MN-I-4-5- චුල සච්චක සුත්‍රය

saccaka

පුජ්‍ය මීමුරේ ධම්මවංස හිමියන් කළ චුල සච්චක සුත්‍රාන්ත දේශනාව අසන්න.


§ 1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කළහ.

§  2. එකල්හි කථාවෙහි දක්ෂවූ, වාද  විවාද කොට බොහෝ දෙනා පැරදවූ , තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝදෙනා විසින් මහා උගතෙකැයි පිළිගත්තාවූ,  නිගණ්ඨනාථ පුත්‍ර ගේ සවවකු වූ, සච්චක  විසාලා මහනුවර වාසය කරයි. [අටුවාව: සච්චක ගේ දෙමාපියන් ජෛන ලබ්ධිකයන් බවද, සච්චක ඔහුගේ දෙමව්පියන්ගෙන් ද නොයෙක්  පන්ඩිතයන්ගෙන්ද බොහෝ   සංකීර්ණ විෂයයන් ගැනද බොහෝ මත වාද ගැනද උගෙන සිටියෙක් බව කියැවේ. වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න ]

§ 3. මේ සච්චකයන් වේසාලි නුවර සභාවලදී මෙසේ  කියන ලද බව ප්‍රසිද්ධය. කෙසේද යත්:

“මා සමග වාදයට පැමිණෙන යම් කිසිවෙක් බියෙන්ක ම්පා නොවෙයිද, නිරුත්තරව විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලි වලින් ඩහදිය නොපෙරෙයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහ නායකවූ, ගණ නායකවූ, ගණ ආචාරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ ‘මම අර්හත් සම්‍යක්සම්බුද්ධය’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත් පිත් නැති කණුවක් හා වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, සෙලවෙන්නේය. විශෙෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යයෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)

§ 4. එකල්හි ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ [ භාග්‍යවතුන් වහන්සේගේ පළමු ශ්‍රාවකයන්ගෙන් (පස් වග මහනුන්) කෙනෙකි.]  උදය කාලයෙහි, පාත්‍ර සිවුරු ගෙන පිඩු පිණිස විසාලාමහනුවරට වැඩියහ. විශාලාමහනුවර ඒ මේ තැන  ඇවිදිමින් සිටි නිගණ්ඨ පුත්‍ර සච්චකයන්  ඒ එන්නාවූ ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක, ආයුෂ්මත් අස්සජි ස්ථවිරයන් වහන්සේ වෙත  ගොස්, සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකපැත්තක හිඳ  මෙසේ කීවේය.

§5. “අස්සජි ස්ථවිරයෙනි, ශ්‍රමණ ගෞතමතෙම කෙසේ  ශ්‍රාවකයන් හික්මවන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක්  බොහෝ කොටදේශනා කරත්ද?

“අග්ගිවෙස්සනය, (සච්චකගේ පෙළපත්  නම.) භාග්‍යවතුන් වහන්සේ මෙසේ  ශ්‍රාවකයන් හික්මවන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාවක් බොහෝ කොට කරත්, එනම් “මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මහණෙනි, රූපය ආත්ම රහිතය, වේදනා තොම ආත්ම රහිතය. සංඥාව ආත්ම රහිතය, සංස්කාරයෝ ආත්ම රහිතයහ, විඥානය ආත්ම රහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ” (කියායි.) [Note:  අස්සජි ස්වාමින් වහන්සේ දුක්ඛ සත්‍ය ගැන සඳහන් නොකළේ  සච්චක විසින් එය වටහා ගන්නට අසීරු බව දුටු නිසා බව අටුවාව කියයි.]“අග්ගිවෙස්සනය, මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. මෙබඳු කොටස් ඇති අනුශාසනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විෂයෙහි බොහෝ සෙයින් පවත්වන්නාහ.” 

“පින්වත් අස්සජි ස්ථවිරයෙනි,  අපි මේ ඇසුවේ ශ්‍රමණ ගෞතමයන් විසින් කරන දේශනාවක් නම් සැබවින්ම එය අපට අසන්නට  තරම් නොවන්නකි. එය ඉතා වැරදි සහගත කීමකි. ඉදින් කවරදා හෝ අපට ඔබේ ශාස්තෘ භවත් ගෞතමයන් හමු වේ නම් ඔහුගේ වැරැද්ද පෙන්නදීමට ඒ ලාමකවූ මිථ්‍යාදෘෂ්ටියෙන් (ඔවුන්) තොරකරන්නට අපට හැකි වෙනු ඇත.

§6. එකල්හි  කිසියම් කටයුත්තක් සඳහා පන්සියයක් පමණ ලිච්ඡවීහු සන්ථාගාර ශාලාවෙහි රැස්ව සිටියහ. එකල්හි සච්චක නිගණ්ඨපුත්‍ර තෙම ඒ ලිච්ඡවීහු වෙත  පැමිණ මෙසේ කීවේය.
“පින්වත් ලිච්ඡවියෙනි මෙහි එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, මෙහි එත්වා අද ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කථාවක් වන්නේය. ඉදින් ශ්‍රමණ ගෞතම තෙම ඔහුගේ ප්‍රසිද්ධ ශිෂ්‍යයන් අතුරෙන් එක්තරා කෙනෙකුවූ අස්සජිනම් භික්ෂුව ප්‍රකාශ කළ පරිදිම ප්‍රකාශ කළහොත්, යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම්වලින් අල්වා ගෙන ඉදිරියට අදින්නේද, පස්සට අදින්නේද, හාත්පස එහා මෙහා අදින්නේද, එපරිද්දෙන්ම මම ශ්‍රමණ ගෞතමයන් කථා මාර්ගයෙන් දොෂය නගා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි. හාත්පස එහාමෙහා අදින්නෙමි. යම්සේ බලවත්වූ, රා සැලෙහි වැඩකරුවෙක්, රා සැලෙහි එලන කලාලයක් (පැදුරක්) ගැඹුරුවූ දිය විලක බහා කොණකින් අල්වාගෙන ඉදිරියට අදීද, පස්සට අදීද, හාත්පසින් අදීද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි, පස්සට අදින්නෙමි, හාත්පස අදින්නෙමි. යම්සේ බලවත්වූ සුරාධූර්තයෙක් රා පෙරහන කොනින් අල්වා ගෙන යටිකුරු කොට සොලවාද, උඩුහුරු කොට සොලවාද, නැවත නැවත ගසාද එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාදය නඟා ඉදිරියට අදින්නෙමි. පස්සට අදින්නෙමි හාත්පස අදින්නෙමි. සැටවස් පිරුණු ඇතෙක් ගැඹුරුවූ පොකුණකට බැස සණධොවික (හණ සේදීම නම්වූ ක්‍රීඩා විශෙෂය) කෙරේද, එපරිද්දෙන් මම ශ්‍රමණ ගෞතමයන් හා සණධොවික (හණ සෝදන) ක්‍රීඩාව කරන්නාක් මෙන් ක්‍රීඩා කරමි.
“පින්වත් ලිච්ඡවියෙනි, එත්වා, පින්වත් ලිච්ඡවියෙනි, එත්වා. අද ශ්‍රමණ ගෞතමයින් සමග මාගේ කථාවක් වන්නේය’යි (කීයේය.)

§7. ඒ සමූහයෙහිවූ  ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීවාහුය. කිමෙක්ද?
“ශ්‍රමණ ගෞතමයන් සච්චක නිගණ්ඨපුත්‍රයාට වාදය නඟන්නේද? නැතහොත් සච්චක නිගණ්ඨපුත්‍රතෙම ශ්‍රමණ ගෞතමයින්ට වාදය නගන්නේද?”
ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීහ.
“සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට වාදය නඟන්නේ නම් කෙසේ හොබනේද? භාග්‍යවතුන් වහන්සේම නිගණ්ඨ පුත්‍රවූ සච්චකයාට වාදය නගන්නේය” (කියායි.)

§ 8. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම පන්සියයක් පමණ ලිච්ඡවීන් විසින් පිරිවරණ ලද්දේ මහවනයෙහි කූටාගාර සාලාව යම් තැනක්හිද, එහි ගියේය.

 එකල්හි බොහෝ භික්ෂූහු එළිමහණෙහි සක්මන්කරති. ඉක්බිති සච්චක  ඒ භික්ෂූන් වෙත  ගොස් ඒ භික්ෂූන්ට මෙසේ කීයේය. “පින්වත්නි, දැන් ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම කොහි වෙසේද? අපි ඒ පින්වත් ගෞතමයන් දකිනු කැමැත්තම්හ.” “අග්ගිවෙස්සනය, භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුකක් සමීපයෙහි දිවා විහරණ වසයෙන් වැඩහිඳිති”යි (කීහ.) ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම මහත් ලිච්ඡවි පිරිස සමග මහවනයට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ,  සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා, එකපැත්තක උන්නේය. ඒ ලිච්ඡවීහුද සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකපැත්තක උන්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග  සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා එකපැත්තක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ යම් පැත්තකද ඒ පැත්තට දොහොත් නගා (වැඳ) එකපැත්තක උන්හ. සමහරෙක් බුදුන් හමුවෙහි තමන්ගේ නම් ගොත් කියා එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දව එක පැත්තක උන්හ.

§ 9. .එක පැත්තක උන්නාවූ සච්චක  භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉදින් භවත් ගෞතමයන්ගෙන්  ප්‍රශ්න ඇසීම පිණිස මට අවසර දෙන්නේ නම් මම භවත් ගෞතමයින්ගෙන් යමක් අසන්නෙමි”යි (කීයේය.) “අග්ගිවෙස්සනය, යමක් කැමැත්තෙහි නම් (එය) අසව”යි (වදාළහ.)

“භවත් ගෞතමයාණෙනි, භවත් ගෞතමයන් කෙසේ  ශ්‍රාවකයන් හික්මවන්නේද, භවත් ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනාවක් ශ්‍රාවකයන් ට විෂයෙහි බහුල කොට පවතීදැ”යි (ඇසීය.)
“අග්ගිවෙස්සනය, මම මෙසේ  ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මගේ මෙබඳු අනුශාසනාව බහුලකොට පවතියි. “මහණෙනි, රූපය අනිත්‍යය, වෙදනාව අනිත්‍යය සංඥා තොමෝ අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ. විඤ්ඤාණය අනිත්‍යය. මහණෙනි, රූපය ආත්ම රහිතය, වෙදනාව ආත්මරහිතය, සංඥාව ආත්මරහිතය, සංස්කාරයෝ ආත්මරහිතයහ, විඥානය ආත්මරහිතය, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, සියලු ධර්මයෝ අනාත්මයහ”යි අග්ගිවෙස්සනය, මෙසේ වනාහි මම ශ්‍රාවකයන් හික්මවමි. ශ්‍රාවකයන් විෂයෙහි මෙබඳු මාගේ අනුශාසනාව බහුල කොට පවතීය”යි වදාළ සේක.

§ 10. “භවත් ගෞතමයිනි, මට උපමාවක් වැටහෙයි” (සච්චක කීය.)
“අග්ගිවෙස්සනය, තොපට වැටහෙණ සේ කියව “
 භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“භවත් ගෞතමයිනි, යම් යම්  ධාන්‍ය වර්ග හා ගස් වැල් ආදිය පැලවීමට, වැඩීමට, ලොකු මහත්වීමට පැමිණෙත්ද, ඒ සියල්ල පොළොව නිසා, පොළොවෙහි පිහිටා ඒ ධාන්‍ය ඇට හා ගස්වැල් ආදිය යම්සේ පැල වෙත්ද, වැඩෙත්ද, මහත්වීමට යෙද්ද, භවත් ගෞතමයාණෙනි, එසේම  මමයයි කියනා මේ රුපය, නිසා  ශරීර ශක්තියෙන් කටයුතුවූ යම්කිසි කර්මාන්තයෝ වෙත්ද, ඒ සියලු දෙය පොළොව නිසා පොළොවෙහි පිහිටා යම්සේ කරනු ලැබෙත්ද, භවත් ගෞතමයාණෙනි, එපරිද්දෙන්ම රූපය ආත්මකොට ඇති මේ පුරුෂ තෙම තමා ආත්මයයි ගත් රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස්කරයි. වේදනාව ආත්මකොට ඇති මේ පුද්ගලතෙම වේදනාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංඥාව ආත්මකොට ඇති පුද්ගලතෙම සංඥාවෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. සංස්කාරයන් ආත්ම කොට ඇති මේ පුද්ගලතෙම සංස්කාරයන්හි පිහිටා පින් හෝ පව් හෝ රැස් කරයි. විඥානය ආත්මකොට ඇති මේ පුද්ගලතෙම විඥානයෙහි පිහිටා පින් හෝ පව් හෝ රැස් කෙරේය”යි (කීයේය.)

§ 11. “අග්ගිවෙස්සනය, නුඹ රූපය මගේ ආත්මයයි, වේදනාව මාගේ ආත්මයයි, සංඥාව මගේ ආත්මයයි, සංස්කාරයෝ මාගේ ආත්මයයි, විඥානය මාගේ ආත්මය’යි කියා කියන්නහුද?”

