයාණෙනි, එසේ වන්නේ මන්දයත් කය හිතට වඩා බලවත් බැවිනි. සිත කයට සේවකයෙක් මෙනි. මෙසේ වන්නේ සිත දියුණු නොකළ හෙයිනි. සිත නොවැඩූ හෙයිනි,

[383:- අත්තකිලමතානු යෝගය = ශරීරයට නොයෙක් වධ පීඩා දීමෙන් කෙලෙස් දුරු කිරීම් “කාය භාවනාව ලෙස සච්චක සලකයි. බෞද්ධ භික්ෂුන් මේ නොකරන බව දුටු සච්චක භික්ෂුන් කය භාවනාව නොකොට චිත්ත දියුණුව නොලැබිය හැකි බව කියයි. භාග්‍යවතුන් වහන්සේ “කාය භාවනාව” ලෙස දැක්වුයේ සමාධි භාවනාව ය. “චිත්ත භාවනාව ලෙස දැක්වුයේ විපස්සනාවය ]

එසේම භවත් ගෞතමයෙනි, චිත්තභාවනාවෙහි පමණක් යෙදෙන්නාවූ එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඔබගේ සාසනයෙහි ඇත්තාහ.” කියායි.

§ 5. “අග්ගිවෙස්සනය, නුඹ දන්නා වූ ‘කාය භාවනාව’ කවරේද?”

“මා මෙසේ අසනලදී. එනම්: භවත් ගෞතමයෙනි, නන්දවච්ඡය, 384 කිසා සංකිච්චය, මක්ඛලි ගොසාලය යන මොවුහු වස්ත්‍ර නොහඳින්නෝය, සමාජ සම්මත වූ සමාජය  පිළිගන්නා සිරිත්  පැවතුම් නැත්තෝය

[384:-ආජීවකයන්ගේ ආචාර්යයන් ලෙස ප්‍රසිද්ධ තිදෙනෙකි. මුලින් නම් කල දෙදෙනා ගැන තොරතුරු අප්‍රකටය. නමුත් බෝධිසත්වයන් මොවුනගේද දර්ශන හදාළ බව “මහා සීහනාද සුත්‍රයේ” සඳහන් වෙයි.]

ඔවුහු කෑමෙන් පසු අත ලෙවකන්නෝය ,
මල පහෙන් පසු අතින් මල පිසදමන්නෝය.
ඔවුන් උදෙසා විසෙසින් පිසූ අහරක් පිලි නොගන්නොය.
දානයට එන්නැයි කරන ආරාධනා පිලි නොගන්නොය.
සැලියක හෝ පාත්‍රයක ලු අහරක් පිලි නොගන්නොය,
උළුවස්සක සිට දුන් දෙයක් පිලි නොගන්නොය,  
දණ්ඩක් හැරමිටියක් ඉහලින් පිදුවක් පිලි නොගන්නොය ;
දෙදෙනෙකු අහර ගන්නා තැනකදී දුන් අහරක්;පිලි නොගන්නොය,
ගැබිණියක්  විසින් දුන් දෙය නොපිළිගනිත්.
කිරි පොවන්නියක්  විසින් දුන් දෙය නොපිළිගනිත්.
විවාපත් තැනැත්තියක් විසින් දුන් දෙය නොපිළිගනිත්.
දාන සාල වලින් දෙන දෙයින් කිසිවක් නොපිළිගනිත්.
යම් තැනක බල්ලෙක් සිටි නම් එහිදී දුන් දෙය නොපිළිගනිත්.
යම් තැනක මැස්සෝ දකින්නේද, එහිදී දුන් දෙය නොපිළිගනිත්.
දිය මස් නොකන්නාහ. ගොඩ මස් නොකන්නාහ.
සුරා නොබොන්නාහ.
ඔවුහු එක ගෙයකින් පමණක් පිඩු සිඟන්නෝ වෙත්.
එක බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත්.
ගෙවල් දෙකක පිඩු සිඟන්නෝ හෝ වෙත්.
බත් පිඩු දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්.
ගෙවල් සතක පිඩු සිඟන්නෝ හෝ වෙත්.
බත් පිඩු සතකින් යැපෙන්නෝ හෝ වෙත්.
එක් කුඩා බත් තැටියකින් යැපෙන්නෝ වෙත්.
බත්තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්.
බත් තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත්.
එක දවසකට වරක් හෝ ආහාර ගනිති.
දෙදිනකට වරක් හෝ ආහාර ගනිති.
සත්දිනකට වරක් හෝ ආහාර ගනිති.
මෙසේ අඩමසකට වරක් ආහාර ගනිමින්ද
වාර භොජනයෙහි යෙදී වාසය කරන්නාහ.”

§ 6. “අග්ගිවෙස්සනය, කිමෙක්ද ඔවුහු එපමණ ස්වල්පයකින්ම යැපෙත්ද?”

“භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි.
භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල ඔවුහු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භොජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය. ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය. ඔවුහු මේ ආහාරයන් කරණ කොටගෙන ශරීරය බලගන්වත්; වඩත්; ඕජා වර්ධනය කරත්.”

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහු පළමු යෙදී සිටි දුෂ්කර ක්‍රියා පටිපදාව අතහැර පසුව ප්‍රණීත ආහාරයන් බුදිමින් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයෙ (කයේ) වැඩීම හා නොවැඩීම වෙයි. නමුත් අග්ගිවෙස්සනය, නුඹ චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?”

භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ චිත්තභාවනාව පිළිබඳව විචාරනු ලැබූ නිගණ්ඨපුත්‍ර සච්චකයන්ට පිළිතුරක් සොයා, කියන්නට අසමර්ථ විය.

§ 7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චකට මෙසේ කීහ.
“අග්ගිවෙස්සනය, නුඹ විසින් පළමුව කියන ලද මේ කායභාවනාව බුද්ධශාසනයෙහි ධර්මයට අනුව දන්නාවූ කායභාවනාවක් නම් නොවෙයි. අග්ගිවෙස්සනය, නුඹ කායභාවනාව වත් නොදන්නෙහිය. ඉදින් කෙසේ නම් චිත්ත භාවනාව දන්නේද?

එහෙත් අග්ගිවෙස්සනය, කායභාවනා නොවැඩුවකුගේ අයුරුත්චිත්ත භාවනාව නොවැඩුවකුගේ අයුරුත් මම කියන්නෙමි. , එය අසව. මනාකොට සිහියට ගනුව කියන්නෙමි”යි වදාළහ.

“එසේය පින්වතුන් වහන්ස,”යි කියා සච්චක, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 8 .“අග්ගිවෙස්සනය, කෙසේ නම් කාය භාවනාව නොවැඩේද?
චිත්තභාවනාව නොවැඩේද?

අග්ගිවෙස්සනය, මේ ලෝකයෙහි නූගත් පෘථග්ජනයාට සැපවූ වේදනාවක් උපදියිද. හෙතෙම සැප වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේ, සැපයෙහි ආසාව ඇතිකරගන්නේය. ඒ සැප වේදනාවේ ඇලෙයි. සැපයෙහි වඩ වඩාත්ඇලීම් බවට පැමිණෙයි, ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද, එසේ සැප වේදනාව නැතිවීමෙන් දුක්වේදනාව උපදියි. හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේ, ශොක කෙරෙයි; ක්ලාන්ත වෙයි, වැළපෙයි; පපුවේ අත් ගසමින් හඬයි, මුළාවට පැමිණෙයි.

“අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූ, සැප වේදනාව ඔහුගේ සිත විනාශ කරයි.
කුමක් හෙයින්ද යත්:-
කය නොවැඩූ හෙයිනි.

උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ කරයි. සිත නොවැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවෙදනාවද, කුසල් සිත විනාශ කරයි.
කුමක් හෙයින්ද?
කය නොවැඩූ හෙයිනි.
උපන් දුක් වෙදනාවද ඔහු සිත විනාශ කරයි
කුමක් හෙයින්ද?
සිත නොවැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ නොවඩනලද කය ඇත්තේත් වෙයි. නොවඩන ලද සිත් ඇත්තේත් වෙයි. මේ දෙආකාරයෙන් සුඛ වේදනාව හටගත් විට සිත කිලිටි වන්නේ කාය භාවනාව නොවැඩීනි. දුක්ඛ වේදනාව නිසා සිත කිලිටි වන්නේ චිත්ත භාවනාව නොවැඩීනි.

§ 9 . “අග්ගිවෙස්සනය,
කෙසේනම් කෙනෙක් වඩනලද කය ඇත්තේ වේද, වඩනාලද සිත් ඇත්තේ වේද?”

අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට සැප වේදනාව උපදියිද, හෙතෙම සැපවේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේ වුව, සැපයෙහි නොඇලෙයි, සැපයෙහි ඇලුම් නොකරයි. සැපය දිගටම නොපතයි. 385

[385:- සෑම සංස්කාරයක්ම උත්පාද, තිථි, භංග ලෙස අනිච්ච, දුක්ඛ, අනාත්ම ලෙස විදසුන් නුවනෙන් දකින්නා මේ ඉපදුනු සැපයද එසේම විදසුන් නුවනින් දකී.]

ඔහුගේ ඒ සැපවේදනාව නැතිවෙයි. සැපවේදනාව නැති වීමෙන් දුක්වේදනාව නූපදියි, හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේ වුවද, ශොක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අත් ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූ, ඒ සුඛ වේදනාව ඔහුගේ සිත නොසොල්වයි.

කුමක් හෙයින්ද යත් කය වැඩූ හෙයිනි,
උපන්නාවූද, දුක්ඛ වේදනාව ඔහු සිත නොසොල්වයි. සිත වැඩූ බැවිනි.

අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? කය වැඩූ හෙයිනි

උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද?
සිත වැඩූ හෙයිනි*

අග්ගිවෙස්සනය, මෙසේ වඩන ලද කය ඇත්තේ වෙයි, වඩනලද සිත ඇත්තේ වෙයි.386

[386 :- අටුවාව: කය වැඩීම යනු විදර්ශනාව සහ සිත වැඩීම යනු සමාධිය දියුණු කිරීම බවත් අටුවාවේ සඳහන් වේ. විදර්ශනාව වැඩීමෙන් සියලු වේදනා අනිත්‍යබව , දුක් සහිත බව, අනාත්ම බව ආර්ය ශ්‍රාවකයා දනියි. දුක් වේදනා පැමිණි කල දියුණු කල සමාධිය ඇති ආර්ය ශ්‍රාවකයා තමන්ට හුරු සමාපත්තියකට සම වැද ඒ දුකින් මිදේ.]

§ 10.“මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනෙමි. භවත් ගෞතමයන් ඒකාන්තයෙන්ම කාය භාවනා වඩන ලද අයෙකු වෙයි. චිත්ත භාවනා වඩන ලද අයෙකු වෙයි.”

“අග්ගිවෙස්සනය, නුඹ එසේ කියන්නේ උපහාසාත්මක ස්වරයෙන්, නිගරු ලෙස වුවත්, මම නුඹගේ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙමි. මම හිස හා රවුල් මුඩු කොට කසා වත් හැඳ ගිහි ගෙයින් පිටව ශ්‍රමණ බව ගතිමි. එසේ පැවිදි වූ දා සිට මතු නොවූ සැප වේදනාවක් හෝ මතු වූ දුක් වේදනාවක් මගේ සන්තානය කළඹන්නට අසමත් විය. “

§ 11, ” භවත් ගෞතමයිනි, ඔබ සිතෙහි කිසි දාක ඔබ සිත් කුල්මත් කර එහි රැඳුනු සැප වේදනාවක් නොවීද? ඔබ සිත දවාලන්නට සමත් දුක් වේදනාවක් කිසිදා නොවීද? ”

§ 12. ඇත්තෙන්ම එසේ තිබුණි අග්ගිවෙස්සන.   ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. ශ්‍රමණ ජීවිතය, අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නකුට, සියලු ආකාරයෙන් පිරිසිදුවු, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, ලියවන ලද සකක් බදුවූ, නොකිලිටි වූ මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ රැවුලු කපා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියාය.922

[922: මේ සුත්‍රයේද, අරිය පරියේසන සුත්‍රයේද, සච්චක සුත්‍රයේද, තවත් සුත්‍ර කිහිපයකම බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණය ගැන සඳහන් වේ. සිද්ධාර්ථ කුමරු දෙමාපියන්ට, යසෝදරාවට සොරෙන්, සියල්ලන් නිදත්දී, කන්ථක අසු පිට නැගී කිඹුල්වත් නුවරින් පැන ගිය බවක් ඒ කිසි තැනක සඳහන් නොවේ. මෙසේ සුත්‍ර ධර්මය විකෘති කර ඇත්තේ ජනයාගේ ශ්‍රද්ධාව වැඩි කිරීම පිණිස විය හැක. ඒ ප්‍රයත්නය අනිත් පැත්තට පෙරලී බෝධිසත්වයන් අඹු දරුවන්ට නොකියා හොරෙන් පැන ගියේය කියන්නට අන්‍යාගමිකයෝ මේ පාවිච්චියට ගනී.]

§ 13 . අග්ගිවෙස්සනය, මම එයින් ටික කලකට පසු තරුණ වයසේදීම, හිසකෙස් කළු පහන් තිබියදීම, භද්‍ර යෞවන වයසෙහිදීම, මනා තරුණ භාවයෙන් යුක්තව සිටියදීම, මවුපියන් නොකැමතිව අඬත්දී, හිසකෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳ ගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.

§ 14. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි විමුක්ති මාර්ගය කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් විමුක්තිය සොයමින් ආචාර්යයෙකු සොයන්නේ, කාලාම ගොත්‍ර නාමය ඇති ආළාර තවුස්තුමා ගැන අසා ඔහු වෙත ගොස් මෙසේ කීයෙමි.
“ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි හා ඔබේ ධර්මය පිළිපැදීමට කැමැත්තෙමි’යි යනුයි.

අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි ආළාර කාලාම තවුසන් මට මෙසේ කීයේය.
“යම් නුවණැති පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය දැන තමාගේම අත්දැකීමෙන් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කොට වාසය කරන්නේද මේ ධර්මය එබඳුය. එහෙයින් ආයුෂ්මත් හුද එසේ වාසය කෙරේවා”යි යනුවෙනි.

“අග්ගිවෙස්සනය, මම නොබෝ කලකින්ම ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. භාරද්වාජය,, මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින්, පාඩම් කරගත් පිළිතුරු දුන් පමණින් නොව උගත් ධර්මය මගේම අත් දැකීමෙන් හා වටහා ගැනීමෙන් ඒ ධර්මය, ඒ ඉගැන්වීම දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද එසේ ප්‍රකාශ කරති. ඉදින් භාරද්වාජය, ආළාර කාලාම තවුසන් මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් ප්‍රකාශ නොකොට තම විශිෂ්ට ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරති යි මට සිත් විය.

[302 :- අටුවාව: සමාධි භාවනාවෙහි හත්වන ප්‍රතිඵලය වන නේවසඥා තෙක් නොව සතරවන ධ්‍යානය තෙක් වුවත් සිත් වැඩීම අධ්‍යාත්මික හැසිරීමෙහි ලැබිය හැකි විශාල දියුණුවකි. එනමුත් ඒ සමාධි චිත්තය පමණක් විමුක්තිය (නිර්වාණය) පිණිස ප්‍රමාණවත් නොවේ. නෙවසඥාව තෙක් වැඩු සිත් ඇත්තෙක් මරණයෙන් මතු කල්ප 60,000ක් ආයුෂ ඇති නෙවසඥා තලයෙහි පහල වෙයි. නමුත් ඒ ඉතා දිගු ආයුෂය ගෙවීමෙන් පසු නැවත පහත තලයක උපතක් ලබයි. නෙවසඥා තලයෙහි උපත් ලදුවත් මාරයාගේ උගුලෙන් නොගැලවුන බව දත යුතුය.]

“ඉක්බිති අග්ගිවෙස්සනය, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කෙසේ නම්, කුමන ආකාරයකින් මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ වසමි යැයි ඔබතුමා ප්‍රකාශ කෙරේදැ’යි කියාය. භාරද්වාජය, මෙසේ කී කල්හි ආළාරකාලාම තවුසන්   ආකිඤ්චඤ්ඤායතනය ට302 එළැඹෙන සැටි මට කීයේය.

අග්ගිවෙස්සනය, මට මේ අදහස පහළ විය. “ආළාරකාලාම තවුසන්ට පමණක් නොව මටද ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. වීර්ය ඇත්තේ වෙයි. මටද සතිය ඇත්තේය. මටද සමාධිය ඇත්තේය. මටද ප්‍රඥාව ඇත්තේය.303 ආළාරකාලාම තවුසන් යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමි, යි කියයි නම්, ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට මමද වීර්ය කරන්නෙම් ” කියායි.

[303: පංච ඉන්ද්‍රියයන් තුලින් ඇති වන පංච බල මෙසේ දක්වා ඇතත් , තවම බෝධිසත්වයෙකුවූ සිද්ධාරථ තවුසාගේ මේ ගුණ තිබුනේය කීම විශ්වාස කල නොහැක. ආර්ය තත්වයෙදී පමණක් ඇතිවන මේ පංච බලයන් මෙහි ඇත්තේ මුල් සුත්‍ර දේශනාව සංස්කරණය කොට බව මේ සුත්‍රයේ චීන පිටපත කියවීමෙන් දැක්ක හැක. චීන මජ්ජිම ආගමේ සඳහා වන්නේ ශ්‍රද්ධාව වීර්ය පමණකි. ]

“අග්ගිවෙස්සනය, මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා, මම, ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉක්බිති මම ආළාරකාලාම තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙමි . එවිට එතුමා මට මෙසේ ප්‍රසංසා කළේය.

“ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මම ද විමුක්ති සුව විඳින්නේ ඔබ විඳිනා ලෙසමය. මා වටහා ගත් ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත් ලෙසම මාද වටහා ගත්තේ වෙමි. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මම යම්බඳුද, ඔබත් එබඳුය. ඔබ යම්බඳුද, මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. මා හා එක්ව මේ අපේ අනෙක් ශ්‍රමණයන්ද විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.

“අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්යවූ ආළාරකාලාම තවුසන් ඔහුගේ ශිෂ්‍යයාවූ මා, ඔහු හා සම සම තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.

අග්ගිවෙස්සනය, මට මෙසේ සිත්විය. මා ආලාර කාලාමයන් ගෙන් උගත්  ධර්මය, කාමයන් කෙරෙහි කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් නොසැහිමෙන් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි.

§ 15 . “අග්ගිවෙස්සනය, නැවතත් මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් ආචාර්යවරයකු සොයන්නේ උද්දකරාම පුත්ත303 තවුසන් ගැන අසා ඔහු සොයා ගියෙමි. ගොස් මෙසේ කීයෙමි.

[304 :  උද්ද තවුසන් හා රාම යනුවෙන් හැඳින්වෙන්නේ දෙදෙනෙක් නොව එක් තාපස තුමෙක් යයි ගරු ඥාණමෝලි ස්වාමින්වහන්සේ සහ හෝනර් යන පරිවර්තකයන් සලකු බව පෙනේ. ඒ සාවද්ය බවත් උද්දක නමින් මෙසේ හැඳින්වෙන තවුස්තුමා පෙර විසු රාම තවුසන්ගේ ඥාති පුත්‍රයෙක් නොව හෝ බොහෝවිට අනුප්‍රාප්තික ශිෂ්‍ය තවුසෙකු බව “රාම පුත්ත” වචනයෙන් දැක්වෙන බව පුජ්‍ය බෝධි ස්වාමින් වහන්සේ දක්වයි. රාම පුත්ත ලෙස උද්දකට පෙර නමක්, යෙදු බවත් සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපතට පෙර රාම තාපසයන් මෙලොව හැර ගිය බවත්, උද්දක තවුසන්ගේ ධ්‍යාන දියුණුව ගැන වැඩි විස්තරයක් සඳහන් නොවෙතත් සිද්ධාර්ථ තවුසන් ඔහු කෙරෙන් නික්ම යන තෙක්ම උද්දක තවුසන් සතරවන ධ්‍යානයට එළඹීමට සමත් වූ බවක් නොදැක්වෙන බවද පුජනිය බෝධි හිමියන් දක්වයි]

“ඇවැත්නි, මමද මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි කීයෙමි.
“භාරද්වාජය, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තවුසන් මට මෙසේ කීයේය.
“‘යම් නුවණැත්තාවූ පුරුෂයෙක් වැඩි කල්නො නොයවා ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය එබඳුය එහෙයින් ආයුෂ්මතුන් මෙහි වැඩ සිට, මේ පිළිවෙත් පුරත්වා . මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපත්ති පුරත්වා. “යි කියායි.

“අග්ගිවෙස්සනය, මම නොබෝ කලකින් ඒ ධර්මය උගෙනගත් පරිදිම වඩා, මම ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. භාරද්වාජය, ඉක්බිති මම උද්දකරාම පුත්ත තවුසන් වෙත ගොස්, ‘ඇවැත්නි, රාමපුත්තයෙනි, මේ ධර්මය ඔබ උගැන්වූ පරිදි, මම මෙසේ වඩා, මෙසේ නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.” යි විස්තර කලෙම්.

“ඉතාමත් අගනේය. මිතුර ඉතාමත් අගනේය. මගේ ශාස්තෘ රාම යන්ද විමුක්ති සුව වින්දේ ඔබ විඳිනා ලෙසමය. එතුමා වටහා ගත් ධර්මය එපරිද්දෙන්ම ඔබද වටහා ගෙන ඇත. ඔබ වටහා ගත ලෙසම එතුමා වටහා ගත්තේය. ඔබ වැනි සබ්‍රහ්මචාරීන් අප අතර විසීම අපට මහත් ලාභයකි. මගේ ගුරු දෙවි යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද එතුමාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. ඔබ තුමා මටත් මේ අනෙක් ශ්‍රමණයන් විමුක්ති මාර්ගයට පමුණුවමු” යි කීහ.

“අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්යවූ උද්දකරාම පුත්ත තවුසන්, ඔහුගේ ශිෂ්‍යයාවූ මා ඔහුගේ ගුරු තන්හි තැබීය. පිදිය හැකි උසස්ම පූජායෙන් මා පිදීය.


“අග්ගිවෙස්සනය, මට මෙසේ සිත්විය. මේ ධර්මය, කලකිරීම පිණිස, කාමයන්හි නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි.305 නෙවසඥා නාසඥා බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි. මාර පාසයෙන් නිත්‍ය ගැලවීමෙන් තොර වූ එම ධර්මය ප්‍රමාණවත් නොවේයයි සලකා ඒ ධර්මයෙහි පමණක් සැහිමට නොපැමිණි හෙයින් , මම එතුමා කෙරෙන් ඉවත්ව ගියෙමි.

[305:- මේ ධර්මය ” නායං ධම්මෝ, නිබ්බිදාය, න විරාගය, න නිරෝධාය, න උපසමාය, න භීඥඥාය, න සම්බෝධාය, න නිබ්බානාය,….” ලෙස ථෙරවාද ත්‍රිපිටකයේ සඳහන් වෙතත්, තවමත් ආර්යත්වයට නොපත් සිදුහත් තවුසන් තවමත් නිර්වාණයේ ස්වාභාවය ගැන දැන නොසිටි නිසා, නිර්වාණය සොයන්නෙකු නිසා එහි ස්වභාවය නොදන්නා සිදුහත් තවුසා නිර්වාණයේ මේ ගුණ , උද්දක ගේ සාසනයේ නැති නිසා ඉන් ඉවත්වුනාය කීම සාවද්‍යය.]

§ 16 . “අග්ගිවෙස්සනය, මම කුසල් කුමක්දැයි සොයමින්,304 අනුත්තරවූ නිර්වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා උරුවල් දනව්වෙහි සේනානි නම් නියම්ගම දෙසට ගියෙමි. එහි ගලායන ගඟක් මායිම් කොට සුදු වැලි තලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස පිඩු පිණිස හැසිරිය හැකි ගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. භාරද්වාජය, මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදු වැලිතලා ඇති මනා තොටු ඇති ගඟද සිත් කලුය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්ය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීම පිණිස මේ ස්ථානය සුදුසුයයි කියායි.304

[306:- බෝසතුන් වහන්සේ ආලාර කාලාම හා උද්දක රාමපුත්ත තවුසන්ගෙන් නේවසඥා හා නෙවසඥා -නාසඥා තෙක් සිත් වැඩීම ඉගෙන, දුෂ්කර අත්තකිලමතානු පටිපදාවෙහි යෙදී මරණාසන්න ස්වාභායට කය පෙලූ ආකාරයත්, ඉන් පසුව මධ්‍යම ප්‍රතිපදාව මග වේයැයි ගෙන සම්මා සම්බුධත්වයට පත් වූ ආකාරයත් , අරිය පරියේසන සුත්‍රයේද, මහා සච්චක සුත්‍රයේද තවත් සුත්‍ර කිහිපයකද ඒ ලෙසම සඳහන් වෙයි.]

“අග්ගිවෙස්සනය, මම පධාන වීර්ය වැඩීම පිණිස මේ තැන සුදුසු යයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම හිඳගත්තෙමි.

§ 17, “අග්ගිවෙස්සනය, මට ආශ්චර්‍ය්‍යවූ, පෙර නොඇසු විරූ උපමා තුනක් සිහියට ආවේය.

අග්ගිවෙස්සනය, පොත්තේ කිරි සහිතවූ, අමු, එමෙන්ම දියෙන් ගත්, තෙත්වූ දිඹුල් ලී කැබැල්ලක් ගෙන යම් පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන එකට උලා ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියන්නේය. භාරද්වාජය, ඒ පුරුෂයා ජලයෙහි බහාලන ලද ඒ කිරිසහිත අමු දිඹුල් ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගින්දර උපදවන්නේද? ගිනි පහළ කරන්නේද?”

“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය.
ඊට හේතු කවරේදයත්:-
භවත් ගෞතමයෙනි, දිඹුල් ලී කඩ අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. තෙතය. එහෙයිනි , ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති ඒ පුරුෂයා වෙහෙසට පැමිණීම පමණක් සිදුවන්නේය.”

” අග්ගිවෙස්සනය, සැබව “භාරද්වාජය, එපරිද්දෙන්ම ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද,307 (physically not separated), කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම් කැමැත්තක්, ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල නැති නොවූයේද, මැඩපවත්වන නොකලේද , ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබොධයටද සමත් නොවේය.

[307:- අවුපකට්ඨා විහරන්ති යන පදය “කායෙන” සමග යෙදීමෙන් මේ ශ්‍රමනයන් ශාරීරිකව තවමත් ගිහි ගෙහි ඉන්නා බවක් හැඟවේ. ශ්‍රමණ වෙස් ගැනීම ගේ දොර අඹු දරුවන් හැර යාම ලෙස ගැනෙන විට ඔවුන් භෞතිකව, ශාරීරිකව ගිහි සම්පතින් ඈත් ව ඉන්නා බව කියැවේ.]

අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.

§ 18. ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි.
“අග්ගිවෙස්සනය, පොත්තේ කිරි සහිතවූ, අමු, වියලි බිම තිබුනාවූ, අමු දිඹුල් ලී කැබැල්ලක් ගෙන යම් පුරුෂයෙක් ගිනිගානා දණ්ඩක් ගෙන එකට උලා ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියන්නේය. භාරද්වාජය, ඒ පුරුෂයා ඒ කිරිසහිත අමු දිඹුල් ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද?
ගිනි පහළ කරන්නේද?”
“භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය.
ඊට හේතු කවරේද යත්:-
භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය. අමුය එහෙයිනි. ඒ පුරුෂයා වෙහෙසට පත්වීම පමණක් නම් සිදුවන්නේය.”

““අග්ගිවෙස්සනය,  එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද, එහෙත් කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ සිත්වල ඇල්මක් ඉතිරි වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොකළේද, මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍යඥාන දර්ශනයටද, නිරුත්තර අවබොධයටද අසමත් වෙති

අග්ගිවෙස්සනය, මේ මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවයි.

§ 19 “අග්ගිවෙස්සනය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙස්සනය, වියලුනාවූ, පොත්තේ වූ කිරි සිඳුනාවූ, වතුරෙහි නොව ගොඩබිමෙහි තිබුණු වියලි දරලීයක් වේ. පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි කියා ඒ පුරුෂයා වියලුනාවූ කිරි සිඳුනාවූ, ගොඩ තිබු ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?”

““භවත් ගෞතමයෙනි, එසේය.
ඊට හේතු කවරේද?
භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුන එකකි., කිරි සිඳුනේවෙයි, වතුරෙහි නොව ගොඩ තිබුන ලද්දේත් වෙයි.”

“අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ භෞතිකව, කාම වස්තුන් ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ සිත්වල කාමවස්තූන් කෙරෙහි ඇල්මක් නොවේද, කාම ආසාවක් නොවේද, කාම මුර්ඡාවක් නොවේද, කාම දැවිල්ලක් නොවේද, තිබු කාමය, ආශාව අධ්‍යාත්මයෙහි , එනම් සන්තානයෙහි ප්‍රහීන කලේද, මුලින්ම මැඩ පැවත් වූයේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වෙදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ග ඥාන දර්ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සමත් වෙති.”

“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසු විරූ මේ උපමාතුන මට වැටහුනාහුය.

§ 20. භාරද්වාජය, එවිට මට මෙසේ කරන්නට සිතුනි .
යම් කෙලෙස් සිතක් එන්නේ නම් , කෙසේ හෝ මම මට යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින්, ඒ මතුවන අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ කියායි.

““අග්ගිවෙස්සනය,  මම දත්මිටිකාගෙන දිව උඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. අග්ගිවෙස්සනය, එසේ කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

“අග්ගිවෙස්සනය, යම් බලවත් පුරුෂයෙක් විසින් ඉතා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, භාරද්වාජය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නට විය.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දෙමි . සතිය පිහිටවුවෙමි. අසතිය දුරු කලෙමි. එසේ පධාන වීර්‍ය්‍යයෙන් මඬන ලද්දාවූ මාගේ ශරීරය දැවෙන්නට විය. නොසන්සිඳුනේ විය.

§ 21. “අග්ගිවෙස්සනය, මට මේ සිත පහළ විය. මම ආශ්වාසකිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක කියාය.

[387: අද පවා හින්දු භක්තිකයන් ප්‍රාණයාම් ලෙස කරන අස්ශ්වාස ප්‍රශ්වාසය පාලනය කිරීමේ භාවනාවේ උච්චතම අවස්තාව හුස්ම නොගෙන කෙරෙන භාවනාවය. නාසයෙන් හුස්ම නොගන්නා විට, මුඛයෙන් හුස්ම ගැනේ. එයද වසා ගත විට කන් සිදුරු වලින් හුස්ම ඇති වේ. එයද වැසූ විට මේ අති දුෂ්කර ප්‍රාණ යාමය සිදු කරන්නේයැයි කියති.]

අග්ගිවෙස්සනය, මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් වැළැකුනෙමි. අග්ගිවෙස්සනය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

§ 22 .“අග්ගිවෙස්සනය, මට මෙසේ කල්පනා විය.
‘තවදුරටත් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ කියායි.

අග්ගිවෙස්සනය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කන් සිදුරු වලින්ද ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් වලකුනෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වේදනා දුන්නේය.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

§ 23. “අග්ගිවෙස්සනය, මට මෙසේ කල්පනා විය.
‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.)
අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. අග්ගිවෙස්සනය, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු පධාන වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සතිය නොගිලිහී එළඹ සිටියාය. එහෙයින්ම, අසතිය නොහොත් මුළාවක් මතු නොවීය ප්ධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය වඩන්නාවූ මාගේ ශරීරය දැවෙන්නට විය. නොසංසිඳුනේය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

§ 24 . “අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

“අග්ගිවෙස්සනය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

.“අග්ගිවෙස්සනය, මා විසින් පධාන වීර්යය පටන් ගන්නා ලදී. සතිය නොපිරිහි එළඹ සිටියේය. එහෙයින්ම අසතිය හෝ මුළාවීමක් නොවීය. පධාන වීර්යය වඩන්නාවූ මාගේ ශරීරය දැවෙන්නට වෙයි. නොසන්සිඳුනේ වෙයි. භාරද්වාජය, මට මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වලක්වත්දී උපදින්නා වූ වේදනාව නිසා ඉතා දැඩි කායික පීඩාවන් විය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

§ 25 .“අග්ගිවෙස්සනය, මට මෙසේ කල්පනා විය. තව දුරටත් ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම්නම් යෙහෙක’ කියායි.

අග්ගිවෙස්සනය, මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.;”

“අග්ගිවෙස්සනය, මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය. සතිය නොපිරිහී එළඹ සිටියේය.. පධාන වීර්යයෙන් භාවනා කරන්නාවූ මාගේ ශරීරය දැවෙන්නා සේ විය. නොසංසිඳුනේය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව සිත විනාශ නොකරයි.

§ 26. “එකල්හි සමහර දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමයන් කළුරිය කළේය’ කියායි.. ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමයන් තවම තෙම කළුරිය කර නැත. එහෙත් තව නොබෝ වෙලාවකින් කළුරිය කරන්නේය’ කියායි. ඇතැම් දේවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමයන් කලුරිය කළේත් නැත.. කලුරිය කරන්නේත් නැත . ශ්‍රමණ ගෞතමයන් රහත් වීය.. රහතුන්ගේ පැවැත්ම මෙසේය ’යි කීහ

§ 27. “අග්ගිවෙස්සනය, මට මෙසේ සිත් විය.
“මම මුළුමනින් ආහාර නොගෙන සිටින්නේ නම් ඉතා යෙහෙක’ කියායි.
අග්ගිවෙස්සනය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ කීහ.

’අග්ගිවෙස්සනය, මට මෙසේ කල්පනා විය. ‘මම මුළුමනින් නිරාහාරව සිටීමට අදිටන් කලෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ පටිපදාවෙහි කරන වංචාවක් , මුසාවක් වන්නේය’. කියායි.
භාරද්වාජය, මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. “දිව්‍යය ආහාර රෝම සිදුරුවලින් මගේ කයට ඇතුළු කිරීම වුවමනා නැතැ”යි කීයෙමි.

§ 28 . “අග්ගිවෙස්සනය, මට මේ සිත පහළ විය.
මම පතක් පමණවූ, මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ බඳු ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි’ කියායි.

“අග්ගිවෙස්සනය, මම පතක් පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බු දිය හෝ කඩල තැම්බු දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි.

අග්ගිවෙස්සනය, එසේ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු විය, අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තුරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

දුෂ්කරk

“අග්ගිවෙස්සනය, මම බඬේ සම අතගාන විට, පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. භාරද්වාජය, ආහාරය මද වීම නිසා මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේය. මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමි’යි, හුන්නේ සරීර දුර්වලත්වය නිසා එහිම යටිකුරුව වැටුනෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. භාරද්වාජය, එසේ ශරීරයේ අවයව අත ගානවිට, ආහාර නැතිව මුල්කුණුවූ ලොම් ශරීරයෙන් ගිලිහී වැටෙත්.

§ 29 .“අග්ගිවෙස්සනය, සමහර මිනිස්සු මා දැක . ‘ශ්‍රමණ ගෞතමයන් කලුය.’ ඇතැම්හු . ‘ශ්‍රමණ ගෞතමයන් කලු නොවෙයි දුඹුරු පාටය.’ කීහ. ඇතැම්හු . ‘ශ්‍රමණ ගෞතමයන කලුත් නොවෙයි,දුඹුරු පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමයන් රන් වන් සම ඇත්තෙ කැයි කීහ..’ භාරද්වාජය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ ශරීරවර්ණය ආහාර මද කමින් දුර්වර්ණ විය.

§ 30 . “අග්ගිවෙස්සනය, මට මෙසේ සිතුනේය.

අතීතයෙහි යම්කිසි ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , තමා හට උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ විඳි දුක් වේදනා මේ තරම්ම වෙයි. මීට වඩා වැඩිනම් නොවෙයි.
අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නේ නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි.

මේ වර්තමාන කාලයෙහි යම් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ තම ශ්‍රමණ පටිපදාව පුරමින්, තම වෘතය පුරමින් , උපදීන්නාවූ දුක්වූ, තියුණූවූ වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම මේ කටුකවූ, දුෂ්කර ක්‍රියාවෙන්, මේ වෘතයෙන් , මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශේෂයක් ලබන්නේයයි නොසිතමි. එසේ වූ මට මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි කල්පනා විය

§ 31 . “අග්ගිවෙස්සනය, මට මේ අදහස විය.

මගේ පියවූ ශුද්‍ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි මා හුන් විට, මම කාමයන් ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කළබව මතක් විය. 388

[388:- ආලාර කාලාම තවුසා හා උද්දක රාමපුත්ත තවුසන් වෙතින් නේවසඥ නාසඥා තෙක් ධ්‍යාන වැඩු නිසා ප්‍රථම ධ්‍යානය වැඩීමේ සිට යලි ධ්‍යාන වඩන්නට සිහි වී යයි කීම සැක සහිතය. සමාධියෙහි ඉහල ඵල ලෙස නෙවසඥ- නාසඥා ලැබූ සිද්ධාර්ථ තවුසාණෝ ඒ මාර්ගයේම ඉහලට ධ්‍යාන වඩන්නට ඇත.]

ඒ මාර්ගය මාර්ගඥාන අවබොධය පිණිස වන්නේයි මට අදහස් විය. අග්ගිවෙස්සනය, මට ඒ මාර්ග ඥානය අවබොධය පිණිස මේ මාර්ගයමැයි සතිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය.

§ 32 . අග්ගිවෙස්සනය, මට මේ අදහස විය. භාරද්වාජය, මට මෙසේ සිතුනි . ‘කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි’ කියාය.

§ 33. අග්ගිවෙස්සනය,ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමයන් යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපටද කියන්නේය’ යන අදහසින් තවුසන් පස් දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. භාරද්වාජය, මම ආහාර වර්ජනය නිම කොට බත් හා කොමපිඩු ආහාර ගන්නට පටන් ගත් කල්හි ඒ තවුසන් ශ්‍රමණ ගෞතමයන් පටිපදාවෙන් පිරිහුනේය. ප්‍රත්‍යය ලෝබයට එළඹුනේය.. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්යය කිරීමෙන් පිරුහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.

§ 34 . “අග්ගිවෙස්සනය, මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§ 35 .“අග්ගිවෙස්සනය, විතක්ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකග බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§ 36. අග්ගිවෙස්සනය, ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§ 37.අග්ගිවෙස්සනය, සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.

§ 38. මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි

මම නොයෙක් ආකාරවූ පූර්වෙ නිවාස, නොහොත් පෙර උපන් ජාති, සිහි කලෙමි,
එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි.

එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කලෙමි,

§ 39. “අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේවිය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

§ 40 .“ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසුදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ, සත්වයන් දකිමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.

§ 41, “අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී.
විද්‍යාව උපන්නීය.
අඳුර (මොහය) නසන ලද්දේය.
ආලොකය උපන්නේය.
අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව “ යමෙක් බලාපොරොත්තුව පටිපදාවේ යෙදෙන්නේනම් ඔහු එසේ බලාපොරොත්තු වූ දෙය, යම්සේ සිදුවිය යුතු නම් එසේ වීය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

§ 42 .“ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි.

මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි.
මේ ‘දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි.
මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි.
මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි.
‘මේ දුක නැති කිරීමේ මාර්ගය’යයි තතුසේ දත්තෙමි.
‘මේ ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි.
‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි.

§ 43. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය.

මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.

§ 44. “අග්ගිවෙස්සනය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලැබුවෙමි.
සත්‍යය වසන අවිද්‍යාව නැසුවෙමි.
විද්‍යාව උපන්නීය.
මෝහ අඳුර නසන ලද්දේය.
ආලොකය උපන්නේය.
අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකලෙය

§ 45 .“අග්ගිවෙස්සනය, මම නොයෙක් විට සියගණන් පිරිසට ධර්මය දෙශනා කළ බව දනිමි.

එහිදී, ‘මටම ශ්‍රමණ ගෞතමයන් ධර්මය දෙශනා කරන්නේය’යි එක් එක් පුද්ගලයා සිතයි.
අග්ගිවෙස්සනය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතයන් අන්‍යයන්ට ධර්මය අවබොධ කිරීම පිණිසම ධර්මය දෙශනා කරති. අග්ගිවෙස්සනය, මම ඒ දෙශනාව අවසානයෙහිත්, ඊට පෙරත්, මුලදිත් යම් කිසි සමාධියකින් වාසය කරන්නෙම් නම් ඒ සමාධියෙහිම සිත පිහිටුවමි, හිඳුවමි, එකඟ කරමි, සමාධිගත කරමි.”

§ 46.“යම් ඵලසමාපත්තියකින් නිතරම වාසයකරමි’යි වදාරන සේක්ද, අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ කෙනෙකුට යම්සේ නම් එසේම භවත් ගෞතමයින්ගේ මේ සමාපත්තියට සමවැදීම ඇදහිය යුතුය. එනමුත් භවත් ගෞතමයන් දවල් කාලයේ නිදා ගන්නා බව පිළිගන්නේද ?”

“අග්ගිවෙස්සනය, පසුගිය ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව, සඟල සිවුර සතර පටක් කොට එලා සතියෙන් යුතුව මනා දකුණු ඇලයෙන් නිදාගත් බව මම පිළිගනීමි.”

“භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම සම්මොහ විහරණය කැයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.”

“අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, ඒ වන සැටි දෙසනා කරන්නෙමි.
එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’
“එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 47.“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙද්ද, ඒ ආශ්‍රව නැති නොවූයේද, ඔහු මුළාවූවෙකැයි මම කියමි. අග්ගිවෙස්සනය, ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාව වෙයි.

“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක දෙන්නාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රව තිබී , ඒ නැති කලේද, මම ඔහු මුළා නොවූවෙකැයි කියමි. අග්ගිවෙස්සනය, කෙලෙසුන් නැති කිරීමෙන් මුළා නොවීම වෙයි.

“අග්ගිවෙස්සනය, තථාගතයන්ට , සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූද, දැවිලි සහිතවූ, දුක් විපාක ඇතිකරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ ආශ්‍රවයෝ නැත, මුල් සිඳින ලදහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ. අග්ගිවෙස්සනය, මුදුන කපන ලද තල් ගසක් යම්සේ නැවත වැඩෙන්නට නොවේද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම තථාගතයන්ගේ, සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇති කරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ ක්ලෙසයෝ නැත . මුල් සිඳින ලද්දාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ.

§ 48. මෙසේ වදාළ කල්හි සච්චක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
‘භවත් ගෞතමයාණෙනි, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයාණෙනි, අද්භූතය, මෙසේ මා නිගරුවෙන් ගට ගටා අසනු ලැබුවාවූ, එලව එලවා කියනලද, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ විටද ඔබ වහන්සේ ශරීර ය වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.

“භවත් ගෞතමයාණෙනි, මම පූරණ කාශ්‍යප හට වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය.

භවත් ගෞතමයාණෙනි, මක්ඛලිගොසාලහටද, වාදයෙන් වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය.

“අජිත කෙසකම්බලහටද, වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය..

“පකුධකච්චායනටද, වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය.

“සංජය බෙලට්ඨිපුත්තටද, වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව වෙන දෙයකට හැරවීය. නොසතුටද, කෝපයද, ද්වෙෂයද, පහළ කෙළේය.

“නිගණ්ඨ නාතපුත්තටද, වාද කථාවෙන් වාදයක් ඉදිරිපත් කලෙමි. වාද කතාවෙන් මා පටන්ගත් මුත් ඔහු අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය..

“භවත් ගෞතමයාණෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.”

“අග්ගිවෙස්සනය, නුඹ සුදුසු ලෙස කරව ”යි වදාළහ.

ඉක්බිති සච්චක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.

සයවෙනිවූ මහා සච්චක සූත්‍රය නිමි. (4-6)
AmpitiyeR

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.