MN-I-5-8.කොසම්බීය සූත්‍රය


§1.මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිත නම්වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි කොසඹෑ නුවර භික්ෂූහු දබර කරමින්, විවාද කර ගනිමින් එකිනෙකා (වචන නමැති ආයුධවලින් ඇනගනිමින්) ආක්‍රෝෂ පරිභව කරමින් 
කල් ගෙවති.  ඔවුහු එකිනෙකාට ඇත්ත පෙන්නාදී කරුණු පැහැදිලි නොකරති. පැහැදිලි කළත් නොපිළිගනිති. [ මේ කලහය ට මුල් වූ හේතුව කුඩා විනය නීතියක් මුල් කොට හටගත් බව අටුවාව දක්වයි. මේ ගැන දීර්ඝ විස්තරයක් ඥානමෝලි මහා ස්වාමින්වහන්සේගේ “Life of Buddha ”  හි දැක්වෙයි. එය මෙහි කියවීමට පිළිවන.]

§.2.ඉක්බිති එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ බව දැන්වීය. මේ කලහයට මුල්වූ භික්ෂුන් තමන් වහන්සේ වෙත කැඳවූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, තොපි දබර කරමින්, එකිනෙකා සමග වාද විවාද කරමින්, එකිනෙකාට ආක්‍රෝෂ කරමින්  කල් යවයි 
නම් එවිට, එක්ව බඹසර හැසිරෙන අනෙක්  ඇත්තවුන් කෙරෙහි. පුද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ, මෛත්‍රී සහගත කාය කර්ම (කයින් කරන ක්‍රියා)  මෛත්‍රී සහගත වචී කර්ම,  මෛත්‍රී සහගත මනෝ කර්ම සිදු වේයැයි  සිතන්නහුද?”
“නැත ස්වාමීනි”
“මහණෙනි, මෙසේ තෙපි දබර කරමින්, එකිනෙකා සමග වාද විවාද කරමින්ම්,  බැනගනිමින්  වාසය කරත් නම් අනෙක් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ඇති තැනද, නැති තැනද මෛත්‍රී සහගත කායකර්ම  වාක් කර්ම, මනො කර්ම  සිදුකිරීමක් නොවෙයි.  හිස් පුරුෂයිනි, තෙපි මෙසේ හැසිරීම තොපට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස වන්නේය.”

§..3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළහ.
“මහණෙනි, සැමදා සිහිකටයුතුවූ, අන්‍යොන්‍ය සුහදතාව, සමගිය, මිත්‍රත්වය, ගරු සැළකිල්ල වඩවන්නාවූ ධර්මයෝ සයක් වෙත්.
කවර සයක්ද යත්:-
§.3.1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු ඔවුන් ඇති හා නැති ඕනෑම තැනක අනෙක්  සබ්‍රහ්මචරීන් කෙරෙහි  මෛත්‍රී සහගත කාය කර්ම පවත්වයි නම් අන්‍යොන්‍ය සුහදතාව, සමගිය, මිත්‍රත්වය, ගරු සැළකිල්ල ඔවුනතර වැඩෙයි. වාද විවාද, දුරුවෙයි.

§.3.2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු ඔවුන් ඇති හා නැති ඕනෑම තැනක අනෙක්  සබ්‍රහ්මචරීන් කෙරෙහි  මෛත්‍රී සහගත වචී කර්ම පවත්වයි නම් අන්‍යොන්‍ය සුහදතාව, සමගිය, මිත්‍රත්වය, ගරු සැළකිල්ල ඔවුනතර වැඩෙයි. වාද විවාද, දුරුවෙයි.

§.3.3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු ඔවුන් ඇති හා නැති ඕනෑම තැනක අනෙක්  සබ්‍රහ්මචරීන් කෙරෙහි  මෛත්‍රී සහගත මනෝ කර්ම පවත්වයි නම් අන්‍යොන්‍ය සුහදතාව, සමගිය, මිත්‍රත්වය, ගරු සැළකිල්ල ඔවුනතර වැඩෙයි. වාද විවාද, දුරුවෙයි.

§.3.4. “මහණෙනි,  සිය ආරණ්‍යයේ හෝ පන්සලේ ඇති පොදු වස්තු සමව, සමගියෙන් පරිහරණය කරන්නේ, මේ මගේ පාවිච්චිට පමණකියි කිසිවකට නොපනවන්නේද,  තමා දැහැමින් ලැබුවාවූ, පිරිකර සමාන බඹසර ඇත්තවුන් හා බෙදා ගන්නේද,  තමනට පිණ්ඩපාතයට ලැබූ ආහාරය පවා ඔවුනොවුන් හා සමානව බෙදාහදා වළඳන්නේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය ප්‍රිය බව කරන්නේය. ගරු බව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිසද පවතියි.

§.3.5. “මහණෙනි,මේ ශාසනයේ භික්ෂුව, තෘෂ්ණා වෙන් හෝ දිට්ඨියකින් කඩනොවූ, සිදුරු නොවූ, නොකැළැල්වූ ශීලයෙන් යුක්තවුවේ අනෙක් එබඳුම සමාධි උපෙක්ඛිත සීලයෙන් වසන අනෙක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග විමුක්තිය අරමුණු වූ සමාධිය වඩත් ද [ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය.] එවන් ධර්මයෝ ද අන්‍යොන්‍ය සුහදතාව, සමගිය, මිත්‍රත්වය, ගරු සැළකිල්ල  වඩයි. වාද විවාද, දුරුවෙයි.

§3.6. “මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව, උතුම්වූ නිවන පිණිස පවත්නාවූ, යම් සම්‍යක් දෘෂ්ටියක් වේද, ඊට අනුව පිළිපදින පුද්ගලයාට හොඳින් සියලු දුක් නැති කිරීම පිණිස පවතීද, එබඳු සම්‍යක් දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද, සමාන බවට පැමිණියේ වේද, මේ ධර්මය තෙමේද සිහි කටයුතුය. ප්‍රිය බව කරන්නේය. ගරුබව කරන්නේය. සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, එකඟ බව පිණිස පවතියි.

මහණෙනි, මේ වනාහි සිහි කට යුතුවූද, ප්‍රිය බව කරන්නාවූද, ගරු බව කරන්නාවූද, සංග්‍රහය පිණිසද, අවිවාදය පිණිසද, සමගිය පිණිසද, ඒකී භාවය පිණිසද පවත්නා ධර්ම සය වෙති.

kani madala

§.7. “මහණෙනි, මේ සය ආකාර සිහි කටයුතු ධර්මයන් අතුරෙන් නිර්මලවූ, නිවන් පිණිස පවත්නාවූ යම් මාර්ග සම්‍යක්දෘෂ්ටියක් වේද, (ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වන සම්මා දිට්ඨිය.)  ඊට අනුව පිළිපදින්නහුට  සියලු දුක් නැති කිරීම පිණිස ඇති ඒ ධර්මය එය සියල්ලටම අග්‍රය. එය සියල්ලමැ සංග්‍රහ කරන්නේය. සියල්ලම ඊට සම්බන්ධය.

මහණෙනි, යම්සේ කුළුගෙයක කැණිමඬල , වහලේ   සියලු දැව කඳන් එක්කොට තබන්නේද, සියළු කටයුතු අතුරින් නිර්මළවු  නිවණට පමුණුවන්නාවූ  මේ සම්‍යක් දෘෂ්ටිය ඒ කරන්නහුගේ දුක් නැති වීම පිණිස පමුණුවාද මෙය අග්‍රයි. එය සියල්ල සංග්‍රහ කරන්නේය. සියල්ල ඊට සම්බන්ධය.

§.8 “මහණෙනි, නිර්මලවූද, නිවණට පමුණු වන්නා වූද, මේ මාර්ග සම්‍යක් දෘෂ්ටිය, ඊට අනුව පිලිපදින්නහුට සියළු දුක් නැති කිරීම පිණිස කෙසේ නම් පවතීද,

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුකක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ සලකයි.
‘ ඇත්ත ඇති  සැටියෙන් දැක්ම වලක්වන ක්ලේශයක් මා විසින් මුළුමනින් පහ නොකරනු  ලදුව මගේ සන්තානයේ අත්දැ’ යි
? (කියාය)
මහණෙනි, ඉදින් මහණතෙම

  • කාමරාගයෙන් මඩනා ලද්දේ වේද, මඩන ලද සිත් ඇත්තේවේද, [කාම රාගය යනු කාම අරමුණු දානය (කෑම) , චීවර, සෙනසුන් , පිරිකර ආදිය කෙරේ කැමැත්තෙන් ගන්නා සිතින් ගනීද.]
  • ව්‍යාපාද නීවරණයෙන් මඩනාලද්දේ වේද. ව්‍යාපාදයෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, [ කැළඹුණු සිතින්, එකඟ නොවෙන අවිවේකී නොසන්සුන් සිතින් යුතු වූ යෙදවීම] 
  • ථීනමිද්ධයෙන් මඩනාලද්දේ වේද, ථීනමිද්ධයෙන් මඩනාලද සිත් ඇත්තේවේද, [මාර්ගයෙහි හැසිරීමට අලස වේද,  උපන් අකුසල් දුරු කිරීමට, නුපන් අකුසල් නොඉපිදවීමට, උපන් කුසල් වැඩීමට, නුපන් කුසල් ඉපිදවීමට අලස වේද ]
  • උද්ධච්චකුක්කුච්චයෙන් මඩනා ලද්දේවේද, ඉන්  මඩනා ලද සිත් ඇත්තේ වේද,[උද්ධච්ච කියල කියන්නෙ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය. එක අරමුණක ඉන්ට බෑරිි, සිත දහ අතේ පැන-පැන දුවන, ගතියයි කුක්කුච්ච යනු තමන් කළ අකුසල් ගැන තැවීමය.]
  • විචිකිච්ඡාවෙන් මඩනා ලද්දේ වේද. විචිකිච්ඡාවෙන් මඩනාල සිත් ඇත්තේ වේද,[ ධර්මය ගැන , නිර්වාණගාමී පටිපදාව ගැන සැක ඇත්තේ වේද][නීවරණ ගැන ලිපියක් මෙහි කියවන්න]
  •  මෙලොව සම්පත් ගැන සිතීමෙහි යෙදුනේ වේද, එයින් මඩනාලද සිත් ඇත්තේවේද,
  • පරලොව ගැන සිතීමෙහි යෙදුනේවේද, එයින් මඩනාලද සිත් ඇත්තේ වේද,
  • දබර කරමින්, කෝලාහල කරමින්සිටී ද, විවාදයට පැමිණියේද, එකිනෙකා මුඛ නමැති ආයුධ වලින් විදගනිමින් වාසය කරයිද, එයින් මඩනාලද සිත් ඇත්තේ වේද,

හෙතෙම මෙසේ දනියි.

“මම  කෙලෙස් නිසා  මඩනාලද සිත් ඇත්තෙම්නම් ඇත්ත ඇති  සැටියෙන් නොදන්නෙම්ද, නොදක්නෙම්ද, ඒ කෙලෙස් ඉපදීම මා තුළ නැති නොවී නැතැයි (දැනගනී). මේ  ධර්මයන් තමා තුල නොමැති බව දක්නා භික්ෂුව තමාගේ  සිත චතුරාර්‍ය්‍ය සත්‍ය අවබොධය පිණිස මනාකොට පිහිටුවන ලද්දේයයි (දැන ගනියි) ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථක්ජනයන් හා සාධාරණ නොවූ, මේ ප්‍රථම ඥානය ලබන ලද්දේ වෙයි.

§.9. “මහණෙනි, නැවත අනිකක්ද කියමි මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. මම මේ මාර්ග සම්‍යක් දෘෂ්ටිය සෙවනය කරන්නේ, වඩන්නේ, බහුල කරන්නේ තමා තුළ චිත්ත සමථය ලබයිද,  තමා තුල කෙලෙස් සංසිඳීම ලබයිද, හෙතෙම මෙසේ දනියි. ‘මම මේ මාර්ගදෘෂ්ටිය සෙවනයකරන්නේ වඩන්නේ, බහුල කරන්නේ, මාගේ චිත්ත සමථය (සමාධිය)  ලබමි. මාගේ කෙලෙස් නිවීම ලබමියි (දැනගනියි) ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථග්ජනයන් නොදන්නා වූ  හා සාධාරණ නොවූ, දෙවන ඥානය ලබන ලද්දේ වෙයි.

§.10 .“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම මෙසේ සලකයි. ‘මම මේ ආර්‍ය්‍ය දෘෂ්ටියකින් යුක්තවූයෙම්ද, එබඳුවූ මාර්ග දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ, ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ ඇත්තේදෝ’යි. (සලකයි).

හෙතෙම මෙසේ දනියි. ‘මම යම්බඳු මාර්ග සම්‍යක් දෘෂ්ටියකින් යුක්තවූයෙම්ද, එබඳු දෘෂ්ටියකින් යුක්තවූ, මේ ශාසනයෙන් පිටත්වූ අන්‍යවූ, ශ්‍රමණයෙක් හෝ, බමුණෙක් හෝ නැත.’ ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ මේ තුන්වන ඥානය ලබන ලද්දේ වෙයි.

§.11, “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනාකරයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්තවූයේ මමද එබඳු ස්වභාවයෙන් යුක්තවෙමි’ (කියායි).

.මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා ෙබඳු ස්වභාවයෙන් යුක්තවූයේද? මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බඳු ඇවතකින් නැගීසිටීම පෙනේද, යම් හෙයකින් එබඳු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ, නුවණැත්තාවූ, සබ්‍රම් සරුන් වෙත හෝ දෙසනා කරයි. එලිකරයි. ප්‍රකට කරයි. දෙසා, එලිකොට, ප්‍රකට කොට මත්තෙහි සංවරයට පැමිණෙයි.

මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ, ලදරු කුමාරයෙක් අතින් හෝ පයින් හෝ ගිනි අඟුරක් මිරිකා වහාම අතපය හකුළුවාද, මහණෙනි, එපරිද්දෙන්ම, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. යම්බඳු ඇවතකින් නැගීසිටීම පෙනේද, යම් හෙයකින් එබඳු ඇවතකට පැමිණියහොත් එය වහාම ශාස්තෲන් වහන්සේ වෙත හෝ නුවණැත්තාවූ, සබ්‍රහ්මචාරීන් වෙත හෝ දෙසනා කරයි. එලි කරයි. ප්‍රකට කරයි. දෙශනාකර, එලිකර, ප්‍රකට කොට මත්තෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම ‘මෙසේ දනියි. මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම යම්බඳු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබඳු ස්වභාවයෙන් යුක්තවෙමි.’ (කියාය) ඔහු විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තරවූ, පෘථග් ජනයන් හා සාධාරණ නොවූ සතරවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

§..12 . “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්ත වේද, මමද එබඳු ස්වභාවයකින් යුක්ත වෙමි.’
“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම කෙබඳු ස්වභාවයකින් යුක්ත වේද?

මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි, අන්‍යයන් උදෙසා කළ යුතු එනම් සිය  සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද, විමසා බලා කළයුතු කටයුතු වෙත් නම්, ඒ කටයුතු සම්පාදනයෙහි යෙදුනද  තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය ගැන නිබඳව  උත්සාහවත් වූයේ වෙයි. ඉක්බිති අධිශීල ශික්ෂාවෙහිද, අධිචිත්ත ශික්ෂාවෙහිද, අධිප්‍රඥා ශික්ෂාවෙහිද, බලවත් ප්‍රාර්ථනා ඇත්තේවෙයි.

Image result for cow and calf

මහණෙනි, ළපටි වස්සකු ඇති කිරි වැස්සිය තමන් තන පිටියේ තන බුදින්නේ වුවද , සිය වසු පැටියා ගැන මනා කල්පනාවෙන් අවධානයෙන් ඉඳිමින් ම තන බුදියි. මහණෙනි, එපරිද්දෙන්ම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ මේ ස්වභාවයයි, කිසිසේත් සබ්‍රම්සරුන්ගේ කුඩාවූද, මහත්වූද විමසා බලා කළයුතු කටයුතු වෙද්ද එහි උත්සාහ ඇති බවට පැමිණියේ වෙයි. යලිත් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥාවෙහිද බලවත් ප්‍රාර්ථනා ඇත්තේ වෙයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ගදෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු ස්වභාවයකින් යුක්තවේද, මමද එබඳු ස්වභාවයකින් යුක්තවෙමි.’ (කියායි) ඔහුවිසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තර වූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ පස්වෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

§..13“මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයා යම්බඳුස්වභාවයකින්   යුක්තවූයේද, මමද, එබඳුවූ ස්වභාවයෙන්  යුක්තවෙමි.
මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා කෙබඳු බලයකින් යුක්තද?
තථාගතයන් වහන්සේ විසින් වදාළවූ ධර්ම විනය දෙක දෙසනා කරනු ලබන කල්හි ඉන් ප්‍රයෝජනය ගනු කැමතිව, මෙනෙහි කොට, මුලු සිතින් දරාගනිමින්, හොඳට කන්යොමා ධර්මය අසයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ගදෘෂ්ටියෙන් යුත් පුද්ගලයා කෙබඳු
 බලයකින් යුක්තවේද, මමද එබඳු බලයකින් යුක්තවෙමි’යි. ඔහු විසින් ආර්‍ය්‍යවූ ලොකොත්තරවූ පෘථග්ජනයන් හා සාධාරණ නොවූ සයවෙනි ඤාණය ලබන ලද්දේ වෙයි.

§..14. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා යම් බඳු බලයකින් යුක්ත වේද මමද එබඳු බලයකින් යුක්තවෙමි.’ (කියාය) මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා කෙබඳු බලයකින් යුක්තවූයේද? මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවය මෙසේ වෙයි. තථාගතයන් වහන්සේ විසින් වදාළවූ ධර්ම විනය දෙසනා කරනු ලබන කල්හි, අර්ථයෙන් සතුට ලබයි. ධර්මයෙන් සතුට ලබයි. අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ සතුට ලබයි. හෙතෙම මෙසේ දනියි. ‘මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම යම්බඳු බලයකින් යුක්ත වූයේද, මමද, එබඳු බලයකින් යුක්තවූයේ වෙමි’ ඔහු විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තරවූ, පෘථග්ජනයන් හා සාධාරණ නොවූ, මේ සත්වන ඥානය ලබන ලද්දේ වෙයි.

§..15 “මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ස්වභාවය මනාව සොයන ලද්දේවෙයි. මහණෙනි, මෙසේ අංග සතකින් යුක්තවූ, ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම, සෝවාන්ඵලයෙන් යුක්ත වූයේ වේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.


අටවෙනිවූ කොසම්බීය සූත්‍රය නිමි. (5-8)

majjima-nikaya-2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.