MN 01-04-04 චුල ගෝපාලක සුත්‍රය

සසර සැරිසරන බව නොදන්නා සත්වයා මරණයෙන් මතු භවයක් ගැන නොඅදහන නිසාම නොයෙක් අකුසල් කොට මේ සංසාර දුක විඳිමින් බොහෝ කලක් දුක් පමණක් විඳිති.බොහෝ මිනිසුන් ඉතා කලාතුරකින් ලබන මනුෂ්‍යය භවයක් ලැබ උපදී සිටියත් හරි ආගමක් ඉගැක්මක් නැති නිසා තව තවත් සසරේම සැරිසරයි. . මේ සුත්‍රයෙන් කියැවෙන්නේ වැරදි ආගම් ඇදහීම නිසා වන අනතුර ගැන භාග්‍යවතුන් වහන්සේ කල දේශනයකි.


§
1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කවෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කළහ. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ.
“ස්වාමීන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§2. “මහණෙනි, පෙර වූවක් කියමි.
එක් කලෙක අඥාන ගොපල්ලෙක් මගධ රට විසීය. ඔහු එක් වස්සාන ඍතුවක අන්තිම මාසයෙහි  සිය ගව රල විදේහ ගඟ හරහා එගොඩට දක්කන්නට වීය. දෙඉවුර ගැන සොයා නොබලා තොටුපලක් නැති තැනක දැක්කු ගව රැල ගඟ මැද යා අතක් නොදක මුළා වී ගගේ සැඩ පහරට ගසාගන ගොස් අසුවී එහිම විනාශයට පත්වූහ 

§ 3, එසේම  සමහර   ශ්‍රමණයෝ හා බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය හා පරලොව පිළිබඳව හරි ආකාරව නොදන්නේ , මාරයාට අයත්වූයේ කුමක් දැයි  හා මාරයාට අයත් නොවන්නේ   කුමක් දැයි නොදන්නේ, මරණයේ ස්වභාවය සහ මරණයෙන් පිටත ස්වභාවය  පිළිබඳව අදක්ෂයෝ වෙත්ද,  , එබඳු ශ්‍රමණ බ්‍රහ්මනයන්ගේ  ඉගැන්වීම් හා  ධර්මය ඇසිමෙන්  හා ඒ අනුව පිළිපැදීමෙන් ජනයා බොහෝ අනතුරට සහ විනාශයට පැමිණේ.

§ 4. “මහණෙනි, මගධ රටම විසු වෙනත් නුවණැති ගොපල්ලෙක්  වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි සිය ගව රැල ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටක් ඇති තැනක් බලා මෙසේ සිය ගව රැල දැක්කවිය. 

හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගව නායකවූ  වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.
ඊට අනතුරුව ශක්තිමත් ගවයන්ද,  හරියට හීලෑ නොවුණු ගවයන්ද  ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.
ඊළඟට නහඹු වැස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.
ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය.
මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.
එසේ ඒ ගව රැල නිරුපද්‍රිතව එහොඩට ගියේ කෙසේද.? 
ඒ ඥානවන්ත ගොපල්ලා එගොඩත් මෙගොඩත් මනාව පිරික්සා තොටක් ඇති තැනකින් සිය රැල දැක්කු නිසාය.

§ 5. එලෙසින්ම භික්ෂුණි, මේ ලොව ගැනත්, පරලොව ගැනත් තතු මනා සේ දන්නා, මාරයාගේ බලය ඇති සීමාව හා මාරයාගේ බලයෙන් පිටත ගැන දන්නා , මරනයේ ස්වභාවය සහ මරණයෙන් මතු පැවැත්මේ ස්වභාව ගැන දන්නා ශ්‍රමණයන්ගේ හෝ බ්‍රහ්මනයන්ගේ, ධර්මයන් ඇසීම සහ එම ඉගැන්වීම් අනුව පිළිපැදීම  බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.


§ 6. “මහණෙනි, යම්සේ ගව පියන්වූ, ගවයින්ට ප්‍රධානවූ,  ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් භික්ෂුවක් සකල කෙලෙස් දුරු කොට වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භව සංයොජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ (තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට යන්නාහ.

§ 7. “මහණෙනි, යම්සේ  බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳී මෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලොකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.

§ 8. “මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයොජනයන් නැති කිරීමෙන් රාග ද්වෙෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූවාහු එක් වරක්ම මේ කාමලොකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

§ 9. “මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයොජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

§ 10. “මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතර වන්නේ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරීනම් වූද, සංඝානුසාරීනම්වූද යම් ඒ සෝවාන් භික්ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

§ 11. “මහණෙනි, මම මේ ලොකය පිළිබඳවද දක්ෂවෙමි. පරලොකය පිළිබඳවද (ස්කන්ධධාතු ආයතනාදියෙහි) දක්ෂවෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂවෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්ෂවෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි.
“මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්මය ඇසිය යුතුයයි, ඇදහිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔහුගේ හිත පිණිස සැප පිණිස වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෲන් වහන්සේ නැවත මේ ගාථාද ප්‍රකාශ කළහ.

“සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධධාතු ආයතනාදිය)ද,
පරලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද මනාව වදාරණලදී.
මරහු විසින් පැමිණෙනලද යම් ධර්මයක් වේද,
මරහු විසින් නොපැමිණෙනලද යම් ධර්මයක් වේද,
සියල්ල දත් සර්වඥයන් වහන්සේ ඒ සියල්ල දැන
නිවණට පැමිණීම පිණිස නිර්භයවූ මාර්ග දොරටුව විවෘත කරන ලදී.”


“මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිඳින ලදී,
මානය නමැති සුලඟ විනාශ කරනලදී.
එහෙයින් මහණෙනි,
සතුටට පත්ව සිටුව්,
නිර්වාණය පතව්.


සතරවෙනිවූ චූල ගොපාල සූත්‍රය නිමි. (4-4)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.