SN 01- 04- I. මාර සංයුත්තය-පළමු (ආයු) වග්ගය

SN 01-04 – I. 

1. තපොකම්ම සූත්රය
2. නාග සූත්රය
3. සුභ සූත්රූය
4. ( පළමුවන ) පාස සූත්රළය
5. ( දෙවෙනි ) පාස සූත්රෙය
6. සප්ප සූත්රතය
7. සුප්පති සූත්ර ය
8. නන්දපන සූත්රරය
9. ( පළමුවන ) ආයු සූත්රළය
10. ( දෙවෙනි ) ආයු සූත්රළය

 

SN 1-04-01-01. තපොකම්ම සූත්‍රය

 

Dushkara

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි (බුදුවූ අළුතම) උරුවේලා ජනපදයෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපාල නුගරුක මුල වෙසෙන සේක. හුදකලාව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්නට ගතකල සය අවුරුදු දුෂ්කර ක්‍රියා සිහි කොට ප්‍රීතියෙන්

’’මම් ඒසා දැඩිවූ දුෂ්කර ක්‍රියායෙන් මිදුනෙම් වෙමි.
ඒ ප්‍රයෝජනවත් අවැඩ පිණිසවූ ( අවැඩ ඇසුරු කළ ) දුෂ්කරක්‍රියායෙන්
ඒකාන්තයෙන් මනාව මිදුනෙම් වෙමි.
ස්ථිරව එළඹ සිටි සිහි ඇතිව සත්‍යාවබෝධය ලදිමි.’’

යි මෙසේ සිතක් පහළ විය.
එකල පවිටුවූ මාරයා භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ගාථායෙන් මෙසේ කීය:

’යම් තපසෙකින් සත්වයෝ පිරිසිදු වෙත්ද,
එසේවූ වැඩ ඇති ඒ දුෂ්කර තපසින් ඉවත්ව,
ඔබ දැන් අශුධවම හිඳ, ’ශුද්‍ධයෙමි’ යි සිතන්නේහිය.
පිරිසිදුවන්නට ඇති මග වරදවා ගත්තෙහිය.’’

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු වසවත් මරු යයි දැන ඔහුට ගාථාවලින් මෙසේ වදාළසේක.

’’යම් තපසක් පිණිස ශරීරයට දුක් දීමක් වෙයිද ,
එවන් තපස අප්‍රයෝජනය පිණිසම, අවැඩම පිණිස පවතී .

වනයෙහි රිටි පලුපත් අසුලා ගෙන
හබල් සුක්කානම් ලෙස සලකා ගෙන
නැවක් පදවන්නට තැත් කිරීමක් මෙන්
සියලු අනර්‍ථය ගෙන දෙන්නේයයි දැන,
’’ ශීල – සමාධි – පුඥා යන මාර්‍ගය සත්‍යාවබෝධය
පිණිස වඩා පරම ශුද්‍ධිය ( රහත් බව ) අත්පත් කෙළෙමි.
මරුව, තෝ පැරදුනෙහිය.’’

එවිට පාපී මාරයා , ’භාග්‍යවත්තෙම මා දනී, සුගතතෙමේ මා හඳුනයි” සිතා ශෝකීව දොම්නස්ව එහිම අතුරුදහන් විය.’

SN 01-04- 2. නාග සූත්‍රය


tusker

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගං ඉවුරෙහි අජපල් නුගරුක් මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දිනෙක රෑ ගනඳුරෙහි එළිමහනෙක හුන්සේක. වැහි පොද ද එක දෙක වැටෙයි.

එකල පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ට බිය, වෙවුලුම් හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහ ඇත් රජෙක්හුගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. ඔහුගේ හිස මහ කළුගලක් වැන්න: ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬ මහ නගුල් හිසක් වැන්න.

එවිට භාග්‍යවතුන් වහන්සේ ’ මේ පාපී මරුය ’ යි දැන ඔහුට මෙසේ ගාථායෙන් වදාළසේක:
’’ දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන ( තෝ ) මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩක් නැත. මාරය, තෝ පැරදුණෙහිය.’’

එවිට පාපී මාර තෙමේ ’භගවත් තෙම මා දනී. සුගතතෙම මා දනී’ යි සිතා දුකට දොම්නසට පත්ව එහිම අතුරුදහන් විය.


SN 01-04- 3. සුභ සූත්‍රය

maara

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කාලයෙහි උරුවෙල් දනව්හි අජපල් නුගරුක මුල වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ දැඩි ගනඳුරු රැයෙහි එළිමහනෙක හුන්සේක් වේ. වැහි පොද ද එක දෙක වැටෙයි.

එකල පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේට බිය, වෙවුලුම හා ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි කුදු මහත් නොයෙක් ආකාර පියකරු බියකරු වෙස් විලස් දැක්වීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයාය ’ යි දැන පාපී මාරයාට මෙසේ ගාථායෙන් වදාළසේක:
’’දික් කලක්ම ප්‍රියවූත් අප්‍රියවූත් වෙස් ගෙන තෝ මා වෙත නැවත නැවත එන්නෙහිය. එයින් පව්කාරය, තට වැඩෙක් නැත තෝ ( පැරදුණෙහි )ය.’’
’’යම් කෙනෙක් කයින්, වචනයෙන්, සිතින් මනාව හික්මුනාද
මරුව, ඔවුහු තා යටතට නොඑන්නාහ.
මරුව, ඔහු තගේ බැම්මට අසු නොවන්නාහ.
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ තමා දනිතැයි, සුගතයෝ තමා හඳුනතැයි සිතා දුක් දොම්නස් වූයේ එහිම අතුරුදහන් විය.

SN 01-04- 4. ( පළමුවන ) පාස සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර අසල ඉසිපතන නම්වූ මුව  වනයෙහි වසනසේක. එහිදී භාග්‍යවත්හු ’’ මහණනි’’ යි භික්‍ෂූන්ට කථාකළසේක.
’’ස්වාමීන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:

මය්හං ඛො, භික්ඛවෙ,  භික්ෂුනි, මම
යොනිසො මනසිකාරා,  නුවනින් මෙනෙහි කිරීමෙන්
යොනිසො සම්මප්පධානා,  වීර්යය යොදා සතිමත් වීමෙන්,
අනුත්තරා විමුත්ති අනුප්පත්තා,  උතුම්ම 
  ඵලය  වන විමුක්තිය ලදිමි.
අනුත්තරා විමුත්ති සච්ඡිකතා.  උතුම් විමුක්තිය සාක්ෂාත් කලෙමි.

තෙපිද මහණනි, නුවණින් මෙනෙහි කිරීමෙන්, නුවණින් ප්‍රධාන වීර්‍ය්‍ය වැඩීමෙන් පරම ( රහත්ඵල ) මිදුම ලබවු, පරම මිදුම ප්‍රත්‍යක්ෂ කර ගනිවු.”

එවිටම  මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

’’මහණ තෝ කෙලෙස් මල පුඩුයෙන් බැඳුනෙහිය.
යම් දෙව්සැපයක්  මිනිස් ලොව  කම්සැපයක්  වෙත්ද,
ඒ මාර බැම්මෙන් (කෙලෙස් බැම්මෙන්) බැඳුණෙහිය.
මහණ, මගෙන් තොපට ගැලවුමක් නම් නැත.’’

’’ මාරය, මම් කෙලෙස් මලපුඩුයෙන් මිදුනෙමි.
යම් දෙව්සැපයක්  මිනිස් ලොව  කම්සැපයක්  වෙත්ද,
ඒ හැම මලපුඩුයෙන්ම මිදුනෙමි.
මාරය තෝ නැසුණෙහිය.
’’

එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ තමා හඳුනතැයි, දනිතැයි, දැන,  කනස්සල්ලට  පත්ව එහිම අතුරුදහන් විය.

SN 01-04-5. ( දෙවෙනි ) පාස සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’ මහණනි’’ භික්‍ෂූන්ට කථාකළසේක.
’පින්වතුන් වහන්සැ’’ යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
’’ මහණෙනි, යම් දෙව්සැපයක්  මිනිස් ලොව  කම්සැපයක්  ද යන යම් මලපුඩු ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, ඒ යම් දෙව්සැප  මිනිස් ලොව  කම්සැප   යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුන්නවුන් වන්නාහුය. 
 

එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු.

මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්‍ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්‍රහ්මර්‍ච්‍යාව ) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.’’
එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’ මහණ, දෙව්සැපද, මිනිස්සැපද, යන මේ මලපුඩු ඇද්ද, ඒ  සියල්ලෙන් ඔබ බඳනා ලද්දෙමි. මහ කෙලෙස් බැම්මෙන්ම ඔබ බඳනා ලදුයෙහි. ඔබ නොමිදෙන්නෙහිය’’ යි කීය.
දෙව්සැපද, මිනිස්සැපද යන මලපුඩුයෙන් මම් මිදී ගතිමි. මහ කෙලෙස් බැම්මෙන් මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.’’ යි වදාළසේක.
එවිට පාපී මාරයා ’භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්හ, සුගතයෝ මා හැඳිනගත්හ’ යි දැන දුක්ව දොම්නස්ව අතුරුදන්විය.

SN 01-04- 6. සප්ප සූත්‍රය
142

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ එක් මහත් අන්‍ධකාරය ඇති රැයෙක එළිමහණෙහි හුන්සේක. වැහි පොදද එක දෙක වැටෙයි.
එකල පාපීවූ මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය, තැතිගැනුම්, ලොමුඩැහැගැනුම් ඇතිනරනු කැමැත්තෙන් මහත් නා රජකුගේ වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය.
තනි රුකෙකින්ම කළ මහ ඔරුවක් යම්සේද, ඔහුගේ කඳ එසේම විය. සුරා සාදන්නෙක්ගේ පිටෙහි අතුරන කලාලය යම් තරම්ද ඔහුගේ පෙණයද එතරම්ම වේ. කොසොල් රජු ආහාර ගන්නා රන් තලිය යම් පමණද,
ඔහුගේ ඇස්ද එපමණම වේ. අහස ගුගුරන කල්හි නික්මෙන විදුලිය යම්සේද එසේම ඔහුගේ දිව මුවතුලින් නික්මෙයි. කඹුරුසම ( මයිනහම ) සුළඟින් පිරෙන කල ඇතිවන හඬ යම් බඳුද, ඔහු හුස්ම ගන්නා පිටකරනා හඬද එබඳුම වේ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ’ මේ පාපී මාරයායැ’ යි දැන ඔහුට මෙසේ ගාථාවෙන් වදාළසේක.
’’යමෙක් හිඳීමාදිය පිණිස මිනිසුනිගෙන් හිස්වූ ගෙවල් සෙව්නේද, ඒ තමා සංවරවූ මුනිතෙම ඔහු ඔහුගේ ආත්මභාවයෙහි ඇල්ම දුරුකොට හැසිරෙන්නේය. එබඳුවූ මුනිරජුන්ට මේ ආත්මයෙහි භයානක සත්තුද, අරමුණුද බොහෝය. තවත් ඇටමැස්සෝද, සර්‍පයෝද බොහෝය. එහෙත් හිස් ගෙට වන් ඒ මුනි උතුමා ඒ හේතුකොට ගෙන ලොම් ගසක් පමණකුදු නොසෙලෙන්නේය.’’
’’ අහස පුපුරතත්, පොළොව සෙලවෙතත්, සියලුම සතුන් තැති ගනිතත්, තියුණු යකඩ උලක් පපුවෙහි ගසතත්, බුදුවරු පඤචස්කන්‍ධයන්හි රැක්මක් නොකෙරෙත්.’’
ඉක්බිති ඒ පාපී මාරයා, ’’භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගක්හ’’ යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

SN 01-04- 7. සුප්පති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දප නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ දවසෙක රෑ බොහෝ වේලාවක්ම සක්මන්කොට රෑ ඉතා අලුයම්හි පා සෝදා විහාරයට ඇතුල්වී, දකුණු පය මත වම් පය මඳක් ඉක්මවා තබා, සිහිනුවණ ඇතිව, ’අසුවල් වේලෙහි නැගී සිටුම්හ’ යි අදහස සිත්හි කොට, දකුණු ඇලයෙන් උත්‍රම් සැතපුම ( සිංහශය්‍යාව) කළසේක.
එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
’’ කිමෙක්ද, නිදන්නෙහිද? කුමට නිදන්නෙහිද? මළ එකකු සෙයින් මේ කුමට සැතපෙන්නෙහිද? ’මට හිස් ගෙයක් ලැබිණැ ’ යි සිතා සැතපෙන්නෙහිද? මේ හිරු නැගි කල්හි කවර හෙයින් නිදන්නෙහිද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ’’ දැලක් බඳුවූ ඒ ඒ රූපාදීවූ අරමුණෙහි ඇලෙන
තෘෂ්ණාව කිසි අරමුණකට ( තමා ) පමුණුවන්නට ( හැකිසේ ) යමකු තුළ නැද්ද, එසේවූ බුදුවරතෙම සියලු උපධි නසා ලීමෙන් (සුවපත්ව ) සැතපෙන්නේය. මරුව මෙහි ලා තට කවර වැඩෙක්ද?’’
පාපී මාරයා එය අසා, ’ භගවත්හු මා හැඳිනගත්හ, සුගතයෝ මා දැනගත්හයි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

SN 01-04- 8. නන්‍දන සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’දරුවන් ඇති තැනැත්තේ දරුවන් කරණකොට සතුටුවේ. එසෙයින්ම ගවයින් ඇති තැනැත්තේ ගවයින් කරණකොට සතුටුවේ. උපධිහු ( පස්කම් ගුණයෝ ) වනාහි සත්‍වයන්ට සතුටට කරුණුයහ. යමෙක් උපධි ( පස්කම් ගුණයන් ) නැතියේනම්, හේ සතුටක් නොම ලබයි.’’
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ’’දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝකකෙරේ. එසේම ගවයින් ඇත්තේද ගවයින් කරණකොට ශෝකකෙරේ. උපධීහු ( කාමවස්තූහු ) වනාහි සත්‍වයන්හට ශෝකයට කරුණුයහ. යමෙක් උපධි ( පස්කම් ) නැතියේනම් ඔහු ශෝක නොකෙරේ
ඉක්බිති පාපී මාරයා ’භාග්‍යවත්හු මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ’ යි සිතා එහිම අතුරුදන්විය.

SN 01-04- 9. ( පළමුවන ) ආයු සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ’’ මහණෙනි’’ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ’ පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ ( ඔවුන්ට ) මෙසේ වදාළසේක. ’’මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳ එකෙක. පරලොව යා යුතුය, ( එබැවින් ) කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහුට නොමැරී සිටීමෙක් නම් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු සියක් අවුරුද්දක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.’’
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.
’’මිනිසුන්ගේ ආයුෂ දිගය. නුවණැති මිනිසා එය හෙළා නොදක්නේය. කිරිබීම් පමණක් ඇති ළදරුවෙකු මෙන් හැසිරෙන්නේය. මරණය ළංවී ඊමෙක් නැත.
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )’’ මිනිසුන්ගේ ආයු මඳය. නුවණැති පුරුෂයා එය හෙළා දක්නේය. ඉස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේය. මරණය නොඊමෙක් නැත.’’
එවිට පාපී මාරයා, ’ භාග්‍යවතුන් වහන්සේ මා දැනගත්හ, සුගතයෝ මා දැනගත්හ,යි සිතා දුක් දොම්නස් වැද එහිම අතුරුදන් විය.

SN 01-04- 10. ( දෙවෙනි ) ආයු සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්‍දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ’’ මහණෙනි’’ කියා භික්‍ෂූන්ට කථාකළසේක. ’ පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ’’මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ මඳය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී ඉඳුමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම්, ඔහු හවුරුදු සියයක් හෝ එයට මඳක් වැඩියෙන් හෝ ජීවත්වෙයි.’’
එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය:
’’රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුද්‍ධ නොවේ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකඳ අනුව යන නිම්වළල්ල මෙනි.’’
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ’’රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුද්‍ධ වේ. මිනිසුන්ගේ ආයුෂ ගෙවේ. කුඩා ඇල දොළවල දිය මෙනි.’’
එවිට පාපී මාරයා ’බුදුහු මා හඳුනති. සුගතයෝ මා දනිතැ’ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන්විය.
පලමු වග නිමියේය.


SN 01 -04 -02. දෙවෙනි ( රජ්ජ ) වර්ගය 

1. පාසාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක.
එකල  භාග්‍යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙහි එළිමහනෙහි වැඩහුන්සේක.
වැසි පොදද එක දෙක වැටේ.

එකල පාපී මාරයා භාග්‍යවතුන්ට බිය හා වෙවුලුම හා ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ  වැඩ හුන් තැනට  පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයා’ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

’’ඉදින් මේ සියලුම ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු
මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.’

එවිට පාපී මාරතෙම ’භාග්‍යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

2. සීහ සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.
එකල පාපී මාරයාහට ’’ මේ ගෞතම ශ්‍රමණ තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ’’ යි මේ සිත විය.
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’ කිම? පිරිසෙහි සිංහ රජෙකු නිර්භයව නාද කෙරෙහිද? දනුව, තට සමවූ සතුරෙක් ඇත. ’දිනූයෙකිමි’ යි සිතන්නෙහිද?’’
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ’’ලොව ඇල්ම ඇතිකරන තණ්හාව ඉක්මවාලූ, බල ( දසය ) ලැබූ මහා වීරවූ, තථාගතවරු පිරිස්හි නොබියව නාද කෙරෙත්මය. ( ඉන් තට කිම? )’’
එවිට පාපී මාරතෙම ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

3. සකලික සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා ( දකුණු ) පය මත ( වම් ) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.
එවේලෙහි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළයුතු ( අන් ) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද? කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?’’
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) මුළායෙකින් නොමනිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්‍ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.
’’යම් කෙනෙකුන්ගේ පපුවෙහි ( කෙලෙස් ) හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ ( කෙලෙස් ) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?
’’මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හු මා නොතවත්. ලොව කිසිම තැනෙක ( මට ) පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය

4. පතිරූප සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට ඒකසාල නම් බමුණු ගමෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසති.
එකල්හි පාපී මාරයාට මේ සිත පහළ විය. ’’මේ ශ්‍රමණ ගෞතමයා මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. නුවණැස කණ කරනු පිණිස ශ්‍රමණ ගෞතමයා යම් තැනෙකද, එතැනට පැමිණීම යහපති.’’
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’ අන්හට අනුශාසනා කෙරුම යුෂ්මත්හට නොවටී. එය කෙරෙමින් රිසිබැව් නොරිසිබැව් දෙක්හි නොඇලෙව.
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )’’ බුදුවරයෙක් ලොවට හිත කැමතියේ, දයා පතුරුවනුයේ අන්හට අනුශාසන කෙරේද, තථාගතවූ හෙතෙම රිසි-නොරිසි දෙකින්ම මිදුනෙක.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

5. මානස සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
’’ අහසින් යන්නවුන් පවා බැඳගන්නා, සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද, එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ, තෝ මගෙන් නොමිදෙන්නෙහිය.’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ’’ ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස හා කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද, එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

6. පත්ත සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්‍දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්
එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය. ’’ශ්‍රමණ ගෞකම තෙම උපාදානස්කන්‍ධ පස ගැන භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්‍දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්‍ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණකරලන්නට ශ්‍රමණ ගෞතම තෙම කරා ගියොත් යෙහෙක.’’
එකල බොහෝ පාත්‍රා ( වේලනු පිණිස ) එළිමහණෙහි තබන ලද්දෝය.
එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.
එවිට එක්තරා භික්‍ෂුවක් අන් භික්‍ෂුවකට ’’මහණ, මහණ, අර ගොනා පාත්‍රය බිඳී’’ යි කීය.
ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට ’’භික්‍ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය. තොප නූවනැස් කණ කරන්නට ආයේය.’’ යි වදාළසේක.
ඉක්බිති ’මේ පාපී මාරයා’ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
’’ රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ මේ පඤචකන්‍ධය ’’මම් නොවෙමි’’ ’මෙය මාගේ නොවේයැ’ යි නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.
’’මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති, සියලු භව බැඳුම් ( සංයෝජන ) ඉක්මවා සිටි ඒ රහත්හු මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

7. ආයතන සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.
එකල පාපී මාරයාට මේ සිත විය. ’’ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.’’
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.
එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට ’’මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය’’ යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට ’’මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ. මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය’’ යි වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයාය’ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:
’’රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද, සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය
ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.’’
’’බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකතෙම මේ ( ආයතන සයද ) ඉක්මවා, මාරයාට ස්ථානයවූ මේ ( තුන් භවයද ) පසුකොටලා, සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය

8. පිණ්ඩ සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.
එකල වනාහි පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. ( තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ. )
එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.
එකල පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් පාපී මාරයා ’ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා’ යි සිතා ආවේශ විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.
ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ’’මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
’’පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?’’
ස්වාමීණි , එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.’’
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ’’මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත. පවිට, තෝ ’මට පව් පල නොදෙතැ’ යි සිතහිද? එසේ නොසිතව.
’’බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද, ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ. ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙම්‍ර,’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

9. කස්සන සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.
එවිට පාපී මාරයාට මේ අදහස විය. ’’ මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්. ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.’’
පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, විසිරගිය කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය.
පැමිණ, ’’මහණ, මා ගොනුන් දුටුයෙහිදැ’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
’’පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?’’
’’මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
’’පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
’’පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
’’පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
’’ පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.
( එවිට මාරයා මෙසේ කීය: ) ’’යමෙකුට ’මෙය මගේය’ යි කියත්ද, යම් කෙනෙක්, ’මෙය මගේය’
යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.’’
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ යමෙක් ’මෙය මගේය’ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ’මෙය මගේය’ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

10. රජ්ජ සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.
එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. ’’ අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?’’
පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා ’’
එවිට භාග්‍යවතුන් වහන්සේ ’’ පාපිය, ’නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ? ’’ යි කීහ.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ’හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.’’ යි ( මාරයා කීය. )
( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා
එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.
’’යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ’පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.’’
එවිට පාපී මාරයා ’බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති’ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.

03. තුන්වෙනි වර්‍ගය

1. සම්බහුල සූත්‍රය
2. සමිද්ධි සූත්‍රය
3. ගෝධික සූත්‍රය
4. සත්තවස්ස සූත්‍රය
5. මාරධීතු ( නොහොත් ධීතරො ) සූත්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.