MN.3.5- නිවාප සූත්‍රය

5.
261
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළහ. “ස්වාමීන් වහන්ස” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, මුවන් ඇල්ලීමට තණ කොළ වවන තැනැත්තේ ‘මා විසින් මේ වවන තණකොළ අනුභව කරන්නාවූ මුව සමූහයා එය අනුභව කොට දීර්ඝායුෂ වෙත්වා, වර්ණවත් වෙත්වා, බොහෝ කලක් යැපෙත්වායි’ කියා නො වවන්නේය. ඔහු මෙසේ සිතාගෙන වවන්නේය. (කෙසේද?) මුව සමූහයා මා විසින් වවන මේ තණකොළ කොටුවට ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහුය. ඇතුල්වී මුසපත්ව ආහාර අනුභව කරන්නාහු මත්වන්නාහුය. මත්වූවාහු සිහි නැති බවට පැමිණෙන්නාහ. සිහි නැති වූවාහු මේ තණකොළ කොටුවෙහිදී කැමතිසේ අල්ලාගත හැකි බවට පැමිණෙන්නාහුය’යි සිතා තණ කොටුව වවන්නේය.
262
“මහණෙනි, එහි පළමුවෙනි මුවසමූහය මුවන් ඇල්ලීම පිණිස තණ වවන්නහුගේ තණ කොටුවට ඇතුළුවී මුසපත් වූවාහු බොජුන් අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව මුසපත්ව බොජුන් අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට (සිහිනැති බවට) පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මුවන් අල්ලන්නාගේ ඒ කොටුවෙහි කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි මෙසේ වනාහි පළමුවෙනි මුව සමූහයා මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහ.
263
“මහණෙනි, එහි ලා දෙවන මුව සමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය ඒ මුවන් අල්ලන්නාගේ තෘණ කොටුවට වැද මුසපත්වූවාහු භොජනයන් අනුභව කළාහුද, ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු ඒ තණකොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුණාහ. යම්හෙයකින් අපි ඒ තණ කොටුවේ භොජනයෙන් සම්පූර්ණයෙන් වළකීමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව මහ වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක.’ (කියායි) ඔව්හු මුළුමණින් තණ කොටු භෝජනයෙන් වැළැක්කාහුය. බියෙන් අනුභව කටයුතු බොජුනෙන් වැළැක්කාහු මහ වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තෘණ හා ජල වියලී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුනු කල්හි මුවන් අල්ලන්නාගේ ඒ තෘණ කොටුවට ආපසු පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
264
“මහණෙනි, එහි තුන්වෙනි මුවසමූහය මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ ඒ තණ කොටුවට වැද සිහිමුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවැනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ දෙවෙනි මුව සමූහය මෙසේ සිතූහ. යම් ඒ පළමු වෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ තණ කොටුවට වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුද? ඔව්හු එහි ඇතුල්ව සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුවන් අල්ලන්නාගේ උපක්‍රමබලයෙන් නොමිදුනාහුය. අපි සම්පූර්ණයෙන් තණ කොටු භොජනයෙන් වෙන්වෙමු නම් භයින් අනුභවකළ යුතු ආහාරයෙන් වෙන්ව වනයටවැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔව්හු තෘණ කොටු භොජනයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ආපසු පැමිණියහ.
“ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහිමුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාවූ ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“එහෙයින් අපි මුවන් අල්ලන්නාගේ මේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින තැනක් සදාගන්නෙමු නම් යහපති. එහි වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහිමුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණියෝම ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නේමු’ (කියාය)
“ඔව්හු මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරුව සැඟවී සිටින ස්ථානයක් කොට වාසය කළාහුය. වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුවන් අල්ලන්නාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියාහ.
“මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය. කපටිය. මේ තුන්වන මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය, මොව්හු යක්ෂයන් වැනිය. ඔව්හු තෘණකොටුවේ තෘණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම් හෝ යාම හෝ නොදනිමු. අපි යම් හෙයකින් මේ තණකොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලැබීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක (කියායි) ඔව්හු මේ තණ කොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් වටකළාහුය.
“මහණෙනි, මුවන් අල්ලන්නාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලැගීමට යත්ද ඒ වාසස්ථානය දුටුවාහුය මහණෙනි, ඒ තුන්වන මුව සමූහයාද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
265
“මහණෙනි, එහි සතරවෙනි මුව සමූහයා මෙසේ සිතූහ. ‘යම් ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දන්ගේ තණ කොටුවට වැද සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුය. ඔව්හු එහි ඇතුල්ව සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තෘණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය.’ මෙසේ ඒ පළමුවෙනි මුව සමූහය මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. යම් ඒ දෙවෙනි මුව සමූහය මෙසේ සිතුවාහුද ‘අපි සම්පූර්ණයෙන් තෘණ කොටු ආහාරයෙන් වෙන්වෙමු නම් භයින් අනුභව කළ යුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි) ඔව්හු තණ කොටු ආහාරයෙන් සම්පූර්ණයෙන් වෙන්වූහ. භයින් අනුභව කළයුතු ආහාරයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේය. ඉතා කෙට්ටු බවට පැමිණි ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි මුව වැද්දාගේ ඒ තණ කොටුවට ආපසු පැමිණියහ.
“ඔව්හු එහි වැද සිහිමුළාවූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු ඒ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි මුව සමූහයද මුවන් අල්ලන්නාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. (එහෙයින්) අපි මුවන් අල්ලන්නාගේ තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට වාසය කරන්නෙමු. එසේ වාසය කොට මුවන් අල්ලන්නාගේ තණ කොටුවට ඇතුළු නොවී සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු. ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණෙන්නෙමු. මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු. ප්‍රමායට නොපැමිණියෝම ඒ තණ කෙටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු’ (කියාය)
“ඔව්හු මුවවැද්දාගේ තණකොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට වාසය කළාහුය. වාසය කොට මුව වැද්දාගේ තණකොටුවට ඇතුළු නොවී සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණකොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියහ.
“මහණෙනි, එහි මුව වැද්දාටද ඔහුගේ පිරිසටද මෙබඳු සිතක්විය. ‘මේ තුන්වන මුව සමූහය කයිරාටිකය, කපටිය, මේ තුන්වන මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය, යක්ෂයන් වැනිය. ඔව්හු තණකොටුවේ තණද අනුභව කරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම් හෙයකින් මේ තණ කොටුව හාත්පස දැලකින් වටකරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලැගීමට යන්නාහුද මේ තුන්වන මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි)
“ඔව්හු මහත් දැලකින් තණකොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් වටකළාහුය.
“මහණෙනි, මුව වැද්දාද ඔහුගේ පිරිසද ඒ තුන්වන මුව සමූහය යම් තැනක ලගිද්ද ඒ තැන් දුටුවාහුය. මහණෙනි, ඒ තුන්වන මුව සමූහයද මෙසේ ඒ මුව වැද්දාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් විධියකින් මුව වැද්දාද ඔහුගේ පිරිසද යම්තැනකට යා නොහැක්කේද අපි එබඳු තැනක් වාසස්ථාන කරන්නෙමු නම් එහි වාසය කොට මුව වැද්දාගේ තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් නොවැද මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවූවෝම ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණියෝම මේ තණ කොටුවෙහි මුව වැද්දාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණෙන්නෙමු නම් යහපත් යයි සිතූහ. යම් තැනකට මුවවැද්දාද ඔහුගේ පිරිසද නොයන්නේද ඒ ස්ථානය වාසස්ථාන කරගත්හ. එහි වාසය කරමින් මුවවැද්දාගේ තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළහ. තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත්වීමට නොපැමිණියාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු ඒ තණ කොටුවෙහි මුවවැද්දාගේ කැමැත්තක් නොකළහැකි බවට පැමිණියාහ.
“මහණෙනි, මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘මේ හතරවෙනි මුව සමූහයා කයිරාටිකය කපටිය. මේ හතරවැනි මුව සමූහයා ඍද්ධි ඇත්තවුන් වැනිය. යක්ෂයන් වැනිය. ඔව්හු තණකොටුවද අනුභවකරත්. ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. අපි යම්හෙයකින් තණ කොටුව හාත්පස මහත් ප්‍රදෙශයක් මහත් දැලකින් වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. යම් තැනෙක ඔව්හු ලගිද්ද මේ හතරවෙනි මුව සමූහයාගේ වාසස්ථානය දක්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔව්හු ඒ තණකොටුව හාත්පස මහත් ප්‍රදේශයක් මහත් දැළකින් වටකළාහුය. මහණෙනි, මුවවැද්දාද ඔහුගේ පිරිසද ඒ මුව සමූහයාගේ වාසස්ථානය නුදුටුවාහුය.
“මහණෙනි, ඒ මුවවැද්දාටද ඔහුගේ පිරිසටද මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් අපි මේ සතරවැනි මුව සමූහයා කලබල කරන්නෙමු නම් කලබල කරනු ලැබූ ඔව්හු දුර සිටින අන්‍ය මුවන්ද කලබල කරන්නාහ. ඒ මුවෝද කලබල වූවාහු අන්‍යයන්ද කලබල කරන්නාහ. එසේ වූවිට මේ තණ කොටුව සම්පූර්ණයෙන් මුවන්ගෙන් හිස් වන්නේය. යම් හෙයකින් අපි සතරවෙනි මුව සමූහයා කෙරෙහි උපේක්ෂා වන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ කියායි මහණෙනි, මුව වැද්දාද මුවවැද්දාගේ පිරිසද සතරවැනි මුව සමූහයා කෙරෙහි උපේක්ෂාවූහ, මහණෙනි, මෙසේ වනාහි ඒ සතරවැනි මුව සමූහයා මුවවැද්දාගේ උපක්‍රම බලයෙන් මිදුනාහ.
266
“මහණෙනි අර්ථය ඇඟවීමට මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි අර්ථය මෙසේය. මහණෙනි, තණ කොටුව යනු පංචකාම ගුණයට නමෙකි. මහණෙනි, මුවවැද්දා යනු පාපීවූ මාරයාට නමෙකි. මහණෙනි, ඔහුගේ පිරිස යනු මාර පිරිසට නමෙකි. මහණෙනි, මුව සමූහයා යනු මහණ බමුණන්ට නමෙකි.
267
“මහණෙනි, පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද තණ කොටුව නමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභව කළහ. ඔව්හු එහි සිහි මුළාව පස්කම් සැප අනුභව කිරීමෙන් මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පඤ්චකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහ.
“මහණෙනි, මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, පළමුවෙනි මුව සමූහය යම්සේද, මහණෙනි මේ පළමුවෙනි මහණ බමුණන්ද එබඳුයයි කියමි.
268
“මහණෙනි, එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවන ලද පඤ්චකාම තණ කොටුවට ඇතුල්ව සිහිමුළා වූවාහු ආහාර අනුභව කළාහුද ඔව්හු එහි සිහි මුළාව පඤ්චකාමය නමැති ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණිහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්ණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භෝජනයෙන් වෙන්ව මහවනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භෝජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් අනුභව කරන්නෝද වූහ, සම් කසට අනුභව කරන්නෝද වූහ, ගස්මැලියම් අනුභව කරන්නෝද වූහ, කුඩු අනුභව කරන්නෝද වූහ, දඹු බත් අනුභව කරන්නෝද වූහ, තණ කොළ අනුභව කරන්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම අනුභව කරන්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වන මුල් ඵල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළාවූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහිමුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මහණෙනි, මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය. මහණෙනි, මම දෙවෙනි මුව සමූහය යම්සේද මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ද මෙබඳු යයි කියමි.
269
“මහණෙනි, තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ.’ පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහිමුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළහ. ඔව්හු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම නමැති තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුවාහුද ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා ‘මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණකොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළාහුද ඔව්හු එහි සිහිමුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයා මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාම තණකොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භයසහිත භෝජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමුනම් ඉතා යෙහෙක. (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පඤ්චකාමය නමැති තණකොටු භෝජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භෝජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමු කොළ බුදින්නෝවූහ. බඩහමු (අමු) බුදින්නෝවූහ. උරුහැල් බුදින්නෝවූහ. සම් කසට බුදින්නෝවූහ. ගස් මැලියම් බුදින්නෝ වූහ. කුඩු බුදින්නෝ වූහ. දඹු බත් බුදින්නෝ වූහ. තණකොළ බුදින්නෝ වූහ. ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝ වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝ වූහ. වන මුල් ඵල අනුභව කරන්නාහු ජීවත්වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද එම පඤ්චකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු පංචකාම තණ කොටුවල ආහාරය අනුභව කළහ, ඔව්හු එහි වැද සිහි මුළාව පඤ්චකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පඤ්චකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“මේ මාරයා විසින් වවනලද පංචකාම නමැති තණ කොටුවට නුදුරුව සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පඤ්චකාම තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු එහි නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. මත්වීමට නොපැමිණෙන්නමෝ මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි) ඔව්හු මාරයාගේ පඤ්චකාම තණකොටුවට නුදුරුව සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පඤ්චකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළානොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත්නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පඤ්චකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
“එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලෝකය සදාකාලිකය කියාද, ලෝකය සදාකාලික නොවේය කියාද, ලෝකය කෙළවර නැත්තේය කියාද ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි. එයම ශරීරය වෙයි, කියාද, ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්ත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තෙත් නැත. නැත්තෙත් නැත කියාද සත්ත්වයා මරණින් මතු නොම ඇත්තේය නොම ඇත්තෙත් නොවන්නේය කියාද වෙති, මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“මහණෙනි, තුන්වෙනි මුව සමූහය යම්සේද මේ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයන් එබඳුයයි මම කියමි.
270
“මහණෙනි, එහි සතරවැනි මහණ බමුණෝ මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ සිහි මුළාව මාරයා විසින් වවනලද පඤ්චකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමු වැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.’
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතුවාහුද යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවනලද පඤ්චකාම තණ කොටුවෙහි වැද සිහි මුළා වූවාහු පඤ්චකාමය අනුභව කළාහුද ඔව්හු එහි මුළාව ආහාර අනුභව කළාහු මත් වූවාහුය. මත් වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහුය. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භෝජනයෙන් වෙන්වූවාහු භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය. ඔව්හු එහි අමු කොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ. ඌරුහැල් බුදින්නෝද වූහ. සම් කසට බුදින්නෝද වූහ. ගස්මැලියම් බුදින්නෝද වූහ. කුඩු බුදින්නෝද වූහ. දඹුබත් බුදින්නෝද වූහ. තණකොළ බුදින්නෝද වූහ. ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ. වන මුල් පල අනුභව කරමින්ද ජීවත් වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගියකල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටුවිය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවනලද පංචකාම කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව, ආහාර අනුභව කරන්නාහු. මත් වූවාහුය, මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදවූවාහු මේ පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියාහුය. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“අපි මේ මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නුදුරුව සැඟවී සිටින තැනක්කොට එහි නොවැද වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම් එහි නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත්වීමට නොපැමිණෙන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමු නම් ප්‍රමාදයට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙක. (කියායි.) ඔව්හු මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද එහි වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
එසේද වුවත් ඔව්හු මෙබඳු දෘෂ්ටි ඇත්තෝවූහ. ලෝකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර ඇත්තේය කියාද, ලෝකය කෙළවර නැත්තේය. එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි කියාද ජීවිතය අනිකෙක ශරීරය අනිකෙක කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්ත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්වයා මරණින් මතු ඇත්තේත් නැත. නැත්තේත් නැත කියාද සත්ත්වයා මරණින්මතු නොම ඇත්තේය. නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති. මහණෙනි, මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. මහණෙනි, ඒ තුන්වැනි මුව සමූහය යම්සේද මම මේ තුන්වැනි මහණ බමුණු සමූහයත් එබඳුයයි කියමි.
“මහණෙනි, ඒ සතරවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවනලද තණකොටුව නමැති පංචකාමය සිහි මුළාවූවාහු අනුභවකළහ. ඔව්හු එහි සිහිමුළාව පස්කම් සැප අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියාහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය. එහි දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ සිතූහ. යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයා විසින් වවනලද ඒ පංචකාම තණ කොටුවට ඇතුල්ව සිහි මුළාවූවාහු ආහාර අනුභව කළාහුද ඔව්හු එහි සිහිමුළාව පංචකාමය නමැති ආහාර අනුභවකළාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පඤ්චකාමය නම්වූ තණ කොටු භෝජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භෝජනයෙන් වෙන්ව, මහ වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාම භොජනයෙන් වෙන් වූවාහුය. භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය.
“ඔව්හු එහි අමුකොළ බුදින්නෝද වූහ. බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් බුදින්නෝද වූහ, කුඩු බුදින්නෝද වූහ. දඹුබත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ. වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ. වන මුල් ඵල අනුභව කරමින්ද ජීවිකාව කළාහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටුවිය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හි සමාධියෙන් පිරිහුනාහ. සමාධියෙන් පිරිහුන හෙයින් මාරයා විසින් වවන ලද ඒ පංචකාම තෘණ කොටුවට නැවත පැමිණ එහි වැද සිහි මුළාවූවාහු පංචකාමය නමැති ආහාර අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වීමට පැමිණියාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ දෙවැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතූහ. ‘පළමුවෙනි මහණ බමුණෝ මාරයා විසින් වවන ලද ඒ පංචකාමය නමැති තණ කොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාම නම්වූ ආහාර අනුභව කළාහු මත්වීමට පැමිණියහ. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාමය නමැති තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“යම් ඒ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මෙසේ සිතුවාහුද ‘යම් ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයා විසින් වවන ලද පංචකාමය නමැති තණ කොටුවට වැද සිහි මුළා වූවාහු පංචකාමය නමැති භොජනය අනුභව කළාහුද ඔව්හු එහි සිහි මුළාව ආහාර අනුභව කළාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාදයට පැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට පැමිණියහ. මෙසේ ඒ පළමුවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“යම් හේතුවකින් අපි සියලු ආකාරයෙන් පංචකාම තණකොටු භොජනයෙන් වළකින්නෙමු නම් භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වසන්නෙමු නම් ඉතා යෙහෙක’ (කියායි) (මෙසේ) ඔව්හු සම්පූර්ණයෙන් පංචකාමය නමැති තණකොටු භොජනයෙන් වෙන් වූවාහුය, භය සහිත භොජනයෙන් වෙන්ව වනයට වැද වාසය කළාහුය, ඔව්හු එහි අමු කොළ බුදින්නෝද වූහ, බඩහමු (අමු) බුදින්නෝද වූහ, ඌරුහැල් බුදින්නෝද වූහ, සම් කසට බුදින්නෝද වූහ, ගස් මැලියම් බුදින්නෝද වූහ. කුඩු බුදින්නෝද වූහ, දඹු බත් බුදින්නෝද වූහ, තණකොළ බුදින්නෝද වූහ, ළපටි වස්සන්ගේ ගොම බුදින්නෝද වූහ, වැටුන ගෙඩි අනුභව කරන්නෝද වූහ, වනමුල් ඵල අනුභව කරමින්ද ජීවත්වූහ. ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි තණ හා ජලය අවසන්ව ගිය කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෙට්ටු විය. ඉතා කෙට්ටුවූ ශරීර ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුනේය. ශක්තිය පිරිහුන කල්හිසමාධිය පිරිහුනේය. සමාධිය පිරිහුන හෙයින් මාරයා විසින් වවනලද එම පංචකාම තණ කොටුවට නැවත පැමිණියහ. ඔව්හු එහි වැද සිහි මුළා වූවාහු පංචකාම තණ කොටු ආහාරය අනුභව කළහ. ඔව්හු එහි වැද සිහි මුළාව, පංචකාම ආහාර අනුභව කරන්නාහු මත්වූවාහුය. මත්වූවාහු ප්‍රමාදයට පැමිණියාහුය. ප්‍රමාද වූවාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට පැමිණියහ. මෙසේ මේ දෙවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාරයාගේ උපක්‍රමයෙන් නොමිදුනාහුය.
“මේ මාරයා විසින් වවනලද පංචකාමය නමැති තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක්කොට (එහි නොවැද) වාසය කරන්නෙමු නම් ඉතා යෙහෙක. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවෙහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නෙමු. එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ මත්වීමට නොපැමිණෙන්නෙමු. ප්‍රමාදයට නොපැමිණෙන්නමෝ මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණෙන්නෙමු’ (කියායි) ඔව්හු මාරයාගේ පංචකාම තණ කොටුවට නුදුරු සැඟවෙන තැනක් කොට (එහි නොවැද) වාසය කළාහුය. එහි වාසය කරමින් මාරයා විසින් වවනලද පංචකාම තණ කොටුවට නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කළාහුය. සිහි මුළා නොවී ආහාර අනුභව කළාහු මත්වීමට නොපැමිණියහ. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු මේ පංචකාම තණ කොටුවෙහි මාරයාගේ කැමැත්තක් නොකළ හැකි බවට පැමිණියාහුය.
“එසේද වුවත් මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. ලොකය සදාකාලිකය කියාද, ලොකය සදාකාලික නොවේය කියාද, ලොකය කෙළවර නැත්තේය කියාද ලොකය කෙළවරක් ඇත්තේය කියාද, එයම ජීවිතය වෙයි, එයම ශරීරය වෙයි කියාද, ජීවිතය අනිකෙක ශරීරය අනිකෙක කියාද, සත්ත්වයා මරණින් මතු ඇත්තේය කියාද සත්වයා මරණින් මතු නැත්තේය කියාද සත්ත්වයා මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද, සත්ත්වයා මරණින් මතු නොම ඇත්තේය. නොම ඇත්තේත් නොවන්නේය කියාද වෙති. මෙසේ ඒ තුන්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද මාරයාගේ උපක්‍රම බලයෙන් නොමිදුනාහුය.
“මාරයාත් මාර පිරිසත් යම් තැනකට නොයන්නේද අපි එහි වාසයකරමින් මාරයා විසින් වවනලද පංචකාම තණකොටුවට නොවැද සිහි මුළානොවී ආහාර අනුභව කරන්නෙමු නම්, එහි නොවැද සිහි මුළා නොවී ආහාර අනුභව කරන්නමෝ නම්, මත්වීමට නොපැමිණෙන්නෙමු නම් මත් නොවන්නමෝ ප්‍රමාදයට නොපැමිණෙන්නෙමුනම් ප්‍රමාද නොවන්නමෝ මාරයාගේ කැමැත්තක් කළ හැකි බවට නොපැමිණෙන්නෙමු නම් ඉතා යෙහෙකැයි’ (කියායි.)
“යම් තැනකට මාරයාද මාර පිරිසද නොපැමිණෙද්ද ඔව්හු එහි වාසයට ගියාහුය. එහි වාසය කරමින් මාරයාගේ පංචකාම තණකොටුවට නොවැද සිහි මුලානොවී ආහාර අනුභව කරන්නාහු මත්වීමට නොපැමිණියාහුය. මත් නොවූවාහු ප්‍රමාදයට නොපැමිණියාහුය. ප්‍රමාදයට නොපැමිණියාහු පංචකාම තණකොටුවෙහි මාරයාගේ කැමැත්තක් කළහැකි බවට නොපැමිණියහ. මහණෙනි, මෙසේ ඒ සතර වැනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහය මාරයාගේ උපක්‍රම බලයෙන් මිදුනාහුය. මහණෙනි සතරවෙනි මුව සමූහය යම්සේද, මේ සතරවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සමූහයද එබඳු යයි මම කියමි.
271
“මහණෙනි, මාරයාගේත් මාර පිරිසගේත් නොපැමිණීම නම් කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කළේයයි ද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස විනාශ කොට නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කෙළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයි ද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ, නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, ආර්යයෝ යම් ඒ තෘතීය ධ්‍යානයක් උපේක්ෂා ඇති සිහි ඇති සැප විහරණ ඇත්තේ යයි කියද්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසයකරයිද. මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධකෙළේයයිද පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, (ධ්‍යානය ලැබීමට) පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ ඇස අන්ධ කෙළේයයිද මාරයාගේ ඇස පිහිටක් නැතිසේ නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැති කිරීමෙන් (නොයෙක්) සංඥාවන් සිහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයයිද කියනු ලැබේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරයිද මාර්ග ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ (කෙලෙස්) නැතිකරන ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම මාරයාගේ ඇස අන්ධ කළේයයිද පිහිටක් නැතිසේ මාරයාගේ ඇස නසා මාරයාගේ නොපෙනීමට ගියේයිද ලොකයෙහි ඇලෙන්නාවූ තෘෂ්ණාවෙන් එතරවූයේයයිද කියනු ලැබේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.
පස්වෙනිවූ නිවාප සූත්‍රය නිමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )