SN-1-5- සඝාත වග්ගය – භික්ඛුනී සංයුත්තය

5. භික්ඛුනී සංයුත්තය

NUNNS
1. ආළවිකා සූත්‍රය
2. සෝමා සූත්‍රය
3. ගෝතමී සූත්‍රය
4. විජයා සූත්‍රය
5. උප්පලවණ්ණා සූත්‍රය
6. චාලා සූත්‍රය
7. උපචාලා සූත්‍රය
8. සිසුපචාලා සූත්‍රය
9. සේලා සූත්‍රය
10. වජිරා සූත්‍රය
භික්‍ෂුණී සංයුත්තය නිමියේ

1. ආළවිකා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි ආළවිකා මෙහෙණිය හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියාය. සැවැත්නුවරෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ තැනැත්තී, විවේකය කැමැත්තී, අන්‍ධවනය කරා පැමිණියාය.

එකල්හි පාපී මාරයා ආළවිකා මෙහෙණියට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ, විවේකයෙන් තොරකරනු කැමැත්තේ. ආළවිකා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ආළවිකා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය:

’’ලොවෙහි එතරවීමෙක් පැමිණ නැත.
විවේකයෙන් කවර වැඩක් සිදුකරගන්නෙහිද?
කම් සැප විඳුව,
එසේ නොකොට පසුතැවෙන්නියක් නොවව.’’

එවිට ආළවිකා මෙහෙණියට මෙසේ අදහස්විය.
’මේ ගාථාව කීයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ආලවිකා මෙහෙණියට, ’මේ පාපීවූ මාරයා මට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, විවේකයෙන් තොරකරනු කැමැතිව ගාථාව කීයේය’ යි හඳුනා ගන්නට හැකි වීය.
ඉක්බිති ආලවිකා මෙහෙණිය මේ පාපීවූ මාරයායයි දැන ඔහුට ගාථාවලින් මෙසේ පෙරළා කීවේය:

’’ලොවෙහි එතරවීමක් ඇත.
මවිසින් එය නුවණින් දැනගන්නාලදී.
පමාවූවන්ගේ නෑ වූ පවිට,
තෝ ඒ නිවන හෝ නිවන්මග නොදන්නෙහිය.
’’පස්කම් යනු , ආයුධ හා  හුල් බඳුය.
පඤචස්කන්‍ධය ඔවුන්ට මස් ලොඹු ( මස් කපන කොටය ) බඳුය.
තෝ ඒ කාමයෙහි ඇලීමක් කීයෙහිද,
එය මට නොඇල්මක් විය.

Ax in log
එවිට පවිටු මාරතෙම ’ආළවිකා මෙහෙණී මා දනීය’ යි  දොම්නස්ව එහිම අතුරුදන්විය.

End Sutta

2. සෝමා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සෝමා මෙහෙණීන් වහන්සේ  පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්නුවර පිඬු සිඟා වළඳා පසුබත් කල්හි පෙරළා ආ තැනැත්තී දිවා විහරණය පිණිස අන්‍ධවනය කරා පැමිණියාය. අන්‍ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.

එකල්හි පාපීවූ මාරයා සෝමා මෙහෙණියට බිය තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. ඒ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සෝමා මෙහෙණියට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් ( රහත් බවෙක් ) ඇද්ද,
එය දෑඟුල් නුවණ ඇති, ස්ත්‍රියක විසින් ලැබිය නොහැක්ක.’’
එවිට සෝමා මෙහෙණියට මෙසේ සිත්විය: ’’මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’
ඉක්බිති ඇයට, ’මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැන්ම, ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැත්තෙ ඔහු ගාථා කියාය’ යි මේ අදහස විය.

ඉක්බිති සෝමා මෙහෙණිය ’ මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
’’සිත මොනවට සමාධියට පැමිණි කල්හි,
නුවණ ඇති කල්හි,
දහම් ඇතිසැටියෙන් දක්නහුට
ස්ත්‍රීබව කුමක් කරන්නේද?’’
’ මම් ස්ත්‍රියකමි’ යි හෝ ’පිරිමියෙකිමි’ යි කියා හෝ ’එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.’’
එවිට පාපීවූ මාරයා, ’සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
End Sutta

3. ගෝතමී සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි කිසාගෝතමී මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්නුවර පිඬු සිඟා හැසිර බතින් පසු පෙරළා අවුත් දවල් විවේකයට අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.

එවිට පාපීවූ මාරයා කිසාගෝතමී මෙහෙණියට බිය, තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සිත එකඟ බවින් ( සමාධියෙන් ) තොරකරනු කැමැත්තේ. කිසාගෝතමී මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ කිසාගෝතමී මෙහෙණියට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’(තෝ) දරුවා මළ එකියක සෙයින්, අඬන මුහුණ ඇතිව
තනිව කුමට ඉන්නෙහිද?
වනයට වැද තනිව පුරුෂයෙකුවත් සොයහිද?’’
’’එකල කිසාගෝතමී මෙහෙණියට මේ සිත්විය. ’මේ කවරෙක්ද? ගාථා කියන මෙතෙම මිනිසෙක්ද? නොහොත් නොමිනිසෙක්ද? ’’
ඉක්බිති කිසාගෝතමී මෙහෙණියට, ’මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොම්දැහැගැනුම් උපදවන්නට කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැතිව, ඔහු ගාථා කියාය’ යි අදහස්විය.
ඉක්බිති කිසාගෝතමී මෙහෙණිය, ’මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:

’’(මම) මළාවූ දරුවකු ඇතිබව ඉක්මවූ තැනැත්තියකිමි.
සැමියෝද එයම කෙළවරකොට ඇත්තෝය.
ශෝක නොකරමි, නොහඬමි. ඇවැත්නි, තට බියද නොවෙමි,
හැම දැයෙහි ඇල්ම (මා විසින්) නසනලදී.
මොහාන්‍ධකාරය නුවණින් (මා විසින්) බිඳ දමනලදී.
මරසෙන් පරදවා ආශ්‍රව නැත්තියක්ව වෙසෙමි.’’

එවිට පාපීවූ මාරයා, ’කිසාගෝතමී මෙහෙණි මා දන්නීය’ යි  දොම්නස්ව  එහිම අතුරුදන්විය.

End Sutta

4. විජයා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි විජයා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවර පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා හැසිර, දන් වළඳා පෙරළා අවුත්, දවල් විවේකයට අන්‍ධවනයට පැමිණියාය. අන්‍ධවනයට පැමිණ එක්තරා රුක්මුලෙක දවල් විවේකය පිණිස උන්නාය.

එකල්හි පාපීවූ මාරයා විජයා මෙහෙණියට බිය, තැතිගැනුම් ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. විජයා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ විජයා මෙහෙණියට,
’’ආර්‍ය්‍යාවෙනි, ඔබ තරුණයහ.
මමද නවයොවුන්විය ඇතියෙමි.
එන්න, ආර්‍ය්‍යාවෙනි, පසඟතුරුයෙන් (පංචාංගිකතූර්‍ය්‍යයෙන්) අඝිරමණය කරමු’’
යි ගාථායෙන් කීය.

එවිට විජයා මෙහෙණියට මේ සිත්විය. මේ ගාථා කියනුයේ කවරෙක්ද?
මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්ද,
ඉක්බිති විජයා මෙහෙණියට, පාපීවූ මාරයා මා බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ගන්වනුවට සමාධියෙන් වෙන්කිරීමට කැමැතිව, ගාථා කිය’ යි මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණි ’මේ පාපීවූ මාරයා’ යි දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:

’’සිත අදනා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන යමක් ඇද්ද,
තටම ඒවා පවරමි. මාරය, මට ඉන් වැඩෙක් නැත.
බිඳෙනසුලු, සුණුවිසුණුවනසුලු මේ කුණුකයින් පීඩිතවෙමි,
මෙයට පිළිකුල් කෙරෙමි. කම් සැපෙහි ඇල්ම මාවිසින් මුලින් උදුරනලදය.
රූප ලොවට එළඹී යම් සත්වකෙනෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් ශාන්කවූ ලෞකික සමාපත්තියෙක් වේද,
ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර මා විසින් නසනලදී.’’

ඉක්බිති පාපීවූ මාරයා ’විජයා මෙහෙණි මා දනීයැ’ යි  දොම්නස්ව එහිම අතුරුදන්විය.

End Sutta

Uthpalawanna1

5. උප්පලවණ්ණා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි උප්පලවණ්ණ මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු සඳහා අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා පිපී ගිය සල් රුක් මුලෙක සිටියාය.

එකල්හි පාපීවූ මාරයා උප්පලවණ්ණ මෙහෙණියට බිය, තැති, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැතිව, උප්පලවණ්ණ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය.
පැමිණ උප්පලවණ්ණ මෙහෙණියට,

’’මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා පැමිණ, ඒ සල් රුක් මුල්හි තනිව සිටිති.
ඔබට රූපයෙන් ඔබ වැනි දෙවෙනි මෙහෙණියක් (යෙහෙළියක්) ද නැත.
මෙහි පැමිණි අන් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය.
මෙසේ තනිවූ ඔබ සලෙලුවන්ට බිය නැත්තේද?’’ යි ගාථායෙන් කීය.

එකල්හි උප්පලවණ්ණ මෙහෙණියට මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්දැ?’’ යි සිත් විය, ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණියට, මේ අදහස විය. ’මේ පාපී මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැත්තෙන් ගාථා කියයි. ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණිය ’මේ පාපීවූ මරුවාය’ යිම දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:

’’ධූර්‍තයන් සිය දහසක් මෙහි ආවත් ඔවුහු තා බඳු වූවත්
ඔවුන්ට ලෝමයකුත් නොසලමි. නොම තැතිගනිමි.
මරුව, හුදකලාවූද මම් තට බය නොවෙමි.’’

මාරයා මෙසේ කීය:) ’’මේ මම් අතුරුදන්වෙමි. ඔබ කුසට හෝ පිවිසෙමි. ඔබේ දෙබැම අතුරෙහිහෝ සිටින මා ඔබ නොදක්නෙහි.’’
(උප්පලවණ්ණ මෙහෙණිය මෙසේ කීවාය:)
’’සිතෙහි වශීවූයෙමි. මා විසින් සතර ඎද්‍ධිපාදයෝ මොනවට වඩන ලදහ.
(මම්) සියලු බැම්මෙන් මිදුනෙමි. ඇවත, එබැවින් තට බිය නොවෙමි.’’

එවිට පාපීවූ මාරයා ’උපුල්වන් මෙහෙණිය මා දන්නීයැ’ යි දොම්නස්ව එහිම අතුරුදන්විය.

End Sutta

6. චාලා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි චාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, පිඬු පිණිස සැවැත්නුවරට පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වැඩ දන වළඳා පෙරළා ආ තැනැත්තී දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල හුන්නාය.
එකල්හි පාපීවූ මාරයා, චාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, චාලා මෙහෙණියට මෙසේ කීය:
’’මෙහෙණියනි, ඔබ කුමකට නම් කැමති නොවෙහිදැ?’’ යි ඇසීය.
’’ඇවත, මම් වනාහි උත්පත්තියට කැමති නොවෙමි.’’
(එවිට මාරයා මෙසේ කීය:) ’’උත්පත්තිය කැමති නොවන්නේ ඇයිද? උපන් තැනැත්තේ කම්සුව විඳී. මෙහෙණියනි, උත්පත්තිය කැමති නොවේවා, කවරෙක් නම් ඔබට මේ දෘෂ්ඨිය ගැන්වීද?’’
(එවිට මෙහෙණී මෙසේ කීවාය:)
’’උපන්නහුට මරණය වේ.
උපන් තැනැත්තේ බැඳුම්ද, වධද, උවදුරුද යන දුක් ස්පර්‍ශ කෙරෙයි.
එබැවින් උත්පත්තිය නොකැමැත්තෙමි.

’’බුදුරජාණන් වහන්සේ සියලු දුක් නසනු පිණිස උත්පත්තිය ඉක්මවාලන දහම දෙසූසේක.
යම් රූප ලෝකයෙහි උපන් සත්ත්‍වකෙනෙක් ඇද්ද, අරූපලෝකයෙහි සිටිනා යම් සත්ත්‍වකෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ නිවන නොදන්නාහු නැවත දෙවැනි භවයක ඉපැදීමට එන්නාහ.’’

එවිට පාපීවූ මාරයා ’චාලා මෙහෙණිය මා දන්නීයැ’ යි  එහිම අතුරුදන්විය.

7. උපචාලා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි උපචාලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. එහි පිඬු සිඟා වැඩ පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නීය. එවිට පාපීවූ මාරයා, උපචාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, උපචාලා මෙහෙණියට මෙසේ කීය:

’’මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?’’
’’ඇවැත්නි, මම් වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමි’’ යි
(උපචාලා මෙහෙණිය කීවාය.)
( එවිට මාරයා මෙසේ කීය.)
’’තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්‍මාණරති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් කෙනෙක් ඇද්ද , ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය. ’’
(මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නීය. ) ’’ තව්තිසා , යාම , තුසිත , නිර්‍මාණරති , වශවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද , ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.’ (කෙළෙස් ගින්නෙන්) මුඑ ලොව ඇවිලගත්තේය , මුඑ ලොව තැවුණේය , සියඑ ලොව දිලිහී ගියේය , සියලු ලොව සැලී ගියේය.
’’යම් තැනෙක මාරයාට පිහිටා සිටිය නොහැකිද , නොසැලුණු , කමිපිත නොවූ , පෘථග්ජන නොවූවන් විසින් ( ආර්‍ය්‍යයන් විසින් ) සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි ( ඒ නිවනෙහි ) මා සිත මුඑමනින් ඇලුණේය. ’’
එවිට පාපී වූ මාරයා ’ උපචාලා මෙහෙණිය මා දන්නීය ’ යි  දොම්නස්ව එහිම අතුරුදන් විය.

End Sutta

8. සිසුපචාලා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සිසුපචාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නාය.
එකල පාපී වූ මාරයා සිසුපචාලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ

’’මෙහෙණියනි , ඔබ කවරක්හුගේ දෘෂ්ටියක් කැමැත්තහුදැ ’’ යි කීය.
ඇවැත , මම කිසිම පුද්ගලයෙකුගේ දෘෂ්ටියක් කැමති නොවන්නෙමි ’’ යි ( මෙහෙණිය කීවාය. )
( එවිට පාපී මාරයා මෙසේ කීය: ) ’’ ඔබ මෙහෙණියක මෙන් පෙණෙති. ඔබ කවුරු උදෙසා හිස මුඬු කළෝද ? ( ඔබ ) දෘෂ්ටියක් නොකැමැත්තෙහි, ඉතා මුළාව ගිය සෙයින් කුමට හැසිරෙන්නහුද? ’’
( මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නාය: ) ’’ දෘෂ්ටි මේ සස්නෙන් පිටත්හිය. යම් කෙනෙක් ඒ දෘෂ්ටීන්හි ගැලෙත්ද , ඔවුන්ගේ දහම් නොකැමැත්තෙමි. ඔහු ධර්‍මයට දක්ෂයෝ නොවෙත්.
’’ ශාක්‍ය කුලයෙහි උපන් , තමහට සම අනෙකෙක් නැති , සියල්ල මැඬගෙන සිටි , මරහු දුරු කළ , හැම තන්හිම දිනූ බුදුවරයෙක් ඇත.
’’ උන්වහන්සේ හැම තන්හිම මිදුණු කෙනෙක තෘෂ්ණාදෘෂ්ටීන් ඇසුරු නොකළ කෙනෙක. පසැස් ඇති උන්වහන්සේ සියල්ල දක්නාසේක. සියලු කර්‍මයන්ගේ ක්ෂය ෙ( රහත්බවට ) පැමිණි සේක. උපධීන්ගේ කෙලෙස් ක්ෂයයෙහි මිදුණු සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්තෲය. මම් උන්වහන්සේගේ සස්න කැමැත්තෙමි. ’’
එවිට පාපීවූ මාරයා ’ සිසුපචාලා මෙහෙණිය මා දන්නීය ’ යි, දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

End Sutta

9. සේලා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි සේලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වළඳා, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයෙහි බැස දහවල් ගතකරන පිණිස එක්තරා ගසක් මුල උන්නීය.
එකල්හි පාපීවූ මාරයා සේලා මෙහෙණිය බිය තැතිගැනුම් , ලොමුදැහැගැනුම් උපදවනු රිසිව , සමාධියෙන් ඇය තොරකරනු කැමැත්තේ, සේලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සේලා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය.
’’ මේ අත්බව කවරකු විසින් උපදවන ලද්දක්ද ? මේ ආත්මභාවය කළ තැනැත්තේ කවරේද? කුමක් නිසා ආත්ම භාවය උපන්නේද? මේ ආත්ම භාවය කවර තන්හි නිරුද්‍ධ වන්නේද? ’’
එවිට සේලා මෙහෙණියට මේ සිත විය: ’’ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ’’
ඉක්බිති සේලා මෙහෙණියට මේ අදහස විය. ’’ මේ පාපීවූ මාරයා මට බිය , තැති , ලොමුදැහැනුම් , ඇතිකිරීමට කැමති වූයේ මා සමාධියෙන් තොරකරනු කැමතිව , ගාථා කියයි. ’’
ඉක්බිති සේලා මෙහෙණි ’ මේ පාපීවූ මාරයා යයි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙය පෙරළා කිවූය. ’
’’ මේ ආත්මභාවය තමා විසින් කරණලද්දක්ද නොවේ. දුකට පිහිටි මේ ආත්මභාවය අනෙකෙකු කළ දැයෙකුත් නොවේ. මෙය හේතුව නිසා උපන , හේතුව බිඳීයාමෙන් නිරුද්‍ධ වේ.’
’’යම්සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවි රසයත් ජලයත් නිසා පැලවේද,
’’එපරිද්දෙන්ම ස්කන්‍ධද, ධාතුද, ආයතන සයද යන මොහු හේකුප්‍රත්‍යයන් නිසා උපන්නෝ වෙත්, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් නිරුද්‍ධවෙත්.’’
එවිට පාපීවූ මාරයා ’සේලා මෙහෙණිය මා දන්නීය ’ යි,  දොම්නස් වැද එහිම අතුරුදන් විය.

End Sutta

10. වජිරා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.
එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය. ’මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්‍ධවන්නේද?’’
එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: ’’ මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? ’’
ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. ’’ මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව , පාපීවූ මාරයා ගාථා කියයි. ’’
ඉක්බිති වජිරා මෙහෙණි ’ මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.
’’මරුව, කිම? ’සත්ත්‍වයෙකැ’ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ’සත්ත්‍වවයැ’ යි ගත යුත්තෙක් නොලැබේ.
’’අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.
’’මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.’’
එවිට පාපීවූ මාරයා ’වජිරා මෙහෙණිය මා දනීයැ ’ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.

End Sutta
භික්‍ෂුණී සංයුත්තය නිමියේය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.