2.5. අනුමාන සූත්‍රය

181 .මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙම භගු නම් දනව්වෙහි සුංසුමාර ගිරි නම් නුවර මිගදාය නම්වූ භෙසකලා නම් වනයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි, කියා භික්ෂූන්ට කථාකළහ. ‘ඇවැත්නි, කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය ප්‍රකාශ කළහ.

ඇවැත්නි, (යම්කිසි) භික්ෂුවක් තෙම “මම ආයුෂ්මතුන් විසින් අනුශාසනා වශයෙන් කියයුත්තේ වෙමි. මට ආයුෂ්මත්හු අවවාද වශයෙන් කරුණු කියත්වා” යයි ඉදින් (අන්‍ය භික්ෂූන්) පවරාද, (එසේ ඉල්ලා සිටියත්) ඒ භික්ෂුව දුර්වචයෙක් (අවවාදය නොපිළිගන්නා හෙයින් අවවාද කිරීමට අමාරුවූවෙක්) වෙයි නම් දුර්වචබව ඇතිකරන ගතිවලින් යුක්ත නම් නොඉවසන ගතියෙන් යුක්ත නම්, අනුශාසනාව නුහුරට ගන්නේ නම් එසේ ඇතිකල්හි එක්ව මහණදම් පුරන භික්ෂූහු ඔහු අවවාද කළ යුත්තෙකු කොට නොහඟිත්. අනුශාසනා කළ යුත්තෙකු කොට නොහඟිත්. ඒ පුද්ගලයා විශ්වාසය තැබිය යුත්තෙකු කොට නොහඟිත්.
“ඇවැත්නි, දුර්වච බව කරන කරුණු කවරහුද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම (තැතිගුණ අඟවන) ලාමක අදහස් ඇත්තේ වෙයිද, ලාමක අදහස්වලට වසඟවූයේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම ලාමක අදහස් ඇත්තේය. ලාමක අදහස්වලට වසඟවූයේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම තමා උසස් කොට සලකන්නේ වෙයිද අනුන්ට ගරහන්නේ වෙයිද, ඇවැත්නි, මහණ තෙම තමන් උසස් කොට සිතන්නේය. අනුන්ට ගරහන්නේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේද, ක්‍රොධයෙන් මඩනාලද සිත් ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේය. ක්‍රොධයෙන් මඩනාලද සිත් ඇත්තේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධය හෙතුකොටගෙන බද්ධ වෛර ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධය හෙතුකොටගෙන බද්ධ වෛර ඇත්තේය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධය හෙතුකොටගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේවේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ, ක්‍රොධය හෙතුකොටගෙන නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේවේද ක්‍රොධයට කිට්ටු වචන කියන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ කරන ස්වභාව ඇත්තේ ක්‍රොධයට කිට්ටු වචන කියන්නේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. චෝදනා කරන්නකු විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව සිටීද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව සිටියි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කරන තැනැත්තාට අවමන් කෙරේද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදකයාට අවමන් කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම චොදනා කරන්නෙකු විසින් චොදනා කරනලද්දේ චොදකයාට (චොදනා කළ තැනැත්තාට) චොදනාව හරවයිද, ඇවැත්නි, මහණ තෙම චොදනාකළ තැනැත්තා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට චෝදනාව හරවයි යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසාද, කථාව පිටතට නමාද කොපයද තරහයද නොසතුටද පහළ කරයිද, ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් වසයි. කථාව පිටතට නමයි කොපයද තරහයද නොසතුටද පහළ කරයි යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම ප්‍රකාශ නොකරයිද, ඇවැත්නි, මහණතෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම, ප්‍රකාශ නොකරයි යන යමක්වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ගුණමකු වේද (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා තමා සමකර සලකන්නේ) යුගග්‍රාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, මහණතෙම ගුණමකු වේය යුගග්‍රාහ ඇත්තේවේය යනයමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්ෂ්‍යා කරන්නේ වෙයිද මසුරු මලයෙන් යුක්ත වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම ඊර්ෂ්‍යා කරන්නේය. මසුරු මලින් යුක්ත වූයේය යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම කෛරාටිකවේද, රැවටිලි ඇත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම කෛරාටික වෙයි. රැවටිලි ඇත්තේ වෙයි. යන යමක් වේද මේ කාරණයද දුර්වච බව කරන්නේය.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තදගති ඇත්තේවේද අධික මාන ඇත්තේ වේද ඇවැත්නි, මහණ තෙම තද ගති ඇත්තේය. අධික මාන ඇත්තේය යන යමක් වේද මේ කාරණය දුර්වච බව කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතු වූයේ වෙයිද ඇවැත්නි, මහණ තෙම තමාගේම ලබ්ධිය දැඩිවශයෙන් ගන්නේ එයින් දුකසේ බැහැර කරවිය යුතුය යන යමක් වේද, මේ කාරණයද දුර්වච බව කරන්නකි. ඇවැත්නි, මේ කරුණු දුර්වච බව කරන ගතියයි කියනු ලැබෙත්.
182. “ඇවැත්නි, මහණ තෙම ‘ආයුෂ්මත්හු මට අවවාද වශයෙන් කියත්වා, මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙක් වෙමියි ඉදින් (අන්‍ය භික්ෂූන්) නොපවරාද (එසේ ඉල්ලා නොසිටියත්) ඒ භික්ෂුව සුවචයෙක් නම්, (අවවාදය පිළිගන්නා හෙයින් අවවාද කිරීමට පහසු කෙනෙක්) වෙයි නම්, සුවච බව ඇති කරන්නාවූ කරුණුවලින් යුක්ත නම්, ඉවසන ගතියෙන් යුක්ත නම් අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ නම් එකල්හි එක්ව මහණදම් පුරන භික්ෂූහු ඔහු කියයුත්තෙකු කොට හඟිත්. අනුශාසනා කටයුත්තෙකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයයි හඟිත්.

“ඇවැත්නි, සුවචබව කරන ධර්මයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (නැති ගුණ හඟවන) ලාමක අදහස් ඇත්තේ නොවේද, ලාමක අදහස්වලට වසඟනොවූයේ වේද, ඇවැත්නි, මහණතෙම ලාමක අදහස් ඇත්තේ නොවේ, ලාමක අදහස්වලට වසඟ නොවූයේය යන යමක් වේද මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමා උසස්කොට නොසලකන්නේ වේද, අන්‍යයා පහත් කොට නොසලකන්නේ වේද, මහණතෙම, තමා උසස් කොට නොසලකන්නේ අන්‍යයා පහත් කොට නොසලකන්නේය යන යමක් වේද මේ කාරණයද සුවච බව ඇතිකරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රොධයෙන් මඩනාලද සිත් ඇත්තේ නොවේද, ඇවැත්නි, මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේය. ක්‍රොධයෙන් මඩනාලද සිත් නැත්තේය. යන යමක් වේද, මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේ ක්‍රොධය හෙතුකොටගෙන බද්ධ වෛර නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රොධය හෙතුකොටගෙන බද්ධ වෛර නැත්තේය යන යමක් වේද, මේ කාරණයද සුවච බව ඇති කරන්නකි.
ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ ක්‍රොධ හෙතුවෙන් (නපුරු ක්‍රියාවන්හි) නොඇලෙන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ, ක්‍රොධ හෙතුවෙන් නපුරු ක්‍රියාවන්හි නොඇලෙන්නේය යන යමක්වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේ ක්‍රොධයට කිට්ටු වචන නොකියන්නේද, ඇවැත්නි, මහණ තෙම ක්‍රොධ නොකරන ස්වභාව ඇත්තේය, ක්‍රොධයට කිට්ටු වචන නොකියන්නේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනාකළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව නොසිටීද, මහණ තෙම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ චොදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව නොසිටී යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් නොකෙරේද, ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් නොකරයි යන යමක්වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චොදනා කළ තැනැත්තාට චෝදනා නොනංවයිද ඇවැත්නි, මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තා පිට චෝදනාව නොනංවයි යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරනලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් නොවසයිද කථාව පිටතට නොනමයිද කෝපයද තරහද නොසතුටද පහළනොකරයිද ඇවැත්නි, මහණතෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනික් කථාවකින් අනික් කරුණක් නොවසයි. කථාව පිටතට නොනමයි. කෝපයද තරහද නොසතුටද පහළ නොකරයි යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයිද ඇවැත්නි, මහණ තෙම චෝදකයා විසින් චෝදනා කරන ලද්දේ තමාගේ පැවැත්ම නොකියයි යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ගුණමකු නොවේද ගුණ නැතිව ගුණ ඇති අනුන් හා සමාන නොකරන්නේ වේද, ඇවැත්නි, මහණ තෙම ගුණමකු නොවේ. ගුණයෙන් අනුන් හා සමාන නොකරන්නේ වේ යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, මසුරුමල නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි. මසුරුමල නැත්තේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම කෛරාටික නොවේද රැවටිලි නැත්තේ වේද, ඇවැත්නි, මහණතෙම කෛරාටික නොවේ. රැවටිලි නැත්තේය යන යමක් වේද, මේ කරුණද සුවච බව ඇති කරන්නකි.
“ඇවැත්නි නැවත අනිකක්ද කියමි. මහණතෙම තද ගති නැත්තේ වේද, අධික මාන නැත්තේ වේද, ඇවැත්නි, මහණ තෙම තදගති නැත්තේය. අධික මාන නැත්තේය යන යමක්වේද මේ කරුණද සුවච බව ඇතිකරන්නකි. ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගේ විශ්වාසයම නොගන්නේ වේද, තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ එයින් පහසුවෙන් වෙන් කළ හැක්කේ වේද, ඇවැත්නි, මහණතෙම තමාගේම විශ්වාසය නොගන්නේය. තමාගේම ලබ්ධිය දැඩි වශයෙන් නොගන්නේ පහසුවෙන් එයින් වෙන් කළ හැක්කේය යන යමක් වේද මේ කරුණද සුවච බව ඇති කරන්නකි. ඇවැත්නි. මොව්හු සුවචභාවය ඇති කරන කරුණුයයි කියනු ලැබෙත්.
183. “ඇවැත්නි, මහණහු විසින් මේ කරුණු දහසයෙහි තමා විසින්ම තමා මෙසේ මැන බැලිය යුතුයි. (කෙසේද?) යම් මේ පුද්ගලයෙක් තෙම ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස්වල වසඟයට ගියේ වේද, (එහෙයින්) මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද ලාමකවූ අදහස් ඇත්තේ ලාමක අදහස්වල වසඟයට ගියේ වෙමි නම් මමද අනුන්ට අප්‍රිය වූයේ අමනාප වූයේ වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් ලාමක අදහස් ඇත්තෙක් නොවන්නෙමියි, ලාමකවූ අදහස්වල වසඟයට ගියේත් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.

“යම් මේ පුද්ගලයෙක් වනාහි තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නේ වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද තමා උසස් කරන්නෙක් අනුන් පහත් කරන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තමා උසස් නොකරන්නෙක් අනුන් පහත් නොකරන්නෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගති ඇත්තේ ක්‍රොධයෙන් මඩනාලද්දේ වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කිපෙනසුලු වූවෙක් ක්‍රොධයෙන් මඩනා ලද්දෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් නොකිපෙන ගති ඇත්තෙක් ක්‍රොධයෙන් නොමඩනා ලද්දෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුය.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රොධය හෙතුකොට ඇති බද්ධ වෛර ඇත්තෙක් වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද කිපෙන ගතිය ඇත්තෙක් ක්‍රොධය හෙතුකොට බද්ධ වෛර ඇත්තෙක් වන්නෙම්ද, මමද, අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රොධය හෙතුකොට බද්ධ වෛර ඇත්තෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙන ගතිය ඇත්තේ ක්‍රොධය හෙතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වේද, මේ පුද්ගල තෙමේ මට අප්‍රියය, අමනාපය, මමද අනුන්ට ක්‍රොධ කරන්නෙම් නම්, ක්‍රොධය හෙතු කොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියවූවෙක් අමනාප වූවෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි. ක්‍රොධය හෙතුකොට නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කිපෙනසුලු වූයේ ක්‍රොධයට සමීපවූ වචන කියන්නේවේද, මේ පුද්ගලතෙම මට අප්‍රියය අමනාපය, මමද කිපෙනසුලු වූවෙක් ක්‍රොධයට සමීපවූ වචන කියන්නෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කිපෙන ගති ඇත්තෙක් නොවන්නෙමි, ක්‍රොධයට සමීප වචන කියන්නෙක් නොවන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් පුද්ගලයෙක් වනාහි චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරයිද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් තෙම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අවමන් කරයිද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරන්නෙම් නම්, මමද අනුන්ට අප්‍රියවූවෙක් අමනාප වූවෙක් වන්නෙමියි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරලා චෝදනා නොකරන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසාද, කථාව පිටතට නමයිද, කොපයද, තරහද, නොසතුටද, පහළ කෙරේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ, අනිකකින් අනිකක් වසන්නෙම් නම්, කථාව පිටතට නමන්නෙම් නම් කෝපයත්, තරහයත්, නොසතුටත්, පහළ කරන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්සුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් නොවසන්නෙමි කතාව පිටතට නොනමන්නෙමි. කොපයත් තරහයත් නොසතුටත් පහළ නොකරන්නෙමියි, සිත ඉපද විය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියයි නම් මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම නොකියන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි. ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ තමන්ගේ පැවැත්ම කියන්නෙමියි සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණමකුවූයේ, යුගග්‍රාහ ඇත්තේවේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද මකුගුණ ඇත්තේ යුගග්‍රාහ ඇත්තේ වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රියයෙක් අමනාපයෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් මකුගුණ නැත්තෙක් යුගග්‍රාහ නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්ෂ්‍යා කරන ස්වභාව ඇත්තේ මසුරුවූයේද මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වන්නෙම්ද, මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් ඊර්ෂ්‍යා නැත්තෙක් මසුරු බැව් නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේද, මේ පුද්ගලතෙම මට අප්‍රියය, අමනාපය, මමද කෛරාටික වූයේ මායා ඇත්තේ වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් කෛරාටික නුවූවෙක්, මායා නැත්තෙක් වන්නෙමියි සිත ඉපදවිය යුතුයි. යම් මේ පුද්ගලයෙක් වනාහි තදගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක්වේද, මේ පුද්ගල තෙම මට අප්‍රියය, අමනාපය, මමද තදගති ඇත්තෙක් අධික මාන ඇත්තෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තදගති නැත්තෙක් අධික මාන නැත්තෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
“යම් මේ පුද්ගලයෙක් වනාහි තමාගේම මතය ගෙන සිටින්නේ තමාගේම ලබ්ධිය දැඩිලෙස ගන්නේ එයින් බැහැර කරවිය නොහැක්කේ වේද? මේ පුද්ගල තෙම මට අප්‍රියය අමනාපය, මමද මගේම මතය ගෙන සිටින්නේ මගේම ලබ්ධිය දැඩිකොට ගැණීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කෙක් වන්නෙම් නම් මමද අනුන්ට අප්‍රිය වූවෙක් අමනාප වූවෙක් වන්නෙමි, ඇවැත්නි, මෙසේ දන්නාවූ භික්ෂුව විසින් තමාගේම මතය නොගන්නෙක් තමාගේම ලබ්ධිය දැඩිකොට ගැණීම නැත්තෙක්, පහසුවෙන් එයින් බැහැරකළ හැක්කෙක් වන්නෙමියි, සිත ඉපදවිය යුතුයි.
184. “ඇවැත්නි, ඒ කාරණයන්හි භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකාබැලිය යුතුයි. කිමෙක්දෝ මම ලාමක අදහස් ඇත්තේ වෙම්ද ලාමකවූ අදහස්වල වසඟයට ගියේ වෙම්දෝයි (සැලකිය යුතුයි) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකාබලන්නේ ලාමක අදහස් ඇත්තෙම් ලාමකවූ අදහස්වල වසඟයට ගියෙම් වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි. ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම එසේ සලකා බලන්නේ ලාමක අදහස් ඇත්තෙම් නොවෙමි, ලාමක අදහස්වල වසඟයට ගියෙම් නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කළ යුතුයි.

“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුයි කිමෙක්දෝ මම තමා උසස් කරන්නේ අනුන් පහත් කරන්නෙක් වෙම්දැයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකාබලන්නේ මම තමන් උසස් කරන්නෙක්, අනුන් පහත් කරන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි. ඒ භික්ෂුව විසින් ඒ ලාමකවු අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම තමා උසස් නොකරන්නේ අනුන් පහත් නොකරන්නෙක් වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි, භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙන සුළුවූයේ ක්‍රොධයෙන් මඩනා ලද්දේ වෙම්දැයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධයෙන් මඩනාලද්දේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධයෙන් මඩනා ලද්දේ නොවෙමියි මෙසේ දනීද, ඇවැත්නි,ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන් යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි, භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධය නිසා බද්ධ වෛර ඇත්තේ වෙම්දැයි (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ ක්‍රොධය නිසා බද්ධ වෛර ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. ක්‍රොධයට හෙතුවූ බද්ධ වෛර ඇත්තේ නොවෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්සුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කිපෙනසුලු වූයේ වෙම්දෝයි. (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නපුරු ක්‍රියාවන්හි ඇලෙන්නෙක් නොවෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම කිපෙන ස්වභාව ඇත්තේ වෙම්ද, ක්‍රොධයට සමීපවූ වචන කියන්නේ වෙම්දැයි (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ වෙමි, ක්‍රොධයට සමීපවූ වචන කියන්නේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම කිපෙන ස්වභාව ඇත්තේ නොවෙමි. කිපීමට සමීපවූ වචන නොකියන්නේ වෙමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂනේම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා ගැන මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව සිටිම්දැයි (සලකා බැලිය යුතුය.)
“ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම මෙසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව සිටිමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකන්නේ මම චොදනා කරන ලද්දේ, චෝදනා කළ තැනැත්තාට ප්‍රතිවිරුද්ධව නොසිටිමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි, කිමෙක්දෝ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරම්දැයි (සලකා බැලිය යුතුයි)
ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස කරමියි, මෙසේ දනීද ඇවැත්නි,ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට අපහාස නොකරමියි මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා කෙරෙම්දැයි (සලකා බැලිය යුතුය.)
“ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා කරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල් ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ චෝදනා කළ තැනැත්තාට පෙරළා චෝදනා නොකරමියි, මෙසේ දනීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුශල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුය. කිමෙක්දෝ, මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසම්ද, කථාව පිටතට නමම්ද, කොපයත්, තරහත් නොසතුටත් පහල කෙරෙම්දැයි (සලකා බැලිය යුතුයි.)
“ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම චෝදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ අනිකකින් අනිකක් වසමි. කථාව පිටතට නමමි, කොපයත්, තරහත්, නොසතුටත් පහල කරමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දෙම් අනිකකින් අනිකක් නොඉවසමි. කථාව පිටතට නොනමමි. කොපයත්, තරහත්, නොසතුටත් පහළ නොකරමියි, මෙසේ දනීද, ඇවැත්නි ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ, ඇවැත්නි, පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙම් දැයි (සලකා බැලිය යුතුයි.) ඒ භික්ෂුව විසින් එසේ සලකා බලන්නේ චොදනා කරන්නා විසින් චෝදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාශ නොකරන්නෙමියි මෙසේ දනීද, ඇවැත්නි,ඒ භික්ෂුව විසින් ලාමකවූ ඒ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම චොදනා කරන්නා විසින් චොදනා කරන ලද්දේ පැවැත්ම ප්‍රකාශ කරමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම ගුණමකුවූයේ යුගග්‍රාහ ඇත්තේ වෙම්දැයි, (සලකා බැලිය යුතු) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ, මම ගුණමකුවූයේ යුගග්‍රාහ ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම ගුණමකු නොවූයේ යුගග්‍රාහ නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුයි.) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම ඊර්ෂ්‍යා ඇත්තේ මසුරු බැව් ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම ඊර්ෂ්‍යා නැත්තේ මසුරු බැව් නැත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම කෛරාටික වූයේ මායා ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතු.) ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම එසේ සලකා බලන්නේ මම කෛරාටික වූයේ මායා ඇත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මම කෛරාටික නොවූයේ මායා නැත්තේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තෝෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ, මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම තදගති ඇත්තේ අධික මාන ඇත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුසල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භිකෂුතෙම එසේ සලකා බලන්නේ මම තදගති නැත්තේ අධික මාන නැත්තේ වෙමියි, මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විසින් තමා විසින්ම තමා මෙසේ සලකා බැලිය යුතුයි. කිමෙක්දෝ මම තමාගේම මතය දැඩිකොට අල්වාගත්තේ තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙම්දෝයි, (සලකා බැලිය යුතුය) ඇවැත්නි, ඉදින් භික්ෂුතෙම එසේ සලකා බලන්නේ, මම තමාගේම මතය අල්වාගත්තේ තමාගේ ලබ්ධිය දැඩිකොට ගැනීම ඇත්තේ එයින් බැහැර කරවිය නොහැක්කේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්මයන්ගේම දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂු තෙම එසේ සලකා බලන්නේ මම තමාගේම මතය අල්වා නොගත්තේ තමාගේම ලබ්ධිය දැඩිකොට ගැනීම නැත්තේ එයින් පහසුවෙන් බැහැර කරවිය හැක්කේ වෙමියි මෙසේ දනීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, ඉදින් මහණතෙම සලකා බලන්නේ තමා කෙරෙහි පහනොකළාවූ මේ සියලු ලාමකවූ අකුසලධර්මයන් දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් මේ සියලු ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකාබලන්නේ මේ සියලු ලාමකවූ අකුසල ධර්මයන් තමන් කෙරෙහි නැතැයි දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.
“ඇවැත්නි, යම්සේ වයසින් අඩුවූ, තරුණවූ සැරසීම ස්වභාව කොට ඇත්තාවූ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදුවූ නිර්මල වූ කැඩපතක හෝ පැහැදිලි දිය බඳුනක හෝ තමාගේ මුහුණ බලන්නේ ඉදින් එහි දූවිලි හෝ තල කැලල් පිළිකා ආදී දොසක් හෝ දකීද, එම දූවිලි හෝ කිළුටු හෝ දුරු කිරීම පිණිස යම්සේ වෑයම් කරයිද, ඉදින් එහි දූවිලි හෝ කිළුටක් හෝ නොදකීද, මට ඒකාන්තයෙන් ලාභය, ඒකාන්තයෙන් මාගේ මුහුණ පිරිසිදුයයි, එයින්ම යම්සේ සතුටුවේද, ඇවැත්නි, එපරිද්දෙන්ම ඉදින් භික්ෂුතෙම සලකා බලන්නේ මේ සියලුම ලාමකවූ අකුසල ධර්මයන් තමා කෙරෙහි ඇති බව දකීද, ඇවැත්නි, ඒ භික්ෂුව විසින් සියලුම මේ ලාමකවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි. ඇවැත්නි, ඉදින් වනාහි භික්ෂුතෙම සලකා බලන්නේ මේ සියලුම ලාමකවූ අකුසලධර්මයන් තමා කෙරෙහි නැති බව දකීද ඇවැත්නි, ඒ භික්ෂුව විසින් කුසල ධර්මයන්හි රෑ දාවල් හික්මෙමින් ඒ සන්තොෂයෙන්ම යුක්තව වාසය කටයුතුයි.”
ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරතෙම මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.
පස්වෙනිවූ අනුමාන සූත්‍රය නිමි.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )