ආසව හා ආසවක්ඛය කිරීමේ ඥානය

අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත “නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි” යන ග්‍රන්ථ මාලාව ආශ්‍රයෙන් සකස් කරන ලදී.


පුද්ගලයෙකු, සත්ත්වයෙකු තමාගේම ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙස භාවිතා කරමින් එකතු කර ගන්නා ගති ලක්ෂණයන් රාග, ලෝභ- අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ යන මූලික ගති ලක්ෂණයන්ය. කෙළෙස් 1500ක් ඇතැයි සමහර පොත්වල සඳහන් වන්නේ මේ ගති ලක්ෂණයන්ය. ඔබ දන්නා පරිදි කලින් විග‍්‍රහ කර පෙන්වා දී ඇති පරිදි මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් සමුදය වූ ”සං” නිසා උපත ලත් කිළිටි වූ කෙළෙස්මය. කුණුගොඩක්මය. මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් උපත ලබා ඇති බව හොඳාකාරවම තේරුම් ගත් පසුව ඒ මූලය නිවැරදිව (සමුදය) සොයා දැනගත හොත් මේ කෙළෙස් 1500ම ඒ එකම මූලය නිරෝධ කිරීමෙන් ප‍්‍රහාණය කර අලූතෙන් කුණු එකතු කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කළ දේ භාවිතා කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කරගත් යළි යළිත් චිත්තසංථානයේ මතුවන කෙළෙස් 1500ම සංසිඳවා, සම්මා තත්ත්වයට පත්වීමද තමන්ටම සිදුකරගත හැකිය.

ඉන්ද්‍රියයන් හයම උපකාරයෙන් එකතුකර ගන්නා දැනුම ගොඩනැගී ඇත්තේ ලෝක නිරුක්ති, ලෝක සම්මත, ලෝක පඤ්ඤපති හා ලෝක ව්‍යවහාර මත්තේය. මෙතනදී අල්ලා ගන්නා, එකතුකර ගන්නා, දෙයක් හෝ තැනක් කෙනෙක් හෝ ධර්මතාවයක් ඇතිවා වාගෙම අල්ලා ගන්නා කෙනෙක්ද සිටී. එනම් කර්තෘ කෙනෙක් හා කර්මයක් යන දෙකක්ම පවතී. නියත වශයෙන්ම සළකා බැලූ විට මේ ද්වතාවය පවතින නිසා හැම කෙනෙක්ම හිතින් රෝද ගසයි. රිය ගමනක් යයි. දුටුව බව දකී. දුටුව කෙනෙක්, දෙයක් පවතී. එහෙම ද්වතාවයක් දැක්කේ නැති නම් එකතු කර ගන්න හැකියාවක්ද නොපවතී.

ලෝභ, ද්වේෂ, මෝහ ලෙසින් අපි අපේම ඉන්ද්‍රියයන් හරහා මෙසේ එකතු කරගත් මේ ගතිගුණ, ගති ලක්ෂණ අපේම චිත්තසංථානයේ තැන්පත් වේ. මේවා ලෝභ, ද්වේෂ, මෝහ ලෙස එකතු කරගත්තත් චිත්තසංථානය, කර්මජ කෝෂය තුළදී මෝරා, පැසී, පාක වී, ආසව අරිෂ්ඨ බවට පත් වේ. ඒවා චිත්තසංථානයට ඇතුලූ කරගත් ආකාරයට වඩා දහස්


ගුණයෙන් බලවත් ස්වරූපයෙන් ඵල විපාක ලබා දෙයි. ඒ නිසාම ඒවා ආසව ලෙසද හඳුන්වයි. මේ ලෙසින් කෙළෙස් 1500කට බෙදා පෙන්වූයේ කාමාසව, භවාසව, අවිද්‍යාසව යන කොටස් තුනට අයත් ගති ලක්ෂණයම සමුදය ධර්මයන් ලෙසින් චිත්තසංථානයේ විවිධාකාරයෙන් මතුවී ක‍්‍රියාත්මක වීමයි.

යම් කෙනෙකුට මේ සමුදය ධර්මය පිළිබඳව තේරුම් ගෙන ”කාමසව” මතුවීමට, උපත ලැබීමට මුල් වූ කරුණු කාරණා සහමුළින්ම නැතිකර කටයුතු කළ හැකි නම් මේ කෙලෙස් 1500න් 1000ක්ම පමණ අත්හැර මිදී නිදහස් කර ගත හැකියි. කාමච්ඡන්දය දුරු කරන අනිච්ච, අනත්ථ බව පසක්කර ගන්නට හැකි දුකට මුල් වූ හේතුව සොයා දැන ගන්නට උපකාර වන කර්මස්ථාන භාවනා කිරීමෙන්ද ”සම්මා” තත්ත්වයට පත්වීමෙන්ද මෙය කරගත යුතු වේ.

එසේම භවාසව, අවිද්‍යාව දෙකම ඇති වීමට හේතුව වන ලෝභ, ද්වේෂ යන ලක්ෂණ දෙක ගතිගුණ දෙක බව නිවැරදිවම තේරුම් ගෙන හැම සත්ත්වයෙකුටම භූතයෙකුටම, දෙවියෙකුටම සම මෙත පතුරවන පරම මෙත් වැඞීම පුරුදු පුහුණු කර ගතහොත් කෙළෙස් 1500 ඉතිරි කොටසද අත්හැර සිත නිදහස් කර ගැනීමටද හැකියාව ලැබේ.

මේ අනුව ආසව, ආසව ලෙසින් නිවැරදිව දැන ගැනීමත් ආසව සමුදය, උපත ලබන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමත් ආසව නිරෝධ කරන්නට කළ යුතු දේ පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමත් ආසව සිතේ ක‍්‍රියාත්මක වීම අවසන් වනතුරු ආසව නිරෝධගාමී මාර්ගයේ යමින් ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමත් ආසවඛ්‍යා ඥාණය උපදවා ගැනීමයි.

මෙය ආසවඛ්‍යා ඥාණය උපදවා ගෙන චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. ආසවඛ්‍යා ඥාණය නොලබා, ආසව ඛය කරන්නට නිවැරදිවම මඟ නොදැන, කිසිවෙකුටත් නිවන් අවබෝධ කරගනු නොහැකිය. අෂ්ට සමාපත්තියට පත්වී අටවැනි ධ්‍යානයට පත් වූවත් ආසවඛ්‍යා ඥාණය පහළ නොවූයේ නම් මෝහයේ මුල් සිඳනැති නිසා අළුයට ගිනි පුපුරු මෙන් ආසව පවතී. කවදා හෝ යළි ගින්න ඇවිළෙන්න ආසවම හේතුවයි. අරිය පරියේෂණ සූත‍්‍රයේත්, තවත් සූත‍්‍ර ධර්මයන් ගණනාවකමත් පිරිසිදු ලෙසම පෙන්වා වදාළ පරිදි නිවන් අවබෝධකර ගැනීම යනු ආසවඛ්‍යා ඥාණය ලැබ ”ඛීණාසව” තත්ත්වයට පත්වීමයි. ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම නිවනයි යනුවෙන් දේශණා කළේද මේ අර්ථයෙන්මය.

ධ්‍යාන වැඞීමෙන් කරන්නේද ලෝභ, ද්වේෂ, මෝහ යන ආසව කොටසක් දවා හැරීමයි. ධ්‍යානයක් ලබා ගැනීමෙන් සිදුවන්නේ අලූතින් ආසව එකතු කිරීම නැවැත්වීමත්, තාවකාලිකව ආසව භාවිතයෙන් ඉවත්වීමත්ය. නමුත් අතීතයේ එකතු කර, ගබඩා කරගත් ආසව මුල් චිත්තසංථානයේ, කර්මජකෝෂයේ ගබඩා වී තැන්පත් වී ඇති බව දකින්නට තරම් ශක්තියක් ධ්‍යාන්‍යවලට නැත. එසේ අතීතයේ කවදා හෝ චිත්තසංථානයේ තැන්පත් කළ මතු භාවිතට ගැනීමට විඤ්ඤාණය විසින්ම ගබඩා කර ඇති ආසව කොටස් දැක ඒවා සහමුළින්ම ඛය කර, ප‍්‍රහාණය කර චිත්තසංථානය ආසව වලින් තොර තැනක් බවට පත්කර ගත හැකිවන්නේ ආසවක්ඛ්‍යා ඥාණය පහළ කර ඒ මගින් ආසව නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමෙන්ම පමණි. එයම විපස්සනා නුවණ පහළ වීමද වේ.

”සං” යන පදයෙන් විග‍්‍රහ කර එකතු කිරීම මගින් පෙන්වා දුන්නේද ආසව එකතු කිරීමයි. මේ අනුව ”තේසං පහීනා” යනුවෙන් පෙන්වා දුන් ”සන්නිට්ඨති, සංනිසීදති, සමාධියති” යන පදවලින් විග‍්‍රහ කළේද ආසවක්ඛ්‍යා ඥාණය උපදවාගෙන සංවර වී, සංසිඳුවාගෙන, සම්මා සමාධියට පත්වීමටයි. ආසවක්ඛ්‍යා ඥාණය පහළ නොවී සම්මා සමාධියෙහි පිහිටා කටයුතු කළ නොහැකිය. ”සංමා ” යන පදයෙන් පෙන්වා දුන්නේ අතීතයේ එකතු කළ (සං) සියලූ ආකාර වූ ආසව සහමුළින්ම අතහැර, ඒවායින් මිදී නිදහස් වීමයි. (විතක්ක සංඨාන සූත‍්‍රය) ”සංඝාරව සූත‍්‍රයේත්, සංසුධෝතක සූත‍්‍රයේත්”මේ ක‍්‍රියාපිළිවෙත් තවදුරටත් පැහැදිළි කර, විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සංඝාරව සූත‍්‍රයෙන් පෙන්වා දෙන්නේ ”සං” බිඳ දමා ආසව ඛය කරගන්නට බුදුපියාණන් පෙන්වා වදාළ මාර්ගයයි. සංයුධෝතක සූත‍්‍රයෙහි පෙන්වා වදාළේ එකතු කරගත් (සං), ආසව ප‍්‍රහාණය කර ශුද්ධ පවිත‍්‍ර කරගෙන කර්මජ කෝෂය, චිත්තසංථානය ආසව වලින් තොර තැනක් බීණාසව තත්ත්වයට පත්කර ගැනිමට මඟ පෙන්වීමයි.

කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව තේරුම් ගත් කෙනෙකුට ඉතා පහසුවෙන්, ඉතාම සරළ ලෙසින් ආසව ඛය කර ඛීණාසව තත්ත්වයට පත්වීමේ ශක්තියද වාසනාවද ලැබේ. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය බුදුපියාණන් පෙන්වා වදාළේ අතීතයේ මහා කල්ප ගණනක් පටන් චිත්තසංථානයේ එකතුකර (”සං” ඛාර) ගබඩාකර ගෙන ඇති ආසව ප‍්‍රහාණය කර ඛය කර ගන්නට මඟ දැකගන්නට උපකාර වන ලෙසින්මය. මේවා ලෝකෝත්තර කුණුය. සංසාරයේ කවදා හෝ තමාම එකතුකර, ගබඩා කරගත් කුණුය. මේ කුණු සළාහැර ලෝකෝත්තර කුසලය පුරා ගැනීමට වෙනත් කිසිම ක‍්‍රමයක් ද නැත. මේ නිසා ආසවඛ්‍යා ඥාණය පහළ වීම යනු කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව තේරුම් ගෙන ඒ අනුව විපස්සනා කිරීම පුරුදු පුහුණු වීමයි.

ලෝකෝත්තර කුණු ලෙසින් පෙන්වා දුන් කාමාසව, භවාසව, අවිද්‍යාසව සංවර සීලයෙන් හෝ ධ්‍යානයන් ලබා සංසිඳවීමෙන් හෝ සහමුළින්ම ඉවත්කර ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගත නොහැකිය. මේ සඳහා ලෝකෝත්තර කුසලයම පුරාගත යුතුය. එනම් ලෝක තත්ත්වයෙන් එතෙර වීමට සළාහැර ඉවත්කළ යුතු කුණු සොය සොයා මතුකර, ප‍්‍රහාණය කර සිත පිරිසිදු කරගත යුතුය. සිතක කාම විතක්ක මතුවීමට හේතුව වන්නේ කාමාසව චිත්තසංථානයේ ගැබ්වී පැවතීමයි. සිතක ද්වේෂ, වෛර බිහිවීමට හේතුව ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවීමයි. ඒ අවිද්‍යාසව හා භාවාසය මුල්කරගෙනම සිතෙහි බිහිවන ගතිගුණයන්ය. කාම විතක්ක ප‍්‍රහාණය කර පළවා හැර යටපත් කිරීමෙන් හෝ ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පළවා හැර යටපත් කිරීමෙන් හෝ ලෝකෝත්තර කුණු සළාහැරීමක් සිදු නොවේ. ඒ සඳහා කාමඡුන්දය දුරුකරන කුසලමූල සංඛාර භාවිතා කර කාමයේ ආදීනව හා ආනිසංස මනා ලෙස දැකගෙන කාමච්ඡන්දය මුල් සිඳ දමන්නටම අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණ භාවනා කිරීම හෝ ඡුන්දරාගයෙන් වෙන්වීමට සුදුසු කුසලමූල කර්මස්ථානයක්ම භාවිතා කළ යුතුය.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන්, විහිංසාවෙන් සහමළින්ම මිදී නිදහස් වන්නට නම් සම මෙත පතුරුවන මෙත්තා කර්මස්ථානයක් වඩා ලෝකෝත්තර කුණු සළාහැරීම කරගත යුතුය. කාමරාග හා ව්‍යාපාද, ද්වේෂය සහමුළින්ම ප‍්‍රහාණය කර දැමීමෙන් මෝහයෙන් ද මිදී නිදහස් විය හැකිය. මෝහයෙන් මිදී නිදහස් වීම යනුද කාමරාග, පටිඝ, ව්‍යාපාද යන ගති ලක්ෂණවලින් මිදී නිදහස් වීම නිසා චිත්ත පාරිශුද්ධියට පත්වීමයි. මානය නැමති ලක්ෂණයත් අවිද්‍යාවත් සිතක් තුළ පවතින්නේ ආසව ක‍්‍රියාත්මක වීම නිසාමය. ආසව ඛය කර දමා ඛීණාසව තත්ත්වයට පත්වූ චිත්තයකින් අස්මි මානය, රූපරාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච අවිද්‍යා යන සංයෝජන වලින් බැඳී කටයුතු කිරීමෙන්ද වැළකී නිදහස් වෙයි. මේ අනුව උද්ධම්භාගිය සංයෝජන වලින් සහමුළින්ම නිදහස් අරහත් තත්ත්වයට පත්වීමට උපකාර වන්නේ ආසව පිළිබඳ ඥාණයත් පහළ කරගෙන ආසව සමුදය තේරුම්ගෙන ආසව නිරෝධ කිරිමට ක‍්‍රමය දැන ආසව නිරෝධගාමී මාර්ගය අනුගමනය කිරීමය. මේ ආකාරයෙන්ම ආසව අනිච්ච බව, දුක්ඛ බව, ආසව අනත්ථ බවද තේරුම් ගත යුතුයි. මේ ආසව පිළිබඳව වූ ති‍්‍රලක්ඛණය, ඥාණයන් ලෙසින් මතුවීමයි. කැමති සේ පැවැත්විය හැකි නැවැත්විය හැකි කිසිම ආසව කොටසක් නැති බවත් එසේ කැමති සේ, ප‍්‍රිය මනාප සේ පැවැත්විය නොහැකි සියලූ ආසව, චිත්තසංථානයේ පැවතීම දුක ඇතිවීමට මුල්ම හේතුව බව දැක ගැනීමත් කැමති සේ පැවැත්විය නොහැකි දුකම උරුම කර දෙන ආසව, හේතුඵල ලෙසින් භාවිතා කරන තුරාවට තමාට අනාථ තත්ත්වයක් නියත ලෙසම උරුම වන බවත් යථාවබෝධයෙන් තේරුම් ගැනිීම ආසව පිළිබඳ වූ ත‍්‍රිලක්ඛණය අවබෝධ වීමයි.

ආසවඛ්‍යා ඥාණය පහළවීම යනු කොටස් හතකින් සම්පූර්ණ වූ ඥාණ හතක් පහළ වීමයි.

01. ආසව ලෙසින් දැන ගැනීමේ ඥාණය
02. ආසව සමුදය (සං උපත) දැන ගැනීමේ ඥාණය
03. ආසව නිරෝධ කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ඥාණය
04. ආසව නිරෝධගාමී මාර්ගය ප‍්‍රතිපදාව අවසානය තෙක් අනුගමනය කිරීමේ ඥාණය
05. ආසව අනිච්ච බව දැක ගැනීමේ ඥාණය
06. ආසව දුක්ඛ බව දැනගැනීමේ ඥාණය
07. ආසව අනත්ථ (අනාථ) බව දැනගැනීමේ ඥාණය

මේ ඥාණ හත පහළ වීමත් සමඟම චතුරාර්ය සත්‍යයද සම්පූර්ණයෙන් අවබෝධ වී දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යාවබෝධයද සම්පූර්ණ වෙයි.

ආසව ඛය කර ගැනීමේ ඥාණය පහළ කර ගන්නට පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ යම් දැනීමක්, තේරුමක් ඇති කර ගත යුතුය. ආසව චිත්තසංථානයේ පවතින තුරාවට සෑම පුද්ගලයෙකුම අවිද්‍යාවෙන් කටයුතු කරයි. අවිද්‍යා නාමරූප බිහිවීම, ඉන්ද්‍රියයන් අවිද්‍යා ක‍්‍රියාවලට සම්බන්ධ වීමට හේතුවයි. ඉන්ද්‍රියයන් ආයතන බවට පත්වන්නේ අවිද්‍යා සහගතව යමක් එකතු කරන නිසාමය. අවිද්‍යාවෙන් එකතු කරමින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා සංකල්පනා විඤ්ඤාණයේ ස්පර්ෂ වීම නිසා අවිද්‍යා සහගත වේදනා ඉපදීමත් සමඟම විඤ්ඤාණය තැනකට හාවීම සිදුවෙයි. අවිද්‍යාවෙන් තැනක යාවූ සිත එතැනම උපාදානය කරගෙන එතැන අල්ලා බදා ගනී. එයින් නොනැවතුණු සිත උපාදානය කරගත් අවිද්‍යා ගතිගුණයට භවට පත්වෙයි. මේ ජාති උපතයි.

මේ අනුව සළකා බලන විට ආසව චිත්තසංථානයේ පවතින තුරාවට නිරන්තරයෙන්ම, නිරුත්සාහයෙන්ම අවිද්‍යා සහගත කර්ම බීජ උපදවා කර්මජ කෝෂයේ සටහන් කර ගැනීම විඤ්ඤාණයේ ආහාර සොයා යන ගමන් මඟට උපකාර වන හේතුඵල ක‍්‍රියාදාමයක්, හේතුඵල පරම්පරාවක් පැවැත්වීමයි. හේතුඵල පරම්පරාවක් සිතක් තුළ ක‍්‍රියාත්මක වන ආකාරය නිවැරදි ලෙසම තේරුම් ගත් පුද්ගලයෙකුට ඊට මුල් වූ පළමුවන හේතුව ආසව බවත් තේරුම් ගත හැකි වේ. ආසව ඛය කරගැනීමේ ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගැනීමෙන්ම හේතුඵල පරම්පරාවෙන්ද නිදහස් වී, මතු උපතක් ලැබීමෙන්ද ගැළවීමට ක‍්‍රියාකළ යුතු නිවැරදි ආකාරය ද කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගත හැකි වනු ඇත.

හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක වන්නේ භව චක‍්‍රයකට අනුව යැයි පටිච්ච සමුප්පාද විවරණයක් ඉදිරිපත් කරමින් බොහෝ පොත්පත්වල වැරදි ආකාරයෙන් එය විග‍්‍රහ කර ඇත. ඒ සියලූ වැරදි විග‍්‍රහයන්ට මුල් වූයේ විශුද්ධි මාර්ගය පෙන්වා දුන් වැරදි මඟ ගුරු කොට ගෙන එයම අනුගමනය කර ඒ පොත් ලියූ නිසයි. හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක වන්නේ චක‍්‍රාකාරව රවුමට නොව ගඟක් ගලන්නාසේ ඉදිරියට යාමෙනි. කිසිසේත්ම එය චක‍්‍රාකාර නොවේ. අතීතයට ගිය හේතු ඵලයක් නැවත කිසිම දවසක ඒ ආකාරයෙන්ම ආපසු යළි යළිත් සිතක මතු නොවේ. යම් ආකාරයකින් හේතුඵල පරම්පරාවක් වක‍්‍රාකාරයෙන් ක‍්‍රියාත්මක වේ යැයි කෙනෙකු නිගමනය කළහොත් කවම කවදාකවක් හේතුඵල පරම්පරාවෙන් ඉවත් වී නිවන් අවබෝධ කර ගැනීමක්ද සිදුකරගත නොහැකිය. හේතුවක් හෝ හේතු රාශියක් නිසා ඵලයකුත්, ඵලයම හේතුව කොට නැවත ඵලයකුත් ආදී වශයෙන් හේතුඵල පරම්පරාවක් එක දිගටම සිතේ ක‍්‍රියාත්මක වෙයි. අතීතයට ගිය හේතුව හෝ ඵලය මතු කිසිම ආකාරයකින් ඒ අයුරින්ම ඒ සිත තුල යළිත් මතු නොවේ.

ආසව සිත තුළ ගබඩා වී පැවතීම නිසා සිදුවන්නේ අලූත් අලූත් හේතුඵල පරම්පරාවක් නිරතුරුවම බිහිවීමයි. කෙනෙකු නිවැරදි ලෙසම තේරුම් ගත යුතු වන්නේ අතීත හේතුඵල පරම්පරාවක සම්බන්ධතාවයක් නොතිබුණේ නම් වර්තමානයක් හෝ අනාගතයක්ද ඇති වන්නට ඉඩ නැති බවයි. පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් පෙන්වා වදාළ අංග එකොළහ අතරින් (ආසව, අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව) මොනයම් අංගයක් හෝ පිළිබඳව නිවැරදි ලෙස තේරුම් ගෙන ඊට අදාළ ඥාණ හතම තේරුම් ගත්තේ නම් ඒ සමඟම ආසවඛ්‍යයා ඥාණයද, චතුරාර්ය සත්‍යයන්ද පහළ වන්නේමය.

උදාහරණයක් ලෙස වේදනාව ගත්තොත් වේදනාව පිළිබඳ

1. වේදනාව තතු පරිදි දැන ගැනීමේ ඥාණය
2. වේදනාව සමුදය පිළිබඳ ඥාණය
3. වේදනා නිරෝධ කිරීම පිළිබඳ ඥාණය
4. වේදනා නිරෝධගාමී පටිපදාව පිළිබඳ ඥාණය
5. වේදනා අනිච්ච බව දැකගතහැකි ඥාණය
6. වේදනා දුක්ඛ බව දැකගත හැකි ඥාණය
7. වේදනා අනත්ථ (අනාථ) බව දැකගත හැකි ඥාණය

යන වේදනා පිළිබඳව වූ මේ ඥාණ හත ලැබීම මගින් දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යයද ලබන්නේය. වේදනාව පිළිබඳ මේ සඳහන් කළ ඥාණ හත ලැබීමට හේතුව ආසවඛ්‍යා ඥාණය පහළ වීමයි. වේදනාවට මුල්ම හේතුව ආසව සිතෙහි මතුවීම බව නිවැරදිවම තේරුම් ගැනීමයි. හේතුඵල පරම්පරාවට බැඳී වේදනා විඳින්නට හේතුව විඤ්ඤාණය ආසව මතු කරමින් විඤ්ඤාණය ආහාර සොයාගැනීමට දරණ උත්සාහය බව නිවැරදිව දැක ගැනීමයි.

මේ ආකාරයෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අංග එකොළහට අදාළ ඥාණ 77ක්ම පහළ වන්නේ ආසවඛ්‍යා ඥාණය පහළ වීමත් සමඟම බව තේරුම් ගත යුතුය. පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ සංඛාර නිරෝධයෙනුත්, කුසලමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ පරිදි කුණුසළා හැරීමට කටයුතු කිරීමෙනුත් පමණක් සහමුළින්ම ආසව ඛය කර දමා නිදහස නිවන, විමුක්තිය ලබාගත හැකි බව දැන් පැහැදිළිි ඇතැයි සිතමි.

බුදුපියාණන්වහන්සේ සබ්බාසව සූත‍්‍රය නමින් සූත‍්‍රයක් මූල පරියාය වග්ගයෙහි, මූලපරියාය සූත‍්‍රයට පසුව දෙවැනිව ඉදිරිපත් කළේ මෙම ආසව ප‍්‍රහාණය කිරීමම නිවන් මඟට උපකාරවන එකම ක‍්‍රියාවලිය බවද පෙන්වා දීමටයි. මූලපරියාය වග්ගයෙහි ඉදිරිපත් කළ සබ්බාසව සූත‍්‍රය සියලූ ආසව ප‍්‍රහාණය කර පහාතබ්බා කරගත යුතු බව පෙන්වා දුන් පසුවත් සූත‍්‍ර පිටකයේ විවිධ තැන්වල තවත් සුත‍්‍ර ධර්ම 30 කට වැඩි ගණනකම සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ කරුණුම විස්තර ලෙසින් විග‍්‍රහකර එකින් එක පැහැදිළි කර දුන්නේ ආසව ඛයකර ගැනීමේ ඥාණය, දැනුම, අවබෝධය නිවන් මඟට අත්‍යාවශය දෙයක් බව දුටු නිසාමය.

සබ්බාසව සූත‍්‍රයට අමතරව මූලපරියාය වග්ගයේම සල්ලේඛ සූත‍්‍රය යැයි ඉතා වැදගත් සූත‍්‍ර දේශණාවක් ඉදිරිපත් කරමින් ආසව නැවතත් වෙනත් ආකාරයකින් බෙදා විග‍්‍රහ කළහ.

1. සල්ලේඛ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
2. චිත්තුපාද පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
3. පරිකම්මත පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
4. උපරිභාව පර්යායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
5. පරිනිබ්බාණ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව

යැයි කොටස් පහකට බෙදා, විග‍්‍රහ කර පෙන්වා වදාළහ. කෙළෙස් 1500ක් යැයි බෙදා වෙන්කර පොත්වල පසුකාලයෙහි ලියා දැක්වූයේ මෙම සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් පෙන්වා වදාළ කෙළෙස් දස දහස් ගණනක් 1500කට ගොනු කිරීමෙනි. සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් කරන ලද ආසව විග‍්‍රහය මහසයුර මෙන් ගැඹුරු බවත්, පරක් තෙරක් නොපෙනෙන බවත් එහිම පෙන්වා වදාරා ඇත.

ධර්මය පිළිබඳව ගැඹුරින් තේරුම්ගත් කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වග්ගයෙහි එන සූත‍්‍ර ධර්ම දහයෙන්ම විවිධ පැතිකෝණ වලින් දැකගත හැකි වන්නේ ආසව ඛය කර ගන්නට ඒ සූත‍්‍රධර්ම හැම එකකින්ම සෘජු ලෙසම මඟ පෙන්වා දී ඇති බවයි. ඉන් ඉදිරියට මුළු සූත‍්‍ර පිටකයෙහි ඉදිරිපත් කර ඇති සෑම සුූත‍්‍ර‍්‍ර ධර්මයක්ම විග‍්‍රහ කර, විස්තර කර ඉදිරිපත් කර ඇත්තේ මූළිකව ගෙනහැර දැක්වූ මූළික කරුණු සාක්ෂාත් කරගන්නට උපකාර කරගත හැකි විවිධ ධර්ම කාරණාවෝමය.

සියලූ ආකාර වූ ධර්ම කාරණාවෝ අසා, කියවා යම් කෙනෙකු තේරුම්ගත යුතු වන්නේ තමා ගැනම, තම පැවැත්මට මුල් වූ, හේතු වූ (සමුදය) කරුණු ගැනමය. තමාට දුක උරුම වූයේ තමා දුක්විඳින්නේ සංසාර ගමන දිගින් දිගටම පවත්වන්නට හේතුව කුමක්ද යන්න තේරුම් ගැනීමයි. විඤ්ඤාණය තම ආහාර සඳහා ”ආසව” එකතු කිරීම, ආසව ගබඩා කිරීම, ආසව භාවිතා කිරීම, ආසව පරිභෝග කිරීම හැර වෙනත් හරයක්, වටිනාකමක්, අර්ථයක් ඇති කිසිවක් මේ ජීවත් වීමේ නැත. මේ නිවැරදි දර්ශනය දැකගත හොත් දස්සනේන සම්පන්න වුවහොත් පමණක්ම ආසව ප‍්‍රහාණය කර, අසාව සළාහැර, ඛීණාසව තත්ත්වයට සිත පිරිසිදු කරගතහොත් විඤ්ඤාණයට ආහාර හිඟවී, ආහාර නැතිවී විඤ්ඤාණය මියැදී යනු ඇත.

පුද්ගලයෙකුට ආහාර පාන නැතිව ජීවත් විය හැකි වන්නේ උපරිම දින හතකි. මේ ආකාරයෙන්ම විඤ්ඤාණයට ආහාර පාන දෙකම ලබාදීම සහමුළින්ම නවතා දමා දින හතක් විඤ්ඤාණය නිරාහාරව තබන්නට හැකි ශක්තිය, උත්සාහය ලැබුණොත් විඤ්ඤාණය මියැදී, යළි කවදා හෝ උපතක් ලබන්නට නොහැකි තත්ත්වයක් නැති වී අක‍්‍රීය වී යනු ඇත. විඤ්ඤාණය මියැදුණු පසු චිත්ත තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන චිත්තය ලෝකය තනන්නට කටයුතු නොකරන නිසා නිවන, විමුක්තිය අත් කර ගන්නේය.

සියල්ලන්ටම ආසවඛ්‍යා ඥාණයම පහළවේවා!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )