SN-01-08- වඞ්ගීස සංයුත්තය


1. නිකඛන්ත සූත්‍රය
2. අරති සූත්‍රය
3. පේසල අතිමඤඤනා සූත්‍රය
4. ආනන්‍ද සූත්‍රය
5. සුභාසිත සූත්‍රය
6. සාරිපුත්ත සූත්‍රය
7. පවාරණ සූත්‍රය
8. පරෝසහස්ස සූත්‍රය
9. කොණ්ඩඤඤ සූත්‍රය
10. මොග්ගල්ලාන සූත්‍රය
11. ගග්ගරා සූත්‍රය
12. වංගීස සූත්‍රය

1. නිකඛන්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි නිග්‍රොධමූලයෙහි වෙසෙන ස්වකීය උපාධ්‍යාය කප්ප තෙරුන් සමග වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලුත පැවිදිවූයේ විහාරය රක්නා පිණිස නවතා යන ලද නවකයෙක් ( අලුත් පැවිද්දෙක් ) විය.
ඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසීගෙන විහාරය බලනු කැමැත්තාහු ආරාමයට පැමිණියහ.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය ( කුසල් කිරීමෙහි නොකැමැත්ත ) උපන. රාගය ඔහුගේ කුසල් සිත නැසීය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට මෙබඳු සිතෙක් විය: යම්බඳුවූ මට නොකැමැත්ත උපදීද, රාගය තෙමේ ( මාගේ ) කුසල චිත්තය නැසීද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. මට ඒකාන්තයෙන් ලාභයෙක් නම් නොවීය. මා විසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබනලද. ඒකාන්තයෙන් යහපතක්නම් නොලද්දේය. අන්‍යයෙක් මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හෙයකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව’’ ( කියායි. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවා ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:
’’ ගිහිගෙන් නික්මුනාවූ, පැවිද්දට පැමිණියාවූ මා කරා මාරයා වෙතින් නැගුණු බිය සැක නැති ඒ විතර්‍කයෝ ( කල්පනා ) ඒකාන්තයෙන් දිව එති.
’’උතුම් කුලපුත්‍රවූ, මහත් දුනුගත්තාවූ, දුනු ශිල්පයෙහි මොනවට පුහුණුවූ, උත්තම ප්‍රමාණයෙහි අතිවිශාල දුනු දරන්නාවූ, ( නිර්භීත ධනුර්ධරයන් ) දහසක් දෙන ( ඔවුන්ගේ ඊතල ) හාත්පස විසුරුවත්ද,
’’ඒ නමුත් ඊටත් වඩාවූ ස්ත්‍රීන් පැමිණියත් ඔවුහු මා නොපෙළන්නාහුය. මම ස්වකීය ධර්‍මයෙහි පිහිටියේ වෙමි.
’’සූර්‍ය්‍යබන්ධුවූ සර්‍වඥයන් වහන්සේගේ හමුයෙන්ම මේ නිර්‍වාණ ගමන් මාර්‍ගය මා විසින් අසන ලද්දෙමි. එහි මාගේ සිත ඇලුනේවේ.
’’පවිටු මාරය, ඉදින් මෙසේ වාසය කරන්නාවූ මා කරා තෝ පැමිණෙහිද? මා ගිය මගවත් යම්සේ තෝ නොදක්නෙහිද, එසේ කරන්නෙමි.’’

2. අරති සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්‍යයෙහි ස්වකීය උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධ කප්ප ස්ථවිරයන් වහන්සේ සමග වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ පසුබත්හි පිණ්ඩපාකය ඉක්මවූයේවෙහෙරට පැමිණෙයි. ( එසේ පැමිණ ) සවස හෝ පසුවදා පිණ්ඩපාත කාලයෙහි හෝ ඉන් බැහැර යෙති.
එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට ශාසනයෙහි නොඇල්මෙක් උපන්නේ වෙයි. රාගය ( කුසල් සිත ) විනාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: ’’යම්බඳුවූ මට ශාසනයෙහි නොඇල්ම උපදීද, රාගය කුසල් සිත නසයිද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. ලාභයෙක් නොවීය. මවිසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබන ලදී. යහපතක් නොලද්දේය. අන්‍යයෙක් මාගේ ශාසනයෙහි නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හේතවකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව’’ ( කියායි. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ තමාම තමාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවා ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීහ:
’’(ශාසනයෙහි ) නොඇල්මද, (කාම ගුණයන්හි ) ඇල්මද, කාමගුණ ඇසුරු කළාවූ (ළාමකවූ)
විතර්කයද, සියලු ආකාරයෙන් දුරුකොට කිසි අරමුණෙක ක්ලේශ නමැති මහා වනය නොකරන්නේ ( නොවටින්නේ ) ද, කෙලෙස් වන නැති, තණ්හා ඇල්ම නැති, හෙතෙම භික්‍ෂු නම් වේ.
’’මෙලොව පොළොවෙහි පිහිටි දේද, අහසෙහි වූ දේද, පෘථිවිය තුළ වූ දේද, යම්කිසි රූපයක් වේ නම් ඒ සියල්ලද, සම්පූර්‍ණයෙන් දිරයි, අනිත්‍යයි, දැනගන්නාලද ආත්මභාවය ඇති නුවණැත්තෝ මෙසේ අවබෝධකොට වෙසෙත්.
’’ලෞකික සත්ත්‍වයෝ උපධීන්හිද, දක්නාලද රූපයන්හි හා අසනලද ශබ්දයන්හිද, ගන්‍ධ රස දෙක්හිද, ස්පර්‍ශයෙහිද, ගැලුණාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරුකොට, තණ්හාව නැත්තේ, මෙහි නොඇලේ නම්, ඔහු මුනි යයි කියත්.
’’තවද රූපාදී අරමුණු සය ඇසුරු කළ බොහෝ අධර්‍ම විතර්‍කයෝ සත්ත්‍වයන් තුළ බැස ගනිත්. යමෙක්
කිසි තැනෙකත් ඒ කෙලෙස් වසයට නොපැමිණෙන්නේද, අශිෂ්ට වචන කියන්නෙක් නොවන්නේද, හෙතෙම භික්‍ෂු නම් වන්නේය.
’’පණ්ඩිතවූ, දීර්ඝ කාලයක් මුලුල්ලෙහි වඩනලද සමාධි ඇති, කුහක නොවූ, පැසුණු ප්‍රඥා ඇති, තණ්හා නැති, මුනිවරයා නිර්‍වාණයට පැමිණියේය. එසේ නිර්‍වාණයට පැමිණ, ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියේ පිරිනිවෙන කාලය බලාපොරොත්තුවෙයි.’’

3. පේසල අතිමඤඤනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්‍යයෙහි තමන්ගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි.
එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නේය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නෙමි. එබඳුවූ මට ඉන් ඒකාන්තයෙන් අලාභයෝ වන්නාහ. ලාභයෝ නොවන්නාහ. මා විසින් ඒකාන්තයෙන් එයින් නපුරක්ම ලබන ලද්දේය. යහපතක් නොලබන ලද්දේය.’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමා තුළම පසුතැවිල්ල උපදවා ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
’’ගෞතමය මානය සම්පූර්‍ණයෙන්ම දුරුකරව. මානයේ අරමුණුද, මානය සමග උපදනා ධර්‍මද, හාත්පසින් බැහැර කරව. මානයාගේ අරමුණු සහ මානය සමග උපදනා ධර්‍මයන්දහිද මුළාවූ තැනැත්තේ බොහෝ කාලයක් මුලුල්ලෙහි පසුතැවිල්ල ඇත්තෙක් විය.
’’අනුන් ගුණ මකන ස්වභාවයෙන් මැකුනාවූ සත්ත්‍වයෝ මානයෙන් වැසුනාහු නරකයෙහි වැටෙත්. මානයෙන් වැනසුනු ඒ සත්ත්‍වයෝ නිරයෙහි ඉපිද දිගුකලක් මුළුල්ලෙහි ශෝක කෙරෙත්.
’’ආර්‍ය්‍ය මාර්‍ගයෙන් කෙලෙස් නැසූ සම්‍යක් ප්‍රතිපදාවෙහි මනාව පිළිපන්නාවූ මහණතෙම, කිසි කලෙකත් ශෝක නොකෙරේමය, හෙතෙම කීර්තියද, සුවයද අනුභව කරයි. ස්ථිර සිත් ඇති උන්වහන්සේ ධර්‍මය අවබෝධ කළ තැනැත්තේයයි කියත්.
’’එහෙයින් මේ ශාසනයෙහි කෙලෙස් බාධාවන් නැත්තාවූ වීර්‍ය්‍යයෙන් යුත් භික්‍ෂුතෙම නීවරනයන් පහකොට හාත්පසින් පිරිසිදුද වෙයි. සියලු මානය නසා, මාර්‍ග විද්‍යාවෙන් කෙලෙස් කෙළවර කරන්නෙක්ද වෙයි. කෙලෙසුන් සමනය කරන්නෙක්ද වෙයි.’’

4. ආනන්‍ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන, පසු සමණකු වශයෙන් ආයුෂ්මත් වංගීසයන් ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියේය.
එකල ආයුෂ්මත් වංගීස තෙරුන්ට ශාසනයෙහි නොඇල්ම උපන්නේ වෙයි, රාගයද ඔහුගේ සිත නසයි.
ඉක්බිති ආයුෂ්මත් වංගීසතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’ගෞතම ගෝත්‍රයෙහිවූ ආනන්‍දයන් වහන්ස, මම කාම රාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවෙයි. අනුකම්පාකොට ( මා හට ) එය නිවන ක්‍රමයක් වදාළ මැනව.’’
’’සඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තාගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතුවූ ශුභ වශයෙන් ගන්නා ලද අරමුණ දුරු කරව.
’’සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්ම වශයෙන් නොබලව, මහා රාග ගින්න නිවව. ඉන් නැවත නැවත නොදැවෙව.
’’අශුභ භාවනාවෙන් සිත එකඟකොට, වඩව. තොපට කය අනුව ගියාවූ සිහිය වේවා. කලකිරීම් බහුලකොට ඇතියෙක් වෙව.
’’විදර්‍ශනාවද වඩව. මානානුසය උදුරා හරුව, එසේ මානය නැති කිරීම හේතුකොටගෙන සන්සිඳුනෙක්ව හැසිරෙන්නෙහිය.’’

5. සුභාසිත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ’’මහණෙනි, කරුණු සතරෙකින් යුක්තවූ වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි. කවර සතරකින්ද යත්, මහණෙනි, මහණතෙම යහපත් වචනයක්ම කියයිද, අයහපත් වචනයක් නොකියයිද, ධර්‍මයම කියයිද, අධර්‍මයක් නොකියයිද, ප්‍රිය වූවක්ම කියයිද, අප්‍රිය වූවක් නොකියයිද, සත්‍යයක්ම කියයිද, අසත්‍යයක් නොකියයිද, මහණෙනි, මේ අංග සතරෙන් සමන්විත වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි.’’
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ (ගාථාවන් ) වදාළසේක:
’’(බුද්‍ධාදී) සත්පුරුෂයෝ උතුම් සුභාෂිතයක්ම කියත්. දැහැමිවූවක්ම කියන්නේය. දැහැමි නොවූවක් නොකියන්නේය. එය දෙවෙනි අඞ්ගයයි. ප්‍රියවූවක්ම කියන්නේය, අප්‍රියවූවක් නොකියන්නේය. එය තුන්වෙනි අඞ්ගයයි. සත්‍යයක්ම කියන්නේය, බොරු නොකියන්නේය. එය සතරවෙනි අඞ්ගයයි.’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අසුනෙන් නැගිට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය කීය: ’’ භාග්‍යවතුන් වහන්ස, මට ( කරුණක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට වැටහෙයි.’’
’’වඞ්ගීස, තට වැටහේවා, ( ඒ කියව )’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් ස්තූති කෙළේය:
’’යම් වචනයක් කරණකොට තමාත් නොතැවෙන්නේද, අනුනුත් නොවෙහෙසෙන්නේද, ඒ මානය ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. එබඳු වචනම කියන්නේය.
’’යම් වචනයක් ප්‍රියද ඒ ප්‍රිය වචනයම කියන්නේය,යම් හෙයකින් ඒ ලාමක වචන නොගෙන ප්‍රිය බස්ම අනුන්ට කියන්නේය.
’’සත්‍ය වචනය ඒකාන්තයෙන් අමෘත වචනයයි. මේ පුරාණ සිරිතයි. සත්පුරුෂයෝ සත්‍යයෙහිද, තමන්ට හා අනුන්ට අප්‍රිය සහිතද, උභයාර්ත්‍ථයෙහිද, ධර්‍මයෙහිද පිහිටියෝයයි කියත්.
’’බුදුරජාණන් වහන්සේ නිවන් පැමිණීම පිණිස, දුක් කෙළවර කිරීම පිණිස, නිර්භයව හේතුවූ යම් බසක් වදාරත්ද ඒ වචනය ( සියලු ) වචනයන් අතුරෙන් ඒකාන්තයෙන් උතුම් වේ.

6. සාරිපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සම්පූර්‍ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්‍යඤ්ජන ඇත්තාවූ, අර්ත්‍ථය හැඟවීමෙහි සමර්ත්‍ථවූ වචන ඇති, දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට, මෙනෙහි කොට, එහි ප්‍රයෝජනය තකා ඒ කරුණු හාත් පසින් සිතට ඇතුළු කොට, කන් යොමු කොට ඒ ධර්මය අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම, සම්පූර්‍ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්‍යඤ්ජන ඇත්තාවූ, අර්ත්‍ථය හැඟවීමට සමර්ත්‍ථ වචන ඇති, දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට, මෙනෙහි කොට සියල්ල සිතට ඇතුළු කොට, කන් යොමු කොට ධර්මය අසති. මම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි’’ යි ( කියායි.)
ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, අසුනෙන් නැගිට සිවුර ඒකාංශකොට සැරියුත් තෙරුන්වෙත ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ)ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙසේ කීය: ’’ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයෙනි, මට ( අදහසක් ) වැටහේ.’’ ’’ආයුෂ්මත් වඞ්ගීසයෙනි, එහ ( තොපට ) වැටහේවා.’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්‍රසංශා කෙළේය:
’’ගැඹුරු ප්‍රඥා ඇති, නුවණැති, මාර්‍ගාමාර්‍ග දැනීමෙහි දක්‍ෂ, මහා ප්‍රඥාවත්වූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරයි.
’’( හෙතෙම ) සංක්‍ෂෙපයෙන්ද දේශනා කරයි, විස්තර වශයෙන්ද බණ වදාරයි. මධුරස්වරය සැළලිහිණි හඬ හා සමානය. ප්‍රතිභාණය නගී.
’’( භික්‍ෂූහු ) ඇලුම් කටයුතුවූ, ශ්‍රවණය කටයුතුවූ, ප්‍රීති ගෙනදෙන ස්වරයෙන් යුක්තවූ, දහම් දෙසන ඔහුගේ මිහිරි තෙපුල් අසත්. ඔද වැඩි සිත් ඇති, ප්‍රමුදිත සිත් ඇති, ඒ භික්‍ෂූහු ඔහුගේ වචනයට කන් යොමු කෙරෙත්.’’

7. පවාරණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි සියලුදෙනම රහත්වූ පන්සියයක් පමණ භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක.
එකල භාග්‍යවතුන් වහන්සේ එදිනට පැමිණි පසළොස්වක් පොහෝ දිනයෙහි වස් පවාරණය පිණිස භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරනලදසේක් එළිමහනෙහි වැඩහුන්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ සංඝයා බලා භික්‍ෂූන්ට කථාකළසේක. ’’ මහණෙනි, දැන් ඉතින් තොපගෙන් විචාරමි. මාගේ කායික හෝ වාචසික කිසිවකට තෙපි ගරහව්ද?’’
මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම අස්නෙන් නැගිට සිවුර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ කීය: ’’ ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවක් නොගරහමු. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි නොයිපදවූ, ඇති මාර්‍ගය ඉපිදවූසේක. ( කලින් නොතිබූ ) මාර්‍ගය ඇතිකළසේක. අන් කෙනෙකු නොදෙසූ මාර්‍ගය දෙසූසේක. මාර්‍ගය දත්සේක. මාර්‍ගය අවබෝධ කළ සේක. මාර්‍ගයෙහි දක්‍ෂසේක. ස්වාමීනි, දැන් ශ්‍රාවකයෝ ( ඔබ ) දැක්වූ මාර්‍ගයට අනුව යමින් වෙසෙත්. ( ඔවුහු ) ඒ මාර්‍ගය ( ඔබට ) පසුව ලබාගත්තෝ වෙති. ස්වාමීනි, මමත් භාග්‍යවතුන් වහන්සේ අතින් විචාරමි. කායිකවූ හෝ වාචසිකවූ හෝ මාගේ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ ගරහත්ද?’’
’’ ශාරීපුත්‍රය, තාගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවකට මම නොගරහමි. ශාරීපුත්‍රය, තෝ පණ්ඩිතයෙහිය. ශාරීපුත්‍රය, තෝ මහාප්‍රාඥවෙහිය, ශාරීපුත්‍රය, තෝ පැතිරසිටි ප්‍රඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, තෝ බබළන ප්‍රඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, තෝ ජවන ( වහා ක්‍රියා කරන ) පුඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, තෝ තීක්‍ෂණ ප්‍රාඥයෙහිය, ශාරීපුත්‍රය, තෝ නිර්‍වෙධික ( විනිවිද යන ) ප්‍රඥා ඇත්තෙහිය. ශාරීපුත්‍රය, සක්විති රජුගේ වැඩිමහල් පුත් තෙම පියා විසින් පවත්වන ලද ( ආඥා ) චක්‍රය මනාව ( ඔහු ) අනුව පවත්වන්නේ යම්සේද, ශාරීපුත්‍රය, එසේම මා විසින් පවත්වනලද ධර්‍මචක්‍රය තෝ යහපත්ලෙස ( මා ) අනුව පවත්වන්නෙහිය.’’
’’ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මාගේ කය හෝ වචනය පිළිබඳ කිසිවකට නොගරහනසේක් නම්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පන්සියයක් භික්‍ෂූන්ගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවකටත් නොගරහනසේක්ද?’’
’’ශාරීපුත්‍රය, මම මේ පන්සියයක් භික්‍ෂූන්ගේද කායිකවූද වාචසිකවූද කිසිවකට නොගරහමි. ශාරීපුත්‍රය, මේ පන්සියයක් භික්‍ෂූන් අතුරෙන් සැට දෙනෙක් ත්‍රිවිද්‍යාලාභීහුය, සැට දෙනෙක් ෂඩභිඥා ලාභීහුය, සැට දෙනෙක් උභතො විමුක්තියහ. ( අරූප සමාපත්ති අර්‍හත් මාර්‍ග යන දෙයාකාරයෙන් මිදුණාහු ), නැවත අන්‍යයෝ ප්‍රඥාවිමුක්තයහ’’ ( ප්‍රඥාවෙන් මිදුනාහු. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ( වැඳ ) භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට අදහසක් වැටහේ. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහේ.’’
’’වඞ්ගීස, තොට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළේය.
’’සංයෝජන වූද, බන්‍ධන වූද, කෙලෙස් සිඳදැමූ, දුක් නැත්තා වූ, මතු ඉපදීම නැතැකළා වූ, ඎෂි වූ, පන්සියයක් භික්‍ෂූහු අද පසළාස්වක පොහෝ දින විශුද්‍ධිය පිණිස රැස්වූහ.
’’සක්විති රජ තෙම ඇමති ගණයා විසින් පිරිවරණ ලදුව සාගරය කෙළවරකොට ඇති මේ පෘථිවිය හාත්පස යම් සේ පිළිවෙලින් ගමන් කෙරේද,
’’එසේම ත්‍රිවිද්‍යාලාභීවූ, (කෙලෙස් ) මරුන් නැසූ ශ්‍රාවකයෝ දිනන ලද ( රාග ද්වේෂ මෝහ ) යුද්‍ධ ඇති, නිරුත්තර, ( තමාට වඩා උසස් කෙනෙක් නැති ) සත්‍වාහයන් ( නම් වූ භාග්‍යවතුන් ) වහන්සේ ආශ්‍රය කෙරෙත්.
’’මේ සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝ වෙති. මේ පිරිස්හි ඇතුළ හිස් දුශ්ශීලයෙක් නැත. තණ්හා හුල නසන්නාවූ සූර්‍ය්‍යබන්‍ධුවූ සර්‍වඥයන් වහන්සේ වඳිමි.’’

8. පරෝසහස්ස සූත්‍රය

216
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි එක්දහස් දෙසිය පණසක් පමණ වූ භික්‍ෂු සංඝයා සමග වැඩවසන සේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ ධර්‍ම කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. ඔවුන් එහි අවබෝධ කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට මෙනෙහි කොට, මුළු සිත එහි යොමු කොට, කන් යොමා ධර්‍මය අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට මෙබඳු අදහසෙක් විය: ’’ මේ භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක, ඔවුන්ට අවබෝධ කරවන සේක, තෙද ගන්වන සේක, සතුටු කරවන සේක, ඒ භික්‍ෂූහු ද අර්ත්‍ථවත් කොට මෙනෙහි කොට, සිතට ඇතුළු කොට, කන් යොමා ධර්‍මය අසති. මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැ’’ ( යි කියායි. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථාවලින් ප්‍රශංසාකළේය.
’’දහසකට අධිකවූ භික්‍ෂු සඞ්ඝ තෙම භයෙන් මිදුනු නිර්‍මලවූ, නිර්‍වාණධර්‍මය දේශනා කරන සුගතයන් වහන්සේ ආශ්‍රය කෙරෙයි.
’’සම්මාසම්බුදුන් විසින් දේශනා කළ නිර්‍මල ධර්‍මය ( ඔවුහු ) අසත්. භික්‍ෂු සඞඝයා විසින් පෙරටුකොට පිහිටුවාගත් සම්බුද්‍ධයන් වහන්සේ ඒකාන්තයෙන් හොබනාසේක.
’’භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ( පව් නොකරන හෙයින් ) නාග නම් වන සේක. ඎෂීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම ඎෂි වන සේක, මහා මේඝයක් මෙන් ශ්‍රාවකයන් වැස්සෙන් තෙමන සේක.
’’මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකවූ වඞ්ගීස තෙම ශාස්තෲන් වහන්සේ දකිණු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් සිරිපා වඳී. ’’
’’කිමෙක්ද වඞ්ගීස, තා විසින් මේ ගාථා පෙර කල්පනා කොට කරනලද්දාහු ද නොහොත් ඒ හිටිවනම තාගේ සිතට නැගුනාහු ද?’’
’’ස්වාමීනි, මේ ගාථා මා විසින් පෙර නොසිතන ලද්දෝය. ප්‍රස්තාවට සුදුසු සේම මට වැටහී ගියහ.’’
’’වඞ්ගීසය, එසේ වී නම් පෙර නොසිතන ලද ගාථාවෝ තව බොහෝ සෙයින් තට වැටහෙත්වා.’’
’’එසේය, ස්වාමීනි,’’ යි භාග්‍යවතුන් වහන්සේට ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම උත්තර දී පෙර නොසිතන ලද තව බොහෝ වූ ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේය.
’’මාරයාගේ උමං මාර්ගයන් මැඩ, ඛීලයන් ( බාධාවන් ) බිඳ ඔබ වහන්සේ හැසිරෙණ සේක. ( කෙලෙස් ) බැඳුම් මුදන ( රාගාදීන්ගේ ) ආශ්‍රයෙක් නැති, කොටස් වශයෙන් ධර්‍මය බෙදන්නාවූ ඒ තථාගතයන් වහන්සේ බලව්. ’’( කාමාදී ) ඕඝය ( සැඩපහර ) එතරකරන පිණිස නොයෙක් ආකාර මාර්‍ගය ඔබ වදාළසේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි ඔවුහු ධර්‍ම දර්ශීව, රාගාදියෙන් ගෙනයා නොහැක්කේව සිටිත්.
’’ඥානාලෝතය පහළකළ ධර්‍මය අවබෝධ කොට, සකල දෘෂ්ටිස්ථානයන්ගේ ඉක්මවීම (නම් නිර්‍වාණය ) දුටුසේක. දැනද ප්‍රත්‍යක්‍ෂ කොටද, ඒ උත්තම ධර්‍මය පස්වග මහණුන්ට දෙසූ සේක.
’’මෙසේ සුදේසිත ධර්‍මය දන්නවුන්ගේ එහි කවර ප්‍රමාදයෙක් ද? එහෙයින් ඒ තථාගතයන්ට වඳිමින් හැම කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාදීව පිළිවෙළින් හික්මෙන්නේය.’

9. කොණ්ඩඤඤ සූත්‍රය

217
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්‍රකාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’ ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ පා මුල හිසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි, කියා නමද ප්‍රකාශ කරයි. මම ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනව’’ ( යි කියායි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළේය.
’’බුද්‍ධානුබුද්‍ධවූ, තියුණු වීර්‍ය්‍ය ඇති, ඒ කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම සැප විහරණ ඇති, චිත්තවිවේකයන් නිතර ලබන්නේ වෙයි.
’’ශාස්තෘශාසනකාරීවූ ශ්‍රාවකයකු විසින් යම් මාර්‍ග ඵලාවබෝධයක් වෙත පැමිණිය යුතුද, අප්‍රමාදීව හික්මෙන ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් ඒ සියලු මාර්‍ගඵලාවබෝධයන් වෙත පැමිණෙනලදී.
’’ මහානුභාව ඇති, ත්‍රිවිද්‍යාලාභී, සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවූ, බුදුන් විසින් දුන් ධර්‍ම දායාද ඇති, කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේගේ ( සිරි ) පා වඳී.’’

10. මොග්ගල්ලාන සූත්‍රය

218
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. ( ප්‍රත්‍යවේක්‍ෂා කරයි. )
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලායෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසනසේක. එහි වනාහි මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් ඔවුන්ගේ විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත සිත් සොයයි. මම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනව’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ( වැඳ ) මෙසේ කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කෙළේය.
’’ත්‍රිවිද්‍යාවත්වූ, ( කෙලෙස් ) මරු නසා සිටි, ( බුද්ධ ) ශ්‍රාවකයෝ පර්‍වත පාර්ශ්වයෙහි වැඩහුන්, දුක් කෙළවරට පැමිණි, සම්බුදු මුනිහු ආශ්‍රය කෙරෙත්.
’’මහත් ඎධි ඇති මොග්ගල්ලාන ස්ථවිරතෙම ඒ ශ්‍රාවකයන්ගේ සිත් මිදුනේද කෙලෙස් රහිතදැයි සොයමින් සිතින් ඒ ශ්‍රාවකයන් පසුපස්සේ යෙයි.
’’මෙසේ ( ඒ ශ්‍රාවකයෝද මුගලන් තෙරහුද ) සියලු ගුණාඞ්ගයෙන් යුක්තවු දුකින් මිදී පරතෙරට ගියාවූ, අනේක ගුණයන්ගෙන් යුක්තවූ මුනිතුමන් ආශ්‍රය කෙරෙත්.’’

11. ගග්ගරා සූත්‍රය

219
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක. මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ( උන්වහන්සේ ) ප්‍රශංසා කරන්නෙම් නම් මැනව’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට උතුරුසඟ ඒකස්කොට පොරවා භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ ( වැඳ ) මෙය කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් උන්වහන්සේ ප්‍රශංසා කළේය.
’’චන්‍ද්‍රතෙම වළා පහවූ අහස්හි යම්සේ බබළාද, නිර්‍මලවූ සූර්‍ය්‍ය තෙමේත් යම්සේ බබළාද, මහා මුනිවූ අංගීරසයන් වහන්ස, නුඹවහන්සේද එසේම යසසින් සියලු ලෝකයා ඉක්මවා බබළනසේක.’’

12. වංගීස සූත්‍රය

220
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වැඩවසනසේක.
එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අළුත රහත් වූයේව, අර්හත්ඵල සමාපත්ති සැපය විඳිනුයේ ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:
’’පෙර ගමින් ගමද, නුවරින් නුවරද, කව් කීමෙන් මත්ව හැසුරුනම්හ. ඉක්බිති සම්බුද්ධයන් වහන්සේ දුටුම්හ. එසඳ අපට ශ්‍රද්ධා තොමෝ උපනි.
’’ඒ තථාගතයන් වහන්සේ මට ස්කන්‍ධායතනධාතුන් ( ප්‍රකාශ කෙරෙමින් ) ධර්‍මය දෙසූසේක. උන්වහන්සේගේ ධර්‍මය අසා අනගාරිකවූ ශාසනයෙහි පැවිදිවූයෙමි.
’’යම් කෙනෙක් නියත නිර්‍වාණ මාර්‍ගයට පැමිණියෝද බොහෝවූ භික්‍ෂූන්ටද භික්‍ෂුනීන්ටද අර්ත්‍ථ පිණිස මුනිතුමා සම්බෝධියට පැමිණිසේක.
’’බුදුන්ගේ සමීපයට මාගේ පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් ඊමක් වූයේය. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහුය. සර්‍වඥයන්වහන්සේගේ අනුශාසනය මා විසින් ( සම්පූර්‍ණ ) කරන ලද්දේය.
’’පෙර විසූ ජාති පිළිවෙළ දනිමි. දිවැස විශේෂයෙන් පිරිසිදු කරන ලද්දේය. ( මම දිවැස් ලදිමි. ) මම ත්‍රිවිද්‍යා ඇත්තෙක්මි. ඎද්ධිවිධ ඥානයට පැමිණියේ වෙමි. සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවෙමි.’’
වංගීස සංයුත්තය නිමියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.