අවිද්‍යා ආශ්‍රවය – කිරින්දේ පූර්වාරාම විහාරාධිපති, පුජ්‍ය අපරැක්කේ හිමරතන අධිකරණ නාහිමි විසිනි.

අවිද්‍යාව ලෙස දැක්වෙන්නේ මෝහය මයි. විද්‍යාවයනු ඥාණය යි. ලෝකයේ ඇත්ත ස්වභාවය නොපෙනී ඉන්නා පෘතග්ජනයා ඇත්තෙන්ම…
1. දුක්කේ අඥානං -දුක නොදනියි. (දුක් ගෙන දෙන දේ සැප ලෙස දකියි.)
2. දුක්ඛ සමුදයේ ආඥඥානං – දුකට හේතුව නොදනියි.
3. දුක්ඛ නිරෝධෝ ආඥඥානං – දුක නැති කරන්නට හැකි බව නොදනියි.
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ආඥඥානං –
දුක නැති කරන පිළිවෙල නොදනියි.
5. පුබ්බන්තේ ආඥඥානං – පෙර පංචස්කන්ධය ගැන නොදනියි.
6. අපරන්තේ ආඥඥානං – අනාගතයේ ඇතිවන පංචස්කන්ධ ගැන නොදනී.
7. පුබ්බාපරන්තේ ආඥඥානං – අතීත සහ අනාගත පංචස්කන්ධ ගැන නොදනියි.
8. ඉද්දපච්චයතා පටිච්ච සමුප්පන්නේසු ආඥඥානං – හේතු ඵල ධර්මතාව ගැන නොදනී.
මේ අට කරුණු ගැන නොදැනීම අවිද්‍යාව ලෙස ධර්මයෙහි දැක්වෙයි.
මේවා ගැන යථාර්ථාවබෝධයක් නොමැතිකම නිසා සත්වයා අන්තයක් නැති සංසාරයෙහි දුවවමින් අනන්ත දුක් සමුදායක් වින්දවයි.

අන්තයක් – කෙළවරක් නොපෙනෙන සංසාරයෙහි යෝනි, ගති ආදී වශයෙන් විවිධ සංසාර වාසවල සත්වයන් දුවවන නිසා (ජවාපේති) “අවිජ්ජා” නමින් මේ ක්ලේශ ධර්මය නිර්වචනය කෙරෙයි.

චතුරාර්ය සත්‍යය ගැන හෝ ධර්මයන්හි අනිත්‍යය, දුක්ඛ අනාත්මාදී ලක්ෂණ ගැන හෝ නොපෙනෙන්නේ අවිද්යාවාස නිසාය. ඒ නිසා අවිද්යාව අන්ධයකුට උපමා කර තිබේ. අන්ධයාට කිසිවක් නොපෙනේ. ඒ නිසා ඔහු පාර නොපෙනීමෙන් නොමගට වැටෙයි. පැකිලී ඇද වැටෙයි.

”අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් අවිද්යාව හෙවත් යථාභූත ඤාණය නැතිකම නිසා කුසලාකුසල කර්ම රැස් කරයි. එයයි ඔහුගේ සසර ගමන දික්වීමට හේතු වන්නේ. දුක්ඛාදී ආර්ය සත්‍යයන් අවබෝධ නොවීම නිසා අවිද්යාව සතර වැදෑරුම් කොට පෙන්වා දී තිබේ.
එකස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා, ඒවමයං පජා නත්තාකුලක ජාතා, ගුළා ගුණටික ජාතා, මුඤ්ජ බබ්බජ භූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති

වරක් ආනන්ද හිමියන් ඇමතූ බුදුරජාණන්වහන්සේ ‘ප්‍රතිත්‍ය සමුත්පාද’ නම් වූ දුක්ඛ චක්‍රය නොදැනීම, තේරුම් නොගැනීම නිසා ජනයා මීයන් කැපූ නූල් පන්දුවක් මෙන් ද, මුදු තණ හා බබුස් තණ කලවම් වූවාක් මෙන් ද අවුල් වියවුල්ව අපායට දුගතියට පත්ව දුක් විඳීන බව පෙන්වා දී ඇත. සසර බියකරු දුක්ඛ සමුදායක් සත්වයාට විඳින්නට සිදුවන්නේ ඔහුගේම නොදැන්ම නම් වූ අවිද්යාව නිසා බව එයින් ප්‍රකට වෙයි. නොදැනීමේ හේතුවෙන් රැස් කරන “සංඛාර” හෙවත් කර්ම, අවිද්යාව මූලිකවයි සිදු වන්නේ.

ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං’ යන්නෙන් සලකා ඇත්තේ හේතුඵල ධර්මතාවය නම්වූ පටිච්චි සමුප්පාද ධර්මය ගැන නොදැනීම ප්‍රධාන වශයෙන් අවිද්යාව ලෙස වටහා ගත යුතු බවයි. අවිච්ඡින්න ප්‍රවාහක වශයෙන් සත්වයා විඳින සසර දුක්, හේතුඵල න්‍යායිකව සිදුවන බව හා ඒ දුක් කන්දරාව හේතුඵල ධර්මයේ පටිලෝම ක්‍රමය නම් වූ පරිකර්ෂිත ක්‍රමය (ලිහෙන ක්‍රමය) අනුව නැති කරගත හැකි බවත් මෙමගින් පැහැදිලි කර ඇත.

ඒ ධර්ම න්‍යාය නොවැටහීම අවිද්යාවයි.
යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති” – යමෙක් පටිච්ච සමුප්පාදය නම් වූ හේතුඵල ධර්මය දකින්නේද, ඔහුය ධර්මය දකින්නේ. යමෙක් ධර්මය දකින්නේද, ඔහුය පටිච්ච සමුප්පාදය දකින්නේ.

ධර්මය නොදැනීමෙන් පුද්ගලයාගේ අන්ධභාවය සිතා ගත හැකිය. අන්ධයාට ලොවක් නොපෙනේ. ලොව්තුරු තත්ත්වයක් නොපෙනේ. විද්‍යාවේ ආලෝකය නොලබන තැන අවිද්‍යා අන්ධකාරය නිසා සත්වයෝ මඟ නොදැක – මග නොදැන, අඳුරේ අතපත ගාමින්, අනේකවිධ ව්‍යාසනයන්ට ගොදුරු වෙති. දුක් කම්කටොළුවලට බඳුන් වෙති.

මේ තත්ත්වය නිසා අවිද්‍යාව  ආශ්‍රව ධර්මයක් ලෙස ධර්මයෙහි විවරණය වෙයි. බොහෝ කාලයක් තිස්සේ අනුසය වශයෙන් සන්තානයෙහි බැඳී සිටිනා ක්ලේශ ධර්මවලට ‘ආශ්‍රව’යැයි කියති. කාම, භව, දිට්ඨි හා අවිජ්ජා යනුවෙන් එබඳු ආශ්‍රව සතරක් ඇත. ඇස, කණ, දිව, නාසය, කය, මන යන මේ සදොරින් ගනු ලබන අරමුණු අනුව සිතට ගලා එන කාමාදී ක්ලේශ ධර්ම ආශ්‍රව නමින් හැඳින්වෙයි.

මේවා ආසව හෙවත් ආශ්‍රව නමින් දැක්වෙන්නේ ගෝත්‍රභූ සිත (පුහුදුන් ගෝත්‍රය මැඩගත් සිත) දක්වාම භවාශ්‍රය (නේවසඤ්ඤා-නාසඤ්ඤායතනය) තෙක් පවතින බැවිනි. බොහෝ කාලයක් සන්තානයෙහි බැඳී සිටින නිසාය, එසේ හඳුන්වන්නේ. දීර්ඝ වූ සංසාර දුක උපදවන නිසාද ආසව යැයි කියති. බොහෝ කාලයක් පැසවා පිලුනු වූ සුරාවක් – මේරයක් මෙන් පැතිරෙමින් දුක්ඛ ප්‍රසව කිරීම කාමාදී ආශ්‍රවයන්ගේ ලක්ෂයණයයි. චතුරාර්ය සත්‍යය පිළිබඳවත්, පුබ්බන්තාදී ත්‍රිවිධ කෙළවරවල් පිළිබඳවත්, පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය පිළිබඳවත් නොදැනීම නම් වූ අවිද්‍යාව නිසාම ශාස්වත උච්ඡේද ආදී මිත්‍යා දෘෂ්ටි ඇති කර ගනියි. මෙලොව පරලොව දෙකේම මුළාව උපද්‍රව ඇති කරයි.

සසර දුක් කෙළවර කිරීමෙන් පරම පවිත්‍රත්වයේ අලෞකික විමුක්තිය – ලොවුතුරු සුවය පතන්නහු මේ ආශ්‍රාවයන් සංවරයෙන්, ප්‍රතිසේවනයෙන්, අධිවාසනයෙන්, පරිවර්ජනයෙන්, විනෝදනයෙන්, භාවනාවෙන්, දර්ශනයෙන් ප්‍රහානය කළ යුතුය.

රූප ශබ්දාදී අරමුණු කෙරෙහි යෝනිසෝමනසිකාර නම් වූ නුවණින් මෙනෙහි කරන විට සංවර ප්‍රහානය සිදු වෙයි. සිවුපසය පිළිබඳ ප්‍රත්‍යවෙක්ෂණයක් ඇති කරගත්විට ප්‍රතිසේවනයෙන් සිදුවන ආශ්‍රව ප්‍රහාණය ඇතිවෙයි. ශීතෝෂ්නාදිය, මැසි මදුරු උපද්‍රව, රළු පරළුකම් ආදී හිරිහැර කම්කටොළු ඉවසීමෙන් අධිවාසනා ප්‍රහානය ඇති වෙයි. චණ්ඩ පුරුෂයන්, බේබද්දන් ආදී නපුරු අය සිටින අගෝචර සංවාත පරිවර්ජනයෙන් පරිවර්ජන ප්‍රහාණයද, කාම, ව්‍යාපාද, විහිංසා, විතර්ක විමසා නුවණින් පරීක්ෂා කර බැලීම නිසා විනෝදන හෙවත් පව් දුරලන අන්දමේ ආශ්‍රව ප්‍රහානය ද සිදුවන අතර සෝවාන් මගින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන තුන සිඳලීම නිසා දර්ශන ප්‍රහානය ද සිදුවෙයි. මේ සත් වැදෑරුම් ප්‍රහානය ආශ්‍රව සියල්ලටම පොදුය.

උපදවා ගනු ලබන මාර්ග පිළිවෙළින්ද ආශ්‍රව  ප්‍රහාණය සිදුවෙයි. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ඨි ආශ්‍රවයද අනාගාමී මාර්ගයෙන් කාමාශ්‍රවයද ප්‍රහානය වන අතර රහත් බව මගින් භව ආශ්‍රව සහ අවිද්යා ආශ්‍රවය ප්‍රහීන වෙයි. 

කිරින්දේ පූර්වාරාම විහාරාධිපති, පුජ්‍යපාද අපරැක්කේ හිමරතන අධිකරණ නාහිමියන් විසින් 2009 ජනවාරි 14 වැනිදා දිවයින පුවත් පතට ලියන ලද ලිපියකින් උපුටා ගැනිණි.

ආපසු සබ්බාසව සුත්‍රය කියවන්නට
BK2INDXBACK TO SABBASAWA SUTTA

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )