SN-01-11-2. සත්තවත වර්‍ගය

ආපසු යන්නනම්
සක්ක සංයුත්තය පළමු කොටස
SN-01-11-1  සුවීර වග්ගය

1. දේවා (නොහොත් වතපද) සූත්‍රය
2. දේවා සූත්‍රය
3. දේවා සූත්‍රය
4. දළිද්ද සූත්‍රය
5. රාමණෙය්‍යක සූත්‍රය
6. යජමාන සූත්‍රය
7. වන්‍දනා සූත්‍රය
8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය
9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය
10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය
දෙවෙනි වර්‍ගයයි.

SN-01-11-2-01. දේවා (නොහොත් වතපද) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

§ 2. එකල්හි  භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක.
’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
’’මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයා පෙර මනුෂ්‍යයව සිටිකල වත් 
සතක් සමාදන්වන ලද්දේය.
මේ වත්   සත සමාදන්වීම නිසා ඔහු  ශක්‍ර පදවියට පැමිණියේය.
’’කවර වත් සතක්ද? යත්:

  1. දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙම්වා.

  2. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා,

  3. දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වන්නෙම්වා,

  4. දිවි ඇතිතෙක් කේළාම් නොකියනෙම්වා,

  5. දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දෙනු පිණිස හැම කල සේදූ අත් ඇත්තේ, දීමෙහි නිතර ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, දන් බෙදාදීමෙහි ඇලුනේ වන්නෙම්වා,

  6. දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙම් වෙම්වා.

  7. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තෙම් වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.)

’’මහණෙනි, පෙර මිනිස් බවෙහිවූ සක්දෙවිඳු විසින් මේ වත් සත සමාදන්වූයේ විය. මේ වත් සත සමාදන්ටූ බැවින් ශක්‍ර තෙම ශක්‍රත්වයට පැමිණියේය.

§ 3. ’’මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ තෙපුල් ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.’’

SN-01-11-02-02. දේවා සූත්‍රය (සක්ඛ නාම සුත්‍රය)

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. දිනෙක භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූසේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර යන් පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ’මඝවා’ යයි කියනු ලැබේ.
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල අන්‍යයන්ට පෙර, පළමුවෙන්ම  දන් දුන්නේය. එහෙයින් ’පුරින්‍දද’ යයි කියනු ලැබේ. 
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින් ’ශක්‍ර’ යයි කියනු ලැබේ.
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ’වාසව’ යයි කියනු ලැබේ. 
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ’සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇත්තා) යයි කියනු ලැබේ. 
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ’සුජා’ නම් අසුර කන්‍යාව ප්‍රජාපතී වූවාය. එහෙයින් (ඔහුට) ’සුජම්පතී’ යයි කියනු ලැබේ. 
  • ’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ගේ ඓශ්චර්‍ය්‍යාධිපති භාවයෙන් රාජ්‍යය කරවීය. එහෙයින් ’දේවා නම්න්‍ද’ යයි කියනු ලැබේ. 

SN-01-11-2-03. දේවා සූත්‍රය

Sakka

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වසනසේක.

§ 2. එකල්හි දිනෙක  මහාලි ලිච්ඡවි රජ  භාග්‍යවතුන් වහන්සේ දැක්මට වුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ  මේ ප්‍රශ්නය ඇසීය.
’’ස්වාමීනි, ඔබ වහන්සේ විසින් ශක්‍රදේවේන්‍ද්‍රයන් දැක ඇත්දැයි
?’’ යි ඇසීය.

§ 3. ’’මහාලි, මා විසින් ශක්‍රදේවේන්‍ද්‍රයන්   දක්නා ලද්දේය’’.
’’ස්වාමීනි, හෙතෙම  ඒකාන්තයෙන් ශක්‍රයා මෙන් පෙනී සිටියෙක් විය යුතුයි.
මා අසා ඇති අයුරු ස්වාමීනි, ශක්‍රදේවේන්‍ද්‍ර යන් දැකීම 
පහසු කාර්යයක් නොවේ.

§ 4. ’’මහාලි, මම ශක්‍රයාද ශක්‍රකරණ (ශක්‍රබව ලබා දෙන) ධර්‍මයන්ද දනිමි.
යම් ධර්‍මයක් සමාදන්වූ බැවින් ශක්‍ර යන් , ශක්‍ර බවට පැමිණියේ නම් ඒ ධර්‍මයන්ද දනිමි.

’’මහාලි, ශක්‍රදේවේන්‍ද්‍රයන්  පෙර මිනිස් බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ඔහු ’මඝවා’ යි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුනි. එහෙයින් ’පුරින්‍දද’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින් ’ශක්‍ර’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍යන්  තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ’වාසව’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ’සහස්සක්ඛ’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ’සුජා’ නම් අසුර කන්‍යාවක් ප්‍රජාපතී වූවාය. එහෙයින් ’සුජම්පතී’ යයි කියනු ලැබේ. මහාලි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඓශ්චර්‍ය්‍යාධිපති භාවයෙන් රජය කරවීය. එහෙයින් ’දේවා නම්න්‍ද’ යයි කියනු ලැබේ.

§ 5. ’’මහාලිය, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ශක්‍ර තෙම ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රබවට පැමිණියේය.
’’ඒ වත්සත කවරහුද? ’
දිවි ඇති තෙක් මව්පියන් පෝෂණය කෙරෙම්වා: දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා: දිවි ඇතිතෙක් ප්‍රිය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇත්තේ, සිතින් දෙන්නේ දීම පිණිස යෙදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, දන් ඉල්ලීමට යෝග්‍යවූයේ, වස්තුව බෙදාදීමෙහි ඇලුනේව වසන්නෙම්වා: දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තේ වෙම්වා: දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යනුයි).

§ 6. ’’’මහාලිය, සක් දෙවිඳු පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහුය. මේ වත්සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.
’’මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු තෙපුල් කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරුකිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ කියත්.’’

SN-01-11-02-04. දළිද්ද සූත්‍රය

§ 1. ’මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක.

§ 2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක.
’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

§ 3. ’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි.
මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.
’’ඔහු  තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව පිහිටියේය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.
’’ඔහු  තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, ජීවත්ව සිට මියගොස් මැරී ගොස්ශ, ශරීරය බිඳී ගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට, යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට, උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

§ 4.  ’’ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ (ඒ දෙවියා) ලාමක වශයෙන් සිතත්:, (ඒ බව) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ’පින්වත්නි, (මේ සිදුවීම) ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍රයා  පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. ඔහු මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. ඔහු   වර්‍ණයෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි. (කියායි.)

§ 5. ’’ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රයන  තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය.
’’පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්‍ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණි පසු අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.’’ (කියායි.)
’’ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනු වස්, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

’’යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්‍ධාව ස්ථිරවේද,
නිශ්චලව හොඳින් පිහිටියේ වේද,
යමකුගේ යහපත්වූ ශීලයන් ආර්‍ය්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ
ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,
’’යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද,
යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද,
ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති.
ඔහුගේ ජීවිතය හිස් නොවේ.

’’එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්‍ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.’’

SN-01-11-2-05. රාමණෙය්‍යක සූත්‍රය

§  1. ’’මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

§ 2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක  හිඳ  ’’ස්වාමීනි, භූමිය පිළිබඳ රමණීය භාවය නම් කිමෙක්දැ’’ යි ඇසීය.

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )
’’ආරාම චෛත්‍යයෝද, වන චෛත්‍යයෝද, සුන්දරව තනා නිම කරනලද පොකුණුද, මනුෂ්‍ය රමණීයත්වයෙන් සොළොස් කලාවෙන් කලාවකුත් අගනාහු නොවෙති.

’’ගමෙහි වේවා, ඉදින් වනයෙහි හෝ වේවා, පහත් භූමියෙහි හෝ වේවා, ඉදින් ගොඩබිම හෝ වේවා, යම් තැනෙක්හි රහත්හු වෙසෙත්ද, භූමියෙහි රමණීයභාවය එයයි කියත්.’’

SN-01-11-2-06. යජමාන සූත්‍රය

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක. 

§2.  එවන් රාත්‍රීයෙක   ශක්‍රදේවේන්‍ද්‍රයන්  භාග්‍යවතුන් වහන්සේ වෙත . පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිට භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

’’පින් ලබාගන්නට කැමතිව යාග කරන්නාවු,
මතු භවයන්හි යහපත් විපාක ගෙනදෙන පින් කරන්නාවූ,
මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන ලද දෙයක්  මහත්ඵල වේද?’’

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: )

’’සිව්මගට පිළිපන්නෝද,
(සෝවාන් ආදී) සිව් පෙලෙහි සිටියෝද,
යන මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝයා  ඎජුය,
ප්‍රඥාශීල සමාධීන් යුක්තය.

’’පුණ්‍යාර්ත්‍ථිව යාග කරන්නාවූ,
මතු භවයෙහි විපාක ගෙන දෙන්නාවූ,
පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රජාව විසින්
සඞ්ඝයාහට දෙනලද්ද මහත් යහපත්  විපාක ඇත්තේයි.’’

SN-01-11-2-07. වන්‍දනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක.
ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙන වෙන දොරබාව ( උළුවහු කණු ) ඇසුරුකොට සිටියහ.
ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

’’දිනනලද (මාර) යුද්ධ ඇත්තාවූ, බහා තබන ලද බර ඇත්තාවූ, ණයගැති නොවූ මහා වීරයන් වහන්ස, නැගිටින්න. ලෝකයෙහි දහම් අමා දිය වස්වමින් ඇවිදින්න, නුඹවහන්සේගේ සිකද, පසළොස්වක් පොහෝ රාත්‍රියෙහි සඳ මෙන් මිදුනේය.’’

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: )
’’දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ ඔය ලෙසින් නොවේ.
දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ මේ ලෙසය:
’ දිනනලද (මාර) යුද්ධ ඇති, බහා තබන ලද බර ඇත්තාවූ, ණයෙන් මිදුනාවූ පින්වතුන් වහන්ස, නැගී සිටිනු වැනවි. ලෙව්හි ( දහම් දෙසා නිවන් අමා වස්වමින් ) ඇවිද්ද මැනවි. පින්වතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ඒ අවබෝධකරන සත්ත්‍වයෝ ඇතිවන්නාහ.’ ’’

SN-01-11-2-08. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට කථා කෙළේය. ’යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදව. උයන් සිරි දකිනු පිණිස උද්‍යාන භූමියට යමු.’’
’’ මහණෙනි, මාතලී රථාචාර්‍ය්‍ය තෙම ’ එසේ යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ’නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. ගමනට සුදුසු කල් දනුව’ යි සැලකෙළේය.
’’ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම වෛජයන්ත ප්‍රාසාදයෙන් බස්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන් වැන්දේය.
’’ මහනෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම (ඒ දැක) ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.
’’වේදත්‍රය හදාරන්නාවූ සියලු පොළෝතලවාසීහුද, ක්‍ෂත්‍රියයෝද, සතරවරම් මහරජහුද, පිරිවර (සෙසු) දෙවියෝද, ඔබට වඳිති. සක්දෙවිඳුනි, පිරිවර සහිතවූ යමෙකුට ඔබවහන්සේ වඳනෙහිද, ඒ තෙමේ කිනම් (යකෙක්ද?)
’’වෙදත්‍රය පාරප්‍රාප්තවූ පෘථිවිතලවාසීවූ සියල්ලෝද, ක්‍ෂත්‍රියයෝද, සිවුවරම් මහරජදරුවෝද, පරිවාර සම්පන්නවූ සෙසු දෙවියෝද මට වඳිත්.
’’එසේ වැඳුම් ලබන මමද
ශීලයෙන් සමෘද්‍ධවූ,
බොහෝ කලක් මුළුල්ලෙහි එකඟකළ සිත් ඇති,
(දිවිහිමියෙන්) බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි යෙදී වසන්නාවූ පැවිද්දන් සකසා වඳිමි.
’’පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.’’

’’(මාතලී මෙසේ කීය:) සක්දෙවිඳුනි, යමකුන්ට නුඹවහනුසේ වඳිනෙහිද (ඔහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසව නම්වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳිනෙහිද මමත් ඔවුන් වඳිමි’ යි.
’’මෙසේ කියා මඝ යන නම් ඇත්තාවූ, දෙව් ලොව දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුහිතෘවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම (සතර දිසාවන් හා සතර අනු දිසාවන්) වැඳ දෙවියන් අභිමුඛයෙහි දිව්‍ය රථයට නැංගේය.’’

nimi_jataka4-c265a
SN-01-11-2-09. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූ සේක, ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට (මෙසේ) කීය: ’යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදවා උයන් සිරි දකිනු පිණිස උයනට යමු.’’
’’ මාතලී රථාචාර්‍ය්‍යයා ’යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ’නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව’ යි සැලකෙළේය.
’’ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භාග්‍යවතුන් නැමඳීය. මහණෙනි, මාතලී රථාචාර්‍ය්‍යතෙම එවිට ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.
’’වාසව නම්වූ සක්දෙවිඳුනි, දෙවියෝද මිනිස්සුද යම් හේතුවකින් ඔබට වඳනාහුද, සක්දෙව් රජාණනි, යම් කෙනෙකුන්ට ඔබ වඳනෙහිද ඒ සත්ත්‍වතෙම කවරෙක් නම් වෙයිද?
’’ශක්‍රතෙම මෙසේ කීය. මාතලිය, දෙවියන් සහිතවූ මේ ලෝකයෙහි යම් සම්‍යක් සම්බුදු කෙනෙක් වෙත්ද, අතිශ්‍රේෂ්ඨවූ ඒ ශාස්තෲන් වහන්සේ මම වඳිමි.
’’යම් කෙනෙකුන්ගේ රාගයත් ද්වේෂයත් මෝහයත් දුරුවූයේද, ක්‍ෂයකරණ ලද ආශ්‍රවයන් ඇත්තාහුද, පිදීමට සුදුසු වෙත්ද, මාතලිය, මම ඒ (රහතුන්) වඳිමි.
’’ මාතලිය, යම් කෙනෙක් රාගෙවෂයන් දුරු කිරීමෙන්, අවිද්‍යාව ඉක්මවීමෙන් නිවන්මගට පිළිපන්නාහු සසර නැසීමෙහි ඇලුනාහු, අප්‍රමාදවූවාහු පිළිවෙලින් හික්මෙත්ද, ඔවුන් වඳිමි.
’’(මාතලී මෙසේ කීය.) සක්දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳින්නෙහිද, (ඔවුහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසවයෙනි, (නුඹවහන්සේ) යම් කෙනෙකුන්ට වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.’’
’’ මේ වචනය කියා මඝ යන නම් ඇති, දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.’’

SN-01-11-2-10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි  භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන් ඇමතූ සේක, ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:

’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාර්‍ය්‍යයාට (මෙසේ) කීය: ’යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.’’
’’මහණෙනි, ඉක්බිති මාතලී රථාචාර්‍ය්‍ය තෙම ’යහපති ස්වාමීනි’ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ’නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව’ යි කීවේය.

’’මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාර්‍ය්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

’’කුණුවූ  සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ  ඔබවහන්සේට වඳින්නොය. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.
’’වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ඔබ 
ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.’

’’මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?)
ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.
’(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්.
යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.

’’ ’උන්වහන්සේලා යහපත්  කථා ඇතියහ, ධෛර්‍ය්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.)
’’ ’විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්‍ධයහ.
ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ.
ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.)
මාතලිය, එහෙයින් 
මම උන්වහන්සේලා  වඳිමි.’

(මාතලී මෙසේ කීය: )
’’සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද,
ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති.
වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.’
’’මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.’’

දෙවෙනි වර්‍ගයයි.

SN-01-11-3 . තුන්වන වර්‍ගය- සක්ක පඤ්චකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.