SN-01-10. යක්ඛ සංයුත්තය

 

1. ඉන්‍දක සූත්‍රය
2. සක්ක සූත්‍රය
3. සුචිලෝම සූත්‍රය
4. මණිභද්ද සූත්‍රය
5. සානු සූත්‍රය
6. පියඞ්කර සූත්‍රය
7. පුනබ්බසු සූත්‍රය
8. සුදත්තසුත්තං
9. ( පළමුවන ) සුක්කා සූත්‍රය
10. (දෙවෙනි) සුක්කා සූත්‍රය
11. වීරා (චීරා) සූත්‍රය
12. ආළවක සූත්‍රය
යක්ඛ සංයුත්තය නිමියේය.
10. යක්ඛ සංයුත්තය

thebba

1. ඉන්‍දක සූත්‍රය

235
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක නම් යක්‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ඉන්‍දක යක්‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය.
’’සම්බුදුවරයෝ රූපය ජීවය නොවේයයි කියති. ඉදික් මේ ( සත්ත්‍වවකෙම ) මේ සිරුර කෙසේ නම් විඳීද? මේ සත්ත්‍වයාගේ ඇට හා මස්පිඬු කොයි සිට ඒද? මේ ( සත්ත්‍වතෙම ) කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ’’පළමුව ප්‍රතිසන්‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අර්බුදය වේ, ඒ අර්බුදයෙන් පේශිය හට ගනී, ඒ පේශියෙන් ඝන නම් මස්පිඩක් හටගණී. ඒ ඝන නම්වූ මස්පිඩෙන් පිළික පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොම්ද. නියද හටගණී.
’’ඔහුගේ මව යම් ආහාරයකුත් යම් පානයකුත් යම් බොජුනකුත් වළඳාද, මව් කුසට පැමිණි ඒ සත්ත්‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මව් කුසෙහි යැපෙයි.’’

2. සක්ක සූත්‍රය

236
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. ඉක්බිති සක්ක නම් යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’පැහැ දැමූ සියලු කෙලෙස් ගැට ඇති, සසරින් විශේෂයෙන් මිදුනාවූ, ශාන්තවූ ඔබට අනුන්ට අනුශාසනා කිරීම නොහොබී.’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ’’සක්කය, යම් කිසි කරුණක් නිසා එක්ව විසීම ඇතිවේද, ප්‍රඥා සහිතවූ ( සම්බුද්‍ධ තෙම ) එයට සිතින් අනුකම්පා කරන්නට නොවටී.
’’එහෙත් ප්‍රසන්න සිතින් යුතුව අනුන්ට යම් අනුශාසනා කිරීමක් වේද, ඒ කාරණයෙන් ( බැඳීමක් ඇති නොවේ.) එබඳු අනුශාසනය අනුකම්පාවයි. කරුණාවයි.’’

3. සුචිලෝම සූත්‍රය

237
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි ටඞ්කිතමඤ්චකයෙහි වැඩවසන සේක. එකල වනාහි ඛර යක්‍ෂයාද, සුචිලෝම යක්‍ෂයාද භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට නුදුරෙහි ගමන් කෙරත්.
ඉක්බිති ඛර යක්‍ෂතෙම සුචිලෝම යක්‍ෂයාට මෙය කීය: ’’ මේ තෙම ශ්‍රමණයෙකි.’’
’’මේ තෙම ශ්‍රමණයෙක් නොවේ. භයින් පලායන ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි. මේ තෙම ශ්‍රමණයෙක්ද, ශ්‍රමණ ප්‍රතිරූපකයෙක්දැයි සොයා බලන්නෙමි.’’
ඉක්බිති සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට කය එළවිය, ( ඒ දෙසට කය නැමීය.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වකීය සිරුර ඉවත් කළ සේක.
සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ’’ශ්‍රමණය, මට බිය වෙහිදැ’’ යි ඇසීය.
’’ඇවැත්නි, මම තට බිය නම් නොවෙමි. එසේ වුව තාගේ ස්පර්‍ශය නපුරැ’’ යි ( වදාළ සේක. )
’’මහණ, තාගෙන් ප්‍රශ්නයක් අසන්නෙමි. ඉදින් මහණ, මට ඒ නොවිසඳන්නෙහි නම්, තාගේ සිත හෝ කලබල කරන්නෙමි. තාගේ හෘදය හෝ පළා දමන්නෙමි. තා පාදයෙන් හෝ ගෙන ගඟින් එතෙර දමන්නෙමි’’යි ( කීය.)
’’ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත, දෙවිමිනිසුන් සහිත, ලෝකයෙහි යමෙක් මාගේ සිත හෝ කලබල කරන්නේද, හෘදය හෝ පළන්නේද, පාදයෙන් හෝ ගෙන ගඟෙන් එතර හෝ දමන්නේද එවැන්නකු මම නොදකිමි. එසේද වුව ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි නම් එය අසව.’’
ඉක්බිති සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’රාගයත් ද්වේෂයත් කුමක් මුල් ( හේතු ) කොට ඇත්තෝද? නොකැමැත්ත හා ඇල්මද, තැතිගැන්මද කිමෙකින් උපන්නෝද? දරුවෝ කවුඩකු අල්වා යම්සේ දමත්ද, ( එසේම ) කාම විතර්කයෝ කොතැනින් ඉපිද ( කුසල් ) සිත ඒ මේ අත එළවත්ද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ’’රාගයද, ද්වේෂයද, මේ ( ආත්මභාවය ) මුල් (හේතු ) කොට ඇත්තෝ වෙත්. නොකැමැත්තද, ඇල්මද, තැති ගැන්මද, මෙයින් ( මේ ආත්මභාවයෙන්ම ) උපන්නෝය. යම්සේ දරුවෝ ( තමන් බැඳගත් ) කවුඩා ඒ මේ අත ගසා දමත්ද, එමෙන්ම ( කාමාදී ) පාපවිතර්කයෝ මෙයින් ( මේ ආත්මභාවයෙන් ) ඉපිද ( කුසල් සිත ) ඒ මේ අත ගසා දමත්.
’’ආත්මභාවයෙන් හටගත් ( විතර්‍කයෝ ) තණ්හාව නිසා උපන්නෝය. නුගරුක් කඳින් උපන් නුග අරළු මෙනි. අනේකප්‍රකාර පවිටු විතර්‍කයෝ කාමවස්තූන්හි ඇලී සිටිත්. වනයෙහි මාලුවා වැලක් ගැවසී ගත්තාක් මෙනි.
’’යක්‍ෂය, මේ අසව, යම් කෙනෙක් ඒ විතර්‍කයන්ගේ නිදානය කොතැන්හිදැයි දනිත්ද, ඔවුහු ඒ වනසත්. ඔහු ඉතා දුෂ්කරවූ, තරණය නොකළ ( කාමාදී ) සිවු සැඩ පහර නැවත නොඉපදීම පිණිස තරණය කරත්.’’

4. මණිභද්ද සූත්‍රය

238
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මණිමාලක චෛත්‍යයෙහි මණිභද්ද නම් යකුගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති මණිභද්ද යක්තෙම භාග්‍යවතුන් වහන්සේයම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භගවත්හු හමුයෙහි මේ ගාථාව කීය:
’’සිහි ඇත්තාට හැම කල්හි යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැමසඳ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි, ( හෙතෙම ) වෛරයෙන් මිදේ.’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ’’සිහි ඇත්තාට හැම සඳ යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැම සඳ ශ්‍රේෂඨත්‍වය ලැබෙයි. ( එහෙත් හෙතෙම ) වෛරයෙන් නොමිදේ. ’’යක්‍ෂය, යමෙකුගේ සිත මුළු රෑ දාවල් දෙක්හිම අහිංසායෙහි ඇලුනේද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය ( වඩා )ද ඔහට කිසි කෙනෙකු හා වෛරයක් නැත්තේය.’’

