MN3.2. අලගද්දූපම සූත්‍රය

234
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි (පෙර ගිජුලිහිණියන් නැසූ කුලයෙහි උපන් හෙයින්) ගද්ධබාධි පුබ්බයයි කියනු ලබන අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳුවූ ලාමකවූ වැරදි මතයක් උපන්නේ වෙයි (කෙබඳු මතයක්ද යත්) ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති බොහෝ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙබඳු වැරදි මතයක් පහළවී තිබෙන බව ඇසූහ. එනම්:
“භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මකෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි’යි (කියායි.)
ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව යම් තැනෙකද එහි පැමිණියහ. පැමිණ, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුවට මෙසේ කීහ. “ඇවැත්වූ අරිට්ඨය, තොපට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරණ ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද ධර්මය මම මෙසේ දනිමි යන පහත්වූ වැරදි මතයක් පහළ වී ඇත්තේය යනු සැබෑදැ’යි විචාළහ.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්ම කෙනෙක් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකරයයි වදාරන ලද්දාහු නම් ඒ ධර්මයෝ අන්තරාය පිණිස නොවෙත් යන ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම දනිමි”යි කීහ.
“ඉක්බිති ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ නම් භික්ෂුව ඒ වැරදි මතයෙන් වෙන් කරවනු කැමැත්තාහු මතය විචාරමින් කරුණු කියති, මතයෙහි පිහිටුවමින් කරුණු කියති. ඊට හෙතු අසමින් කරුණු කියති.
“ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දෝෂාරෝපණය නොකරව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ. ඇවැත් අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායකර ධර්මයෝ අන්තරායකර ධර්මයෝයයි වදාරණ ලදහ. ඔවුහු සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැයි” (අවවාද කළාහුය.)
මෙසේද ඒ භික්ෂූන් විසින් මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ ඊට හෙතු අසමින් කරුණු කියන ලැබූ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි යන ඒ ලාමක වැරදි මතයම තරයේ අල්ලාගෙන ව්‍යවහාර කරයි.
235
යම් හෙයකින් ඒ භික්ෂූහු ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට අසමර්ථ වූවාහුද, එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළහ.
“ස්වාමීනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක වැරදි මතයක් උපන්නේය. ස්වාමීනි, අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්තරායකර ධර්මකෙනෙක් වදාරන ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරායකර නොවෙත්, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ ධර්මය මම ඒ ආකාරයෙන් දනිමි, යන ලාමක වැරදි මතයක් උපන් බව ඇසීමු. ස්වාමිනි, ඉක්බිති අප ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්තැනකද, එතැනට පැමිණියෙමු පැමිණ, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීයෙමු. “ඇවැත් අරිට්ඨයෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායක ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නා හට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි යන මෙබඳු වැරදි ලාමක මතයක් පහළවී ඇත්තේය යනු සැබෑදැයි විචාළෙමු.”
“ස්වාමීනි මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව අපට මෙසේ කීයේය. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්මකෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’යි (කියායි.)
“ස්වාමීනි, ඉක්බිති අපි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක වැරදි මතයෙන් වෙන් කරවනු පිණිස මතය විචාරමින් කරුණු කීයෙමු, මතයෙහි පිහිටුවමින් කරුණු කියෙමු. ඊට හේතු අසමින් කරුණු කීයෙමු. ඇවැත්නි, අරිට්ඨයෙනි, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියව, භාග්‍යවතුන් වහන්සේට දොෂාරොපනය නොකරව. භාග්‍යවතුන් වහන්සේට දොස් කීම හොඳ නැත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.
“භාග්‍යවතුන් වහන්සේ කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේ යයි වදාරනලදැ”යි (අවවාද කෙළෙමු.)
“ස්වාමීනි, අප විසින් මෙසේද මතය විචාරමින් කරුණු කියනු ලැබූ මතයෙහි පිහිටුවමින් කරුණු කියනු ලැබූ හේතු විචාරමින් කරුණු කියනු ලැබූ, අරිට්ඨ භික්ෂුව ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරන ලද්දාහුද, ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමියි’ යන ලාමක මතය තරකොට අල්ලාගෙන ඊට ඇතුළත්ව ව්‍යවහාර කරයි. ස්වාමීනි, යම් හෙයකින් අරිට්ඨ භික්ෂුව මේ ලාමක වැරදි මතයෙන් වෙන් කරවන්නට බැරිවූයෙමුද එහෙයින් අපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැලකරන්නෙමු.”
