DN 01-01-06 මහා ගොවින්ද සූත්‍රය

Buddha 3

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි  ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසනසේක. එකල්හි  එක් රාත්‍රියක, රැ යාමය ගෙවෙන්නට  ආසන්න පැයක දී ,
පඤ්චශිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා රාත්‍රියේ මධ්‍යම යාමයෙහි නොයෙක් පාටින් යුත් ආලෝකයෙන් මුලු ගිජ්ජකූට පර්වතයම බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන්තැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ  වන්දනා කොට . එකත්පසෙක සිට  භාග්‍යවතුන් වහන්සේට  මෙසේ කීය.

“ස්වාමීන් වහන්ස, මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ අතරදී ඇසු දුටුවක්  භාග්‍යවතුන් වහන්සේට  කීමට අවසර දෙන සේක්වා ” යි කීහ. 

‘පඤ්චශිඛය, නුඹ ඇසු දුටුවක් කියව  යි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

§ 2. “ස්වාමීන් වහන්ස, දවස් කීපයකට පෙර වූ,  වස් පවාරණය කරන දින,  පසළොස්වක් පෝදා රාත්‍රියෙහි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා සභාවෙහි රැස්ව උන්නාහ. සතර වරම් මහ රජවරු සතර දිගින් උන්නාහ. නැගෙනහිර දෙසින් ධෘතරාෂ්ට්‍ර දෙව් රජ තෙමේ බස්නාහිර දෙසට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. දකුණුදිග විරූළ්හක දෙව්මහරජ තෙමේ, උතුරුදිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. බස්නාහිර දෙසින් විරූපාක්ෂ දෙව් රජ නැගෙනහිර දිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. උතුරුදිග වෛශ්‍රවණ රජතෙමේ දකුණුදිගට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේය. ස්වාමීන් වහන්ස,  සියලු තව්තිසා වාසී දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස්ව එක්ව සිටියෝ මෙසේ ඔවුන්ගේ ආසන වේ. ඔවුන් හුන් ආසන  පසු පස  අපගේ ආසනය විය. 

§ 3. “ස්වාමීන්වහන්ස, පෙර භවයෙහිදී මේ සාසනයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර  මියගිය කෙනෙක් තව්තිසා දිව්‍ය ලෝකයෙහි අලුත උපන්නාහුද, ඔව්හු ශරීර වර්ණයෙන් හා යසසින්ද අනික් දෙවියන්ට වඩා බබලන්නේය. ස්වාමීන් වහන්ස, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්, ප්‍රමුදිත සිත් ඇත්තෝ වෙත්,  මන්දයත් භාග්‍යවතුන්වහන්ස ඒ  ඒකාන්තයෙන් දිව්‍ය සමූහයා පමනෙන් හා යසසින්  දීයුණුවෙත්. අසුර සමූහයා පිරිහෙත්ය” කියායි.

§ 4. “ස්වාමීන් වහන්ස, ඒ අවස්ථාවේදී,   සක්‍ර දේවේන්ද්‍රයන්  තව්තිසා වැසි දෙවියන්ගේ මේ සිත් පැහැදීම් දැනගෙන ඒ තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ ඇසීය. “දෙවිවරුනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ගුණ අට ගැන   අසන්නට කැමැත්තාහුදැයි” ඇසීය.

“නිදුකාණෙනි, අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ගුණ අට අසන්නට කැමැත්තෙමුයි” ඔව්හු කීවාහුය. ස්වාමීන් වහන්ස, එකල්හි, සක්‍ර දෙවේන්ද්‍රතෙමේ තව්තිසා වැසි දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ ගුණ අට ප්‍රකාශ කෙළේය.”

§ 4 .I.. “පින්වත් තව්තිසා වැසි දෙවිවරුණි, ඔබ  කුමක් සිතත්ද,
භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට වැඩ පිණිසද, බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද වැඩ පිණිසද, සැප පිණිසද, මෙසේ බොහෝ දෙනාට වැඩ පිණිසද, බොහෝ දෙනාට සැප පිණිසද, නිබඳවම යෙදෙන්නේය. මෙසේ  ලොව වාසි සියල්ලන් කෙරෙහි පතල මහා  අනුකම්පාවෙන්ද, දෙවියන් ගේද  මිනිසුන්ගේද හිත සුව පිණිස වෙහෙසවන්නාවූ  ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද, වෙහෙසෙන්නාවූ,  ශාස්තෘ කෙනෙකු හැර  අතීතයෙහි ද නොමදක්නෙමු. දැනුදු භාග්‍යවතුන් වහන්ස්සේ හැර  නොම දක්නෙමු.”

§ 4.2. .. “ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වූකලී;

  • මනාකොට ප්‍රකාශ කරන ලද්දේය.
  • මේ ජීවිතයේහි දීම  ලැබිය හැකි ඵල ඇත්තේය,
  • කල් නොයවා ලැබිය හැකි මනා ඵල ඇත්තේය.
  • “එව බලව!” යි පෙන්විය හැකි ගුණ ඇත්තේය.
  • සියළු කාලයටම හොබින්නේය. 
  • නුවනැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා ගලපා දත යුත්තේය.

මේ අංගයෙන් යුක්තවූ  නුවණින් එළඹ බැලිය යුතුවූ මෙවන්  ධර්මයක් දේශනා කරන්නාවූ ශාස්තෘ කෙනෙකු භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහිද නොම දැක්කෙමු. මේ කාලයෙහිද නොම දක්නෙමු.”

§ 4.3 . “ මේ කුසල යැයි ,  මේ අකුසලයයි භාග්‍යවතුන් වහන්සේ මනාකොට විස්තර කොට වදාළේය.

  • මේ වරදය, මේ නිවරදය, මේ සේවනය කළයුතු ධර්මය, මේ සේවනය නොකටයුතු ධර්මය, මේ හීන (ලාමක) ධර්මය. මේ උතුම් ධර්මය, මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මයෝයයි කියා හොඳින් ප්‍රකාශ කරන ලද්දේය.
  • මේ හීනය, මේ උත්තමය, මේ කුසලාකුසල ධර්මයන්ට සමාන ධර්මය යන මේ ධර්මයන් ප්‍රකාශ කරන්නාවූ මේ අංගයෙන් යුක්තවූ ශස්තෘ කෙනෙකු තථාගතයන් වහන්සේ හැර අතීතයෙහිද නොදන්නෙමු, මේ වර්තමානයෙහිද නොම දක්නෙමු

§ 4. 4. .. “ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිර්වාණයට පැමිණෙන පිළිවෙත හොඳින් ප්‍රකාශ කරන ලද්දේය. ඒ නිර්වාණයත්, එහි ලංවීමේ  මාර්ගයත් දෙක හොඳින් සැසඳේ. (ගැළපේ). යම්සේ ගංගානම් ගඟෙහි ජලය යමුනා ගඟෙහි ජලය හා එකතු වේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිවන, සහ  නිවන් දක්නා ප්‍රතිපදාව  මනාකොට ප්‍රකාශ කරන ලද්දීය. ඒ නිර්වාණය හා පිළිවෙත හොඳින් ගැළපේ. මෙසේ නිර්වාණයට පැමිණෙන පිළිවෙතක් ප්‍රකාශ කරන්නාවූ මේ අංගයෙන් යුක්තවූ ශාස්තෘ කෙනෙකු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අතීතයෙහිද නොමදක්නෙමු. මේ වර්තමානයෙහිද නොම දක්නෙමු.

§ 4 .5.. “ භාග්‍යවතුන් වහන්සේ විමුක්තිය ට ලංවන,  සේඛ අනුගාමිකයන් (මාර්ග ඵලයක් සාක්ෂාත් කරගත්තාවූ ශිෂ්‍යයන්) ලද සේක. මාර්ගය වඩා විමුක්තිය සාක්ෂාත් කරගත් උන්වහන්සේ සමගම විමුක්ති සුව විඳින, වැස නිමවන ලද උතුම් බඹසර හැසිරීම ඇත්තාවූ රහතුන් වහන්සේලා  අනුගාමිකයන්  සේ ඇත්තේය. ඒ උතුම් ශ්‍රාවකයන් හා එක්ව උත්තම වූ සුවය මෙසේ විඳිනා වෙනත් කිසිදු  ශාස්තෘ කෙනෙකු තථාගතයන් වහන්සේ හැර අතීතයෙහිද නොම දක්නෙමු මේ වර්තමානයෙහිද නොමදක්නෙමු.

§ 4. 6.  “ භාග්‍යවතුන්වහන්සේට පුජාකරන දේ මහත් ඵල වේ. මහා ආනිසංස වේ. උන්වහන්සේගේ කීර්තිය සැම ජනයා අතරම පැතිර ගියේය. එසේ ලබන්නාවූ දානයෙන් හෝ කීර්තියෙන් කිසිදු ලෙසකින් මානයක් ඇති කර නොගන්නාවූ ශාස්තෘ කෙනෙකු තථාගතයන් වහන්සේ හැර අතීත කාලයෙහිද නොම දක්නෙමු. මේ කාලයෙහිද නොම දක්නෙමු.

§ 4. 7. “ භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් (ධර්මානු ශාසනා) කියත්ද, එසේම කරන්නාහ. යම්සේ කටයුතු කරන සේක්ද එසේම කියනසේක. (යතාවාදී -තථාකාරී) යම්සේ කියන්නේද එසේ කරන්නාවූ යම්සේ කරන්නේද එසේ කියන්නාවූදැයි මෙසේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්තවූ මේ අංගය ඇති ශාස්තෘවරයෙකු  භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහිද නොම දක්නෙමු. මේ කාලයෙහිද නොම දක්නෙමු

§ 4. 8.. “භාග්‍යවතුන් වහන්සේ සියළු සැක පහ කරණ ලද්දදේය. “කෙසේද?” , “කුමක් නිසාදැ” යි කිසිදු  සැකයක් නැත්තේය. තමන්ස වහන්සේ  බලාපොරොත්තු වූ තත්වයම ලබා ගත්තේය. සම්පුර්ණවූ  අදහස් ඇත්තේය. ආර්‍ය්‍ය මාර්ගයෙන් සියලු කෙලෙස් වැනසූසේක. මෙසේ  සැක දුරු කළ,  ‘කෙසේද කෙසේදැ’ යි පැවති සැක නැත්තාවූ,   මනොරථ සම්පූර්ණකළාවූ ,  ආර්‍ය්‍ය මාර්ගයෙන් කෙලෙස් දුරු කළාවූ ශාස්තෘ කෙනෙකු භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහිද නොම දක්නෙමු. මේ වර්තමානයෙහිද නොම දක්නෙමු.

“ස්වාමීන් වහන්ස, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ට භාග්‍යවතුන්වහන්සේගේ මේ සත්‍යගුණ අට ප්‍රකාශ කෙළේය. ස්වාමීන්වහන්ස, මේ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ගුණ අට අසා බොහෝ සෙයින්ම සතුටු සිත් ඇත්තෝවෙත්, ප්‍රමුදිත සිත් ඇත්තෝ වෙත්, හටගත් ප්‍රීතිසහගත සිත් ඇත්තෝ වෙත්.

§ 5 .. “ස්වාමීන් වහන්ස, ඒ දෙව සමාගමයෙහි සමහර දෙවි කෙනෙක් මෙසේ කීහ
“නිදුකාණෙනි, මේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ මෙන්වූ  සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා හතර නමක් ලෝකයෙහි උපදින්නාහු නම්, ධර්මයත් දෙශනා කරන්නාහු නම්  බොහෝදෙනාට වැඩ පිණිසද, සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද වන්නේයයි” කීවාහුය. සමහර දෙවිකෙනෙක් මෙසේ කීහ. ‘නිදුකානෙනි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා සතර නමක්  නැතත්,  නිදුකානෙනි ගෞතම භාග්‍යවතුන් වහන්සේ මෙන් වූ  භාග්‍යවතුන් වහන්සේලා තුන් නමක් ලෝකයෙහි උපදින්නාහු නම් ධර්මයත් දේශනා කරන්නාහු නම් ඒ සම්මා සම්බුදුන් වහන්සේලාගේ පහළවීම බොහෝදෙනාට වැඩ පිණිසද, බොහෝදෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද වන්නේයයි’ කීහ. සමහර දෙවිකෙනෙක් මෙසේ කීහ. “නිදුකානෙනි, සම්මා සම්බුදුන් වහන්සේලා තුන් නමක් නැතත්  නිදුකානෙනි, මේ  ගෞතම භාග්‍යවතුන් වහන්සේ මෙන්වූ  සම්මා සම්බුදුන් වහන්සේලා දෙනමක් ලෝකයෙහි උපදින්නාහු නම් ධර්මයත් දේශනා කරන්නාහු නම්, ඉතා හොඳය. බුදුරජාණන් වහන්සේලාගේ ඒ පහළ වීම බොහෝදෙනාට වැඩ පිණිසද සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’ කියායි

§ 14.  “ස්වාමීන්වහන්ස, දේව ඝනයා මෙසේ කීකල්හි, සක් දෙවිඳු තෙමේ තව්තිසා වැසි දෙවියන්ට මේ කාරණය කීවේය ‘නිදුකානෙනි, එක් ලෝක ධාතුවෙක්හි, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා දෙනමක් එක් කාලයේදී උපදින්නට  අවකාශයක් නැත්තේමය. එය සිදු නොවන්නේමය.  ‘නිදුකාණෙනි, මේ  භාග්‍යවතුන් වහන්සේ රෝග  ආබාධයක් නැතිව  බොහෝ දිගු කාලයක් වැඩ සිටින්නේ නම් ඉතා යෙහෙක. ඒ කාරණය බොහෝදෙනාට සැප පිණිසද බොහෝදෙනාට වැඩ පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද පවත්නේය”, කියායි.

ස්වාමීන්වහන්ස, ඊට පසුව යම් කාරණයක් නිසා තව්තිසා වැසි දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවෙහි රැස්වූවාහුද එක්වූවාහුද, ඒ කාරණය ගැන  කථාකොට කියන ලද වචන කරන්නාවූ අනුශාසනා කරනලද අනුශාසනා කරන්නාවූ ඒ සතරවරම් මහරජහු ඒ කාරණයෙහි  අවසානයෙහි සිය ආසනවලින්  නැගිට නොගොස් ස්වකීය ආසනයන්හිම සිටියාහුය

§15-  “එකල්හි ස්වාමීන්වහන්ස, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහත් එලියක් උතුරු දිසාවෙහි හටගත්තේය. මහත් දීප්තිමත් භාවයක් පහළ විය. ස්වාමීන් වහන්ස, එකල්හි සක්දෙවිඳු තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය. ‘නිදුකානෙනි, යම් දිශාවකින් පෙරනිමිති දක්නා ලැබෙත්ද, මහත් ආලෝකයක් හටගනීද, මහත් දීප්තියක් හටගනීද, ඒ දිසාවෙන් මහා  බ්‍රහ්ම තෙමේ පහළ වන්නේය. මහාබ්‍රහ්මයාගේ පහළවීමට මේ පූර්ව නිමිත්තයයි’ කීයේය.

§16.. “ස්වාමීනි, ඊට පසුව තව්තිසා වැසි දෙවියෝ ‘මේ ආලෝකය දැනගන්නෙමු. ඒ සම්බන්ධව යම් ඵලයක් වන්නේ නම් එය ප්‍රත්‍යක්ෂකොට දැනගෙන යන්නෙමුයි’ කියා තම තමන්ගේ ආසනවලම සිටියාහුය. සතරවරම් මහරජවරුද එසේම මේ ආලෝකය දැනගන්නෙමු. මේ සම්බන්ධව යම් ප්‍රතිඵලයක් වන්නේ නම් එය හොඳින් දැනගෙනම යන්නෙමුයි’ සිතා තම තමන්ගේ ආසනවලම සිටියාහුය. මේ කාරණය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ ආලෝකය දැනගන්නෙමු. යම් ඵලයක් වන්නේ නම් එයත් ප්‍රත්‍යක්ෂකොටම දැනගෙනම යන්නෙමුයි’ කියා එකඟවූහ.

§ 17 “ස්වාමීන්වහන්ස,  සනන් කුමාර බ්‍රහ්මයා  තව්තිසා දිව්‍ය ලෝකයෙහි පහළ වන්නේද, එකල්හි ඔහු  මහත් ශරීරයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනි, බඹහුගේ  ප්‍රකෘති ශරීරය තව්තිසා වැසි දෙවියන්ගේ ඇස්වලින් දක්නට නොහැකිය. ස්වාමීන් වහන්ස,  සනන් කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවෙද්දී , ඒ බ්‍රහ්මතෙමේ අන් දෙවියන් තමාගේ ශරීරයේ පාටින්ද යසසින්ද  වැඩියක් බබලයි. ස්වාමීනි, රත්රන් රූපය යම්සේ මනුෂ්‍ය රූපය ඉක්මවා  බබලාද, ස්වාමීන්වහන්ස, එපරිද්දෙන්ම  සනත් කුමාර බ්‍රහ්මතෙමේ ශරීර පාටෙන් යසසින් අනිත් දෙවියන් ට වැඩියක් බබලයි

“ස්වාමීන් වහන්ස, යම් කලෙක්හි සනන් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, එකල්හි, ඒ පිරිසෙහි කිසි දෙවි කෙනෙක් ඔහුට වැඳීමක් හෝ දැක හුනස්නෙන් නැගී සිටීමක් නොකෙරේ. ආසනයක් හෝ නොදෙයි. සනන් කුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයක හිඳීමට කැමැති වන්නේද ඒ දෙවිහුගේ ආසනයෙහි සනන් කුමාර බ්‍රහ්මතෙමේ හිඳිනේයයි ඒ සියලු දෙවියෝම නිශ්ශබ්දවූවෝ අත්දෙක එකට තබා වැඳගත්තෝ ආසනවලම හිඳිත්. ස්වාමීන් වහන්ස, සනන් කුමාර බ්‍රහ්ම තෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳගන්නේද, ඒ දෙවි තෙමේ මහත්වූ සතුටක් ලබන්නේය. ස්වාමීන් වහන්ස, අලුත රාජ්‍යයෙන් අභිෂෙක කරනලද ඔටුණු පළන් ක්ෂත්‍රිය රජෙක් මහත්වූ ප්‍රීතියක් ලබන්නේද, මහත්වූ සැපයක් විඳින්නේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන්ම සනන් කුමාර බ්‍රහ්මතෙමේ යම් දෙවියෙකුගේ ආසනයෙහි හිඳීද, ඒ දෙවිතෙමේ මහත්වූ ප්‍රීතියක් ලබන්නේය, මහත්වූ සැපයක් විඳින්නේය.

§ 17 “ස්වාමීන් වහන්ස, එකල්හි සනන් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන අතුරුදහන්වී, මේ ගාථාවලින් අනුමෝදන් කෙළේය.

පින්වත්නි, සක්දෙවිඳු ප්‍රධාන කොට ඇති  තාවතින්සයේ දෙවියෝ, තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සුප්‍රතිපන්න සංඝයාටද වඳිමින් සතුටුවෙත්.
“සුගතයන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව කොට මේ දෙව්ලොවට උත්පත්ති වශයෙන් පැමිණියාවූ වර්ණවත්වූ යසස් ඇත්තාවූ අලුත් දෙවියන් දක්නාහුය.
“ඒ දේවතාවෝ වර්ණයෙන්ද, යසසින්ද, ආයුෂයෙන්ද, අනික් දෙවියන් ඉක්මවා බබලත්, මහත් ප්‍රඥා ඇති ශාස්තෲන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ මේ දෙව්ලොව විශෙෂ භාවයට පැමිණියාහුය.
“ඉන්ද්‍රයා (ශක්‍ර) ප්‍රධානකොට ඇති දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද ධර්මයටද සුප්‍රතිපන්න සංඝයාටද වඳිමින් සතුටුවෙත්” කියායි.

“ස්වාමීන් වහන්ස, සනන් කුමාර බ්‍රහ්මතෙමේ මේ කාරණය කීයේය. ස්වාමීන් වහන්ස, මේ වචන කියන්නාවූ සනත් කුමාර බ්‍රහ්මයාගේ ශබ්දය අංග අටකින් යුක්තවේ. පීඩාවක් නැතුව මනාකොට නික්මෙන විස්සට්ඨ නම් ස්වරයද වහා අර්ථය අවබෝධ කරන්නාවූ විඤේඤය නම් ස්වරයද, මෘදු ගුණ යුක්තවූ මඤ්ජු නම් ස්වරයද, ඇසීමට මිහිරිවූ ස්වර්ණය නම් ස්වරයද, එක ඝනවූ බින්දු නම් ස්වරයද, නොවිසිර පවත්නාවූ අවිසාරී නම් ස්වරයද, ගම්භීර නම් ස්වරයද, මිහිරිවූ නින්නාදී නම් ස්වරයද යන අටයි. ස්වාමීනි, සනත් කුමාර බ්‍රහ්මතෙමේ පිරිසේ ප්‍රමාණයට ශබ්ද නගයි. බ්‍රහ්ම රජහුගේ ඝෝෂාව පිරිසෙන් පිටත නොයයි. ස්වාමීන්වහන්ස, යමෙකුගේ ස්වරය මෙසේ අංග අටකින් සමන්විත වේද ඒ ස්වරය බ්‍රහ්ම ස්වරයයි කියනු ලැබේ.
“ස්වාමීන් වහන්ස අනතුරුව තව්තිසා වැසි දෙවියෝ සනන් කුමාර බ්‍රහ්මයාට මේ කාරණය කීයේය “මහා බ්‍රහ්මය, හොඳයි, අපි මේ මතු කියනු ලබන කාරණය දැනගෙනම සතුටුවෙමු. ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියනලද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ ගුණ අටක් ඇත්තාහුය අපි ඒ ගුණ දැනගෙණම ප්‍රීතිවෙමුයි” කීවාහුය.
ස්වාමීන් වහන්ස, ඊට පසුව සනන් කුමාර බ්‍රහ්මතෙමේ සක්දෙවිඳු හට මේ කාරණය කීවේය. “දේවේන්ද්‍රය, අපිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ ගුණ අට අසන්නෙමු නම් යහපත්ය මහා බ්‍රහ්මය ඒ මැනවැයි’ සක්දෙවිඳු තෙමේ සනන් කුමාර බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවූ සත්‍ය ගුණ අට ප්‍රකාශ කෙළේය.
“පින්වත් මහා බ්‍රහ්මතෙමේ ඒ කුමකැයි සිතාද ඒ භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් බොහෝ දෙනාට වැඩ පිණිසද බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද වැඩ පිණිසද,……………..TEMP

සැප පිණිසද යම්සේ පිළිපැද්දෝද, මෙසේ බොහෝදෙනාට වැඩ පි

 

ණිසද, බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද පිළිපන්නාවූ මේ අංගයෙන් යුක්තවූ ශාස්තෘ කෙනෙකු ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අතීත කාලයෙහිද මේ කාලයෙහිද නොම දක්නෙමු.”
“ස්වාමීන් වහන්ස, සක්‍ර දෙවෙන්ද්‍රයන් සනං කුමාර බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේගේ මේ සත්‍යවූ ගුණ අට කීයේය. ඒ කාරණයෙන් සනං කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යවූ මේ ගුණ අට අසා සතුටු සිත් ඇත්තේ වැඩියක් සතුටු සිත් ඇත්තේ හටගත් ප්‍රීති හා සොම්නස් ඇත්තේ වීය.

§  18. “ස්වාමීන්වහන්ස, එකල්හි සනං කුමාර බ්‍රහ්ම තෙමේ මහත් ආත්මභාවයක් මවාගෙන පඤ්චශිඛ දිව්‍යපුත්‍රයා මෙන් කුමාර වෙස්ගෙන තව්තිසා වැසි දෙවියන් අතර පහළ වූයේය. ඒ බ්‍රහ්ම රජ තෙමේ අහසට නැගී පලක් බැඳ උන්නේය. කෙසේද යත්? ස්වාමීන්වහන්ස, බලවත් පුරුෂයෙක් මනාකොට වස්ත්‍රාදියෙන් අතුරණලද ආසනයෙක්හි හෝ සමවූ භුමිභාගයෙක්හි යම්සේ පර්යංකයෙන් ඉඳින්නේද, ස්වාමීන්වහන්ස, එපරිද්දෙන්ම සනං කුමාර බ්‍රහ්ම තෙමේ අහසට පැන නැඟී පර්යංකයෙන් හිඳ තව්තිසා  වැසි දෙවියන්ට කථා කොට මෙසේ කීවේය.

“පින්වත්නි, තව්තිසා වැසි දෙවිවරුනි, නුඹලා මේ දනීද?

 ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මහත් ප්‍රඥා ඇති සේක. පින්වත්නි, පෙර කාලයෙහි “දිසම්පති”නම් රජෙක් සිටියේය. දිසම්පතිනම් රජහට “ගොවින්ද” නම් පුරෝහිත බමුණෙක් විය. දිසම්පති  රජහට “රෙණු”නම් කුමරෙක් පුත්වූයේය. ගොවින්ද නම් පුරොහිත බ්‍රහ්මණයාට “ජොතිපාල” නම්  පුතෙක්  වූයේය මෙසේ රෙණු නම් රජ කුමරුද , ජොතිපාල නම් තරුණ තෙමේද අන්‍යවූ ක්ෂත්‍රිය කුලෙයහි උපන් කුමරුවෝ සදෙනෙක්දැයි යන මොහු අටදෙනෙක් යහලුවෝ වූහ.

ඉක්බිති දීර්ඝ කාලයක් ගිය පසු ගොවින්ද බ්‍රාහ්මණයා මළේය. ගොවින්ද බමුණා මැරුණු කල්හි දිසම්පති රජ හැඬුවේය. පින්වත්නි, යම්කලෙක්හි අපි සියලු කටයුතු ගොවින්ද බ්‍රාහ්මණයාට පවරා පස්කම් සැපෙන් යුක්තව වාසය කරන්නෙමුද, ඒ කාලයෙහි ගොවින්ද බ්‍රාහ්මණ තෙම මැරුණේයි’ (කියායි). පින්වත්නි මෙසේ කී කල්හි රෙණු නම් රාජ පුත්‍රතෙම දිසම්පති රජහට මේ කාරණය දැන්නුවේය
‘දේවයන්වහන්ස, ගොවින්ද බ්‍රාහ්මණයා මැරුණේයයි’  නොහඬනු මැනවි. දේවයන් වහන්ස, ගොවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් තරුණ පුත්‍රයෙක් ඇත්තේය. ඒ තරුණ තෙමේ පියාට වඩා අතිශයින් පණ්ඩිතද වෙයි. පියාට වඩා සුදුසු නුවණ ඇත්තේද වෙයි. ඔහුගේ පිය තෙමේ යම්බඳු අර්ථානුශාසනා කෙළේද, ඒ අර්ථානුශාසනාද ජෝතිපාල තරුණයා විසින් කරනු ලැබේ.’
‘කුමාරය, එසේද?’
‘දේවයනි, එසේමයි’
……..
“පින්වත්නි, ඊට පසුව දිසම්පති රජ  ජොතිපාල තරුණ බ්‍රාහ්මණයා කැඳවා ඔහු 
පියාවූ ගොවින්ද බ්‍රාහ්මණයාට අයිති තනතුරෙහි අභිෂෙක කළේය. ජොතිපාල තරුණ බ්‍රාහ්මණයා ඔහුගේ පියා යම් අර්ථයක් අනුශාසනා කළේද, ඒ අර්ථය අනුශාසනා කරයි. ඔහුගේ පිය තෙම යම් අර්ථයක් අනුශාසනා නොකෙළේද, ඒ අර්ථය අනුශාසනා නොකරයි. ඔහුගේ පිය තෙමේ යම්කර්මාන්තයක් පිහිටෙව්වේද, ඒ කර්මාන්ත පිහිටුවයි ඔහුගේ පිය තෙමේ යම් කර්මාන්තයක් නොපිහිටෙව්වේද, ඒ කර්මාන්ත නොපිහිටුවයි.

ඒ ජොතිපාල තරුණයාට මනුෂ්‍යයෝ මෙසේ කීහ. ‘පින්වත්නි, එකාන්තයෙන් ගොවින්ද බ්‍රාහ්මණයාය. පින්වත්නි, ඒකාන්තයෙන් මහා ගොවින්ද බ්‍රාහ්මණයාය කියායි. මේ කාරණයෙන් ජොතිපාල තරුණයාට ගොවින්දය මහා ගොවින්දය යන නාමයම ඇතිවිය.

§  “පින්වත්නි, ඊට පසුව මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රියයෝ සදෙන යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ ඒ ක්ෂත්‍රියයන් සදෙනාට මේකාරණය කීවේය. ‘පින්වත්නි, දිසම්පති රජ තෙම ජරාවට පැමිණියේය. වැඩිවයසට පැමිණියේය. මහලු වූයේය. ඉක්ම ගිය කල් ඇත්තේය. පින්වත්නි, කවරෙක් නම් ජීවිතයාගේ පැවැත්ම දන්නේද, මේ (මතු) කියනු ලබන කාරණය ඇත්තේය. යම් හෙයකින් දිසම්පති රජ මැරුණ කල්හි ඇමතියෝ රෙණු කුමාරයා රාජ්‍යයෙහි අභිෂෙක කරන්නාහුය. පින්වත්නි, මෙහි එත්වා, පින්වත්, රෙණු රාජකුමාර තෙම යම් තැනෙක්හිද එතනට පැමිණෙව්. පැමිණ රෙණු රාජ පුත්‍රයාට මෙසේ කියව්. ‘අපි පින්වත්වූ රෙණු රාජපුත්‍රයාගේ ප්‍රියවූ මනාපවූ යහළුවෝවෙමු. ඔවුනොවුන් කෙරෙහි පිළිකුල් නොකරන්නෝ වෙමු. පින්වත් ඔබට යම් සැපයක් ඇත්තේද, අපටද ඒ සැපය ඇත්තෙමු. පින්වත් ඔබට යම් දුකක් ඇත්තේද අපිද ඒ දුක ඇත්තම්හ. පින්වත්නි, දිසම්පති රජ තෙම ජරාවට පත්වූයේය, වැඩි වයසට පැමිණියේය, කල් ඉක්ම ගියේය, වයසට පැමිණියේය. පින්වතුනි කවරෙක් නම් ජීවිතයාගේ පැවැත්ම දනීද? මේ (මතු) කියනු ලබන කාරණය විද්‍යාමාන වේමය. යම් හෙයකින් දිසම්පති රජ මැරුණු කල්හි රජ ඇමතියෝ පින්වත් රෙණු කුමරු රාජ්‍යයෙහි අභිෂෙක කරන්නාහුය. පින්වත් රෙණු කුමාරතෙමේ ඉදින් රාජ්‍යය ලබන්නේ නම් අපටද රාජ්‍යය බෙදා දෙන්නේද කියා අසව්යයි’ කීය.
“පින්වත්නි, ඒ යහපතැයි ඒ ක්ෂත්‍රිය කුමාරයෝ සදෙන මහා ගොවින්ද බ්‍රාහ්මණයාට පිළිතුරු දී රෙණු රාජ පුත්‍රයා යම් තැනෙක්හිද එතනට පැමිණියෝය. පැමිණ රෙණු රාජපුත්‍රයාට මේ කාරණය දැන්වූහ.

“අපි පින්වත් රෙණු කුමාරයාගේ ප්‍රියවූ මන වඩන්නාවූ යහළුවෝ වෙමු. පින්වත් ඔබට යම් සැපයක් ඇත්තේද, අපටද ඒ සැපය ඇත්තේමය. පින්වත් ඔබට යම් දුකක් ඇත්තේද, අපටද ඒ දුක ඇත්තේමය පින්වත, පින්වත් දිසම්පති රජතෙමේ ජරාවට පැමිණියේය. වැඩි වයසට පැමිණියේය. මහලුය, කාලය ඉක්ම ගියේය. වයසට පැමිණියේය. පින්වත, කවරෙක් නම් ජීවිතයාගේ පැවැත්ම දනීද? මේ කාරණය ඇත්තේය. යම් හෙයකින් දිසම්පති රජහු මැරුණු කල්හි රජ ඇමතියෝ පිනවත් රෙණු කුමාරයා රාජ්‍යයෙහි අභිෂෙක කරන්නාහුද, ඉදින් පින්වත් රාජ කුමාරතෙමේ රාජ්‍යය ලබන්නේ නම්, අපටද රාජ්‍යය බෙදා දෙන්නේදැයි’ ඇසූහ.

‘පින්වත්නි, පින්වතුන් හැර අන් කවරෙක් මාගේ රටෙහි සැපයට පැමිණෙන්නාහුද, පින්වත්නි, ඉදින් මම රාජ්‍යය ලබන්නෙම් නම් ඔබලාටද රාජ්‍යය බෙදා දෙන්නෙමි’ යි කීය.
“පින්වතුනි ඊටපසු රැයක් සහ දවාලක් පසුවීමෙන් දිසම්පති රජතෙමේ මැරුණේය. දිසම්පති රජ මැරුණු කල රජ ඇමතියෝ රෙණු රාජ පුත්‍රයා රාජ්‍යයට පත් කළාහුය. රජකමට පත් කරණලද රෙණු කුමාරයා පඤ්චකාම සම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි, ඉක්බිති, මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ ඒ ක්ෂත්‍රියයෝ සදෙන යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ ඒ ක්ෂත්‍රිය කුමාරයන් සදෙනාට මේ කාරණය කීයේය. ‘පින්වත්නි, දිසම්පති රජතුමා මැරුණේය. රෙණු නම් කුමාරතෙම රජකමට පත්කරණ ලද්දේය. හෙතෙම පඤ්චකාම සම්පත් විඳිමින් වාසය කරයි. පින්වත්නි, කවරෙක් නම් දනීද? කාමයෝ නම් මත් කරන්නෝය. පින්වත්නි, මෙහි එව්, රෙණු රජ තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණෙව් පැමිණ මෙසේ කියව්.
‘පින්වතුන් වහන්ස, දිසම්පති රජ මැරුණේය. පින්වත් රෙණු කුමාර තෙමේ රජ කමට පත් කරණ ලද්දේය. පින්වත් රේණු කුමාරතෙමේ ඒ වචනය සිහි කරන්නේදැයි? අසව්’
‘පින්වත මැනවැයි’ ඒ ක්ෂත්‍රිය කුමරුවෝ සයදෙන මහා ගොවින්ද බ්‍රාහ්මණයාට පිළිතුරු දී රේණු රජතෙමේ යම් තැනෙක්හිද එතනට පැමිණියෝය. පැමිණ රේණු රජ හට මේ කාරණය කීවාහුය.

‘පින්වතුන් වහන්ස දිසම්පති රජතෙමේ මැරුණේය. පින්වත් රේණු කුමාරතෙමේ රජ කමට පත්කරණ ලද්දේය පින්වතුන් වහන්ස, ඒ වචනය සිහි කෙරේදැයි’ ඇසුවෝය.
“මම ඒ වචනය සිහිකරමි. පින්වතුනි, කවරෙක්නම් මේ මහා පෘථිවිය උතුරෙන් දිගටද, දකුණෙන් ගැල් මුඛයක් ලෙසටද, සත් කොටසකට සමව බෙදීමට සමර්ථ වන්නේදැයි’ ඇසීය.

‘පින්වතුන් වහන්ස, මහා ගොවින්ද බ්‍රාහ්මණයා හැර අන් කවරෙක් සමර්ථ වන්නේදැයි’ කීහ ඉක්බිති රෙණු රජතෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය ‘පින්වත් පුරුෂය, මෙහි එව, මහාගොවින්ද බ්‍රාහ්මණතෙමේ යම් තැනෙක්හිද එතැනට යව. ගොස්, මහා ගොවින්ද බ්‍රාහ්මණයාට මෙසේ කියව. රජතෙමේ ඔබට කථාකරන්නේ යයි කියවයි’ කීය ‘දේවයන් වහන්ස එසේයයි’ ඒ පුරුෂ තෙමේ රේණු රජහට උත්තර දී මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ යම් තැනෙක්හිද එතනට පැමිණ ‘පින්වත ඔබ රේණු රජතෙමේ කැඳවායයි’ කීය ‘පින්වත, එසේයයි’ මහාගොවින්ද බ්‍රාහ්මණතෙමේ ඒ පුරුෂයාට උත්තර දී රේණු රජතෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණ, රේණු රජු සමග සතුටු විය සතුටු වියයුතු කථාව නිමිකොට එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ මහා ගොවින්ද බ්‍රාහ්මණයාට රේණු රජතෙමේ මේ කාරණය කීයේය. ‘පින්වත් ගොවින්ද තෙමේ මෙහි ඒවා. මේ මහපොළොව උතුරු පැත්තෙන් දිගටද, දකුණු පැත්තෙන්, ගැල් මුඛයක් ලෙසටද සත් කොටසක් කොට එක හා සමව බෙදා දෙත්වායි’ කීයේය.

‘පින්වත, ඒ මැනවයි’ මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ රේණු රජහට උත්තර දී මේ මහා පොළොව උතුරු පසින් දිගටද දකුණු පසින් ගැල් මුඛයක් ලෙසටද සත් කොටසක් කොට එක හා සමව බෙදුයේය. සියලු නගරයන්ම ගැල් මුඛයක ආකාර කොට තැබීය.
“එහි සියලු නගරයන්ගේ මධ්‍යයෙහි රේණු රජහුගේ ජනපදය පිහිටියේ වේ.|
කලිඟු රජුන්ගේ දන්ත පුරයද අස්සක නම් රජුන්ගේ පොතන නම් නගරයද, අවන්ති රජුන්ගේ මහෙසය නගරයද සුචි රජුන්ගේ රොරුක නම් නගරයද, විදෙහ රජුන්ගේ මිථිලා නම් නගරයද, අඟු රජුන් විසින් මවන ලද චම්පා නගරයද, කසී රජුන්ගේ බාරාණසී නගරයද, යන මේ නගර හත ගොවින්ද බ්‍රාහ්මණයා විසින් (බෙදා) දෙන ලද්දේය.

පින්වත්නි එවිට ඒ ක්ෂත්‍රියයෝ සදෙන විධිවූ පරිද්දෙන් තමහට අයිතිවූ රාජ්‍ය ලාභයෙන් සතුටු සිත් ඇත්තෝ වූහ. සම්පූර්ණවූ කැමැත්ත ඇත්තෝද වූහ (කෙසේදයත්) “ඒකාන්තයෙන් අප විසින් යමක් කැමතිවන ලද්දේද, යමක් ආසා කරණ ලද්දේද, ඒ යමක් අදහස් කරණ ලද්දේද, යමක් පතන ලද්දේද, කාරණය අප විසින් ලබන ලදැයි” කියා (සතුටුවූහ.) සත්තභූය, බ්‍රහ්මදත්තය, වෙස්සභූය, භරතය, රේණුය, ධතරට්ඨය, යන රජුන් සත් දෙන ඒ කාලයෙහි රාජ්‍ය භාරය ඉසුලුහ.|

“පින්වත්නි, ඒ ක්ෂත්‍රියයෝ සයදෙන ‘මහාගොවින්ද බ්‍රාහ්මණ තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, මේ කාරණය කීවාහුය. ‘පින්වත් ගොවින්ද තෙමේ රේණු රජහට යම්සේ ප්‍රියවූ මන වඩන්නාවූ පිළිකුල් නොකරන්නාවූ මිත්‍ර වේද, එපරිද්දෙන්ම පින්වත් ගොවින්ද තෙමේ අපගේද ප්‍රියවූ මනවඩන්නාවූ පිළිකුල් නොකරන්නාවූ මිත්‍ර වෙයි. පින්වත් ගොවින්ද බ්‍රාහ්මණතෙමේ අපටද අනුශාසනා කෙරේවා භවත් ගොවින්දතෙමේ අනුශාසනාවෙන් බැහැර නොයේවා.’ ‘පින්වත්නි, ඒ මැනවැයි’ භවත් මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ ඒ ක්ෂත්‍රිය රජුන් සයදෙනාට පිළිතුරු දුන්නේය. පින්වත්නි, ඊටපසු භවත් මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ, මුදුනෙහි පැන් වත්කිරීමෙන් අභිෂෙක කරන ලද්දාවූ ඒ ක්ෂත්‍රිය රජුන් සත්දෙනාටම අනුශාසනා කෙළේය. මහාසාර බ්‍රාහ්මණයන් සත් දෙනෙකුටද අනුශාසනා කෙළේය. නහාතක යන නම් ඇති බ්‍රාහ්මණයන් සත් සියයකටද මන්ත්‍ර කියෙව්වේය.

“ඉක්බිතිව මෑත කාලයකදී භවත් මහා ගොවින්ද බ්‍රාහ්මණයාගේ මෙසේවූ යහපත්වූ කීර්ති ඝෝෂාවක් ඉතා උස්ව නැංගේය. කෙසේද? මහා ගොවින්ද තෙම ප්‍රත්‍යක්ෂ වශයෙන් මහ බඹහු දකී, සත්‍ය වශයෙන් මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ මහා බ්‍රහ්මයා සමග කථා කෙරෙයි, එක්ව කථා කෙරෙයි. ඔහු හා මන්ත්‍රණය කෙරෙයි’ කියායි.

පින්වත්නි එකල්හි මහා ගොවින්ද බ්‍රාහ්මණයාට මෙබඳු අදහසක් ඇතිවිය. ‘මාගේ මෙබඳු යහපත් කීර්ති ඝෝෂාවක් උස්ව නැංගේය මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ (සිය ඇසින්) සත්‍යලෙසම මහාබ්‍රහ්මයා දකී. මහාගොවින්ද බ්‍රාහ්මණතෙමේ ප්‍රත්‍යක්ෂව බ්‍රහ්මයා සමග කථා කෙරෙයි, එක්ව කථාකෙරෙයි. ඔහු හා මන්ත්‍රණය කෙරෙයි’ කියායි.

මම වනාහි බ්‍රහ්මයා නොදක්නෙමි. එසේම බ්‍රහ්මයා සමග සාකච්ඡාද නොකරමි. බ්‍රහ්මයා සමග කථා නොකරමි බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි. එහෙත් වැඩි වයසට පැමිණියාවූ මහලුවූ ආචාර්‍ය්‍යවූද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවූද බ්‍රාහ්මණයන් විසින් කියන්නාවූ මේ කාරණය මවිසින් අසන ලද්දේමය. එනම්, යමෙක් වර්ෂා ඍතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නේද කරුණාධ්‍යානය භාවනා කෙරේද, හෙතෙම බ්‍රහ්මයා දකී. බ්‍රහ්මයා සමග සාකච්ඡා කරයි. එක්ව කථා කෙරෙයි. ඔහු හා මන්ත්‍රණය කෙරේය යනුයි. මම ඒකාන්තයෙන් වර්ෂා ඍතුවට අයත් සාර මාසයෙහි තනිව වාසය කරන්නෙම් නම් කරුණා බ්‍රහ්ම විහාර භාවනාව කරන්නෙම් නම් ඉතා යෙහෙකැයි සිතීය.

“පින්වත්නි, ඉක්බිති මහා ගොවින්ද බ්‍රහ්මණතෙම රෙණු රජු යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ, රෙණු රජහට මේ කාරණය දැන්විය. ‘පින්වතුන් වහන්ස, මගේ මෙවැනි යහපත් කීර්ති ඝොෂාවක් ඉතා උස්ව නැංගේය. කෙසේදයත්? මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ සත්‍ය ලෙසම මහා බඹුහු දකී මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ සත්‍යලෙසම මහාබ්‍රහ්මයා සමග සාකච්ඡා කෙරෙයි. එක්ව කථා කෙරෙයි. මන්ත්‍රණය කෙරේයයි’ කියායි. ‘පින්වත මම බ්‍රහ්මයා නොම දකිමි. බ්‍රහ්මයා සමග සාකච්ඡාද නොකරමි. බ්‍රහ්මයා සමග එක්ව කථාද නොකරමි. බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි. එහෙත් වැඩිවයසට පැමිණියාවූ මහලු ආචාර්‍ය්‍යවූද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවූද බ්‍රාහ්මණයන්ගේ සම්මුඛයෙන් මා විසින් මේ කාරණය අසන ලද්දේය. යමෙක් වර්ෂා ඍතුවට අයත් සාරමාසයෙහි විවේකයට පැමිණ වාසයකෙරේද, කරුණා බ්‍රහ්ම විහාරය වඩන්නේද හෙතෙම බ්‍රහ්මයා දකී, බ්‍රහ්මයා සමග සාකච්ඡා කරයි. එක්ව කථාකෙරේ. ඔහු හා සමග මන්ත්‍රණය කෙරේය’ යනුයි පින්වත, මම වර්ෂා ඍතුවට අයිති සාර මාසයෙහි විවේකයෙන් කල් ගතකරන්ටද කරුණාධ්‍යානය වඩන්ටද කැමැත්තෙමි. ඒ කාලය ඇතුලත බත් ගෙනඑන්නාවූ එක් කෙනෙකු හැර අන් කිසිවෙක් නොපැමිණිය යුතුයි’ ‘පින්වත් ගොවින්ද බ්‍රාහ්මණතෙමේ දැන් යමක් ගැන කාලය යයි සිතන්නේ නම් එය කරනු මැනව’ යි කියායි.

“ඊට පසු භවත් ගොවින්ද බ්‍රාහ්මණතෙමේ ඒ ක්ෂත්‍රිය රජුන් සදෙනා යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ඒ ක්ෂත්‍රිය රජුන් සයදෙනාට මේ කාරණය කීයේය. පින්වත්නි, මා සම්බන්ධව මෙසේ යහපත්වූ කීර්ති ඝොෂාවක් ඉතා උස්ව නැංගේය. ‘මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ සත්‍ය ලෙසම බ්‍රහ්මයා දකී මහා ගොවින්ද බ්‍රාහ්මණතෙමේ සත්‍ය වශයෙන්ම මහා බ්‍රහ්මයා සමග සාකච්ඡා කෙරෙයි. එසේම කථා කෙරෙයි ඔහු හා සමග මන්ත්‍රණය කෙරෙයි’ කියායි. පින්වත්නි, මම බ්‍රහ්මයා නොමදකිමි. බ්‍රහ්මයා සමග සාකච්ඡා ද නොකරමි. බ්‍රහ්මයා සමග කථාද නොකරමි. බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි. වැඩි වයසට පැමිණියාවූ මහලුවූ ආචාර්‍ය්‍ය ප්‍රවාර්‍ය්‍යවූ බ්‍රාහ්මණයන්ගේ සම්මුඛයෙන් මා විසින් මේ කාරණය අසන ලද්දේය. එනම් යමෙක් වර්ෂා ඍතුවට අයත් හාරමාසයෙහි විවේකව වාසය කෙරේද, කරුණා බ්‍රහ්ම විහාරය වඩන්නේද, ඒ තැනැත්තා මහා බ්‍රහ්මයා දකී. බ්‍රහ්මයා සමග සාකච්ඡාද කෙරේ ඔහු හා එක්ව කථා කෙරේ ඔහු හා සමග මන්ත්‍රණයද කෙරේ යනුයි, පින්වතුනි, මේ වර්ෂා ඍතුවට අයත්වූ හාර මාසයෙහි විවෙකව වාසය කරන්නටද කරුණා බ්‍රහ්ම විහාරය භාවනා කරන්ටද කැමැත්තෙමි ඒ කාලයෙහිදී බත් ගෙන එන්නාවූ එක් කෙනෙකු හැර අන් කිසිවෙකු නොපැමිණිය යුත්තේ යයි’ දැන්වීය. ‘භවත් ගොවින්දතෙමේ දැන් යමක් සම්බන්ධව සුදුසු කලය්’යි දන්නේ නම් එය කරණු මැනවයි’ කියායි.

“ඊට පසුව භවත් ගොවින්ද බ්‍රාහ්මණතෙම මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙන යම් තැනෙක්හිද, නහාතක බ්‍රාහ්මණයන් සත් සියදෙනා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය පැමිණ බමුණු මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනාටද නහාතක බ්‍රාහ්මණයන් සත්සිය දෙනාටද මේ කාරණය දැන්විය. ‘පින්වතුනි, මා පිළිබඳව මෙසේ යහපත්වූ කීර්ති ඝොෂාවක් ඉතා උස්ව නැංගේය. කෙසේද ‘මහා ගොවින්ද බ්‍රහ්මණ තෙම සත්‍ය වශයෙන්ම බ්‍රහ්මයා දකී. බ්‍රහ්මයා සමග සාකච්ඡා කරයි. එක්ව කථාකරයි. ඔහු හා මන්ත්‍රණය කරයි’ කියායි. පින්වතුනි මම මහා බ්‍රහ්මයා නොම දකිමි. බ්‍රහ්මයා සමග සාකච්ඡාද නොකරමි. බ්‍රහ්මයා සමග එක්වී කථාද නොකරමි. බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි. එහෙත් වැඩි වයසට පැමිණියාවූ මහලුවූ ආචාර්‍ය්‍යවූද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවූ බ්‍රාහ්මණයන්ගේ සම්මුඛයෙන් මා විසින් මේ කාරණය අසනලදී’. යමෙක් වර්ෂා කාලය පිළිබඳ හාරමාසයෙහි විවේකව වාසය කෙරේද, කරුණා බ්‍රහ්ම විහාරය වඩයිද, ඒ පුද්ගල තෙම මහා බ්‍රහ්මයා දකි බ්‍රහ්මයා සමග සාකච්ඡා කෙරෙයි. එක්ව කථාකරයි, ඔහු හා සමග මන්ත්‍රණය කරයි’ කියා අසන ලද්දේය.

‘පින්වතුනි, එබැවින් තොපි ඇසූ පරිදිද පුහුණු කළ පරිදිද, මන්ත්‍රයන් විස්තර වශයෙන් පාඩම් කියව්. ඔවුනොවුන්ටද ඒ මන්ත්‍ර කියවව්. පින්වත්නි, මම වර්ෂාඍතුවට අයිති හාර මාසයෙහි විවේකව වාසය කරන්ටද, කරුණා ධ්‍යානය වඩන්ටද කැමැත්තෙමි. (ඒ කාලය තුල) බත් ගෙනඑන්නාවූ එක්කෙනෙකු හැර අන් කවරෙක්වත් නොපැමිණිය යුතුයි.’ ‘පින්වත් ගොවින්ද තෙමේ යමක් ගැන කාලයයි දන්නේ නම් එය කරනු මැනව’ යි කියායි.

“පින්වත්නි, ඊට පසු මහාගොවින්ද බ්‍රාහ්මණතෙම සමානවූ සතළිසක් භාර්‍ය්‍යාවෝ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, සමානවූ සතළිසක් භාර්‍ය්‍යාවන්ට මේ කාරණය කීයේය. ‘පින්වතියනි, මාගේ මෙබඳු යහපත් කීර්ති ඝොෂාවක් ඉතා උස්ව නැංගේය. කෙසේද? මහා ගොවින්ද බ්‍රාහ්මණතෙම සත්‍ය වශයෙන්ම මහා බ්‍රහ්මයා දකී. සත්‍ය ලෙසම බ්‍රහ්මයා සමග සාකච්ඡා කරයි. එක්ව කථාකරයි. මන්ත්‍රණය කරයි’ කියායි.

‘පින්වතියෙනි, මම වනාහි බ්‍රහ්මයා නොම දකිමි. බ්‍රහ්මයා සමග සාකච්ඡා නොකරමි. එක්ව කථා නොකරමි. බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි. එහෙත් වැඩි වයයට පැමිණියාවූ මහලුවූ ආචාර්‍ය්‍යවූද, ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවූද බ්‍රාහ්මණයන්ගෙන් මේ කාරණය ඇසූයෙමි. යමෙක් වර්ෂා කාලය පිළිබඳ හාරමාසයෙහි විවෙකව වාසය කෙරේද, කරුණා ධ්‍යානය වඩාද, හෙතෙම මහාබ්‍රහ්මයා දකින්නේය. ඔහු සමග සාකච්ඡා කරන්නේය. බ්‍රහ්මයා සමග කථා කරන්නේය. ඔහු හා මන්ත්‍රණය කරන්නේය’ කියායි. ‘පින්වතියෙනි, මම වර්ෂා කාලය පිළිබඳ හාර මාසයෙහි විවේකීව වාසය කරන්ටද කරුණා ධ්‍යානය භාවනාකරන්ට ද කැමැත්තෙමි. (ඒ කාලයෙහි) “බත් ගෙණ එන්නාවූ එක් කෙනෙකුන් හැර අන් කිසිවෙක් නොපැමිණිය යුතුයයි’ කීහ. ‘පින්වත් ගොවින්ද තෙමේ යමක් සම්බන්ධව කාලයයි සිතන්නේ නම් දැන් එය කෙරේවායි’ කියායි.

“ඊට පසුව භවත් මහා ගොවින්ද බ්‍රාහ්මණතෙම නුවරට පූර්ව දිසාවෙහි අළුත් සන්ථාගාරයක් කරවා වර්ෂාඍතුව පිළිබඳ හාරමාසයෙහි විවේකව වාසය කළේය. කරුණාබ්‍රහ්ම විහාරය වැඩුයේය. බත් ගෙන එන්නාවූ එක්කෙනෙකු හැර අන් කිසිවෙක් ඔහු වෙතට නොපැමිණියේය. තවද පින්වත් ගොවින්ද බ්‍රාහ්මණයාට සාර මසක් ගියකල බ්‍රහ්මයා දැකීමට ආශාවක් ඇතිවිය වැඩිවයසට ගියාවූ මහලුවූ ආචාර්‍ය්‍යවූද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවූද, බ්‍රාහ්මණයන්ගෙන්ද මම මේ කාරණය ඇසුවෙමි. ‘යමෙක් වර්ෂා කාලය පිළිබඳ හාරමාසයෙහි විවේකයට පැමිණ වාසය කරද්ද, කරුණා ධ්‍යානය වඩාද ඒ පුද්ගලතෙම මහාබ්‍රහ්මයා දකී. බ්‍රහ්මයා සමග සාකච්ඡාකරයි. එක්ව කථාකරයි. ඔහු හා සමග මන්ත්‍රණය කරයි’ කියායි. මම බ්‍රහ්මයා නොමදකිමි බ්‍රහ්මයා සමග සාකච්ඡාද නොකරමි. බ්‍රහ්මයා සමග එක්ව කථාද නොකරමි. බ්‍රහ්මයා සමග මන්ත්‍රණයද නොකරමි’ කියායි.

“පින්වත්නි, එවිට සනං කුමාර බ්‍රහ්ම තෙමේ මහාගොවින්ද බ්‍රාහ්මණයාගේ සිත පිළිබඳවූ අදහස් තමන්ගේ සිතින් දැනගෙන යම්සේ ශක්තිමත් පුරුෂයෙක් හකුළුවනලද අතක් දිගහරින්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ යම්සේද, එපරිද්දෙන්ම බඹලොවින් අන්තර්ධානවී මහාගොවින්ද බ්‍රාහ්මණයාගේ ඉදිරියෙහි (පහළ විය) පෙනී සිටියේය. පින් වත්නි, ඊට පසුව මහා ගොවින්ද බ්‍රාහ්මණයාගේ හිතේ භයක් ඇතිවිය. තැතිගැන්මක්ද වූයේය. ලොමු දැහැගැනීමක්ද විය. පෙර නොදක්නාලද රූපයක් දැක යම්සේ භය වෙයිද, (එපරිද්දෙන්ම භය විය) ඉක්බිතිව මහාගොවින්ද බ්‍රාහ්මණතෙමේ භය වූයේ තැති ගැනීමට, පැමිණියේ හටගත් ලොමු දැහැගැනුම් ඇත්තේ සනං කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් (මෙසේ) කීයේය.

[1] “නිදුකාණෙනි, ශරීරවර්ණ ඇත්තාවූ යසස් ඇත්තාවූ
ශ්‍රීමත්වූ නුඹ කවරෙක් වෙහිද?
නොදන්නාවූ අපි ඔබගෙන් අසමු.
අපි ඔබ කෙසේ දැනගනිමුද?’
[2] “මා බ්‍රහ්ම ලෝකයෙහි සනං කුමාරයයි ඒකාන්තයෙන්ම දනිත්.
සියලු දෙවියෝ සනං කුමාර බ්‍රහ්මයයි මා මෙසේ දැනගනිත්.
ගෝවින්දය, එසේ දැනගනුම්.’
[3] “මේ ආසනයද, පිරිසිදු ජලයද (පාදයට හිතවූ) තෙලද,
මේ ජලයෙන් සේදූ පළා කොළද
යන මේ සියල්ල ඔබ ඉදිරියෙහි වේ.
පින්වතුන් විචාරමු.
පින්වත් තෙමේ අපගේ මේ ආගන්තුක සංග්‍රහය පිළිගන්නා සේක්වා.’
[4] “එම්බා ගොවින්ද (පණ්ඩිතය) නුඹ යමක් කියන්නේද,
තාගේ එම ආගන්තුක සංග්‍රහය පිළිගනිමු.
මේ ආත්ම භාවයෙහි වැඩ පිණිසද,
පරලොව සැප පිණිසද, පවත්නාවූ
යම් කිසිවක් මනාකොට පතන ලද්දේද,
ඒ කාරණය විචාරව.
පින්වත් තෙමේ කරනලද අවකාශ ඇත්තේය.’

“පින්වත්නි, ඊට පසුව මහාගොවින්ද බ්‍රාහ්මණයාට මේ අදහස විය. ‘මම වූකලී සනං කුමාර බ්‍රහ්මයා විසින් කරනලද අවකාශ ඇත්තෙමි. මේ ආත්මභාවය පිළිබඳවූ අර්ථය හෝ, පරලොව පිළිබඳවූ අර්ථය හෝ කුමක් ගැන මම සනං කුමාර බ්‍රහ්මයාගෙන් විචාරන්නෙම්දෝයි’ සිතීය.
“ඊට පසුව, මහාගොවින්ද බ්‍රාහ්මණයාට මේ අදහස විය. ‘මම මේ ලෝකය පිළිබඳව අර්ථයන්ට දක්ෂවෙමි. අන්‍යයෝද දෘෂ්ටධාර්මික අර්ථය කවරේදැයි මගෙන් අසත්. ඒකාන්තයෙන්ම පරලෝකාර්ථය කෙබඳුදැයි, සනං කුමාර බ්‍රහ්මයාගෙන් අසන්නෙම් නම් ඉතා යෙහෙකැයි’ සිතීය.

පින්වත්නි ඊට පසුව මහාගොවින්ද බ්‍රාහ්මණ තෙමේ සනං කුමාර බ්‍රහ්මයාට ගාථාවකින් මෙසේ කීයේය.

(I) ‘සැක ඇත්තාවූ මම අනුන් විසින් සකස් කරනලද ප්‍රශ්න විෂයෙහි සැක නැත්තාවූ සනං කුමාර බ්‍රහ්මයා විචාරමි
කවර ප්‍රතිපදාවෙහි සිටියාවූ කවර නම් ධර්මයෙක්හි හික්මෙන්නාවූ
මනුෂ්‍යතෙම උතුම් බඹලොවට පැමිණේදැයි කියා අසමි
.’
(II) ‘එම්බා ශ්‍රෙෂ්ඨය, මනුෂ්‍යයන් අතර යම් කිසිවෙක් මමත්වය හෙවත් තෘෂ්ණාව අත්හැර හුදකලාව කරුණා ධ්‍යානය උපදවා කෙලෙසුන්ගෙන් මිදුනේද කාම ක්‍රොධාදීවූ ආමගන්ධ (පිළීගඳ) නැත්තේ මෛථුන ධර්මයෙන් වැළකුනේද හෙවත් බ්‍රහ්මචාරී වූයේ වේද, ඒ මනුෂ්‍ය තෙම මේ ධර්මයන් කෙරෙහි හික්මෙන්නේ උත්තම බ්‍රහ්ම ලෝකයට පැමිණේ.
(III). “පින්වතුන් වහන්සේ කියන්නාවූ මමය, මාගේය, යන මමත්වය හැර යන කාරණය මම දනිමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ස්වල්පවූ හෝ භොග රාශිය හැර මහත්වූ හෝ භෝග රාශිය හැර ස්වල්පවූ හෝ ඤාති සමූහය හැර මහත්වූ හෝ ඤාති සමූහය හැර කෙස් දැළි රැවුල් කපා කාෂාය වස්ත්‍රයන් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිදි වෙයි. මෙසේ පින්වතුන් වහන්සේ කියන්නාවූ මමත්වය හැරය යන මේ කාරණය මම දනිමි ඒකීභූත වූයේය යන මේ කාරණයද, මම දනිමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ජනයන් නැත්තාවූ සෙනසුන් ආශ්‍රය කෙරෙයි, අරණ්‍යය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාව, සොහොන, ඉතා දුර සෙනසුන අවකාශ ස්ථාන, පිදුරු රැසය යන මෙහි වාසය කරයි. මෙසේ විවෙකව වෙසේ යන මේ කාරණයද මම දනිමි. කරුණා සහගත සිතින් යුක්තව විසීම යනුද, මම දනිමි. ඇතැම් කෙනෙක් කරුණාව සමග පැවති සිතින් එක්දිශාවක් පතුරුවා වාසය කරත්, එසේම දෙවන දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවදැයි මෙසේ සියලු කල්හි සියලු තන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය, කරුණාව සමග පැවැති සිතින් පතුරුවා වාසය කෙරෙත්, මෙසේ කරුණා සිතින් යුක්තව වාසය කරයි, යන මේ කාරණයද මම දනිමි පින්වතුන් විසින් කියන්නාවූ ආමගන්ධය යන කාරණයන් (පිළී ගඳ හමණ කරුණු) මම නොදනිමි

“පින්වත් බ්‍රහ්මය, මනුෂ්‍යයන් විෂයෙහි කවර නම් කාරණයෝ ආමගන්ධය යන මේ ඇත්තාහුදැයි” මේ කාරණය මම නොදනිමි. නුවණැති බ්‍රහ්මරාජය, එහෙයින් මට මෙහිදී ඒ කාරණයන් කියනු මැනව කවර නම් ක්ලේශාවරණයකින් ආවරණය කරනලද සත්ව සමූහය දුර්ගන්ධය වහනය කෙරේද අපායට පමුණුවන ක්ලෙශ ධර්ම ඇත්තෝ වෙත්ද හෙවත් කවර නම් අකුශලයක් කරණ කොටගෙන සත්වයෝ බඹලොවට නොපැමිණෙත්ද?’
“ක්‍රොධ කිරීමද, බොරු කීමද, වඤ්චාවද, මිත්‍රද්‍රොහී භාවයද, තද මසුරු බවද, අධික මානයද, ඊර්ෂ්‍යා කිරීමද, තෘෂ්ණාවද සැකයද, අනුන්ට හිංසා කිරීමද, ද්‍වෙෂයද, මදයද, මොහයද යන මේ ක්ලේශ ධර්මවල යෙදුනාවූ පුද්ගල තෙම දුගඳ ඇත්තේම වෙයි. අපායට යන්නෝ හෙවත් බ්‍රහ්මලෝකයට නොයන්නෝ වෙත්.

‘පින්වතුන් විසින් කියනලද ආමගන්ධ කාරණයන් මම යම් පරිද්දෙකින් දනිම්ද, ඒ දුර්ගන්ධ වහනයවන කාරණයන් ගිහිගෙයි වාසය කරන්නවුන් විසින් සුවසේ බැහැරලීම දුෂ්කර වෙයි.’
‘පින්වත, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි’ කීය. ‘දැන් ගොවින්ද පණ්ඩිත තෙමේ යමක් ගැන කාලයයි දන්නේ නම් ඒ කාරණය කෙරේවායි කීයේය.’
“ඉක්බිතිව මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ රේණු රජ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, රේණු රජහට මේ කාරණය දැන්වීය. ‘යමෙක් පින්වත්හුගේ රාජ්‍යයට අනුශාසනා කරන්නේද පින්වත් තෙමේ දැන් එබඳු පෙරවි බමුණෙකු සොයන සේක්වා. පින්වත, මම ගිහිගෙයින් නික්ම පැවිදිවන්නට කැමැත්තෙමි. සනං කුමාර බ්‍රහ්මයා විසින් කියන ලද ඒ ආමගන්ධ කරුණු මා විසින් අසනලදී ගිහිගෙයි වාසය කරන්නහු විසින් ඒ ආමගන්ධ කාරණයන් සුවසේ දුරු කළ නොහැක. හෙවත් ඉතා දුකසේ බැහැර කටයුත්තේය. පින්වත්නි, මම ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමියි’ කීයේය.
‘මම පෘථිවිය පාලනය කරන්නාවූ රෙණු රජහු ආමන්ත්‍රණය කරමි රාජ්‍යය පිළිබඳව කටයුතු දැනගනු මැනව. මම පෙරවි බැව්හි කැමති නොවෙමි හෙවත් මහණ වෙමි.’ ‘එවිට රේණු රජ තෙමේ මෙසේ කියයි.

‘ඉදින් ඔබට කාමයන්ගෙන් කිසි අඩුවක් වීනම් ඒ සියල්ල මම ඔබට සම්පූර්ණ කරමි. යම් කෙනෙක් ඔබට හිංසා කරයිද මම එය වළක්වමි. මම පොළවෙහි ජනයාගේ අධිපතිවෙමි (රජවෙමි.)

‘නුඹ පිය තෙමේය. මම පුත්‍රවෙමි. පින්වත් ගොවින්ද පණ්ඩිතය, අප අත්නොහැරිය යුතුය. කිසියම් කාම සැපයකින් අඩුවක් නැත්තේය. එසේම අපට හිංසා කරන්නෙක්ද නැත්තේය.
‘එහෙයින් අමනුෂ්‍යයෙකුගේ කථාව අසා ‘මම ගිහිගෙයි නොඇලෙමියි’ කීයේය. යමෙකුගේ යමක් අසා අපද ගෙයි වැසි සියල්ල හා සියලු දඹදිව වැස්සන් හරින්නෙහිද, ඒ අමනුෂ්‍යතෙම කෙබඳු වෙසයක් ඇත්තේද, ඒ තෙම ඔබට කිනම් කාරණයක් කීයේදැ’යි ඇසුවේය.
‘මින් පෙර කාය විවේකය වැඩීම් වශයෙන් එකී භාවයට පැමිණ තාපස භාවයෙන් යුක්තව වාසය කෙළෙමි. යාග කරනු කැමැත්තාවූ මා විසින් මොණර පිල්වලින් අතුරණ ලද්දේ ගිණි දල්වන ලද්දේ විය. එකල්හි සනං කුමාර බ්‍රහ්ම තෙමේ බ්‍රහ්ම ලෝකයෙන් මාගේ ඉදිරියෙහි පහළ වූයේය.
‘ඒ සනං කුමාර බ්‍රහ්ම තෙමේ මාගේ ප්‍රශ්න විසඳුයේය. ඒ අසා ගිහිගෙයි සිත් නොඅලවමි. පින්වත් ගොවින්ද පණ්ඩිතය, නුඹ යම් කථාවක් කීයෙහිද එය මම අදහමි.’
‘බ්‍රහ්මයාගේ වචනය අසා කෙසේ නම් අන් ආකාරයකින් පවත්නහුද? අපිද ඔබ අනුව පැවිදිවෙමු.’
‘ගොවින්ද පණ්ඩිතය, ඔබ අපට අනුශාසනා කරන්නා වනු මැනව. කර්කශ නොවූ නිර්මලවූ යහපත්වූ වෛඪූර්‍ය්‍ය මාණික්‍යයක් යම්සේද එපරිද්දෙන්ම ගොවින්ද පණ්ඩිතයන්ගේ අනුශාසනාවෙහි පිරිසිදු ලෙස හැසිරෙන්නෙමුයි’ කීහ.
‘ඉදින් පින්වත් ගොවින්දතෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් අපිත් ගිහිගෙයින් නික්ම පැවිදිවන්නෙමු. ඔබගේ යම් පරලොව ගතියක් වේද ඒ ගතිය අපගේද පරලොව ගතිය වන්නේයයි’ රේණු රජ තෙමේ කීයේය.
‘පින්වත්නි, ඊට පසුව ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රියයෝ සය දෙන යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, ඒ ක්ෂත්‍රියයන් සයදෙනාට මේ කාරණය දැන්විය. යමෙක් පින්වතුන්ගේ රාජ්‍යයෙහි අනුශාසනා කරයිද දැන් පින්වත්හු එබඳු අන්‍ය පුරෝහිතයෙකු සොයත්වා. පින්වතුනි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නට කැමැත්තෙමි බ්‍රහ්මයා විසින් කියනලද ආමගන්ධ කරුණු යම් පරිද්දෙකින් මා විසින් අසන ලද්දේද, ගිහිගෙයි වාසය කරන්නහු විසින් ඒ කාරණයෝ ඉතා දුකසේ බැහැරලියයුතුවෙත්. පින්වතුනි, එහෙයින් මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමියි’ කීය.
‘පින්වතුනි, ඊටපසු ඒ ක්ෂත්‍රියයෝ සයදෙන එක පැත්තකට පැමිණ මෙසේ සිතූහ. ‘මේ බ්‍රාහ්මණයෝ නම් ධන ලෝහීහු වෙත්. එකාන්තයෙන් අපි මහා ගොවින්ද බ්‍රාහ්මණයා ධනයෙන් සතුටු කරන්නෙමු නම් ඉතා යෙහෙකැයි සිතූහ. ඔවුහු මහාගොවින්ද බ්‍රාහ්මණයා වෙතට පැමිණ මෙසේ කීවෝය. ‘පින්වත, මේ අපගේ රාජ්‍ය හතෙහි බොහෝ ධනය ඇත්තේය. ඒ ධනයෙන් පින්වතාට යම් පමණ ධනයෙන් ප්‍රයෝජන ඇත්තේ නම් එපමණ ගනු මැනවයි’, කීහ. ‘පින්වතුනි, මට ධනයෙන් කම්නැත. මටද බොහෝ ධනය ඇත්තේය. ඒ සියල්ල පින්වතුන්ට වේවා. මම ඒ යසස හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමි. බ්‍රහ්මයා විසින් කියනලද ආමගන්ධ මා විසින් යම් පරිද්දෙකින් අසන ලද්දේද, ගිහිගෙයි වාසය කරන්නහු විසින් ඒ ආමගන්ධ කාරණයෝ දුකසේ අත්හැරිය යුතු වෙත්. පින්වතුනි, එම නිසා මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමි” කීය.
“පින්වත්නි, ඉක්බිතිව ඒ ක්ෂත්‍රියයෝ සයදෙන එක පැත්තකට රැස්ව මෙසේ සිතූහ. ‘මේ බ්‍රාහ්මණයෝ නම් ස්ත්‍රීන් කෙරෙහි ආසා ඇත්තෝය. ඒකාන්තයෙන් අපි මහා ගොවින්ද බ්‍රාහ්මණයා ස්ත්‍රීන්ගෙන් සිත්ගන්නෙමු නම් යෙහෙකැයි කියා සිතූහ.’ ඔවුහු මහා ගොවින්ද බ්‍රාහ්මණයා වෙතට පැමිණ මෙසේ කීහ. ‘පින්වත, මේ රාජ්‍ය හතෙහි බොහෝ ස්ත්‍රිහු ඇත්තාහ. ඒ ස්ත්‍රීන් අතුරෙන් පින්වතාට යම් පමණ ස්ත්‍රීන්ගෙන් ප්‍රයෝජන ඇත්තේද එපමණ ස්ත්‍රිහු ගෙන යනු මැනවැයි’ කීහ. ‘පින්වත්නි, කම් නැත. මට සමාන (ජාති ඇති) සතළිසක් ස්ත්‍රීහු වෙත්. මම ඒ සියල්ලන්ද අත්හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමි.’ ආමගන්ධ කාරණයෙන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආමගන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ දුරුකටයුතු වෙත්. පින්වත්නි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි’ කීයේය.
‘ඉදින් භවත් ගොවින්ද තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදිවන්නේ නම් අපිත් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු.’ එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද අපගේද ඒ පරලොව ගතිය වන්නේය ‘යම්බඳු කාමයන් කෙරෙහි පෘථග්ජන තෙම ඇලුනේද ඉදින් ඒ කාමයන් දුරු කිරීමට කැමත්තහු නම් වීර්‍ය්‍ය කරව්. ඉවසීමෙන් යුක්ත දැඩි වීර්‍ය්‍යකරව්. මේ ඍජු (කෙළින්) මාර්ගය වේ. මේ අතිශයින් උතුම් මාර්ගය වේ. බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස සත්පුරුෂයන් විසින් මේ ධර්මය ආරක්ෂා කරන ලද්දේය.’
‘එසේ නම් පින්වත් ගොවින්ද තෙමේ අවුරුදු හතක් බලාපොරොත්තු වේවා. අවුරුදු හතක් ගිය කල්හි අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, අවුරුදුහත ඉතා බොහෝ කල් වන්නේය. මට අවුරුදු හතක් පින්වතුන් සඳහා සිටීමට නොහැකිය. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවතීම දනීද ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. ඤාණයෙන් දැන අවබොධ කටයුත්තේ වෙයි. කුසල් කටයුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි. උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ සනං කුමාර බ්‍රහ්මයාගේ කථාව මා විසින් යම්පරිද්දෙකින් අසන ලද්දේද ඒ ආමගන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නාහු විසින් දුකසේ අත්හැරිය යුතුවෙත්යයි’ කීවේය.
‘එසේ නම්, පින්වත් ගොවින්ද තෙමේ, අවුරුදු සයක් බලාපොරොත්තු වේවා. අවුරුදු හයක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීය.
‘පින්වතුනි, අවුරුදු හය බොහෝ කල් වන්නේය. මට පින්වතුන් සඳහා අවුරුදු හයක් සිටීමට නොහැකිය. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. කුසල් කළ යුතුයි, ඤාණයෙන් දැන අවබොධ කටයුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයෙන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආමගන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් දුකසේ අත්හැරිය යුතුවෙත්යයි’ කීවේය.
‘එසේනම්, පින්වත් ගොවින්ද තෙමේ, අවුරුදු පහක් බලාපොරොත්තු වේවා. අවුරුදු පහක් ගියකල අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු එසේ ඇතිකල්හි ඔබගේ යම් පරලොව ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ. ‘පින්වතුනි, අවුරුදු පහ බොහෝ කල් වන්නේය. මට පින්වතුන් සඳහා අවුරුදු පහක් සිටීමට නොහැකිය. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. ඤාණයෙන් අවබොධ කටයුතුයි. කුසල් කළ යුතුයි. බ්‍රහ්මච්‍යාව රැකිය යුතුයි. උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආමගන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නාහු විසින් දුකසේ අත්හැරිය යුතු වෙත්යයි’ කීවේය.
‘එසේ නම් පින්වත් ගොවින්ද තෙමේ, අවුරුදු හතරක් බලාපොරොත්තු වේවා, අවුරු හතරක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, අවුරුදු හතර බොහෝ කල් වන්නේය. මට පින්වතුන් සඳහා අවුරුදු හතරක් සිටීමට නොහැකිය, පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැතීම දනිත්ද, ඒකාන්තයෙන් පරලොව යායුත්තේ වෙයි. ඤාණයෙන් අවබොධ කටයුතුයි. කුසල් කටයුතුයි, බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි, උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයෙන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආගමන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් දුකසේ අත්හැරිය යුතු වෙත්යයි’ කීය.
‘එසේනම්, පින්වත් ගොවින්දතෙමේ අවුරුදු තුනක් බලාපොරොත්තු වේවා. අවුරුදු තුනක් ගියපසු අපිද ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නෙමු එසේ ඇතිකල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, අවුරුදු තුන බොහෝ කල් වන්නේය, මට පින්වතුන් සඳහා අවුරුදු තුනක් සිටීමටද නොහැකිය. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැත්ම දනීද. ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. ඤාණයෙන් අවබොධ කටයුතුයි, කුසල් කටයුතුයි, බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි. උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආමගන්ධ කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් දුකසේ අත්හැරිය යුතුයි’ කීය
‘එසේනම්, පින්වත් ගොවින්ද තෙමේ අවුරුදු දෙකක් බලාපොරොත්තුවේවා. අවුරුදු දෙකක් ගියකල අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු. එසේ ඇතිකල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ ‘පින්වතුනි, අවුරුදු දෙක බොහෝ කල් වන්නේය පින්වතුන් සඳහා අවුරුදු දෙකක් සිටීමට නොහැක්කෙමි. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැත්ම දනිත්ද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේය. ඤාණයෙන් අවබොධ කටයුතුයි කුසල් කටයුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි. උපන්නාවූ සත්වයාට නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ආගමන්ධ කාරණයෝ ගිහිගෙයි වාසය කරන්නහු විසින් දුකසේ අත්හැරිය යුත්තාහුයයි’ කීහ. ‘එසේනම් පින්වත් ගොවින්ද තෙමේ එක අවුරුද්දක් බලාපොරොත්තු වේවා. එක අවුරුද්දක් ගිය කල අපිද ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නෙමු එසේ ඇතිකල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද, එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, එක අවුරුද්දක් බොහෝ කල්ය. එක අවුරුද්දක් පින්වතුන් සඳහා බලාපොරොත්තු වන්නට නොහැක්කෙමි. පින්වත්නි, කවරෙක් ජීවිතයන්ගේ පැවැතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. සියල්ල ඤාණයෙන් දැන අවබොධ කටයුතුයි. කුසල් කටයුතුයි, බ්‍රහ්මචර්‍ය්‍යාව කටයුතුයි. උපන් සත්වයාට මරණයෙන් නිදහස් වීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ සනං කුමාර බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසනලදී. ඒ කාරණයත් ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතුයයි කීවේය.
‘එසේනම් පින්වත් ගොවින්ද තෙමේ මාස හතක් බලාපොරොත්තු වේවා. මාස හතක් ගිය කල්හි අපිද ගිහි ගෙයින් නික්ම පැවිදිවන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වන්නේද, ඒ අපගේද පරලොව ගතිය වන්නේ යයි” කීහ.
‘පින්වත්නි, මාස හත ඉතා වැඩිය. මාස හතක් දක්වා පින්වතුන් සඳහා සිටීමට නොහැක්කෙමි. පින්වත්නි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැත්ම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. යන මේ සියල්ල ඥාණයෙන් දැන අවබොධ කටයුතුයි, කුසල් කටයුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකිය යුතුයි. උපන් සත්වයාට නොමැරීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ කාරණයෝ ගිහිගෙයි වසන්නවුන් විසින් ඉතා දුකසේ අත්හැරිය යුතු වෙත්යයි’ කීය.
‘එහෙනම්, පින්වත් ගොවින්දතෙමේ මාස හයක් බලාපොරොත්තුවේවා. මාස හයක් ගියකල අපිද ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වන්නේද, අපගේ පරලොව ඒ ගතිය වන්නේය’ යි කීහ.
‘පින්වත්නි, මාස හය බොහෝ කල් වන්නේය, පින්වතුන් නිසා මාස හයක් ඉවසීමට බැරිය පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි යන මේ සියල්ල ඥානයෙන් දැන අවබොධ කටයුතුයි. කුසල් කළ යුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැක්ක යුතුයි. උපන් සත්වයාගේ නොමැරී සිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන බ්‍රහ්මයාගේ කථාව මවිසින් අසන ලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතු වෙත්ය’ යි කීය.
‘එහෙනම්, පින්වත් ගොවින්දතෙමේ මාස පහක් සිටිවා මාස පහක් ගියකල අපිද ගිහිගෙයින් නික්ම මහණවන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වේද? අපගේද පරලොව ඒ ගතිය වන්නේය’ යි කීය.
‘පින්වතුනි, මාස පහ බොහෝ කල් වන්නේය. මට පින්වතුන් නිසා මාස පහක් සිටීමට බැරිය, පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යායුත්තේ වෙයි. මේ සියල්ල ඥානයෙන් දැන අවබොධ කළ යුතුයි. කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්‍ය්‍යාව රැක්ක යුතුයි. උපන් සත්වයාට නොමැරීසිටීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසනලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරියයුතු වෙත්යයි’ කීය.
‘එහෙනම්, පින්වත් ගොවින්ද තෙමේ මාස හතරක් සිටීවා. මාස හතරක් ගිය කල්හි අපිද ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වන්නේද එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වත්නි, මාස හතර ඉතා බොහෝ කල් වන්නේය. මට පින්වතුන් නිසා මාස හතරක් සිටීමට බැරිය. පින්වත්නි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවතීම දනීද, ඒකාන්තයෙන පරලොව යා යුත්තේවෙයි. සියල්ල ඥානයෙන් දැන අවබොධ කළ යුතුයි. කුසල් කල යුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාව රැක්ක යුතුයි. උපන් සත්වයාට නොමැරීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුත්තේ වෙයි.’
‘එහෙනම් පින්වත් ගොවින්ද තෙමේ මාස තුනක් බලාපොරොත්තු වේවා. මාස තුනක් ගිය කල්හි අපිද ගිහි ගෙයින් නික්ම, මහණවන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වේද, අපගේද පරලොව ඒ ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, මාස තුන ඉතා බොහෝකල් වන්නේය. මට පින්වතුන් නිසා මාස තුනක් සිටීමට බැරිය. පින්වතුනි කවරෙක් නම් ජීවිතයාගේ පැවතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේ වෙයි. සියල්ල ඥානයෙන් දැන අවබොධ කළ යුතුය. කුසල් කළ යුතුය. බ්‍රහ්මචර්‍ය්‍යාව රැක්ක යුතුයි. උපන් සත්වයාට මරණයෙන් බේරීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසනලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් දුකසේ අත්හැරිය යුතු වෙත්යයි’ කීය.
‘එහෙනම්, පින්වත් ගොවින්ද තෙමේ මාස දෙකක් සිටීවා. මාස දෙකක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වේද, අපගේද පරලොව ඒ ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වතුනි, මාස දෙක ඉතා බොහෝ කල් වන්නේය. මට පින්වතුන් සඳහා මාස දෙකක් ඉඳීමට බැරිය පින්වතුනි, කවරෙක් නම් ජීවිතයන්ගේ පැවතීම දනීද, ඒකාන්තයෙන් පරලොව යා යුත්තේවෙයි. සියල්ල ඥානයෙන් දැන අවබොධ කළ යුතුය. කුසල් කළයුතුය. බ්‍රහ්මචර්‍ය්‍යාව කළ යුතුය. උපන්නාවූ සත්වයාට මරණයෙන් ගැලවීමක් නැත්තේය. ආමගන්ධ කාරණා කියන බ්‍රහ්මයාගේ කථාව මවිසින් අසන ලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතුවෙත්යයි’ කීහ.
‘එසේනම් පින්වත් ගොවින්ද තෙමේ මාසයක් බලාපොරොත්තු වේවා. මාසයක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වේද අපගේද පරලොව ඒ ගතිය වන්නේය.’
‘පින්වතුනි, මාසයක් ඉතා බොහෝ කල් වන්නේය. මට පින්වතුන් උදෙසා මාසයක් ඉවසීමට නොහැකිය. පින්වතුනි, කවරෙක් නම් ජීවිතයාගේ පැවැතීම දනිද, ඒකාන්තයෙන් පරලොව යායුත්තේ වෙයි සියල්ල ඥානයෙන් දැන අවබොධ කළ යුතුයි. කුසල් කළ යුතුය. බ්‍රහ්මචර්‍ය්‍යාව රැක්ක යුතුය. උපන්නාවූ සත්වයාට මරණයෙන් ගැලවීමක් නැත්තේය. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසනලදී. එම කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතු වෙත්.’
‘එසේනම්, පින්වත් ගොවින්ද තෙමේ මාස බාගයක් බලාපොරොත්තු වේවා. මාස බාගයක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමු. එසේ කල ඔබගේ පරලොව යම් ගතියක් වේද අපගේද පරලොව ඒ ගතිය වන්නේයයි’ කීහ.
‘පින්වත්නි, මාස බාගයක් ඉතා වැඩිය. පින්වතුන් සඳහා මාස බාගයක් බලාපොරොත්තු වන්නට මට බැරිය. කවරෙක් නම් ජීවිතයන්ගේ පැවැතීම දනීද, උපන්නහු විසින් පරලොව යායුත්තේම වෙයි. මේ සියල්ල ඥානයෙන් දැනගෙන අවබෝධ කළ යුතුයි. කුසල් කළ යුතුයි. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරිය යුතුයි. උපන්නාවූ සත්වයාට ජරා මරණ රහිත බවක් නැත්තේය ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ක්ලෙශයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතු වෙත්යයි’ කීය.
‘පින්වතුනි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමි’ කීයේය.
‘එසේනම් ගොවින්දයෙනි, සත් දවසක් බලාපොරොත්තු වේවා. යම්තාක් අපි තම තමන්ගේ පුත්‍රයන් හා සොහොයුරන් රාජ්‍යයන්හි අනුශාසනා කරමුද ඒ සඳහායි, සත් දවසක් ගිය කල අපිද ගිහිගෙයින් නික්ම පැවිදිවන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වේද එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ
‘පින්වතුනි, සත්දවස ඉතා බොහෝ කලක් නොවෙයි පින්වතුනි මම සත්දවසක් බලාපොරොත්තු වන්නෙමියි’ කීයේය.
පින්වත්නි, ඉක්බිතිව මහාගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙන යම් තැනෙක්හිද නහාතකයෝ සත්සියය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මාහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනටද, නහාතකයන් සත්සියයටද මේ කාරණය කීයේය. දැන් යමෙක් පින්වතුන්ට මන්ත්‍රයන් කියන්නේද, පින්වත්හු එබඳු අන්‍ය ආචාර්‍ය්‍යයෙකු සොයත්වා. පින්වතුනි, මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නට කැමැත්තෙමි. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ කාරණයෝ ගිහිගෙයි වසන්නහු විසින් දුකසේ අත්හැරිය යුතු වෙත්. පින්වත්නි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි කීයේය.’
‘පින්වත් තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි නොවේවා. පින්වත, මහණකම ස්වල්පවූ යසස් ඇත්තේද ස්වල්පවූ ලාභ ඇත්තේද වෙයි. බ්‍රාහ්මණභාවය මහත් යසස් ඇත්තේද මහත් ලාභ ඇත්තේද වේයයි’ කීහ.
“පින්වතුනි, එසේ නොකියව්. මහණකම ස්වල්ප යසස් ඇත්තේද වෙයි. ස්වල්පවූ ලාභ ඇත්තේද වෙයි. බ්‍රාහ්මණ භාවය මහත් යසස් ඇත්තේ වෙයි. මහත් ලාභ ඇත්තේද වෙයි කියා නොකියව්. පින්වතුනි, අන් කවරෙක් නම් මට වඩා මහත් යසස් ඇත්තේ හෝ මහත් ලාභ ඇත්තේදැයි ඇසුවේය. පින්වතුනි, දැන් මම රජවරුන්ගේ රජවෙමි. බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මණ වෙමි. ගෘහපතියන්ගේ දේවතා වෙමි. මම ඒ සියල්ලද හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමි. ආමගන්ධ කාරණයන් කියන්නාවූ සනං කුමාර බ්‍රහ්මයාගේ කථාව මවිසින් අසන ලදී. ගිහිගෙයි වසන්නහු විසින් ඒ ක්ලේශ ධර්මයෝ දුකසේ බැහැරලිය යුත්තෝ වෙත්. පින්වත්නි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි’ කීයේය.
‘ඉදින් පින්වත් ගොවින්ද තෙමේ ගිහිගෙයින් නික්ම මහණ වන්නේ නම් අපිද ගිහිගෙයින් නික්ම මහණ වන්නෙමු. එසේ ඇති කල්හි ඔබගේ පරලොව යම් ගතියක් වන්නේද එය අපගේද පරලොව ගතිය වන්නේයයි කීහ.
“පින්වත්නි, ඊටපසුව මහාගොවින්ද බ්‍රාහ්මණතෙමේ සමාන ජාතිගොත්‍ර ඇති සතලිසක් භාර්‍ය්‍යාවෝ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සමාන ජාතිගොත්‍ර ඇති සතලිසක් භාර්‍ය්‍යාවන්ට මේ කාරණය කීයේය. ‘යම් පින්වතියක් නොකැමැත්තී නම් ඕ තොමෝ තමාගේ ඥාති කුලයට හෝ යේවා. අන්‍ය ස්වාමියෙකු හෝ සොයාවා. පින්වතියනි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නට කැමැත්තෙමි. ආමගන්ධ කාරණයන් කියන්නාවූ බ්‍රහ්මයාගේ කථාව මා විසින් අසන ලදී. ඒ ක්ලේශ ධර්මයෝ ගිහිගෙයි වසන්නහු විසින් ඉතා දුකසේ අත්හැරිය යුතුවෙත්. පින්වතියෙනි, මම ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමියි’ කීයේය.
‘ඔබම නෑයන් කැමැත්තාවූ අපගේ ඥාතිවෙහි. ඔබම ස්වාමීන් කැමැත්තාවූ අපගේ ස්වාමී වෙහියි! කීහ.
‘ඉදින් පින්වත් ගොවින්ද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, අපිද ගිහිගෙයින් නික්ම පැවිදි වන්නෙමු එසේ ඇති කල්හි ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ නම් එය අපගේද පරලොව ගතිය වන්නේයයි’ කීහ.

“පින්වත්නි, ඊට පසුව මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ සත් දවස ඉක්ම ගිය කල්හි කෙස් දැලි රැවුලු කපා කාසාව වස්ත්‍රයන් ඇඳගෙන ගිහිගෙයින් නික්ම මහණවූයේය. මහණවූ මහා ගොවීන්ද බ්‍රාහ්මණයාට අනුව ක්ෂත්‍රිය කුලයෙහි උපන්නාවූ ඔටුණු පලන් සත් රජහුද, මහසල් බමුණෝ සත්දෙනද සත්සියයක් නහාතකයෝද සමාන ජාතිගොත්‍ර ඇති සම සතලිසක් භාර්‍ය්‍යාවෝද පැවිදිවූහ. එසේම නොයෙක් දහස් ගණන් ක්ෂත්‍රියෝද, නොයෙක් දහස් ගණන් බ්‍රාහ්මණයෝද, නොයෙක් දහස් ගණන් ගෘහපතීහුද, අන්තඃපුර ස්ත්‍රීන් අතුරෙන් නොයෙක් ස්ත්‍රීහුද, කෙස් දැලි රැවුල කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම මහා ගොවින්ද, බ්‍රාහ්මණයාට අනුව මහණවූහ. පින්වත්නි, එකල්හි ඒ පැවිදි පිරිස පිරිවරණලද මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ ගම් නියම් ගම් රාජධානිවල හැසිරීම් කරයි. පින්වත්නි, ඒ කාලයෙහි මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙම යම් ගමකට හෝ නියම් ගමකට පැමිණියේද එහි රජුන්ගේ රජද වෙයි. බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මණද වෙයි. ගෘහපතියන්ගේ දේවතාද වෙයි. පින්වත්නි, ඒ කාලයෙහි යම් යම් මනුෂ්‍ය කෙනෙක් නාසාවාත හරින්නේ හෝ කණුකටු ආදියක හැපෙන්නේ හෝ වෙත්ද, ඔව්හු මෙසේ කීහ. ‘මහාගොවින්ද බ්‍රාහ්මණයාට නමස්කාර වේවා, පුරොහිතයන් සත්දෙනාටද, නමස්කාර වේවා’ කියායි.

“පින්වත්නි, මහා ගොවින්ද බ්‍රාහ්මණ තෙමේ මෛත්‍රිය සමග පැවති සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවන දිසාවද, එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද, මෙසේ උඩද, යටද, හරහද, යන සියලු කල්හි සියලු තන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තාවූ විපුලවූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ මෛත්‍රිය සමග පැවති සිත පතුරුවා වාසය කළේය. කරුණාව සමග පැවති සිතින්ද එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවන දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද, මෙසේ උඩ, යට, හරහදැයි සියලු කල්හි සියලු තැන පැතිර පවතින හෙයින් සියල්ල ඇත්තාවූ විපුලවූ මහත් බවට පැමිණියාවූ ප්‍රමාණයක් නැති වෛර නැති ව්‍යාපාද නැති කරුණාව සමග පැවති සිත පතුරුවා වාසය කෙළේය. මුදිතාව සමග පැවති සිතින්ද, එක් දිශාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවන දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද, මෙසේ උඩද, යටද, සරසදැයි යන සෑම කල්හි සෑම තන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තාවූ විපුලවූ මහත්වූ අප්‍රමාණවූ වෛරනැත්තාවූ ක්‍රොධ නැත්තාවූ සතුටු සමග පැවති සිත පතුරුවා වාසය කෙළේය. මධ්‍යස්ථතාව සමග පැවැති සිතින්ද, එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවන දිසාවද, එසේම තුන්වන දිසාවද එසේම සතරවෙනි දිසාවද, මෙසේ උඩද, යටද, සරසදැයි යන සෑම කල්හි සෑම තැන්හි පැතිර පවතින බැවින් සියල්ල ඇත්තාවූ විපුලවූ මහත් බවට පැමිණියාවූ ප්‍රමාණයක් නැත්තාවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කෙළේය. ශ්‍රාවකයන්ටද, බඹලොව බ්‍රහ්මයාගේ සහභාවය පිණිස මාර්ගය දේශනා කෙළේය.

“පින්වත්නි, ඒ කාලයේදී මහා ගොවින්ද බ්‍රාහ්මණයාගේ ශ්‍රාවක කෙනෙක් සියලු ආකාරයෙන් සියලු අනුශාසනාව දැනගත්තාහුද, ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති බඹලොව උපන්හ. යම් කෙනෙකු සර්වප්‍රකාරයෙන් එක් අනුශාසනාවක්වත් නොදනිද්ද ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් නිර්මානරතී දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් තුසිත දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණියාහුය. ඇතැම් කෙනෙක් තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියාහ. ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. යම් කෙනෙක් සර්වප්‍රකාරයෙන් මේ සියල්ලටම වඩා අතිශයින් ලාමකවූ ගතියක් සම්පූර්ණ කළාහුද, ඔව්හු ගාන්ධර්ව නිකාය සම්පූර්ණ කළාහුය. වෙසේ ඒ සියලු කුලපුත්‍රයන්ගේ පැවිද්ද හිස් නොවීය, වඳ නොවීය, ඵල සහිත විය.

“භාග්‍යවතුන් වහන්සේ එය සිහි කෙරේදැයි” ඇසුවේය. “පඤ්චසිඛය, මම එය සිහි කරමි. මම ඒ කාලයේදී මහා ගොවින්ද බ්‍රාහ්මණ වූයෙමි. මම ඒ ශ්‍රාවකයන්ට බඹ ලොව බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස පවතින මාර්ගය දේශනා කෙළෙමි. පඤ්චසිඛය, ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇලීම පිණිසද නොපවතී. කෙලෙස් දුරු කිරීම පිණිසද නොපවතී, කෙලෙස් සංසිඳවීම පිණිසද නොපවතී, සංසාර වෘත්තය විශෙෂයෙන් දැනගැනීම පිණිස හෙවත් ඉතා උසස් ඤාණ ලාභය පිණිස නොපවතී. සම්‍යක් සම්බෝධිය ලැබීම පිණිසද නොපවතී. කෙලෙස් නැතිකර ලබන නිර්වාණය පිණිසද නොපවතී, බඹලොව ඉපදීම පිණිසම පවතී. පඤ්චශිඛය, මාගේ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිසද, සසර නොඇලීම පිණිසද කෙලෙස් දුරුකිරීම පිණිසද, කෙලෙසුන් සංසිඳවීම පිණිසද, විශිෂ්ට ඤාණ ලාභය පිණිසද සම්‍යක් සම්බෝධිය පිණිසද, කෙලෙස් නැතිකිරීමෙන් ලබන නිර්වාණය පිණිසද පවතී. එනම් මේ අංග අටකින් යුක්තවූ ආර්‍ය්‍ය මාර්ගයයි, ඒ අට කවරේද යත්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාය සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සම්‍යක් සමාධිය, යන මේයි. පංචශිඛය, ඒ මේ බ්‍රහ්මචර්‍ය්‍යාව ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිසද, සසර නොඇලීම පිණිසද, කෙලෙස් දුරුකිරීම පිණිසද, කෙලෙස් සංසිඳවීම පිණිසද, ඉතා උසස් ඤාණ ලාභය පිණිසද, සම්‍යක් සම්බෝධිය පිණිසද, නිර්වාණය පිණිසද පවතින්නේය.
“පංචශිඛය, යම් ශ්‍රාවක කෙනෙක් සියලු ආකාරයෙන් මාගේ අනුශාසනාව දැනගනිත්ද, ඒ ශ්‍රාවකයෝ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ හිතේ නිදහසද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්ම භාවයේදීම තමන්ම ඉතා උසස්ඥානයෙන් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරත්. යම් ශ්‍රාවකයෙක් සියලු අනුශාසනාව දැන නොගණීද, ඒ ඇතැම් කෙනෙක් ඕරම්භාගිය (යට භජනය කරන) යයි කියනලද කාම භාවයෙහි රැහැන් පහ නැති කිරීමෙන් ඕපපාතික වෙත්. ඒ බඹලොවදීම පිරිනිවන් පාන ස්වභාව ඇත්තෝ වෙත්. ඒ බ්‍රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වභාව ඇත්තෝ වෙත්. යම් කෙනෙක් සර්ව ප්‍රකාරයෙන් සියලු අනුශාසනාව දැන නොගනිත්ද ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සංයෝජන) රැහැන් නැතිකිරීමෙන් රාග ද්‍වෙෂ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වෙත්. එක් වරක්ම මේ ලොවට උත්පත්ති වශයෙන් පැමිණ සංසාර දුක කෙළවර කෙරෙත්. යම් ශ්‍රාවකකෙනෙක් සර්වප්‍රකාරයෙන් සියලු අනුශාසනාව නොදනිද්ද, ඒ ඇතැම් කෙනෙක් තුන් ආකාර (සංයෝජන) රැහැන් නැතිකිරීමෙන් ශ්‍රොතාපන්න පුද්ගල වෙත්. අපායෙහි වැටෙන ස්වභාව ඇත්තෝ නොවෙත්. අර්හත්වයට පැමිණීම නියතකොට ඇත්තෝ වෙත්. සම්බෝධිය පිහිට කොට ඇත්තෝ වෙත්. පංචසිඛය, මෙසේ ඇති කල්හි මේ සියලු කුල පුත්‍රයන්ගේ මහණකම හිස් නොවෙයි, වඳ නොවෙයි, විපාක සහිත වෙයි, දියුණුව සහිත වේයයි” භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මය මෙසේ දේශනා කළෝය.

සතුටු සිත් ඇති පංචශිඛ ගාන්ධර්ව පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැදකුණුකොට (ගෞරව දක්වා) එහිදීම නොපෙනී ගියේය.

Devider 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.