MN 01-01-09 සම්මා දිට්ඨි සූත්‍රය

පාළි සුත්‍රය සජ්ජායනය අසන්න
SammadittiSutta

§ 1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

§ 2.“ඇවැත්නි, ‘සම්‍යක්දෘෂ්ටිය114 ට පත්විය’ , ‘සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) ලැබීමි’ යයි කියනු ලැබේ.

[114අටුවාව: සම්‍යක් දෘෂ්ඨිය දෙවැදෑරුම් ලෙස දැක්වේ. ලෞකිය සම්‍යක්දෘෂ්ටිය සහ ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය වශයෙනි. එයිනුත් ලෞකිය සම්‍යක්දෘෂ්ටිය දෙවැදෑරුම්ය. කර්ම ඵල විස්වාසය, එකකි. චතුරාර්ය සත්‍ය පිළිගැනීම එකකි. ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය යනු මාර්ග ඵල පිලිවෙලින් චතුරාර්ය සත්‍ය පසක් කිරීමය. සාරිපුත්ත ස්වාමින්වහන්සේ අසන ලද ප්‍රශ්නය, ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් නිර්වාන මාර්ගයට පිළිපන්  “සේඛ” තත්වයට පත් ශ්‍රාවකයා සම්බන්ධවය.]

ඇවැත්නි, ආර්ය ශ්‍රාවකයෙක් කෙසේ නම්  
සම්‍යක්දෘෂ්ටිය ඇත්තේ වේද?
දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද,
ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද?,
මේ ධර්මයට (නිර්වාණ ධර්මයට) පැමිණියේ වේද? 

“ඇවැත්නි, අපි ඔබ වහන්සේගෙන් මේ ධර්මයෙහි අර්ථය දැනගන්නට බොහෝ දුර ගෙවා වුවත් එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ  මේ කීමෙහි අර්ථය අපට තෙරුම්කොට දේශනා කරන්නේ නම් එය අපේ සුභ සිද්ධිය පිණිස වන්නේය. ඔබ වහන්සේ දේශනා කරන ඒ ධර්මය අසා  අප භික්ෂුන් ඒ දරා ගන්නෙමු

“ඇවැත්නි, එසේවී නම් අසව්! හොඳින් හිතේ තබාගනිව්! දේශනා කරන්නෙමි’ යි සාරිපුත්ත ස්වාමින් වහන්සේ කීහ. ‘එසේය ඇවැත්නි, ‘කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.

I කම්ම පථ වාරය 

§ 3. “ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් අකුසලය කුමක්දැයි දනීද, අකුසල මූලයන් මොනවා දැයි දනීද, කුසලය කුමක්දැයි දනීද කුසල මූලයන් කවරේදැයි දනීද ඇවැත්නි, මෙපමණකින් ම  එම ආර්ය ශ්‍රාවකයා  සම්‍යක්දෘෂ්ටිය ඇත්තෙක් වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

§ 4. “ඇවැත්නි,
(i) අකුසලය කවරේද?115
(ii) අකුසල මූලය කවරේද?
(iii) කුසලය කවරේද?
(iv) කුසල මූලය කවරේද?

[115:- දස අකුසලයන් මෙහිදී දැක්වේ .මින් පළමු අකුසල් තුන කයෙන් ඊළඟ සතර වචනයෙන්ද, අවසන් තුන සිතින් ද වන ඒවාය. මජ්ජිම නිකායේ 41 වන සල්ලේඛ සුත්‍රයේ § 8 හි මේ දහය විස්තරාත්මකව සඳහන් වේ ]

ඇවැත්නි, ප්‍රාණ ඝාතය අකුසල්ය, අන් සතු දේ ගැනීම අකුසල්ය, කාමයන්හි වරදවා හැරීම අකුසල්ය, බොරුකීම අකුසල්ය, කේලාම් කීම් අකුසල්ය, ඵරුෂවචන කීම අකුසල්ය, (තමනට හෝ අනුනට වැඩක් නොවන) නිෂ්ඵල කථා කිරීම අකුසල්ය, අභිජ්ජාව (අනුන්ගේ දේ තමනට හිමි නම් යෙහෙකැයි සිතීම) අකුසල්ය, නොමනාප වන සිත (ව්‍යාපාදය) අකුසල්ය, වැරදි දෘෂ්ටිය ( චතුරාර්ය සත්‍ය නොදැක සන්සාර විමුක්තියක් ඇතය කියන මත)  අකුසල්ය, ඇවැත්නි, මේ සියල්ල  අකුසලයයි කියනු ලැබේ.

§ 5.“ඇවැත්නි, අකුසල මුල කවරේද?
(a) ලෝභය අකුසල මූලයකි ,
(b) දෝෂය අකුසල මූලයකි,
(c) මෝහය අකුසල මූලයකි,
ඇවැත්නි, මේවා ට  අකුසල මුල්යයි කියනු ලැබේ.

[116 :- පුජනීය ඥානපෝනික ස්වාමින්වහන්සේ ලියු “කුසල අකුසල් මුල” පොතෙහි මේ ගැන බොහෝ විතර සඳහන් වේ.]

§ 6. “ඇවැත්නි, කුසලය117 යනු කවරේද?

ප්‍රාණ ඝාතය නොකිරීම කුසල්ය,
සොරකම් නොකිරීම කුසල්ය,
කාමයෙහි වරදවා නොහැසිරීම කුසල්ය,
බොරු නොකීම කුසල්ය,
කේළාම් නොකීම කුසල්ය,
ඵරුෂ වචන නොකීම කුසල්ය,
හිස් වචන නොදෙඩීම කුසල්ය,
අභිජ්ජාවෙන් වෙන්වීම කුසල්ය,
අව්‍යාපාදය  කුසල්ය,
නිවැරදි දැකීම කුසල්ය.
ඇවැත්නි, මේ කුසලයයි කියනු ලැබේ.

[117: මජ්ජිම නිකායේ 41 වන සල්ලේඛ සුත්‍රයේ § 12-14 හි මේ දස කුසල විස්තරාත්මකව සඳහන් වේ ]

§ 7. “ඇවැත්නි, කුසල මූල කවරේද?
(a) අලොභය කුසල මූලයකි,
(b) අදෝසය කුසල මූලයකි,
(c) අමොහය කුසල මූලයකි .
ඇවැත්නි, මේවා කුසල මූල යයි කියනු ලැබේ.

§ 8.“ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් මෙසේ අකුසලය දනීද, අකුසල මුලයන් දනීද, කුසලය දනීද, කුසල මූලයන් දනීද හෙතෙම සියල්ල කෙරෙහිම වූ කැමැත්ත (රාගානුසය)  දුරුකොට, සිතෙහි අප්‍රිය ස්වභාවය/ නොරුස්සනා ගතිය/  (පටිඝානුසය) දුරුකොට, මම වෙමි සහ මාගේ වේය  යන දැකීම හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ජාතියෙහිදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.118
[118:- අටුවාව: මේ පළමු ආකාර කිරීම් දුක්ඛ සත්‍ය , කුසල සහ අකුසල මුලයන් දුකට හේතු ලෙසද,  තෙවනිව දැක්වූ විරමනයන් නිර්වාන මාර්ගය ට අයත් සේ ද දැක්වේ. }

“ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකයෙක්  සම්‍යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

– II ආහාර  වාරය –

§ 9. “ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුහ.

§ 10. “ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

§ 11.“ඇවැත්නි, එසේය. එබඳු  තවත් මාර්ග ඇත්තේය,
යම්  ආර්ය ශ්‍රාවකයෙක් ආහාරය දනීද,
ආහාරයෙහි හේතුව දනීද,
ආහාරයේ නැතිකිරීම දනීද,
ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද
මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයෙක්  සම්‍යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

§ 12. “ඇවැත්නි,
ආහාරය කවරේද?
ආහාරයේ හෙතුව කවරේද?
ආහාරය නැතිකිරීම කවරේද?
ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්.
කවර සතරක්ද යත්?

(i) ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද,
(ii)  ස්පර්ශ ආහාරය (විඳීමට හෙතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද,
(iii)  මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද,
(iv)  විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හෙතුවූ විඤ්ඤාණය) ද යන සතරය. 

[119 විස්තරය: සතර ආහාර සංසාරය පවත්වන අයුරු අති පුජ්‍ය ඥාණපෝනික  මහා ස්වාමින් වහන්සේ ලිවූ “සතර ආහාර” පොත් පිංචේ විස්තර කර ඇත: BPS-Kandy]

“තෘෂ්ණාවේ හටගැන්ම ආහාරයෙහි හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම (සසර පැවැත්මට හේතුවන ) ආහාර නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි.

[120:- ආහාර ලෙස දැක්වෙන්නේ හුදෙක් කබලීකාර ආහාරය නොවන බව අමතක නොකරන්න]

“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයේ හේතුව දනීද, මෙසේ ආහාර නැති කිරීම දනීද, මෙසේ ආහාර නැති කිරීමට වන ප්‍රතිපදාව දනීද, ඔහු සියල්ල කෙරෙහි ඇති ඇලීම (කාමය) දුරුකොට අසංතෘප්තතාව යන නොමනාපය දුරුකොට “මම වෙමි”යි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග ඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරයි.

ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තෙක් වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවෙයි. ඔහු නිර්වාණ ධර්ම මාර්ගයට පැමිනෙයි.

III සච්ච වාරය 

§ 13. “ඇවැත්නි, ඉතා මැනව”යි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද ?”

දුක්ඛ සත්‍ය

§ 14. ඇවැත්නි , ඇත්තේය.
යම් ආර්ය ශ්‍රාවකයෙක්  දුක දනීද, දුක ඉපදීමට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැතිකිරීමට යන මාර්ගය දනීද, මෙපමණකින්ද ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

§ 15.ඇවැත්නි, දුක කවරේද? දුක් හට ගැන්මට හේතුව කවරේද? දුක නැති කිරීම කෙසේ වේද ? දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද යත්?

ඉපදීමද දුකය, දිරීමද දුකය, මරණයද දුකය, ශොකය, වැළපීමය, ශාරීරික දුකය, මානසික දුකය, දාහය  යන මේවාද දුකය. කැමතිවන යමක් නොලැබේනම් ඒද දුකය. කොටින්ම උපාදානස්කන්ධ පහම දුකය. ඇවැත්නි, මේ දුකයයි කියනු ලැබේ.

§ 16. “ඇවැත්නි, දුක හටගැන්මට හේතුව කවරේද,?

නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ තන්හාව සමගම ඒ ඒ තැන දුටු දුටු දෙයෙහි සතුටු වන්නාවූ, ඇලෙන්නාවූ තෘෂ්ණාවක්වේද, එනම්
කාම තෘෂ්ණාවය (වස්තුකාම ආශාව)
භව තෘෂ්ණාව (ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු ආශාව)
විභව තෘෂ්ණාව (උච්ඡේද දෘෂ්ටිය හා යෙදුණු ආශාව) යන මේවාය.

ඇවැත්නි, මේ දුක් හටගැන්මට හේතුවයයි කියනු ලැබේ.

§ 17.ඇවැත්නි, දුක් නැති කිරීම කවරේද?

ඒ තෘෂ්ණාවෙහි කිසිවක්  ඉතිරි නොකොට මුළුමනින්ම නැති වේද, දුරලීමක්, මිදීමක්, ප්‍රතික්ෂේපයක් වේද, ඇවැත්නි, මේ දුක නැති කිරීමයයි කියනු ලැබේ.

§ 18. ඇවැත්නි, දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද?
මේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මොහුයි.

§ 19. ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් මෙසේ දුක දනීද, මෙසේ දුක් ඉපදීමට හේතුව දනීද, මෙසේ දුක නැතිකිරීම දනීද, මෙසේ දුක් නැතිකිරීමට මාර්ගය දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් කැමැත්ත, කාමය, රාගය දුරුකොට දෝෂය, අසන්තොසය දුරුකොට, “මම වෙමි” යන දෘෂ්ටිය හා මානය නසා, අවිද්‍යාව දුරු කොට, අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා, මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

IV- ජරා මරණ වාරය 

§ 20. “ඇවැත්නි, මැනව”යි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

§ 21. ඇවැත්නි, ඇත්තේය.
ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් ජරාව (වෙනස්වීම) සහ මරණය යන දෙක දනීද, ජරාවේත් මරණයේත්  හේතුව දනීද, ජරාව සහ  මරණය යන දෙකෙහි නැති කිරීම දනීද ජරා සහ මරණයන් නැතිකිරීමට එළැඹෙන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි. [විස්තරය: මීළඟ චේද 12  පටිච්ච සමුප්පාදයේ පියවර 12 අවලෝම ලෙස කෙටියෙන් දැක්වේ.]

§ 22. “ඇවැත්නි, ජරාව හා මරණය කවරේද?
ජරාවට මරණයට හෙතුව කවරේද?
ජරාව මරණය නැතිකිරීම කවරේද?
ජරාව හා මරණය නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද?

ඒ ඒ සත්ත්ව වර්ගයෙහි ඒ ඒ සත්ත්වයන්ගේ යම් දිරායන බවක් වේද, දත් ආදිය කැඩීයාමක් වේද, ඉසකේ ආදිය පැසීමක් වේද, සම රැලිවැටීමක් වේද, ආයුෂයාගේ පිරිහීමක් වේද, ඇස් ආදී ඉන්ද්‍රියන්ගේ ක්‍රියා දුර්වලවීමක් වේද ඇවැත්නී, මේ ජරාවයයි කියනු ලැබේ. ඇවැත්නි,

මරණය කවරේද?
ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව වර්ගයෙන් යම් චුතවීමක් වේද, චුතවන බවක් වේද, ශරීරයාගේ බිඳීමක් වේද, අතුරුදහන් වීමක් වේද මරණයක් වේද, කාලක්‍රියාවක් වේද, පංචස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරය බැහැර දැමීමක් වේද, ඇවැත්නි, මේ මරණයයි කියනු ලැබේ.
ඇවැත්නි, මේ ජරාවද මේ මරණයද යන දෙක ජරා මරණයයි කියනු ලැබේ.

ජාතිය (ඉපදීම) ඇතිවීම නිසාම ජරා මරණයන්ගේ ඇතිවීම වෙයි. ජාතිය නැතිකිරීමෙන් ජරා මරණයන්ගේ නැතිවීම වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරා මරණයන් නැති කිරීමට යන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 23. ඇවැත්නි, යම් විටෙක ආර්ය ශ්‍රාවකයා මෙසේ ජරාව හා මරණය දනීද, මෙසේ ජරා මරණයන්ගේ හටගැන්ම දනීද, මෙසේ ජරා මරණයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ ජරා මරණ නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් කැමැත්ත කාමය රාගය දුරුකොට දෝෂය දුරු කොට මම වෙමි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. .

V – උප්පත්ති ජාති වාරය –

§ 24. “ඇවැත්නි, ඉතා මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

§ 25. ඇවැත්නි, ඇත්තේය.
යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකයා, ජාතිය (ඉපදීම) දනීද, ඉපදීමට හෙතුව දනීද, ඉපදීම නැතිකිරීම දනීද, ඉපදීම නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.

§ 26. ඇවැත්නි, ජාතිය කවරේද,

ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයෙහි යම් ඉපදීමක් වේද, මනාකොට ඉපදීමක් වේද, මව් කුසට පැමිණීමක් වේද, ප්‍රකටව ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක්වේද [ස්පර්ශ ආයතන සයේ ක්‍රියත්මකබව පහත දැක්වේ.] , ඇවැත්නි, මේ ජාතියයි කියනු ලැබේ. භවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. (කර්ම) භවය නැති කිරීමෙන් ජාතිය නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජාතිය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්. නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි වෑයමය නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 27. ඇවැත්නි, යම් අවස්ථාවක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ ජාතිය දනීද, මෙසේ ජාතියට හෙතුව දනීද, මෙසේ ජාතිය නැතිකිරීම දනීද, මෙසේ ජාතිය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

VI භව වාරය 

§ 28. ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුහ..

ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

§ 29. ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම කර්මභවය දනීද, කර්මභවය ඇතිවීමට හේතුව දනීද, කර්මභවය නැතිකිරීම දනීද, කර්මභවය නැති කිරීමට යන මාර්ගය දනීද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

§ 30. ඇවැත්නි, භවය කවරේද,
භවය ඇතිවීමට හේතුව කවරේද,
භවය නැතිකිරීම කවරේද?
භවය නැතිකිරීමට යන මාර්ගය කවරේද? 

ඇවැත්නි, භවයෝ (කර්ම භව/ උත්පත්ති භව) තුනක් වෙත්.
(i) කාම භවය, (ii) රූප භවය, (iii) අරූප භවය (යන තුනයි)

උපාදානයන් (තෘෂ්ණාවෙන් දැඩි ලෙස අල්ලා ගැනීම) හෙතුකොටගෙන භවයන්ගේ හටගැන්ම වේ.
උපාදාන නැතිකිරීම භවයන්ගේ නැතිකිරීම වේ.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භවය නැතිකිරීම් මාර්ගය වේ.
ඒ කවරේද යත්?

නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය. නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 31 ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් මෙසේ භවය දනීද, මෙසේ භවයේ හටගැන්ම දනීද, මෙසේ භවය නැතිකිරීම දනීද, භවය නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නට සමත් වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

VII උපාදාන වාරය 

§ 32 “ඇවැත්නි, ඉතා මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුහ.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?”

§ 33. ඇවැත්නි, ඇත්තේය,
“ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයෙක් උපාදානය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලාගැනීම) දනීද, උපාදානයට හේතුව දනීද, උපාදාන නැති කිරීම දනීද, උපාදාන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තෙක් වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වේ, ධර්මයට පැමිනෙයි.

§ 34 “ඇවැත්නි, උපාදානය කවරේද?
උපාදානයන්ගේ හටගැන්ම කවරේද?
උපාදානයන්ගේ නැතිකිරීම කවරේද?
උපාදානයන් නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, උපාදාන සතරක් වෙත්. 

  • කාම උපාදානය, (ආශාවෙන් දැඩිකොට අල්ලා ගැනීම)
  • දිට්ඨි උපාදානය (දෘෂ්ටියෙන් දැඩි කොට අල්ලා ගැනීම)
  • අත්තවාද උපාදානය (ආත්මයක් ඇතැයි තරයේ ගැනීම)
  • සීලබ්බත උපාදානය (ශාසනයෙන් පිටත ශීලව්‍රත තරයේ ගැනීම) යන සතරයි.

තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානයන්ගේ හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් උපාදාන නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම උපාදාන නැති කිරීමට යන මාර්ගයයි එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 35. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම උපාදානය දනීද උපාදාන හටගැන්ම දනීද, උපාදාන නැති කිරීම දනීද උපාදානයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා, මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

VIII තන්හා වාරය 

§ 36. ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද”

§ 37. ඇවැත්නි, ඇත්තේය.
යම් ආර්ය ශ්‍රාවක යෙක් තණ්හාව දනීද, තණ්හාව ඉපදීමට හේතුව දනීද තණ්හාව නැති කිරීම දනීද, තණ්හාව නැති කිරීමට යන මාර්ගය දනීද ඇවැත්නි, මෙපමණකින්ද, ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

§ 38. ඇවැත්නි, තණ්හාව කවරේද?
තණ්හාව හටගැන්මට හේතුව කවරේද,
තණ්හාව නැති කිරීම කවරේද?
තණ්හාව නැති කිරීමට යන මාර්ගය කවරේද?

“ඇවැත්නි, මේ තණ්හාව කොටස් සයක් වෙත්.

  • රූප තණ්හාවය,
  • සද්ද තණ්හාවය,
  • ගන්ධ තණ්හාවය,
  • රස තණ්හාවය,
  • ඵොට්ඨබ්බ තණ්හාවය,
  • ධම්ම තණ්හාවය (යන සයයි).

වෙදනාවගේ හටගැන්මෙන් තණ්හාවගේ හටගැන්මවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්, නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි වෑයමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 39. “ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම මෙසේ තණ්හාව දනීද, මෙසේ තණ්හාව හටගැන්ම දනීද, මෙසේ තණ්හාව නැතිකිරීම දනීද, මෙසේ තණ්හාව නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරු කොට, ක්‍රොධය දුරුකොට, මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි,

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

IX- වේදනා වාරය 

§ 40. “ඇවැත්නි, මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුහ.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තෙක් වෙයිද, දෘෂ්ටිය සෘජු වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණෙයි ද?, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද? 

§ 41. ඇවැත්නි, ඇත්තේය.
ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් වින්දනය (සුඛ, දුක්ඛ, අදුක්කම සුඛ වේදනා) දනීද, විඳීමේ හටගැන්මත් දනීද, විඳීමේ  නැතිකිරීමත් දනීද, විඳීම නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා  සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි. ඇවැත්නි,

§ 42. විඳීම කවරේද?
විඳීමේ හටගැන්ම කවරේද?
විඳීමේ නැතිකිරීම කවරේද?
විඳීමේ නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, මේ විඳීම සය වැදෑරුම් වේ.
ඇස හා ගැටීමෙන් හටගන්නා විඳීමය,

කණ හා ගැටීමෙන් හටගන්නා විඳීමය,
නාසය හා ගැටීමෙන් හටගන්නා විඳීමය,
දිව හා ගැටීමෙන් හටගන්නා විඳීමය,
ශරීරය හා ගැටීමෙන් හටගන්නා විඳීමය,
හිත හා ගැටීමෙන් හටගන්නා විඳීමය (යන සයය)

ස්පර්ශය (අරමුණු ගැටීම) හෙතුකොටගෙන විඳීම හටගැන්ම වේ. ස්පර්ශය නැතිකිරීමෙන් විඳීම නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඳීම නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 43. “ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයා මෙසේ වින්දනය නොහොත් වේදනාව දනීද, මෙසේ වේදනාවගේ හටගැන්ම දනීද, මෙසේ වේදනා නැතිකිරීම දනීද, මෙසේ වේදනා නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනිද, හෙතෙම සර්වප්‍රකාරයෙන් කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට “මම වෙමි”යි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

 X – ඵස්ස වාරය 

§ 44. “ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුහ.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද ?”

§ 45. ඇවැත්නි, ඇත්තේය.
ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් ස්පර්ශය දනීද, ස්පර්ශයාගේ හටගැන්මත් දනීද, ස්පර්ශය නැතිකිරීමත් දනීද, ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවත් දනීද,

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

§ 46. “ඇවැත්නි, ස්පර්ශය කවරේද?
ස්පර්ශයාගේ හටගැන්ම කවරේද?
ස්පර්ශය නැතිකිරීම කවරේද?
ස්පර්ශය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, මේ ස්පර්ශ කොටස් සයක් වෙත්. ඇස හා ස්පර්ශය, කණ හා ස්පර්ශය, නාසය හා ස්පර්ශය, දිව හා ස්පර්ශය, ශරීරය හා ස්පර්ශය, හිත හා ස්පර්ශය යන සයයි. ආයතන (ඇස ආදී ඉන්ද්‍රිය හය) හටගැන්මෙන් ස්පර්ශයන්ගේ හටගැන්ම වේ. ආයතන හය නැතිකිරීමෙන් ස්පර්ශයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවය. එනම්. නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 47. ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් මෙසේ ස්පර්ශය දනීද, මෙසේ ස්පර්ශය හටගැන්ම දනීද, ස්පර්ශය නැති කිරීම දනීද, ස්පර්ශය නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට, කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

 ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක යා සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුවෙයි ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.

XI සලායතන වාරය 

§ 48. “ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය විචාළාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?”

§ 49. “ඇවැත්නි, ඇත්තේය.
“ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් ආයතන දනීද, ආයතනයන්ගේ හටගැන්ම දනීද, ආයතන නැතිකිරීම දනීද, ආයතන නැති කිරීමට යන ප්‍රතිපදාව දනීද, ඇවැත්නි මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේවෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි..”

§ 50 ඇවැත්නි,
ය ආයතනය කවරේද?
සය ආයතනයන්ගේ හටගැන්ම කවරේද?
සය ආයතනයන්ගේ නැතිකිරීම කවරේද?
සය ආයතනයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව කවරේද? 

ඇවැත්නි, ආයතනයෝ  සයක් වෙත්. (i) චක්ඛු ආයතනය (ii)සොත ආයතනය, (iii) ඝාණ ආයතනය, (iv) ජිව්හා ආයතනය, (v) කාය ආයතනය, (vi) මනායතනය [විස්තරය: මනායතනය සියළුම විඥාන්යන්ගේ ක්‍රියාවන් නිසා වන්නකි. භවාංග විඥානය මනායතනය  පහළවීමට ඇති මුල හේතුවයි.]  (යන හයයි.)
නාමරූපයන්ගේ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ) හටගැන්මෙන් සය ආයතනයන්ගේ හටගැන්ම වේ. නාමරූපයන් නැතිකිරීමෙන් සය ආයතනයන්ගේ නැති කිරීම වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සය ආයතනය නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 51. “ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් මෙසේ සය ආයතනයෝ දනීද, මෙසේ සය ආයතනයන්ගේ හටගැන්ම දනීද, මෙසේ සය ආයතනයන්ගේ නැතිකිරීම දනීද, මෙසේ සය ආයතන නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. 

XII නාම රූප වාරය 

§ 52. ඇවැත්නි, ‘ඉතා මැනවැයි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද ?”

§ 53. “ඇවැත්නි, ඇත්තේය. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම නාම රූප දෙක දනීද, නාම රූප හටගැන්ම දනීද, නාම රූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.

§ 54. ඇවැත්නි නාමරූප කවරේද?
නාමරූපයන්ගේ හට ගැන්ම කවරේද?
නාමරූපයන්ගේ නැතිකිරීම කවරේද?
නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද?

වේදනා (විඳීම) ය, සංඥා (හැඟීමය) ය, චෙතනා (මෙහෙයීම) ය, ස්පර්ශ (ගැටීම) ය, මනසිකාර (මෙනෙහිකිරීම) ය යන මේ ධර්ම ඇවැත්නි, නාමයයි කියනු ලැබේ.

“මහා භූත රූප හතර (පඨවි, ආපෝ, තේජෝ, වායෝ ) ද ඒ සතර මහා භූතයන් නිසා හටගත්තාවූ පවත්නාවූ උපාදාය රූපද යන මේ  ඇවැත්නි, රූපයයි කියනු ලැබේ. මෙසේ මේ නාමයද මේ රූපයද ඇවැත්නි, නාමරූපයයි කියනු ලැබේ. ප්‍රතිසන්ධිවිඥානයාගේ (පිළිසිඳ ගැනීම පිළිබඳ විඤ්ඤාණය) හටගැන්මෙන් නාමරූපයන්ගේ හටගැන්ම වේ. විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාමරූපයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 55. ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් මෙසේ නාමරූපයන් දනීද, මෙසේ නාමරූපයන්ගේ හටගැන්ම දනීද මෙසේ නාමරූපයන්ගේ නැතිකිරීම දනීද මෙසේ නාමරූපයන් නැතිකිරිමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. .

XIII විඥාන වාරය

§ 56. ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද

§ 57. “ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයා විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඥානය නැති කිරීමට ප්‍රතිපදාව දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ ධර්මයට පැමිණියේ වෙයි.

§ 58. “ඇවැත්නි,
විඤ්ඤාණය කවරේද?
විඤ්ඤාණයාගේ හටගැන්ම කවරේද?
විඤ්ඤාණය නැතිකිරීම කවරේද?
විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද? 

ඇවැත්නි මේ විඤ්ඤාණ කොටස් සයක් වෙත්.
(i) චක්ඛු විඤ්ඤාණය,
(ii) සොත විඤ්ඤාණය,
(iii) ඝාණ විඤ්ඤාණය,
(iv) ජීව්හා  විඤ්ඤාණය,
(v) කාය විඤ්ඤාණය,
(vi) මනො විඤ්ඤාණය. (යන සයයි)

සංස්කාරයන්ගේ හටගැන්මෙන් විඤ්ඤාණයන්ගේ හටගැන්ම වේ. සංස්කාරයන්ගේ නැති කිරීමෙන් විඤ්ඤාණයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි ව්‍යායාමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේයි.

§ 59. “ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණයාගේ හටගැන්ම දනීද, විඤ්ඤාණය නැතිකිරීම දනීද, විඤ්ඤාණය නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්ව ප්‍රකාරයෙන් කැමැත්ත, ඇල්ම, රාගය දුරුකොට, අසන්තොසය, අසන්ත්රුප්තිමත් බව දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. .

XIV- සංස්කාර වාරය 

§ 60. “ඇවැත්නි මැනවයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?”

§ 61.“ඇවැත්නි, ඇත්තේය.
ඇවැත්නි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම සංස්කාරයන් (කුසලා කුසල කර්ම) දනීද, සංස්කාරයන්ගේ හටගැන්ම දනීද, සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද, සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිනෙයි.

§ 62.ඇවැත්නි, සංස්කාර කවරේද?
සංස්කාරයන්ගේ හටගැන්ම කවරේද?
සංස්කාරයන්ගේ නැතිකිරීම කවරේද?
සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, මේ සංස්කාරයෝ තුන් ආකාර වෙයි.
(i) කාය සංඛාරය (කයින් කරන කර්ම)
(ii) වචී සංඛාරය (වචනයෙන් කරන කර්ම)
(iii) මනො සංඛාරය (සිතින් කරන කර්ම) යන තුනයි.
අවිද්‍යාව නිසා සංස්කාරයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාරයන්ගේ නැතිකිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි වෑයමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේවායි.

§ 63. “ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් මෙසේ සංස්කාරයන් දනීද මෙසේ සංස්කාරයන් හටගැන්ම දනීද මෙසේ සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද මෙසේ සංස්කාරයන් නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේය.

ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. .

XV අවිද්‍යා වාරය’

§ 64.   ‘ඇවැත්නි, මැනවැයි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද ?

§ 65. “ඇවැත්නි, ඇත්තේය ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් අවිද්‍යාව දනීද, අවිද්‍යාව නැති කිරීමත් දනීද, අවිද්‍යාව නැති කිරිමේ ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

§ 66. “ඇවැත්නි,
අවිද්‍යාව කවරේද?
අවිද්‍යාවට හේතුව කවරේද?
අවිද්‍යාව නැති කිරීම කවරේද?
අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද?

“ඇවැත්නි, දුක පිළිබඳ නොදැන්ම  වේද, දුක හටගැනීමට හේතුව පිළිබඳ නොදැන්මක් වේද, දුක නැතිකිරීම පිළිබඳ නොදැන්මක් වේද, දුක නැතිකිරීමේ ප්‍රතිපදාව පිළිබඳ නොදැන්මක් වේද ඇවැත්නි, මේ නොදැන්ම අවිද්‍යාවයයි කියනු ලැබේ. ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) හෙතුකොටගෙන අවිද්‍යාවගේ හටගැන්ම වේ. ආශ්‍රවයන් නැති කිරීමෙන් අවිද්‍යාව නැති වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අවිද්‍යාව නැති කිරීමේ ප්‍රතිපදාවයි එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි වෑයමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේවායි.

§ 67 .ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් මෙසේ අවිද්‍යාව දනීද, මෙසේ අවිද්‍යාවට හේතුව දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීම දනීද, මෙසේ අවිද්‍යාව නැතිකිරීමේ ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

XVI ආසව වාරය 

§ 68.  ‘ඇවැත්නි, මැනවැයි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය ඇසුවාහුය.

“ඇවැත්නි, යම් වෙනත්  ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේවෙයිද?. මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද ?

§ 69. “ඇවැත්නි, ඇත්තේය, ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවකයෙක් ආශ්‍රවයන් (බොහෝ කල් සිට පැවත එන කෙලෙස්) දනීද, ආශ්‍රවයන්ට හේතුවත් දනීද, ආශ්‍රවයන්ගේ නැතිකිරීමත් දනීද, ආශ්‍රවයන් නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවක තෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජුබවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ ධර්මයට පැමිණියේ වෙයි.

§ 70.ඇවැත්නි, ආශ්‍රවයෝ කවරහුද?
ආශ්‍රවයන්ට හෙතුව කවරේද?
ආශ්‍රවයන් නැතිකිරීම කවරේද?
ආශ්‍රවයන් නැති කරන ප්‍රතිපදාව කවරේද?

ඇවැත්නි, මේ ආශ්‍රව තුනක් වෙත්. කාමාශ්‍රවය (කාම තණ්හාව,) භවාශ්‍රවය (භව තණ්හාවය,) අවිද්‍යාශ්‍රවය (මොහය) යන තුනයි. අවිද්‍යාව හේතුකොටගෙන ආශ්‍රවයන්ගේ හටගැන්ම වේ. අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රවයන්ගේ නැති කිරීම වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාව වෙයි. එනම්: නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි වෑයමය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන මේවා යි.

§ 71. ඇවැත්නි, යම් ආර්ය ශ්‍රාවක යෙක් මෙසේ ආශ්‍රවයන් දනීද, ආශ්‍රවයන්ගේ හටගැන්මත් දනීද, ආශ්‍රව නැතිකිරීමත් දනීද, ආශ්‍රව නැතිකිරීමේ ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරු කොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරු කොට අර්හත් මාර්ග විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි.

“ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.”

ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනය ඉතා සතුටින් පිළිගත්තාහුය.

නව වැනිවූ සම්මාදිට්ඨි සූත්‍රය නිමි

next Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.