MN3.6-අරිය පරියේසන සුත්‍රය

6. සූත්‍රය
272
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වාසය කළහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු ආනන්දස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත්නි, ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්ට නොලැබී බොහෝ කල් ගතවිය. ඇවැත්නි, ආනන්දයෙනි, අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් ඇසීමට ලබන්නෙමුනම් ඉතායෙහෙක” (කියායි) “ආයුෂ්මතුනි, එසේවී නම් රම්මක නම් බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට පැමිණෙව්. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නහුය”යි කීය. “ඇවැත්නි, එසේය.” කියා ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දයෙනි, මිගාරමාතා ප්‍රාසාදනම්වූ පූර්වාරාම විහාරය යම් තැනෙක්හිද, දවල්කාලයේ වාසය සඳහා එහි යමු” යි (කීහ) ආනන්ද ස්ථවිරයන් වහන්සේ ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග මිගාර මාතා ප්‍රාසාද නම්වූ පූර්වාරාමය යම් තැනෙක්හිද එතැන්හි දවල් කාලයේ වාසය පිණිස වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකොට ආනන්දය, ඇඟසෝදා ගනු සඳහා නැගෙනහිර නාන කොටුවට යමු’යි කීහ. ‘එසේය ස්වාමීනි’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
273
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේද සමග නැගෙනහිර නාන කොටුවට වැඩියහ. වැඩ, ඇඟ සෝදා ගොඩනැඟී ඇඟදිය සිඳුවමින් එකම හඳනා සිවුරෙන් යුක්තව වැඩසිටියහ.
ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මේ රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සමීපයෙහි වේ. ස්වාමීනි, රම්මක නම් බමුණාගේ ආශ්‍රමය සිත් ගන්නේය. ස්වාමීනි, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය දුටුවන් පහදවන්නේය. ස්වාමීනි, රම්මක බමුණාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද අනුකම්පා කොට එහි වඩිනු මැනවි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. එකල්හි බොහෝ භික්ෂූහු රම්මක බමුණාගේ ආශ්‍රමයට වී දැහැමි කථාවෙන් යුක්තව උන්නාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කථාවේ අවසානය බලාපොරොත්තු වෙමින් දොරටුවෙන් පිටත වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා කෙළවර දැන කාරා දොර අගුල සමීපයට තට්ටු කළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර හැරියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමයට ඇතුල්ව පණවන ලද බුද්ධාසනයෙහි වැඩඋන්හ. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ. “මහණෙනි, තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව සිටියහුද? තොපගේ කිනම් අතුරු කථාවක් අඩාල වීද?” (කියාය) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේම අරභයා පැවති අපගේ දැහැමි කථාව අඩාල විය. එවිට, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක්ය”යි (කීහ) “මහණෙනි, මැනවි, තොපි දැහැමි කථාවෙන් යුක්තව හුන්නාහුය, යන මේ කාරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රවූ තොපට සුදුසු මැයි. මහණෙනි රැස්වූ තොප විසින් දැහැමි කථාවක් පැවැත්වීම හෝ ආර්යවූ තුෂ්ණිම්භාවය හෝ යන දෙකින් එකක් කටයුතුයි.”
274
“මහණෙනි, මේ සෙවීම් දෙකකි. ආර්යයන් විසින් කටයුතු සෙවීමය. අනාර්යයන් (පෘථග්ජනයන්) විසින් කටයුතු සෙවීමය යන මේ දෙකයි. මහණෙනි, අනාර්ය පර්යේෂණ (පෘථග්ජනයන් විසින් කටයුතු සෙවීම) යනු කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිය ස්වභාව කෙට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇතියක්ම සොයයි. ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි. තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇතියක්ම සොයයි. තෙමේ කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජාතිය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? මහණෙනි, අඹු දරුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. එළු-බැටළුවන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන් ඌරන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජාතිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජාතිය ස්වභාවකොට ඇත්තකි. මහණෙනි, මේ ජාතිය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි ගිලුනාවූ මුර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ජරාව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ජරාව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ජරාව ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ජරාව ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ජරාව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ජරාව ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ජරාව ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. දාසි දාසයන් ව්‍යාධිය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. කුකුළන්, ඌරන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ව්‍යාධි ස්වභාව කොට ඇත්තකි. මහණෙනි, ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්, මෙහි ගිලුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ මේ සත්ත්ව තෙමේ තමා ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි, කුමක් මරණය ස්වභාවකොට ඇත්තකැයි කියව්ද? අඹු දරුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් මරණය ස්වභාවකොට ඇත්තකි. එළු බැටළුවන් මරණය ස්වභාවකොට ඇත්තකි. කුකුළන්, ඌරන් මරණය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් මරණය ස්වභාවකොට ඇත්තකි. රන් රිදී මරණය ස්වභාව කොට ඇත්තකි. මහණෙනි මේ මරණය ස්වභාවකොට ඇති ධර්මයෝ උපධීහු නම් වෙත්. මෙහි වෙළුනාවූ මූර්ඡාවූ බැසගත්තාවූ සත්ත්වතෙම මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් ශොකය ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් ශොකය ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් ශොකය ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් ශොකය ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් ශොකය ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් ශොකය ස්වභාව කොට ඇත්තකි. රන් රිදී ශොකය ස්වභාව කොට ඇත්තකි. මේ ශොකය ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, සත්ව තෙමේ, ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාවකොට ඇත්තක්ම සොයයි.
“මහණෙනි කුමක් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකැයි කියව්ද? අඹුදරුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. දාසි දාසයන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. එළු-බැටළුවන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. කුකුළන් ඌරන් කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තකි. ඇත්, අස්, ගව, වෙළඹුන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. රන් රිදී කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තකි. මේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති ධර්මයෝ ‘උපධීහු නම්’ වෙත්. මෙහි ගැළුණාවූ මූර්ඡාවූ බැසගත්තාවූ, මේ සත්ව තෙමේ, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තක්ම සොයයි. මහණෙනි, මේ අනාර්ය (පෘථග්ජනයන්ගේ) සෙවීමයි.
275
“මහණෙනි, ආර්ය පර්යේෂණය (ආර්යයන්ගේ සෙවීම) කවරේද? මහණෙනි, ‘මේ ලොකයෙහි ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ඉපදීමක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ජරාවක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ව්‍යාධිය ස්වභාව කෙට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන, ව්‍යාධියක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ සොයයි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන මරණයක් නැති, නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ශොකයක් නැති, නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැන කෙලෙස් සහිත ස්වභාවයක් නැති. නිරුත්තරවූ, සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයයි. මහණෙනි, මේ ආර්යවූ සෙවීමයි.
276
“මහණෙනි, මමද බුදුවන්නට පෙර බුදුනොවූ බෝසත් වූයේම තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“තෙමේ කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තක්ම සෙවීමි.
“මහණෙනි, ඒ මට මෙබඳු කල්පනාවක් විය. කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කුමක් හෙයින් ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද? කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ම සොයන්නෙම්ද? යම් හෙයකින් ජාතිය ස්වභාව කොට ඇත්තාවූ මම ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ජරාව ස්වභාවකොට ඇත්තාවූ මම ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාවූ මම ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්. මරණය ස්වභාව කොට ඇත්තාවූ මම මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, ශොකය ස්වභාව කොට ඇත්තාවූ මම ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම්, කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති මම කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් සහිත ස්වභාවයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ සොයන්නෙම් නම් හොඳය. (යනුවෙනි.)
277
“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. මෙසේ පැවිදිවූ මම කුසල් කුමක් දැයි සොයමින් නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් කාලාම ගොත්‍ර ඇති ආළාර තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, කාලාම ගොත්‍ර ඇති ආළාර තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි කාලාමයෙනි, මම මේ සස්නෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමට කැමැත්තෙමි’යි (යනුයි) මහණෙනි, මෙසේ කී කල්හි කාලාම නම්වූ ආළාර තෙම මට මෙසේ කීයේය.” “යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා”යි (යනුවෙනි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය අසා ඉගෙන ගත්තෙමි. මහණෙනි, ඒ මම ඔහු කියූ දෙයට පිළිතුරු දීමට තොල් සෙලවූ පමණින් පිළිතුරු දුන් පමණින් දැනීම ස්ථිරයයි යන වචනයද කියමි. දනිමි, දකිමියිද කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ ප්‍රකාශ කරති. මහණෙනි, ඒ මට ආළාරකාලාම තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. ආළාරකාලාම තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැක වාසය කෙරේය යන අදහස පහළ විය. ඉක්බිති මහණෙනි, මම ආළාරකාලාමයන් වෙත ගොස් මෙසේ ඇසීමි. ‘ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් තෙමේ මේ ධර්මය දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය) මහණෙනි මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාම හට පමණක් වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. ආළාරකාලාම හට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත්තේය. ආළාරකාලාමයා යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂකොට දැන වාසය කරමියි කියයි නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂකොට දැනගන්නට වීර්ය කරන්නෙම් නම් හොඳය (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඒ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළෙමි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි, ගොස්, ආළාරකාලාමගෙන් ‘ඇවැත්නි, කාලාමයෙනි, මේ ධර්මය තමා ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය මා දැනගෙන ප්‍රකාශ කරන්නේ මෙපමණකින්ය’යි (හෙතෙම කීයේය) ‘ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් දැනගෙන වාසය කෙරෙමි’යි (කීයෙමි)
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දක්නෙමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මම යම් ධර්මයක් තෙමේම ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශකරන්නෙම්ද, ඒ ධර්මය ඔබද තෙමේම ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන වාසය කරන්නෙහි නම්, ඒ ධර්මය මමද ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ප්‍රකාශකරමි. මෙසේ මම යම් ධර්මයක් දනිම් නම් ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මමද ඒ ධර්මය දනිමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහය පාලනය කරමු’යි (කීයේය.) “මහණෙනි, මෙසේ මාගේ ආචාර්යවූම ආළාරකාලාම තෙම අතවැසිවූ මා සම සම තන්හි තැබීය. උසස් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. මේ ධර්මය තෙම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සලකා ඒ ධර්මයෙහි කලකිරීම ඉවත්ව ගියෙමි.
278
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයමින් උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත තාපසයාට මෙසේ කීයෙමි. “ඇවැත්නි, මම මේ ධර්මයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි’යි (කීයෙමි) “මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම මට මෙසේ කීයේය. ‘යම් තැනක නුවණැත්තාවූ පුරුෂයෙක් තෙම නොබෝ කලකින් ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමාම දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කරන්නේද මේ ධර්මය තෙම එබඳුය එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවායි (කියායි.)
“මහණෙනි, ඒ මම නොබෝ කලකින් වහාම ඔවුන්ගේ ධර්මය ඉගෙන ගත්තෙමි.
“මහණෙනි, ඒ මම ඔහුට උත්තර දීමට තොල් සෙලවූ පමණින් වචනයක් කියූ පමණින් දනිමි යන වචනයද දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි. දකිමියි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියතියි කියමි.
“මහණෙනි, ඒ මට මෙබඳු හිතක් විය. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින් තෙමේම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන වාසය කරමියි ප්‍රකාශ නොකරයි. උද්දකරාම පුත්තෙම ඒකාන්තයෙන් මේ ධර්මය දැන දැන වාසය කෙළේයයි (මට කල්පනා විය) ඉක්බිති මහණෙනි, මම උද්දකරාම පුත්ත යම් තැනකද එතැනට පැමිණියෙමි පැමිණ මෙසේ ඇසීමි.
“ඇවැත් රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තෙමේම ප්‍රත්‍යක්ෂ කොට ඊට එළඹ ප්‍රකාශ කෙරේදැ’යි (කියාය.) මහණෙනි, මෙසේ කී කල්හි උද්දකරාම පුත්ත තෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා කීයේය. මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. රාමහටම ශ්‍රද්ධා ඇත්තේ නොවෙයි. මට ද ශ්‍රද්ධා ඇත. රාමහටම වීර්ය ඇත්තේ නොවෙයි. මටද වීර්ය ඇත්තේය. රාම හටම සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත්තේය. රාමහටම ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත්තේය. රාම තෙමේ “යම් ධර්මයක් තමන්ම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කරමියි’ කියයි නම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වීර්ය කරන්නෙම් නම් යහපත්ය (කියාය)
“මහණෙනි, නොබෝ කලකින් වහාම ඒ ධර්මය මම ද ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. ‘මහණෙනි, ඉක්බිති මම උද්දකරාම පුත්ත තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් උද්දකරාම පුත්ත හට මෙසේ කීවෙමි. ‘ඇවැත් රාමයෙනි, මෙපමණකින් මේ ධර්මය තෙමේම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කරන්නේදැයි රාම පුත්තගෙන් ඇසීමි. ඇවැත්නි, මේ ධර්මය රාම තෙමේ මෙතෙකින් තෙමේද ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරේයයි (හෙතෙම කීයේය) ඇවැත්නි, මමත් මේ ධර්මය මෙපමණකින් තමාම ප්‍රත්‍යක්ෂව දැන ඊට පැමිණ වාසය කරමියි කීයෙමි.
“ඇවැත්නි, යම් ඒ අපි ආයුෂ්මතුන් වැනිවූ සමාන බඹසර ඇත්තෙකු දකිමුද ඒ අපට ලාභයෙකි. උතුම් ලාභයකි. මෙසේ යම් ධර්මයක් රාම තෙමේ තමාම ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේද ඒ ධර්මය ඔබද තමාම ප්‍රත්‍යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ වාසය කරන්නෙහිද, ඒ ධර්මය රාම තෙමේ ප්‍රත්‍යක්ෂ කොට දැනගෙන ඊට පැමිණ ප්‍රකාශ කෙළේය. මෙසේ රාම තෙමේ යම් ධර්මයක් දනියිද ඔබද එය දන්නෙහිය, ඔබ යම් ධර්මයක් දන්නෙහිද රාම තෙමේද ඒ ධර්මය දනියි. මෙසේ රාම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම්බඳු
ද රාම තෙමේත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ ශිෂ්‍ය සමූහයා පාලනය කරමුයි (කීයේය.)
“මහණෙනි, මෙසේ එක්ව බඹසර වසන්නෙක්වූ උද්දක රාම පුත්ත තෙමේ මා ආචාර්ය තනතුරෙහි තැබීය. උතුම් පූජායෙන් පිදීය.
“මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. මේ ධර්මයතෙම කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, කෙලෙස් නැති කිරීම පිණිස, කෙලෙස් සංසිඳීම පිණිස, දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන් පිණිස, නොපවතියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව ඉපදීම පිණිස පමණක් පවතියි.
“මහණෙනි, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.
279
“මහණෙනි, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් අනුත්තරවූ නිර්වාණය සොයමින් මගධරට පිළිවෙළින් සැරිසරා යන්නෙම් උරුවල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනෙක්හිද එහි ගියෙමි. එහි ගලායන ගඟ ඇත්තාවූද සුදු වැලිතලා ඇත්තාවූද යහපත් තොටවල් ඇත්තාවූද හාත්පස ගොදුරුගම් ඇත්තාවූද ප්‍රසාදය එළවන්නාවූ සිත් සතුටුකරන්නාවූ වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දිටිමි. මහණෙනි, ඒ මට මෙසේ සිත් විය. ඒකාන්තයෙන් බිම් පෙදෙස සිත්කලුය, වනලැහැබ ප්‍රසාදය එළවන්නේය, දිය ගලා බස්නා සුදු වැලිතලා ඇති මනා තොටු ඇති ගඟද සිත් කලුය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්ය කරන කුලපුත්‍රයෙකුට වීර්ය කිරීම පිණිස මේ ස්ථානය සුදුසුයයි (කියායි.)
“මහණෙනි, ඒ මම වීර්ය කිරීම පිණිස මේ තැන සුදුසු යයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම හිඳගත්තෙමි.
280
“මහණෙනි, ඒ මම, තෙමේ ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ජාතියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කරගතිමි.
“තෙමේ ජරාව ස්වභාවකොට ඇත්තෙක්ව ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කරගතිමි.
“තෙමේ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාධියක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කරගතිමි.
“තෙමේ මරණය ස්වභාවකොට ඇත්තෙක්ව මරණය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති, අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.
“තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක ශෝකයක් නැති අනුත්තරවූ සතර යෝගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් ශොකයක් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.
“තෙමේ කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිතබව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවණ අවබොධ කර ගතිමි.
මට සියල්ල දන්නා නුවණ පහළ විය, මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන දැනීම මට ඇතිවිය.
281
“මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබොධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබොධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.
“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබොධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.
“මා විසින් දුකසේ අවබොධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.
“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබොධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මොහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබොධ කර නොගන්නාහ.”
282
“මහණෙනි, මෙසේ සලකන්නාවූ මාගේ සිත මන්දොත්සාහී බවට (හෙවත් දහම් නොදෙසනු කැමති බවට) නැමෙයිත දහම් දෙසීමට නොනැමෙයි. මහණෙනි, එකල්හි සහම්පතී නම් බ්‍රහ්මයාහට ඔහුගේ සිතින් මාගේ සිත දැනගෙන මෙසේ කල්පනා විය. යම් ලොවක සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත මන්දොත්සාහී බවට නැමේද දහම් දෙසීමට නොනැමේද ඒ ලෝකය තෙම නැසෙන්නේය. ඒ ලෝකය තෙම විනාශ වන්නේය’ (කියායි.)
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුලනලද අතක් දික් කරන්නේද දික් කරනලද අතක් හකුලන්නේද එපරිද්දෙන් ඇසිල්ලකින් බඹලොවින් අතුරුදහන්ව මාගේ ඉදිරියෙහි පහළ විය.
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සළුව ඒකාංශකොට පොරවා මා යම් දිසාවෙක්හිද ඒ දිසාවට දොහොත් නමා මට මෙසේ කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසන සේක්වා, ස්වල්පවූ කෙලෙස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. ඔව්හු ධර්මය අසන්නට නැතිකමින් පිරිහෙති. ධර්මය දැනගන්නෝ ඇත්තාහුය.’ (යනුවෙනි)
“මහණෙනි, සහම්පතී බ්‍රහ්ම තෙම මෙසේ කීයේය. මෙසේ කියා අනතුරුව මෙසේ කීය.
“පෙර මගධ රටෙහි රාගාදී මල සහිත ශාස්තෘන් විසින් සිතන ලද අපිරිසිදුවූ ධර්මයක් පහළ විය. මේ නිර්වාණයට දොරටුවූ ආර්ය මාර්ගය විවෘත කරනු මැනව. රාගාදී මල නැති සර්වඥයන් වහන්සේ විසින් අවබොධ කළාවූ ධර්මය අසත්වා.
“සමතැස් ඇති සර්වඥයන් වහන්ස, ශෛලමය පර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහය යම්සේ දකීද, එමෙන් පහවූ ශොක ඇති ඔබවහන්සේ ඒ පර්වතයට උපමා ඇති ධර්මය නමැති ප්‍රාසාදයට නැග,
“ජාතියෙන් හා ජරාවෙන් මඩනාලද ශොකයෙහි වැටී සිටින සත්ත්ව සමූහයා බලත්වා. දිනනලද පස්මරුන් ඇති, සත්ත්වයන් සසර කතරින් එතර කරන හෙයින් සාර්ථවාහකවූ කාමච්ඡන්දය නමැති ණය නැත්තාවූ වීරයන් වහන්ස, නැගිටිනු මැනව. ලොකයෙහි හැසුරුණ මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දෙසනසේක්වා, ඒ ධර්මය දැනගන්නෝ වන්නාහ.’ (යනුවෙනි.)
283
“මහණෙනි, එකල්හි මම බඹහුගේද ආරාධනාව දැන සත්ත්වයන් කෙරෙහිද කරුණාවෙන් බුදු ඇසින් ලෝකය බැලීමි. මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නාවූ මම ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ රාගාදී කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද ශ්‍රද්ධාදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබොධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූ සත්ත්වයන් දුටිමි.
“යම්සේ නම් උපුල් විලක හෝ හෙළ උපුල් විලක හෝ හෙළ පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගන්නාහු දියෙහි වැඩුනාහු දියෙන් මතු නොවී දිය ඇතුළේම පොෂ්‍ය වෙත්ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සමව සිටියාහුද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ හෙළ පියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුනාහු දියෙන් මතුවී දියෙහි නොවැදී සිටියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම මම බුදු ඇසින් ලෝකය බලන්නෙම් ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තාවූද මහත්වූ කෙලෙස් ඇත්තාවූද තියුණුවූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ඇත්තාවූද, මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, ශ්‍රද්ධාව ආදී යහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකිවූද, පරලොව හා වරදෙහි භය දකිමින් වාසය කරන්නාවූද සත්ත්වයන් දුටිමි.
“මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවකින් පෙරළා මෙසේ කීමි.
“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”
“මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දෙශනාව පිණිස කරනලද අවකාශ ඇත්තේ වෙමියි මා වැඳ පැදකුණුකොට එහිම අතුරුදන් විය.
284
“මහණෙනි, ඒ මට මෙසේ සිත්විය. කවරෙකුට මම මේ ධර්මය පළමුවෙන් දෙශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබොධ කරගන්නේදැ’යි (කියාය.) මහණෙනි, ඒ මට මේ ආළාරකාලාම තෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක. යම් හෙයකින් මම ආළාරකාලාමහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම අවබොධ කර ගන්නේයයි, සිත් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, ආළාරකාලාමතෙම මින් සත්දවසකට පෙර කාලක්‍රියා කළේයයි’ කීය මටද ආළාරකාලාම තෙම සත්දවසකට පෙර කාලක්‍රියා කෙළේය යන ඥානය පහළවිය.
“මහණෙනි, ඒ මට ආළාරකාලාමහට වූයේ මහත් පිරිහීමකි. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසූයේ නම් වහාම අවබොධකරගන්නේයයි සිත් විය.
“මහණෙනි, ඒ මට මම කවරෙකුට පළමුව ධර්ම දෙශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබොධ කරන්නේදැයි සිත් විය. මහණෙනි, ඉක්බිති මට මේ උද්දක රාමපුත්තතෙම පණ්ඩිතය, නුවණැත්තේය. බොහෝ කලක් මුළුල්ලෙහි ස්වල්පවූ රාගාදී කෙලෙස් ඇත්තෙක යම් හෙයකින් මම උද්දකරාම පුත්තහට පළමුකොට ධර්මය දෙසන්නෙම් නම් හෙතෙම මේ ධර්මය වහාම දැනගන්නේ යයි අදහස් විය. මහණෙනි, එකල්හි දෙවතාවෙක් මා කරා එළඹ ස්වාමීනි, උද්දකරාම පුත්ත තෙම ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේයයි කීය. උද්දකරාම පුත්ත ඊයේ රාත්‍රි කාලක්‍රියා කෙළේය යන ඥානය මටද පහළ විය. ඒ මට කවරෙකුට මම පළමුව ධර්මදෙශනා කරන්නෙම්ද? කවරෙක් මේ ධර්මය වහා අවබොධ කර ගන්නේදැයි අදහස් විය. මහණෙනි, ඒ මට මේ කල්පනාව ඇතිවිය. යම් කෙනෙක් මට ප්‍රධාන වීර්ය කරන කාලයෙහි උපස්ථාන කළාහුද ඒ පස්වග භික්ෂූහු මට බොහෝ උපකාරී වූහ. මම පළමුකොට පස්වග මහණුන්හට ධර්මදෙශනා කරන්නෙම් නම් යෙහෙකි (කියාය) මහණෙනි, ඒ මට දැන් පස්වග මහණහු කොතැන්හි වෙසෙත් දැයි අදහස් විය. මහණෙනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානයෙහි වාසය කරන්නාවූ පස්වග භික්ෂූන් දුටුවෙමි.
“මහණෙනි, ඉක්බිති මම උරුවෙල් දනව්වෙහි කැමතිතාක් කල් වාසයකොට බරණැස යම් තැනෙක්හිද එතනට ගියෙමි.
285
මහණෙනි, උපක නම් ආජීවකයෙක් ගයාවටත් බොධියටත් අතර දීර්ඝ මාර්ගයෙහි යන්නාවූ මා දුටුවේය. දැක මට මෙසේ කීයේය. ‘ඇවැත්නි, ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතාමත් පැහැපත්ය, ශරීර වර්ණය පිරිසිදුය, හාත්පසින් බබලන්නේය. ඇවැත්නි, ඔබ කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද? ඔබගේ ගුරුවරයා කවරෙක් හෝ වේද? ඔබ කවරෙකුගේ ධර්මය රුචි කරන්නේද? මහණෙනි, මෙසේ කී කල්හි මම උපකනම් ආජීවකයාට ගාථාවලින් මෙසේ කීවෙමි.
“සියලු ත්‍රෛභූමක ධර්මයන් මැඩ පැවැත්වූ සියලු චාතුර් භූමක ධර්මයන් දැනගත්තාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණාවූ සියලු ත්‍රෛභූමික ධර්මයන් පහකළාවූ නිවන් අරමුණු කිරීමෙන් භවයෙන් මිදුණාවූ මම තෙමේම චතුස්සත්‍යය අවබොධකොට අනික් කවරෙකු ගුරුවරයා යයි දක්වන්නෙම්ද?
“මට ගුරුවරයෙක් නැත. මට සමාන වූවෙක්ද නැත. දෙවියන් සහිතවූ ලොකයෙහි මට සමාන පුද්ගලයෙක් නැත. ලෝකයෙහි මම රහත් පුද්ගලයෙක් වෙමි. මම නිරුත්තරවූ ශාස්තෘ වෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් සිසිල්වූ එහෙයින්ම නිවුණාවූ අසහායවූ සම්මාසම්බුද්ධ වෙමි.
“අවිද්‍යාවෙන් අන්ධවූ ලෝකයෙහි අමෘත බෙරය ගසමින් ධර්මචක්‍රය පැවැත් වීම සඳහා කසීරට බරණැස් නුවර බලා යමි,
“ඇවැත්නි, ඔබ යම්සේ ප්‍රකාශ කෙරෙහිද එසේ නම් අනන්තජින නම් වන්නට සුදුසුය.”
“උපකය, යම් කෙනෙක් තුමූ නිවණට පැමිණියාහුද ඒකාන්තයෙන් එබඳු මා වැන්නෝ ජිනනම් වෙත්. මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ජින නම් වෙමි’යි (කීයෙමි.)
“මහණෙනි මෙසේ කී කල්හි උපක නම් ආජීවකතෙම ‘ඇවැත්නි, එසේත් විය හැකියයි’ කියා හිස වනා අන් මඟකින් ගියේය.
286
“මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් ගමන් කරනුයේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදාය නම් ස්ථානය යම් තැනෙක්හිද පස්වග මහණහු යම් තැනෙක්හිද, එතැනට පැමිණියෙමි. මහණෙනි, පස්වග භික්ෂූහු එන්නාවූ මා දුරදීම දුටුවාහුය, දැක එකිනෙකා මෙසේ කථා කරගත්හ. ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතමතෙම චීවරාදී ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ වීර්ය කිරීමෙන් පිරිහී චීවරාදි ප්‍රත්‍ය බහුලභාවයට පෙරළී සිට එන්නේය. ඔහු නොවැඳිය යුතුය. ඔහුට පෙර ගමන් නොකළ යුතුය, ඔහුගේ පාත්‍ර සිවුරු නොපිළිගත යුතුය. එහෙත් අස්නක් පැනවිය යුතුය. කැමතිනම් වාඩිවන්නේය. (කියායි) “මහණෙනි, මා ළංවන්නට ළංවන්නට පස්වග මහණහු ස්වකීය කතිකාවෙහි සිටීමට අසමර්ථ වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාත්‍ර සිවුරු පිළිගත්තාහුය. ඇතැම් කෙනෙක් අසුන් පැනවූහ. ඇතැම් කෙනෙක් පා සෝදන දිය තැබූහ. එතකුදු වුවත් මට ‘ගෞතම’ යන නමින්ද ‘ඇවැත්නියයි’ ද කථාකරති. මහණෙනි, එසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. මහණෙනි, තථාගතයන් හට නම කියමිනුත් ‘ඇවැත්නි, කියමිනුත් කථා නොකරව්.
“මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබොධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදින්නාවූ කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව අවසාන කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි පස්වග භික්ෂූහු මට මෙසේ කීවාහුය. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබුයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව වීර්ය කිරීමෙන් පිරිහී සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි, කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ, බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබොධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහි තුමූ නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“දෙවනුවත් පස්වග මහණහු මට මෙසේ කීහ. ඇවැත්නි ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත්වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් මේ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු පිරිකර ඇතිව, වීර්යය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහි දැයි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි ම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මහණෙනි, ‘තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්. නිර්වාණය අවබෝධකරනලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්ග බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි කීයෙමි.
“තුන්වෙනුවද පස්වග භික්ෂූහු මට මෙසේකීහ. ඇවැත්නි, ගෞතමයෙනි, ඔබ ඒ දුෂ්කර ඉරියව් පැවැත් වීමෙනුත් ඒ දුෂ්කර පිළිවෙත් පිරීමෙනුත් ඒ දුෂ්කර ක්‍රියාවෙනුත් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ නුවණක් නොලැබූයෙහිය. දැන් බොහෝ සිවුරු ඇතිව, වීර්ය කිරීමෙන් පිරිහී, සිවුරු ආදිය බහුල කොට ඇති බවට හැරී සිටිමින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ නුවණක් ලබන්නෙහිදැ’යි කීහ.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්හට මෙසේ කීයෙමි. ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුණේ නොවේ. මහණෙනි, තථාගත තෙම රහත්ය. සම්‍යක් සම්බුද්ධය. ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනා කරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුලපුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණවාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙසේ කීයෙමි. මා විසින් මීට පෙර මෙබන්දක් කියන ලදැයි දන්නහුද නැත ස්වාමීනි, ‘මහණෙනි, තථාගත තෙම චීවරාදිය බහුල කොට ඇත්තෙක් නොවේ. වීර්ය කිරීමෙන් පිරිහුනේ නොවේ. බාහුලික බවට වැටුනේ නොවේ. මහණෙනි, තථාගතතෙම රහත්ය, සම්‍යක් සම්බුද්ධය, ධර්ම ශ්‍රවණයට කන් නමව්, නිර්වාණය අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම ධර්මය දෙශනාකරමි. අනුශාසනය පරිදි පිළිපදිමින් කුල පුත්‍රයෝ යම් නිර්වාණයක් පිණිස ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවර කොට ඇති නිරුත්තරවූ ඒ නිර්වාණය මේ ආත්මයෙහිම තුමූ නුවණින් දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරව්යයි’ කීයෙමි.
“මහණෙනි, මා බුදුවූ බව පස්වග මහණුන්හට අඟවන්නට මම සමර්ථ වීමි. මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූන් තුන් නමක් පිඬු පිණිස හැසිරෙත්. තුන් නම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු. මහණෙනි, භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත්ද එයින් අපි සදෙන යැපෙමු.
“මහණෙනි, ඉක්බිති මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ පස්වග භික්ෂූහු ජාතිය ස්වභාවකොට ඇත්තාවූ ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක, ජාතියක් නැති, අනුත්තරවූ සතරයෝගයන්ගෙන් මිදුනාවූ නිවණ සොයන්නාහු ජාතියක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ජරාව ස්වභාවකොට ඇත්තාහු ජරාව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ජරාවක් නැති අනුත්තරවූ සතරයොගයන්ගෙන් මිදුනාවූ නිවන් සොයන්නාහු ජරාවක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිය ස්වාභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධියක් නැති, අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ව්‍යාධියක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් මරණය ස්වභාව කොට ඇත්තාහු මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක, මරණයක් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු මරණයක් නැති නිරුත්තරවූ සතර යොගයන් කෙරෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් ශොකය ස්වභාව කොට ඇත්තාහු ශොකය ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, ශොකයක් නැති අනුත්තරවූ සතර යොගයන්ගෙන් මිදුණාවූ නිවන් සොයන්නාහු ශොකයක් නැති නිරුත්තරවූ සතර යොගයෙන් මිදුණාවූ නිවන් අවබොධ කළාහුය. තමන් කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තාහු කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇති දෙයෙහි දොෂය දැක, කෙලෙස් නැති, අනුත්තරවූ, සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් සොයන්නාහූ කෙලෙස් නැති නිරුත්තරවූ සතර යොගයන්ගෙන් මිදූණාවූ නිවන් අවබොධ කළාහුය. ඔවුනට අපගේ රහත් ඵලය නොසෙල්විය හැකිය. මේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන ඥාන දර්‍ශනය පහළවිය.
287
“මහණෙනි, මේ කාම ගුණ පසකි. කවර පසක්ද යත්? ඇසින් බලා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් රූපයෝ වෙත්ද, කණින් අසා දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ශබ්දයෝ වෙත්ද, නාසයෙන් විඳ දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ගන්ධයෝ වෙත්ද, දිවෙන් දැනගත යුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලිය යුතුවූ ඇලුම් කටයුතුවූ යම් රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීමෙන් යුක්තවූ ඇලුම් කටයුතුවූ යම් ප්‍රෂ්ටව්‍යයෝ වෙත්ද, මහණෙනි, මොහු වනාහී පඤ්චකාම ගුණයෝය. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහූ, දොෂය නොදක්නාහූ, එයින් බැහැර වන කල්පනාව නැත්තාහූ කාමයන් සේවනය කරත්ද, ඔවුහූ විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් කළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, වනයෙහි මුවෙක් බඳනා ලද්දේ මලපුඩු මතුයෙහි වැතිර සිටීද, ඔහු විපත්තියට පැමිණියේය. විනාශයට පැමිණියේය, වැද්දා විසින් කැමති දෙයක් කළ හැකි බවට පැමිණියේය. වැද්දා එන කල්හී කැමති තැනකට නොයා හැක්කේ යයි දතයුතුය. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බුාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි බැඳුනාහූ, මූර්ඡා වූවාහූ, ගැළුණාහු, දොෂය නොදක්නාහු, එයින් බැහැරවන කල්පනාව නැත්තාහු කාමයන් සේවනය කරත්ද, ඔව්හු විපත්තියට පැමිණියාහුය, විනාශයට පැමිණියාහුය. මාරයා විසින් කැමති පරිද්දක් කළහැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නා සුලුවූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට නොපැමිණියාහුය. විනාශයට නොපැමිණියාහුය, මාරයා විසින් කැමති පරිද්දක් නොකළ හැකි බවට පැමිණියාහුයයි දතයුතුය.
මහණෙනි, වනයෙහි වාසය කරන මුවෙක් නොබඳින ලද්දේ මළපුඩු මතුයෙහි වැතිර සිටීද ඔහු විපත්තියට නොපැමිණියේය. විනාශයට නොපැමිණියේය, වැද්දා කැමති පරිද්දක් කළහැකි බවට නොපැමිණියේය. වැද්දා එනවිට කැමති තැනකට යන්නේය යයි දත යුතුය.
“මහණෙනි, එසේම යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ පංචකාමයෙහි නොබැඳුනාහු, මූර්ඡා නොවූවාහු නොගැලුනාහු, වරද දක්නාසුලු වූවාහු, එයින් මිදෙන කැමැත්ත ඇත්තාහු මේ පස්කම් සැප අනුභව කරත්ද ඔව්හු විපත්තියට පත්නොවූවාහුය. විනාශයට පත් නොවූවාහුය, මාරයා කැමති පරිද්දක් කළ නොහැකි බවට පැමිණියාහුයයි දත යුතුය.
“මහණෙනි, යම්සේ වනයෙහි හැසිරෙන මුවෙක් නිර්භයව යයි නම් නිර්භයව සිටියි නම්, නිර්භයව හිඳියි නම්, නිර්භයව නිදාගනියි නම්, ඊට හේතු කවරේද? මහණෙනි, වැද්දාට අසුනොවීමයි.
“මහණෙනි, එසේම මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම විතක්ක විචාර දෙක සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති කරන්නාවූ හිත පිළිබඳ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා පාපී මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම ප්‍රීතියෙහි නොඇල්මෙන් උපෙක්ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ සැපයෙන් යුක්තව වාසය කරන්නේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙමේ සැප දුරුකිරීමෙන්ද දුක් දුරුකිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙක නැතිකොට දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂාවෙන් හා සිහියෙන් පිරිසිදු සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නිසා මාරයාගේ නොදැක්මට පැමිණියේ යයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන්ම රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥා පහකිරීමෙන් විවිධ සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයි නම් මහණෙනි මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේ යයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණ තෙම මාරයා අන්ධ කෙළේයයිද, පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශකොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවතද මහණ තෙම සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි නම්, විදර්ශනා නුවණින් දැක ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයා අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට මාරයාගේ නොදැක්මට පැමිණියේයයිද කියනු ලැබේ.
“හෙතෙම ලොකයෙහි තෘෂ්ණාවෙන් එතෙර වූයේය. හෙතෙම සැක නැතිව යයි. සැක නැතිව සිටියි. සැක නැතිව හිඳියි. සැක නැතිව සයනය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, මාරයාට අසු නොවීමයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශේෂයෙන් සතුටුවූහ.
හයවෙනිවූ අරියපරියෙසන සූත්‍රය නිමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )