MN-0I-04-02 මහා ගෝසිංහ සුත්‍රය

5 first monks


§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක 
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආදී බොහෝ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේ  සමග ගොසිංග යෙහි වූ  සාලවන යෙහි  සමඟ-වැඩ වාසය කරති.

§ 2. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ එක් සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැඟී සිට ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතනට ගියහ. ගොස්, “ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් ධර්මය අසමු ”යි කීහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, එසේය”යි උත්තර දුන්හ.

ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි ගියහ.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ඒ දැක ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වෙත ගොස් ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.“ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අසවල් සත්පුරුෂයෝ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගෙන් ධර්මය අසනු පිණිස එහි යන්නාහ. ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අපිත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගෙන්  බණ අසනු පිණිස එහි යමු” (කියායි) ඇවැත්නි, “එසේය”යි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ  උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි ගියහ.

§ 4. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ එන්නාවූ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද දුරදීම දුටහ. දැක, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
“ආයුෂ්මත් ආනන්දයෙනි, එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම ඉතා යහපත්ය.

§ 4.1 “ඇවැත්නි, ආනන්දයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, මේ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී මලින් පිරි සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංග සාල වනය මෙසේ බබලන්නේ දැ”යි (විචාළහ.)

“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ සාසනයෙහි භික්ෂුවක් බොහෝ සේ ධර්මය අසා උගෙන  ඇත්තේ වෙයිද, ඇසූ දේ සිත්හි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය මැනැවින් විමසා බලන්නේද,  එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට  ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබොධ කරණ ලද්දාහු වෙත්ද, තමන් එසේ උගත් ධර්මය  ආශ්‍රව (කෙලෙස්) නැති කිරීම පිණිස( භික්ෂු,  භික්ෂුණි, උපාසක, උපාසිකා යන ) සිව් වනක්  පිරිසට  ප්‍රකාශ කෙරෙත්ද, පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දෙශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොට ගෙන ගොසිංගසාලවනය බබලන්නේය’යි (කීහ.) [ Note: ආයුෂ්මත්ආනන්ද ස්ථවිරයන්  ධර්මධාරි භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානයේ ඉන්නා භික්ෂුව ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.]

§ 4.2. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත්නි රේවතයෙනි, ආයුෂ්මත් ආනන්දයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය.  දැන් ආයුෂ්මත් රෙවතයන් විචාරමු. “ඇවැත් රෙවතයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, මේ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී මලින් පිරි සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංග සාල වනය මෙසේ බබලන්නේ දැ”යි (විචාළහ.)

“ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි කැමැත්ත ඇත්තේ නිතොර සමාධියෙහි නිමග්නව (ධ්‍යාන ගතව ) සිටින්නේද,  තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ,  පහනොකළ විදර්ශනායෙන් යුක්තවූයේ,  ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංග සාල වනය බබළන්නේය”යි (කීහ.) [ Note: ආයුෂ්මත් රේවත ස්ථවිරයන්  භාවනාකරන  භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානයේ ඉන්නා භික්ෂුව ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.]

§ 4.3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවතයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය.  දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ” ඇවැත්නි, අනුරුද්ධයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, මේ රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී මලින් පිරි සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය මෙසේ බබලන්නේ දැ”යි (විචාළහ.)

“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසුදුවූ, මිනිස්බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල් තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසුදුවූ, මිනිස් බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය බබළන්නේ”යි (කීහ.) [ Note: ආයුෂ්මත් අනුරුද්ධ  ස්ථවිරයන්  දිවැස් ඇති භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානයේ ඉන්නා භික්ෂුව ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත


§ 4.4. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීහ. “ මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විචාරමු. “ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහාකාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැයි (විචාළහ.)

“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, තෙමේ වනගතව ශ්‍රමණ දර්ම පුරන්නේ වේද, ඔහු වනගත හුදෙකලා පැවැත්මේ ගුණ, ආනිසංස කියන්නේ වෙයි.  තෙමේ පිණ්ඩපාතිකවූයේද  පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේ, තෙමේ පංශුකූලිකාංග ඇත්තේද  පංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේ, තෙමේ තෙචීවරිකාංග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේ, තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අල්පෙච්ඡ වීමෙහි ගුණකියන්නේවේ, තෙමේද ලදදෙයින් සතුටුවන්නේ, ලදදෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේ වේ, තෙමේ විවේකයෙන් යුක්ත වූයේද, විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේ ජන සංසර්ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේද [හුදෙකලාව ප්‍රිය කරන්නේද,], හුදෙකලාවෙහි ගුණ කියන්නේවේ, තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේවේද, වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේ, තෙමේ සීලයෙන් යුක්තවූයේද, සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේ, තෙමේ සමාධියෙන් යුක්තවූයේද, සමාධිසම්පත්තියෙහි ගුණ කියන්නේවේ, තෙමේ ප්‍රඥාවෙන් යුක්තවූයේද, ප්‍රඥා සම්පත්තියෙහි ගුණ කියන්නේ වේ, තෙමේ විමුක්තියෙන් යුක්ත වූයේද, විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේ, තෙමේ විමුක්තිඥාන දර්ශනයෙන් යුක්තවූයේද, විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේ, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙණ ගොසිංගසාල වනය බබළන්නේය”යි (කීහ.)[ Note: ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් ධුතාංගධාරි භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානයේ ඉන්නා භික්ෂුව ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.]

§4.5 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:-
“ඇවැත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය.  දැන් අපි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. “ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, ගොසිංග සාල වනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස්මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය බබළන්නේ දැ”යි (විචාළහ.)

§4.6. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. 

“ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් ධර්මයෙහි ගාම්භීර විෂයයන් ගැන [Note: බොහෝ පරිවර්තකයන් “අභිධර්මය” ගැන කතා ලෙස මෙය ලිවුවද, අභිධර්ම පිටකයේ කරුණු ගැන සාකච්චාවන් මින් අදහස් නොවන බව අවධාරණය කල හැක්කේ “අභිධර්ම” පිටකය බුද්ධ පරිනිර්වාණයට පසුව ලියැවුනක් නිසාය. ජපන් ජාතික Pali scholar Fumimaro Watanabe කියන පරිදි අභිධර්ම පිටකය සඳහා මුල් පිටපත් සකස් කලේ බුද්ධ කාලින රහතුන් වහන්සේලාමය.] කථා පවත්වත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසන ලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු  භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාල වනය බබළන්නේය’යි (කීහ.)[ Note: ආයුෂ්මත් මහා මොග්ගල්ලාන  ස්ථවිරයන් සෘද්ධි ප්‍රාතිහාර්‍ය හි දක්ෂ  භික්ෂුන් අතරින් අග්‍ර ස්ථානයේ ඉන්නා භික්ෂුව ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය බබලන්නේදැ”යි, (විචාළහ).

“ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තම සිතට  තමා පාලනය කරන්නට නොව තමාගේ  සිත  තමන්ට පාලනය කරගන්නට සමත් වේ. උදය වරුවෙහි තමනට රිසි ධ්‍යානයකට සමවැද සිටින්නට ඔහු සමත් ය. දිවා කලදී තමනට රිසි විහාරනයකට එළඹෙන්නට හෝ රිසි සමාධියක සුවපත් වන්නට දක්ෂ වේ. සවස් කල් තමනට රිසි අරමුණකට හෝ ධ්යානයකට් සම වැද සිටින්නට ඔහුට පිළිවන් වෙයි.   

ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජ කෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්ණ ඇති ඇඳුම්වලින් පිරුණේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර යුවලක්  අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියි, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියි, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳියි,

ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, මෙලෙසම මහණකු තමන්ගේ හිත තමනට  වසඟ කර ගනියිද, හිතට තමන්ව  වසඟයට ගන්නට ඉඩ නොදෙයිද, හෙතෙම යම් ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්නට කැමති නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දාවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සම්පත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්ෂුව කරණ කොට ගෙන ගොසිංග සාල වනය බබලන්නේය”යි (කීහ.)

§ 5. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ  මෙසේ කීහ. “ඇවැත්නි, අප සියලුදෙනා විසින් අපේ දැනීම පරිදි ප්‍රකාශයන් කරන ලදී. ඇවැත්නි, අප දැන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්   ඒ සියල්ල සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ආකාරයකින් ප්‍රකාශ කරත් නම් එසේ  දරා ගනිමු”යි (කීහ.) ‘එසේය, ඇවැත්නි’යි ඒ ආයුෂ්මත්වරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති ඒ (සියලු) ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව උන්හ. එකත්පසෙක උන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

§ 6. “ස්වාමීනි, ආයුෂ්මත් රෙවත ද, ආයුෂ්මත් ආනන්ද ද බණ අසනු පිණිස මා වෙත පැමිණියහ. ස්වාමීනි, මම මෙසේ එන්නාවූ ආයුෂ්මත් රෙවතයන් හා ආයුෂ්මත් ආනන්දයන් දුරදීම දුටුවෙමි. දැක, ආයුෂ්මත් ආනන්දයන්ට මෙසේ කීවෙමි.
“භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිම හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම යහපත්ය. ඇවැත් ආනන්දයෙනී, ගොසිංගසාල වනය සිත්කලුය, රාත්‍රිය සඳහපනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය බබලන්නේද’යි ඇසීමි.
, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ මට මෙසේ කීය. …..(same as § 4.1 )….

“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රෙවතයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්ද විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි,……..(same as §4.2 )…ශූන්‍යාගාරයෙහි වඩන භාවනා ඇත්තේය.

“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවත විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, ……(same as §4.3 )…. මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)

“ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් මහාකාශ්‍යපයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිදී අපි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය……(same as  §4.4 )…. විමුක්තිඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේය.
“ස්වාමීනි, මෙසේ කීකල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන්ට මෙසේ කීමි. ‘ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. අපි ආයුෂ්මත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ආයුෂ්මත් මෞද්ගල්‍යායනයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, ……………….(same as  §4.5 )….
“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. මෞද්ගල්‍යායන මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, මෞද්ගල්‍යායන වනාහි ධර්මකථිකය.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන  භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉක්බිති ස්වාමීනි, මම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට මෙසේ කීවෙමි. ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, …..(same as  §4.6 )…. වාසය කරන්නේය.

§7. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේකීහ. “ස්වාමීනි, අප කවරෙකුගේ ප්‍රකාශය යහපත් ප්‍රකාශය වන්නේද?”
“ශාරීපුත්‍රය, තොප සියලුදෙනාගේ ප්‍රකාශ ඒ ඒ කාරණයෙන් යහපත් ප්‍රකාශමය.
එහෙත් ‘කෙබඳු භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංග සාලවනය බබළන්නේ දැ’යි මගෙන්ද අසව් නම්, මගේ පිළිතුර වන්නේ,
ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි යම් මහණෙක්  පිණ්ඩපාතයෙන් පසුව වෘක්ෂ මුලයක පලක් බැඳගෙන කය ඍජුකොට පර්යංකයෙන් හිඳ ,  සතිය පෙරමුණු කොට  පිහිටුවාගෙන, මගේ සිත යම්තාක් උපාදානයන්ගෙන් වෙන්ව, කෙලෙසුන් කෙරෙන් නොමිදෙන්නේද, ඒතාක් පර්‍ය්‍යංකය නොබිඳින්නෙමියි අදිටනෙන් හිඳියිද, ශාරීපුත්‍රය, මෙබඳු භික්ෂුව කරණ කොට ගෙණ ගොසිංග සාලවනය බබලන්නේය.” යනුයි. 

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ.
සතුටු සිත් ඇත්තාවූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

දෙවැනිවූ මහා ගොසිංග සූත්‍රය නිමි. (4-2)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.