MN 01-02.10 විතක්ක සණ්ඨාන සූත්‍රය


තිපුජ්‍ය මාහෝ සුමේධ මහා ස්වාමින් වහන්සේ කල
විතක්ක සන්තාන සුත්‍ර දේශනාව
අසන්න

§1 මා විසින් මෙසේ අසන ලදී. .
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වාසය කරති.

එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ කියා කථා කළහ. භික්ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, විමුක්විති මාර්ගයේ පිලිවෙත් පුරන්නාවූ විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්ෂුව විසින් කලින් කළ කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක්ද යත්?

§ I. මහණෙනි, භික්ෂුව තමන් (දක්නා අසනා විඳිනා සිතනා) යම් අරමුණක් (නිමිත්තක්) නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලොභ උපදවන්නා වූ ද (කාමයට / කැමැත්තට නැගෙන්නට උපකාරීවන්නා වුද ), දොෂ සහගතවූද (නොකැමැත්ත/ අප්‍රසාදය වැඩෙන්නාවූද), හෝ මෝහ සහගතවූද (අයෝනිසෝ මනසිකාරයට හෙතුවන්නාවූ) ලාමකවූ අකුසල කල්පනා උපදිත්ද,

මහණෙනි, ඒ භික්ෂුව විසින් වහාම ඒ නිමිත්තෙන් , අරමුණෙන් වෙනස් වූ බාහිරවූ, අන්‍යවූ,240 කුසල සහිත අරමුණක් කෙරෙහි සිත් නැංවිය යුතුය, මෙනෙහි කළ යුතුය.

[240:-ලෝභ නිමිත්ත ලෙස කාම නිමිත්තක් ගතහොත් සජීවී රුපයක් නම් ඒ වෙනුවට අන්‍යවූ අනෙක් නොහොත් සුදුසු නිමිත්ත පිළිකුල් හෝ අසුභ අරමුණක් ද අජීවී ලෝභ අරමුණකට නම් ඒ වෙනුවට එහි අනිත්‍ය නිමිත්තද, දෝස නිමිත්ත සජීවී නම් ඒ වෙනුවට මෛත්‍රී භාවනාව අරමුණක් සේ ද අජීවී නිමිත්තක් නම් ධාතු මනසිකාරයද, මෝහ නිමිත්තක් වේනම් ඒ වෙනුවට නිතොර ධර්ම මනසිකාරය වැඩෙන ලෙස ධර්ම ශ්‍රවනය කරමින් ධර්ම මනසිකාරය වඩා ගැන්ම බවද අටුවාව දක්වයි.]

එසේ අන්‍යාවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූ දොෂ සහගතවූ, මොහ සහගතවූ, ලාමකවූ, යම් අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ යටපත් වෙත්. පහවෙත්. නැතිව යත්. ඒ අකුසල කල්පනාවෝ පහවීම හෙතු කොටගෙන ඔහු සිත ඇතුළතම පිහිටයි බාහිර නිමිති නොගනී, කුසල් අරමුණෙහි නවතියි, සිත එකඟ වෙයි සමාධිය ඇතිවෙයි.

Nail

“මහණෙනි, යම් වඩුවෙක් නුසුදුසු යකඩ ඇණයක් ගලවා ඉවත් කරනු පිණිස සිහින් ඇනයකින් ගසා ලොකු ඇණය පිට කරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණෙනි, එසේම භික්ෂුව යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලොභ සහගතවූද දෝස සහගතවූද මොහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් කුසල සහිතවූ නව අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම නිසා භික්ෂුවගේ ලොභ සහගතවූද, දොස සහගතවූද, මොහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, හිඳියි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.

Hell

§ II. . “මහණෙනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දොස සහගතවූද මොහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහු නම් , ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කළ යුතුය.

මෙසේ වන්නාවූ මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය. කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවගේ ලොභ සහගතවූද දොෂ සහගතවූද මොහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශවෙත්, ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි.

[ MN 1.02.09 ද්වේධ විතක්ක සුත්‍රයේදී බෝධිසත්වයන් මේ පිළියම් භාවිතා කල සැටි දැක්වෙයි.]
මහණෙනි, අලංකාරයට කැමතිවූ යම් තරුණියක් හෝ තරුණයෙක් අල්ලා ඔහුගේ / ඇයගේ බෙල්ලෙහි  සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ එල්ලුවොත් ඇය හෝ ඔහු  

ඒ නිසා හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් වෙනත් වූ  වෙනස් වූ කුසලයෙන් යුක්තවූ අන්‍ය අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ ආකාරයෙන්ද මෙනෙහි කල යුතුය.

§ III. මේ කල්පනාවෝ අකුසල්ය, මේ මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ විපාක දෝෂ මෙනෙහි කළ යුතුයි.

ඒ කල්පනාවන්ගේ විපාක මෙනෙහි කරන්නාවූ ඔහුට ලොභ සහගතවූද දෝස සහගත වූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඒ අනිසි කල්පනාවෝ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

Cease to do bad
. “මහණෙනි, ලොභ සහගතවූද, දෝස සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවන්ගේ විපාක මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ඒ පිලිබඳ හිරිය හා ඔත්තප්පය උපදින්නාහුම වෙත්,

මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණු වලින් සිය සන්තානය ඉවත් කර ගන්නට නොහොත් ඒ සිතුවිලි අමතක කිරීමට උත්සාහ කල යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට, අමතක කිරීමට හැකි වන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

“මහණෙනි, යම්සේ ඇස් ඇත්තාවූ පුරුෂයෙක් සිය ඇස් හමුවට පැමිණියාවූ රූපයක් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ ද අන් දිශාවක් බලන්නේ හෝ වේද, මහණෙනි, එමෙන් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ විපාක මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ඒ ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට, අමතක කිරීමට වෙර දැරිය යුතුයි.

ඒ ලාමක කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට උත්සුක වූ ඒ භික්ෂුවගේ ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනාවෝ ප්‍රහීන වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. නවතියි, එකඟ බවට පැමිණෙයි.


§ IV. “මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූද, දෝෂ සහගත වූද, මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි.

මහණෙනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දෝස සහගතවූද, මෝහ සහගතවූද  ලාමක අකුසල කල්පනාවක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි, සිත නවතියි, සිත  එකඟ බවට පැමිණෙයි, සමාධියට පැමිණෙයි.

“මහණෙනි, යම් පුරුෂයෙක් ඉක්මණින් ඉක්මනින් යන්නේද, ඔහුට ‘මම කුමක් නිසා වහ  වහා යන්නෙම්ද? සෙමින් යන්නෙම්ය’යි අදහස් වන්නේය. ඔහු සෙමින් ඇවිද යැයි.
එසේ හෙතෙම හෙමින් යන්නේ නම් . ඔහු නැවත කුමක් නිසා ‘මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැ’යි සිතා නවතින්නේය.
නැවත ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙම්ය’යි සිතා හිඳගන්නේය.
නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙම්ය’යි සිතා නිදාගන්නේය.

මහණෙනි, මෙසේ ඒ පුරුෂයා ඔළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියව් පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි.

ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගත වූද දෝස සහගතවූද, මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පවතියි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

V. “මහණෙනි, ඒ කල්පනාවන්ගේ මූලහෙතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි.

දත්වලින් දත් තද කොටගෙන දිව තල්ලට තබා තදකොට දැඩි වෙර ගෙන සිතින් සිත නිග්‍රහ  කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂසහගත වූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.
“මහණෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, බිම හෙලන්නේද, පෙළෙන්නේද, ගසා තලන්නේද, මහණෙනි, එසේම ඒ දොස් සහිත කල්පනාවන්ගේ මුල් හෙතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ඒ ලාමක අකුසල කල්පනාවෝ යලි උපදින්නාහු නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිව
තල්ලට තදකොට ගෙන සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දොෂ සහගත වූද මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.

 “මහණෙනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, ලාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ,  කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්.

ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්ෂා කර බලන්නාහටද ලොභ සහගතවූද, දොෂ සහගත වූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඔවුහු පහ වෙත්, විනාශ වෙත්

ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි. එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ මුල් හෙතුව බලන්නාවූ භික්ෂුවහටද ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.
“දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.

මහණෙනි, මේ භික්ෂුව යම් අරමුනක් කැමති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදුකරන ලද ආඥ්ත්වය ඇත්තේයයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළා දැමීය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීනකොට දුක් කෙළවර කෙළේය.”
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය  වදාළෝය. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

දසවැනිවූ විතක්ක සණ්ඨාන සූත්රය නිමි.
මහා සීහනාද වර්ගය නිමි.


Back to Index

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.