MN 01-01-01 මූලපරියාය සුත්‍රය

පුජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද මහා තෙරුන් කල සුත්‍ර විවරණ අසන්න CLICK ABOVE
කුලියාපිටියේ දෙලන පන්සලේ බුදු මැදුරේ

සුත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ පළමුවන සුත්‍රය වන මුල පරියාය සුත්‍රය. නවක ශ්‍රාවකයෙකුට මුලින්ම කියවා වටහාගන්නට අසීරු තරම් ගැඹුරු එකකි. ඒ නිසා පළමුව වෙනත් සුත්‍ර කිහිපයක් කියවා ධර්මය ගැන කිසි යම් අවබෝධයක් ලබා ගත පසු කියවීම වඩා ඵල දායක වනු ඇත.

PLEASE READ THE ENGLISH VERSION

§ 1. මා විසින් මෙසේ අසන ලදී. 1
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි මහසාල  රුකක් මුල වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍ර ධර්මය වදාළසේක.

[Note1: භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය දේශනාකළේ බ්‍රාහ්මණ ආගමෙන් නිකුත්ව මේ සාසනයේ පැවිදි වූ භික්ෂුන් පන්සියයක් පමණ වූ විසාල පිරිසකට බව අටුවාව කියයි. මේ පිරිස වේදයෙහි මනා පරිචයක් ලැබුවන් බවත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන අවශ්‍ය තරම් ඇල්මක් ශ්‍රද්ධාවත් නැති නිසා සම්බුද්ධ දේසනාව / ධර්මය නොයෙක් විට පරිභවයට පත් කල බවත්, “අපේ ආගමේ හැටියට…” ආදී ලෙස බමුණු ශාස්ත්‍රයන් හා සද්ධර්මය සසඳමින් උන් බවත්, මේ සුත්‍රය ඔවුනට වදාළේ ඔවුනට බ්‍රාහ්මන ඉගැන්වීම් වල ඇති වරද දක්වමින් ඔවුනහේ පුහු උඩඟු බව දුරු කිරීම පිණිස බවත් අටුවාව වැඩි දුරටත් කියයි.]

§ 2. “මහණෙනි, තොපට සියලු සත්කාය ධර්මයන2 ට මුල්වන මුල කාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි”. වදාළ සේක. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

[2: සබ්බ ධම්මං මුල පරියාය: මෙහි “සබ්බ” යන්නෙන් සත්වයාගේ පන්ච උපාදාන ස්ඛන්ධයන් හා බැදී ඇති මඥතාවයට තුඩුදෙන ධර්මයන් (සක්කාය සබ්බ) බව අටුවාව කියයි. යමෙක් විමුක්තිය කරා යන්නට ඇති ඉඩ අහුරන්නේ මේ මමක් ඉන්නවාය යන සක්කාය දිට්ඨියම වේ. මේ දෙසනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දෘතග්ජන භුමියේ සිට පටන්ගන අරහත් භුමිය තෙක් ඉන්නා යම් තරමක් සත්වයන්ගේ මෙම මමග්නතාවය කෙසේ හල යුතු දැයි නොයෙක් ආකාරයෙන් උගන්වයි. රියනක් පමණ වූ මේ ශරීරයේම ලෝකය පනවා වදාරමි ‘යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සසර නම් සියල්ලට හේතුවන ධර්මය මී මමය කියා ගන්නා ශරීරයේ ය යන අදහසම කුළු ගන්වයි.]

අසෘතවන්ත පෘතග්ජන භුමිය

§ 3 . ” මහණෙනි, මේ ලෝකයෙහි ආර්යයන් නො දක්නා වූ, ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නොහික්මුණාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂවූ, සත්පුරුෂධර්මයෙහි නොහික්මුණාවූ, අශ්‍රැතවත්3 (ආගමාධිගම රහිතවූ) පෘථග්ජන පුද්ගලයා3 , පඨවිය (තද හෝ මොලොක් ස්වභාවය The property of Hardness), හුදු ස්වභාවයේ ඇති දෙයක් ලෙස නොව “මම” හා එක්කොට ගන්නා අයුරින් මේ තදවූ ශරීරය මම ලෙස, මේ පඨවි කොටස “මගේ අතය, මගේ පයය , ආදී ලෙස තද ස්වභාවය “මම:  වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥා විපල්ලාස  වශයෙන්) හඳුනයි.

[3: බොහොමයක් තැන්වල දක්වා ඇති පෘතග්ජනයා ගේ අර්ථ කථනය මෙය වේ. ආර්යයන් නොදන්නාවූ ……. මේ කාරණය ඉතා ඕනෑකමින් තමනට ගලපා බලා මේ එක එක කාරනාවලදී තමා කුමන භූමියක් ඉන්නේදැයි විමසා මේ ප්රුග්ජන භිමියෙන් නික්ම සේඛ භූමියකට යාමට වෙර දරත්වා.]

පඨවිය පඨවිය වශයෙන් හැඳින, පඨවිය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි4 . “මම පඨවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පඨවියෙන් බැහැර ව වූවෙමි” යි හඟියි. “පඨවිය මගේ” යි හඟියි. පඨවිය අභිනන්දනය කෙරෙයි. (See Notes in red Below)5 .  ඒ කවර හෙයින්දයත්   පඨවිය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි

[4: පඨවි, ආපෝ, තෙජෝ, වායෝ ලෙස දැක්වෙන සතර මහා භූතයන් ඒවායේ ස්වභාවය ලෙස නොව ඒවායේ භෞතික ද්‍රව්‍යමය ස්වභාවයෙන් හැඳිනීම නිසා මේ සතර ආකාර ධර්මයන්ගේ පැවැත්ම මම , මගේ පැවැත්ම ලෙස තන්හා දිට්ඨි මාන ලෙස අදහයි.
තද ගතිය මම ලෙස ගත් කල එම මුලාව නොහොත් මෝහය නිසා සිය මුළු පැවැත්ම තුලම කෙලෙස් ගොඩ නගන්නටත් සසර දිගු කර ගන්නටත් ඔහු කටයුතු කරයි. සතර අකාරයක වැරදි පිළිගැනීම් වලට ඔහු පත්වේ.

(1). මේ තදබව (පටවීය) මම වෙමි.
(2) මම පඨවි’යෙහි වෙමි.
(3) මා පඨවිබවෙහි කොටසක්මි.
(4) පඨවිය මගේ අයිතියේ පවතින්නේය, ලෙස මේ අවුල හටගනී. පඨවි පමණක් නොව සතර මහා භූතයන් ම මෙලෙසම ඔහු දකියි, අභිනන්දනය කරයි.

මේ වැරදි වටහාගැනීම (විපල්ලසය”) නිසා ආසාව, කැමැත්ත ලෙස අභිනන්දනය කොට කාම උපාදාන ඇතිවීමටත් අකැමැත්ත නිසා දෝස ලෙස කෙලෙස් උපදවා ගන්නටත් හේතු වේ.]

[5: දනිමි = ජානාති; පිරිසිඳ දනිමි = පජානාති ලෙස පාලි භාෂාවේ ඇති යෙදුම් දෙක ගැන මනා අවබෝධයක් නැතිව ඉතිරි කොටස් වටහා ගැනීම අසීරුවේ. ]

§ 4. ආපය (The property of motion, fluidity ) ආපය වශයෙන් (සංඥා විපර්යාසයෙන්) හඳුනයි. ආපය, ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි.6 “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැරව වෙන්නෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[6: මඥතාව ලෙස පාලි යෙන් දක්වා ඇති මේ ස්වභාවය, මේ සුත්‍රය පුරා යලි යලිත් මතුකරන්නේ මේ හැගීම අප විසින් අනවරප්ත ජීවිතයන් හිදී දරා ආ සිතුවිල්ල නිසාය. එය අත්හැරීමට ඇති අපහසුවද මේ බොහෝ කලක් ප්‍රගුණ කල දරාගත් දෙය අපේ සන්තානයන්හි පැල පදියම්ව ඇති නිසාමය.]

