MN 02-01-02-අට්ඨක නාගර සූත්‍රය

IMG_2479


§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි බේලුව නම් ගම වැඩ වාසය කරති.

§ 2. එකල්හි අට්ඨකනම් නුවර වැසි, දසම නම් ගෘහපතියෙක් කිසියම් කටයුත්තක් සඳහා පැලළුප් නුවරට පැමිණියේය. ඉක්බිති ගෘහපතිතෙම කුක්කුටාරාමය (කුක්කුට නම් සිටුහු විසින් කරවන ලද හෙයින් එනම්වූ ආරාමය) ට ගොස් එහි  උන්නාවූ භික්ෂුන්ගෙන්  ආනන්ද ස්වාමින් ඉන්න තැන අසාගෙන  පැලළුප් නුවර තම  කටයුත්ත නිමවා විශාලාමහනුවර බෙලුව නම් ගමට ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම දසම නම් අට්ඨක නගරවැසි ගෘහපතිතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.

§ 3. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස,
යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ  

  • කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූ සිත ඒ කෙලෙසුන්ගෙන්හෝ මිදීමට 
  • නැති නොවූ කෙලෙස් හෝ නැති කිරීමට,
  • තවමත් ලඟා නොවුනාවූ නිර්වාන ධර්මයට පැමිණීමට 

 හේතු වන්නාවූ එකම ධර්මයක් සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකර ඇත්තේද?”

[ කෙටියෙන් කීවොත් අරහත් ඵලය සාක්ෂාත් කරගන්නට හේතුවන එකම ධර්මයක් (පරියායක්) ඇත්දැයි යන ප්‍රශ්නය යි.]

 “එසේය ගෘහපතිය,  ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව, වාසය කරන්නාවූ භික්ෂුවගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූ සිත කෙලෙසුන් ගෙන් මිදීමට , නැති නොවූ කෙලෙස් නැතිවීමට, නොපැමිණියාවූ නිරුත්තරවූ නිවණට පැමිනීමට, හේතුවන එබඳු ධර්මයක්, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ  භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරන ලද්දේ වෙයි.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, ඒ එක් ධර්මය නම් කවරේද?”

§ 4.“ගෘහපතිය,
යම් ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, හෙතෙම මෙසේ සලකයි.
“මේ (පළමුවන) ධ්‍යානය  හේතුවෙන් උපදවන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක්  හේතුවක්   නිසා  උපදින  ලද්දේද, සිතින් උපදන ලද්දේද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තේ ය”යි දැනගනියි. හෙතෙම  සමථ පුර්වාන්ගම විදර්ශනා වෙහි යෙදුනේ  කෙලෙස් නැසීමට සමත් වේ.

[ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයා ඉන් නික්ම තමන් ලත් එම ධ්‍යානයේ අනිත්‍ය ස්වභාවයද, අනිත්‍ය, අනාත්ම ස්වභාවය විදර්ශනාවට පාදක කර ගනී. එයින් ත්‍රි ලක්ෂණය වඩාගන්නට හැකි වේ.]

සියළු කෙලෙස් නැසීමට නොහැකි වීයේ නම් ඒ සන්සිදුනු මනෝ භාවයේ ඇල්මෙන්ම (චන්ද රාගය) ඒ ධර්මය නිසා ඇතිවූ සතුටින්ම (ධම්ම නන්දිය) ද පස්වැදෑරුම්වූ ඔරම්භාගියවූ සංයෝජන නැසීමෙන් යම් ශුද්ධාවාසයක පහල වී එහි මැ පිරිනිවෙන සුළුවූයේ ඒ ලෝකයට  පෙරලා නොඑන අනාගාමී ස්වභාවයට පත්වේ. (එහිදීම් හේ සියළු සංයෝජන නසා අරහත්වය සාක්ෂාත් කරයි) . ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරිනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද නැති නොවූ කෙලෙස් නැතිවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම්වූ නිවණට පැමිණේද එබඳුවූ මේ එක් ධර්මයක්  සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ රහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලදී.

§ 5. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇත්තාවූ හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම මෙසේ සලකයි. මේ දෙවන ධ්‍යානයද වනාහි ප්‍රත්‍යයෙන් කරන ලද්දක්ය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි ප්‍රත්‍යයෙන් කරන ලදද සිතින් උපදවන ලදද, එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙස් නැසීමට නොපැමිණේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයෝජනයත් නැසීමෙන් එහි පිරිනිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවගේ නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යෙත්ද, නොපැමිණියාවූ නිවණට පැමිණේද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේද එක් ධර්මයකි.

§ 6. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියෙහිද නො ඇල්මෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ තුන්වන ධ්‍යානයද ප්‍රත්‍යයෙන් කරන ලද්දේය. සිතින් උපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි ප්‍රත්‍යයෙන් කරන ලද්දේද, සිතින් උපදවන ලද්දේද, එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂූහුගේ නොමිදුනාවූම සිතත් කෙලෙසුන් ගෙන් මිදේද නැති නොවූ කෙලෙසුන් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද නුවණින් දන්නාවූ නුවණැසින් දක්නාවූ අරහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එක ධර්මයද වෙයි.

§ 7. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපද දුරුකිරීමෙන් දුකද දුරු කිරීමෙන් පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිත පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ සතරවන ධ්‍යානයද රැස්කරන ලද්දක්ය. සිතින් කල්පනා කරන ලද්දක්ය. යම් කිසිවක් වනාහී රැස්කරන ලදද කල්පනා කරනලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන්නේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූ සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවේද , නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 8. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතර වන දිසාවද මෙසේ උඩ යට සරස යන සියළු තන්හි සියල්ලෙහි පැතිරීමෙන් යුත් සියල්ල ඇති ලොකය විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූම මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ මෛත්‍රී සහගත සමාධිය හේතුවෙන් උපදවන ලද්දීය. සිතින් උපදවන ලද්දීය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද, එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයෝජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 9. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙහි පැතිර පැවති සියල්ල ඇති ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ කරුණා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යමක් හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය, නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනී. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්, ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයෝජනයන් නැතිවීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 10. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද එසේම තුන්වනදිශාවද එසේම සතරවනදිශාවද මෙසේ උඩයට සරස යන සියලු තන්හි සියල්ලෙහි පැතිර පැවති සියල්ල ඇති ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි, හෙතෙම මෙසේ සලකයි. මේ මුදිතා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යමක් හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද, එය අනිත්‍යය, නැතිවන ස්වභාව ඇත්තක්යයි දැනගනී. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 11. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියල්ලෙහි සියළු තැන පතලාවූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි, මේ උපෙක්ෂා සහගත සමාධියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තේයයි දැනගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහි වූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහි වූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඕරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 12. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්ම වීමෙන් ද්වාරඅරමුණු වශයෙන් හැපීම් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසනඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද, හෙතෙම මෙසේ සිතයි මේ ආකාසනඤ්චායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය. සිතින් උපදවන ලද්දේය. යම් කිසිවක් වනාහී හේතුවෙන් උපදවන ලදද, සිතින් උපදවන ලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක් යයි දැනගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂූහුගේ කෙලෙසුන් කෙරෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන් ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැතිවීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 13. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියළු ආකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයිද හෙතෙම මෙසේ සලකයි. මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය සිතින් උපදවන ලද්දේය යම් කිසිවක් වනාහී හේතුවෙන් උපදවන ලදද සිතින් උපදවන ලදද එය අනිත්‍යය. නැතිවන ස්වභාව ඇත්තක් යයි දැන ගණියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙසුන් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස් වැදෑරුම් වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලොකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන් ගෙන් නොමිදුනාවූ සිතත් කෙලෙසුන්ගෙන් මිදේද, නැතිනොවූ කෙලෙස් නැති වීමට යද්ද, නොපැමිණියාවූ නිවණටත් පැමිණෙද්ද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද්දාවූ මේ එකක්වූ ධර්මයද වෙයි.

§ 14. “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සලකයි. මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියද හේතුවෙන් උපදවන ලද්දේය සිතින් උපදවන ලද්දේය. යම් කිසිවක් වනාහි හේතුවෙන් උපදවන ලදද සිතින් උපදවන ලදද, එය අනිත්‍යය නැතිවන ස්වභාව ඇත්තක්යයි දැන ගනියි. හෙතෙම ඒ ධර්මයෙහි සිටියේ කෙලෙස් නැසීමට පැමිණෙයි. ඉදින් කෙලෙසුන් නැසීමට නොපැමිණියේ නම් ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම, ඒ ධර්මයෙහිවූ සතුටින්ම පස්වැදෑරුම්වූ ඔරම්භාගිය සංයොජනයන් නැසීමෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතික වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව වීර්‍ය්‍යය ඇතිව හරනලද ආත්ම ආශා ඇතිව වාසය කරන්නාවූ භික්ෂුහුගේ කෙලෙසුන්ගෙන් නොමිදුනාවූම සිත කෙලෙසුන්ගෙන් මිදේද, නැති නොවූ කෙලෙස් නැති වීමට යත්ද, නොපැමිණියාවූ උතුම් නිවණටත් පැමිණේද සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ රහත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද එබඳුවූමේ එකක්වූ ධර්මයද වෙයි.”

§ 15. මෙසේ වදාළ කල්හි අට්ඨක  නුවර වැසි දසම ගෘහපති ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි ආනන්ද ස්ථවිරයන් වහන්ස, යම් පුරුෂයෙක් එක නිධානයක් සොයන්නේ එක වරම නිධාන එකොළොසක් ලබන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම මම එක නිවන් දොරටුවක් සොයන්නේ එකවරම නිවන් දොරටු එකොළොසක් ඇසීමට ලදිමි.
ස්වාමීනි, යම් පුරුෂයෙකුට දොරටු එකොළොසක් ඇති ගෙයක් වේද, හෙතෙම ඒ ගෙය ඇවිලගත් කල්හි ඒ එක එක දොරටුවකිනුත් තමා ගින්නෙන් නිදහස් වන්නට හැකිවන්නේද ස්වාමීනි, එපරිද්දෙන්ම මම  මේ එකොළොස් නිවන් දොරටු අතුරෙන් එක එක නිවන් දොරටුවකිනුත්  සුවපත් වැන්නට  හැකි වන්නෙමි.
ස්වාමීනි, මේ අන්‍යතීර්ථකයෝ නම් ආචාර්‍ය්‍යයාට (ගුරුවරයාට) ආචාර්‍ය්‍ය ධනය සොයන්නාහුය. කිමෙක්ද මම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පූජාවක් නොකරන්නෙම් දැ”යි කීයේය.

§ 16. ඉක්බිති අට්ඨක නුවර  දසම නම් ගෘහපති  පැළළුප් නුවර වසන්නවුද විශාලාමහනුවර වසන්නාවුද  භික්ෂු සංඝයා රැස් කරවා ප්‍රණීතවූ ආහාර භෝජන සියතින් වැළඳවීය. එක එක භික්ෂුවට එක එක වස්ත්‍ර යුග්මයෙන් (දෙක බැගින්) පිළිගැන්වීය.  ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුන් සිවුරෙන් පිදීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පන්සියයක්  කහවනු අගනා විහාරයක් කරවූයේය.

දෙවෙනිවූ අට්ඨකනාගර සූත්‍රය නිමි. (1-2)

SansaraVimukthiEllawala

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.