Devil-2

5. සානු සූත්‍රය

239
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා උපාසිකාවකගේ සානු නම් පුතෙක් යක්‍ෂයකු විසින් ගන්නා ලද්දේය.
ඉක්බිති ඒ උපාසිකාව හඬන්නී ඒ වේලායෙහි මේ ගාථාවන් කීවාය:
’’තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහිද, යම් කෙනෙක් පොහොදා රැක්ක යුතු සිල් රකීද බඹසර රකිත්ද,
’’ඔවුන් හා ( ඔවුන් අල්ලාගෙන ) යක්‍ෂයෝ ක්‍රීඩා නොකරති යන රහතුන්ගේ බස් මා විසින් අසන ලද්දේය. ( නමුත් ) මම දැන් ඒ වග දකිමි. සානු සමග යක්‍ෂයෝ කෙළිත්.’’
’’තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ ( අට )වක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහිද, යම් කෙනෙක් පොහොදා රැක්ක යුතු සිල් රකිත්ද බඹසර රකිත්ද,
’’ඔවුන් හා යක්‍ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ බස් මනා කොට තා විසින් අසන ලද්දේය. සානු පිබිදී කල ( මෙසේ ) කියව: මේ යකුන්ගේ වචනයයි:- ’ ලාමක පව්කම් කිසිවකු හමුයෙහි හෝ රහසින් හෝ නොකරව. ඉදින් යම් පාප කර්‍මයක් ( මතුවට ) කරන්නෙහි ද, ( දැන් ) කෙරෙහි ද, තා අහසට පැනනැගී පලාගියත් තට ( දුකින් ) මිදීමෙක් නම් නැති.’’
( සානු මෙසේ කීය: ) ’’මෑණියෙනි, ( මිනිස්සු ) මළ එකකු නිසාම හෝ ජීවත්ව සිටියද දක්නට නැති එකකු නිසා හෝ හඬති. මෑණියනි, ජීවත්වන මා බලන්නී අම්මේ, මා ගැන කුමක් හෙයින් හඬනෙහි ද?’’
( උපාසිකාව: ) ’’පුතේ මිනිස්සු මළ එකකු නිසා හෝ ජීවත්ව සිටියත් දක්නට නැති එකකු නිසා හෝ හඬති. යමෙක් නොයෙක් කාමයන් හැර ( පැවිදිව ) නැවත මෙහි ( මේ ගිහිබවට ) පැමිණෙ ද, ජීවත්වන්නාවූ හෙතෙම මළ එකෙක් ම වේ. පුතේ, එබන්දකු ගැනද ( මිනිස්සු ) හඬති.
’’පුත, හුණු අළුයෙන් ගොඩට නගනලද තෝ හුණු අළුයෙහි නැවත වැටෙන්නට කැමැත්තෙහිද? පුත, නරකයෙන් ගොඩට නගන ලද්දාවූ තෝ ඒ නිරයෙහි නැවත හෙන්නට කැමැත්තෙහි ද?
’’වහා දුවයව. තට යහපතක් වේවා’. අපි කවරෙකුට කෑගසා කියමු ද? ගිනිගත් ගෙයින් බැහැර කළ බඩු නැවත දවනු කැමැත්තෙහි ද?’’

6. පියඞ්කර සූත්‍රය

240
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙම සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් අනුරුද්‍ධ තෙම අලුයම නැගිට ධර්‍මපද කියයි.
ඉක්බිති පියඞ්කරමාතා නම් යකින්න තම පුතු මෙසේ නැලවූවා:
’’පියඞ්කරය, ශබ්ද නොකර. භික්‍ෂුතෙම ධර්‍මපදයන් කියයි. ඉදින් ධර්‍මපදයක් දැනගෙන පිළිපදිමු නම් එය අපට හිත පිණිස වන්නේය.’’
’’ප්‍රාණීන්ට හිංසා නොකරමු. දැන දැන මුසාබස් නොකියමු. තමාතේ සුන්‍දර ශීලයෙහි හික්මෙමු. පිශාච ( යක්‍ෂ ) යෝනියෙන් මිදෙන්නෙමු නම් යෙහෙක.’’

 

7. පුනබ්බසු සූත්‍රය

241
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල භාග්‍යවතුන් වහන්සේ නිර්‍වාණ සම්බන්‍ධ වූ ධර්‍ම කථායෙන් භික්‍ෂූක්ට අවවාද කරන සේක. බාරගන්වන සේක. උනන්දු කරවන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්ත්‍ථවත්කොට මෙනෙහිකොට සියල්ල සිතට ඇතුළුකොට, කන් යොමු කොට, බහනලද කන් ඇත්තෝව ධර්‍මය අසත්.
ඉක්බිති පුනබ්බසුමාතා යකින්න පුතු මෙසේ නලවයි:
’’මම බුද්‍ධශ්‍රෙෂ්ඨයන්ගේ ධර්‍මය යම්තාක් අසන්නෙම්ද ඒතාක් උත්තරිකාවෙනි, නිශ්ශබ්ද වෙව. පුනබ්බසුව, නිශ්ශබ්ද වෙව.
’’භාග්‍යවතුන් වහන්සේ සියලු ගැට මුදන්නාවූ නිර්‍වාණය වදාරණසේක. මේ ධර්‍මයෙහි මාගේ පැහැදීම අධික වෙයි.
’’ ලොවෙහි ස්වකීය පුත්‍රතෙම ප්‍රිය වෙයි. ලොව ස්වකීය ස්වාමිතෙම ප්‍රිය වෙයි. ඒ ප්‍රිය බවටත් වඩා මේ ධර්‍මය සෙවීම මට ප්‍රියයි.
’’ සද්‍ධර්‍ම ශ්‍රවණය සත්ත්‍වයා සසර දුකින් යම් සේ මුදාද ප්‍රිය පුත්‍රතෙම හෝ ප්‍රියවූ ස්වාමිතෙම හෝ සසර දුකින් ( එසේ ) නොමුදාමැයි.
’’දුකින් පීඩිතවූ, ජරාමරණයෙන් යුක්තවූ මෙලොව ජරාමරණයෙන් මිදීම ( නිර්‍වාණය ) පිණිස යම් ධර්‍මයක් අවබෝධ කළ සේක් ද, ඒ ධර්‍මය අසනු කැමැත්තෙමි. පුනබ්බසුව, නිශ්ශබ්ද වෙව.’’
( පුනබ්බසු මෙසේ කීය: ) ’’ මෑණියෙනි, මම කථා නොකරන්නෙමි. මේ උත්තරාව ද නිශ්ශබ්දව හුන්නීය. ( එහෙයින් ) සද්‍ධර්‍මයම අසනු මැනවි. ධර්‍මය ඇසීම සැපයි.
’’ මෑණියෙනි, ( අපි පෙර ) මේ සද්‍ධර්‍මය නොදැන දුක් විඳිමින් හැසිරෙමු. ලොවට ආලෝකයක් බඳුවූ පසැස් ඇත්තාවූ, අන්තිම භවයෙහි වූ මේ සර්‍වඥයන් වහන්සේ අතිශයින් මුළාවූ දෙවි මිනිසුන්ට දහම් දෙසන සේක.’’
( පුනබ්බසු මාතා මෙසේ කීය: ) ’’ යහපත, මාගේ ළයෙහි සැතපෙන්නාවූ, මා කෙරෙන් උපන් මේ පුත්‍රයා වනාහි නුවණැත්තෙකි. මගේ පුතා බුද්‍ධශ්‍රෙෂ්ඨයාණන් වහන්සේගේ පිරිසිදු ධර්‍මය ප්‍රිය කෙරෙයි.
’’ පුනබ්බසුව, තෝ සැප ඇත්තෙක් වෙහි. මම අද ( දැන් ) ( සසරින් ) ගොඩනැගුනා වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. ( මාගේ දූ ) උත්තරාවන් ( අප චතුස්සත්‍ය ප්‍රතිවේධ කළ බව ) අසාවා.’’

Devil-5

8. සුදත්තසුත්තං

242
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සීතවනයෙහි වසන සේක.
එකල වනාහි අනේපිඬු ගෘහපතියා කිසියම් කටයුත්තෙක් නිසා රජගහනුවරට පැමිණියේය.
’’බුදුරජානන් වහන්සේ ලොව පහළවූ සේක්ලු’’ යි අනේපිඬු ගෘහපති තෙම ඇසීය. එපමණෙකින්ම භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස හෙතෙම පැමිණෙනු කැමැත්තේවිය.
ඉක්බිති ඒ අනේපිඬු ගෘහපති තෙම ’’භාග්‍යවතුන් වහන්සේ දකිණු පිණිස පැමිණෙන්නට අද කල් නොවෙයි.’’ යන මේ අදහස විය. ’’හෙට ( කලින්ම ) උදෑසන භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නෙමි’’ යි බුදුන් අනුව ගිය සිහි ඇතිව නින්‍දට ගියේය. රෑ තුන්වරක්ම අලුයමයයි සිතමින් නැගිට්ටේය.
ඉක්බිති කරවනලද අනේපිඬු ගෘහපති තෙම සොහොන් දොරටුව යම් තැනකද එතැනට පැමිණියේය. අමනුෂ්‍යයෝ දොර ඇරියෝය.
ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම නුවරින් නික්මෙත්ම එලිය අතුරුදහන්විය. අඳුර පහළවිය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළවිය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.
ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන්වූයේ ශබිදයක් ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
ඉක්බිති අනේපිඬු ගෘහපතියාට අඳුර අතුරුදහන් විය. ආලෝකය පහළවිය. යම් බියෙක් තැතිගැනුමෙක් ලොමුඩැහැගැනුමෙක් වීද, එය සංසිඳිණි.
දෙවනුවද අනේපිඬු ගෘහපතියා නුවරින් නික්මෙත්ම එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බිය තැතිගැනීම් හා ලොමුඩැහැගැනීම් පහළ විය. ඔහු එපමණින්ම නැවත හැරී එන්න කැමැත්තේද විය.
ඉක්බිති සීවක නම් යක්තෙම අතුරුදහන් වූයේ ශබ්දයක් ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද, මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද ( යන මොවුහු ) (බුදුන් වැඩසිටින විහාරයට, යන තැනැත්තාගේ ) පියවරක සොළොස්වන අන්තකලාව පමණවත් නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
තුන්වෙනුවද අනේපිඬු ගෘහපතියාහට එළිය අතුරුදහන් විය, අඳුර පහළ විය. බියතැති ගැනුම් ලොමුඩැහැගැනුම් ඇතිවිය. ( ඔහු ) එතණින්ම නැවත හැරී ආපසු යනු කැමැත්තේ විය. තුන්වෙනුවත් සීවක යක්තෙම සැඟවී මේ ශබ්දය ඇස්වීය.
’’ සියක් දහසක් ඇතුන්ද, සියක් දහසක් අශ්වයෝද, සියක් දහසක් අශ්වතරියෝද, සියක් දහසක් රථද,
මැණික් කන් අබරණින් සැරසුණාවූ සියක් දහසක් කන්‍යාවෝද ( විහාරයට යන තැනැත්තාගේ) එක් පියවරක සොළොස්වන අන්තකලාව පමණකුදු නොවටිත්.
’’ ගෘහපතිය, ඉදිරියට යව, ගෘහපතිය ඉදිරියට යව, ඉදිරියට යෑම ඔබට යහපති. හැරී ආපසු යෑම අයහපති.’’
ඉක්බිති අනේපිඬු ගෘහපතිහට අඳුර අතුරුදහන් විය. එළිය පහළ විය. යම් බියෙක්, තැති ගැන්මෙක්, ලොමුඩැහැගැන්මෙක් වීද, එය සංසිඳිණි.
ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම සීතවනය වෙත පැමිණියේය.
එකළ භාග්‍යවතුන් වහන්සේ කැලයෙහි ඉතා අලුයම නැගිට එළිමහනෙහි සක්මන් කරන සේක.
භාග්‍යවතුන් වහන්සේ දුරදීම එන අනේපිඬු ගෘහපතියා දුටුසේක. දැක සක්මණින් බැස, පැනවූ අස්නෙහි හුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතිහට ’’එන්න සුදත්ත’’ යි වදාළසේක.
ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම, ’’භාග්‍යවතුන් වහන්සේ මා නම්න් අමතනසේකැ’’ යි (සතුටුව) එහිම භාග්‍යවතුන් වහන්සේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’ කිම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැපසේ සැතපුණු සේක්ද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’යමෙක් කාමයන්හි නොඇලේද, සීතීභූතද, (කෙලෙස් ගිනි නැත්තේද) උපධි නැත්තේද. පිරිනිවියාවූ ඒ (කෙලෙස්) නැත්තාවූ බ්‍රාහ්මණ තෙම හැම කල්හි ඒකාන්තයෙන් සුවසේ සයනය කෙරෙයි.
’’සියලු තන්හාවන් සිඳ, හෘදයෙහිවූ පීඩා මැඩ පවත්වා, සිතෙහි ශාන්තියට පැමිණ සංසුන්වූ තැනැත්තේ සැපසේ සයනය කෙරෙයි.

9. ( පළමුවන ) සුක්කා සූත්‍රය

243
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක.
එකල වනාහි සුක්කා භික්‍ෂුණිය මහ පිරිසක් විසින් පිරිවරණ ලද්දී ධර්‍මය දේශනා කරයි.
ඉක්බිති සුක්කා භික්‍ෂූණිය කෙරෙහි බොහෝ සේ පැහැදුණු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
’’අමෘතපදයට (නිර්‍වාණාධිගමයට) කාරණය වදාරන්නාවූ සුක්කා මෙහෙණින් කරා යම් කෙනෙක් නොඑළඹෙත්ද, රජගහනුවර වසන ඒ මේ මිනිස්සු කුමක් කරද්ද? (ඔවුහු) සුරාපානය කළවුන්සේ නිදාගනිත්.
’’ඇසීමෙන් නොපසුබස්නා තෘප්ති ඇති ස්වභාවයෙන්ම සුමධුරවූ, (එහෙයින්ම) ඕජෝගුණවත්වූ ඒ ධර්‍මය වළාකුළු අතරෙන් නිකුත් ජලය බොනමෙන් මනා නුවණැත්තෝම පානය කෙරෙති’ යි හඟිමි.’’

Devil-4

10. (දෙවෙනි) සුක්කා සූත්‍රය

244
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක.
එසමයෙහි වනාහි එක්තරා උපාසකයෙක් සුක්කා භික්‍ෂුණියට ආහාරයක් දුන්නේය.
ඉක්බිති සුක්කා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ, ඒ වේලායෙහි මේ ගාථාව කීය:
’’සියලු බන්‍ධනවලින් හාත්පසින් මිදුනාවූ සුක්කා මෙහෙණින් වහන්සේට යමෙක් ආහාර දුන්නේද, පණ්ඩිතවූ ඒ මේ උපාසකතෙම බොහෝ වූම පිණක් රැස් කෙළේය.

11. වීරා (චීරා) සූත්‍රය

245
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වැඩ වසන සේක.
එසමයෙහි එක්තරා උපාසකයෙක් චීරා භික්‍ෂුණියට සිවුරක් දුන්නේය.
ඉක්බිති චීරා භික්‍ෂුණිය කෙරෙහි බොහෝ සේ පැහැදුනු යක්‍ෂයෙක් රජගහ නුවර වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මේ ගාථාව කීය:
’’සියලු (බන්‍ධන) වලින් මනාව මිදුනාවූ චීරා මෙහෙණින්නට යමෙක් සිවුරක් දිනීද, ඒ මේ උපාසකතෙම ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් බොහෝ වූ පිණක් රැස් කෙළේය.

12. ආළවක සූත්‍රය

246
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අළව්යකුගේ භවනයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ’’මහණ, නික්මෙව’’ යි කීය. ’’මැනවි, ඇවැත්නි’’ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ’’මහණ. ඇතුල්වෙව’’ (යි ආළවකයා කීය.) ’’ඇවැත්නි මැනවැ’’ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.
දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ’’මහණ, නික්මෙව’’ යි කීය. ’’ ඇවැත්නි මැනවැ’’ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ’’මහණ. ඇතුල්වෙව’’ යි (ආළවකයා කීය.) ’’ඇවැත්නි මැනවැ’’ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.
තුන්වෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ’’මහණ, නික්මෙව’’ යි කීය. ’’ ඇවැත්නි මැනවැ’’ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ’’මහණ. ඇතුල්වෙව’’ යි (ආළවකයා කීය.) ’’ඇවැත්නි මැනවැ’’ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.
සතරවෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ’’මහණ, නික්මෙව’’ යි කීය.
’’ඇවැත්නි, මම නොනික්මෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව’’ (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)
’’මහණ, තා අතින් ප්‍රශ්නයක් අසමි. ඉදින් එය මට නොවිසඳියේ නම් තාගේ සිත හෝ කළඹන්නෙමි. තාගේ හෘදය හෝ පළන්නෙමි. පාදයෙන් අල්ලා ගඟින් එතර හෝ දමන්නෙමි’’ (යි ආළවකයා කීය.).
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. )
’’ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, බමුණන් සහිත ලොව දේව මනුෂ්‍ය ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත කළඹන්නේ හෝ හෘදය පළන්නේ හෝ පාදයෙන් ගෙන මහ ගඟින් එතර දමන්නේ හෝ වේද, එබන්දකු මම නොදකිමි. එසේ වුවද, ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි, නම් එය අසව.’’
ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
’’මෙලෙව්හිවූ පුද්ගලයාට ශ්‍රෙෂ්ඨ ධනය නම් කුමක්ද? පුරුදුකළාවූ කුමක් සැප ගෙන දෙන්නේද? කෙසේ ජීවත්වන්නකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද?
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ’’මෙලෙව්හි පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නම් ශ්‍රද්‍ධාවයි. පුරුදුකළාවූ ධර්‍මය සැප ගෙන දෙයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් සුමිහිරි රසයි. ප්‍රඥාවෙන් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි ( ආර්‍ය්‍යයෝ ) කියත්.’’
(ආළවකයා මෙසේ කීය:) ’’සසර නමැති සැඩ පහර කොයි පරිද්දෙකින් තරණය කෙරේද? සසරසයුර කෙසේ තරණය කෙරේද? දුක කෙසේ ඉක්මවාද? ( සත්ත්‍වයා ) කෙසේ පිරිසිදු වේද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ’’ශ්‍රද්ධාව කරණකොටගෙන ඕඝය තරණය කරයි. අුප්‍රමාදයෙන් සසරසයුර තරණය කරයි. වීර්‍ය්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාව කරණකොටගෙණ පිරිසිදුවේ.’’
(ආළවකයා මෙසේ කීය:) ප්‍රඥාව කවරාකාරයෙකින් ලබයිද? ධනය කවර ආකාරයෙකින් ලබයිද? කීර්තියට කවර කාරණයෙකින් පැමිණේද? මිත්‍රයන් කවර කාරණයෙකින් තමා කෙරෙහි බැඳගනීද? මෙලොවින් පරලොවට පැමිණ කවර කාරණයෙකින් ශෝක නොකෙරේද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ’’නුවණැත්තාවූ, ප්‍රමාදනුවූ ජනතෙම, රහතුන්ගේ සද්‍ධර්‍මය අදහන්නේ, මනාව ඇසීම හේතුකොටගෙන නිර්‍වාණයට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.
’’සුදුසු කටයුත්තෙහි යෙදුනු, ඉසිලියයුතු බර උසුලන වීර්‍ය්‍ය සම්පන්න ජනතෙම ධනය ලබයි. සත්‍යය කරණකොටගෙණ කීර්තියට පැමිණෙයි. ත්‍යාගවත් ජනතෙම මිත්‍රයන් බැඳගනී.
’’ගිහිගෙයි වසන්නාවූ ශ්‍රද්‍ධා ඇති, යම් ගිහියකුහට සත්‍යයත්, ඉන්‍ද්‍රිය දමනයත්, වීර්‍ය්‍යයත්, ත්‍යාගයත් යන මේ ධර්‍ම සතර වෙත් නම් හෙතෙම මෙලොවින් පරලොව ගොස් ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.
’’එව,. සත්‍යයටත්, ඉන්ද්‍රිය දමනයටත්, ත්‍යාගයටත්, ඉවසීමටත් වඩා උසස් වූවක් මෙලොව ඇත්දැයි අන්‍ය බොහෝවූ මහණ බමුණන්ගෙන්ද විචාරව.’’
( ආළවකයා මෙසේ කීය:) ’’මෙලොව අභිවෘද්ධියද පරලොව සුගතියද පිණිස යමක් වේනම් ඒ කාරණය මම අද පටන් දනිමි. (එහෙයින්) දැන් ඒ මම බොහෝවූ මහණ බමුණන් කුමකට විචාරම්ද?
’’ යමෙකුහට දෙන ලද දානවස්තුව මහත් අනුසස් ඇත්තේද මම ඒ අද පටන් දනිමි. සර්‍වඥයන් වහන්සේ වාසය පිණිස මේ අළව් නුවරට වැඩවදාළේ ඒකාන්තයෙන් මගේම අභිවෘද්ධිය පිණිසය.
’’ඒ මම බුදුන්ද, ධර්‍මයාගේ සුධර්‍මත්වයද, ( බුදුන් විසින් මැනවින් වදාරණ ලද ධර්‍මයද ), වඳිමින් ගමින් ගමද නුවරින් නුවරද ඇවිදින්නෙමි.

යක්ඛ සංයුත්තය නිමියේය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.