“භවත් ගෞතමයෙනි එසේය.
මමද රූපය මාගේ ආත්මයයිද, වෙදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඤ්ඤාණය මාගේ ආත්මයයිද, මෙසේ කියමි. මේ සියළු මහජන සමූහයාද එසේ කියන්නේය”යි (කීය.) [ Note: “අනත්ත” ලෙසවන බෞදධ ඉගැන්වීම  මුළුමනින්ම ප්‍රතික්ෂේප කල සච්චක “බහුතරය” නිවැරදිය යන දිෂ්ටියෙහි පිහිටා සිටි බව “මේ සියළු මහජනයාද එසේ ය” යි කීමෙන් පෙනේ. ]

“අග්ගිවෙස්සනය, මහජන සමූහයා කුමක් කරන්නේද? අග්ගිවෙස්සනය, එබැවින් තොපම ස්වකීය වාදය ගැටළු රහිත කරව.”

“භවත් ගෞතමයෙනි, “භවත් ගෞතමයෙනි, මම  රූපය මාගේ ආත්මයයිද, වේදනාව මාගේ ආත්මයයිද, සංඥාව මාගේ ආත්මයයිද, සංස්කාරයෝ මාගේ ආත්මයයිද, විඥානය මාගේ ආත්මයයිද මෙසේ කියමි”යි (කීයේය.)

§  12. “අග්ගිවෙස්සනය, එසේ නම් මෙහිලා තොපම විචාරමි. තොප යම්සේ කැමති නම් එසේ ප්‍රකාශ කරව, අග්ගිවෙස්සනය, පසේනදි කොසොල් රජද, මගධරට වෙදෙහි පුත්‍ර අජාසත් රජද වැනි කිරුළු පලන් රජ කෙනෙකු ට තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලයක් ඇත්තේයැයි සිතන්නෙහිද?”
“භවත් ගෞතමයෙනි, පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහි පුත්‍රවූ අජාසත් රජවැනි  අභිෂෙක කරනලද ක්ෂත්‍රිය රජ කෙනෙකුට තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළයුත්තෙකුගේ ධනය විනාශ කිරීමට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය. භවත් ගෞතමයෙනි, සමූහවූ මහපිරිස් ඇති වැදෑරට වැසි ලිච්ඡවීන්හටද, මල්ල රජවරුන්හටද, තමන්ගේ රටේ නැසිය යුත්තෙකු නසන්නට හෝ, ධනය විනාශ කළ යුත්තෙකුගේ ධනය විනාශ කරන්නට හෝ, රටින් නෙරපිය යුත්තෙකු රටින් නෙරපන්නට හෝ බලය ඇත්තේය.
“පසේනදි කොසොල් රජ මගධ රට වෙදෙහිපුත්‍රවූ අජාසත් රජ වැනි  අභිෂෙක කරනලද ක්ෂත්‍රිය රජෙකු ගැන කියනුම කවරේද? භවත් ගෞතමයෙනි, ඔවුනට ඒ බලය ඇත්තේමය. තිබෙන්නට සුදුසුමය”

§  13,“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ අදහස කෙසේද?
රූපය මාගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. ‘මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
මෙසේ කීකල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ.

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද?
රූපය මගේ ආත්මයැයි නුඹ කියන්නෙහිය. මාගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මාගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවායැයි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
දෙවනුවද සච්චක නිගණ්ඨ පුත්‍ර තෙමේ නිශ්ශබ්දවිය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙසේ කීහ.
“අග්ගිවෙස්සනය, උත්තර දෙව., මේ තොපට නිශ්ශබ්දවීමට කාලය නොවේ. අග්ගිවෙස්සනය, තථාගතයන් විසින් තුන්වෙනි වර දක්වා කරුණු සහිතව ප්‍රශ්න කරනු ලැබූවිට 
යම් කිසිවෙක් පිළිතුරු නොදෙයිද, මෙහිම ඔහුගේ හිස හත්කඩකට පැලෙන්නේය.

Vajrapani-2-with-offerings-and-background-smaller
§ 14. එකල්හි වජ්‍රපාණී නම් යක්ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-) “ඉදින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස සත්කඩකට පලන්නෙමි”යි (කියායි.) භාග්‍යවතුන් වහන්සේද, සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණී යක්ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.)
ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍රතෙම බියපත් වූයේ, සංවේගයට පැමිණියේ, ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සෙවීය. භාග්‍යවතුන් වහන්සේම සැඟවීමට ස්ථානයයි සෙවුවේය. භාග්‍යවතුන් වහන්සේම පිහිටයයි සෙව්වේය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමතෙම මා විචාරාවා ප්‍රකාශ කරන්නෙමි”යි (කීය.)

§  15. “අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? ‘රූපය මගේ ආත්මය යැ’යි නුඹ කියන්නෙහිය, මගේ රූපය මෙසේ (ලස්සන) වේවා. මගේ රූපය මෙසේ (අවලස්සන) නොවේවා’ යි ඒ රූපය කෙරෙහි තොපට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”

§  16. “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, නැවත මතක් කර උත්තර දෙව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව මගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ වෙදනාව මෙසේ වේවා. මාගේ වේදනාව මෙසේ නොවේවා’යි ඒ වේදනාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”

§ 17. “අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගි වෙස්සනය සිහි කර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? නුඹ සංඥාව මාගේ ආත්මයයයි කියන්නෙහිය, (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ නොවේවා’යි ඒ සංඥාව කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය”

§ 18. “අග්ගිවෙස්සනය, සිහි කරව. අග්ගිවෙස්සනය, සිහිකර උත්තර කියව. නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කලපනාව කෙසේද? නුඹ ‘සංස්කාරයෝ මාගේ ආත්මය ය’යි කියන්නෙහිය. (ආත්මවසයෙන් ගත්) ‘ඒ මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ මෙසේ නොවෙත්වා’යි ඒ සංස්කාරයන් කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”

§ 19. “අග්ගිවෙස්සනය, සිහි කරව, අග්ගිවෙස්සනය, සිහි කර උත්තර කියව. නුඹගේ පළම කථාව හා පසු කථාවද පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය මාගේ ආත්මයයයි නුඹ කියන්නෙහිය. (ආත්ම වශයෙන් ගත්) ‘ඒ මාගේ විඤ්ඤාණය මෙසේ වේවා. මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා’යි ඒ විඤ්ඤාණය කෙරෙහි නුඹට බලයක් පැවැත්විය හැකිද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.

§ 20. “අග්ගිවෙස්සනය සිහි කරව, අග්ගිවෙස්සනය සිහි කර උත්තර කියව, නුඹගේ පළමු කථාව හා පසු කථාවද, පසු කථාව හා පළමු කථාවද නොගැළපේමය.
“අග්ගිවෙස්සනය,
මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?”
“භවත් ගෞතමයෙනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?”
“භවත් ගෞතමයෙනි, එය දුක්ය”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම් එය, ‘මෙය මගේය, එය මම වෙමි. ඒ මගේ ආත්මයයැ’යි සලකන්නට සුදුසුද?”
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? වෙදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද? සැප හෝ වේද? “භවත් ගෞතමයෙනි, දුක්ය.” “යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය ‘මෙය මාගේය, මෙය මම වෙමි’ මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?” “භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංඥාව නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “භවත් ගෞතමයෙනි, දුක්ය.”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මය’යි දකින්ට සුදුසුද?”
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”

“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද, අනිත්‍ය හෝ වෙත්ද?”
“භවත් ගෞතමයෙනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?”
“භවත් ගෞතමයෙනි, ඒ දුක්ය.”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම්, එය “මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?”
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”
“අග්ගිවෙස්සනය, මේ ගැන තොපගේ කල්පනාව කෙසේද? විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද, “භවත් ගෞතමයෙනි, අනිත්‍යය”
“යමක් අනිත්‍ය නම්, එය දුක් හෝ වේද, සැප හෝ වේද?”
“භවත් ගෞතමයෙනි, එය දුක්ය”
“යමක් අනිත්‍ය නම්, දුක් නම්, පෙරලෙන ස්වභාව ඇත්තේ නම් එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි. මෙය මාගේ ආත්මය’යි ගැනීමට සුදුසුද?
“භවත් ගෞතමයෙනි, සුදුසු නොවන්නේය.”

§ 21. “අග්ගිවෙස්සනය, ගසක හරයෙන් (අරටුවෙන්) ප්‍රයෝජන ඇත්තාවූ, හරය සොයන්නාවූ, හරය සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක්  තියුණු පොරොවක් ගෙන වනයට පිවිසෙන්නේය. ඔහු  නොමේරූ ඇද නැති අලුත්වූ මහත් කෙසෙල් කඳක් දක්නේය. හෙතෙම ඒ කෙසෙල් කඳ මුලින් සිඳින්නේය. මුල සිඳ අග සිඳින්නේය. අග සිඳ පතුරු ගළවන්නේය. පතුරු ගලවන්නාවූ හෙතෙම එලයක්වත් නොලබන්නේය. හරයක් කොයින් ලබාද?

අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම නුඹ ස්වකීය වාදයෙහි මා විසින් යොදනු ලබන්නේ, කරුණු ගන්වනු ලබන්නේ, කරුණු කියනු ලබන්නේ සාර රහිත වූයේ, එහෙයින්ම ශූන්‍යවූයේ පැරදුනෙහිය.
“අග්ගිවෙස්සනය, විසාලාමහනුවර පිරිසෙහිදී නුඹ විසින් මේ වචනය කියන ලද්දේ නොවේද?
“මා සමග වාදයට පැමිණෙන යම්කිසිවෙක් කම්පා නොවෙයිද, විශෙෂයෙන් කම්පා නොවෙයිද, නොවෙවුලා සිටියිද, යමෙකුගේ කිහිලිවලින් ඩහදිය නොගලයිද, එබඳුවූ ශිෂ්‍ය සමූහනායකවූ ගණ නායකවූ, ගණ ආචරියවූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මම අර්හත් සම්‍යක් සම්බුද්ධයැ’යි කියාගන්නා කෙනෙකු හෝ නොදකිමි. ඉදින් මම හිත්පිත් නැති කණුවක් සමග වාද කරන්නෙම් නම් ඒ කණුවද කම්පාවන්නේය, විශෙෂයෙන් කම්පාවන්නේය. වෙවුලා සිටින්නේය. මනුෂ්‍යවූවෙකු ගැන කියනුම කවරේද?” (කියාය.)
“අග්ගිවෙස්සනය,
නුඹගේ  ඩහදිය බිඳු නළලින් ගිලිහුනාහු උතුරු සළුව තෙමා  බිමට වැටුනාහ. අග්ගිවෙස්සනය, එසේ වුවද මා දහදියෙන් නෙතෙමුනේ වෙමි.”
” මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි රන්වන්වූ ශ්‍රී ශරීරය (ගෙළ අසල සතරඟුළක් පමණ) විවෘත කළහ.
මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම නිශ්ශබ්ද වූයේ මකු වූයේ පහතට ලු ගෙළ ඇත්තේ, මුහුණ යටට හරවා ගත්තේ, සිතිවිලි සිතන්නේ, වැටහීම් රහිතවූයේ හුන්නේය.

§ 22. ඉක්බිති දුම්මුඛ නම් ලිච්ඡවි රාජපුත්‍රතෙම නිශ්ශබ්දවූ, මකුවූ, පහතට ලු ගෙළ ඇති, යටිකුරුවූ මුහුණ ඇති, සිතිවිලි සිතන, වැටහීම් රහිතවූ සච්චක නිගණ්ඨපුත්‍රයා දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: භාග්‍යවතුන් වහන්ස, මට උපමාවක් වැටහේ”යයි (කියායි.)
“දුම්මුඛය, නුඹට වැටහේවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“ස්වාමීනි, යම් ගමක් හෝ නියම් ගමක් හෝ අසල පොකුණක් ඇත්තේය. ඒ පොකුණෙහි කකුළුවෙක් වෙසෙයි. ස්වාමීනි, එකල බොහෝ ළදරුවෝ හෝ ළදැරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම ඒ පොකුණ වෙත පැමිණ, ඒ පොකුණට බැස ඒ කකුළුවා දියෙන් ගොඩගෙන ගොඩබිමෙහි තබන්නාහුය. ස්වාමීනි, ඒ කකුළුවා යම් අඬුවක් ඉදිරියට නමාද ඒ දරුවෝ හෝ ඒ දැරියෝ හෝ ඒ අඬුව ගල්කැටයකින් හෝ කැබලිත්තකින් හෝ සිඳින්නාහුය. බිඳින්නාහුය. කඩා මැ බිඳින්නාහුය. ස්වාමීනි, මෙසේ  සියලු අඬු සිඳින ලද්දාවූ, බිඳින ලද්දාවූ ඒ කකුළුවා  පෙරමෙන් ඒ පොකුණට බසින්නට නුසුදුසු වෙයිද, ස්වාමීනි, එපරිද්දෙන්ම සච්චක නිගණ්ඨ පුත්‍රයාගේ කිසියම් දෘෂ්ටි නමැති හුල් වූවාහුද, දෘෂ්ටි පැවතුම් වූවාහුද, දෘෂ්ටි කම්පන වූවාහුද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදහ. බිඳින ලදහ. හාත්පසින් බිඳින ලදහ. ස්වාමීනි, දැන් සච්චක නිගණ්ඨ පුත්‍රතෙම වාද කරන අදහස් ඇතිව නැවත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙන්නට නුසුදුසුය.”
මෙසේ කී කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම දුම්මුඛ ලිච්ඡවි පුත්‍රයාට මෙසේ කීයේය.
“දුම්මුඛය, නුඹ නවතුව, දුම්මුඛය, නුඹ නවතුව. අපි තා සමග කථා නොකරමු. මෙහි අපි භවත් ගෞතමයින් සමග කථා කරමු.

§ 23. “භවත් ගෞතමයෙනි,
අපගේද අන්‍යවූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද, මේ කථා  තිබුණා වේ, ඒ වචන ප්‍රලාපයක් මෙනි, නොහොත් ප්‍රලාප මාත්‍රයෙකි. කොපමණකින් භවත් ගෞතමයින්ගේ ශ්‍රාවකතෙම අනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ, සැකයෙන් එතෙරවූයේ, කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේ, පහවූ සැක ඇත්තේ, විශාරද බවට පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ, ශාස්තෘ ශාසනයෙහි වාසය කෙරේද?” [Note: සච්චක ගේ ප්‍රශ්නය “සේඛ” තත්වයට පමණ පත් කෙනෙකුගේ ස්ථාවරය ගැනය. රහත් උතුමාණන් අනාත්ම ස්වභාවයේ සම්මා දිට්ඨියට පැමිණීමෙන් නොව ඒ අනාත්ම දැනීම ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටී.]

§ 24 “අග්ගිවෙස්සනය,
මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවකයා  ගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද,
පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, ගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස් වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, ගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළ වූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි, මෙසේ ඇති සැටියෙන් යහපත් නුවණින් දකීද, ගිය කාලය මතු කාලය දැන් කාලය යන තුන් කාලයෙහිවූ තමාතුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උස්සවූද, දුරවූද, ලඟවූද, යම් සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහි තමා තුල වූද පිටත්හි වූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ලඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දකීද,

 “අග්ගිවෙස්සනය, මෙපමණකින් මාගේ ශ්‍රාවකයාඅනුශාසනාව කරන්නේ, අවවාදයට අනුව ක්‍රියා කරන්නේ සැකයෙන් එතරවූයේ, කෙසේ කෙසේ දැයි පැවති සැකය පහවූයේ, විශාරද බවටද පැමිණියේ, අනුන්ගේ පිහිට නොසොයන්නේ ශාස්තෘ ශාසනයෙහි වාසය කරයි.”

§ 25. “භවත් ගෞතමයෙනි, මහණතෙම කොපමණකින් නැතිකළ කෙලෙස් ඇත්තේ, වැස නිමවනලද බ්‍රහ්මචරියා ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබනලද කෙලෙස් බර ඇත්තේ අර්හත් බවට පැමිණියේ භවසංයොජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත්වේද?
“අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි මහණ තෙම පසුගිය කාලය, දැන් කාලය, මතු කාලය යන තුන් කාලයෙහිවූ තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මාගේ නොවෙයි මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් සංස්කාරයෝ වෙද්ද, ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද, පසුගිය කාලය, මතු කාලය, දැන් කාලය යන තුන් කාලයෙහිවූ, තමා තුළවූද, පිටත්හිවූද, මහත්වූද, සියුම්වූද, පහත්වූද, උසස්වූද, දුරවූද, ළඟවූද, යම් විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේය’යි මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන මිදුනේ වෙයිද,
“අග්ගිවෙස්සනය, මෙපමණකින් මහණතෙම කෙලෙස් නැතිකරන ලද්දේ, වැස නිමවනලද බ්‍රහ්මචරිය ඇත්තේ, කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙලෙස් බර ඇත්තේ, අර්හත් බවට පැමිණියේ, භවසංයෝජන (සසර බැඳුම්) විනාශ කළේ, හොඳින් දැන මිදුනේ, අර්හත් වෙයි.

§ 26. “අග්ගිවෙස්සනය, මෙසේ මිදුන සිත් ඇති භික්ෂුව දස්සනානුත්තරිය (අර්හත් මාර්ගඥානය,) පටිපදානුත්තරිය (ඉතිරි මාර්ගඥානය,) විමුත්තානුත්තරිය (අර්හත්ඵලය,) යන අනුත්තරිය ධර්ම තුනකින් යුක්තවූයේ වෙයි. අග්ගිවෙස්සනය, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව, ‘චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධය පිණිස ධර්මය දෙසනා කරති. දැමුනාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (ඉන්ද්‍රිය) දමනය පිණිස ධර්මය දෙසනා කරති. (සියලු කෙලෙස් සංසිඳීමෙන්) ශාන්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳීම පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස් සැඩපහර) තරණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස් සැඩපහර) තරණය පිණිස ධර්මය දෙසනා කරති. (කෙලෙස්) පරිනිර්වාණය කළාවූ ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙස්) පරිනිර්වාණය පිණිස ධර්මය දෙසනා කරති’යි භාග්‍යවතුන් වහන්සේටම සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කරයි.”

§ 27. මෙසේ වදාළ කල්හි, සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමයාණෙනි, මත් ඇතෙකුට පහරදී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයින්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, දරුණු විෂ ඇති සර්පයෙකුට පහරදී පුරුෂයෙකුට නිදහස ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි, භවත් ගෞතමයෙනි, දිලිසෙන ගිනිකඳක හැපී පුරුෂයෙකුට නිදහසක් ඇත්තේය. භවත් ගෞතමයන්ට ගටා පුරුෂයෙකුට යහපතක් නොවේමැයි.”

“භවත් ගෞතමයෙනි, යම්බඳු අපි භවත් ගෞතමයින් වාදයෙන් වාදය ගැටියයුතු කොට සිතුයෙමුද, භවත් ගෞතමයිනි, ඒ අපිම ගුණයෙන් පිරිහුනෙමු. අපිම ආඩම්බර වචන ඇත්තෝ වූවෙමු. භවත් ගෞතමතෙම හෙට දවසට භික්ෂු සංඝයා සමග මාගේ බත ඉවසුව මැනව”යි (කීය) භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.

§ 28. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ඒ ලිච්ඡවීන්ට මෙසේ කීය. “පින්වත් ලිච්ඡවියෙනි, මාගේ වචනය අසත්වා. මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට  භික්ෂු සංඝයා සමග සෙට දවසට ආරාධනා කළෙමු.  යමක් උන්වහන්සේට කැපයයි හඟිව්ද? මා වෙතට එය එවව්”. ඉක්බිති ලිච්ඡවීහු, ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් සච්චක නිගණ්ඨ පුත්‍රයාට පන්සියයක් පමණ බත්සැලි යැවූහ. එවිට සච්චක නිගණ්ඨපුත්‍ර තෙම සිය අරමෙහි ප්‍රණීතවූ කෑයුතුදෑද, බුදියයුතුදෑද, පිළියෙල කරවා ‘භවත් ගෞතමයෙනි සුදුසු කාලයයි බත නිමියේය’යි භාග්‍යවතුන් වහන්සේට කාලය මතක් කර යැවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ ආරාමය යම් තැනෙක්හිද එතැන්හි වැඩියහ. වැඩ, භික්ෂු සංඝයා සමග පණවනලද අස්නෙහි උන්හ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍ර තෙම බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා ප්‍රණීතවූ කෑ යුත්තෙන්ද, බොජුනෙන් ද, සියතින් වැළඳවීය.

ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසන්වූ පසු එක්තරා මිටි ආසනයක් ගෙන එක්පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයාණෙනි, දානමය පුණ්‍යක්‍රියාවෙහි යම් මේ පිණකුත් විපාකයකුත් වේ නම් එය මේ දානය එවූ දායකයින්ට සැප පිණිස වේවා”යි (කීයේය.)

“අග්ගිවෙස්සනය, පහනොකළ රාගය ඇති, පහනොකළ ද්වෙෂය ඇති, පහනොකළ මොහෙය ඇති යම්බඳු දක්ෂිණාර්හයෙකු වෙතට පැමිණ ඒ පුණ්‍ය විපාකය දායකයින්ට වන්නේය. අග්ගිවෙස්සනය, පහකළ රාගය ඇති, පහකළ ද්වෙෂය ඇති, පහකළ මොහය ඇති මා වැනි දක්ෂිණාර්හයෙකු වෙත අවුත් ඒ පුණ්‍ය විපාකය නුඹට වන්නේයයි” වදාළහ.

පස්වෙනිවූ චූල සච්චක සූත්‍රය නිමි (4-5)


පුජ්‍ය පිටිගල ගුණරතන හිමියන් කල සුත්‍ර විවරණ දේසනාව හඬ පට දෙකකින්.



Paticca amuppada

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.