§ 5. තෙජස (The property of hot or coldness) තේජෝ වශයෙන් (සංඥා විපර්යාසවශයෙන්) හඳුනයි. තෙජස තෙජොවශයෙන් හැඳින, තෙජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තෙජසෙහි පිහිටියෙමි” යි හඟියි. “මම තෙජසින් බැහැර ව වෙමි” යි හඟියි. “තෙජස මාගේ” යි හඟියි. තෙජස අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : තෙජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

§ 6 . වායෝව (The property of space or emptiness ) වායෝ වශයෙන් (සංඥා විපර්යාස වශයෙන්) හඳුනයි. වායෝව වායෝ වශයෙන් හැඳින වායෝව (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. “මම වායෝවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායෝවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායෝව මාගේ” යි හඟියි. වායෝව අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : වායෝව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

§ 7. භූතයන්8 (චාතුර්මහාරාජිකයෙන් යට සත්වයන්) භූතයන් වශයෙන් (සංඥා  විපල්ලාසයෙන්)  හඳුනයි.  භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[8:- පහතින්ම ඇති දිව්‍ය ලෝකය වන චාතුර්මහා රාජික දෙව්ලොවින් පහළ ඉන්නාවූ සියළු සත්වයන් මේ “භූත” කොටසට අයත් බව අටුවාව කියයි. දැකීමෙන්, ඇසීමෙන් ඇතිවූ කැමැත්ත ඇති නිසා කෙනෙක් යම් කිසි තලයක උපත පතන්නේ වී නම් එය තෘෂ්ණා මුලික උපතක් ලෙස දැක්වේ. තම අනුන්ට වඩා උසස්ය, පහත්ය, සාමය ලෙස සිතන කෙනෙක් එය මාන මුලික උපතක් ලෙසද, සත්වයා සදාකාලිකය ලෙස සිතන්නේ නම් ඔහු දිට්ඨි මුලික උපතක් ලබයි.]

§ 8. .ඔහු දෙවියන්9, දෙවියන් වශයෙන් (සංඥා  විපල්ලාසයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින තමන් දෙවියන් (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්දනය කෙරෙයි. ඒ කවරහෙයින්ද යත් : දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[9: මාර දිව්‍ය පුත්‍රයා හැර කාම ලෝක සය සහිත දෙව්ලෝවල දෙවියන් මේ කාණ්ඩයට ගැනේ.]

§ 9. ඔහු ප්‍රජාපතීහු10 (මාරයා) ප්‍රජාපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජාපතීහු, ප්‍රජාපතීහු වශයෙන් හැඳින ප්‍රජාපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජාපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජාපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජාපතී මගේ” යි හඟියි. ප්‍රජපතීහු අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : ප්‍රජාපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[10: ප්‍රජාපති යනු මැවීමට ප්‍රධානියා වුවාය. හින්දු ඉගැන්වීමේ ඉන්ද්‍ර දීව්‍ය රාජ ලෙස දැක්වුයේ මවන්නා ය. එහෙත් මෙහි ප්‍රජාව ගේ පාලකයා ප්‍රජාපති බවද පෘතග්ජන සියල්ලන්ම පාලනය කරන්න “මාරයා” නිසා මෙහි ප්‍රජාපති ලෙස දැක්වෙන්නේ මාරයා බව අටුවාව කියයි.]

§ 10. ඔහු බ්‍රහ්මයා11 බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි නිත්‍යතාදි ගුණයන් පිහිටියේයයි හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[11: විශ්වය පටන් ගත් දින උපන් පළමුවැනි දේව ආත්මය මහා බ්‍රහ්මයා “බවත් සෙසු දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය ප්‍රජාව ඔහු විසින් මවන ලද බවත් බ්‍රාහ්මණ ඉගැන්වීම වේ. ඒ මහා බ්‍රහ්මයා ද කෙනෙක් (මම ක්) ලෙස හැඳිනීම පෘතග්ජනයා කරයි.]

§ 11 . ආභස්සර (බ්‍රහ්ම)යන් ආභස්සරයන් වශෙයන් හඳුනයි. ආභස්සරයන් වශෙයන් හැඳින අභාස්සරයන් (තණ්හා මඤ්ඤනා දිවශයෙන්) හඟියි. අභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආභස්සරයන් මගේ” යි හඟියි. අභස්සරයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[12 ; ආභස්සර බ්‍රහ්ම ලෝකය යනු දෙවෙනි ධ්‍යානය තෙක්ම සිත වැඩු යෝගීන් මල පසු උපත ලබන්නාවූ බ්‍රහ්ම තලයයි. ]

§ 12. සුභකින්න13 බ්‍රහ්මයන් සුභකින්නයන් වශෙයන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශෙයන් හැඳින සුභකින්නයන් (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[13 ; තෘතිය ධ්‍යානය ලබා මියගියවුන් උපත ලබන මේ ලොව උපන් සියළු බ්‍රහ්මයන් ගැන මින් කියවේ.]

§ 13. වෙහප්ඵලයන්14 වෙහප්ඵලයන් වශෙයන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශෙයන් හැඳින වෙහප්ඵලයන් (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීම නැති හෙයිනැ යි කියමි.

[14: චතුර්ත ධ්‍යාන ලාභී දෙවියන් මේ තලයෙහි වසයි.]

§ 14. අභිභූන්15 (සංඥාවන් නොමැති ලොව) අභිභූන් වශෙයන් හඳුනයි. අභිභූන් අභිභූන් වශෙයන් හැඳින අභිභූන් (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීම නැති හෙයිනැ යි කියමි.

[15: අභිබවන එනම් සියල්ලෙහි සියළු විදර්ශනාවෙහි දක්ෂ වූ දෙවියන්]; 

§ 15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල – විපාක – ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්ධ) අකාසානඤ්චායතනය වශෙයන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශෙයන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීම නැති හෙයිනැ යි කියමි.

[16 : මේ භුමිය හා මතු දැක්වෙන භුමි තුන අරුප ධ්‍යාන හතර වඩා මිනිස් ලොවෙන් පසු උපදනා අරුපි ලෝක තල යන ලෙස හැඳිනේ. § 18 වන චේදයෙන් උප්පත්ති භුමි ලෙස ඇති වෙනස්බව සම්පුර්ණ වේ.]

§ 16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීම නැති හෙයිනැ යි කියමි.

§ 17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

§ 18. නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය වශෙයන් හඳුනයි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය වශෙයන් හැඳින නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් : නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය පිළිබඳ ඔහුගේ පිරිසිඳ දැනීමක් නැති හෙයිනැ යි කියමි.

§ 19. දක්නාලද්ද (රූපායතන) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශෙයන් හැඳින රූපායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත් : රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීමක් නැති හෙයිනැ යි කියමි.

§ 20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශෙයන් හැඳින ශබ්දායතනය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) තමාගේ යැයි හඟියි. ශබ්දය මම අසන්නේය යි හඟියි. ශබ්දායතනයෙන් බැහැර ම්ම් ඉන්නේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි

§ 21. මුතය (ස්පර්ශයෙන් = හැපීමෙන් ගත් ගන්ධ රස ඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශෙයන් හැඳින මුතය (තණ්හා මඤ්ඤනාදි වශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්ද යත් ” මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

§ 22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන හත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය තණ්හා මඤ්ඤනාදි වශයෙන් හඟියි. විඤ්ඤාතයෙහි (මම ඉන්නේය යි හඟියි. විඤ්ඤාතයෙන් පිට මම ඉන්නේය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයිනද යත්: විඤ්ඤාතය පිළිබඳ ඔහුගේ පිරිසිඳ දැනීමක් නැති හෙයිනැ යි කියමි.

§ 23. ඒකත්වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්ධ) ඒකත්ව වශයෙන් හඳුනයි. එකත්වය එකත්ව වශයෙන් හැඳින මේ සතර එක කොටගත් එකත්වය මම යයි හඟියි. එකත්වයෙහි ( මම ඉන්නේය ය යි) හඟියි. එකත්වයෙන් පිටත (මම ඉන්නේය යි) හඟියි. “එකත්වය මාගේය” යි හඟියි. එකත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: එකත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ දැනීමක් නැති හෙයිනැ යි කියමි.

[ § 18: මේ කොටසේ සහ ඊළඟ කොටසෙහි මේ ක්‍රියාවලිය දෙයාකාරකින් සිදුවන බව පෙනේ. ඒකත්ව යෙන් හා නානත්වයෙන් වශයෙනි. බොහෝ විට ධ්‍යානයනට පත් සේඛ පුද්ගලයා මේ ඒකත්වය නිසා මමංකාරය දුරු කරගන්නට අපොහොසත්ව මේ උගුලෙහි ඇසුවේ. ධ්‍යානයන නොපිවීසුන යෝගියා නානත්වය නිසා ආයතන වෙන් වෙන්ව දකිමින් එහිද මඥනාවය උසුලයි.]

§ 24. නානාත්වය (පඤ්චස්කන්ධය) නානාත්ව වශයෙන් හඳුනයි. නානාත්වය නානාත්ව වශයෙන් හැඳින නානාත්වය මමය යි හඟියි. නානාත්වයෙහි (මම ඉන්නේ ය යි) හඟියි. නානාත්වයෙන් බැහැර මම ඉන්නේ යැයි හඟියි. “නානාත්වය මාගේය” යි හඟියි. නානාත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: නානාත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නොදැනීම (හෙයිනැ) යි කියමි.

§ 25. සර්වය (සියළු සත්කායධර්ම) සර්ව වශයෙන් හඳුනයි. සර්වය සර්ව වශයෙන් හැඳින සර්වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්වය මාගේය” යි හඟියි. සර්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත්:සර්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

§ 26. නිර්වාණය20 (පරම දිට්ඨධම්ම නිබ්බානය) නිර්වාණ වශයෙන් හඳුනයි. නිර්වාණය නිර්වාණ වශයෙන් හැඳින නිර්වාණය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්වාණය මාගේය” යි හඟියි. නිර්වාණය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: නිර්වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

[20: නිබ්බානය මෙහි යෙදෙන්නේ බ්‍රහ්මජාල සුත්‍රයේ දැක්වූ පරිදිම දෙසැටක් මිත්‍යා දිට්ඨි අතරට ගැනෙන චතුත ධ්‍යානය ලැබුවෙක් ඒ ධ්‍යාන සැපය විඳින්නේ මම යැයි මමඥතාවයෙන් එය උපාදානය කිරීමෙන් බව අටුවාව දක්වයි.]

(අශ්‍රැතවත් පෘතග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය නිම යි)

සේඛ විවට්ට භුමිය

§ 27. මහණෙනි, අරහත් ඵලය තවමත් නොලද යම් මහණෙක්21 නිරුත්තර වූ යෝගක්ෂේම සංඛ්‍යාත රහත්බව පතමින් පිළිවෙත් පුරයිද , හෙතෙමේ පඨවිය, පඨවිය වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටි වශයෙන්) මඤ්ඤනා නැත්තේ ඔහු (තෘෂ්ණා හා මාන වශයෙන්) පඨවිය නොගත යුතුය. පඨවියෙහි (පිහිටියෙමි යි) දෘෂ්ටි වශයෙන් නොගත යුතුය. මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණා මාන වශයෙන්) පඨවිය නොගත යුතු වෙයි. පඨවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නොකළ යුතුය. අභිනන්දනය නොකල යුතු වෙයි.

[21 සෝවාන්, සකෘදාගාමි, අනාගාමි යන තුන් තත්වයන්ගෙන් එකක් ලද භික්ෂුව සේඛ තත්වයේ ඉඳිතැයි කියන්නේ අරහත් භ්ක්ෂුව හෙවත් රහතුන් වහන්සේ “අසේඛ” ලෙස හැඳින්වෙන නිසාය. කලයුතු සියල්ල කොට නිමකළ, තවත් කරන්නට කිසිවක් ඉතිරි නොවූ, ගෙන ආ බර බිම් තැබූ පුත්ගලයා අසේඛ ” ලෙස දැක්වේ. ඒ අසේඛ තත්වයට පත්වන්නට වෙර දරන්නා “සේඛ” කෙනෙකි.]

[22: අස්රුතවත් පෘතග්ජනයා පඨවි ය පඨවි ලෙස දන්නා බව (ජානාති” ලෙස දැක්වුව ද සේක පුද්ගලයා පඨවි ය දන්නේ “අභිජානාති ලෙසය. මේ අභ්ජානාති සාමාන්‍ය ප්රුතග්ජනයාගේ දැනීමට ඔබ්බෙන් වූ වඩා නිවැරදි දැනීමකි. නම් උත ඒ අසේඛ රහතුන් ගේ පජානාති ලෙස වන ප්‍රත්‍යක්ෂ ලෙස පිරිසිඳ දැකීමට වඩා පල මට්ටමක දැකීමකි.]

ඒ කවර හෙයින්ද යත්: ඔහු විසින් පඨවි ධාතුව රහත් ඵලය තුලින්ම පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි. අභිනන්දනය නො කල යුතු වෙයි. ඒ කවර හෙයින්ද යත්: ඔහු විසින් පඨවිය රහත් ඵලය ලැබීමෙන්ම පිරිසිඳ දත යුතු හෙයිනැ යි කියමි.23

[23: සේඛ යෝගියාට භාග්‍යවතුන් වහන්සේ මෙහිදී උපදෙස් දෙන්නේ තවමත් ඔහු බිඳ නොදැමූ මඥාතාව තමා කෙරෙහි ඇති බව දැන තෘෂනා සහ මාන ක්ලේශයන් තවමත් සිය සන්තානයේ අනුශය ලෙස ඇති බව දැන , තමා ලබන සියලු අත් දැකීම් අවබෝධයන් අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ලෙස දකින ලෙසය.]

§ 28.- § 49. ආපොධාතුව… තෙජොධාතුව… වායොධාතුව… භුතනය්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නෙවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… එකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය…

§ 50. ඔහු නිබ්බානය. නිබ්බාන වශයෙන් සේඛ භූමියේදී වෙසෙසින් දනී. [අභිජානාති ] (දාෂ්ට ධර්ම) නිර්වාණය නිර්වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්වාණයට යන්නේ “මමය” යි දිට්ඨි වශයෙන් මඤ්ඤනා නොකොට යුතුය. තණ්හා මාන වශයෙන් නොගත යුතුය. මඤ්ඤනා දුරු කල යුතුය.

නිර්වාණයට යාමට මම තැත් කරමි’ හි මම මෙසේ කරන්නේය පිහිටියේ යි (දිට්ඨි මඤ්ඤනා දුරු කල යුතුය. තණ්හා මාන ලෙස මඤ්ඤනා නැති කල යුතු වෙයි. නිර්වාණයෙන් බැහැරව ආත්මය පිහිටියේ ය යි (දිට්ඨි මඤ්ඤනා තණ්හා මාන) මඤ්ඤනා දුරු කල යුතු වෙයි.

“නිර්වාණය මාගේ ය” යි දිට්ඨි මඤ්ඤනා නොකළ යුතු වෙයි. නිර්වාණය (දිට්ඨි මඤ්ඤනායෙන් අභිනන්දනය නො කල යුතුය.

ඒ කවර හෙයින්ද යත්: ඔහු විසින් දාෂ්ටධර්මනිර්වාණය25 පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

ශෛක්ෂයා පිලිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය නිමයි)

පළමුවන ක්ශීනාසව අරහත් භුමිය

§  51 . මහණෙනි, යම් මහණෙක් රහත් වුයේ, සියලු ආශ්‍රව ගෙවා දමන ලද්දේ ද , බඹසර වැස නිම කරන ලද්දේද, සිවු මග ඵල මැනවින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, කෙලෙස්බර හිස් කරන ලද්දේද, ස්වාර්ථ සිද්ධිය (රහත්පලය ) සාක්ෂාත් කරගත්තේ ද, ඇත්තේ, භවබන්ධන ගෙවා දමන ලද්ඇදේද, කෙලෙසුන් කෙරෙන් මුළුමනින්ම මිදුණේ වේ ද, හෙතෙමේත පඨවිය පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් (පජානාති.) දනී.

පඨවිය, පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පඨවිය මම ය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පඨවියෙහි (මම ඉන්නේය යි) නො හඟියි. පඨවියෙන් බැහැර මම වේ25 ය යි නො හඟියි. “පඨවිය මාගේ ය”යි නො හඟියි. පඨවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද හෙයිනැ යි කියමි.

[25: මෝහය හලවිටම රහත්හු පුර්ණ අවබෝධයට පත්වේ. ඒ මොහොතේ සිටම ඔහු තුල තෘෂ්ණාව හා මානය මුළුමනින්ම දුරුවූ ස්වභාවය ඇති වේ.]

§  52 – § 74 . අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තණ්හාදි මඤ්ඤනායෙන්) නො හඟියි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි නො හඟියි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි.

ඒ කවර හෙයින්දයත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය නිමයි)

ක්ශීනාසව අරහත් ද්විතීය භුමිය

§ 75. මහණෙනි, යම් මහණෙක් සියලු ආශ්‍රව ගෙවා දමන ලද්දේ ද , බඹසර වැස නිම කරන ලද්දේද, සිවු මග ඵල මැනවින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, කෙලෙස්බර හිස් කරන ලද්දේද, ස්වාර්ථ සිද්ධිය (රහත්පලය ) සාක්ෂාත් කරගත්තේ ද, භවබන්ධන ගෙවා දමන ලද්දේද, කෙලෙසුන් කෙරෙන් මුළුමනින්ම මිදුණේ වේ ද, , හෙතෙමේත් පඨවිය පඨවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. (පජානාති)

පඨවිය. පඨවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පඨවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පඨවියෙහි (මම අඩංගු වේ යයි) නො හඟියි. පඨවියෙන් බැහැර (මම ඉන්නේය,යි) නො හඟියි.

“ පඨවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. [මගේ දිගු කෙස් කළඹ; මගේ ලස්සන ඇස් ලෙස] පඨවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: රාගය ක්ෂීණ කර වීමෙන් වීතරාග වූ හෙයිනි. 26

[26: මේ කොටස සහ ඊළඟ කොටස් දෙකෙන් දැක්වෙන්නේ රහතුන් වහන්සේ ලෝකය මුළුමනින්ම දැනගත් නිසා දෘෂ්ටියෙන් මිදුනා නොව ඔහු තුල වූ රාග දෝස මෝහ කෙලෙස් මුල් තුනම සහමුලින්ම සිඳලූ නිසා “රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ වේ” යයි ලෙස දැක්වේ, දෝස සහ මෝහ සඳහාද මෙසේම යෙදෙන බව සලකන්න.]

§ 76- §98. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි.

නිර්වාණයෙහි (මම ඉන්නේයයි) මඤ්ඤනා නො කෙරෙයි [‘මම’ නිර්වාණය සාක්ෂාත් කෙළෙමි’යි වශයෙන්] . නිර්වාණයෙන් (බැහැර ම්ම ඉන්නේය.) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)

ක්ශීනාසව අරහත් තෘතීය භුමිය

§ 33. මහණෙනි, යම් ඒ මහණෙක් සියලු ආශ්‍රව ගෙවා දමන ලද්දේ ද , බඹසර වැස නිම කරන ලද්දේද, සිවු මග ඵල මැනවින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, කෙලෙස්බර හිස් කරන ලද්දේද, ස්වාර්ථ සිද්ධිය (රහත්පලය ) සාක්ෂාත් කරගත්තේ ද, භවබන්ධන ගෙවා දමන ලද්දේද, කෙලෙසුන් කෙරෙන් මුළුමනින්ම මිදුණේ වේ ද, , හෙතෙමේත් පඨවිය පඨවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. (පජානාති)

පඨවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පඨවියෙහි (මම ඉන්නේය ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පඨවි යෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි.

“ පඨවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පඨවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: ද්වේශය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

§100- § 122 . අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: දෝසය ක්ෂීණ කර වීමෙන් වීතදෝස වූ හෙයිනි.


(ක්ෂීණාශ්‍රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)

ක්ශීනාසව අරහත් චතුර්ථ භුමිය

§ 123. මහණෙනි, යම් මහණෙක් සියලු ආශ්‍රව ගෙවා දමන ලද්දේ ද , බඹසර වැස නිම කරන ලද්දේද, සිවු මග ඵල මැනවින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද, කෙලෙස්බර හිස් කරන ලද්දේද, ස්වාර්ථ සිද්ධිය (රහත්පලය ) සාක්ෂාත් කරගත්තේ ද, භවබන්ධන ගෙවා දමන ලද්දේද, කෙලෙසුන් කෙරෙන් මුළුමනින්ම මිදුණේ වේ ද, හෙතෙමේ පඨවිය පඨවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. (පජානාති )
ඔහු (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පඨවි යෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පඨවි යෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “ පඨවි ය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පඨවි ය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින්දයත්: මෝහය ක්ෂීණ කර වීමෙන් ඔහු වීතමොහ වූ හෙයිනි.

§124 – § 146 . ආපෝ… තෙජස්… (පරමදාෂ්ට ධර්ම නිර්වාණය) නිර්වාණ වශයෙන් දනියි. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මොහය ක්ෂීණ වීමෙන් වීතමොහ වූ හෙයිනි.


(ක්ෂීණාශ්‍රව වශයෙන් චතුර්ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)

සප්තම භුමිය වූ ශාස්තෘ භුමිය.-1

§  147. අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ27 ද පඨවි ය පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පඨවිය පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පඨවි ය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පඨවියෙහි ම්ම් පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පඨවියෙන් බැහැර මම පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “ පඨවි මාගේ ය”යි අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින්දයත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

[27: තමන්වහන්සේ ගැන දෙසනා කිරීමේදී භග්‍යවතුන් වහන්සේ යොදා ගත්තේ තථාගතයන් යන වචනය ය. තතාගතයන් යන වචනය අර්ථ කථනයට යන අටුවාචාරීන් වහන්සේලා සම්පුර්ණ ශ්‍රී සද්ධර්මයම මේ අර්ථ කථනයට අඩංගු කරන්නට වෑයම් කල බවක් පෙනේ.]

§ 148 – § 170 . ආපෝ … තෙජස්… පරමදාෂ්ටධර්මනිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි තථාගතයන් ඉන්නේය ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර තථාගතයෝ සිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්.28

[28: පරිඥානන් තම් තතාගතස්ස : තථාගතයන් වහන්සේ සියල්ල (අන්තිම කාරණය තෙක්ම) ලෝකයේ ස්වභාවය පැවැත්මේ ස්වභාවය ඉතිරි වන්නට කිසිවක් නැතිව අවබෝධ කල බවය. රහතුන් වහන්සේලා ට මේ “සියල්ල” අවබෝධය නොවී යම් කාරනා අවබෝධ නොවන්නට ඉඩක් තිබුනත් තථාගතයන් වහන්සේගේ අවබෝධය සර්ව සම්පුර්න වේ. මේ තථාගතයන් වහන්සේ හා රහතුන් වහම්සේ ගේ එක වෙනසකි.]

ඒ කවර හෙයින්දයත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් 28 හෙයිනැ යි කියමි.

(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)

ශාස්තෘ භුමිය.-2

§ 171 . මහණෙනි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පඨවිය, පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පඨවිය පඨවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පඨවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පඨවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පඨවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පඨවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පඨවිය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින්ද: “නන්දිසඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසිඳ) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසිඳ දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන්, නිරෝධයෙන්, ත්‍යාගයෙන්, දුරලීමෙන්, අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

§ 172- §194 . අප්… තෙජස්… (පරමදාෂ්ටධර්ම)නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින්දයත්:

“නන්දි සඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරා මරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි.

මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.


(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)

භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කල සේක. එනමුත් එම භික්ෂුන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අනුමෝදන් නොවුහ. සතුටු නොවුහ. 31

[31 මේ භික්ෂුන් මෙම දේසනාව පිලිනොගන්මට හේතුව ඔවුන් සිය වේද ඉගැන්වීම් වලට ඉතා දැඩි ලෙස ඇලී ඒවා ඇදහු නිසා ඒ ඉගැන්වීම් වලට ප්‍රති විරුද්ධ වූ මේ ඉගැන්වීම පිළිගැන්මට උන් සිත් තුල වූ අකමැත්ත නිසා දේසනාව නොවැටහීම බව අටුවාව කියයි.]

ps://majjimanikaya.wordpress.com/2017/07/12/mn-1-1-1_-mula-pariyaya-sutta/
Pali Version
next Button
pathpress publications

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.