236
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවූහ. ‘මහණ, මෙහි එව, මගේ වචනයෙන් ‘ඇවැත් අරිට්ඨය, ශාස්තෲන්වහන්සේ තොප කැඳවති’යි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව කැඳවාගෙන එව”යි කීහ. “එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම් තැනකද එහි ගියේය. ගොස් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට, ‘ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ තොප කැඳවන්නාහ’යි කීවේය. ‘එසේය ඇවැත්නි’යි කියා ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ භික්ෂූන් වහන්සේට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක වාඩිවිය. එකත්පසෙක උන් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘අරිට්ඨය, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකර ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස නොවෙත්. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද ධර්මය මම එපරිද්දෙන් දනිමි’ යන මෙබඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේය යනු සැබෑදැ”යි ඇසූහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අන්තරායික ධර්මකෙනෙක් වදාරනලද්දාහුද, ඒ ධර්මයෝ සෙවනය කරන්නාහට අන්තරාය පිණිස නොපවත්නාහුයයි මම මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කළ ධර්මය දනිමි”යි කීය.
“හිස් පුරුෂය, මා කාහට මෙබඳු ධර්මයක් දෙශනා කළ බව තෝ දන්නෙහිද, මා විසින් නොයෙක් ආකාරයෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි කියන ලද්දේ නොවේද? සේවනය කරන්නාහට ඒ ධර්මයෝ අන්තරාය පිණිස වෙත්මැයි.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ මස්කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ අඟුරුවළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදිනවම මෙහි බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝ යයි වදාරනලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනව මෙහි බොහෝයයි වදාරනලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේයයි වදාරනලදී.
මෙසේ තිබියදීත් හිස් පුරුෂය, තෝ තමා වරදවා ගත් මතයෙන් අපටද දොස් නගන්නෙහිය, තමාද නැසෙන්නෙහිය, බොහෝ පව්ද රැස්කරගන්නෙහිය. හිස් පුරුෂය, තොපට මෙය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවත්නේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ.
“මහණෙනි, මේ තොපි කුමක් සිතව්ද, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට මේ ශාසනයෙන් ලබන ඥානය නමැති ගින්නෙහි උණුසුමවත් ඇත්තේද?
“ස්වාමීනි, කෙසේ නම් වන්නේද? ස්වාමීනි, එසේ නොවන්නේය.”
මෙසේ කී කල්හි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්ද වූයේ මකුවූයේ කඳ නමා ගත්තේ මුහුණ පහතට හරවා ගත්තේ කල්පනා කරන්නේ කිසිවක් සිතාගත නොහැකිව හුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුව නිශ්ශබ්දව, මකුව, කඳ නමාගෙන මුහුණ පහතට හරවාගෙන කල්පනා කරමින් කිසිවක් නොවැටහී සිටිනු දැන, අරිට්ඨ භික්ෂුවට මෙසේ කීහ. “හිස් පුරුෂය, තෝ මේ තොපගේ ලාමක වැරදි මතයෙන් ප්‍රකට වන්නෙහිය. මම භික්ෂූන් විචාරන්නෙමි”යි කියා,
237
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ විචාළහ. “මහණෙනි, මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව යම්සේ තමා වරදවා ගත් මතයෙන් අපටත් දොස් නගයිද, තමාත් වැනසෙයිද, බොහෝ අකුසලක් රැස් කර ගනියිද, එබඳුවූ ධර්මයක් මා දෙශනා කළ බව තොප දන්නහුද?”
“නැත ස්වාමීනි, අපට වනාහි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දෙශනා කරන ලදහ. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස වෙත්මය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුලයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බහුලයයි වදාරනලදි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනවම බොහෝයයි වදාරනලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ කැත්ත හා මස් ලොඹුවකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව බොහෝයයි වදාරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ වන්නේය”යි වදාරන ලදී.
“යහපත මහණෙනි, මා දෙසූ ධර්මය තොප දන්නා සැටි ඉතා මැනවි. මා විසින් තොපට නොයෙක් පරිද්දෙන් අන්තරායකර ධර්ම අන්තරායකරයයි දෙසන ලදී. ඒ ධර්මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවතිත්.
“මා විසින් කාමයෝ ස්වල්ප සැපක් ඇත්තාහ, බොහෝ දුක් හා බොහෝ වෙහෙස ඇත්තාහ. මෙහි ආදීනවම බහුල යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, මෙහි ආදිනවම බහුලයයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගිනිසුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ අඟුරු වළකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ මස් සිහිනයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ගසක ගෙඩියකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ කැත්ත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ වෙහෙස ඇත්තාහ. ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ ආයුධයක් හා හුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“මා විසින් කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ, බොහෝ වෙහෙස ඇත්තාහ, ආදීනවම මෙහි බොහෝ යයි වදාරන ලදී.
“එසේද වුවත් මේ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව තමා වරදවාගත් මතයෙන් අපටද දොස් නගයි, තමාත් වැනසෙයි, බොහෝ අකුසලුත් රැස්කරගනියි. ඒ වනාහි ඒ හිස් පුරුෂයා හට දීර්ඝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවත්නේය.
“මහණෙනි, හෙතෙම ක්ලෙශ කාමයන්ගෙන් වෙන්ව කාම හැඟීම්වලින් වෙන්ව, කාම කල්පනාවලින් වෙන්ව වස්තු කාමයන් සේවනය කරන්නේය යන මේකාරණය සිදු නොවන්නකි.
238
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අනර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.
239
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දෝෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දොෂාරොපනවලින් නිදහස් කරගැනීමෙන් හෝ අදහසින් ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්‍රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ, සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. ඔහු ඒ සර්පයා එළු කුරයක් වැනි දණ්ඩකින් හොඳට තදකර ගන්නේය. තද කොට බෙල්ලෙන් අල්ලාගන්නේය. ඒ සර්පයා ඒ පුරුෂයාගේ අතක් හෝ බාහුව හෝ අන්‍ය අවයවයක් හෝ දරණවැලින් වෙලාගත් නමුත් එයින් හෙතෙම මරණයට හෝ මරණය සමාන දුකකට හෝ නොපැමිණෙන්නේය. ඊට හේතු කවරේද? සර්පයා හොඳින් අල්ලාගත් හෙයිනි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම පුහුණු කෙරෙති. ඔව්හු ඒ ධර්මය ඉගෙන එහි අර්ථය නුවණින් සලකා බලති. ඒ ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ඔවුන්හට ඒ ධර්මය හොඳින් වැටහේ. ඔව්හු අන්‍ය වාදවලට දොෂාරෝපනය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනවලින් නිදහස් කරගැනීමේ අදහසින් හෝ ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔව්හු ඒ ප්‍රයෝජනයද ලබති. ඊට හේතු කවරේද? ධර්මය මනාව ගන්නාලද හෙයිනි.
“මහණෙනි, මේ නිසා මා දෙශනා කළ යම් ධර්මයක අර්ථය දන්නාහු නම් එය එසේ දරව්, යම් ධර්මයක අර්ථය නොදන්නාහු නම් මගෙන් හෝ යම් දක්ෂ භික්ෂූහු වෙත් නම් ඔවුන්ගෙන් හෝ ඇසිය යුතුය.
240
“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ගැනීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි” “එසේය. ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, දීර්ඝ මාර්ගයක යන්නාවූ පුරුෂයෙක් සැක සහිතවූ භය සහිතවූ මෙතෙර ඇති සැක රහිතවූ භය රහිතවූ එතෙර ඇති මහත් සාගරය වැනි ජලයක් දක්නේය. ඔහුට එයින් එතෙරවීම පිණිස පැදයාහැකි නැවක් හෝ උඩින් යනු සඳහා ඒදණ්ඩක් හෝ නැත්තේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ මහා ජලස්කන්ධය විශාලය. එහි මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැක රහිතය. භය රහිතය. එහා මෙහා යාම සඳහා නැවක්වත් ඒදණ්ඩක්වත් නැත. මම තෘණ ලී දඬු අතු කොළ ඇදගෙන පහුරක් බැඳ ඒ පහුර නිසා අත් පාවලින් පදිමින් සුවසේ එතෙර වන්නෙම් නම් යෙහෙකි’ (කියාය) මහණෙනි, ඉක්බිති ඒ පුරුෂ තෙම තෘණ ලීදඬු අතු කොළ රැස්කොට පහුරක් බැඳගෙන අතින් හා පයින් වෑයම් කරමින් සැපසේ එතෙරට යන්නේය.
“එතෙරට ගියාවූ ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ පහුර මට බොහෝ උපකාර ඇත්තේය. මම මේ පහුර නිසා අත් පාවලින් උත්සාහ කොට සැපසේ මේ මහ වතුරෙන් එගොඩ වීමි. මේ පහුර හිසෙහි තබාගෙන හෝ කරෙහි තබාගෙන හෝ කැමති තැනකට යන්නෙම් නම් යෙහෙකැ’යි (කියායි.) මහණෙනි, කුමක් සිතව්ද, එසේ කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙකැයි සිතන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, කෙසේ ක්‍රියා කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙක් වන්නේද? මහණෙනි, එතෙරවූ ඒ පුද්ගලයාට මෙබඳු කල්පනාවක් වෙයි. ‘මේ පහුර මට බොහෝ උපකාරවත් විය. මේ පහුර නිසා මම අතින් පයින් වෑයම් කරමින් සැපසේ එතෙර වීමි. මේ පහුර ගොඩට ඇද දමා හෝ දියෙහි පාකර යවා හෝ කැමති තැනට යන්නෙම් නම් යෙහෙක’ (කියායි) මහණෙනි, මෙසේ කරන්නාවූ ඒ පුද්ගලයා වනාහි ඒ පහුරට නියම කටයුත්ත කරන්නෙක් වන්නේය. එසේම මා විසින් තොපට ධර්මය පහුරකට උපමා කොට දෙශනා කරන ලද්දේය. එය එතරවීමට මිස ගැනීමට නොවේ. මහණෙනි, ධර්මය පහුරකට උපමා කොට දෙසනලදැයි දන්නාවූ තොප විසින් ධර්මයෝද දුරු කටයුත්තාහ. අධර්ම ගැන කියනුම කවරේද?
241
“මහණෙනි, මේ දෘෂ්ටි ඇතිවීමේ හේතු සයක් වෙත්, කවර සයක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණු සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු නූගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේය, රුපය මම වෙමි, රූපය මාගේ ආත්මයයි දකියි. මේ වෙදනාව මාගේය, වේදනාව මම වෙමි. වේදනාව මාගේ ආත්මයයි දකියි. මේ සංඥාව මාගේය, සංඥාව මම වෙමි, සංඥාව මාගේ ආත්මයයි දකියි. මේ සංස්කාරය මාගේය, සංස්කාරය මම වෙමි, සංස්කාරය මාගේ ආත්මයයි දකියි. මේ විඤ්ඤාණය මාගේය, විඤ්ඥාණය මම වෙමි. විඤ්ඤාණය මාගේ ආත්මයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණ හා සිතින් දැනගන්නාලද සිතින් පැමිණෙනලද සිතින් සොයනලද සිත හැසිරෙනලද යමක් වේ නම් එය මගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දකියි. එය ලොකය වෙයි. එය ආත්මය වෙයි. පරලොව නිත්‍යවූ සදාකාලිකවූ විනාශ නොවන්නාවූ ඒ ආත්මය වන්නෙමි. පොළොව ආදී නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද ඒ දෘෂ්ටිය මාගේය, ඒ දෘෂ්ටිය මම වෙමි එය මාගේ ආත්මය’යි දකියි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ, ආර්ය ධර්මයෙහි දක්ෂවූ, ආර්ය ධර්මයෙහි හික්මුණාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ උගත් පෘථග්ජන තෙම ‘මේ රූපය මාගේ නොවේ. රූපය මම නොවෙමි. රූපය මාගේ ආත්මය නොවේයයි දකියි. මේ වේදනාව මාගේ නොවේ, වේදනාව මම නොවෙමි, වෙදනාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංඥාව මාගේ නොවේ, සංඥාව මම නොවෙමි, සංඥාව මාගේ ආත්මය නොවේයයි දකියි. මේ සංස්කාර මගේ නොවෙයි, සංස්කාර මම නොවෙමි, සංස්කාර මාගේ ආත්මය නොවේයයි දකියි. මේ විඤ්ඤාණය මගේ නොවේ, විඤ්ඤාණය මම නොවෙමි, විඤ්ඤාණය මාගේ ආත්මය නොවේයයි දකියි. යම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු හා සිතින් දැනගන්නා ලද, සිතින් පැමිණෙනලද, සිතින් සොයනලද, සිතින් සිතනලද යමක් වේ නම් එ මගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි දකියි. එය ලොකය වෙයි. එය ආත්මය වෙයි, ඒ පරලොව නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ නොපෙරෙලෙන සුලුවූ නිත්‍ය ආත්මය වන්නෙමි. මහපොළොව ආදි නිත්‍ය දේට සමාන වන්නෙමි යන යම් දෘෂ්ටියක් ඇත්තේද, ඒ දෘෂ්ටිය මගේ නොවේය, එය මම නොවෙමි. ඒ මගේ ආත්මය නොවේය’යි දකියි.
“මෙසේ දක්නාවූ හෙතෙම අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ගැන තැති නොගනීය”යි (වදාළේය.)
242
“මෙසේ වදාළ කල්හි එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය. “ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්මක් ඇතිවන්නේද?” “මහණ ඇති වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
“මහණ, මෙහි ඇතමෙකුට මෙබඳු අදහසක් වෙයි. ‘මට යමක් තිබුණේය. දැන් එය නැත, මතුලැබිය යුතු දේද මම නොලබන්නෙමි’යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි, වැළපෙයි. පපුවෙහි අතගසමින් අඬමින් මුළාවට පැමිණෙයි, මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති ගැන්ම වේයයි වදාළහ.
“ස්වාමීනි, බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්මක් වේද?” ‘මහණ, වන්නේය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. ‘මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු කල්පනාවක් නොවෙයිද, මට යමක් තිබුණේය, දැන් එය නැත, මතු ලැබිය යුතු දේද මම නොලබන්නෙමි’ කියායි. හෙතෙම ශොක නොකරයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවෙහි අත ගසමින් නොහඬයි, මුළාවට නොපැමිණෙයි. මහණ, මෙසේ වනාහි බාහිර පිරිකර විනාශවූ කල්හි තැති නොගැන්ම වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවූ කල තැතිගැන්මක් වේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් වෙයිද, එය ලොකය වෙයි, ‘එය ආත්මය වෙයි, ඒ මම පරලොව නිත්‍යවූ සදාකාලිකවූ, නොපෙරෙළෙන ස්වභාව ඇති, හැමදාම පවතින්නෙක් වන්නෙමි’යි (කියාය.) හෙතෙම සියලු දෘෂ්ටි දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි පහළවීම්, දෘෂ්ටියට බැස ගැනීම් නැති කිරීම පිණිසද, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිණිසද, සියලු උපධීන්ගේ විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්ම දෙශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දේශනාව අසයිද ඔහුට මෙබඳු කල්පනාවක් ඇතිවෙයි, “උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නො උපදින්නෙම් නොවෙම්ද” (කියායි) හෙතෙම ශොක කරයි, ක්ලාන්ත වෙයි, වැළපෙයි, පපුවෙහි අත් ගසමින් අඬයි, මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇති කල්හි තැති ගැනීම ඇති වන්නේය.”
“ස්වාමීනි, අධ්‍යාත්ම ස්කන්ධ විනාශවීම ඇතිකල්හි තැති නොගැන්මක් වන්නේද?” “මහණෙනි, වන්නේය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ මේ සස්නෙහි කිසිවෙකුට මෙබඳු දෘෂ්ටියක් ඇති නොවෙයිද, ‘එය ලෝකයය, එය ආත්මයය ඒ මම පරලොව නිත්‍යවූ, නොපෙරළෙන ස්වභාව ඇති හැම කල්හි පවතින්නෙක් වන්නෙමි’ යන දෘෂ්ටියක් ඇති නොවෙයිද හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටීම්, දෘෂ්ටි ඉපදීම්, දෘෂ්ටියට බැසගැණීම් නැතිකිරීම පිණිසද, සියලු උපධීන්ගේ (ක්ලෙශ උපධි ආදී පඤ්චවිධ උපධි) විනාශය පිණිසද, තෘෂ්ණාව නැති කිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිර්වාණය පිණිසද, ධර්මදෙශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දෙශනාව අසයිද, ඔහුට මෙබඳු කල්පනාවක් ඇති නොවෙයි. ‘උත්පත්ති වශයෙන් සිඳෙන්නෙම් නොවෙම්ද, වැනසෙන්නෙම් නොවෙම්ද, මතු නොඋපදින්නෙම් නොවෙම්ද’ කියායි. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවේ අත්ගසා නොඅඬයි. මුළාවට නොපැමිණෙයි. මහණ මෙසේ වනාහි අධ්‍යාත්ම ස්කන්ධ පිළිබඳ විනාශය ඇති කල්හි තැති නොගැන්ම වන්නේය.
243
“මහණෙනි, බාහිර පිරිකරක් නිත්‍ය නම් හැමදාම පවතී නම් නොපෙරළෙන ස්වභාව ඇත්තේ නම් ස්ථිර නම් එබඳු දෙයක් මගේ යයි ගනිව්, මහණෙනි, එසේ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ ස්ථිරවූ දෙයක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි,” “යහපති මහණෙනි, ස්ථිරවූ නිත්‍යවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ එබන්දක් මමද නොදකිමි.
“මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේ නම් එබඳු දෙයක් මමයයි ගනිව්. මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් තොපි දක්නහුද?” “නැත, ස්වාමීනි.” “යහපති මහණෙනි, යමක් මමයයි ගන්නහුට ශොක පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෙයක් මමද නොදකිමි.
“මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක් දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවන්නේනම් එබඳු දෘෂ්ටියක් ගනිව්. මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් තොපි දක්නහුද?” “නැත ස්වාමීනි” “යහපති මහණෙනි, දෙසැට මිථ්‍යාදෘෂ්ටි අතුරෙන් යම් දෘෂ්ටියක් ගන්නහුට ශොක, පරිදෙව, දුක්, දොම්නස්, දැඩි වෙහෙස යන මේවා ඇති නොවේද, එබඳු දෘෂ්ටියක් මමත් නොදකිමි.
244
“මහණෙනි, මමයයි ගැනීමක් ඇති කල්හි මේ දේ මගේයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, මගේයයි ගැනීම ඇති කල්හි මාගේ ආත්මයයයි ගැනීම ඇතිවන්නේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි තමාද තමහට අයත් දෙයක් ස්ථිර වශයෙන් නොලැබෙන කල්හි මෙය ලෝකයය, මෙය ආත්මයය, ඒ මම පරලොව නිත්‍ය හැමදාම පවතින නොපෙරළෙන ස්වභාව ඇති ස්ථිරවූවෙක් වන්නෙමිය යන යම් ගැනීමක් වේද, එය තනිකර සම්පූර්ණයෙන් මෝඩකමක් නොවේද?”
“ස්වාමීනි, කුමක් හෙයින් නොවන්නේද, එය තනිකර සම්පූර්ණ මෝඩකමකි.”
“මහණෙනි, කුමක් සිතව්ද? රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි,අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි දුකය.” “යමක් අනිත්‍ය නම්, දුකනම්, පෙරළෙනසුලුනම් එය මගේය’ එය මම වෙමි, එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි කුමක් සිතව්ද? වේදනාස්කන්ධය නිත්‍යද, අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංඥාස්කන්ධය නිත්‍යද අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය, එය මම වෙමි එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? සංස්කාරස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, කුමක් සිතව්ද? විඤ්ඤාණස්කන්ධය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සැප හෝ වේද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් පෙරළෙනසුලු නම් එය මගේය. එය මම වෙමි. එය මගේ ආත්මයයි ගැනීමට සුදුසුද?” “නැත, ස්වාමීනි.”
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි රූපයක් ඇත්තේද ඒ සියලු රූපය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් කිසි වේදනාවක් ඇත්තේද ඒ සියලු වේදනාව මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංඥාවක් වේද ඒ සියලු සංඥාව මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි සංස්කාරයක් වේද ඒ සියලු සංස්කාරයන් මගේ නොවෙයි, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
“මහණෙනි, එහෙයින් මෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද, ඖදාරිකවූද, සූක්ෂම වූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම්කිසි විඤ්ඤාණයක් වේද? ඒ සියලු විඤ්ඤාණය මගේ නොවෙයි. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි මෙසේ යහපත් ප්‍රඥාවෙන් තතුසේ දතයුතුයි.
245
“මහණෙනි, මෙසේ දක්නා උගත් ආර්ය ශ්‍රාවක තෙම රූපස්කන්ධයෙහිද කලකිරෙයි, වේදනාස්කන්ධයෙහිද කලකිරෙයි, සංඥාස්කන්ධයෙහිද කලකිරෙයි. සංස්කාරස්කන්ධයෙහිද කලකිරෙයි, විඥානස්කන්ධයෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ මාර්ගඥානයෙන් නොඇලෙයි. නොඇලීම නිසා ඵලඥානයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි. කෙලෙසුන් කෙරෙන් මිදුණු කල්හි මිදුනේය යන ප්‍රත්‍යවෙක්ෂා ඥානය පහළ වෙයි. ජාතිය කෙළවර විය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. අර්හත්වය සඳහා තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනී.
“මහණෙනි, මේ භික්ෂුව උදුරා දමනලද අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තෙකැයිද, විනාශ කරනලද සංස්කාර නමැති දිය අගල් ඇත්තෙකැයිද, උදුරා දමනලද තෘෂ්ණාව නමැති ඉන්ද්‍රඛීලය ඇත්තෙකැයිද, ගලවා දමනලද ඔරම්භාගිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැයිද, ආර්යයෙකැයිද, හෙලන ලද මානය නමැති කොඩිය ඇත්තෙකැයිද, බර බහා තැබූවෙකැයිද සියලු කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙකැයිද කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම උදුරා දැමූ දොර අගුල් ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අවිද්‍යාව නැති වූවා වෙයිද, සුන් කරන ලද මුල් ඇත්තීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දීද, අභාවයට පමුණුවන ලද්දීද, මතු නූපදින ස්වභාව ඇත්තීද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ අවිද්‍යාව නමැති දොර අගුල් ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් විනාශ කරන ලද දිය අගල් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු ගේ නැවත ඉපදීම ඇතිකරන්නාවූ ජාති සංසාරය ඇති කරන්නාවූ කර්මය නැතිවූයේ වෙයිද, මුල් සුන් කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව විනාශ කරන ලද කර්මය නමැති දිය අගල් ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම ඉගුළුෑ ඉන්ද්‍රඛීල ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ තෘෂ්ණාව නැතිවූවා වෙයිද, මුල් සුන් කරන ලද්දීද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේ මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව උදුරා දැමූ තෘෂ්ණාව නමැති ඉන්ද්‍රඛීල ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් අගුල් රහිත වූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ ඕරම්භාගීයයි කියනුලබන කාමලෝකය භජනයකරන්නාවූ සංයෝජන ධර්ම පස නැති වූවාහු වෙත්ද, මුල් සුන්කරන ලද්දහුද, කැපූ තල් කඳක් මෙන්කරන ලද්දාහුද, අභාවයට පමුණුවන ලද්දාහුද, මතු නූපදින ස්වභාව ඇත්තාහුද මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ඔරම්භාගිය සංයෝජන අගුල් රහිත වූයේ නම් වෙයි.
“මහණෙනි, මහණ තෙම කෙසේ නම් ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන්වූවෙක් වන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ (පංචස්කන්ධයෙහි) ‘මම වෙමි’ යන මානය ප්‍රහීණ වූයේ වෙයිද, මුල් සුන්කරන ලද්දේද, කැපූ තල් කඳක් මෙන් කරන ලද්දේද, අභාවයට පමුණුවන ලද්දේද මතු නූපදින ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව ආර්යවූ බිම හෙලු කොඩිය ඇත්තෙක් බහා තැබූ බර ඇත්තෙක් කෙලෙසුන් කෙරෙන් වෙන් වූවෙක් වන්නේය.
246
“මහණෙනි, මෙසේ මිදුණු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ දෙවියෝ සොයන්නාහු නමුත් අර්හත් පුද්ගලයාගේ සිත මෙය ඇසුරුකර සිටියේ යයි දැනගත නොහැකි වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, මම මේ ආත්මයෙහිම කෙලෙස් නැති කළ සත්වයා එසේ දැනගත නොහැකියයි කියමි.
“මහණෙනි, මෙසේ කියන්නාවූ මට ඇතැම් මහණ බමුණෝ අසත්‍යයෙන්, හිස් බසින් බොරුවෙන්, නොවූවකින් දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූ සත්වයාගේ සිඳීම, වැනසීම, අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම යම්සේ විනාශකයෙක් නොවෙම්ද, යම් පරිද්දෙකින් නොකියම්ද, ඒ පින්වත් මහණ බමුණෝ මට එපරිද්දෙන් අසත්‍යයෙන්, හිස් බසින්, බොරුවෙන්, නොවූවකින්, දොස් කියති. ‘ශ්‍රමණ ගෞතම තෙම සත්ත්ව විනාශය ප්‍රකාශ කරන්නෙක, ඇත්තාවූම සත්ත්වයාගේ සිඳීම, වැනසීම අභාවය පණවාය’යි (දොස් කියති.) මහණෙනි, මම පෙර මහ බෝමැඩදීත්, දැන් ධර්ම දෙශනා කිරීමේදීත් දුකද ප්‍රකාශ කරමි. දුකට හේතුවද ප්‍රකාශ කරමි. දුක නැතිකිරීමද ප්‍රකාශ කරමි. දුක නැති කිරීමේ මගද ප්‍රකාශ කරමි.
“මහණෙනි, ඒ කාරණයෙහිලා අන්‍යයෝ තථාගතයන්හට නින්දා කරති, පරිභව කරති, දොස් කියති, වෙහෙස කරති. එසේදවුවත් ඔවුන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ ක්‍රොධයක් නැත. දොම්නසක් නොසතුටක් නැත. එහිලා යම් කෙනෙක් තථාගතයන් හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද එහිද තථාගතයන්ගේ ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක් නැත. මහණෙනි, එහි යම් කෙනෙක් තථාගතයන්හට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහිදී තථාගතයන් හට මෙබඳු කල්පනාවක් වෙයි ‘යම් මේ පංචස්කන්ධයක් බෝමැඩදීම පිරිසිඳ දැනගන්නා ලද්දේද, ඒ පඤ්චස්කන්ධයට මෙබඳු සත්කාරයෝ කරනු ලැබෙත්’ (කියාය.)
“මහණෙනි, එහෙයින් තොපටද අන්‍යයෝ නින්දා පරිභව කරත් නම්, දොස් කියත් නම් වෙහෙසවත් නම් එහි තොප විසින් කෝපයක් දොමනසක් නොසතුටක් ඇතිකර නොගත යුතුය. මහණෙනි, මේනිසා අන්‍යයෝ තොපට සත්කාර කරත්ද, ගරු කරත්ද, බුහුමන් කරත්ද, පුදත්ද, එහි තොප විසින් ප්‍රීතියක්, සොම්නසක්, හිත ඉල්පෙන බවක්, ඇතිකර නොගත යුතුය. එහිදී තොපටද මෙසේ කල්පනා වන්නේය. ‘යම් මේ පංචස්කන්ධයක් කල් ඇතිවම පිරිසිඳ දැනගන්නා ලද්දේද ඒ පංචස්කන්ධයට මේ සත්කාරයෝ කරනු ලැබෙති’ (කියාය.)
247
“මහණෙනි, එහෙයින් යමක් තොපගේ නොවේනම් එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, තොපගේ නොවන්නේ කුමක්ද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්. එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, වේදනාව තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිතපිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ. එය දුරුකරව් එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්. එය දුරු කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ජෙතවන විහාරයෙහි යම් බඳුවූ තණ, වියලි දඬු, අතු, කොළ වෙත්ද, එය මහජනයා ගෙනයන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති දෙයක් කරන්නේ හෝ වේද, එවිට තොපට මේ ජනයා අප ගෙන යන්නේය, අප දවන්නේය, කැමති දෙයක් කරන්නේය කියා කල්පනා වේද?” “නැත, ස්වාමීනි” “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, එය අප මමයයි ගන්නා දෙයකුත් නොවෙයි. මගේයයි ගන්නා දෙයකුත් නොවෙයි.”
“මහණෙනි, එසේම යමක් තොපගේ නොවේ නම් එය දුරුකරව්, මහණෙනි, එය දුරුකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, කුමක් තොපගේ නොවන්නේද? මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. වේදනාව තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංඥාව තොපගේ නොවේ එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නොවෙත්. එය දුරුකරව්, එය නැතිකිරීම තොපට දීර්ඝ කාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය. මහණෙනි, විඥානය තොපගේ නොවේ. එය දුරුකරව්, එය නැතිකිරීමට තොපට දීර්ඝකාලයක් හිත පිණිස සැප පිණිස පවත්නේය.
248
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද ප්‍රකට කරනලද පැහැදිලි කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් ඒ කෙලෙස් නැති කළ, වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, ලැබූ පල ඇති, නැති කළ භව බන්ධන ඇති මනාව දැන මිදුණු යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්හට ඇතැයි දැක්වීමට සංසාරයක් නැත.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරුකරන ලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද කැලිකසල දුරු කරන ලද, ශාසනයෙහි යම් භික්ෂුවකගේ කාමලොකය භජනය කරන සංයෝජන පහ නැතිවූයේ වේද ඒ සියල්ලෝ එහි (ඒ බඹලොව) පිරිනිවන් පානා ඕපපාතිකයෝ වෙත්. ඒ ලෝකයෙන් නැවත මේ කාම ලෝකයට ඉපදීම් වශයෙන් නොඑන්නෝ වෙත්.
“මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරනලදී, කැලිකසල දුරුකරනලදී. එසේ මොනවට දෙසන ලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරන ලද අනාවරණය කරන ලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැති වූවාහු වෙත්ද, රාග දොෂ මෝහයෝ තුනී වූවාහුද, ඒ සියල්ලෝ සකෘදාගාමි වෙති. එක් වරක් පමණක් මේ ලෝකයට (ඉපදීම වශයෙන්) අවුත් දුක් කෙළවර කරත්.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙසනලදී, ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරු කරනලදී, එසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරුකරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ගේ සංයෝජන තුන නැතිවූවාහු වෙත්ද, ඒ සියල්ලෝ සෝවාන් වෙත්. අපායෙහි නූපදින සුලුයහ, නියත වූවාහු සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මොනවට දෙසනලදී. ප්‍රකට කරනලදී. පැහැදිලි කරනලදී. අනාවරණය කරනලදී. කැලිකසල දුරු කරනලදී.
“මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසනලද, ප්‍රකට කරනලද, පැහැදිලි කරනලද, අනාවරණය කරනලද, කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් ඒ භික්ෂූහු ධම්මානුසාරී වෙත්ද, සද්ධානුසාරී වෙත්ද, ඒ සියල්ලෝ සම්බෝධිය පිහිට කොට ඇත්තාහුය.
“මහණෙනි, මා විසින් ධර්මය මෙසේ මොනවට දෙනලදී. ප්‍රකට කරනලදී, පැහැදිලි කරනලදී, අනාවරණය කරන ලදී, කැලිකසල දුරුකරනලදී.
එසේ මොනවට දෙසන ලද ප්‍රකට කරනලද අනාවරණය කරනලද කැලිකසල දුරු කරනලද ශාසනයෙහි යම් භික්ෂූන්ට මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් පවතීද, ප්‍රේම මාත්‍රයක් පවතීද, ඒ සියල්ලෝ ස්වර්ගය පිහිටකොට ඇත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
දෙවෙනිවූ අලගද්දූපම සූත්‍රය නිමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )