MN 3.7. චූල හත්ථිපදොම සූත්‍රය

288
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ජානුස්සොනි නම් බ්‍රහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් මධ්‍යාහ්නයෙහි (මැදි දවල්) සැවැත් නුවර වීථින්හි ගමන් කරයි.
ජානුස්සොනි බ්‍රාහ්මණ තෙම එන්නාවූ පිලොතික නම් පරිබ්‍රාජකයා දුරදීම දුටුවේය, දැක පිලොතික පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. “පින්වත, *වච්ඡායනතෙමේ මේ මැදි දවල් කොහි සිට එන්නෙහිද?”
“පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි සිට මේ දිශාවෙන් එමි”යි (කීය)
“පින්වත්, වච්ඡායන තෙම ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ දක්ෂ නුවණ ඇති බව ගැන කුමක් සිතන්නෙහිද? පණ්ඩිතයෙකැයි සිතන්නෙහිදැ?”යි (ඇසීය)
“පින්වත, මම කවරෙක්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගැනීමට තරම් මම කවරෙක්ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි දක්ෂ බව දැන ගන්නේ නම් ඔහුත් උන්වහන්සේ හා සමාන කෙනෙකු විය යුතුය.”
“පින්වත් වච්ඡායන තෙම ඉතා උසස් ප්‍රශංසාවෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කෙරෙ”යි.
“පින්වත, මම කවරෙක්ද? කවරෙක්වූ මම ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්නෙම්ද? “ඒ පින්වත් ශ්‍රමණ ගෞතම තෙම ප්‍රශංසා කළ යුත්තන් (උසස් අය) විසින් දෙවි මිනිසුන්ට ශ්‍රෙෂ්ඨයයි ප්‍රශංසා කරනලදී”
“පින්වත් වච්ඡායන තෙම කුමන කාරණයක් දකිමින් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ ඉතා පැහැදුනේද?”
“පින්වත, යම්සේ ඇතුන් වසන වනයක හැසිරෙන දක්ෂ පුද්ගලයෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද ඔහු ඇතුන් වසන වනයෙහි දිගින්ද දික්වූ පුළුළින්ද පුළුල්වූ, මහත්වූ ඇත්පියවරක් (අඩි සටහනක්) දකින්නේද, පින්වත, ඔහු ඒ මහා ඇතෙක් යයි තීරණයට පැමිණෙයි. පින්වත, එපරිද්දෙන් මමද යම්තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි ඥානපද සතරක් (නුවණ පියවර) දුටුයෙම්ද, එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම, අවබොධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් දෙශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
* වච්ඡායන නම් ගොත්‍ර ඇතිහෙයින් එසේ කීය.
289
“කවර ඤාණපද සතරක්ද යත්, පින්වත මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් (විදුලි එලියෙන් අස්ලොමට විදීමට සමතුන්) වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ක්ෂත්‍රීය පණ්ඩිතයෙක් දක්නෙම් ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසන්නෙමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. “ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නේය. එවිට අපි මෙසේත් වාදය නගමු”යි (කියයි) අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි අසා ඔව්හු ශ්‍රමණ ගෞතමයන් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්නවත් නොඅසති, උන්වහන්සේට කොයින් වාදාරොපනයක් කරද්ද (වාදය පිණිස කථා නොකරති) ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමන්ගේම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ පළමුවන ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට ‘භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දෙශනා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඩ්ඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙතියි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මෙසේ අසන්නෙමු’යි ඔව්හු ප්‍රශ්න සූදානම් කරත්. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගහු”යි (කියාය.) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ ශ්‍රමණ ගෞතමයන් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත් (එසේ පැමිණි කල්හි) ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු, ශ්‍රමණ ගෞතමයින්ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේම ශ්‍රාවකයෝ වෙත්.
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවෙනි ඤාණ පදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දෙශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවෙධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍ය දෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත්යයි සලකන යම් ගෘහපති පණ්ඩිතයන් මම දකිම්ද ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පැමිණෙත්යයි අසත්ද, ‘අපි ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් මේ ප්‍රශ්න අසමුයි ඔව්හු ප්‍රශ්න සූදානම් කරති. ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර කියන්නාහ. එවිට අපි මෙසේ උන්වහන්සේට වාදාරොපනය කරමු. ‘ඉදින් අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමුයි’ (කියාය) ඔව්හු අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණ ගෞතමයින් පැමිණියහයි (අසා) ශ්‍රමණ ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්, ශ්‍රමණ ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්, උත්සාහ කරවත්, සතුටු කරවත්, ඔව්හු ශ්‍රමණ ගෞතමයින් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු උත්සාහ කරවන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයින් ගෙන් ප්‍රශ්නවත් නොඅසති. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරද්ද? ඔව්හු ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයින්ගේ ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දෙශනා කරන ලදී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය කියා තීරණයට පැමිණියෙමි.
“නැවතද පින්වත, මේ ලොකයෙහි සියුම් බුද්ධි ඇති අනුන් හා වාද කිරීමෙහි පුරුද්ද ඇති, වාලවේධීන් වැනිවූ ප්‍රඥා බලයෙන් අන්‍යදෘෂ්ටීන් බිඳිමින් හැසිරෙත් යයි සලකන යම් ශ්‍රමණ පණ්ඩිතයන් මම දකිම්ද, ඔව්හු ශ්‍රමණ භවත් ගෞතමයන් අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ පැමිණෙතියි අසත්ද, ඔව්හු ‘අපි ශ්‍රමණ ගෞතමයින් කරා ගොස් මේ ප්‍රශ්න අසමු’යි ප්‍රශ්න සූදානම් කරති. ‘ඉදින් අප විසින් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ’ එවිට අපි උන්වහන්සේට මෙසේ වාදාරොපනය කරමු. අප විසින් මෙසේත් අසන ලද්දේ මෙසේ උත්තර දෙන්නාහ. එවිට අපි මෙසේත් වාදය නගමු’යි (කියාය) අසවල් නම් ගමට හෝ නියම් ගමට හෝ ශ්‍රමණභවත් ගෞතමයෝ පැමිණියහයි අසා, ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයින් යම් තැනකද එතැනට පැමිණෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ධර්මානුකූල කථාවෙන් කරුණු දක්වා ඔවුන් එහි සමාදන් කරවත්. උත්සාහ කරවත් සතුටු කරවත්. ඔව්හු ශ්‍රමණභවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, එහි සමාදන් කරවන ලද්දාහු, උත්සාහ කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙන් ප්‍රශ්නවත් නො අසත්. උන්වහන්සේට කොයින් වාදාරොපනය කරත්ද, ඔව්හු ඒකාන්තයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගෙන් අවසර ඉල්වත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන් පැවිදි කරවති. උපසම්පදාද කරවති. ඔව්හු එහි පැවිදිවූවාහුම හුදකලා (තනි) වූවාහු, සමූහයෙන් වෙන්වූවාහු, අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්යය ඇත්තාහු සතර මාර්ගයෙහි යොදවනලද සිත් ඇත්තාහු වාසය කරන්නාහුය, කුල පුත්‍රයෝ යම් මාර්ගඵලයක් පිණිස ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වෙද්ද, නොබෝ කලකින් බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති උතුම්වූ ඒ අර්හත් ඵලය මේ ආත්මයේදීම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරත්. ඔව්හු මෙසේ කියන්නාහ.
“පින්වත්නි, අපි තව ස්වල්පයකින් නැසුනෝ වන්නෙමු. තව ස්වල්පයකින් වැනසුනෝ වන්නෙමු. අපි වනාහි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයෝ වෙමුයි කියාගතිමු. බ්‍රාහ්මණයන් නොවීම බ්‍රාහ්මණයෝ වෙමුයි කියාගතිමු. රහතුන් නොවීම රහත්හු වෙමුයි කියාගතිමු. දැන් වනාහි අපි ශ්‍රමණයෝත් වෙමු. දැන් වනාහි බ්‍රාහ්මණයෝත් වෙමු. දැන් වනාහි රහත්වූවෝත් වෙමුයි (කියති.)
“පින්වත, යම් කලක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සතරවෙනි ඤාණපදය දුටුයෙම්ද, එතැන් සිට භාග්‍යවතුන් වහන්සේ සියල්ල තමන්ම අවබෝධ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට දෙශනා කරනලදී. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිගන්නේය කියා තීරණයට පැමිණියෙමියි, (කීය)
290
“මෙසේ කී කල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයෙන් බැස උතුරු සළුව ඒකාංශකොට (එක උරයකට) පොරවා දමාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැඳගෙන මේ ප්‍රීති වාක්‍යය තුන් වරක් කීයේය. “භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවත් වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, යම් දවසක කෙසේ හෝ ඒ භවත් ගෞතමයන් සමග අපි එක් වන්නෙමු නම් ඉතා යෙහෙක. එක්වී කිසියම් සතුටු සාමීචි කථාවක් වන්නේනම් ඉතා යෙහෙක’ (කියායි)
ඉක්බිති ඒ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක හිඳගත්තේය. එක පැත්තක හිඳගත්තාවූ ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම, පිලොතික පරිබ්‍රාජකයා සමග යම් කථාවක් වීද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ සමග කීයේය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජාණුස්සෝනි බ්‍රාහ්මණයා හට මෙසේ වදාළාහ. ‘බ්‍රාහ්මණය, මෙපමණකින් හත්ථිපදොපමාව (ඇත් පා උපමාව) විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ නොවෙයි. බ්‍රාහ්මණය, යලිත් හත්ථිපදොපමාව යම් සේ විස්තර වශයෙන් සම්පූර්ණ වේද එය හොඳින් අසව, හොඳින් සිත තබා ගනුවකියන්නෙමි”යි වදාළහ. “එසේය පින්වතුන් වහන්සැ”යි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
291
“බ්‍රාහ්මණය, යම්සේ ඇතුන්වසන වනයෙහි හැසිරෙන්නෙක් ඇතුන් වසන වනයට ඇතුල් වේද, හෙතෙම ඇතුන් වසන වනයෙහි දිගින් දික්වූද, පුළුලින් පුළුල්වූද මහත්වූ ඇත් අඩියක් දක්නේද, ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා (ඇත් ශිල්පයෙහි) දක්ෂයෙක් වේනම් (හෙතෙම) ‘පින්වත මේ මහා ඇතෙක් ය’යි එයින් තීරණයට නොපැමිණෙයි.
“ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “වාමනිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඇත් අඩිය ඔවුන්ගේ විය හැකියයි සිතා ඔහු ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූතැන් හා ගැටුන තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් (ඔහු) පින්වත, මේ මහාඇතෙකැයි’ එයිනුදු තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි මහත්වූ පාද ඇති “උච්චා කාළාරිකා” නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ ඔවුන්ගේ අඩියක් විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද ගස්වල උඩ අතු කැඩූ තැන්ද ගැටුන තැන්ද උඩ දළවලින් අනින ලද තැන්ද දකියි. ඒ ඇත් වනයෙහි හැසිරෙන්නා දක්ෂයෙක් වේනම් මේ මහා ඇතෙක්යයි තීරණයට නොපැමිණෙයි. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණය, ඇත් වනයෙහි ‘උච්චා කණෙරුකා’ නම් ඇතින්නියෝ ඇත්තාහ. මේ පාද ඔවුන්ගේ විය හැකියයි හෙතෙම ඒ අනුව යන්නේය. ඒ අනුව යන ඔහු ඇත් වනයෙහි දිගින් දික්වූ පළලින් පළල්වූ මහත් ඇත් අඩියක්ද, (ගස්වල) උඩ අතුකැඩූ තැන් හා ගැටුනු තැන්ද උඩ දළ වලින් අනිනලදතැන්ද, උඩ බිඳුන තැන්ද දකියි. රුක්මුලකට ගියාවූ හෝ හිස් අවකාශ ස්ථානයකට ගියාවූ හෝ යන්නාවූ හෝ සිටින්නාවූ හෝ නිදා සිටින්නාවූ හෝ ඒ මහා ඇත් රාජයාත් දකියි. (එවිට) හෙතෙම මේ ඒ මහා ඇත් රාජයා යයි තීරණයට පැමිණෙයි.
“බ්‍රාහ්මණය, එසේම මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, මේ ලොකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහිගෙයි විසීම් අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ සක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියාය.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝ වූ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය.
292
“එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහාතබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදුවූ සිතින් යුක්ත වාසයකෙරේ. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇති කරන වචන කියන්නේය. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
293
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි. එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් හා විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. ‘නැටීම් ගී කීම් බෙර ආදිය වැයීම්’ විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විලවුන් පැළඳීම ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලඩ්කාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඌරන්, කුකුළන් පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ඇතුන්, ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැනීමෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැනීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම් ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
294
“හෙතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙනයන්නේ වෙයි. යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹායේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටුවන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙනම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
295
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී, චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
කනින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද ඒ ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි. ඝානෙන්ද්‍රිය රකියි. ඝානෙන්ද්‍රියාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන, ජිව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද එහි සංවරය පිණිස පිළිපදියි ජිව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂා කරයි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශ කොට නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක්වනසේ සිතට නොගනියි. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රිය සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟළ සිවුර සහ පාත්‍රා සිවුරු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය. රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි.
296
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල්ගුහාද, සොහොන්ද, ඉතාදුරවූ කැලෑද, හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්යංක බැඳ, ශරීරයේ කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
297
“හෙතෙම සිත කිලුටු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ.
“මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය, කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද, කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවකතෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්කොට දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ ධ්‍යානයක් උපේක්ෂා ඇති, සැප විහරණය ඇත්තේයයි කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දෙශනා කරන ලද්දේය කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද, තීරණයට නොපැමිණෙයි.
298
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්, ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද ‘අසුවල් තැන වීමි. මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජිවිත සිහි කෙරෙයි. බ්‍රාහ්මණය මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දෙශනා කරන ලද්දේ යයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට නොපැමිණෙයි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, කෙලෙස් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්ත්වයන් දකී. ‘මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූහ, වාග් දුශ්චරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට ගරහන්නෝවූහ, මිථ්‍යාදෘෂ්ටිකයෝවූහ, මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වූහ. ඔව්හු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත් නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාක් සුචරිතයෙන් යුක්ත වූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්යයන්ට නොගරහන්නෝවූහ, සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන් වූහ. ඔව්හු මරණින් මතු යහපත් ස්වර්ග ලොකයට පැමිණියෝ”යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මසිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද ධර්මය ලෙස පැමිණි සත්ත්වයන් දකී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ) පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනා ලද ස්ථානයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (නුවණ නැමති දළවලින්) අනින ලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නො පැමිණෙයි.
299
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“බ්‍රාහ්මණය, මෙයද තථාගතයන් වහන්සේගේ (ඤාණ)පදයයි කියාද, තථාගතයන් වහන්සේ විසින් (ප්‍රඥාවෙන්) ගටනාලද ස්ථානයයි කියාද තථාගතයන් වහන්සේ විසින් (නුවණ නමැති දළවලින්) අනිනලද ස්ථානයයි කියාද කියනු ලැබේ. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත්ව දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම යහපත්ව පිළිපන්නේය කියාද තීරණයට නොපැමිණෙයි.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, අවිද්‍යා ශ්‍රවය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරන ලදී. මින්පසු මේ සඳහා කළ යුත්තක් නැතැයි’ද දැනගනී.
“බ්‍රාහ්මණය, ආර්ය ශ්‍රාවක තෙම මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයයිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යහපත් කොට දෙශනා කරන ලද්දේයයි කියාද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම යහපත්ව පිළිපන්නේයයි කියාද තීරණයට පැමිණෙයි. බ්‍රාහ්මණය, හස්තිපදය (ඇත් අඩිය) උපමා කොට ඇති ධර්මය මෙපමණින් සම්පූර්ණ වේය”යි වදාළහ.
මෙසේ වදාළකල්හි ජාණුස්සෝනි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය “භවත් ගෞතමයාණන් වහන්ස, ධර්ම දෙශනාව යහපති, ස්වාමිනි, ඉතාම යහපති ස්වාමීනි, (යමෙක්) යටිකුරු කරන ලද්දේ යම්සේ උඩුකුරු කරන්නේද වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ස්වාමීනි, (ඒ ඇසූ) මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද සංඝයාද සරණ කොට ගනිමි. අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා.”
හත්වෙනිවූ චූල හත්ථි පදොපම සූත්‍රය නිමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )