DN 1.3: අම්බට්ඨි සුත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි  ඇවිදීමෙන් හැසිරෙනසේක් කොසොල් රට වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණුගම වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානංගල වනයෙහි වාසය කෙළේය,

පොක්ඛරසාති වත්ථු

එකල ඒ ඉච්චනන්ගල සමීපයෙහි බොහෝ සශ්‍රීකවුද ජනගහනයෙන් බහුලවුද උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් බ්‍රාහ්මණයෙක් විය. පසේනදී කොසොල් රජු විසින් පිරිනමන ලද ගම් පියසේක විසු බමුණු තෙමේ මේ  ඇසී, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වූ කලී පන්සියයක් පමණවූ මහාභික්ෂු සමූහයක් සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන්නේ  ඉච්ඡානංගලයට පැමිණ ඉච්ඡානංගල වනයෙහි වාසය කරයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිලිබඳ  මෙබඳුවූ මනොඥවූ ස්තුති ඝොෂාවක් පැතිරෙන්නේය. “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනාඥානය ආදී ඥාන අටෙන්ද සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි දන්නේය., දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ. බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලි කොට දැන ප්‍රකාශ කරණසේක. උන්වහන්සේම මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ සම්පූර්ණවූ, පිරිසිදුවූ, ධර්මානුශාසනාව ප්‍රකාශ කරණසේක. එබඳුවූ, රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැ”යි කියායි.

එම පොක්ඛරසාති බමුණුහට අම්බට්ඨ නම් තරුණ ශිෂ්‍යයකු විය. මේ  අම්බට්ඨ මානවක තෙමේ මන්ත්‍ර කටපාඩමේ කියන්නට අති දක්ෂය , සියලු  වේද මන්ත්‍ර දන්නාවූය , නාම නිඝණ්ටු යාග ආදී කටයුතු පිළිවෙළ ශික්ෂානිරුක්ති නම් වේදයෙහි කොටස යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නාවූ *විතණ්ඩ ශාස්ත්‍රයේත් * (කරුණක් වරද බව ඔප්පු කිරීම නම් විතණඩ ශාස්ත්‍රය නමි) මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් අති දක්ෂවූ, ‘යමක් මම දනිම් නම් එය නුඹත් දනී. නුඹ යමක් දනී නම් එයම මමත් දනිමි’ යන ගුරුන්ගේ ප්‍රකාශයට ‘එසේමය’යි උත්තර දුන් ආචාර්යයන්ගේ ත්‍රිවෙදය පිළිබඳ ධර්මයෙහි සියල්ල දත්තා විය.

ඉදින්  පොක්ඛරසාති බමුණු තෙමේ අම්බට්ඨ තරුණයා කැඳවා මෙසේ කීය.
“දරුව අම්බට්ඨය,  ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණගෞතමයන් වහන්සේ පන්සීයක් පමණවූ මහත් භික්ෂු සමූහයක් සමග කොසල ජනපදයෙහි හැසිරෙන සේක් දැන් ඉච්ඡානංගල උප නුවර අසල  පැමිණි ඉච්ඡානංගල වනාන්තරයෙහි වාසය කරයි. බොහෝ ජනයා ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් ගැන මෙසේ  කියත් “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනාඥානය ආදී ඥාන අටෙන්ද සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රෙෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි දන්නේය., දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ. බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලොකය තමන් වහන්සේම මනාව පැහැදිලි කොට දැන ප්‍රකාශ කරණසේක. උන්වහන්සේම මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ සම්පූර්ණවූ, පිරිසිදුවූ, ධර්මානුශාසනාව ප්‍රකාශ කරණසේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් පතිරුනේය  මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, සර්ව සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් යහපත්මැයි” කියායි.

“දරුව අම්බට්ඨය, යව, නුඹ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් සිටිනා තැනකට ගොස් ඒ භවත් ගෞතමයන්ගේ ඇති ගුණයන් නිසාම මෙබඳු  කීර්ති ගොශාවක්  පැතිර ගියේද නොවේ නම් එසේ නුවූවක් පිළිබඳවද, උන්වහන්සේ එබඳු ගුණ දරත්ද? , නැත්නම් එබඳු ගුණ නොදරත් දැයි, සැබෑ එපරිද්දෙන් ශ්‍රමණ ගෞතමයන් දනුව. අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගනුම්හ.”

එවිට අම්බට්ඨික බ්‍රාහ්මණ මානවකයා කියන්නේ  “පින්වත් ඇදුරු තුමනි , ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්තිරාවය පැතිර ගියේ ද, ඉදින් එසේ නොවේද, ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද, ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැනගන්නෙම්ද?”

“දරුව අම්බට්ඨය, අපගේ වේද මන්ත්‍රයන්හි දෙතිස් මහපුරිස් ලකුණු සඳහන්වේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ ධර්මරජෙක්වූ, හතර දීපයට අධිපතිවූ, දිනන ස්වභාව ඇතිවූ, ජනපදයන්හි ස්ථිරවූ සත් රත්නයන් අයිතිවූ සක්විති රජ වෙයි. මොවුනට  ඔහුගේ සත් රත්නයෝ වෙති. එනම්: චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත් වැනිවූ පුත්‍ර රත්නයද යන සත්රත්නයෝයි. භය නැතිවූ දිව්‍යපුත්‍රයන්ට සමාන වීර්ය සම්පන්න ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මැඩපවත්වන්නාවූ, දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙමේ සයුර කෙළවරකොට ඇති මේ පෘථවිය දඬුවම් කිරීම් නැතුව යුද්ධ කිරීම් නැතුව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.

“ඉදින් හෙතෙම ගිහිගෙන් නික්මී අනගාරියවූ සාසනයේ පැවිදිවෙයි නම් ලෝකයේ කෙලෙස් වලින් යුත් ඝන අන්ධකාර වැස්ම දුරු කළාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ වෙයි. දරුව අම්බට්ඨය, මම වනාහි වෙදමන්ත්‍ර උගන්වන්නා වෙමි, නුඹ වෙදමන්ත්‍රයන් කට පාඩමෙන් කියන්නා වෙයි.”

 “එසේය ස්වාමීනි”යි අම්බට්ඨ මාණවකයා පොක්ඛරසාති බමුණුහට උත්තරදී, හුනස්නෙන් නැගී, පොක්ඛරසාති බමුණා ගෞරවයෙන් දකුණු පැත්තෙන් ප්‍රදක්ෂිණා කොට ඔහු වැඳ,  වෙළඹුන් යෙදූ, රථයකට නැඟී, බොහෝ බ්‍රාහ්මණ මාණවක පිරිසක්ත  සමග ඉච්ඡානංගල වනාන්තරය බලා පිටත්ව ගියේය. රථයෙන් යා හැකි තාක් දුර රථයෙන් ගොස් ඉතිරි ය පයින්ම ගොස් ආරාමයට -ඇතුළු වූයේය.

එකල බොහෝ භික්ෂූහු එලිමහනේ සක්මන් කරති අම්බට්ඨ නම් තරුණයා ඒ භික්ෂූන් වෙත එළඹ ඒ මහණහුට මෙසේ කීය.  “පින්වත්නි, භගවත් ගෞතමතෙමේ දැන් කොතැන්හි නම් වාසය කරයිද? අපි ඒ භගවත් ගෞතමයන් දැකීම පිණිස මෙහි පැමිණියෝ වෙමු.”

එකල ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් පහළ විය. ‘මේ අම්බට්ඨ මාණවක තෙමේ ප්‍රසිද්ධ කුලයේ උපන්නේම ප්‍රකටවූ පොක්ඛරසාති බමුණහට අතවැසිද වෙයි. මෙබඳු කුල පුත්‍රයන් සමග කරන කථා බස භාග්‍යවතුන් වහන්සේට බරෙක් නොවේමය’ යනුයි. ඒ භික්ෂුහු අම්බට්ඨ මානවකයාහට මෙසේ කීහ: “අම්බට්ඨය, ඔබ්බෙහි ඇති  ගන්ධකුටිය වසනලද දොර ඇත්තේය. ශබ්ද නොකොට එහි ගොස් සෙමින් පිලට ඇතුලුව නිය පිටින් දොරට තට්ටුකරව, නුඹට භාග්‍යවතුන් වහන්සේ දොර හරිනවා ඇත.”

එවිට අම්බට්ඨ මාණවක තෙමේ වසනලද දොර ඇත්තාවූ ගන්ධකුටිය යම්තැනෙක නම් එහි ශබ්ද නොකර පැමිණියේය. සෙමින් පිලට ඇතුළුව, දොරට නියපිටින් තට්ටු කෙලේය. භාග්‍යවතුන්වහන්සේ දොර හැරියේය. අම්බට්ඨ නම් තරුණයා ඇතුළු වූයේය. සෙසු තරුණයෝත් ඇතුළුව භාග්‍යවතුන් වහන්සේ  සුවදුක් විචාරීම් ආදියෙන් සතුටු වූ පෙර කතාවෙහි යෙදුනහ.එසේ  නිමවා එකත් පසෙක හුන්හ. අම්බට්ඨ නම් තරුණයා සක්මන් කරමිනුත් වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමග ස්වල්ප කථාවන් කරයි. නැවතී සිටිමිනුත් වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමග යම් යම් සුලු කථාකරයි.

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, ඔබ යම්සේ සක්මන් කරමිනුත් නැවතී සිටිමිනුත් හුන්නාවූ මා සමග යම් යම් නොවැදගත් කරුණු කථාව කරයිද, වයසින් වැඩිවූ මහලුවූ බ්‍රාහ්මණයන් හා ගුරුවරුන්, ගුරුවරුන්ගේ ගුරුවරුන් සමග ද ඔබගේ කථාව මෙබඳු වේද?

“‘නැත, භවත් ගෞතමයන් වහන්ස , ඇවිදින්නාවූ බමුණු තෙමේ ඇවිදින්නාවූ බමුණකු සමග කථා කරන්ට සුදුසුය. භවත් ගෞතමය, සිටින්නාවූ බමුණුතෙමේ සිටින්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. භවත් ගෞතමය, හිඳින්නාවූ බමුණු තෙමේ හිඳින්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. භවත් ගෞතමය, නිදන්නාවූ බමුණු තෙමේ නිදන්නාවූ බමුණකු සමග කථාකරන්නට සුදුසුය. එහෙත්, භවත් ගෞතමය, පිළිකුල් කටයුතුවූ, හිස් මුඩුවූ ශ්‍රමණවූ දාසභාවයෙහි පිහිටි, කළුපාටවූ, බ්‍රහ්මයාගේ පතුලින් උපන් පෙළපතක් ඇත්තාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුන් සමග මාගේ කථාකිරීම වූකලී භවත් ගෞතමයන් සමග මාගේ කථාකිරීම යම්සේද එවැනිය.”

“අම්බට්ඨය, වැඩක් ඇතිවම ඔබගේ මෙහි පැමිණීම විය. යම් ප්‍රයෝජනයක් පිණිස ආයේ නම් ඒ කාරණයම හොඳින් කල්පනා කරව.”

“පින්වත්නි, මේ අම්බට්ඨ තරුණයා ගුරු ආශ්‍රයක නොවිසුවෙකි, නොවැඩුනෙකි. නමුත් එසේ විසුයේය, වැඩුනේයයි උඩඟු සිත්  ඇත්තෙකි. මේ අගුණ ඔහුට වන්නේ ගුරු ආශ්‍රයක නොවැඩුනු නොහික්මුනු නිසා මිස වෙනකවරක් නිසාද?”

එසේ  භාග්‍යවතුන් වහන්සේ විසින් නොවැඩුනෙක නොහික්මුනෙක යන කථාවෙන් හඳුන්වන ලද අම්බට්ඨ තරුණයා කිපුණේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේටම ගටා බනින්නේ, භාග්‍යවතුන් වහන්සේටම පහත් කොට කථා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේට ම නින්දා කරන්නේ, “මට නම් ශ්‍රමණ භවත් ගෞතමයන්ම පාපියෙක් වන්නේය”යි මෙසේ කීය:

“භවත් ගෞතමයනි , ශාක්‍ය ජාතිය චණ්ඩය. භවත් ගෞතමයනි , ශාක්‍යජාතිය ඵරුසය, භවත් ගෞතමයනි , ශාක්‍යජාතිය නොගරුය. භවත් ගෞතමයනි , ශාක්‍යජාතිය වාචාලය දාසියගේ දරුවෝ දාස ජනයාවූ බැවින් ඔව්හු බ්‍රාහ්මණයන්ට සත්කාර නොකෙරෙත්; බ්‍රාහ්මණයන්ට ගරු නොකරත්, බ්‍රාහ්මණයන්ට නම්බු නොකරත්, බ්‍රාහ්මණයන්ට පූජා නොකරත්, බ්‍රාහ්මණයන් නොවඳිත්. භවත් ගෞතමය, ඉඳින් මේ ශාක්‍යයෝ දාසවූවාහු දාස බැව්හි සිට බමුණන්ට සත්කාර නොකරත්ද, බමුණන්ට ගරු නොකරද්ද, බමුණන්ට බුහුමන් නොකරත්ද, බමුණන් නොපුදද්ද බමුණන් නොවඳිද්ද, ඒ මේ කාරණය මට රුචි නැත ඒ මේ කාරණය නුසුදුසුය.” මෙසේ අම්බට්ඨ මානවක තෙමේ  ශාක්‍යයන් කෙරෙහි මේ ප්‍රථම දාසවාදය හෙලුයේය.

“කිමෙක්ද? අම්බට්ඨය, නුඹට ශාක්‍යයෝ යම් කිසි අපරාධයක් කළාහුද?’

“භවත් ගෞතමය, මම එක් කලෙක මාගේ ගුරුවූ පොක්ඛරසාති බමුණාගේ යම් කටයුත්තක් හේතුකොට කපිලවස්තු නුවරට ගියෙමි. යම් තැනෙක ශාක්‍යයන්ගේ රැස්වී විවේක ගන්නා ශාලාව වේද එහි ගියෙමි. එකල බොහෝවූ ශාක්‍යයෝත් ශාක්‍ය කුමාරවරුත් ඒ රැස්වී විවේක ගන්නා ශාලාවෙහි මහා ආසනයන්හි ඔවුනොවුන් ඇඟිල්ලෙන් කිති කැවීමෙන් මහත්සේ සිනාසෙන්නාහු, ඒකාන්තයෙන් මටම හෙලා දක්නාසේ හඬනඟා සිනාසෙන්නාහු, කිසිවෙක් මට ආසනයක්වත් පිරි නොමවුයේය නුදුන්නේය. භවත් ගෞතමය, ඉඳින් මේ ශාක්‍යයෝ දාසයන්ව සිටිමින් බ්‍රාහ්මණයන්ට සත්කාර නොකරද්ද, බ්‍රාහ්මණයන්ට ගරු නොකරද්ද, බ්‍රාහ්මණයන්ට නම්බු නොකරද්ද, බමුණන් නොපුදත්ද, බමුණන්ට වැඳුම් නොකරද්ද, ඒ මේ කාරණය මට රුචි නැත, නුසුදුසුය.”

මෙසේ අම්බට්ඨ මානවක තෙමේ  ශාක්‍යයන් කෙරෙහි මේ දෙවැනි දාසවාදය හෙලුයේය,

“අම්බට්ඨය, කැටකිරිල්ලිත් තමාගේ කූඩුවෙහි සිටින්නේ තමුන්  කැමති යමක් කියන්නීය, අම්බට්ඨය, යම් මේ කපිලවස්තුපුරය ශාක්‍යයන්ගේ නුවර වේ. අම්බට්ඨය, මෙවැනි සුළු කරුණකින් කිපෙන්නට නුසුදුසුය.”

“භවත් ගෞතමය, මේ ජාති සතරෙකි-ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියායි. මේ ජාති සතරින් ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ජාති තුන ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාහට සේවකයෝ වෙත්. මේ ශාක්‍යයෝ දාසයන්ව සිටිමින් බ්‍රාහ්මණයන්ට සත්කාර ගරුකාර නොකරති. නම්බු කිරීම, පිදීම, වැඳීම නොකරති. භවත් ගෞතමය, ඒ මේ කාරණය මට රුචි නොවේ. ඒ කාරණය නුසුදුසුය.”

මෙසේ අම්බට්ඨ මානවකයා ශාක්‍යයන් කෙරෙහි මේ තුන් වැනි දාසවාදයත් හෙලුයේය.

එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. මේ අම්බට්ඨ තරුණයා ඉතා දැඩිසේම ශාක්‍යයන් කෙරෙහි දාස වාදයෙන් නින්දාකරයි. මම (ඔහුගේ) ගොත්‍රය විචාරන්නෙම් නම් ඉතා යෙහෙක’  එසේ සිතු භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, නුඹ කවර ගොත්‍රයක වූයෙහිද?”

“භවත් ගෞතමය, මම කණ්භායන ගෝත්‍රයෙහි වෙමි.”

“අම්බට්ඨය, පුරාණවූ මව්පියන්ට අයිති නාම ගොත්‍රය සිහි කරන්නාවූ නුඹගේ ස්වාමි පුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. නුඹ ශාක්‍යයන්ගේ දාසියගේ පුත්‍රයෙක් වූයෙහිය. අම්බට්ඨය, ශාක්‍යයෝ ඔක්කාක නම් රජු ඔවුන්ගේ මුල් පුරුෂයා කොට දක්වති.

“අම්බට්ඨය පූර්වයේ ඔක්කාක රජු තමාට යම් ඒ බිසවක් ප්‍රිය මනාපවූවාද, ඇගේ පුත්‍ර කුමාරයාට රජය පවරා දෙනු කැමැත්තෙන් ඔක්කා මුඛය, කරකණ්ඩුය, හත්ථිනිකය, සිනිසුරය යන වැඩිමහලු කුමාරවරුන් රටින් පිට කෙළේය. ඒ රාජ කුමාරවරු රටින් පිටවූවාහු හිමාලය කඳු ප්‍රදේශයේ පොකුණු තෙර මහා වනාන්තරයක වාසය කළාහුය. ඔහු ජාතිය නැතිවේය යන බියෙන් සොහොයුරියන් සමග එක්ව විසීම කළාහුය.

“අම්බට්ඨය එකල්හි ඔක්කාක රජ තෙමේ අමාත්‍ය මණ්ඩලයෙන් (මෙසේ) ඇසීය: “පින්වත්නි, දැන් කුමාරවරු කොහි වෙසෙත්ද?”

“දේවයිනි, හිමාලය කඳු ප්‍රදේශයේ පොකුණු තීරයේ මහා වනාන්තරයක් ඇත. දැන් කුමාරවරු එහි වෙසෙති. ඔහු ජාතිය මිශ්‍රවීමේ භයෙන් සිය සහෝදරියන් සමග සංවාසය කරති.”

“අම්බට්ඨය, එවිට ඔක්කාක රජු ප්‍රීතියෙන්  මෙසේ  කීයේය. ‘භවත්නි, කුමාරවරු ඒකාන්තයෙන් (ශාක්‍යයෝයි) සමර්ථයෝයි. පින්වත්නි, කුමාරවරු ඒකාන්තයෙන්ම උත්තම ශාක්‍යයෝයි (සමර්ථයෝයි)”

අම්බට්ඨය, එතැන්පටන් ඔවුහු ශාක්‍ය නාමයෙන් හඳුන්වනු ලැබෙත්. ඒ ඔක්කාක රජු ශාක්‍යයන්ගේ මුල් පුරුෂයායි.

“අම්බට්ඨය, ඔක්කාක රජුට දිසා නම් දාසියක් වූවාය. ඕ තොමෝ කෘෂ්ණ වර්ණවූ (කළුපාටවූ) පුත්‍රයකු ප්‍රසූත කළාය, උපන්නාවූ ඒ කෘෂ්ණ, මෑණියනි, මා සෝදනු මැනව, නහවනු මැනව, මේ අපවිත්‍රයෙන් මුදනු මැනව, ඔබට, උපකාරීවෙමි කියා මහත්සේ ශබ්ද කෙළේය.

“අම්බට්ඨය, යම්සේ දැන් මිනිස්සු පිශාචයන් දැක පිශාච නමින් හඳුනත්ද, එසේම අම්බට්ඨය, ඒකාලයෙහි වනාහි මිනිස්සු පිශාචයන් කෘෂ්ණයන් නමින් හඳුනති. ඔව්හු මෙතෙම ‘උපන් විගස කථාකෙළේය, මේ උපන්නේ කෘෂ්ණයෙක, මේ උපන්නේ පිශාචයෙකැ’යි කීවාහුය.

“අම්බට්ඨය, එතැන්පටන් කණ්හායනයෝ (කෘෂ්ණ ජාතිකයෝ) සඳහන් වෙත්. ඔහු කණ්හායනයන්ගේ මුල් පුරුෂයායි. අම්බට්ඨය, මෙසේ පුරාණ මව්පියන්ට අයිති නාම ගොත්‍රය සිහිකරන්නාවූ නුඹගේ ස්වාමීහු ශාක්‍යයෝ වෙති. නුඹ ශාක්‍යයන්ගේ දාසියගේ පුතා වෙහි.”

මෙසේ කී කල්හි ඒ අම්භාට්ඨික සමග පැමිණි අනෙක් මාණවකයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය: “භවත් ගෞතම යන් ඉතා දැඩිසේ අම්බට්ඨ මාණවකයා දාසි පුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකෙරේවා. අම්බට්ඨය මාණවක තෙමේ වංසවත්ය, අම්බට්ඨ මාණවක තෙමේ උතුම් ගති ඇති පුතෙකි. අම්බට්ඨ තරුණ තෙමේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙකි. අම්බට්ඨ තරුණ තෙමේ යහපත් වචන ඇත්තෙකි. අම්බට්ඨ තරුණ තෙමේ පණ්ඩිතය, අම්බට්ඨ තරුණ තෙමේ භවත් ගෞතමයන් සමග මේ වචනයෙහි (දාසපුත්‍ර චොදනායෙහි) පිළිතුරු දෙන්නට සමර්ථය.”

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන්ට මෙසේ වදාළ සේක: ‘තරුණයෙනි’ ඉදින් නුඹලාට අම්බට්ඨ තරුණයා වංශවත් නොවේය, පහත් ගති ඇති පුතෙකි, සුළු වසයෙන් ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි, නපුරු වචන ඇත්තේය අපණ්ඩිතය, අම්බට්ඨ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයේලා පිළිතුරු දෙන්නට අසමර්ථයැයි සිතේ නම්, අම්බට්ඨ තරුණයා පැත්තකටවී සිටීවා. නුඹලා මා සමග මේ (දාසවාද) කථාවෙහි පිළිතුරු දෙව්. ඉදින් වනාහි තරුණයෙනි, නුඹලාට ‘අම්බට්ඨ තරුණයා වංසවත්ය, අම්බට්ඨ තරුණයා උතුම් ගති ඇති පුතෙකි. අම්බට්ඨ තරුණයා බොහෝ ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි. අම්බට්ඨ තරුණයා යහපත් වචන ඇත්තේය, අම්බට්ඨ තරුණයා පණ්ඩිතය, ඔහු ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහිලා පිළිතුරු කථා කරන්නට සමර්ථයයි සිතේ නම් නුඹලා පැත්තකටවී සිටිත්වා. අම්බට්ඨ තරුණයා මා හා පිළිතුරු කථා කෙරේවා.”

“භවත් ගෞතමයිනි, අම්බට්ඨ තරුණයා වංශවත්ය අම්බට්ඨ තරුණයා උතුම් ගති ඇති පුතෙකි, අම්බට්ඨ තරුණයා බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙක්ය, අම්බට්ඨ තරුණයා යහපත් වචන ඇත්තෙක, අම්බට්ඨ තරුණයා පණ්ඩිතය, ඔහු භවත් ගෞතමයන් සමග මෙ (දාසිපුත්‍ර) වචන යෙහිලා උත්තර දෙන්නට සමර්ථය. අපි නිශ්ශබ්ද වමු. අම්බට්ඨ තරුණයා භවත් ගෞතමයන් සමග මේ වචනයට පිළිතුරු දීම කෙරේවා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, නුඹ ඉදිරියෙහි කරුණු සහිතවූ ප්‍රශ්නයක් මතුවිය. නොකැමැත්තෙන් නමුදු ඒ විසඳිය යුතුය. ඉදින් නුඹ නොවිසඳන්නෙහි නම්, වෙන කරුණකින් හෝ ඒ යටපත් කරන්නෙහි නම්, නිශ්ශබ්ද හෝ වන්නෙහි නම්, නැගිට හෝ යන්නෙහි නම් මෙහිම නුඹගේ හිස සත්කඩව පැළෙන්නේය. අම්බට්ඨය, ඒ කුමකැයි හඟිනෙහිද? කිම? වෘද්ධවූ මහළුවූ, ආචාර්ය ප්‍රාචාර්යවූ බ්‍රාහ්මණයන්ගෙන් කණ්හායන ගොත්‍ර ඇත්තෝ කොතැන් සිට පැවැත්තෝද, කණ්හායනයන්ගේ මුල්පුරුෂයා කවරෙක්දැයි කියනු ලබන්නක් නුඹ විසින් අසන ලදද?”

මෙසේ කීකල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය. දෙවනුවත් එසේ ඇසූ කල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය, එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය.

“අම්බට්ඨය, දැන් ප්‍රකාශ කරව. නුඹට මේ නිශ්ශබ්ද වන්නට කාලය නොවේ. අම්බට්ඨය’ යමෙක් වනාහි තථාගතයන් වහන්සේ විසින් තුන්වැනි වර තෙක් සහේතුක ප්‍රශ්නයක් අසනලදුව උත්තර නොදේද, මෙහිදීම ඔහුගේ හිස සත් කඩක්ව පැළෙන්නේය.”

එකල වජ්‍රපාණියක්ෂ තෙමේ (සක්දෙව් රජතෙමේ) ගිනිපාටවූ, දිලිසෙන්නාවූ එකම ගිනිගොඩක් මෙන්වූ මහත්වූ යහුලක් ගෙණ, අම්බට්ඨ තරුණයාට කෙලින් ඉහල ආකාශයෙහි ඔහුට පෙනෙන්නට සිටියේය. “මේ අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වැනි වර දක්වා ප්‍රශ්නයක් අසනලදුව උත්තර නොදෙන්නේ නම් මෙහිදීම ඔහුගේ හිස සත්කඩකොට පළමි” කියායි. ඒ වජ්‍රපාණි යක්ෂයා වනාහි භාග්‍යවතුන්වහන්සේත් දක්නාසේක. අම්බට්ඨ තරුණයාත් දකී.

ඉක්බිති අම්බට්ඨ තරුණයා භයවී සංවේගයට පැමිණියේ, මයිල් කෙලින්වී භාග්‍යවතුන් වහන්සේගේම ආරක්ෂාව සොයන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සොයන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම සරණ සොයන්නේ, ළඟට එළඹ, නිවාසනයෙක්හි හිඳ මෙසේ කීය: “මේ කුමක් භවත් ගෞතමයන් වහන්සේ මට කීසේක්ද? භවත් ගෞතමයන් වහන්සේ නැවතත් කියනසේක්වා.”

“අම්බට්ඨය, තෝ ඒ කුමකැයි හිතන්නෙහිද? කිම? වෘද්ධවූ මහළුවූ, ආචාර්ය ප්‍රාචාර්යවූ, බ්‍රාහ්මණයන් විසින් කණ්හායන ගොත්‍රිකයෝ කොතැන්සිට පැවැත්තෝද, කණ්හායනයන්ගේ මුල් පුරුෂයා කවරෙක්දැයි කියනු ලබන්නක් තා විසින් අසන ලදද?”

“භවත් ගෞතමයිනි, කණ්හායනයෝ මෙතැන් පටන් පැවතෙන්නෝය, අසුවලා කණ්හායනයන්ගේ මුල් පුරුෂයායි භවත් ගෞතමයන් වහන්සේ යම්ලෙස කීවේද එලෙසින්ම මාවිසින් අසන ලදී.”

මෙසේ කී කල්හි ඒ අම්බට්ඨ සමග පැමිණි අනෙක් මානවකයන් කියන්නේ  “පින්වත්නි, අම්බට්ඨ මානවකයා  වංශවත් නොවේ, අම්බට්ඨ මානවකයා පහත් ගති ඇති පුත්‍රයෙකි, අම්බට්ඨ මානවකයා ශාක්‍යයන්ගේ දාසියගේ පුත්‍රයාය. ශාක්‍යයෝ අම්බට්ඨ තරුණයාගේ ස්වාමි දරුවෝය. ධර්මවාදීවූ (ඇත්ත කියන්නාවූ) ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි විශ්වාස නොකොට යුත්තෙකු සේ සිතීමු”යි උස්හඬින් මහ හඬින් ශබ්දනගා කීහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘දැඩි  සේ අම්බට්ඨ තරුණයාට මේ අනෙක් තරුණයෝ දාසි පුත්‍ර වාදයෙන් අවනම්බු කෙරෙත්. ඔහු එයින් මුදවන්නෙම් නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයන්ට මෙසේ කීයේය. “තෙපි අම්බට්ඨ තරුණයාට මෙසේ ඉතා දැඩිව දාසිපුත්‍ර වාදයෙන් අවනම්බු නොකරව්. ඒ කෘෂ්ණතෙම ශ්‍රේෂ්ඨවූ ඍෂිවරයෙක් වූයේය. ඒ ඍෂි තෙමේ දකුණු දේශයට ගොස් බ්‍රහ්ම (වේද) මන්ත්‍ර උගෙණ ඔක්කාක රජු වෙත පැමිණ මද්දරූපී නම්වූ දූ කුමරිය ඉල්වීය. ඔක්කාක රජ තෙමේ ‘බොල මේ කවරෙක්ද මාගේ දාසියගේ පුතා මද්දරූපී නම්වූ දූ කුමරිය ඉල්ලන්නේ යයි?’ කිපුනේ, නොසතුටු වූයේ ඔහුට විදින්නට හීයක් යෙදුයේය.එනමුදු  රජ තෙමේ ඒ හීය නිදහස් කරන්නට හෝ විදින්නට අසමර්ථවිය.

“තරුණයිනි, එකල ඇමතියෝත් පිරිසෙහිවූ සෙස්සෝත් කෘෂ්ණ ඍෂිවරයා වෙත එළඹ මෙසේ කීවාහුය: ස්වාමීනි, රජුට සැප වේවා (අයහපතක්  නොවේවා) ‘ස්වාමීනි, රජුට සැප වේවා’ කියායි.
“ඉතින් රජු පෘථවියට හීය යවන්නේ නම් රජුට යහපතක් වන්නේය. යම්තාක් දුර රජුගේ රාජ්‍යයවේද ඒ තාක් පෘථවිය පැළෙන්නේය.”

“ස්වාමීනි රජුටත් ජනපදයටත් යහපතක් වේවා. ස්වාමීනි, රජුටත් ජනපදයටත් යහපතක් වේවා’යි

“ඉතින් රජතෙමේ හීය උඩට හරින්නේ නම් රජුට යහපතක් වන්නේය. යම්තාක් දුර රජුගේ රාජ්‍යයද ඒ තෙක් තැන් සත් අවුරුද්දක් වැසි නොවසින්නේය.’

“ස්වාමීනි, රජුටත් ජනපදයටත් යහපතක් වේවා වැසිද වසීවා.’

“රජුටත් ජනපදයටත් යහපතක් වන්නේය. වැසිද වසින්නේය. තවද (තමාගේ) වැඩිමහලු කුමාරයා කෙරෙහි නැඟූ හීය විදීවා. ඔහුට මයිල් කෙලින් සිටීම පමණකුත් නොවී කුමාරතෙමේ සුවපත් වන්නේය.’

“තරුණයිනි, එකල අමාත්‍යයෝ ඔක්කාක රජුට මෙපවත් දැන්වූහ: ‘ඔක්කාක රජතෙමේ ඒ යෙදු හීය ජ්‍යෙෂ්ඨ කුමාරයාට විදීවා. මයිල් කෙලින් සිටීම පමණකුත් නොවී කුමාරයා සුවපත් වන්නේය.’ ඉක්බිති ඔක්කාක රජු වැඩිමහලු කුමාරයා කෙරෙහි ඒ හීය යෙදුවේය. කුමාර තෙමේ සුවපත් විය, මයිල් ගසකට පවා හින්සාවක් නොවීය.

“ඉක්බිති ඔක්කාක රජ මහත් සේ කෘෂ්ණ ඍෂිහට භයවී තැති ගැනීමට පැමිණ, මයිල් කෙලින් සිටීම ඇතිවී සාපයෙන් භයට පත්වූයේ මද්දරූපී නම්වූ දූ කුමරිය ඒ කෘෂ්ණ ඍෂිහට දුන්නේය තරුණයෙනි, තෙපි ඉතා දරුණු ලෙස අම්බට්ඨ මාණවකයාට දාසිපුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකරව්. ඒ කණ්හ තෙමේ ශ්‍රෙෂ්ඨවූ ඍෂිවරයෙක් විය.

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය. “අම්බට්ඨය, මේ කාරණා ගැණ කුමක් සිතන්නෙහිද? මේ ලොකයෙහි ක්ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණ ස්ත්‍රියක් සමග සහවාසය කරන්නේය. ඔවුන්ගේ සංවාසයෙන් පුත්‍රයෙක් උපදින්නේය. ක්ෂත්‍රිය කුමාරයකු කරණ කොට  බ්‍රාහ්මණ කන්‍යාවගෙන් උපන් යම් ඒ පුත්‍රයෙක් වේ නම් ඔහු බ්‍රාහ්මණයන් අතුරෙන් අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබයිද?”

“භවත් ගෞතමයිනි, අග්‍රාසනයත්, අග්‍රොදකයත් ලබයි.” “බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද?” “එසේය, භවත් ගෞතමයෙනි, වළඳවන්නාහුය.” “බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වත්ද? නොහොත් නොහදාරවන්නෝද?”

“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”

“ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලබාගත හැකිද? නැද්ද?

“භවත් ගෞතමයෙනි, ඔහුට ලැබෙන්නේය.”

“ක්ෂත්‍රියයෝ ඔහු ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරත්ද?”

“නැත, භවත් ගෞතමයෙනි.”

“එයට හේතු කිම?”

“භවත් ගෞතමයිනි, මවුපසින් අසම්පූර්ණ හෙයිනි.”

“අම්බට්ඨය, මේ ගැන නුඹ කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්‍රිය කන්‍යාවක හා සහවාසය කරන්නේය. ඔවුන්ගේ සහවාසය නිසා පුත්‍රයෙක් උපදින්නේය, බ්‍රාහ්මණ කුමාරයකු කරණකොට ක්ෂත්‍රිය කන්‍යාවකට උපන් යම් ඒ පුතෙක් වෙයි නම් හෙතෙම බ්‍රාහ්මණයන් අතරෙහි අග්‍රාසනය හෝ අග්‍රොදකය ලබන්නේද?”

“භවත් ගෞතමයෙනි, ලබන්නේය.”

“බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද?”

“භවත් ගෞතමයෙනි, වළඳවන්නාහුය.”

“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගන් වන්නෝද?”

“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”

“ඔහුට බ්‍රාහ්මණ කාන්තාවක් ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”

“භවත් ගෞතමයෙනි, ලැබෙන්නේය.”

“ක්ෂත්‍රියෝ ඔහු ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරත්ද?”

“නැත භවත් ගෞතමයෙනි,”

“එයට හේතුව කිම?”

“භවත් ගෞතමයෙනි, පියපසින් අසම්පූර්ණ හෙයිනි.”

“මෙසේ, අම්බට්ඨය, (බ්‍රාහ්මණ) ස්ත්‍රියක් (ක්ෂත්‍රිය) පුරුෂයෙක් හා සහවාසවූවාද, (බ්‍රාහ්මණ) පුරුෂයෙක් (ක්ෂත්‍රිය) ස්ත්‍රියක් හා සහවාසවූයේද, ක්ෂත්‍රියයෝම උසස් වෙත්. බ්‍රාහ්මණයෝ හීනයහ.

“අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතෙන්නෙහිද? මෙහි බ්‍රාහ්මණයෝ යම් වරදක් නිසා බමුණකු හිස මුඩුකොට අමුඩයක් ගස්වා පහරදී රටින් හෝ නගරයෙන් හෝ පිට කරන්නාහුය. ඔහු බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබන්නේද?”

“නැත, භවත් ගෞතමයෙනි”

“බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නෝද?”

“නැත, භවත් ගෞතමයෙනි.”

“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගන්වන්නෝද?”

“නූගන්වන්නෝය, භවත් ගෞතමයෙනි.”

“ඔහුට, බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”

“නොලැබෙන්නේය, භවත් භවත් ගෞතමයෙනි”

“අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද? මෙහි ක්ෂත්‍රියයෝ යම් වරදක් නිසා ක්ෂත්‍රියයකු හිසමුඩු කොට හිසේ අළු වත්කොට රටින් හෝ නුවරින් හෝ පිට කරන්නාහුය. හෙතෙමේ බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබන්නේද?”

“භවත් ගෞතමයෙනි, ලබන්නේය.”

“බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහුට වළඳවන්නෝද?”

“භවත් ගෞතමයෙනි, වළඳවන්නාහුය.”

“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගවන්නෝද?”

“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”

“ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”

“ලැබෙන්නේය; භවත් ගෞතමයෙනි.”

 “අම්බට්ඨය, ක්ෂත්‍රියයෝ යම් ක්ෂත්‍රියකු හිස මුඩුකොට හිසේ අළු වත්කොට රටින් හෝ නගරයෙන් හෝ පිට කරත්ද, මෙපමණකින්ම ඒ ක්ෂත්‍රිය තෙමේ ඉතා පහත් බවට පැමිණියේ වෙයි. අම්බට්ඨය, මෙසේ වූකලී ක්ෂත්‍රිය තෙමේ යම් කලෙක ඉතා පහත් බවට පැමිණියේ වෙයිද, එකල්හිත් ක්ෂත්‍රියයෝ උතුම්හ. බ්‍රාහ්මණයෝ පහත්ය.

“අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින්ද ගාථාවක් කියන ලදී:

“ලොකයේ ගොත්‍රයන් අතුරෙන් ක්ෂත්‍රියයෝ උතුම් වෙත්. දෙවියන් මිනිසුන් අතුරෙන් (විද්‍යාවෙන්) නුවණින් හා චරණයෙන්) සීලයෙන් සම්පූර්ණවූ තැනැත්තා ප්‍රධානයි.”

“අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින් ඒ මේ ගාථාව හොඳාකාර කියන ලද්දීය. හොඳ නැති ලෙස කියන ලද්දී නොවෙයි, හොඳින් ප්‍රකාශ කරණ ලද්දීය, නපුරු කොට ප්‍රකාශ කරණ ලද්දී නොවේ. එය අර්ථ සහිත වන්නීය. -අනර්ථ සහිත නොවන්නීය, මවිසින් අනුමත කරණ ලද්දීය. අම්බට්ඨය මමත් මෙසේ කියමි:-

“ලොකයේ ගොත්‍රයන් අතුරෙන් ක්ෂත්‍රියයෝ උතුම් වෙත්. දෙවියන් මිනිසුන් අතුරෙන් (විද්‍යාවෙන්) නුවණින් හා (චරණයෙන්) සීලයෙන් සම්පූර්ණවූ තැනැත්තා ප්‍රධානයි.’

ඒ පළමු වැනි බණ වරයි.

“භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්ම කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?”

“අම්බට්ඨය, අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියට ජාතිවාදය කියා හෝ ගෝත්‍ර වාදය කියා හෝ මාන්නවාදය කියා හෝ නොකියනු ලැබේ. නුඹ මට සුදුසුවෙයි කියා හෝ නුඹ මට සුදුසු නොවෙහි කියා හෝ යමක් එහි නැත අම්බට්ඨය, ස්ත්‍රියක් සරණපාවා ගැනීම හෝ සරණපාවාදීම හෝ පාවා ගැනීම් දීම් දෙකම හෝ වෙයිද එහි ජාතිවාදය හෝ කියාද, ගොත්ත වාදය හෝ කියාද මාන්න වාදය හෝ කියාද ඇත්තේය, නුඹ මට සුදුසුවෙහි යන්නක් හෝ නුඹ මට සුදුසු නොවෙහි යන්නක් හෝ එහි ඇත, අම්බට්ඨය, යම් කෙනෙක් ජාති වාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, ගොත්‍රවාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, මාන්නවාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, ආවාහ විවාහයෙහි බැඳුනෝ වෙත්ද, ඔවුහු අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියෙන් දුරුවූවාහුය. අම්බට්ඨය, ජාතිවාදයෙහි දැඩිව බැඳීමත්, ගොත්‍රවාදයෙහි දැඩිව බැඳීමත්, මාන්න වාදයෙහි දැඩිව තරව බැඳීමත්, ආවාහ විවාහයෙහි දැඩිව බැඳීමත්, පහකොට යමෙක්  විසීද හේ අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තිය අවබොධ කිරීමට සුදුස්සෙකු වෙයි.

“භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීලධර්මය කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?”

“අම්බට්ඨය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි දක්ෂ වූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ බ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සිය  සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ සිය නෑ පිරිස් හැර, කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවර සීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත් වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.

“අම්බට්ඨය, භික්ෂුවක්  කෙසේ නම් සීලසම්පන්න වේද? අම්බට්ඨය, මේ සස්නෙහිවූ භික්ෂුවක්  ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ  ඇත්තේ. පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ. දුන් දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරිවේ, මෙයද ඔහුගේ සීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මේද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථාහැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැකුණේ , එක් වේලේ කෑම වළඳන්නේ වෙයි , රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැකුණේ වෙයි.. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. මල්, ගඳ, විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ අමු මස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොරවූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය. තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. කැපීම්ය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලය වේ.

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජ බීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දානයට පිරිනමන ආහාර  කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛයාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ නම්, මෙද ඔහුගේ සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනී ඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළු පොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම් මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරිමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙලීමය, පන්දු කෙලීමය, නලා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑමය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන් ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය. ඒ ඒ දොෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දිග් හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිලිය, විසිතුරු එළුලොම් ඇතිරිලිය, එළුලොම් සුදු ඇතිරිලිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිලිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිලිය, එක් පිට ලොම් ඇති ඇතිරිලිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිලිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එකවිට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිලිය, ඇතුන් පිට අතුරණ ඇතිරිලිය, අසුන් පිට අතුරන ඇතිරිලිය, රථ පිට අතුරණ ඇතිරිලය, අඳුන්දිවි සමින් කළ ඇතිරිලිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිලිය, දෙපස තබන ලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ විලවුන් පාවිච්චිය , මූණේ ගානා සුවඳ කුඩු, මූනේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු හැරමිටි දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල් පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇදීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය ඇතිකරවන කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි.’ ‘ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි.’ මාගේ වචන යහපත්ය හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ ‘පළමු කිය යුත්ත පසුව කීයෙහිය පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දොෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දොෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා, කුහකයෝද, සිවුපසය උදෙසා කථාකරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාහාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.”

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බි හෝමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා. වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි සාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය දණ්ඩ, ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමි දරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙන වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත් මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්යග්‍රහණය වන්නේය. තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය. සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය, චන්‍ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය. තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භුමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇතිවන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටු වීම හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතුකොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය දුර්ගර්භ කරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩුකය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත්දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්මක්නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“අම්බට්ඨය, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හෙතු කොට ගෙණ කිසි තැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- අම්බට්ඨය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, අම්බට්ඨය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි අම්බට්ඨය, මෙසේ දැක්වූ සීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.

“අම්බට්ඨය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? අම්බට්ඨය, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නො ඇලේ, එයින් නොපෙලේ. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හෝ  කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එයින් නොපෙලේ . කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි හි නොඇලේ. එයින් නොපෙලේ . නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි හි නොඇලේ. එයින් නොපෙලේ .. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන හි නොඇලේ. එයින් නොපෙලේ . සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ සීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. අම්බට්ඨය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“අම්බට්ඨය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“අම්බට්ඨය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිදී ද, ආපසු යාමෙහිදී ද, ඒ නුවණින් දැන කරන්නේය. ඉදිරි ය බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් දැන කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. අම්බට්ඨය, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“අම්බට්ඨය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“අම්බට්ඨය, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ජීවිතය පැවැත්වීමට තරම් ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් අත්‍යාවශ්‍ය වූ  දේ පමණක් ගෙන යයි. අම්බට්ඨය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන සිය පියාපත් බර පමණක් දරා  පියාඹා යේද, අම්බට්ඨය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද කුස ගින්නට  ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් සිය පිරිකර පමණක් රැගෙණ බැහැර යයි. අම්බට්ඨය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ වන ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු  පස්වරු  කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ. පර්යංකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ‍නොමනාපය පහකොට නොමනාපයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. නොමනාප දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව නැත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් තොර කොට පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් ණයක්  ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් යම්සි වරදක්ර නිසා සිරගෙයි  බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. , ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. ‘ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිඳෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: ‘මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති, කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, ණයවීම  යම්සේද, රෝගාතුර වීම  යම්සේද, හිරගෙහි සිර කර තැබීම යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගයක යෑම  යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ තමන් පහනොකළ, කුසල් වළක්වන කරුණුපහ (පඤ්ච නීවරණ) තමා කෙරෙහි ලා නුවණින් දකීද. අම්බට්ඨය, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම අම්බට්ඨය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය.

“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශ කාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි.

“අම්බට්ඨය, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලෝහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද,

“අම්බට්ඨය, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි. අම්බට්ඨය, මෙයද මේ ආත්මයෙහි දැක්කයුතු විපාක ඇති ඵලයකි. මෙය ඉහතකී මේ ආත්ම භාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රෙෂ්ඨද වෙයි.

“අම්බට්ඨය, නැවතද භික්ෂු තෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කාය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.

“අම්බට්ඨය, යම්සේ ඇතුළතින්ම උනන උල්පත් ඇති දිය පොකුණක්  වේද ඒ  පොකුණ ට  පෙර දිගින්ද, අපරදිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන දිය පාරක්ම  නැත්තේ වේද, කලින් කල වසින වැස්ස ද  නොලැබේද , එසේවූ ඒ පොකුණෙන්  සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු පොකුනම සිහිල් දියෙන් පුරවයි.  පතුරුවයි, හාත්පසින් වගුරුවයි, එහි හැම තැන දියෙන් ස්පර්ශ කෙරෙයි. ඒ සියලු පොකුනෙහි  සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. අම්බට්ඨය, එපරිද්දෙන් මේ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ, ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැම තැනම ස්පර්ශශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි.

“නැවතද අම්බට්ඨය, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපෙක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරේ. ඒ සැපතින් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි, එයින් සැමතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

“අම්බට්ඨය, යම්සේ නිල්මානෙල් විලක හෝ සුදු නෙළුම් විලක හෝ රතු නෙළුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුලම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙළුම් රත් නෙළුම්, යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නො පහස්නා ලද්දේ නොවේද අම්බට්ඨය, එපරිද්දෙන් ඒ භික්ෂුතෙමේ මේ මුළු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි. හාත් පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීති නැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි. මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි,

“නැවතද අම්බට්ඨය, ඒ මහණතෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

“අම්බට්ඨය, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නො වසන ලද්දේ නොවේ. අම්බට්ඨය, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි. (සතර වැනි ධ්‍යාන චිත්තයෙන් සකල ශරීරයම පතුරුවන ලද්දේය කී සේයි.) මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි. අම්බට්ඨය මේ ඔහුගේ සීල ආදියයි.

“නැවතද, අම්බට්ඨය, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණි. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. *සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය,  බිඳීමය, විනාශය යන මේ දේ, ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.

“අම්බට්ඨය, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේද, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය: ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය, නිර්මලය, විශෙෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය, කියායි.

“අම්බට්ඨය, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙෂයන් ඇතිවූ කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශෙෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්: ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය, ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි. මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි.

“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාර වත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවන ලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණ බඩය අනිකෙක තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.

“අම්බට්ඨය, එසේම භික්ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවන ලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

“අම්බට්ඨය, දක්ෂ කුඹල් කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම් කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, අම්බට්ඨය, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, අම්බට්ඨය, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද අම්බට්ඨය, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වන්නෙකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවුද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“අම්බට්ඨය, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬයයිද, මිහිඟු බෙර හඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය.

“අම්බට්ඨය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිකල්හි, මෘදුවූකල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, ස්ථිරවූ බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිනිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ පිරිසිදුවූ දිව්‍ය කණෙන් ලබන ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඥාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි, මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයිදනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

“අම්බට්ඨය, සැරසෙන ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,

“අම්බට්ඨය, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුත්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාග සිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මොහ සිතයයි දනියි, මොහයෙන් තොරවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූ සිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.

“හේ තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙෂයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්: එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

“අම්බට්ඨය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“අම්බට්ඨය, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්තිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි. කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, පෙරවිසූ පිළිවෙළ දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කෙරෙයි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී. ‘මේ පින්වත් සත්ත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නේය, සතය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණිමවූ, ස්වර්ග ලොකයට පැමිණියෝය,යි මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද, හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.

“අම්බට්ඨය, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති, මොහු නික්මෙති, මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. මහරජ, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී: මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය’ උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ දුගීතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී: පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මයලෙස පැමිණි සත්ත්වයන් දනී. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි, හිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන්, කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ. දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යි ද දැනගණී.

“අම්බට්ඨය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: මේ දිය විල පිරිසිදුය මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි අම්බට්ඨය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක්නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී. අම්බට්ඨය, මේ ඔහුගේ විද්‍යාව වේ.

“අම්බට්ඨය, මේ භික්ෂු තෙමේ විද්‍යාවෙන් (නුවණින්) සම්පූර්ණයයි කියනු ලැබේ. එසේම චරණයෙන් (සීලාදියෙන්) සම්පූර්ණයයිද එසේම විද්‍යාවෙන් හා චරණයෙන් සම්පූර්ණයයිද කියනු ලැබේ. අම්බට්ඨය, මේ විද්‍යාසම්පත්තියට හා චරණ සම්පත්තියට වඩා උතුම් හෝ මිහිරි හෝ අන් විද්‍යා සම්පත්තියක්ද චරණ සම්පත්තියක්ද නැත්තේය.

“අම්බට්ඨය ඉතා උතුම්වූ මේ විද්‍යාචරණ සම්පත්තියට විනාශ දොරටු සතරක් වෙත්. කවර සතරක්ද? අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ, තපස් පිරිකර ආදිය ගෙණ ගස්වලින් වැටුණු ගෙඩි පමණක් ම කන්නෙක් වන්නෙමි’යි ආරණ්‍යයෙහි වනයකට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවුවහුගේ සේවය (වතාවත්) කරන්නෙක්ම බවට පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් විද්‍යාචරණ සම්පදායෙහි මේ පළමුවන විනාශ දොරටුව වේ.

“අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉතා උතුම්වූම මේ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩිම භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ, උදැල්ලක් හා කුඩයක් ගෙණ ‘අල මුල් ගෙඩි කෑම කරන්නෙක් වන්නෙමි’යි අරණ්‍යයෙහි වන මැදට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්ත වූවක්හුගේ මෙහෙකරු බවටම පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් මේ විද්‍යාචරණසම්පදායෙහි මේ දෙවෙනිවූ විනාශ දොරටුව වේ.

“අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් ඉතා උතුම්වූ මේ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩිම භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ අල මුල් ගෙඩි කෑමටද නොපැමිණෙන්නේ, ගමක් අසල හෝ නියම් ගමක් අසල හෝ ගිනිදෙවියා පුදන ගෙයක් කොට ගිනි දෙවියා පුදමින් සිටී. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවූවහුගේ මෙහෙකරු බවටම පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් මේ විද්‍යාචරණසම්පදායෙහි මේ තුන්වන විනාශ දොරටුවයි.

“අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් ඉතා උතුම්වූ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ, අල මුල් ගෙඩි බුදීමටද නොපැමිණෙනුයේ, ගිනිදෙවියා පිදීමට නොපැමිණෙනුයේ, හතරමංහන්දියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට මේ සිවුදිගින් යම් ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් මම ඔහු ශක්ති පරිද්දෙන් උපස්ථාන කරමි’යි වෙසෙයිද හෙතෙමේ ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්ම ඇත්තහුගේ සේවය කරන්නෙක්ම වේ. අම්බට්ඨය, මේ වනාහි ඉතා උතුම් විද්‍යාචරණසම්පදායෙහි හතරවැනි විනාශ දොරටුවයි.

අම්බට්ඨය, මේ වනාහි ඉතා උතුම් විද්‍යාචරණසම්පදායෙහි විනාශ දොරටු හතර වෙත්.

“අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? ඔබගේ ගුරුන් විසින්  නුඹ මේ උතුම් විද්‍යාචරණ සම්පදායෙහි හික්මවන ලද්දෙහිද?”

“නැත, භවත් ගෞතමයන් වහන්ස, එබන්දක් නම් නැත, භවත් ගෞතමයන් වහන්ස, මගේ ආචාර්යයන් කවර නම් මෙලෙස  ඉතා උතුම් විද්‍යාචරණසම්පත්ති තොමෝ මට උගන්වා නැත., භවත් ගෞතමයන් වහන්ස, මගේ ගුරුවරයාද මාද ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙහි බොහෝ ඈත්වූයෙමි.”

“අම්බට්ඨය, මේ කාරණා ගැන කුමක් සිතන්නෙහිද? නුඹ මේ අනුත්තරවූ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ තපස් පිරිකර ආදිය ගෙණ ගුරුන් සහිතව, ගස්වලින් වැටුණු ගෙඩි භුක්තිවිඳින්නෙක් වන්නෙමි’කියා අරණ්‍යයෙහි වනයකට පැමිණෙන්නෙහිද?”

“එබන්දක් නම් නැත, භවත් ගෞතමයන් වහන්ස.”

“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, උදැල්ලක් හා කූඩයක් ගෙණ නුඹ ගුරුන් සහිතව ‘අල මුල් ඵල කෑම කරන්නෙක් වන්නෙමැ’යි අරණ්‍යයෙහි වනයට පැමිණෙන්නෙහිද?”

“එසේත් නැත. භවත් ගෞතමයන් වහන්ස.”

“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, අල මුල් ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, ගුරුන් සමගවූ නුඹ ගම් අසල හෝ නියම්ගම් අසල හෝ ගිනිපුදනා ගෙයක් කොට ගිනි පුදන්නෙක්ව සිටින්නෙහිද?”

“එසේ නම් නැත, භවත් ගෞතමයන් වහන්ස.”

“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද අල මුල් ගෙඩි කෑමටද, අග්නිපූජාවටද නොපැමිණෙනුයේ, ගුරුන් සමගවූ නුඹ හතරමංහන්දියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට, “මේ හතරදිගින් යම් මහණෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් ඔහු ශක්තිපරිද්දෙන් උපස්ථාන කරන්නෙමි’යි සිටින්නෙහිද?”

“එසේත් නැත, භවත් ගෞතමයන් වහන්ස”

“අම්බට්ඨය, මෙසේ ගුරුන් සහිතවූ නුඹ මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙන් පිරිහුණෙහිය. ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවන්ගේ යම් මේ විනාශ දොරටු හතරක් වෙත්ද එයින්ද ගුරුන් සහිතවූ නුඹ පිරිහුණෙහිය. අම්බට්ඨය, නුඹේ ගුරුවර පොක්ඛරසාති බමුණා විසින් තමන් විද්‍යාචරණ සම්පදාව අඩු තරමින් වත් සම්පූර්ණ නොකරණුයේ “මේ පිළිකුල් කළයුතුවූ මුඩුවෝත් මහණෝත් දාසි පුත්‍රයෝත් හීන ජාතිකයෝත් බ්‍රහ්මගේ පාදයෙන් උපන්නොත් කවරහුද? ත්‍රිවිද්‍යා ඇති බමුණන්ගේ සාකච්ඡාව කවරීද?’ යන්නකු කියන ලදුයේමය, අම්බට්ඨය, නුඹගේ ගුරුවූ පොක්ඛරසාතී බමුණා විසින් නුඹට කරණලද අපරාධයක මහත බලව.

“අම්බට්ඨය, පොක්ඛරසාති බමුණුතෙමේ පසේනදී කොසොල් රජු විසින් දුන් දෙය අනුභව කරයි. එහෙත් කොසොල් රජ ඔහුට හමුවීමක් පවා නොදෙයි. රජු යම් කලෙක ඔහු හා යම් කරුණු ගැණ කතාකරයිද මුවහවූ රෙදිපට අතුරින් කථාකරයි.

“අම්බට්ඨය, පසෙනදී කොසොල් රජ ධාර්මිකවූ සිය කැමැත්තෙන් පවරා දෙනු ලබන දන් යමෙකුට පිළිගන්වාද එසේවූ පොක්ඛරසාති බමුණුහට කෙසේ නම් තමා හමුවීමට අවසර පවා නොදේද, අම්බට්ඨය, බලව, නුඹගේ ආචාර්යවූ පොක්ඛරසාති බමුණුහට මේ කොතරම් නොසැලකීමක්ද?”

“අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? මේ පසේනදී කෝශල රජ ඇතෙකු පිට හෝ අසකු පිට හෝ රථාසනයෙහි හෝ හුන්නේ උසස් අමාත්‍යයන් සමග හෝ රාජකුමාරයන් සමග හෝ කිසියම් සාකච්ඡාවෙක් කරන්නේය. ඒ බමුණු තෙමේ ඒ ප්‍රදේශයෙන් පිට ගොස් එක් පෙදෙසක සිටින්නේය. ඉක්බිති ශුද්‍රයෙක් හෝ ශුද්‍රදාසයෙක් හෝ එන්නේය. ඒ බමුණු තෙමේ එහි සිටියේ එවැනිවූම මන්ත්‍රණයක් කරන්නේය. කෙසේද? පසේනදී කොශල රජ තෙමේ මෙසේ කීයේය. මෙසේත් කීයේය’කියායි.

“ඔහු රජු කීවක්ම හෝ කියයිද? රජු හා සමග කරුණු විමසා බැලීමක් හෝ කරයිද? මෙපමණෙකින් හෙතෙමේ රජු හෝ රාජාමාත්‍යයෙක් වන්නේද?”

“නැත්මය, භවත් ගෞතමයන් වහන්ස”

“අම්බට්ඨය, එපරිද්දෙන්ම බමුණන්ගේ මුල් ඍෂීහු වූ මන්ත්‍ර කර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවා වූ යම් මුල්ගුරුවරයෝ වූවාහුද, වර්තමානයෙහි බමුණෝ යම් කෙනෙකුගේ පුරාණ වෙදමන්ත්‍රයන් (ඔවුන් විසින්) කටපාඩමේ කීම කරණලද සේ කටපාඩමේ කීම කරත්ද, කියවනලද සේ කියවත්ද, රැස්කොට තබන ලදසේ තබද්ද, ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අංගීරසය, භාරද්වාජය වාසෙට්ඨය, කස්සපය, භගුය, යන ආදී ඍෂිවරයන්ගේ මන්ත්‍රයන් කටපාඩම් කළමැයි ගුරුවරයා සහිතවූ නුඹ කට පාඩම් කරන්නෙහිය.

එපමණෙකින් නුඹ ඍෂිවරයෙක් හෝ ඍෂි බවට පැමිණියෙක් හෝ වෙහිද? මේ කාරණය නොවිය හැකිය.

“අම්බට්ඨය, මේ ගැණ නුඹ කුමකැයි සිතන්නෙහිද? මන්ත්‍රකර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවාවූ, බමුණන්ගේ මුල්වූ ඍෂීහු වූහ. මේ කාලයෙහි බමුණෝ යම් කෙනෙකුන් වෙද මන්ත්‍රයන් කටපාඩමේ කීම කළාසේ කටපාඩමේ කීම කරත්ද? කියවනලද සේ කියවත්ද, රැස්කොට තබනලදසේ තබද්ද? ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන පූර්වඍෂීහු මනාකොට නෑම කර පිරිසිදු වූවාහු, කැපූ කෙස් හා රවුලු ඇත්තාහු, මිණිකොඩොල් අබරණ පැළැන්දාහු, සුදුපිළි හැන්දාහු, පස්කම් ගුණයන්ගෙන් සම්පූර්ණවූවාහු, ගුරුන් සහිතවූ නුඹ දැන් යම්සේද ඔවුහු එවකට එසේ වූහයි වයස්ගතවූ ගුරුවරයන්ගේ ගුරුවරවූ බමුණන්ගෙන් නුඹ අසනලදද?

“නැත, භවත් ගෞතමන් වහන්ස.”

“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔවුහු  පිරිසිදු මාංශ රසයෙන් යුක්තවූ නොයෙක් හොදි ව්‍යඤ්ජන ඇති කළුපාට ඇට පහකළ ඇල්හාල් බත් කෑම කළහයි අසන ලදද?”

“නැත, භවත් ගෞතමයන් වහන්ස.”

“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔහු පටපිළි ආදියෙන් සැරසුණු, මෘදු කය ඇති ස්ත්‍රීන් විසින් උපස්ථාන කරණු ලබන්නෝවූහයි අසන ලදද?”

“නැත, භවත් ගෞතමයන් වහන්ස.”

“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔවුහුද දික් කැවිටිවලින් තළමින් පිළියෙලකොට කැපූ වල්ගා ඇති වෙළඹුන් යෙදූ රථයෙන් හැසිරෙන්නෝවූයයි අසනලදද?”

“නැත, භවත් ගෞතමයන් වහන්ස.”

“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේම ඔවුහු හෑරුවාවූ අගල් ඇති, තැබූ දොරවල් ඇති, පවුරු පදනම් යොදා ඇති, නගරයන්හිත් ආයුධ ගත් පුරුෂයන් විසින් රක්ෂා කරණ ලද්දාහු යයි අසනලදද?”

“නැත, භවත් ගෞතමයන් වහන්ස”

“මෙසේ හෙයින් අම්බට්ඨය, ගුරුන් සහිතවූ නුඹ ඍෂි නොවේ. ඍෂි බවට පිළිපැද්දෙත් නොවේ. අම්බට්ඨය, යමෙකුට වනාහි මාකෙරෙහි සැකයක් හෝ අවිශ්වාසයක් හෝ වේද, ඔහු මාගෙන් ප්‍රශ්න ඇසූකල, මම පිළිතුරු දීමෙන් සැක දුරු කරන්නෙමි.”

එවිට භාග්‍යවතුන් වහන්සේ නිවාසයෙන් නික්මී සක්මනට වැඩිසේක. අම්බට්ඨ තරුණයා තෙමේත් (ගන්ධකුටි) නිවාසයෙන් නික්ම සක්මනට ගියේය. ඉක්බිති අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන්කරණුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස ලකුණු පරීක්ෂාකෙළේය. අම්බට්ඨ තරුණයා තෙමේ භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරණුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහාපුරුෂ ලක්ෂණයන් දුටුයේය. එනම් “කොසොහිතවත්ථගුය්හ” ‘පහූත ජිව්හතා” යන දෙකෙහි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි, ඔහුගේ සිත නොපහදී.

එකල භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතක් පහළ විය. ‘මේ අම්බට්ඨ තරුණයා ‘කොශයෙහි සැඟවුනු පුරුෂ නිමිත්ත ඇති බවය, “පුළුල් දික් මෙළෙක් දිව ඇති බවය’ යන දෙලකුණ හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දකී. දැක ඒ දෙක්හි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි ඔහුගේ සිත නොපහදී යනුයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා යම්සේ ‘කොසොහිත්ථගුය්හය” දකීද, එබඳුවූ ඍද්ධි විශෙෂයක් කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු හා දෙනාසා සිදුරු ස්පර්ශකෙළේය, නැවත නැවත ස්පර්ශකෙළේය, නළල් තලය සම්පූර්ණයෙන් දිවින් වැසුවේය.

එවිට අම්බට්ඨ තරුණයාහට මෙබඳු සිතක් පහළ විය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුක්තය, සම්පූර්ණය, අසම්පූර්ණ නොවේ.’ මෙසේ සිතා තරුණයා “යහපත, භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යමු. අපි අවශ්‍යයෙන් කළයුතු බොහෝ කටයුතු ඇත්තෝ වමු”යි භාග්‍යවතුන් වහන්සේට කීය.

“අම්බට්ඨය, ගමනකට කාලය නුඹම දනුව”යි බුදුහු කීයේය. එවිට අම්බට්ඨ තරුණයා වෙළඹුන් යෙදූ රථයට නැගී පිටත්ව ගියේය.

“එකල පොක්ඛරසාති බමුණු තෙමේ උක්කට්ඨාවෙන් නික්ම මහත් බ්‍රාහ්මණ සමූහයක් සමග තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ තරුණයා ගැන බලාපොරොත්තු වෙමින් හුන්නේය. මේ වේලෙහි අම්බට්ඨ තරුණයාත් එහි පැමිණියේය. රථයෙන් යාහැකි තෙක් රථයෙන් ගොස් බැස පා ගමනින්ම පොක්ඛරසාති බමුණු වෙත ගොස් වැඳ එක පැත්තකටව හුන්නේය.

“කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන් දුටුයේද?”

“ස්වාමීනි, අපි ඒ භවත් ගෞතමයන් දුටුවමු.”

“කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේද, නැත්නම් එසේ නොවේද? ඒ භවත් ගෞතම තෙමේ එබඳුද, නැත්නම් එබඳු නොවේද?”

“ස්වාමීනි, භවත් ගෞතමයන් වහන්සේගේ එබඳුවූ, ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේය. නැත්තාවූ එකක් නොවේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය එබඳු නොවූයේ නොවේ. සම්පූර්ණවූ දෙතිස් මහපුරිස්ලකුණුවලින් ඒ භවත් ගෞතමයන් වහන්සේ යුක්තයහ, ඉන් අසම්පූර්ණවූයේ නොවේ.”

“දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් සමග නුඹගේ යම් ස්වල්ප කථාවක් වූයේද?”

“ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් සමග යම්කිසි කථාවක් වූයේය.”

“දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් සමග නුඹේ කෙබඳු කථාවක් නම් වූයේද?”

ඉක්බිති අම්බට්ඨ තරුණයා යම් කථාවක් භාග්‍යවතුන් වහන්සේ සමග වූයේ නම් ඒ සියල්ල පොක්ඛරසාති බමුණුහට කීයේය.

එසේ කී කල පොක්ඛරසාතී බමුණු තෙමේ අම්බට්ඨ තරුණයාහට මෙසේ කීයේය:- ‘ඉතා යහපති, අපගේ පණ්ඩිත නම්බුකාරයා, බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනීමෙහි නම්බුකාරයා ත්‍රිවිද්‍යා නම්බුකාරයා මෙබඳුවූ හිතවතෙකු යම් මිනිසකුට ඇතිවුවොත් ඒ මිනිසා ශරීරය බිඳීමෙන් මරණින් පසු අපාය නම්වූ, නපුරු ගති ඇති, දුක්වූ නිරයෙහිම උපදින්නේය.

“අම්බට්ඨය, නුඹ ඒ භවත් ගෞතමයන් ගට ගටා බැන්නෙහිය. එවිට භවත් ගෞතම තෙමේත් අප පිළිබඳ යටගිය තතු සියල්ල මතුකොට කීය. අනේ! හොඳයි, අපගේ පණ්ඩිත නම්බුකාරයා, බහුස්සුත නම්බුකාරයා, ත්‍රිවිද්‍යා නම්බුකාරයා යමෙකුට මෙබඳුවූ හිතවතෙකු ඇතිකල්හි ඔහු මරණින් මතුයෙහි අපාය නම්වූ නපුරු ගති ඇති දුක්වූ නිරයෙහි උපදින්නේමය” කියා කිපුනේ නොසතුටු වූයේ අම්බට්ඨ තරුණයා පයින් ගසා බිමහෙලීය, එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දකින්ට යෑමට ඔහු තුළ කැමැත්තක් විය.

එවිට ඒ බමුණෝ පොක්ඛරසාති බමුණුහට මෙසේ කිවහුය:- “පින්වත, ශ්‍රමණ ගෞතමයන් දකින්ට අද කිසිසේත් කාලය නොවේ. හෙට පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීම පිණිස යන සේක්වා.

එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ ස්වකීය ගෘහයෙහිම  දානයට සුදුසු මිහිරි කෑම පිළියෙල කරවා සකස් කොට තබා  පියා,  රථයක නැගී  පන්දම් එළියෙන් උක්කට්ඨාවෙන් පිටත්ව ඉච්ඡානංගල වනලැහැබට පැමිණියේය. යානයෙන් යා හැකි තෙක් එයින් ගොස් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන්වහන්සේ සමග සිහිකටයුතු සතුටුදායක කථාකොට පැත්තකින් හුන්නේය.

එකපැත්තකින් හුන් පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:- ‘භවත් ගෞතමයන්වහන්ස, අප යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේද?” “බ්‍රාහ්මණය, නුඹ යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේය.”

“භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා සමග ඔබ වහන්සේගේ කිසියම් කථා ස්වල්පයක් වීද?”

“බ්‍රාහ්මණය, අම්බට්ඨ තරුණයා සමග මාගේ කිසියම් කථාවක් විය.”

“භවත් ගෞතමයන් වහන්ස අම්බට්ඨ තරුණයා සමග කෙබඳුවූ කවර නම් කථාවක් වූයේද?”

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා සමග යම් පමණ ප්‍රශ්නොත්තර කථාවක් වූයේ නම් ඒ සියල්ල පොක්ඛරසාති බ්‍රාහ්මණයාට කීහ. එසේ කී කල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා බාලයෙකි. භවත් ගෞතමයන් වහන්සේ අම්බට්ඨ තරුණයාට සමා කරන සේක්වා.”

“බ්‍රාහ්මණය, අම්බට්ඨය තරුණයා සුවපත් වේවා.”

එවිට පොක්ඛරසාති බමුණුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු විමසීය. පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දුටුයේය, ‘කොසොහිතවත්ථගුය්හතා’ ‘පහුතජිව්හතා’ යන ලක්ෂණ දෙකෙහි සැක කරයි, තීරණයකට නොබසී, (ඔහුගේ සිත) නොපහදී.

එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය, ‘මේ බමුණු තෙමේ ‘කොෂයෙහි සැඟවුනු පුරුෂනිමිත්ත ඇති බවය,’ ‘පලල් දික් මොලොක් දිව ඇති බවය’ යන ලකුණු දෙක හැර සෙසු මහා පුරුෂ ලක්ෂණ දැක ඒ දෙක ගැන සැක කරයි, තීරණයකට නොබසී, (ඔහු සිත) නොපහදී.’ එවිට භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාති බමුණු තෙමේ යම්සේ කොසොහිතවත්ථගුය්හය දකීද, එබඳු ඍද්ධි විශෙෂයක් කළේය. දිව බැහැර කොට දෙකන් සිදුරු හා දෙනාසා සිදුරු ස්පර්ශකළේය, නැවත නැවත ස්පර්ශකෙළේය, නළල්තලය සම්පූර්ණයෙන් දිවින් වැසුවේය.

එකල පොක්ඛරසාති බමුණු හට මෙසේ සිතුනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ දෙතිස් මහපුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්ණයෙන් නොවේ.” (එසේ සිතා) භාග්‍යවතුන් වහන්සේ. භික්ෂු සංඝයා සමග අද දානය පිළිගණිත්වා” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් පිළිගත්තේය.

ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන, “භවත් ගෞතමන් වහන්ස, දානය සූදානම්ය, දැන් කාලයයි වළඳන්නට කාලය දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ උදය කාලයේ හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙණ භික්ෂුසමූහයා සමග පොක්ඛරසාති බමුණාගේ භෝජන ස්ථානයට වැඩියේය. එහි පැමිණ, පැනවූ ආසනයෙහි වැඩ උන්නේය. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ තමන්ගේ අතින්ම පිළිගන්වා හොඳින් මිහිරිවූ සුදුසු ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. බමුණු මාණවකයෝත් භික්ෂු සංඝයා වැළඳවූහ. එවිට පොක්ඛරසාති බමුණුතෙමේ වළඳා අවසන්ව පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන්වහන්සේ වෙත කුඩා ආසනයක් ගෙණ පැත්තකින් හුන්නේය.

භාග්‍යවතුන් වහන්සේ එසේ හුන් පොක්ඛරසාති බමුණාහට දාන කථාවය, සීලකථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ වැරැද්ද හා කෙලෙසන බවය, පහත් බවය, මහණ වීමේ උතුම්කමය, යන ධර්මදේශනා කිරීමේදී පළමුවෙන් කරන පිළිවෙළ කථාව දේශනා කළේය. භාග්‍යවතුන් වහන්සේ යම් ඇසිල්ලෙක පොක්ඛරසාති බමුණා තුළ සුදුසුවූ මෘදුවූ, බාධා නැති ප්‍රීතිය වැඩීගිය, ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දැනගත්තේ නම්, එකල දුකය, දුක ඉපදීමේ හේතුවය නිවනය මාර්ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබොධ කළ උතුම් සත්‍ය ධර්ම හතර ප්‍රකාශ කෙළේය. යම්සේ කළුපාට නුවූ පිරිසිදුවූ වස්ත්‍රයක් මනාකොට සායම් පිළිගන්නේද එපරිද්දෙන්ම පොක්ඛරසාති බමුණාහට ඒ හුන් ආසනයෙහිම ‘යම් කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද ඒ සියල්ල වැනසෙන ස්වභාවකොට ඇත්තේය’ යන පහවූ කෙලෙස් දූවිලි ඇති සෝවාන් මාර්ගඥානය (දහම් ඇස) උපන්නේය.

එවිට පොක්ඛරසාති බමුණු තෙමේ ලබාගත් ධර්ම ඇතියේ, අවබෝධකළ ධර්ම ඇතියේ, දැඩිව ගත් ධර්ම ඇතියේ, දුරුකළ සැක ඇතියේ, මහත් දැනීම් ඇතිවූයේ, වෙන අනුශාසනාවක් නොපිලිගන්නේ, භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය: “භවත් ගෞතමයන් වහන්ස, පැහැදුනෙමි, ඉතා පැහැදුනෙමි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක වැස්ම ඉවත් කරන්නේද, මුලාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ වස්තූන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල්පානක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්මය දෙශනා කරණලදී. භවත් ගෞතමයන් වහන්ස, මේ මම දරුවන් සහ භාර්යාවද, පිරිස් හා අමාත්‍යයන්ද සමග භවත් ගෞතමයන් වහන්සේද, ධර්මය හා සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණ ගිය උපාසකයකු කොට පිළිගන්නා සේක්වා. මෙසේ භවත් ගෞතමයන් වහන්සේ උක්කට්ඨා නුවර සෙසු උපාසක කුලයන් වෙත වඩිනසේක් නම් එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාතී පවුලටත් වඩිත්වා එහි යම් ඒ තරුණයෝ හෝ තරුණියෝ හෝ භවත් ගෞතමයන් වහන්සේට වැඳ ගෞරව හෝ කරත්ද, දැක හුනස්නෙන් නැගිටීම හෝ කරත්ද, ආසන හෝ දිය හෝ දෙත්ද, සිත හෝ පහදවත්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේය.”

“බමුණ, (ඔබ විසින්) යහපත් කාරණයක් කියනලදී.”

තුන්වෙනි අම්බට්ඨ සූත්‍රය නිමියේය.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )