MN-01-04-01-චුල ගෝසිංහ සුත්‍රය

monks in park

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම (ගඩොලින්ම කළ හෙයින්) ‘ගිඤ්ජකාවසථ’ නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති.

§ 2 . එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, [අනුරුද්ධ ස්වාමින්වහන්සේ භාග්‍යවතුවහන්සේ ගේ ඥාති සොහොයුරාය. නන්දිය සහ කිම්බිල මෙතුමාගේ ගිහි ජීවිතයේ මිත්‍රයන් විය. ], ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ‘ගොසිංග සාලවන’ නම් වූ ආරණ්‍යයෙහි වැඩ වාසය කළහ.

§.3. එකල්හි දිනෙක භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමවතින් නැගී සිටියේ ගොසිංග සාලවනය වෙතට වැඩියහ.  උද්‍යාන පාලකයා   වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම  දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ශ්‍රමණය, මේ වනයට ඇතුළු නොවනු මැන. තමන්ට වැඩ කැමති  කුල පුත්‍රයෝ තුන් දෙනෙක් මෙහි බවුන් වඩති.  ඔවුන්ට බාධා නොකර වෙනතක යනු මැනවි.”

§ 4. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ට , භාග්‍යවතුන් වහන්සේ ට  වනපාලයා කී දේ ඇසූනහ. ඒ අසා වහා එතැනට විත්  වනපාලකයාට මෙසේ කීහ.
“ඇවැත්නි, වනපාලකයානෙනි, භාග්‍යවතුන් වහන්සේ නොවළක්වව, මේ අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ පැමිණියහ”යි (කීහ) ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද හුන්  තැනට  පැමිණ,  මෙසේ කීහ. “එන්න ආයුෂ්මතුනි, එන්න ආයුෂ්මතුනි, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ”යි (කීහ.)

§ 4. එවිට ආයුෂ්මත්  ස්ථවිරයන් වහන්සේලා තිදෙනා වහන්සේම  භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගමන් කොට එක නමක් භාග්‍යවතුන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු පිළිගත්තේය. එක නමක් ආසන පැණවීය. එක නමක් පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හිඳ පා සේදූහ. ඒ ආයුෂ්මත්හුද භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හිඳ ගත්හ. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§  5.  “අනුරුද්ධයෙනි, ඔබ සැම හොඳින් ඉන්නේද? පහසුවෙන් දාන පහසුව ලැබෙන්නේද?” අසා වදාළ සේක.
“එසේය ස්වාමිනි අප හොඳින්, පහසුවෙන් මෙහි වසන්නෙමු. පිණ්ඩපාතය අපහසුවෙන් තොරව කරමු.”

§ 6 . අනුරුද්ධය  තෙපි එක්ව සමගියෙන් ඉන්නාහුද?  විරුද්ධ වූ වාද  භේද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරව්ද?”
“ස්වාමීනි, එකාන්තයෙන් අපි සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් දකිමින් වාසය කරමු”යි (කීහ)

“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගිව, සතුටුව, විරුද්ධ වාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නහුද?”

§ 7 . “ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. මෙබඳු  සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරන්නන්) සමග වාසය කිරීමට ලැබීම මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් මහා  ලාභයකි’ (යනුවෙනි).

මේ ආයුෂ්මතුන් කෙරෙහි,ඔවුහු  ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද  මාගේ මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි නම් ස්වාමිනි, මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”
ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද , ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේට මෙසේම  කීහ. 

§  8.  . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත, අනුරුද්ධයෙනි, කෙසේද ? තෙපි අප්‍රමාද ව , කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, විමුක්ති මාර්ගයෙහි යොදන ලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”
“ස්වාමීනි, අපි එකාන්තයෙන් අප්‍රමාදව , කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, විමුක්ති මාර්ගයෙහි යොදන ලද සිත් ඇතිව වාසය කරමු.”

“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් අප්‍රමාදව , කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, විමුක්ති මාර්ගයෙහි යවනලද සිත් ඇත්තා සිත් ඇතිව වාසය කරව්ද?”

§  9. “ස්වාමීනි,  ඒ කෙලෙස දැයි විස්තර කරන්නේනම්,  අප  අතුරෙන් යමෙක් පළමු කොට පිණ්ඩපාතය නිමවා ආපසු එයිද, හෙතෙම සියල්ලන් පිණිස දාන ශාලාවේ ආසන පණවයි. පානය පිණිස ජලයද, සේදීම පිණිස ජලයද ගෙනවුත් තබයි. කසල බඳුන් නිසි තැන් හි තබාලයි.

  පිඩු පිණිස හැසිර පසුව ගමින් අන්තිමට ආපසු එයිද, හෙතෙම ඉදින් පළමුව දානය ගත්තෝ යමක්  ඉතිරි කොට ඇත්තේ නම් , ඉදින් කැමැත්තේ වේනම් ඒ  වළඳයි. ඉදින් නොඑසේ  නම් නිල් තණ නැති බිමක හෝ, (ඉන් නැසෙන) පණුවන් නැති ජලයක හෝ පාකර හරියි. හෙතෙම ආසන ආපසු තිබු තැන්වල තැන්පත් කර තබයි. පැන් බඳුන් අස්කර සේදිය යුත්තක් ඇතිනම් සෝදා පිරිසිදු කොට  තැන්පත් කරයි. ආහාර ලන බඳුන් නියම තැන තබයි. බොජුන් හල අමදියි,  බොන පැන් තබන කළය හෝ, සෝදන පැන් තබන කළය හෝ, වැසිකිළියෙහි පැන් තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම එහි දිය වත්කරයි. ඉදින් ඔහු විසින් එය නොඉසිලිය හැකි වේද, අතින් සංඥා කිරීමෙන් දෙවැන්නකු කැඳවා දෙ අත් එක්කොට අත් උඩ තබා ගැන්මෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ සඳහාවත් කථා නොකරන්නෙමු. 
[ශ්‍රමණ ජීවිතයේ එකම අරමුණ වන නිර්වානාවබෝධය සඳහා  භාවනාව පිණිස කාලය ගෙවන්නා කතා කිරීම අන්‍ය සමාගම සෙවීම ආදී රාමතාවයන් දුර ලයි.]

“ස්වාමීනි, අපි පස් දවසකට වරක් පමණක් එක්ව  මුළු රාත්‍රියෙහිම ධර්ම සාකච්චාවෙහි යෙදෙමු. සමගිව හිඳිමු. ස්වාමීනි, මෙපරිද්දෙන් අපි අප්‍රමාද වූවාහු වීර්‍ය්‍යවත් වූවාහු සතර මාර්ගයෙහි යැවූ සිත් ඇත්තාහු වෙසෙමු”යි (කීහ)

§ 10. “සාදු! සාදු!! සාදු!!! අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිවු මඟ යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ සැප විහරණයක් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් එසේ නොවන්නේද? අපි කැමති විටක, කාමයන් කෙරෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ  වාසය කරන්නෙමු. ස්වාමීනි, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, මාර්ගඵලයන්ට යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ අප විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ මේ සැප විහරණය අවබොධ කරන ලද්දෙමු.”

§ 11 . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් කෙසේ නම් එසේ නොවන්නේද? අපි කැමති විටක විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

§ 12 .“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථ වූ අනික් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

ස්වාමීනි, කෙසේ නම් කෙසේ නම් එසේ නොවන්නේද? අපි කැමති විටක විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, ප්‍රීතියෙහිද, නොඇල්මෙන් මැදහත් බවෙන් යුක්තව සිහියෙන් හා මනා නුවණින් යුක්තව කයින්ද සැපය විඳින්නෙමු. යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණයකැයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

§ 13 . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩි වූ, ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් කෙසේ නම් එසේ නොවන්නේද? අපි කැමති විටක විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, සැපය නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුව සොම්නසත් දොම්නසත් නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදුවූ සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

§ 14  . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම වීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් කෙසේ නම් එසේ නොවන්නේද? අපි කැමති විටක විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ,, සම්පූර්ණයෙන් රූප හැඟීම් ඉක්ම වීමෙන් ගැටීම් හැඟීම් දුරු කිරීමෙන්, නොයෙක් හැඟීම් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

§ 15 .  “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇතිකිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.

§ 16  . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍යධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇතිකිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

§ 17   . “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”

§ 18 “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය ඥානදර්ශනය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරන්නෙමු. අප විසින් ඒ නිරොධය ප්‍රඥාවෙනුදු දැක ආශ්‍රව ධර්මයෝ නැති කරන ලදහ. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස අප විසින් මේ මනුෂ්‍ය ධර්මයට වඩා උතුම්වූ ආර්‍ය්‍ය ඥානදර්ශන විශෙෂය ඇති කිරීමෙහි සමර්ථවූ, මේ පහසු විහරණය අවබෝධ කරන ලද්දේය. ස්වාමීනි, මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනික් පහසු විහරණයක් නොදක්නෙමු’යි (කීහ)
“අනුරුද්ධයෙනි, යහපත, යහපත. මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනෙක් පහසු විහරණයක් නැත.”
යි වදාළ සේක.

§ 19 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද දැහැමි කථාවකින් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහ කරවා, සතුටු කරවා හුන් ආසනයෙන් නැගිට වැඩියහ.

§ 20 ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට ආපසු අවුත්, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ආයුෂ්මතුන් වහන්ස අප තිදෙනා ක්ලේශ ප්‍රහාණය කොට අපගේ අර්හත්වය දක්වා මාර්ගඵල ලබා සිටින බව බුදුන් වහන්සේ ට ඔබ වහන්සේ කීවෙහිය. හිමියෙනි, ‘අපි මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමුය’යි ඔබ සමග කීවෙමුද?”

“නැත ආයුෂ්මතුනි, ඔබලා මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමු”යයි ආයුෂ්මත්හු මට නොකීවාහුය. එහෙත් මා විසින් මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත පිරිසිඳ දැක මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ඔබ වහන්සේලා ලබා සිටින්නාහුයයි දක්නාලදී. දෙවි දෙවතාවෝද, ආයුෂ්මතුන් මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ලබා ඇත්තාහුයයි යන මේ කාරණය මට දැන්වූහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලදුව මා විසින් මේ කාරණය ප්‍රකාශ කරනලදී.”

§ 21 . එවිට දීඝ ප්‍රජාන නම් යක්ෂ සේනාපතියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ, එකපැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යන කුල පුත්‍රයෝ තිදෙනාත් මේ වැදෑ රට වාසය කිරීම , මේ වැදෑරට වැසියන් වන , වජ්ජි ජනයාට ලාභයකි, මහත්ලාභයකි”යි (කීයේය)

දීඝ පරජන නම් වූ යක්ෂ සේනාපතියාගේ මේ ශබ්දය අසා බූමාටු දෙවියෝද ‘තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යන කුල පුත්‍රයෝ තිදෙනාත් මේ වැදෑ රට වාසය කිරීම , මේ වැදෑරට වැසියන් වන , වජ්ජි ජනයාට ලාභයකි,. මහත් ලාභයකි,’යි ශබ්ද නැගූහ.
බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ ද “තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ……. , වජ්ජි ජනයාට ලාභයකි,”යි ශබ්ද නැගූහ.
චාතුර්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ ද ….”යි, ශබ්ද නැගූහ.
තව්තිසා වැසි දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ ද , “….”යි ශබ්ද නැගූහ.
යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ ද ….”යි, ශබ්ද නැගූහ.
තුසිත දෙවියන්ගේ ශබ්දය අසා නිර්මානරතී දෙවියෝ ද “….., ශබ්ද නැගූහ.
නිර්මානරතී දෙවියන්ගේ ශබ්දය අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ ද …., ශබ්ද නැගූහ.
පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රහ්ම කායික දෙවියෝ ද …, ශබ්ද නැගූහ. මෙසේ ඒ ආයුෂ්මත් වරු තිදෙන එකෙණෙහි, ඒ මහා දේව ඝෝෂාව මොහොතෙහි බ්‍රහ්මලොකය දක්වා ප්‍රසිද්ධවූහ.

english-version-icon

“දීඝය, ඒ එසේමය, ඒ එසේමය. දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුලයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුලය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ කුලයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුල පරම්පරාවකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුල පරම්පරාව පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ කුල පරම්පරාවටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ ගම පවා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් නියම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නියම් ගම පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නියම් ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් නගරයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නගරය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහිකරත් නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා, යම් ජනපදයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූවාහුද, ඒ ජනපදය පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු ක්ෂත්‍රියයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ සියලු ක්ෂත්‍රියයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු බ්‍රාහ්මණයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ බ්‍රාහ්මණයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු වෛශ්‍යයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ වෛශ්‍යයන්ට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, සියලු ශුද්‍රයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ ශුද්‍රයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
“දීඝය, දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවවූ සියලු ලෝවැසියා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, දෙවිමිනිසුන් සහිත සියලු සත්වයන්ට හිත පිණිස, සැප පිණිස වන්නේය. දීඝය, යම්තාක් මේ කුල පුත්‍රයෝ තිදෙන බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස පිළිපන්නාහුද, ඒ මේ යහපත් ආකාරය බලව”යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ දීඝපරජන යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය

පළමුවෙනිවූ චූලගොසිංග සූත්‍රය නිමි (4-1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.