MN 03-05-04. නන්දකොවාද සූත්‍රය

nandakovada

§1.  මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු මහසිටුහු කරවා ලු  
ජේතවන නම්වූ ආරාමයෙහි වැඩවසනසේක.

§2.. එකල්හි  මහා ප්‍රජාපතී ගෞතමී  පන්සියයක් පමණවූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව  සිට භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.

 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරණ සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරණ සේක්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම දේශනා  කරණ සේක්වා” යනුයි.

§ 3. “එකල්හි  ස්ථවිර භික්ෂූහු වාරයෙන් වාරයට  හික්ෂුනි ආරාමයට ගොස්  භික්ෂූණීන්ට අවවාද අනුශාසනා කරත්. එනමුත් ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් සිය වාරය පැමිණි විට එසේ ගොස්   භික්ෂූණීන්ට අනුශාසනා කරන්ට කැමැති නොවිය. [ අටුවාව : භික්ෂුණි ශාසනය පිහිටුවීමේදී ඇතිකළ ප්‍රධාන විනය නීති 8 න් එකක් නම් සෑම  දෙසතියකට වරක්ම භික්ෂුණින් විසින් ස්ථවිරයන් වහන්සේ කෙනෙකුගෙන් අවවාද අනුසාසනා ලැබිය යුතු බවයි.]

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට අමතා ” භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද කවරෙකුගේ වාරය වේදැයි” ඇසූහ.

“ස්වාමීනි,  භික්ෂූණීන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරය වේ. ස්වාමීනි, ආයුෂ්මත් නන්දකස්ථවිරයන් තමාගේ වාරය වුවද ආයුෂ්මතුන්  භික්ෂූණීන්ට අවවාද කරන්ට යන්නට කැමැති නො වේයයි” කීය.
[අටුවාව: පෙර අත් බවයක නන්දක ස්ථවිරයන් රජෙකුව සිටි බවද, මේ භික්ෂුණියන් ඒ භවයේදී රජුගේ අන්තඃපුරයේ භාර්යාවන් ලෙස සිටි බවත්,  සිය අභින්ඥා  නුවනින් ඒ දුටු නන්දක ස්ථවිරයන්,  තමන් මේ භික්ෂුනීන්ට අවවාද කරන්නට යාම දක්නා තවත් අභිඥා ලාභී භික්ෂුවක් තමන් තවමත් පෙර හවයේ අඹුවන් ප්‍රිය කරන්නේ යැයි සිතමින් පව් කර ගනිතියි සිතාය. එනමුත් ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ගේ දේශනාවෙන් එම භික්ෂුනීන්ට වන ප්‍රගතිය දක්නා භාග්‍යවතුන් වහන්සේ නන්දක ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කරන ලෙස වදාළ සේක ]

§4.  එකල්හි  භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ නන්දකස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂුණීන්ට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, නුඹ භික්ෂුණීන්ට ධර්ම කථාවක් කරවයි” (වදාළේය.)
“එසේය ස්වාමීන් වහන්සැයි,  පිළිගත් 
ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්  වහන්සේ  පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවර පිඬුපිණිස පිඩු පිණිස හැසිර  දානයෙන්  පසු  දෙවැන්නෙකු ඇතිව [භික්ෂුණින් හමුවීමේදී තනිව නොයා යුතු බවට වන විනය නීතියක් පනවා ඇත.] භික්ෂුණින් හුන්නාවූ රාජකාරාමය  වෙත  එළඹියේය.

“එහි  භික්ෂුණීහු දුර  එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවනලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදූයේය. ඒ භික්ෂුණීහුද ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත් පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ  මෙසේ ප්‍රකාශ කෙළේය.

§ 5. “නැගණිවරුනි, ප්‍රශ්න කොට කීමක් ලෙස අද දේශනය වන්නේය. ඔබට වැටහේ නම් වැටහුනේයැයි කිව යුතුය.  නොවැටහේ නම් නොවැටහෙන බව කිව යුතුය. මේ ධර්ම කාරනා ගැන සැකයක් හෝ අවිශ්වාසයක් වේ නම්, ‘ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ”යි, මගෙන්ම ඇසිය යුත්තේය.’ යි ප්‍රකාශ කෙළේය.

“ස්වාමීනි, නන්දක ස්ථවිරයන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල ආකාරයෙන්ම ධර්ම ශ්‍රවනය කරන්නට අප කැමැත්තෝ වෙමු යි භික්ෂුණීහු කීවාහුය.

§ 6. “නැගණියෙනි ,  ඇස නිත්‍යයද? අනිත්‍යයද?”
“ස්වාමීනි, අනිත්‍යය”
“යමක්  අනිත්‍ය නම් එය දුකක් හෝ සැපක්වේ ද?”
“ස්වාමීනි, දුක්ය”
“යමක්  අනිත්‍ය නම් දුක් නම් විපරිනාම වන  ස්වභාව ඇත්තේ නම් එය, මාගේය එය මම වෙමි”යි, එය මාගේ පැවැත්ම යැයි  දැකීම සුදුසුද?”
“ස්වාමීනි, සුදුසු නොවේමය”

“නැගණිවරුණි,  කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය
“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’
“ස්වාමීනි, අනිත්‍යය”
“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යය නම් එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුකය.
‘යමක් අනිත්‍යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්‍යාත්මික ආයතන සය අනිත්‍ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමය.

§ 7. “නැගණිවරුනි,  රූපයෝ නිත්‍යයද? අනිත්‍යයද ?”
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, ලෙස  දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”

“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද?”
ශබ්දයෝ නිත්‍ය හෝ
අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?”?
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍ය වෙත්.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි, දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍ය වෙත්යයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමයි.”

§ 8. “නැගණිවරුනි, මේ ගැන කුමක් හඟිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍යද? නැතිනම්  අනිත්‍යද?  ”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක්  අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැක්මට සුදුසුද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“නැගණිවරුනි, මේ ගැන කුමක්  හඟිව්ද? සොතවිඤ්ඤාණය නිත්‍යයද?  අනිත්‍යයද? ”
“ස්වාමීනි, අනිත්‍යය.”
“ඝාණවිඤ්ඤාණය නිත්‍යයවේද?  අනිත්‍යය වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? ජිව්හා විඤ්ඤාණය නිත්‍වේද? අනිත්‍යය වේද?”
“ස්වාමීනි අනිත්‍යය”
“නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? මනොවිඤ්ඤාණය නිත්‍වේද? අනිත්‍ය වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක්  අනිත්‍යද, එය දුක්වේද?  සැප වේද?’
“ස්වාමීනි, දුක්ය.”
“යමක්  අනිත්‍ය නම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, මෙය නුසුදුසුමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි,  මෙසේ මේ විඤ්ඤාණකායයෝ සදෙනම අනිත්‍යයෝයයි අප විසින් මින් පෙරදීම විදර්ශනා කොට ලත්  යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමැයි.”

lamp

§ 9. “නැගණිවරුනි,  ඇවිලෙන්නාවූ යම් තෙල් පහණක තෙල් අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේ, පහන් වැටියද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීය , පහන් සිළුවද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීය , ආලොකයද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීය.,

එසේ වූකල නැගණිවරුනි, යමෙක්  මෙසේ කියන්නේය, ‘ඇවිලෙන්නාවූ මේ තෙල් පහණෙහි තෙල අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන්වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. ඒ නමුත් මේ පහණේ  ආලෝකය ,  නිත්‍යය. ස්ථිරය, ශාස්වතය, වෙනස් නොවන ස්වභාව ඇත්තීයයි’ (කියන්නේද), නැගණිවරුනි, එසේ කියන්නාවූ තැනැත්තා සැබෑවක් කියන්නේද?”

“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, පහන්සිලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එහි ආලොකය අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේයයි කියනුම කවරේද?”

“නැගණිවරුනි, මෙපරිද්දෙන්ම මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යයය.  ‘අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නම්  නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය. නොනැසෙන ස්වභාව ඇත්තේයයි’ යමෙක් කියන්නේ වේ නම්, නැගණිවරුනි, එසේ කියන්නාවූ අය මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ඒ ඒ වේදනා උපදින හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගත්තාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් හටගත් වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
[තජ්ජම් තජ්ජම් පච්චයම් පටිචච තජ්ජා වේදනා උප්පජ්ජන්ති. : ඇසද  රූපයද රූප විඥානය එක්වීම රූප ස්පර්ශය ය. මේ ඇස නිසා ඇතිවන්නාවූ වේදනාව ඇතිවීමට ප්‍රාථමික හේතුව වේ. ඇස නිරුද්ධ වුවහොත් ඇසේ ස්පර්ශයට හේතුවන කාරණාවක් ඉවත් වෙයි. එවිට ඇසේ ස්පර්ශය නොසිදු වේ. එසේ එම ස්පර්ශයේ නැවතීම ඇස නිසා උපදනා වේදනාවන්ගේ ද නැවතීම වෙයි.]

“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”

tree-clipart-

§ 10. “නැගණිවරුනි, දැඩි අරටුවක් සහිත මහා වෘක්ශ්ශයක් වේද එහි  මුලත් අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේ, කඳත් අනිත්‍යවූයේ වෙයි. වෙනස්වන ස්වභාව ඇත්තේ වෙයි., අතු හා කොළද අනිත්‍යවූයේ වෙයි, වෙනස්වන ස්වභාව ඇත්තේ වෙයි,, සෙවනැල්ලද අනිත්‍යවූවා වෙයි, පෙරළෙන ස්වභාව ඇත්තීද වෙයි,,

නැගණිවරුනි, යමෙක්  මේ මහත්වූ වෘක්ෂයාගේ මුල අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. කඳත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. එසේ මුත් මේ වෘක්ෂයේ සෙවනැල්ල ,  නිත්‍යවූ ස්ථිරවූ සදාකාලිකවූ වෙනස් නොවන්නකැයි  කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ තැනැත්තා  සත්‍යය වුවක්  මනාකොට කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, 
සාරවත්වූ බිමක පිහිටියාවූ  මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, කඳත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, අතු හා කොළත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, ගසේ සෙවනැල්ල  අනිත්‍යවූ වෙනස්වන බවක් ඇත්තීයයි කියනුම කවරේද?”

‘නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් ” මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යයෝය, වෙනස්වන ස්වභාව ඇත්තෝය. ඒ නමුත් බාහිරවූ ආයතන සදෙන නිසා ඇතිවෙන යම් සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ වූ විඳිමක් වේද , එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේය” යි කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?”
“එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ඒ වේදනාව උපදින හේතූන් ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් උපදින වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.”

slaughering-cow

§ 11. “නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගව ඝාතකයෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගව දෙනක් මරා සියුම්වූ මස්ගෙරි කපන කැත්තෙන් ගවදෙන මසටද තුවාල නොකොට, සමටද තුවාල නොකොට, සමත් මසත් අතර බැඳුණු යම් නහර වැදලි ඇත්නම් ඒ ඒ නහරවැදලි පමණක් තියුණු ආයුධයෙන් කපන්නේද, සිඳින්නේද, කපා සිඳ සමගසා ඒ පිට සමින්ම ඒ ගවදෙන වසා පෙරසේම ඒ ගවදෙන ඒ සමින්ම  යුක්තවූවායයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන තැනැත්තේ මනා කොට කියන්නේවේද?”
“ස්වාමීනි, එසේ නොවේය.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ ගවදෙනගේ සම හා ඇයගේ  ශරීරය යන දෙක එකට නොබැනදී  වසාදමා පෙර සේම, මේ දෙන මේ සමින් යුක්ත වූවායයි කියන්නේ වේද, එතකුදු වුවත් ඒ සමින්ම යුක්ත නොවන්නීය.”

§ 12. “නැගණිවරුනි, මා විසින් මේ උපමාව අර්ථ හැඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථයවේ.

  • නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙනාට  නමකි.
  • නැගණිවරුනි, පිට සම යනු බාහිර ආයතන සයට  නමකි.
  • නැගණිවරුනි, අතර බැඳුණු නහර ආදිය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට නමකි.
  • නැගණිවරුනි, සියුම්වූ ගෙරිකපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට නමකි.
  • ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳියි. අතර ඇති සංයොජන අතර ඇති බන්ධන සිඳියි, කපයි.

§ 13. “නැගණිවරුනි, බොධ්‍යංග ධර්ම සතක් වෙත්. මේ සත්  ධර්මයන  වැඩූ කල,  බහුල වශයෙන් බොහෝ වශයෙන්ක වැඩු කළ,  භික්ෂුවක්  ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තම විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කෙරේ,

ඒ කවර සතක්ද යත්?

  • නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුව   විවේකය ඇසුරු කළාවූ, විරාගය, ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ සතිය (සති සම්බොජ්ඣංගය) වඩයි,
  • ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි,
  • විරියසම්බොජ්ඣංගය වඩයි,
  • පීතිසම්බොජ්ඣංගය වඩයි,
  • පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි,
  • සමාධි සම්බොජ්ඣංගය වඩයි,
  • විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, කෙලෙසුන් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයි,

නැගණිවරුනි, මේ සප්ත  ධර්මයන්  වඩනලද විට, බහුල වශයෙන් නැවත නැවත  කරනලද විට  භික්ෂුවගේ  ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියට අර්හත්ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේ, ඒ මේ බොධ්‍යංගධර්ම සත වෙත්ය”යි ප්‍රකාශ කෙළේය.

§ 14. ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට මේ  අවවාද දේශනාව නිමා කොට “නැගණිවරුනි, දැන් විසිර යව්. මේ දේශනාව හමාර කරන්නට සුදුසු කාලයයි යෙදවීය.” (පිටත්කෙළේය.)
ඉක්බිති ඒ භික්ෂූණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැඟිට ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ, ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේ  වැඩ හුන් තැනට එළඹුනාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව  සිට්  ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මෙහෙණිනි, යව්. යාමට සුදුසු කාලයයි” වදාළේය.
“ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්‍රදක්ෂිණා කොට පිටත්ව 
ගියාහුය.

§ 15.  භාග්‍යවතුන්වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි,  තුදුස්වක් පොහෝ දිනයෙක සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නැත. ‘තුදුස්වක් සඳ අඩු වූයේම වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූණීහු නන්දකගේ ධර්මදෙශනාවෙන් සතුටු වූවාහුම වෙත්. එහෙත් ඔවුනගේ අභිප්‍රාය [අරහත් ඵලය සාක්ෂාත් කර ගැනීම]සම්පුර්ණ වී නැත..”

§ 16.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. “නන්දක, එසේවීනම් ඔබ  හෙටද ඒ භික්ෂූණීන්ට ඒ අවවාදයෙන්ම අවවාද කරන්නෙහි යයි” වදාළේය. “එසේය, ස්වාමීනියයි” ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්  භාග්‍යවතුන් වහන්සේට පිළිවදන්  දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්  පසුදාද පෙර පරිදිම දහවල්  දානය වැළදීමෙන් පසු ස්ව උන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙම මෙය වදාළේය.

§ 17. “නැගණිවරුනි, ප්‍රශ්නකර කිරීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි, කියයුතු වන්නේය. යමක් ගැන වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද? ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ’යි එය මගෙන්ම ඇසිය යුතුය.
“ස්වාමීනි, ආර්‍ය්‍යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරයිද එතෙකින් සතුටු සිත් ඇත්තෝ කැමැතිවූවෝ වෙමු.”

§ 18 “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද, ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක හෝ සැප වේද?” “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.” “නැගණිවරුනි, ඒ කුමකැයි හඟිව්ද? කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“නාසය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“දිව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“කය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“සිත නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක්  අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එය 
එසේ සුදුසු  නොවේමැයි.”

“ඊට හේතු කවරේද?”

“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි පළමුවම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.” [අටුවාව :විදර්ශනා ඥානය  වඩා එම භික්ෂුණින් ඒ වන විටත් ආයතන සයේ අනිත්‍යතාව පසක් කරගෙන සිටියහ.]

“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දකින්නාවූ  ආර්‍ය්‍යශ්‍රාවකයෙකු ෂඩ් ආයතන යන්ගේ අනිත්‍යභාවය  එසේම වැටහෙයි.”

§ 19.  “නැගණිවරුනි, මෙයටත් පිළිතුරු දෙව.  රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේ.”
“නැගණිවරුනි, එය කුමකැයි හඟිව්ද? ශබ්දයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයය.”
“ගන්ධයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“රසයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“ස්පර්ශයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“ධර්මයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙද්ද?”
“ස්වාමීනි, අනිත්‍යයහ.”
“යමක්  අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක් අනිත්‍ය නම්,  දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ සුදුසු  නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නා ලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත. නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත්වූ නුවණින් දක්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේයි.”

§ 20 . “නැගණිවරුනි, මෙයටත් පිළිතුරු දෙව., චක්ඛු විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක්  අනිත්‍යනම්, එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුක්ය.”
“යමක්  අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”

§ 21 . ‘නැගණිවරුනි, මෙයටත් පිළිතුරු දෙව. සොත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍යය හෝ වේද?” “ස්වාමීනි, අනිත්‍යය.”
“ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“ජිව්හාවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක්  අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වේද?”
“ස්වාමීනි, දුකය.”
“යමක්  අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?”
“ස්වාමීනි, එසේ සුදුසු නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මෙසේද මෙසේ විඤ්ඤාණ කායයෝ සදෙන අනිත්‍යයෝයයි, අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.”
“නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි තත්වූ පරිද්දෙන් මනානුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”

lamp

§ 22. “නැගණිවරුනි, යම්සේ ඇවිලෙන්නාවූ තෙල් පහනක තෙල් ද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේ, පහන් වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේ වේ, පහන් සිලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තී වේ, ආලෝකයද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තක් වේ.

නැගණිවරුනි, යමෙක් මේ ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි තෙලනම්  අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාවයම ඇත්තීය. පහන්සිලද  අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තීය.  එනමුත්මේ  පහණේ ආලෝකයකය ,  නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි, කියන්නේද නැගණිවරුනි, එසේ කියන්නාවූ මිනිසා  ඇත්තක් කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. එසේ හෙයින් එම පහනේ 
ආලෝකය අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”

“නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක්  මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යයහ. අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එම විඳීම නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන්නා ඇත්තක් කියන්නේද?”
“ස්වාමීනි, එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
‘ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නා වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා හටගන්නා ඒ ඒ හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතූන්ගෙන් හටගත් වේදනාවෝ නිරුද්ධ වෙත්මයි.”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.”

The concept of the dead and the living tree

§ 23 . “නැගණිවරුනි, යම්සේ   සාරවත්වූ  බිමක පිහිටියාවූ මහත් වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේය , කඳත් අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තේය, අතු හා කොළත් අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තේය , සෙවනැල්ලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේය ,

නැගණිවරුනි, යමෙක්  මේ මහත්වූ වෘක්ෂයාගේ මුලනම් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය, කඳත් අ නිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. එසේ නමුත් මේ ගසේ  සෙවනැල්ල නම් නිත්‍යය. ස්ථිරය, සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියන්නේ නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ කියමන්  මනා කොට කියන්නේද?”

“ස්වාමීනි, සාරවත්වූ බිමක පිහිටියාවූ  මේ මහත්වූ වෘක්ෂයේ  මුලත් අනිත්‍යනම්, විපරිනාම ස්වභාව ඇත්තේනම් කඳත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් අතු හා කොළත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේනම් ඒ ගසේ සෙවනැල්ල අනිත්‍යවූ වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?”

නැගණිවරුනි, එපරිද්දෙන්ම මේ බාහිරවූ ආයතනයෝ සදෙන  අනිත්‍යයහ. වෙනස්වන ස්වභාව ඇත්තාහ. බාහිරවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය. ස්ථිරය. සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියා නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ කියමන  මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිසා ඒ ඒ හෙතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්.
ඒ ඒ වේදනා හටගන්නාවූ හෙතූන් නිරුද්ධවීමෙන් ඒ ඒ වේදනා උපදින්නාවූ හෙතූන්ගෙන් හටගන්නාවූ වේදනාවෝ නිරුද්ධ වෙත්මයි”
“නැගණිවරුනි, යහපත යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.

§ 24 නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසත් පලුදුනොකොට පිටත සමත් පලුදුනොකොට අතර බැඳී පවත්නා සිවියද, අතරවූ නහරද, අතරවූ බැඳුම්ද ඇත්තේද, එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේද, කපන්නේද, නැවත නැවත කපන්නේද, සිඳ කපා නැවත නැවත කපා පිට හම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා දමා පළමුසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේය. නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?”
“ස්වාමීනි මෙය එසේ නොවේමැයි.”
“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, මේ දක්ෂවූ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතවැසියා හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසද පලුදු නොකොට පිට සමද පලුදු නොකොට එහි අතර සිවිද අතර නහරද අතර බැඳුම්ද ඇත්නම් එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේය. කපන්නේය, හාත්පස කපන්නේය. සිඳ කපා හාත්පස කපා පිට සම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා, හෙතෙම පෙරසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේද එතකුදු වුවත් ඒ ගවදෙන ඒ සමින් යුක්ත නොවූවා වෙයි.”
“නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථය හැඟවීමට දක්වනලදී. මෙය එහි අර්ථය වේ නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතන සයට මෙය නමකි නැගණිවරුනි, පිටත සම යනු බාහිර ආයතන සයට මෙය නමකි. නැගණිවරුනි, අතරවූ සිවිය අතරවූ නහරය, අතරවූ බැඳුම්ය යනු නන්දිරාගයයි කියනලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, තියුණුවූ ගෙරි කපන කැත්තය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්‍ය්‍යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති ක්ලෙශය අතරවූ සංයොජනය අතරවූ බන්ධනය, සිඳියි, කපයි, හාත්පසින් කපයි.

§ 25 “නැගණිවරුනි, යමෙකුන් වඩනලද බහුලවශයෙන් කරණලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියට අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද ඒ බොජ්ඣංග ධර්ම සතක් වෙත්. කවර සතක්දයත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් දුරුකිරීම පිණිස පවත්නාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, ධම්මවිවය සම්බොජ්ඣංගය වඩයිද, විරිය සම්බොජ්ඣංගය වඩයිද, පීති සම්බොජ්ඣංගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයිද, නැගණිවරුනි, මොහු වනාහි බොජ්ඣංග සතවෙත්. යම් ධර්ම කෙනෙකුන් වඩනලද බහුල වශයෙන් කරනලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඔහුයි.

§ 26.“ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට නැගණිවරුනි, යව් මේ සුදුසු කල්වේයයි” කාලයද දැන්වීය.
එකල්හි ඒ භික්ෂුණීහු අයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට, භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන්වහන්සේට වැඳ එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවූම ඒ භික්ෂූණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය (වදාළේය.) “භික්ෂුණීවරුනි, මේ සුදුසු කාලය වේයයි” (වදාළේය.)
ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට ගියාහුය.

§  27. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුණීන් බැහැරගියාවූ නොබෝ කල්හි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, යම්සේක් එදවස්හිවූ පසළොස්වක් පොහොය ඇතිකල්හි සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝදෙනාට සැකයක් හෝ විමතියක් හෝ නොවේද සඳ සම්පූර්ණවූයේම වේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂුණීහු නන්දකගේ ධර්මදෙශනාවෙන් සතුටුසිත් ඇත්තාහු ව්‍ වුහ , ඔවුනගේ අභිප්‍රාය  සම්පූර්ණවූවා ද වෙති. .

මහණෙනි, ඒ පන්සියයක් පමණ භික්ෂුණීන්ගෙන් පශ්චිමවූ යම් භික්ෂුණියක්වීද, ඕතොමෝ සෝවාන් වූවා අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තී නියත වූවා සම්බොධිය පිහිටකොට ඇත්තීවීයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

English Version STAMP

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.